පොලිස් පොතේ ලියැවුණු කතාවක්
පසුගිය දිනවල මුහුණු පොතේ වඩාත් සංසරණය වූ පණිවුඩයක් වූයේ ”ඔබේ මුහුණු පොතේ ගිණුමට හෝ ඔබේ අන්තර්ජාල ලිපිනයට එන නොහඳුනන පණිවුඩ විවෘත කරන්න එපා. ඒවා විවෘත කළහොත් ඔබේ සියලු අන්තර්ජාල රහස්‍ය තොරතුරු වෙනත් අයෙකුට අනාවරණය විය හැකිය” යන්නය.
මෙවැනි පණිවුඩ නොසලකා හරිමින් කටයුතු කළ ලියුම්කරු දන්නා හඳුනන කීප දෙනෙකුගේම මුහුණු පොත් ගිණුම් පසුගිය කාලයේදිී කිසියම් පිරිසක් විසින් හැක් කර තිබුණි. ඔවුන්ගේ අන්තර්ජාල ගිණුම්වලට සිදුවූ මේ අනවසර පිවිසුම නිසාම තම අන්තර්ජාල සබඳතාවල පිවිසුම් රහසිගත කේත (පාස්වර්ඩ්) වෙනස් කිරීමට පමණක් නොව තම ගිණුම් අලුතින් සැකසීමට පවා ඔවුන්ට සිදුවිය.
ශ්‍රී ලංකාව තුළ ප්‍රසිද්ධ වූ නවතම වහළ සෙවිලි තහඩු වර්ගයක් ආනයනය කොට බෙදාහරින ව්‍යාපාරික ආයතනයක් කුරුණෑගල ප්‍රදේශයේ පිහිටා තිබේ. දිනපතාම තම ව්‍යාපාරික කටයුතුවලට අදාළ ගිණුමේ විස්තර පරීක්ෂා කර බැලීම මෙම ව්‍යාපාරික ආයතනයේ හිමිකරු පුරුද්දක් කරගෙන සිටියේය. ඔහු වැඩි වශයෙන්ම ගනුදෙනු කරමින් තම බැංකු කටයුතු පවත්වාගෙන ගියේ ප්‍රකට පෞද්ගලික බැංකුවක කුරුණෑගල නගරයේ පිහිටි ශාඛාවකය. තම ගිණුම මගින් දිනපතා සිදු කරනු ලබන සියළුම බැංකු ගනුදෙනු හා සම්බන්ධ තොරතුරු අන්තර්ජාලය හරහා ඔහුගේ ජංගම දුරකථනයට ලැබෙන්නට විය. මේ නිසාම ඔහුට තම ව්‍යාපාරික කටයුතු ඉතාම නිරවුල්ව හා සාර්ථකව කරගෙන යාමට මෙම ක්‍රමවේදය පහසුවක් වී තිබුණි.
ඒ ආකාරයට පසුගිය 14 වන දින රුපියල් ලක්ෂ 15 ක මුදලක් තම ගිණුමෙන් තවත් ගිණුමකට බැරවූ බව සඳහන් කෙටි පණිවුඩයක් එම බැංකුවෙන් ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනයට ලැබුණි. එවැනි ව්‍යාපාරික ගනුදෙනුවක් එදින සිදු නොවූ බව ඔහුගේ මතකයේ විය. යම් ව්‍යාපාරික අවශ්‍යතාවක් සඳහා තම ආයතන ගිණුමෙන් ලක්ෂ 15 ක මුදලක් වෙනත් ගිණුමකට යැවුවාදැයි ඔහු තම ගිණුම් කළමනාකරුගෙන් විමසූ අවස්ථාවේදී ඔහුගේ පිළිතුර වූයේද එවැනි කිසිදු ගනුදෙනුවක් එදින සිදුකර නැති බවය.
තම බැංකු ගිණුම හරහා යම් මූල්‍ය වැරැද්දක් හෝ අතපසුවීමක් සිදුව ඇති බව ව්‍යාපාරිකයා වහා තේරුම් ගත්තේය. මොහොතක් හෝ ප්‍රමාද නොවූ ඔහු ඉක්මණින් බැංකු ශාඛාව වෙත ගොස් එහි කළමනාකරු හමුවී සිදුව ඇති දේ විමසීය.
‘‘සර්ගෙන් අපිට එවලා තිබුණු ඊ මේල් එකක් නිසා තමයි අපි ඒ මුදල ගෙවුවේ. වෙනදාත් සර්ගේ ලෙටර්හෙඩින්වලින් එවන ඊ මේල් අපිට පුරුදු නිසා මේ ඊ මේල් එකෙන් කියලා තිබුණු විදිහට අපි වෙන ගිණුමකට ලක්ෂ පහළොවක් සර්ගේ ගිණුමෙන් යැවුවා...” බැංකු කළමනාකරු ව්‍යාපාරිකයාට පැහැදිලි කළේය.
‘‘පිස්සුද මම එහෙම සල්ලි ගෙවන්න කියලා බැංකුවට ඊ මේල් එකක් එවලා නැහැ...” ව්‍යාපාරිකයා කේන්තියෙන් සඳහන් කළේය.
‘‘සර් නැහැ කියන්නේ කොහොමද. මේ තියෙන්නේ සර් වෙනදාට එවන ඊ මේල් ලිපිනයයි. සර්ගේ කම්පැණි එකේ ලෙටර් හෙඩින් එකයි නේද...” බැංකු කළමනාකරු ව්‍යාපාරිකයාට එසේ එවූ බව කියන ඊ මේල් පණිවුඩය පෙන්වීය.
එම ඊ මේල් පණිවුඩය දැකීමෙන් ව්‍යාපාරිකයා අන්දමන්ද විය. සැබැවින්ම එය තම ව්‍යාපාරික ආයතනයේ ලිපි ශීර්ෂය සහ තම අන්තර්ජාල ලිපිනය බව ව්‍යාපාරිකයාට හැඟී ගියේය. වායු සමනය කළ බැංකු පරිශ්‍රය තුළ වුවද ඔහුගේ සිරුර දහඩියෙන් තෙමී ගියේය. එම බැංකු ගිණුමෙන් කිසිවෙකු විසින් ලක්ෂ 15 ක විශාල මුදලක් හොරෙන් ලබාගෙන ඇති බව පැහැදිලි වීමට ඔවුන් දෙදෙනාටම එතරම් කාලයක් ගත නොවීය.
දිගු කාලයක සිට තම බැංකුවත් සමඟ ඉතා විශ්වාසවන්තව මහා පරිමාණයෙන් ගනුදෙනු කරන එම ව්‍යාපාරිකයාගේ ගිණුමට කිසිවෙකු අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත සොරාගෙන (හැක් කර) ලක්ෂ 15 ක් ලබාගෙන ඇති බව වටහාගත් බැංකු කළමනාකරු අප්‍රමාදව ඒ බව තම ප්‍රධාන කාර්යාලය දැනුම්වත් කිරීමට පියවර ගත්තේය.
ප්‍රධාන කාර්යාලයෙන් ලද උපදෙස් අනුව සිදුව තිබූ එම මූල්‍ය වංචාව පිළිබඳව බැංකු කළමණාකරු විසින් කුරුණෑගල කොට්ඨාසය බාර පොලිස් අධිකාරි ඒ.ජේ.වයි.බී. ක්‍රිශාන්ත මහතා වෙත වැඩි වේලාවක් නොගොස්ම පැමිණිලි කිරීමට පියවර ගත්තේ මෙය ඉතා බරපතළ ගනයේ මූල්‍ය වංචාවක් බවට තේරුම් යාම නිසාය.
බැංකුවෙන් ලද තොරතුරු අනුව මෙය අන්තර්ජාලය ඔස්සේ හැකර්වරුන් විසින් කර ඇති මහා පරිමාණ මුදල් වංචාවක් බව ක්ෂණිකවම වටහාගත් පොලිස් අධිකාරි ක්‍රිශාන්ත මහතා ඒ සම්බන්ධයෙන් තම උසස් පොලිස් නිලධාරීන් වූ වයඹ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන සහ කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහත්වරු දැනුම්වත් කිරීමට පියවර ගත්තේය. ඔවුන්ගෙන් ලද උපදෙස් අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවීම තමා යටතේ පවතින කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ඩී.ආර්. ගුණතිලක මහතා වෙත පැවරීමට ක්‍රිශාන්ත මහතා තීරණය කළේය.
බැංකු ශාඛාව වෙත ගිය ගුණතිලක මහතා සිදුව ඇති මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අවශ්‍ය සියළු තොරතුරු ලබාගෙන එහි වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තම ඒකකයේ සේවය කරන තවත් දක්ෂ විමර්ශන නිලධාරියෙකු වූ පොලිස් පරීක්ෂක ආර්.එච්. සෙනෙවිරත්න මහතා සහ සැරයන් (27627) නවරත්න මහතා සහාය කර ගත්තේය.
ඒ අනුව විමර්ශන ඇරැඹූ මේ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ මූලික අවධානය යොමු වූයේ අන්තර්ජාලය හරහා එම ලක්ෂ 15 ක මුදල බැරවූයේ කුමන ගිණුමකටදැයි සොයා බැලීමය. ඒ අනුව බත්තරමුල්ල පන්නිපිටිය පාරේ අංක 769 දරන ලිපිනයෙහි පදිංචි රජීව රොෂාන් රූපසිංහ නමැති අයෙකු විසින් නාවල පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවක පවත්වාගෙන යන ගිණුමකට රුපියල් ලක්ෂ 15 ක මුදල බැරවී ඇති බව අනාවරණය කර ගැනීමට හැකි විය.
එම බැංකු ශාඛාවද මූල්‍ය වංචාව සිදුවූ කුරුණෑගල බැංකු ශාඛාවේම තවත් ශාඛාවක් වීමද විශේෂත්වයකි. එම ගිණුමට අදාළ තොරතුරු වැඩිදුරටත් විමර්ශනය කිරීමේදී එනමින් රජයේ සහ පෞද්ගලික අංශයේ තවත් මූල්‍ය ආයතන හයකම ගිණුම් පවත්වාගෙන යන බවද අනාවරණය කර ගැනීමට හැකි විය. වැඩිදුරටත් සොයා බැලීමේදී මේ නමින් යුත් පුද්ගලයෙකු හෝ එවැනි ලිපිනයක් නොමැති බව අනාවරණය වූ අතර එනිසාම බැංකුවට ලබාදී තිබූ මෙම හැඳුනුම්පත ව්‍යාජ එකක් බව තේරුම් ගැනීමට පොලිස් නිලධාරීන්ට අපහසු නොවීය.
රජීව් රොෂාන් රූපසිංහ නමැත්තාගේ ගිණුමට අදාළව තොරතුරු විමර්ශනය කිරීමේදී ලබාගත් එම සැකකරුට අයත් දුරකතන අංකයක් පරීක්ෂාවට ලක්කර ඊට අදාළව දුරකතන ඇමතුම් වාර්තා ලබා ගැනීමට පියවර ගත් පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න මහතා ඒ ඔස්සේ සැකකරුවන් කොටුකර ගැනීමේ ඉදිරි විමර්ශන දියත් කළේය.
එම දුරකතන වාර්තා වැඩිදුරටත් විශ්ලේෂණය කිරීමේදී සැකකරු කොළඹ නාවල, රාජගිරිය, බත්තරමුල්ල, රත්මලාන, ගල්කිස්ස සහ නුගේගොඩ ආශ්‍රිත ප්‍රදේශවල සිට මෙම ඇමතුම් ලබාගෙන ඇති බව සෙනෙවිරත්න මහතාට පෙනී ගියේය.
මේ ආකාරයට පරීක්ෂණ කටයුතු සිදු වෙත්දී සැකකරු විසින් පවත්වාගෙන යන බවට අනාවරණය කරගෙන තිබූ බැංකු ආයතනවලට මෙම සැකකරු පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුණතිලක මහතා විසින් දැනුම්දී තිබුණි. හඳුනාගෙන සිටින මෙම සැකකරු කුමන මොහොතක හෝ එම බැංකු ශාඛාවකට පැමිණිය හැකි බවට ගුණතිලක මහතා විශ්වාස කළේය. ඔහුගේ එම විශ්වාසය සීයට සීයක්ම නිවැරැදි විය. ඒ අනුව පසුගිය සතියේ දිනක නාවල පිහිටි එම බැංකු ශාඛාව වෙත සැකකාර පුද්ගලයා පැමිණ සිටින බව හඳුනාගත් එම බැංකුවේ කළමනාකරු ඒ බව වහාම ගුණතිලක මහතාට දැන්වීය.
එම පණිවිඩය ලද සැණින්ම ඉදිරි පියවර තීරණය කළ ගුණතිලක මහතා සැකකරුට නොදැනෙන ආකාරයට ඔහු පැමිණි වාහනය සම්බන්ධයෙන් තොරතුරු ලබාගෙන කෙසේ හෝ එහි අංකය හඳුනාගැනීමට කටයුතු කරන ලෙස බැංකුවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
බැංකු නිලධාරීහුද එම උපදෙස් අකුරටම පිළිපදිමින් සැකකරු පැමිණි වාහනයේ අංකය සහ එහි පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුගේ රුව හඳුනාගනු ලැබූහ.
සැකකරු පැමිණි වාහනය WP අංක දරන කළු පැහැති සුඛෝපභෝගී ජීප් රථයක් විය. එහි හිමිකරු රත්මලාන ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු බව ඒ සම්බන්ධයෙන් කළ පරීක්ෂාවකදී හෙළිකර ගැනීමට පුළුවන් විය. ඒ අනුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූයේ එම ජීප් රථය කුලී පදනම මත ලබා දෙන බවට ඔහු අන්තර්ජාලයේ පළ කරන ලද දැන්වීමකට අනුව පැමිණි ස්ටෙෆන් පිලිප් නමැත්තෙකු විසින් රුපියල් අසූ දහසක මාසික කුලියකට එම වාහනය ලබාගෙන සිටින බවය.
මේ අනුව අනාවරණය කරගත් තොරතුරු විමර්ශනය කර බැලූ ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුණතිලක මහතා එම වාහනයේ හිමිකරු ලවා කුලී පදනමට ලබාගත් පුද්ගලයාව කෙසේ හෝ සම්බන්ධ කරගන්නා ලෙස පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න මහතාට උපදෙස් දුන්නේය. එම උපදෙස් අනුව ක්‍රියා කළ සෙනෙවිරත්න මහතා වාහනයේ හිමිකරු ලවා කුලී පදනමට වාහනය ලබාගත් ස්ටෙෆන් පිලිප් නමැත්තාට දුරකතනයෙන් කතා කරවා හදිසි අවශ්‍යතාවක් සඳහා වාහනය ආපසු අවශ්‍ය බව දැනුම් දීමට පියවර ගත්තේය. එම ඇමතුමට පිලිප් නමැත්තා ලබාදුන් පිළිතුර වූයේ ක්ෂයරෝගයට ගොදුරු වීමෙන් තමන් ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බැවින් වාහනය ලබාදීමට නොහැකි බවය.
එම තොරතුරු ඉදිරි පරීක්ෂණ සඳහා ඉතා වැදගත් විය හැකි යැයි සිතූ සෙනෙවිරත්න මහතා ඒ බව ගුණතිලක මහතාට දන්වා තම සහායකයා වූ සැරයන් නවරත්න මහතා සමග එම අවස්ථාවේදීම ජයවර්ධනපුර රෝහල වෙත ගොස් මේ කියන ස්ටෙෆන් පිලිප් නමැත්තා සැබෑවටම එහි ප්‍රතිකාර ලබමින් සිටිනවාදැයි සොයා බැලූහ. එම තොරතුරු නිවැරැදි විය.
රෝහලේ අංක 305 දරන ගෙවන වාට්ටුවක ක්ෂයරෝගයට එම පුද්ගලයා නේවාසිකව නැවතී ප්‍රතිකාර ලබමින් සිටින බවත් ප්‍රතිකාර අවසන් වීම හේතුවෙන් ඔහු එදිනම රෝහලෙන් පිටව යාමට නියමිත බවත් දැනගැනීමට ලැබුණි.
එසේ සහතික කරගත් තොරතුරු අනුව එම සැකකරු එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට කලබල නොවූ පොලිස් නිලධාරීන් දෙදෙනා ඔහු රැගෙන යාම සඳහා කුලී පදනමට ගත් ජීප් රථය පැමිණේදැයි රෝහලේ කොටසකට වී කිසිවෙකුටත් සැක නොසිතෙන ආකාරයට රැඳී සිටියහ. මීට අමතරව වැඩිදුර ආරක්ෂාව සඳහා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජයවර්ධනපුර රෝහලේ ආරක්ෂක අංශය දැනුම්වත් කිරීමටද ඔවුහු කටයුතු කළහ.
වැඩි වේලාවක් ගත නොවී ඔවුන් බලාපොරොත්තුව සිටි කළු පැහැති ජීප් රථය රෝහලේ රථගාල වෙත පැමිණි ආකාරය පොලිස් නිලධාරීන් දෙදෙනාට දර්ශනය විය. ඔවුන් දෙදෙනා පුදුමයට පත් කරමින් එහි රියැදුරු අසුනින් බැස ගත්තේ සැකකාර බැංකු ගිණුමේ හිමිකාර තරුණයාය. හැඳුනුම්පතේ සිටින ආකාරයට වඩා යම් තරමකට ඔහුගේ යටි රැවුල වැවී තිබුණද මේ හැඳුනුම්පත හිමි තරුණයාම බව හඳුනාගැනීමට අපරාධ විමර්ශනයෙහිලා පළපුරුදු මේ දක්ෂ නිලධාරීන් දෙදෙනාට එතරම් අපහසු නොවීය.
දැන් තමන් අබියස සිටින්නේ මේ මූල්‍ය වංචාවට සම්බන්ධ නියම සැකකරුවන් දෙදෙනාම බවට සැකහැර දැනගත් පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න මහතා තවමත් ඉක්මන් නොවී ස්ටෙෆන් පිලිප් නමැත්තා රෝහලෙන් එළියට පැමිණෙන තෙක්ම ඉවසිලිමත්ව බලා සිටියේය.
ඒ අනුව සිවිල් ඇඳුමෙන් සැරසී සිටි නිලධාරීන් දෙදෙනා ජීප් රථයෙන් පැමිණි තරුණයා පසුපස සැක නොසිතෙන ආකාරයට ගොස් සැකකරුවන් දෙදෙනා වාට්ටුවෙන් නික්ම බිම් මහලට පැමිණීම සඳහා විදුලි සෝපානයට ගොඩවන අවස්ථාව තෙක් බලා සිටියහ. ඒ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ අවස්ථාව විය. ඔවුන් දෙදෙනාද දුවවිත් විදුලි සෝපානයට ගොඩ වූහ.
එතුළ සිටි ස්ටෙෆන් පිලිප් නමැත්තා දෙස බැලූ පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න මහතා ‘‘හලෝ ස්ටෙෆන් කොහොමද...” කියා ඇමතීය. ආගන්තුකයින් වෙතින් ලද එම ඇමතුමෙන් ස්ටෙෆන් විමතියට පත්වෙද්දී දෙදෙනාගේම දෙඅත්වලට විලංගු වැටී අවසානය.
‘‘ඇයි මේ... මොකක්ද අපි කළ වරද...” ස්ටෙෆන් පිලිප් විමසීය. ”කලබල නොකර අපිත් එක්ක යමු. හේතුව පස්සේ කියන්නම්...” සෙනෙවිරත්න මහතා පිළිතුරු දුන්නේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අපහසුවකින් තොරවම කුරුණෑගලට රැගෙන ඒමෙන් පසුව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ විය.
එම ප්‍රශ්න කිරීම්වලින් පසුව සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක්ම අනාවරණය කර ගැනීමට කුරුණෑගල විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට හැකි විය. ඒ අනුව මෙහි ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන සිටින ප්‍රී. ස්ටෙෆන් පිලිප් නමැත්තා නැවතී සිටින නුගේගොඩ ජයමංගල පාරේ පිහිටි සුපිරි මහල් නිවාස සංකීර්ණයක්ද පරීක්ෂාවට ලක් කළහ.
සැකකරු පිලිප් නමැත්තා දිනකට රුපියල් පන්දහස බැගින්වූ කුලියකට එහි සුඛෝපභෝගී නිවෙසක් ගෙන එහි නැවතී සිටියේය. ඒ තනියම නොව එක්දරු මවක් වූ අවුරුදු විසිපහක් පමණ වයසැති රූමත් කාන්තාව සමගය. ඇය ඔහුගේ අනියම් බිරිය බව අනාවරණය විය. ඇගේ විවාහක සැමියා මත්ද්‍රව්‍ය චෝදනාවකට වැරැදිකරු වී සිර දඬුවමකට ලක්ව සිටි අතර ඉන් පසුව ඇය පිලිප් නමැත්තා සමග අනියම් සබඳතාවක් පවත්වමින් මෙම නිවාස සංකීර්ණයේ තම දරුවාද සමග නැවතී සිටියාය.
සැකකරු නැවතී සිටි එම නිවසේ තිබී රුපියල් දෙලක්ෂ දසදහසක මුදලක් සමග බැංකු ගිණුම් පොත් 6 ක්, බැංකු ක්‍රෙඩිට් කාඩ් පත් 14 ක්, ජංගම දුරකථන 5 ක්, ලැප්ටොප් පරිගණකයක්, අන්තර්ජාල සබඳතා සඳහා භාවිත කරන රවුටරයක් සොයා ගැනීමටද පොලිස් නිලධාරීන්ට හැකි විය.
වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී සැකකරුවන් දෙදෙනාගෙන් කුරුණෑගලදී සිදු කළ බැංකු වංචාවට අදාළ තොරතුරු සහ තවත් මූල්‍ය වංචා ගණනාවකම තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි විය.
පිලිප් නමැති 37 හැවිරිදි ප්‍රධාන සැකකරු බර්ගර් ජාතිකයෙකි. වෘත්තියෙන් පරිඝණක මෘදුකාංග ඉංජිනේරුවකු වන ඔහු විවාහක තිදරු පියෙකි. පරිඝණක ක්ෂේත්‍රයේ තම රැකියාව කරමින් බිරිඳ හා දරුවන්ද සමග දිගු කලක සිට එංගලන්තයේ වෙසෙන ඔහු මීට මාස හයකට පමණ ඉහතදී ලංකාවට පැමිණ ඇත. ඒ බිරිඳ සමග ඇතිකරගත් ආරාවුලකින් පසුව ඇය සමග අමනාප වීය.
එසේ පැමිණි ඔහුට මෙරටේදී කිරීමට රැකියාවක් නොවූ තැන ඔහු පහසුම රැකියාවක් තෝරා ගත්තේය. ඒ සඳහා ඔහු තම වෘත්තීය පරිඝණක දැනුමද අපූරුවට උපයෝගී කර ගත්තේය. අනුන්ගේ බැංකු ගිණුම්වලට හොර රහසේ ඇතුළුවී ඒවායේ දත්ත සොරාගෙන එම ගිණුම්වලින් මුදල් සොරා ගැනීම ඔහු තෝරාගෙන තිබූ මාර්ගය විය. ඔහු තම පරිගණක දැනුම යොදා ගනිමින් ඉතා සූක්ෂමව මේ වැඩේ කිරීමට සමත් විය. ඒ සඳහා ඔහු තෝරාගෙන තිබුණේ සාමාන්‍ය ගිණුම් හිමි පුද්ගලයන් නොව දිවයිනේ විවිධ ව්‍යාපාර හිමි ධනවත් පුද්ගලයන් වීමද විශේෂත්වයකි.
සැකකරු අවස්ථා ගණනාවකදීම රුපියල් ලක්ෂ 15 සිට ඉහළට විවිධ ප්‍රමාණයෙන් අනුන්ගේ මුදල් ඔවුන් දෙදෙනා විවෘත කර ඇති බැංකු ගිණුම්වලින් ලබාගෙන ඇති බවද අනාවරණය වී ඇත. එසේ ලබාගත් මුදලින් මොවුන් දෙදෙනා රාත්‍රී සමාජ ශාලාවලට යමින් සුඛෝපභෝගී දිවි පෙවෙතක් ගත කර ඇති බවද අනාවරණය වී තිබේ.
මේ වනවිටත් මෙම සැකකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශ ආශ්‍රිතව පදිංචි ධනවත් පුද්ගලයන්ගේ බැංකු ගිණුම් හැක් කර ඒවායේ ඇති මිලියන ගණනින් වූ මුදල් සූක්ෂ්මව ලබාගෙන තිබෙන්නට පුළුවන් බව ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුණතිලක මහතා සඳහන් කළේය. එම තොරතුරු වැඩිදුරටත් අනාවරණය කර ගැනීම සඳහා සැකකරුවන් දෙදෙනාගේම බැංකු ගිණුම් පරීක්ෂා කර බැලීමට කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට අවසර දුන්නේය. එතෙක් සැකකරුවන් දෙදෙනා ලබන 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අතිරේක මහේස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා නියම කළේය.
සේයාරූ / සටහන :
පුෂ්පකුමාර ජයරත්න