සිරි-ලංකාවේ අතිදුෂ්කර ගම්මාන
ගලමුදුන ගම
- හදාදුන් පාලමත් වතුරට ගියා
- අදටත් ලෙඩෙක් ගෙනයන්නේ කරපිටින්
ගලින් ගලට පනිමින් සොබා දහමේ අපුරු සුන්දර ආස්වාදයන් අත්විඳිමින් පුංචි සිව් පදයක් මුවගින් මුමුනමින් කුරුලු කිරිල්ලියන්ගේ සහ රැහැයියන්ගේ ඉමිහිරි නාදයෙන් කුල්මත්වී මහ වනය මැදින් පා ගමනින් යන ගමන අති සුන්දරය. ආගන්තුකයෙකුට නම් ඒ ගමන ජීවිතේ අමතක නොවන අමුතුම අත්දැකීමකි.
එහෙත් ඒ සුන්දර බව මොහොතින් බිඳී ගොස් අනියත බියක් හදවතේ සනිටුහන් වන්නේ වනය ඇතුළෙන් නැගෙන ගහකොළ අතු බිඳෙන හඬකිනි. තනි අලියා කොයි මොහොතේ කොතනින් පැනවිත් තමන්ට පහර දේ දෝයි? ඇතිවෙන සැකය සමඟින් එම වන සතාගෙන් තම ජීවිතය බේරාගැනීමට අසල ගසක හෝ උසකින් පිහිටි ගලක පිහිට පැතිය යුතුමය.
මෙලෙස සුන්දර මෙන්ම බියකරු අත්දැකීම් විඳිමින් අනාදිමත් කාලයක සිට මෙම ගමේ ජනතාව සහ දරුවෝ වෙනත් දරුවන් භුක්ති විඳින සැප පහසුකම් භුක්ති විඳීමට වරම් අහිමිව අසරණව මහ වනය මැද හුදකලාවූ ජීවිත ගත කරති.
ගැමියන් විමසන්නේ තමන්ට උරුමවූ මේ අවාසනාවන්ත ඉරණම තම දරුවන්ටද උරුම වන්නේ මේ අහිංසකයන් කෙදිනක කාට කළ වරදකටදැයි යන්නය.
අහසින් වැටෙන දිය බිංදුව, හිරු එළිය, සඳ එළිය, කළුවර, සුළඟ, ගහකොළ ඔවුන්ට සොබා දහම විසින් උරුමකර දී ඇතත් ස්ථිර නිවහනක්, ස්ථිර වැසිකිළියක්, හරිහමන් පාරක්, ස්ථිර රැකියාවක් සමඟ ආර්ථිකයක්, දරුවන්ට අධ්‍යාපනයක්, සන්නිවේදන ක්‍රමයක්, විදුලි බලය හා පිරිසිදු ජලය බිඳක් ලැබීම ඔවුන්ට සිහිනයක් පමණි.
රැස්වීමකට සහභාගිවූ ගමේ අය
දිවයිනේ අනෙකුත් පාසල් දරුවන් පරිශීලනය කරන පොත පත, පාසල් උපකරණ අධ්‍යාපන දැනුම, ක්‍රීඩා දැනුම ලබන්නට තරම් ගලමුදුන නම් වූ මේ ගමේ දරුවන්ට වරම් නැත. ඒ ඇයි දැයි අපි ඔබෙන් නොවිමසන්නෙමු. එය ඔවුන්ගේ දෛවය දැයි අපිද නොදනිමු.
මිනිපේ මහ ගොවි ජනපදයේ සෙසු ගම්මානවලින් හුදකලාවී නකල්ස් කඳු පද්ධතියේ මහ වනය මැද ගොවි පවුල් 38 ක 142 ක් පමණ වන මෙහි ගැමි ජනතාව සිංහල රජ සමය දක්වා ඈත අතීතයකට නෑකම් කියන ආදිවාසී පිරිසකි. මෙම ගැමියන් සිය ගෝත්‍රයට නෑ කම් කියන පිරිසක් බව දඹාන ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝද අද සඳහන් කරයි.
රන්දුනු මුදියන්සේලාගේ පරපුරෙන් පැවත එන බව කියන මේ ගැමි පරපුරේ දිගුකාලීනව නායකත්වය හොබවනු ලැබුවේ ජනප්‍රිය චරිතයක් වූයේ පිටතින් ගමට පැමිණෙන ලොකු කුඩා සෑම අයෙකුම ආදරයෙන් පිළිගෙන ආගන්තුක සත්කාර ඉහළින්ම කරන ගමේ අයට වැලඳෙන රෝගවලට දේශීය වෛද්‍ය ප්‍රතිකාර කරන එහෙමත් නැත්නම් තෙල් මැතුරුමක් කරන කරට ආරක්ෂක නූලක් දමා රෝග සුවකරන රන්දුනු මුදියන්සේලාගේ පේහාමි වෙද මහතා නොහොත් පේහාමි මාමාය. ඒත් ඔහු අද අප අතර නැත.
ගමේ තොරතුරු සොයා අප යන ගමනේදී අපට හමු වූ ගලමුදුන ගමේ හිටපු ග්‍රාම නිලධාරී ප්‍රසන්න ඒකනායක මහතා ඵෙතිහාසික ගලමුදුන ගමේ අතීත කතාව ඔහු අසා ඇති පරිදි අපට පැවසුවේ මෙලෙසිනි, ගලමුදුන ගමේ අතීත කතාව ආරම්භ වෙන්නේ වෙද පරපුරකින් බවයි දැනගන්න තියෙන්නේ. ඒ වෙද කම නිසාමයි මේ අයට ගරු නම්බු නාම සහිත වාසගම වන රන්දුණු මුදියන්සේ වාසගම ලැබී තියෙන්නේ. දුටුගැමුණු රජතුමා මහියංගණයේ සිටින කාලේ එතුමාගේ සෙන්පතියෙකුගේ බිසවකට බඩේ අමාරුවක් හැදිලා තියෙනවා. රජ වාසලේ සිටි වෛද්‍යවරුන්ට එම රෝගය සුව කිරීමට නොහැක්වූ තැන ඒ සෙනෙවියා පිරිසකුත් සමඟ රෝගියාව රැගෙන මාතලේ පළාතේ සිටි වෙද දුරෙක් හොයාගෙන යන්න තීරණය කරලා මහියංගණයේ ඉඳලා ගමන පිටත් වෙලා තියෙනවා.
අද වාගේ හොඳ පාරවල් එදා තිබිලා නැහැ. ඒ කාලේ ඒ අයගේ ගමන් මාර්ගය වෙලා තිබුණේ මහියංගණයෙන් හිං ගඟට පැමිණ හිං ගඟ ඉවුර දිගේ ඉහළට ඇවිල්ලා ගලමුදුන ගම හරහා ඉළුක් කුඹුර, පල්ලේගම ඇතුළු ගම්මාන හරහා මාතලේට යෑමටයි. මේ යන අතරේ පිරිස ගලමුදුන ගමට එන කොට හොඳටම කළුවර වෙලා තිබී තියෙනවා. ඒ කාලේ අපේ සිංහල ගැමියා අද වාගේම ආගන්තුක සත්කාර වලට බොහෝම කැමති පිරිසක්. ඒ නිසා මේ පිරිසට ගමේ පුළු පුළුවන් විදහට නවාතැන් දීලා තිබෙනවා.
ඒ කාලේ ගමේ හිටපු මහරාල අහලා තියෙනවා. “මේ අය කොහේයන ගමනක්ද මේ කියලා.”
ඊට පස්සේ තමන් කවුද නොකියා අර සෙන්පතියා තම බිරිඳගේ රෝගය කියලා රෝගයට ප්‍රතිකාර ගන්නට මාතලේට යන බව කියා තිබෙනවා. එතකොට අපේ මහරාල කිව්වලු “ආ ඕකද ලෙඩේ ඉතිං ඕකට මාතලේ යන්ට ඕන නැහැ. අපේ වෙදරාලට කියමු කියලා” වෙදරාලට විස්තරේ කියලා එක්කරගෙන ඇවිල්ලා රෝගියාට බෙහෙත් කළාලු.
රෝගියෙකු රෝහලකට රැගෙන යෑමට සූදානම්වන අයුරු
දෙයියන්ගේ පිහිටෙන් අර අමාරුවේ කෙඳිරි ගගා හිටපු ලෙඩා එළිවෙන ජාමේ සුවපත් වෙලාලු. මේ ආශ්චර්යට පුදුම වෙලා සෙන්පතියා කිව්වලු “මේ වෙදරාල නම් වෙදෙක් නෙමෙයි දෙවියෙක් කියලා”
ඒ සමඟම වෙදරාලට දණ ගහලා වැඳලා කීවාලු “මම අහවලා කියලා” ගමේ අය ඊට පස්සේ එයාට වැඳලා කිව්වාලු “අනේ අපිට සමාවෙන්ට අපෙන් වරදක් වුණාද දන්නේ නැහැ”. කියලා. සෙන්පතියා කිව්වලු “උඹලගෙන් අපිට ලැබුණු ආගන්තුක සත්කාර ඉතාම ඉහළයි ඒ වාගේම තමයි රාජකීය වෙදැදුරන්ට සනීප කරන්ටත් බැරිවුණු ලෙඩෙක් උඹලගේ වෙදරාල සනීප කරා, ඒ නිසා මම මාගේ මේ සියලුම ආභරණ වෙදරාලටත් මහරාලටත් පරිත්‍යාග කරනවා. ඒක මට ගරු කිරීමක් වශයෙන් කරුණාකර මේවා භාරගන්න.” කියලා
ඒ රන් ආභරණ අතර රන් දුන්නක්, රන් ඊතලයක්, රන් නළල් පටියක් සහ රන් හවඩියක් (ඉන පටිය) ඇතුළු බොහෝ දෑ තිබුණලු. එදිනත් ගමේ අයගේ ආදර සංග්‍රහ භුක්ති විදලා සෙන්පතියා ඇතුළු කණ්ඩායම ආපහු ගියාලු. ඔන්න ඔතන ඉඳලා තමයි රන්දුනු මුදියන්සේලාගේ පරපුර පැවතෙන බව ජනවහරේ සඳහන් වෙන්නේ.
මෙම අපූරු සුන්දර ගමට යායුතු වන්නේ මහනුවර මහියංගණ මාර්ගයේ හසලක නගරයෙන් රණවිරු පිළිරුව අසලින් වැටී ඇති වස්ගමුව මාර්ගයේ කිලෝමීටර් 19 ක් පමණ දුර ඇති හිං ගඟ පාලම වෙත ගොස් එතැනින් වමට හැරී හුළුගුනේ මාර්ගයේ එම ගමට යෑමෙණි. හුළුගුනේ ගම දක්වා වාහනයකින් යා හැකිය.
එතැනින් මීටර් 100 ක පමණ පහළින් ගලන හිං ගඟ තරණය කොට මහ වනය මැදින් කිලෝ මීටර් 06 ක පමණ දුර අතිදුෂ්කර පා ගමනින් ඉහළ කන්ද නැගිය යුතුය. එසේත් නැතිනම් වස්ගමුව මාර්ගයේ උඩවෙල හංදියෙන් වමට හැරී උඩත්තව පමුණුපුරය හරහා දුන්ගොල්ල ගමට වාහනයකින් පැමිණ එතැන් සිට පෙර මාර්ගයේ මෙන්ම කිලෝමීටර් 06 ක් පා ගමනින් ගමට යෑමට හැක.
ආර්.එම්. විමලාවතී මහත්මිය අප සමග දොඩමලු වූවාය, ප්‍රදේශයේ පැවති මාර්ග සංවර්ධන සති වැඩසටහන නිසා පමුණුපුර මාර්ගයේ දුංගොල්ල ගමේ සිට මහ වනය මැදින් කිලෝමීටර් 05 ක් පමණ දුර කුඩා ට්‍රැක්ටරයක් රැගෙන යාමට හැකිවෙන පරිදි මාර්ගය සකස් කළා. පාර දෙපස කානු නොකැපීම නිසා වර්ෂාවට පාර හෝදාගෙන යන තත්ත්වයක් පවතිනවා. අවශ්‍ය තැන්වලට බෝක්කු නොදැමීම නිසා ගැටලු කීපයක් පවතිනවා. එසේම මේ අසරණයන් පත්ව සිටින අසරණ බවින් මුදාගන්නට නම් විශේෂයෙන් ගමට යාමට ඇති දැනට අඩ දුරක් කපා ඇති මාර්ගයේ ඉතුරු කොටසත් කපලා අවශ්‍ය ස්ථානවලට බෝක්කු හා පාලම් දමා සංවර්ධනය කළයුතුයි. ඉන්නම් ගැමියන්ගේ අපේක්ෂා යම් තරමකින් හෝ ඉටුවෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.
මේ ගමේ අයට ස්ථිර නිවාස හා වැසිකිළි නැහැ. ගෙවල් නම් 38 ක් තියෙනවා. නමුත් ඒවා තාවකාලික ගෙවල්. මැට්ටෙන් ඉදිකරලා තහඩු හා උළු මිශ්‍ර කරලා වහළය සෙවිළි කරලා තියෙනවා. වැසිකිළි වළවලුත් එහෙම තමයි. ජල ප්‍රශ්නයත් තියෙනවා.
එකම ළිඳක්වත් ගමට නැහැ. ඉහළ කඳුකරයෙන් ගලා එන ජලය පිහිළි තියලා තමයි බීමට සහ වෙනත් අවශ්‍යතාවලට ජලය ගන්නේ. විදුලිය ඇත්තේම නැහැ. පාසල් දරුවන්ගේ සෙල්ලම් කටයුතුවලට පිට්ටනියක් තිබුණට ඒකත් එතරම් හොඳ මට්ටමේ නැහැ. මේවාට පිළියම් යොදනවානම් මේ අයට කරන ලොකුම සේවයක් වෙනවා.
මහනුවර හිටපු මහ දිසාපති රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වත්මන් සාමාජික එස්.එම්. ගෝඨාභය ජයරත්න මහතා ගැමියෝ ගෞරවාදරයෙන් සිහිපත් කරති. ගමට පා තැබූ එකම දිසාපතිවරයා ලෙසින්ද ගෝඨාභය ජයරත්න මහතා හැඳින්වේ.
දිනපතා ලංකාදීප ජාතික පුවත්පතින් වරක් මේ අසරණයන්ගේ ජීවිත කතාව අකුරු බවට පත්කරමින් ජනතා අවධානය යොමු කිරීමෙන් පසු එවකට මහනුවර මහ දිසාපතිවරයාව සිටි ගෝඨාභය ජයරත්න මහතා එවකට මිනිපේ ප්‍රාදේශීය ලේකම්වරයාව සිටි (වර්තමානයේ) මැතිවරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් පාලිත බණ්ඩාර මහතා සමඟ එක්ව මේ අපූරූගම සොයා හිං ගඟට බැස ගඟ තරණය කොට පා ගමනින්ම ගලමුදුන ගමට පිය මැන්නේය.
ගමට ගිය දිසාපතිවරුන් ගැමියන් විසින් පිළිගෙන ගැමියන් විසින් සංවිධානය කර තිබූ ජනහමුවේදී පාසල් දරුවන් විසින් රංගනයක ආකාරයෙන් ඉදිරිපත් කළේ සවස් කාලයේ ගමේ රෝගී වූ අයෙකු වන ලී පොලු දෙකක් මැදට දැමූ ගෝනියක නිදි කරවාගෙන දෝලාවකින් රැගෙන යන අයුරින් හතර කොනේ ලී පොලු කර තබාගෙන ගැමියන් පිරිසක් විසින් රෝගියා කොළොංගොඩ රෝහල කරා රැගෙන යන අයුරුයි.
කිලෝමීටර් 06 ක් මහ වනය මැදින් හිං ගඟ දක්වා ගමන් ගන්නා විට වර්ෂාවක් ඇදහැළුණි. ඒ සමඟම ගඟේ ජල මට්ටමද ඉහළ ගොස් තිබුණ බව ඔවුන්හට පෙනුණි. කර මතින් රැගෙන ආ රෝගියා ගංගා ඉවුරේ ගල් තලාවක් මත තබා පවතින වැස්සට සියලු දෙනා තෙමෙන අයුරු විදහා පෑවේය.
ගමේ නිවසක්
විටින් විට අයෙකු ගඟ අසලට ගොස් ගඟ තරණය කිරීමට හැකි වෙන තරම් ජලය බැස ඇතිද බවද හුළු අත්තක් අල්ලා සොයා බලනු ලැබුණි. ඇතැමෙක් වට පිට බැලුවේ වන අලියා හෝ වෙනත් වන සතෙකු තමන් කරා පැමිණ පහර දීමට පැමිණේ දෝයි ඇතිවූ සැකයෙනි. රැය පුරා දැඩි වේදනාවකින් පසුවූ අසරණ රෝගී ගැමියා අලුයම් කාලයේ දෑස පියා ගත්තේ සෑම දෙනාගේම නෙතු අගට කඳුළු බිඳක් එකතු කරමිනි.
මේ කතා පුවත දිසාපතිවරුන්ගේ හදවත මොහොතක් නිහඬ කිරීමට සමත්විය. එතනදීම දිසාපතිවරයා ගැමියනට පොරොන්දු වූයේ මාස තුනක් ඇතුලත හිං ගඟට පාලමක් ඉදිකර දී ගැමියන් මුහුණපා සිටින ගමන් අපහසුතාවට තිත තබන බවකි. දිසාපතිවරයා ගැමියනට වූ පොරොන්දුව පරිදි ප්‍රාදේශීය ලේකම් පාලිත බණ්ඩාර මහතාගේ අධීක්ෂණය යටතේ දිසාපතිවරයාගෙන් ලද ලක්ෂ 24 ක පමණ ප්‍රතිපාදන යටතේ හිං ගඟ හරහා පාලමක් ඉදිකර එය ජනතාවට භාර කිරීමට ගෝඨාභය ජයරත්න මහතා හිං ගඟ පාලම වෙත පාලිත බණ්ඩාර මහතා සමඟ පැමිණියේය. ඔවුන් දෙදෙනාගේ අත් අල්ලාගත් ගමේ වයෝවෘද්ධ මෑණිවරුන් දෑසින් පිටට පැන තිබූ සතුටු කඳුළු බිංදු රෙදි පොටෙන් පිස දමමින් පැවසුවේ “උඹලා මේ කරපු පිංකමට, පුතේ උඹලා මතු බුදු වෙන්න ඕනෑ’’ කියාය.
දිසාපතිවරයා විසින් එදා ජනතාවට දායාද කළ පාලම “දිසාපති පාලම” ලෙසින් ගැමියන් විසින් නම් කරනු ලැබුවේ දිසාපතිතුමන්ට කරනු ලබන උපහාරයක් ලෙසින් බව ගලමුදුන ගමේ හිටපු විදුහල්පති සුගත් වික්‍රමනායක මහතා පැවසීය.
එහෙත් ගැමියනට ඒ දිසාපති පාලම අද අහිමිවී ගොසිනි. ගැමියන්ට එම පාලම මතින් ගමන් කරන්නට හැකිවූයේ වසර දෙකකටත් අඩු කාලයකි. හදිසියේ හිං ගඟේ ආ දැඩි සැඩ ජල පහරට ඔරොත්තු නොදුන් පාලම හිං ගඟ විසින්ම පහළට රැගෙන ගියේ පාලමේ කණුවක්වත් ඉතිරි නොකර ගැමියනට නැවතත් කඳුල උරුම කරමිනි.
මේ මාර්ග අපහසුතාව නිසාම ගැමියන්ගේ ආර්ථිකයටද කණ කොකා හඬා දරුවන්ගේ අනාගතයද අඳුරු වී තිබෙන බව ගලමුදුන ගමේ පදිංචි පී. ජී. විමලාවතී මහත්මිය (35) පවසන්නීය. අපේ ගම ගැන අපිට තියෙන්නේ ලොකු ආඩම්බරයක්. මොකද, මේ පළාතේ තියන පැරණිම ජන කොටසක් තමයි අපේ ගමේ සිටින්නේ. ඒ වුණාට අනෙක් අයට වඩා දුෂ්කරම දුක්ඛදායක ජීවිත ගත කරන්නේත් අපේම අයයි.
අපි වගේම අපේ දරුවනුත් ඒ කරුමයටම අද මුහුණපාලා සිටිනවා. මේකට විසඳුම් ඉල්ලලා වැඩක් නෑ. මොකද ගමට එන උසස් නිලධාරීන් අපේ ගැටලුවලට විසඳුම් ලබා දෙන බව කියනවා. නමුත් ඒවා වචන විතරයි.
හැබැයි එකක් කියන්න ඕන. කැළේ මැදින් ගමට එන්නට තිබුණු පාර නම් ටිකක් දුර කපලා තියෙනවා. හිං ගඟට පාලමක් ලබා දුන්නා. ඒකත් වතුරේ ගියේ අපේ කරුමෙට, අවාසනාවට. අපි ඉල්ලන්නේ අපි වැටී සිටින වළේ මෙහෙමම ඉන්නම්. ඒ වුණාට අපේ දරුවන්ගේ අනාගතයවත් දීප්තිමත් කරන්නට වැඩපිළිවෙළක් හදාදෙන්න කියලයි.
ආර්.එම්. බිසෝ මැණිකේ මහත්මිය (62), අපේ ගමේ ඉන්නේ බොහෝම දුක්බර ජීවිත ගතකරන මිනිස්සු කොට්ඨාසයක්. පුතේ අපේ ගමේ අයගේ ජීවිත පුතාලාගේ වගේ සුන්දර නැහැ. දරුවන්ගෙත් එහෙමයි. උන්ට හරි හැටි ඉගෙනගන්නට පිළිවෙළක් නැහැ. ඉස්කෝලේ පහ (5) වසරට තිබුණු පංති 11 වසර දක්වා ඉහළට දැම්මා. ඒ ළමයින්ට ඔය විභාග වලට ඉඳගන්ට ඉඩ ලබා දීම ගැන හිටපු සුගත් ලොකු මහත්තයට පිං සිද්ධ වෙන්ට ඕනි. එහෙම නැතිවුණානම් අපේ උන්ට පහ වසරෙන් පස්සේ ඉගෙන ගන්ට වෙන්නේ නැහැ.
පහ වසරට ගියාම දරුවෝ එතැනින් එහාට ඉගෙනගන්නට නම් ගමේ ඉදලා කිලෝමීටර් 10 විතර දුර තියෙන කොළොංගොඩ හරි නුගගොල්ලේ ඉස්කෝලෙකට හරි යන්ට ඕනැ. එහෙම යන්නට පහසුකම් නැහැ. ගමේ ඉඳලා පයින් හිං ගඟ පාලම ළඟට කිලෝමීටර් 6 ක් 7ක් පයින් ගිහිල්ලා එතැනින් බස් එකක නැගලා තමයි ඉස්කෝලෙට යන්ට තියෙන්නේ. මේක කරන්නට පුංචි එවුන්ට බෑනේ පුතේ.
පාර පුරා උදේට හවසට වල් අලි ඉන්නවා. අනෙක ඔය තරම් දුර පොඩි එවුන් කොහොමද පයින් යන්නේ. පයින් යනකොට හිං ගඟේ වතුර වැඩිවෙලා තිබුණොත් ඒකත් හබක්. ඉතිං අපේ උන්ට එදා සිදුවුණේ අපිත් එක්ක හේනේ කුඹුරේ වැඩවලට උදව් වෙන්ටයි. ඒ නිසාම අපේ ගමේ කවුරුවත් නෑ රජයේ වැඩක් කරන එකෙක්. වාසනාවක් තිබුනොත් ඔය නෑදෑයෙක් ඉන්න ඈත පලාතකට ගිහිල්ලා ඉගෙන ගත්තු කොල්ලෝ කෙල්ලෝ ආයේ ගමට එන්නේ නැහැ. උන් ඒ පළාතෙම පදිංචි වෙනවා. මේ තත්ත්වය වෙනස් කර දෙන්ට පුළුවන්නම් අනේ අපේ දරුවන්ට කරන විශාල පිනක් කියල උඹලවත් ඔය ලොකු ලොක්කන්ට කියපල්ලකෝ පුතේ. යැයිද ඇය පැවසුවාය.
ආර්.එම්. ඩිංගිරි බණ්ඩා මහතා (68), අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ජීවත්වීමට හරි හමන් ආදායමක් නැති එක. අපේ ගමේ පවුල් 38 ක් ඉන්නවා. ජනගහනය මම හිතන්නේ 142 ක් විතර ඇති. මේ ගමටම තියෙන්නේ කුඹුරු අක්කර 40 ක් විතරයි. කුඹුරු කිව්වට හරි හමන් අස්වැන්නක් මේවායෙන් ලැබෙන්නේ නැහැ. ඕන්නම් අක්කරයකට වී බුසල් 20 ක් විතර ගත්තෑකි. ඒක මොනවා කරන්නද? ගමේ අය පුලුවන් විදිහට ගමට යාව තියෙන කැළයක් එළිකරලා ඉස්සරනම් හේනක් කොටා ගත්තා. දැන් ඒකටත් අපිට තහංචි වැටිලා. මොකද මේ අපි අයිති ගම නකල්ස් දැඩි රක්ෂිතයට අයිතියිලු. මේ කැළේට ඇතුළු වෙන්නට, කැළෑ කපන්නට, ගිනි තියන්නට තහනම්.
අපේ මුතුන් මිත්තෝ අතීතයේ ඉඳලම හේන් ගොවි තැනින් තමයි තමන්ගේ දරු පවුල ජීවත් කෙරෙව්වේ. අද ඒක කරගන්න අපිට ඉඩ නැහැ. පුංචි ගෙවත්තේ හරි ගම අසල කොටා ගන්නා හේනේ හරි වැස්ස කාලෙට විතරක් හදාගන්න භව භෝග වලින් තමයි අපේ දරු පවුල් ජීවත් කරවන්නේ. මේකෙනුත් හරි හමන් අස්වැන්නක් ගන්නනම් රැයක් දවාලක් නැතිව නිදිමරාගෙන ඒවා රැක ගන්න වෙනවා. එහෙම නැතිවුණොත් එක මොහොතින් වන සතා මුළු වගාවම විනාශ කරනවා. එහෙම වුණොත් අපිටත් දරුවන්ටත් වෙන්නේ මුළු අවුරුද්දම බඩගින්නේ ඉන්නටයි.
දැන් වුණත් තුන් වේලටම දෙවේලයි අපේ අයගේ බඩ පිරෙන්නේ. එහෙම දුක් මහන්සිවෙලා රැක ගන්න අස්වැන්නට නිසි මිලක් ගන්නත් හරිම අමාරුයි. අපේ අස්වැන්නට නිසි වෙෙළඳපොළක් නැහැ. ගෙදර සහ දරුවන්ගේ වෙනත් ඕනෑ එපාකම්වලට කීයක් හරි හොයා ගන්න නම් හේනේ ගෙවත්තේ වගා කරන මොනවා හරි අරගෙන නගරයට ගිහිල්ලා විකුණාගන්න වෙනවා.
නගරයට කිලෝමීටර් 6-7 දුර. මේවා කර බරින් තමයි අරගෙන යන්නේ. එහෙම අරගෙන ගියාම මේවාට ලැබෙන්නේ සොච්චම් මුදලකුයි. මේවාට විසඳුම් දෙන්න කෙනෙක් නැහැ මහත්තයෝ. මොකද අපි කරන්නේ. මේවා කාටවත් කියලා පලක් නැහැ. පත්තරවලට ලීවා කියලා වැඩක් නැහැ. මේවා බලලා ලොක්කෝ අහක බලා ගන්න එක තමයි කරන්නේ. අපි ගැන බලන්ට හිටපු දිසාපති තුමත් අද මෙහේ නැහැනේ. අසරණ අපි ගැන බලන්න වෙන කෙනෙක් නැහැ. එහෙම බලනවානම් අපිට මේ දුක අත්විඳින්න වෙන්නේ නැහැ.
මහනුවර එන්.බී. බස්නායක පදනමේ සභාපති දේශමාන්‍ය නිශාන්ත බස්නායක මහතා, ගලමුදුන ගම කියන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ තියෙන ඉපැරණි මෙන්ම අතිදුෂ්කර ජීවිත ගතකරන මිනිසුන් පදිංචිව සිටින අපූරු ගම්මානයක්. ගොවි ජනපදයෙන් හුදකලාවී තිබීම නිසා මේ ගමේ අයගේ ජීවිතවලද ඇත්තේ දුක්ඛදායක තත්ත්වයක්. හරිම කණගාටුයි. ගමට යන්නට හරි හමන් පාරක් නැහැ. ස්ථිර ආදායම් මාර්ග නැහැ. මේ අය ජීවත්වෙන්නේ කෘෂිකාර්මික ජීවන රටාවක් තුළයි. මේ ගම සම්පත්වලින් පිරුණු ගමක්.
මේ අයට හොඳ වාතාශ්‍රයක් ලැබෙනවා. වස විෂ නැති ආහාරපාන පරිභෝජනය කරනවා. මේ අයට බෝනොවෙන රෝග නැහැ. මට මතකයි මීට කාලෙකට ඉහතදී මහියංගන මූලික රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරී ඒ.එම්. දිසානායක මහත්තයා මේ ගමට ගිහිල්ලා ගමේ අයට වෛද්‍ය සායනයක් කළා. ඒ සායනයේදී ළමයින්ගේ සහ වැඩිහිටියන්ගේ ඇස් පරික්ෂා කළා. ඒ එක ළමයෙකුටවත් වැඩිහිටියෙකුටවත් ඇස් රෝග නොමැති බව තහවුරු වුණා.
මේ ගැමියන් පහසුකම් ඇති වෙනත් පළාතකට යන්න කැමති නැහැ. මොකද එහෙම ගියාම මේ අයගේ පාරම්පරික සංස්කෘතිය සහමුලින්ම වෙනස් වෙනවා. අනෙක තමයි මේ අය ඔවුන්ටම ආවේණික වූ ජීවන රටාවකයි ජීවත්වෙන්නේ. ඒ නිසා අපි කියන්නේ මේ අයට ස්ථිර ආදායම් ලැබෙන මාර්ග ගමේ තියෙන සම්පත් උපයෝගී කරගෙන සැලැස්මක් හදන්න ඕන. අලෙවි පහසුකම් ලබාදෙන්න ඕන. දරුවන්ගේ අධ්‍යාපනය ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන. මොවුන්ට අවශ්‍ය හොඳ නිවාසයක්, වැසිකිළියක් ලබාදෙන්න ව්‍යාපෘතියක් හදන්න ඕන. එහෙම කළාම මේ අයටත් රටේ අනෙක් අය වගේම ජීවත් වෙන්න පුළුවන් වේවි. යැයිද පැවසීය.
සටහන හා ඡායාරූප
හසලක රශ්මින්ද නිර්මාල්