- ජනපති අගමැති කාර්යාලවලට දැනුම් දෙන්න හැදූ වෑයමත් අසාර්ථකයි
- හදන හදන නිර්මාණ ගැන බලධාරීන් නිදි
ශ්‍රී ලාංකිකයෙක් යනු අලුත් නිර්මාණ කිරීමට උපන් හපනෙක් බවට ලෝකයේ නමක් තැබුවේ අද ඊයේ නොව අපේ මුතුන් මිත්තන්ගේ කාලයේදීමය. ගල්කැටයම් වලින්, වාරිතාක්ෂණයෙන්, ගොඩනැගිලි නිර්මාණයෙන් ආදී බොහෝ ක්ෂේත්‍රවලින් එදා සිටි ශ්‍රී ලාංකිකයා ලෝකය ඉදිරියෙන් තැබීය. අදත් එසේමය.
ජනතාව අතරතුර නිර්මාණශීලි හැකියා සහිත පාසල් දරුවාගේ සිට වැඩිහිටියා දක්වාත්, සාමාන්‍ය කාර්මික ශිල්පියාගේ සිට ඉංජිනේරුවා දක්වාත්, වෛද්‍යවරයාගේ සිට විශේෂඥයින් දක්වාත් බොහෝ දෙනෙක් පවතින කොරෝනා වෛරසය සමග පොරබැදීමේදී අවශ්‍ය කරන වෛද්‍ය උපකරණ ඇතුලු විවිධ උපකරණ අලුතෙන් නිර්මාණය කිරීමට උත්සුක වූහ.
වෛරසයක් සමග පොරබදමින් එය පරාජයට පත්කර එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය කරන උපකරණ දෙකක් නිර්මාණය කිරීමට පිළියන්දල ප්‍රදේශයේ තරුණයෙක් සමත්ව සිටියි.
පිළියන්දල දේවානන්ද පාරේ පදිංචිව සිටින ඔහු නමින් බුද්ධික පෙරේරා වන අතර වෘත්තීයෙන් විදුලි කාර්මික ශිල්පියෙකි.
පාසල් සමයේ සිටම කාර්මික ශිල්පයට හිත යොමු කළ මෙම තරුණයා කොවිඩ් වසංගතය අපරටට පැමිණිදා සිට තමන්ගේ නිර්මාණශීලී හැකියාවෙන් කොවිඩ් 19 වෛරසයට අභියෝග කළ හැකි සෞඛ්‍යාරක්ෂිත පරිසර හිතකාමී නිර්මාණ කිරීමට උනන්දු විය.
වාතයට මුසුවන කොවිඩ් 19 වෛරසය සහ වෙනත් විෂබීජ අධි තාපයෙන් වෛරස විනාශ කරන ස්වයංක්‍රීය යන්ත්‍රයක් (Virus air burnable automatic machine) ඔහු නිපදවූයේ ඒ අනුවය. එම යන්ත්‍රය නිපදවීමට ප්‍රථම ඔහු මුදල් සහ ලිපිලේඛන මත තැවරෙන කොවිඩ් වෛරසය සහ වෙනත් විෂබීජ ස්වයංක්‍රීයව විනාශ කරන උපකරණයක් නිපදවූයේය. එයටද පෙර ඔහු ඡන්දය දැමීමට පෙර ඡන්දදායකයින්ගේ ඇඟිල්ල පාට කරන යන්ත්‍රයක් නිපදවූයේය.
ඔහුගේ නිර්මාණවලට මොකද වුණේ? මීට පෙර අපේ රටේ බොහෝ දෙනා කළ නව නිෂ්පාදනවලට ලැබුණ තැනම, එනම් පැත්තකට දමා බලා සිටීමේ තැන ඔහුටත් අත්පත් වෙලාද?
මේ නිර්මාණයන් කළ බුද්ධික පෙරේරා කවුද? කොහොමද මේ නිර්මාණ කළේ? මොනවද ඒ නිර්මාණවලට අත්පත් වූ ඉරණම කියා දැනගන්නට අපි ඔහුගේ නිවෙසට ගියෙමු.
පිළියන්දල උපන් බුද්ධික අධ්‍යාපනය ලැබුවේ බොරැල්ල සුසමවර්ධන මහා විද්‍යාලයෙනි. එහිදී උසස් පෙළ අධ්‍යාපනය අවසන් කළ ඔහු මෝටර් කාර්මික පාඨමාලාවක් හැදෑරුවේය. ඒ දැනුම තවදුරටත් පුළුල් කරගැනීමේ දැඩි අවශ්‍යතාවයෙන් පෙළුන බුද්ධික වැඩිදුර අධ්‍යාපනය සඳහා ජපානය බලා ගියේය. එහිදී මෝටර් කාර්මික ශිල්පය පිළිබඳ තාක්ෂණික පාඨමාලාවක් දෙවසරක් පුරා හැදෑරුවේය. අනතුරුව මැලේසියාවට ගිය ඔහු යන්ත්‍ර සූත්‍ර පිළිබඳ පුහුණු පාඨමාලාවක්ද හැදෑරුවේය. ඒ සියල්ල අවසන් කර ඔහු ලංකාවට පැමිණියේ මීට වසර දෙකකට පමණ පෙරදීය.
ඔහු ලංකාවට පැමිණෙන විට කොවිඩ් වසංගතය අපේ රටටද යම් පමණකින් බලපෑම් කරමින් පැවතිණ. මහමැතිවරණය පවත්වනු ලැබුවේ බුද්ධික මෙරටට පැමිණ කෙටි කාලයකදීය. කොවිඩ් වසංගතය ඒ වනවිට ලංකාවේ ඉතා සෙමෙන් වුවද පැතිරෙමින් පැවතුණි. එහිදී මුඛ ආවරණ පැළඳ පැමිණීම අනිවාර්ය වුවද ජනයා ඡන්දය භාවිත කිරීමට පෙර ඡන්දදායකයාගේ ඇඟිල්ල පාට කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් මතුවිය. ඒ සම්බන්ධයෙන් විවිධ පරීක්ෂණද සිදුකළහ.
ඇත්තටම මට හිතුණා ඒකට විසඳුමක් දෙන්න මට පුලුවන් වේවි කියලා. එහි ප්‍රතිඵලයක් ලෙස මට පුලුවන් වුණා ඇඟිල්ල වර්ණ කිරීමේ යන්ත්‍රයක් නිපදවන්න. ඒක සාර්ථක වුණා යැයි බුද්ධික පැවසුවේ ඉතාමත් සතුටිනි.
එහෙත් එයට නිසි තැන නොලැබුණු බව පැවසීමට සිදුවන්නේ ඉතාමත් කනගාටුවෙනි.
අද වනවිට පවතින කොවිඩ් වසංගතය නිසා මුදල් හුවමාරුවට මිනිසුන් එතරම් කැමැත්තක් දක්වන්නේ නැත. එය ඔවුන් කරන්නේ නොකර බැරිකමටය. කාර්යාලවල මූල්‍ය ආයතනවල ලිපිලේඛන පිළිබඳ කටයුතු සිදුකරනු ලබන්නේද එවැනිම බියකින් හා සැකයකිනි. ඒ සඳහා විසඳුමක් සෙවීමටද බුද්ධික උනන්දු විය. මුදල් සහ ලිපිලේඛන විෂබීජහරණය කරන උපකරණය ඔහු නිපදවූයේ එම උනන්දුවේ ඵලයක් ලෙසය.
මුදල් සහ අදාළ ලිපිලේඛන මේ යන්ත්‍රයේ සකස්කර ඇති කවුලුව මත තැන්පත් කළ විට ස්වයංක්‍රීයව එහි දොර වැසී තත්ත්පර අටක් වැනි කෙටි කාලයකදී එම මුදල් හා ලිපිලේඛන විෂබීජහරණය කළ බවට සංඥාව ලබාදෙනවා. මෙම උපකරණය සැලසුම් කර තිබෙන්නේ සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රොනික පද්ධතියකින්.
මෙම උපකරණය නිසා මූල්‍ය ආයතනයක හෝ වෙනත් කාර්යාලයක සේවය කරන අදාල ගනුදෙනුවට සම්බන්ධ වන සේවකයා වගේම ගනුදෙනුට පැමිණෙන පුද්ගලයාද වෛරසයෙන් ආරක්ෂා කරනවා. ඒ නිසා දෙපාර්ශ්වයටම බියෙන් සැකයෙන් තොරව ආරක්ෂා වී තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමේ හැකියාව ලැබෙනවා යැයි එම උපකරණයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් බුද්ධික අප සමග පැවසුවේය.
ඔහු එය නව නිපැයුම්කරුවන්ගේ කොමිසමට ඉදිරිපත් කළේය. එහෙත් ඒ සම්බන්ධයෙන් තවමත් නිසි ප්‍රතිචාර එම කොමිසමෙන් ලැබී නැත. එය පරීක්ෂාවට ලක් කිරීමට විශාල වියදමක් යන බවත් එය දැරීමට සූදානම් නම් එම පරීක්ෂණ සිදුකළ හැකි බවද අදාල ආයතන මගින් ඔහුට දැනුම් දී තිබේ. එහෙත් තමන්ට එවැනි ආර්ථිකමය හැකියාවක් නොවූ හෙයින් බුද්ධික එම අනුමැතිය ලබාගැනීම පසෙක දමා කළ නිර්මාණය සමෘද්ධි බැංකුවට ලබාදීමට කටයුතු කළේය. ඔවුන් එය ඉතා කැමැත්තෙන් පරිහරණය කළේ බියෙන් සැකයෙන් තොරව මූල්‍ය ගනුදෙනු හා ලිපිගොනු පරිහරණයට ඉන් ඉඩක් ලැබෙනු ඇතැයි විශ්වාස කළ හෙයිනි.
දැන් ඔහු තවත් නිර්මාණයක් නැතහොත් නව නිපැයුමක් සිදුකර තිබේ. ඒ අප අවට වාතයේ පවතින කොවිඩ් වෛරසය හා වෙනත් විෂබීජ විනාශ කළහැකි යන්ත්‍රයකි. එවැනි නිර්මාණයක් කිරීමට ඔහුට පදනම් වී තිබෙන්නේ රෝහල් කාර්ය මණ්ඩල රෝගීන් සමග ගෙවන අනාරක්ෂිත ජීවිතය පිළිබඳව ඇතිවූ සංවේදිතාවය ය.
කොවිඩ් වසංගතය ටිකෙන් ටික අපේ රටට බරපතල හානියක් සිදුකරන මට්ටමට ළඟාවෙද්දි මගේ හිත මට බලකළා මගේ දැනුම සහ වෘත්තීය අත්දැකීම් එකතුකරලා වෛරසය පරාජය කරන්න පුලුවන් යම් උපකරණයක් නිපදවන්න කියලා. එහි ප්‍රතිඵලයක් ලෙස මම වාතයට මුසුවන කොවිඩ් වෛරසය ඇතුලු වෙනත් විෂබීජ තත්ත්පර කීපයකදී විනාශ කරන යන්ත්‍රයක් (Virus air burnable automatic machine) නිපදවන්න.
යම් රෝහල් වාට්ටුවක, යම් ආයතනයක මෙම උපකරණය ස්ථාපිතකර තිබුණොත් යම් පුද්ගලයෙකුට කැස්සක් හෝ කිවිසුමක් ඇති වූ විට එය හඳුනාගෙන ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වී කැස්සෙන් හෝ කිවිසුමෙන් වාතයට එක් කළ විෂබීජ සියල්ල තමා වෙත ඇද ගෙන යන්ත්‍රයේ පවතින දැඩි උෂ්ණත්වය භාවිතයෙන් විනාශ කිරීමට එයට හැකියාව තිබෙනවා. විෂබීජහරණය කළ වාතය නැවත පරිසරයට මුදා හැරීමත් මේ යන්ත්‍රය මගින් ස්වයංක්‍රීයව සිදු කෙරෙනවා යැයි බුද්ධික තමන්ගේ නිර්මාණය සම්බන්ධයෙන් අප සමග විස්තර කරමින් පැවසුවේය.
ඔහු පැහැදිලි කළ පරිදි මෙම යන්ත්‍රය එය සවිකර තිබෙන ස්ථානය අවට අඩි හතලිහක පනහක පමණ පරාසයක් තුළ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වේ. එය සිදුවන්නේ එම යන්ත්‍රයේ පවතින සංවේදීතාව අනුව ක්‍රියාත්මක වන උපකරණයක් (Censer) මගිනි. මෙම යන්ත්‍රය මගින් මුව ආවරණ නැවත නැවත විෂබීජහරණය කර පැළඳීමේ හැකියාවක් ඇති බවද, ඒ නිසා මුව ආවරණ සඳහා වැය වන අධික මුදල ඉතිරි කිරීමටත්, ඒවා පරිසරයට මුදා හැරීමෙන් සිදුවන පරිසර හානිය වළක්වා ගැනීමටත් එමගින් හැකියාව ලැබෙන බවද ඔහු පැවසුවේය.
ඇත්තටම මම හිතනවා කොවිඩ් වසංගතය හමුවේ මිනිස් ජීවිතත් ආරක්ෂා කරමින් අපේ රටේ ආයතන වැසීමකින් තොරව, රටේ ආර්ථිකය පවත්වාගෙන යාමට මෙම උපකරණ යහපත් ලෙස උපයෝගී කරගත හැකියි කියලා. එහෙම වෙනවා නම් ඒක තමාටත් සතුටක් යැයි බුද්ධික පැවසුවේ නිහතමානී ආඩම්බරයක් සහිතවය.
තමන්ගේ නිර්මාණ පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයත්, අගමැති කාර්යාලයත් කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකායත් දැනුවත් කිරීමට මෙතෙක් උත්සාහ කළද එම උත්සාහයන් වැළකී ගිය බවද ඔහු පැවසුවේ කනස්සල්ලෙනි. එහෙත් මෙම නිර්මාණ පිළිබඳව පුවත්පත්වල පළවූ පසුව හෝ අදාල බලධාරීන්ගේ අවධානය යොමු වනු ඇතැයි බුද්ධික විශ්වාසය පළ කරයි. ඔහුගේ බලාපොරොත්තුව ඉටුකර එයින් රටට සේවයක් සැලසීම බලධාරීන් සතු වගකීම හා යුතුකම වන්නේය.
කොවිඩ් වසංගත සමයේ තවත් බොහෝ දෙනා කළ නිර්මාණවලට අත්වූ ඉරණමම මෙම නිර්මාණවලටද අත් නොවේවායි අපිද ප්‍රාර්ථනා කරන්නෙමු.
මුදිතා දයානන්ද සහ බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ