සම්පත් සීමිත වීමත් මිනිස් අවශ්‍යතා වැඩි වීමත් සමඟ ආර්ථික වර්ධනය පිණිස ව්‍යවසායකත්වය රටක සංවර්ධනයේ අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව තිබේ. වර්තමානයේ ව්‍යාපාරික දර්ශනය වඩාත් සංකීර්ණ වී අභියෝගයට ලක් වෙමින් පවතිද්දී එම අභියෝග හමුවේ බිහිවන නව ව්‍යවසායකයන් අතර ඇත්තේ දැඩි තරගකාරීත්වයකි. සෑමවිටම ව්‍යවසායකයා යනු ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීමේ දක්ෂතාවයක් පවතින ව්‍යාපාරික මට්ටමින් ඒවා ප්‍රයොජනය ගැනීමට අවශ්‍ය සම්පත් එකතු කරගැනීමට හැකි හා උචිත උපායමාර්ග මගින් සාර්ථකත්වයට එළැඹීමට උත්සහ දරන අයෙකි.
‘ඌව මානව සම්පත් සංවර්ධන කේන්ද්‍රය’ යනු තම ව්‍යාපාරය සාර්ථකත්වයට ගෙන ඒමට උත්සහ දරන ව්‍යවසායකයන් සොයා ගන ගමනකදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් අපට හමු වූ ආයතනයකි. මෙය බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කර ඇත. ඌව මානව සම්පත් කේන්ද්‍රය යන නාමය මෙම ආයතනයට ලබා දී තිබෙනුයේ මෙම සංවර්ධන ව්‍යාපෘතිය ඌව පළාත පුරාවටම ව්‍යාප්ත කිරීමත් ඉදිරියට අඛණ්ඩව පවත්වාගෙන යාමත් අරමුණු කොටගෙනය. අලුතින් හඳුන්වා දෙන තාක්ෂණය සමඟ සිදුවන වෙනස් වීමත් සමඟ ගම සංවර්ධනය කරමින් දරිද්‍රතා සීමාවෙන් පහළ සිටින පවුල්වල ආදායම් මට්ටම ඉහළ නැංවීම ආයතනයේ මුඛ්‍ය අරමුණයි.
එහිදී බදුල්ල රිදීපාන ගම්මානයේ ජීවත්වන අඩුආදායම්ලාභී පවුල් ඒකකවල ආර්ථික මට්ටම ස්ථාවර කිරීමට මෙන්ම සුරක්ෂිත කිරීමට අවශ්‍ය නිර්මාණාත්මක ස්වයං රැකියා හඳුන්වාදීම, නව වගා ප්‍රවණතා සඳහා සේවා සැපයීම සහ හරිත ගොවි මිතුරු නාමයෙන් කාබනික පොහොර අලෙවි කිරීමට ගම්වාසීන්ට වෙළෙඳපොළක් නිර්මාණය කිරීම හා අවස්ථා කළමනාකරණය කරමින් නව ව්‍යවසායකයන්ට උපරිම ප්‍රතිලාභ අත්පත් කරදීම මානව සම්පත් සංවර්ධන කේන්ද්‍රය මගින් ලබාදෙන ප්‍රධානතම සේවා පද්ධතියයි.
ඌව මානව සම්පත් සංවර්ධන කේන්ද්‍රය 2017 වර්ෂයේ දී ආරම්භ කරන ලදී. මෙම ආයතනය ආරම්භ කිරීමට පසුබිම සකස් වූයේ මෙලෙසිනි. දුප්පත්කම වඩා බරපතළ තත්ත්වයක පැවතීම මෙම ග්‍රාමයේ ඇතැම් පවුල්වල පවතින ප්‍රධානතම ලක්ෂණයයි. මෙහි දී ග්‍රාමීය සංවර්ධනය සඳහා සැලසුම් කළ රජයේ ඇතැම් ව්‍යාපෘති දේශපාලන පෙරළියත් සමඟ වෙනස් වී නතර විය. ඉතා උද් යෝගීමත්ව මෙම ව්‍යාපෘති හා සම්බන්ධ වන ගම්වාසීහු ව්‍යාපෘතිය අතරමඟ නතර වීමෙන් දැඩි අපහසුතාවට ලක්වූහ. මෙතෙක් පවතින සංවර්ධන ගැටලුවක් ලෙසින් ඔවුන් හඳුනාගෙන ඇත්තේ මෙයයි. මෙම ගැටලුවට විසඳුමක් ලබාදීමේ අපේක්ෂාවෙන් මානව සම්පත් සංවර්ධන කේන්ද්‍රය ආරම්භ කෙරුණි. මෙම කේන්ද්‍රය ආරම්භ වන්නේ ක්‍රියාකාරීන් අටදෙනකුගේ සාමාජිකත්වයෙනි.
කේන්ද්‍රයේ මූලිකත්වය හොබවන්නේ අමිල සදුන් ශ්‍රීනාත් රත්නායක මහතාය. මෙම කණ්ඩායම දිගුකාලීනව ගම්මානයේ බිහිවුණු ඇතැම් සංවර්ධන ව්‍යාපෘතිවල අසාර්ථකභාවය පිළිබඳ සිදුකරන ලද සමීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස මානව සංවර්ධන කේන්ද්‍රය නිර්මාණය කිරීමට පසුබිම් කොට ගෙන තිබේ. එහිදී ග්‍රාමීය ජනතාවගේ අවශ්‍යතා මූලික කර ගනිමින් ප්‍රායෝගික විසඳුම් ලබාදෙමින් ඔවුන්ගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීමට විධිමත් ක්‍රමෝපාය සෙවීමට කටයුතු කර තිබුණි.
ඒ අනුව මුලින්ම රිදීපාන ගම්මානයේ පවතින සම්පත් පිළිබඳ පුළුල් සමීක්ෂණ සිදුකර තිබිණ. බදුල්ල රිදීපාන ගැමියන්ගේ සමිතියේ ප්‍රධාන සාමාජිකයන් මේ පිළිබඳව දැනුවත් කරමින් ප්‍රථමයෙන්ම පවුලේ සාමාජිකයන් ගණනට සාපේක්ෂව ඔවුන්ට ජීවත් වීමට ලැබෙන ආදායම සලකා බලා අඩු ආදායම්ලාභී පවුල් සියයක් ලැයිස්තුගත කරමින් ලබාගත් නියැදියකට අනුව පවුලේ සාමාජිකයන් සමිතිය මගින් රැස්කොට දැනුවත් කිරීමේ සන්නිවේදන වැඩසටහනක් ක්‍රියාක්මක කොට තිබේ. අඩු ආදායම් පවුල් ලැයිස්තුගත කිරීමේ කර්තව්‍යය සඳහා ඔවුන් සහයෝගය ලබාගෙන තිබුණේ වසමේ ග්‍රාම නිලධාරී මහතාගෙනි. ඒ අනුව ඉක්මනින්ම නිෂ්පාදනයට පහසු, අලෙවි කිරීමට පහසු, ඉක්මනින්ම ක්ෂය වී නැවත නැවත නිෂ්පාදනය කිරීමට හැකි, සෑම පන්ති තරාතිරමකටම නැවත නැවත භාවිතයට අවශ්‍ය වන සෑම කාලයකම ලාභයක් ඉපැයිය හැකි ‘සබන් වර්ගයක්’ නිෂ්පාදනය කිරීමට එකඟතාවයකට පැමිණ තිබේ. මෙම සබන් කැටය අලෙවියට ගමේ ඉල්ලුම් තිබෙනවාද යන්න සහ ගැමියන් තමන්ගේ වෘත්තිය ලෙස සබන් කැට නිෂ්පාදනය කිරීමට ඇති කැමැත්ත පිළිබඳව ව්‍යාපාර කණ්ඩායම ගැමියන් සමඟ සාකච්ඡාවකට එළැබ තිබේ. ඒ අනුව මෙම ආයතනය ග්‍රාමීය ජනයාට නිෂ්පාදනය කිරීමට හඳුන්වා දුන් සබන් කැටය “දිරිය වනිතා සබන් කැටය” නමින් හඳුන්වා දී ඇත. එහි බර ග්‍රෑම් 159 කි. මෙය රෙදි සෝදන සබන් කැටයකි. 2017 වසරේ සිට අද දක්වා දිරිය වනිතා සබන් කැටය නිෂ්පාදනය කරමින් වෙළෙඳපොළක් ද නිර්මානය කරගත් ගැමියෝ සාර්ථකව තම ජීවන වෘත්තීය ලෙස මෙම ආයතනය සමඟ අත්වැල් බැඳගෙන සිටින ආකාරය හඳුනාගත හැකිය.
මෙහිදී නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ග්‍රාමීය ප්‍රජාව දායක කර ගැනීම, ඔවුන්ගේ සහභාගීත්වය වැඩි කරවා ගැනීම හා ඒ ඔස්සේ ඔවුන්ට තමන්ගේ ගැටලු තමන් විසින්ම විසඳා ගැනීමට අවශ්‍ය ආත්ම විශ්වාසය සහ ස්වාධීනත්වය සලසා අවශ්‍ය ශක්තිය ලබාදෙනුයේ පුහුණු වැඩසටහන් හරහාය. මෙම ආයතනයේ විශේෂත්වය වන්නේ සබන් නිෂ්පාදනය ක්‍රියාවලියට අවශ්‍ය අමුද්‍රව්‍ය, ආයතනය මගින්ම ඒ ඒ පවුල්වලට සපයමින් ගැමියා සවිබල ගන්වමින් තම වෘත්තීය ලෙස සබන් නිෂ්පාදන ක්‍රියාවලියට සහභාගී කරවා ගැනීමට අභිප්‍රේරණය කිරීමයි. කොළඹ, ගම්පහ, කුරුණෑගල යන ප්‍රදේශවලින් ආයතනයේ සාමාජිකයන් විසින් අමුද්‍රව්‍ය ගෙන්වනු ලැබේ. සබන් කැට නිපදවන්නට අච්චු අවශ්‍ය වේ. ආයතනය විසින් ඉදිරිපත් වී අදාළ අච්චු ලබාදෙමින් සබන් නිෂ්පාදන ක්‍රියාවලියට ගැමියන්ගේ සක්‍රීය සහභාගීත්වය ලබා ගැනීමට උත්සාහ කර ඇත. ඒ අනුව එක පවුලකට අච්චු සියයක් ආයතනය විසින් සපයනු ලැබිණි. ඕනෑම ව්‍යාපාරයක් මුල් මාස කිහිපයේදී පවත්වාගෙන යාම අපහසු කාර්යයකි. නමුත් මෙහි ගම්වැසියන් අවුරුද්දක් පමණ යන විට සබන් කැට නිෂ්පාදනයේ මනා පළපුරුද්දකින් හෙබි පුද්ගලයින් බවට පත්වුණි. මේ හරහා දිගටම තමන්ගේ ව්‍යාපාරය දියුණු කර ගන්නට ඔවුන්ගේ උනන්දුව හා දැඩි කැපවීම මත ගැමියන්ට අවස්ථාව සැලසුණි.
එමෙන්ම සබන් කැට ලේබලය ආයතනය මගින් මුද්‍රණය කර ගැමියන්ට ලබාදෙනු ලැබේ. ඊට අමතරව සබන් කැට විකිණීම සඳහා ගැමියන්ගෙන්ම දක්ෂ වෙළෙන්දන් තෝරා ගෙන ඊට උචිත වෙළෙඳපොළක් ආයතනය මගින්ම නිර්මාණය කර දෙනු ලැබේ. මේ හේතුවෙන් අතරමැදි වෙළෙඳපොළක් නිර්මාණය නොවේ. තවද නිෂ්පාදන අලෙවි කරවා ගැනීමට නොහැකි වූ ගැමියන් සඳහා ආයතනය තොග වෙළෙඳපොළක් නිර්මාණය කොට ගැමියන්ට සේවා පහසුකම් ලබාදීමේ ක්‍රියාකාරී ව්‍යූහයක් අඛණ්ඩව සිදු කරගෙන යනු ලැබේ.
ඌව මානව සම්පත් සංවර්ධන කේන්ද්‍රයේ කාර්ය මණ්ඩලයේ ක්‍රියාපටිපාටිය ද මෙහි දී සුවිශේෂී වේ. ගම්මුන්ට සබන් කැට නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය, අච්චු සහ මුදල් සපයමින් ව්‍යාපාරය දියුණු කරගන්නට උපදෙස් දීම මගින් පමණක් කාර්ය මණ්ඩලය මෙම ව්‍යාපෘතියෙන් ඉවත් නොවේ. ආයතනයේ කාර්ය මණ්ඩලයට වෙන්වුණු තවත් නියමිත රාජකාරී තිබේ. ඔවුන්ගේ ප්‍රධානතම රාජකාරිය වනුයේ ආයතනය සමඟ අත්වැල් බැඳගෙන සිටින ගම්මුන්ට හඳුන්වා දුන් සබන් වර්ගය නියමිත ප්‍රමිතියට නිෂ්පාදනය කරනවා ද යන්න පිළිබඳව පසුවිපරමක යෙදීමයි.
ව්‍යවසායකන්ට සබන් නිෂ්පාදනයේ දී සහ අලෙවියේ දී මතුවුණු අවශ්‍යතා මත කාර්ය මණ්ඩලය විසින් අමුද්‍රව්‍ය, ලේබල්, අච්චු තවදුරටත් සපයනු ලැබේ. තමන්ගේම ව්‍යාපාරයක් ලෙසින් ගොඩනැඟුණු ගමේ ව්‍යවසායකන්ගේ සාර්ථකත්වය පිළිබඳව කටින් කට තොරතුරු හුවමාරු වෙමින් ගමේ කතිකාවතක් ගොඩ නැගී මුල්ම පවුල් සියයට අමතරව ආයතනය හා එක්වුණු තවත් අඩුආදායම් පවුල් සැලකිය යුතු ප්‍රමාණයක් අද වන විට සබන් නිෂ්පාදනය හා අලෙවිය සමඟින් එකතු වී සිටින බව ආයතනයේ කාර්ය මණ්ඩලයෙන් සාක්ෂි සහිතව දැකගත හැකිය. මේ අනුව උනන්දුවෙන් හා කැපවීමෙන් තම ව්‍යාපාරය දියුණු කර ගැනීමට උත්සාහ දරන ගම්මුන්හට ආයතනයේ නොමද සහාය ලැබෙනු ඇත. දිනෙන් දින සබන් කැට නිෂ්පාදනය කරන ප්‍රමාණය හා අලෙවි කරන ප්‍රමාණය වැඩි කළහොත් ස්ථීර මාසික වැටුපක් ලබාගැනීමට හැකි තත්ත්වයට අඩු ආදායම්ලාභී පවුල් සාමාජිකයන්ට සංවර්ධනය විය හැකිය. මෙම තත්ත්වය මානව සම්පත් සංවර්ධන ආයතනය මගින් රිදීපාන ගම්මානයට ලබාදෙන ප්‍රධානතම සංවර්ධන දායකත්වයයි.
මෙම ආයතනයේ දැනට පවතින ප්‍රධානතම ගැටලු වන්නේ කාර්යක්ෂමතාවය අඩු බව, අලෙවිය සම්බන්ධ ගැටලු මෙන්ම මූල්‍යමය ප්‍රතිපාදන සම්බන්ධ ගැටලුවයි. මෙහි දී මෙම ආයතනයේ සාමාජිකයන්ගේ යෝජනාව වන්නේ තම ව්‍යාපාරය සංවර්ධන ක්‍රියාවලියට ලබාදෙන දායකත්වය වෙනුවෙන් රජයේ අනුග්‍රහකත්වය ආයතනයට ලබාදෙනමින් රජය හා අනුබද්ධව කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසටයි. එයින් ශ්‍රී ලංකාව පුරාවටම දිරිය වනිතා සබන් නිෂ්පාදනය ස්වදේශීය නව නිෂ්පාදනයක් ලෙසින් තරඟකාරී වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව ඔවුන්ගේ විශ්වාසයයි.
තරුෂි නෙත්මිණි
ජනසන්නිදෙව්න අධ්‍යයනාංශය
කැලණිය විශ්වවිද්‍යාලය