ආදිවාසී නායක කියන කතාව
- එයා මගේ ඇවැස්ස නෑනා
“මේ ඇත්තෝ කතා දමන්නේ කොරෝනා නොවෙයි. මේ තැන කෝල 18 ක්, සන්නි 18 ක්, වලිප්පු 18 ක් තිබෙනවා. මේ වාගේ එකම වලින් අමාරු තැන එකමවලුත් තිබෙනවා. බෙහෙත් තැනින් ගුණ පොජ්ජ් මන්දොකරන අමාරුතැන කෝලත් තිබෙනවා. බෙහෙත් වලින් ගුණපොජ්ජ හිත්ලාන කෝලත් තිබෙනවා.’’ එසේ කියන්නේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන්ය.
කොරෝනා කියල කතා දැම්මට ලෝක පොජ්ජෙ මොන එකෙක්වත් මේකට බෙහෙතකුත් සෙවුම්පොජ්ජ මන්දොකරගෙන කොදොයි නේ. හැබැයි කොරෝනා කියන එකට ගුණපොජ්ජ මන්දොවෙන්න කැලෑපොජ්ජේ තිබාන කොළ, මල්, පොතු, ගෙඩි .. ඒතැන්වලින් තමයි වැඩි තැනක් සනීප මන්දොවෙන්නේ. නිරෝධායනය කියාල රුකුල් පොජ්ජේ මන්දොවුනොත් කොත්තමල්ලි දියරච්ච තමයි මන්දො කරන්නේ. ඒ දුම්පොජ්ජ තමයි අල්ලන්නෙ.
සෙම්පොජ්ජ නරක්වෙල තිබෙනවා. ඒකට තමයි දැන් කොරෝනා කියල කතා දමන්නේ. කොරෝනා කියල අමුතුවෙන් ලෙඩ පොජ්ජයක කොදොයි.
මේ ඇත්තන්ගේ නෑනිල ඇත්තොත් මිය බෙට දැම්මේ කොරෝනා වලින් කොදොයි.
“මම නම් තවමත් කියන්නේ කොරෝනා කියල ලෙඩක් නැහැ. කෝල 18 ක්, සන්නි 18 ක්, වලිප්පු 18 ක් තියෙනවා. බෙහෙත් වලින් හොඳ වෙන කෝලත් තියෙනවා. බේත් වලින් හොඳකරන්න බැරි කෝලත් තියෙනවා. කැලේ තියෙන මුල්, මල්, පොතු, ගෙඩි වලින් හදන බේත් වලින් තමයි බොහෝ දෙනෙක් සුවය ලබල තියෙන්නේ. ඉඟුරු, කොත්තමල්ලි බිව්වම, හුමාලය ඇල්ලුවම සුවය ලැබෙනවා.
නිරෝධායනය කියලා දෙන්නෙත් මේවා තමයි. කොරෝනා කියල කිව්වට ඒකට ලෝකයේ කවුරුවත් බෙහෙතක් සොයාගෙන නැහැ.
සෙම නරක්වෙලා තියෙනවා. ඒකට තමයි කොරෝනා කියල නම දාගෙන තියෙන්නේ.
මගේ බිරිඳ මියගියෙත් කොරෝනා වලින් නෙවෙයි.
ආදිවාසී නායක, විශ්වකීර්ති, වනස්පති ඌරුවරිගේ වන්නියලැ ඇත්තන් එසේ පැවසුවේ, දඹාන, කොටබකිනියේ පිහිටි සිය පැල්පතේ දී ඉරිදා ලංකාදීපය සමග දොඩමලු වෙමිනි.
ඔහුගේ බිරිඳ වූ ඌරුවරිගේ හීංමැණිකා මාතාව පසුගියදා කළුරිය කළාය.
එම මළගමෙන් පසු මේ නායකයා තවමත් දැඩි සංවේගයෙන් පසුවෙන්නේය.
මේ වන විට රැහේ සම්ප්‍රදායට අනුව හත් දිනයේ නෑයකුන් පිදීම දින, 14 නෑයකුන් පිදීම හා මහා සංඝයා වහන්සේ වෙත දන් පිළිගැන්වීම යනාදී මියගිය ප්‍රානකාරයාට සෙත් පතා කළ යුතු දේ අවසන් කර තිබිණ.
ඊළඟට නෑයකුන් පිදීම හා මහා සංඝයාවහන්සේට දන් පිළිගැන්වීම මාස තුනක් පිරෙන දා සිදුකරන බව වන්නියලැ ඇත්තෝ පැවසූහ.
බිරිඳගේ ගුණ සුවඳ වනය සිසාරා දැනෙන බවත්, එම වියෝව දරාගත නොහැකි බවත් පැවසුවේ හැඟුම් බරවය
“මගේ බිරිඳ වෙන නායකයන්ගේ භාර්යාවන් වගේ එක එක තැනට ගිහිල්ලා, කැපීපෙනෙන වැඩ කළේ නැහැ. එයා සරල ජීවිතයක් ගත කළේ.
මම නායකයා වුණත් මගෙත් වරදක් දැක්කොත් පෙන්වලා දෙනවා. මම ගන්න ගිය තීරණ නිසා අමාරුවේ වැටෙන්න ගිය අවස්ථාවලදී ඔය වැඩේ කරන්න එපා. එතැනට යන්න එපා එහෙම කතා දානවා.
“මගේ පාලුව මකන්න දරුවො නිතරම ඇවිත් ගියත් බිරිඳගේ මතකය නම් අමතක කරන්න බැහැ” යැයි පවසා නිහඬ වී බිම බලාගත්තේය.
සුසුමක් හෙළා යළි කතාව පටන් ගත්තේය.
නෑනිල ඇත්තෝ (බිරිඳ) වැඩි කතා බහක් නැහැ. මොනව හරි ඇහුවොත් උත්තර දෙනවා එච්චරයි. සමහර වෙලාවට දෙතුන් පාරක් ඇහුවත් කල්පනා කරලා තමයි උත්තර දෙන්නේ. දරුවන්ට කවදාවත් බැන්නෙ නැහැ.
කවුරුහරි ඉල්ලුවොත් අතේ තියෙන දේ හරි දෙනවා. රැහේ කොයි කාටත් නිහඬව උදව් කළා. ගෙදර වටේටම කූර, කරපිංචා, එළබටු වැවිල තිබුණත්, වෙලාවකට මහියංගනය පොළට යනවා. ඒ ගමේ සමහර කාන්තාවෝ මහියංගණය පොළට මේ වගේ දේවල් අරන් ගිහින් විකුණල ජීවත් වෙන නිසා.
ඒගොල්ලන්ගේ වෙළෙඳාම වැඩිකරන්න කියන අදහසින් මේ ජාති මිලදීගෙන එනවා. හැබැයි ගෙදර වටේටම මේවා වැවිල තියෙනවා.
කෑම බීම ගැන එතරම් උනන්දුවක් නැහැ. කාලෙකින් මස් කෑවෙත් නැහැ.
ගෙදර වටේටම පොලිතින් මලු භාජන තියෙනවා. සතුන්ට කෑම දාල වතුර දාපු තැන් හා භාජන තමයි මේ වගේ තියෙන්නේ.
හාවා, මුවා, බල්ලා, රිලව්, අලි කොයි සතාත් මේ කෑම කනවා.
“අවුරුදු 11 ක් තිස්සේ නෑනිල ඇත්තො (බිරිඳ) වකුගඩු රෝගයෙන් පෙලුණා.
මගේ එකම දුව වන සෝමාවතී පසුගියදා එයාගේ වකුගඩුවක් අම්මා වෙනුවෙන් දන් දුන්නා. එම වකුගඩු බද්ද සැත්කම කළාට පස්සේ සුවය ලබා සිටියා. හැබැයි බේත් ගත්තා. ඊට පස්සේ ටිකක් සනීප නැති වුණා. වතුර බොන්න වත් බැරි වුණා. මම නෑනිල ඇත්තෝ මහියංගනය ඉස්පිරිතාලෙට අරන් ගියා.
වකුගඩුවලට දුන් බේත් ඉස්පිරිතාලෙට අරන් ගිහින් එයාට දුන්නා. ඊට පස්සේ අසනීප ගතිය අඩුවුණා. කතා කළා.
පසුගිය අගෝස්තු මාසේ 25 වැනිදා රාත්‍රි 11.30 විතර මට දැන් සනීපයි දොස්තර මහත්තයට කියල ගෙදර යමු කියලා කිව්වා.
ඒත් ටිකට් කැපුවේ නැහැ. මම ගෙදර ආවා.
ඒත් ඊට පස්සේ ඉස්පිරිතාලෙන් කිව්වා නෑනිල ඇත්තන්ට කොරෝනා කියලා. එයා පේරාදෙණිය රෝහලට අරන් ගිහින් තිබුණා. මමත් දරුවොත් නිවෙස් නිරෝධායනයට ලක්කළා. අපට පුත්තු හත් දෙනෙක් හා එක දුවක් සිටියා. එක දුවක් අවුරුදු තුනේදී වලිප්පුව හැදිලා මිය ගියා.
නෑනිල ඇත්තන්ට කොරෝනා කිව්වට පස්සේ අපේ පවුලම පීසීආර් පරීක්ෂණයට ලක්කළා.
පුත්තු පස් දෙනෙක්ට කොරෝනා කියල කිව්වා.
මේ අතරේ තමයි අගෝස්තු මස 31 වැනිදා පේරාදෙණියේ ඉස්පිරිතාලේ ඉඳලා බිරිඳ අවසන් වරට මට කතා කරන්න උත්සාහ කළේ. ඒ මගේ මල්ලි කෙනෙකුගේ ජංගම දුරකථනයෙන්.
හැබැයි එයා කියන කිසිම දෙයක් මට ඇහුණේ නැහැ. එයාට කතා කරන්න බැරිව ගියා.
සැප්තැම්බර් මාසේ 4 වැනිදා බිරිඳ මියගියා කියල දැනගන්න ලැබුණා.
අවමගුල සිදුවුණේ ආදිවාසීන්ගේ අවමංගල සම්ප්‍රදාය අනුව නොවෙයි නේද?
ආදිවාසී සිරිත් අනුවනම් දේහය තැන්පත් කළ යුතු වන්නේ හික් ගසේ පොතුවලින් සෑදූ මිනී පෙට්‍ටියක.
දේහය සොහොනට රැගෙන ආ යුත්තේ ගැටබෝ ගසේ පොතුද, රිටිගස්වල පොතුද යොදාගනිමින් ගැටකිරිවැල් වලින් බැඳ සකස්කරන ලද දෙණක තබාගෙන.
නමුත් පවතින කොවිඩ් 19 නීති රීති හමුවේ වුවද ඇතැම් චාරිත්‍රවලට කිසියම් සහනයක් ලබාදීමට රජය කටයුතු කළා.
ඒ අනුව මහා සංඝයාවහන්සේ වැඩමකරවලා මතකවස්ත්‍ර පූජාව හා පැන් වැඩීම සිදුකිරීමට හැකි වුණා.
මිය ගිය ප්‍රාණකාරයා වෙනුවෙන් නෑයකුන් පිදීමට ස්ථානයේ හැටියට අවස්ථාව ලබාදීම ගැන මා ස්තුතිවන්ත වෙනවා. මෙය හඳුන්වන්නේ “කට කිරියා තටුව” නමින්.
මොනවද කටකිරියා තටුවට තියෙන්නේ. කොහොමද ඒක හදන්නේ ?
මේ සඳහා උපයෝගී කරගන්නේ ගොටු (කුඩා වට්ටි) සකසන්නේ ගැටබෝ ගස්වල පට්ටාවලින්.
තටුව නැති වුණත් ආහාර ගොටු සකස්කර ගන්න පුළුවන් වුණා.
නෑනිලඇත්තන් කෑමට ප්‍රිය කළ මීපැණි, වැල්අල, ගෝනල, කුරක්කන් තලප හා බඩ ඉරිඟු තලප වගේ දේවල් තටුවට තැබුවා.
නෑනිලා ඇත්තන්ගේ ලී මිනීපෙට්ටිය අදාහනාගාරයට ඇතුළු කරලා පිච්චුවා. මං හිතන්නේ පුච්චපු එකම ආදිවාසී මරණය මෙය වෙන්න ඇති.
යුග ජීවිතයේ අමත නොවන මතකයන් ඇති ?
ඔව් ....
අපි දෙන්නාගේ කසාදේ සම්ප්‍රදායට තරමක් වෙනස්..
අපි දෙන්නා හඳුනාගෙන ප්‍රේම සම්බන්ධයක් ඇතිවුණා.
එයා මගේ ඇවැස්ස නෑනා. අප්පිල ඇත්තෝ මේ සම්බන්ධයට විරුද්ධ වුණා.
එතකොට නෑනිල ඇත්තන්ගේ වයස අවුරුදු 18යි. මට 20 යි.
මම දවසක් නෑනිලඅරගෙන මහගෙදරට ආවා. එදා තාත්තා ගැහුවේ නැති එක විතරයි. හොඳටම තරහ ගිහින් කෑ ගැහුවා. පස්සේ අම්මා, තාත්තා සනසලා තරහ මරහ නැති කළා.
ඊට පස්සේ අප්පිල ඇත්තෝ මියබෙට දාන දවස වෙනකල්ම ආදරෙන් හිටියා.
අපි එම පැල්පතෙන් සමුගන්නා විට මගේ මතකයට නැගුණේ මේ පැල්පතට වෙනදා එන විට සිනා වෙන් අපට සංග්‍රහ කළ එහෙත් දැන් කැලෑපොජ්ජ හැරගොස් ඇති නෑනිලඇත්තන්ගේ අහිංසක මුවකමලය.
රැහේ ඇත්තන් පතන ලෙස මේ මාතාවගේ ආත්මය සුවපත් වන ලෙසට ඉරිදා ලංකාදීපය වෙනුවෙන් අපද පතමු.
සටහන
බදුල්ලේ පාලිත ආරියවංශ