නිෂ්පාදන ක්‍රියාවලියට තරුණ උගතුන් දායක කරගන්නා මග


දේශීය නිෂ්පාදන රැකගැනීමට හා ප්‍රගුණ කිරීමට අවශ්‍ය වන්නේ ඇයි?   


වත්මන් ගෝලීයකරණය ඉදිරියේ ඕනෑම රටක පැවැත්ම සඳහාත්, රටට විදේශ වත්කම් (විනිමය) උපයා ගැනීම හරහා රට සංවර්ධනය කිරීම සඳහාත්, එම රටෙහි නිෂ්පාදිත භාණ්ඩ හා සේවා විදේශීය වෙළඳපොළට නිකුත් කිරීම අත්‍යාවශ්‍ය වේ.   


දිගු කාලීන වශයෙන් විශ්වාසය තැබිය නොහැකි සංචාරක කර්මාන්තය හා මැදපෙරදිග රැකියා වෙනුවට, දේශීය නිෂ්පාදන හා සේවා විදේශ වෙළෙඳපොළට නිකුත් කිරීම මඟින්, විදේශ විනිමය ලබාගැනීම දිගු කාලීන ආර්ථික ක්‍රියාවලියක පදනම විය යුතුයි. 

 
අප රටෙහි යම් ප්‍රමාණයකට හෝ පැවති දේශීය නිෂ්පාදන භාණ්ඩ හා සේවා, පසුගිය වකවානුව තුළ දියවී ගොස් ඇති අතර, එම නිෂ්පාදකයන් පවා හුදු විදේශ භාණ්ඩ මෙරටට ගෙනැවිත් විකුණන වෙළෙඳුන් බවට පත්වී ඇත. මේ නිසා, මෙම තත්ත්වය ආපසු හැරවීම සඳහා ක්ෂණික පිළියම් යෙදිය යුතුව ඇත.   
කලින් සාර්ථකව පැවති හා දැනට දුර්වලව පවත්නා දේශීය නිෂ්පාදන යළි ඇරඹීමටත්, පවත්නා දේශීය නිෂ්පාදන රැක ගැනීමටත්, මෙම නව නිෂ්පාදන හා සේවා විදේශීය වෙළෙඳපොළට නිකුත් කිරීමටත්, නවීන තාක්ෂණය මගින් ඒවායේ ගුණාත්මක භාවය වැඩිකළ යුතු අතර මිල ද තරගකාරී විය යුතුය. නො එසේ නම් ඒවාට, පවත්නා ගෝලීය ආර්ථිකය තුළ තිබෙන අභියෝගවලට මුහුණදීමට නොහැකි වේ.   


මෙය ඉටුකර ගත හැක්කේ කෙසේද?   


මෙම කාර්ය සාර්ථක ලෙස ඉටුකර ගත හැක්කේ, දේශීය නිෂ්පාදන හා සේවාවල ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමටත් අධිතාක්ෂණික හා වෙනත් නව නිපැයුම් බිහිකිරීමටත් අප සතු වූ ද, විදෙස් රටවලින් පුහුණුව ලැබූ ශ්‍රී ලාංකීය විද්‍යාඥයන් මගින් ලබාගන්නා වූ ද විද්‍යා තාක්ෂණ ඥානය හැකිතාක් භාවිතයට ගැනීමෙන් පමණි. ඉන්දියාව හා චීනය (සාමාන්‍ය වේගයකිනුත්) දකුණු කොරියාව (කඩිනමිනුත්) මෙම ක්‍රියාවලිය සාර්ථක ලෙස ඉටුකරගෙන හා ඉටුකර ගනිමින් සිටින, අප හට උදාහරණ ලෙස ගත හැකි දේශීය නිෂ්පාදන මත පදනම් වූ ආර්ථික වේ.   


මේ සඳහා විදේශීය වෙළෙඳපොළෙහි දැනටමත් යම් පමණකට ඉල්ලුමක් ඇති දේශීය නිෂ්පාදන හා සේවා නිරවුල්ව හඳුනාගත යුතුවේ. හැකිතාක් දුරට මේවා අප රටෙහි නිපැයෙන අමුද්‍රව්‍ය මත පදනම් විය යුතු වේ. මිනිරන්, ඛනිජ ද්‍රව්‍ය, රබර් ටයර්, මැණික් හා ස්වර්ණාභරණ, සුරතල් මසුන්, කුළුබඩු, ආයුර්වේද ඖෂධ ආදිය උදාහරණ කීපයකි.   
නව අදහස් හා නව නිපැයුම් හඳුනාගැනීමට හා බිහිකිරීමට ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක වන නවෝත්පාදන වැඩපිළිවෙළක් දියත් කළ යුතු වේ.   


දකුණු කොරියාව, ඉන්දියාව හා චීනය වැනි රටවල මෙන් විද්‍යාව තාක්ෂණය හා නවෝත්පාදනය රජයේ ඉහළම දේශපාලන නායකයින්ගේ ප්‍රමුඛතා ලැයිස්තුවෙහි ඉහළින්ම තැබිය යුතු වේ.   
දැනට මෙරට විද්‍යාත්මක පරීක්ෂණ සඳහා වැය කෙරෙන්නේ දේශීය දළ ජාතික ආදායමෙන් 0.12% කටත් වඩා අඩු ප්‍රතිශතයකි. මෙය ඉන්දියාව (1.0%) මැලේසියාව (0.6%) හා දකුණු කොරියාව (2.9%) හා සැසඳීම වටී. මෙය රටෙහි අනාගත අභිවෘද්ධිය සඳහා කෙරෙන දිගු කාලීන ආයෝජනයක් සේ සලකා සෑම වසරකට (0.2%) කින්වත් වැඩි කළ යුතුවේ.   


මෙම ක්‍රියාදාමය දියත් කළ හැක්කේ, දේශීය පෞද්ගලික නිෂ්පාදකයන් හා කර්මාන්තකරුවන් හරහා රජයේ ප්‍රබල මැදිහත්වීමකින් ද යුතුය. 75% ක් පමණ පෞද්ගලික අංශය ද 25% පමණ රජය ද මෙසේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්ෂේත්‍රයට පිවිසිය යුතු අතර මෙම සමස්ත ක්‍රියාවලියම රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම ක්‍රියාත්මක විය යුතුය.   


ඉන්දියාවට ස්වාභාවික සම්පත් ඇත. විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයේ උගතුන් ද ඇත. දකුණු කොරියාවට සොබා සම්පත් ඉතා විරලය. ඇත්තේ විද්‍යා හා තාක්ෂණයෙන් පෝෂණය කළ මිනිස් සම්පත් පමණි. අපට සොබා සම්පත් යම් ප්‍රමාණයක් ඇත. ඛනිජ සම්පත්, තේ, රබර්, පොල්, කුළුබඩු, මුතු මැණික්, රට වටේ සයුරක්, අපට ආවේනික තුරුලතා හා ඖෂධ පැළෑටි, මේ කුඩා රටට ඕනෑ තරම් සෑහේ. එහෙත්, අප මෙතෙක් නිසි පරිදි ප්‍රයෝජනයට නොගත් සම්පතක් ද ඇත. එය නම් උගත් මිනිස් සම්පතයි. 

 
ශ්‍රී ලංකාව, නිදහස ලැබීමෙන් පසුව කරන ලද එක් වැදගත් ආයෝජනයක් ඇත. එය නිදහස් අධ්‍යාපනයයි. මෙතෙක් මෙරට දරු පරපුර හා තරුණ පරපුර ඉමහත් විශ්වාසයකින් යුතුව යොමුවන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයටයි. ඒ සඳහා ඉල්ලුමට සරිලන සේ උසස් අධ්‍යාපන පහසුකම් සැලසීමට පවා මෙතෙක් පැවති රජයන් අපොහොසත් වී ඇත. එසේ වුවද, වත්මන් තත්ත්වය දෙස බලන විට උසස් අධ්‍යාපනයට යොමු වන 2% පමණ තරුණ පෙළ වෙනුවෙන් විශ්වවිද්‍යාල හා වෙනත් තෘතීයික අධ්‍යාපන ආයතන නඩත්තු කිරීම සඳහා සෑම රජයක් විසින්ම විශාල මුදලක් ආයෝජනය කරනු ලබයි. (එය එසේම විය යුතුය) පාසැලෙන් පිටවන ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතුරින් දක්ෂතම 2% ඇතුළු වන්නේ විශ්වවිද්‍යාල පද්ධතියටය. ඉනුත් බොහෝමයක් විද්‍යාත්මක ක්ෂේත්‍ර ආශ්‍රිත පීඨවලට ඇතුළු වේ. වෛද්‍ය, ඉංජිනේරු, දන්ත වෛද්‍ය, පශු වෛද්‍ය, කෘෂි විද්‍යා ආදී පීඨ හරහා වසර 3-4 පාඨමාලා හදාරා, මෙකල සමාජයට පිටවන විද්‍යා උපාධිධාරීන් අතරින් ක්ෂණිකව රැකියා ලබාගැනීමට හැකිවන්නේ අතලොස්සකට පමණි. වෛද්‍ය උපාධිධාරීන්ට හැර සෙසු අයට, රජයේ රැකියා ඇත්තේම නැති තරම්ය. පෞද්ගලික අංශයේද තිබෙන රැකියා ඉතා සීමිතය. කලා හා වානිජ උපාධිධාරීන්ද එකතු වූ විට, මෙම විරැකියා ප්‍රතිශතය තවත් ඉහළ නගී. රටේ සම්පත් වැයකොට දෙමාපියන්ගේ ද සම්පත් ආයෝජනය කොට, සමාජයට බිහිකරන, අප සමාජයේ බුද්ධිමත්ම තරුණ පිරිසට මෙසේ විරැකියාව උරුම කිරීම මොනතරම් අභාග්‍යයක්ද?   


පිළියම් ද අප සන්නයේම ඇත   


මෙම උගත් තරුණ පරපුර, මාස 6ක් 12ක් පමණ කෙටි කාලීන පුහුණුවකින් පසුව අපගේ දේශීය නිෂ්පාදන ක්ෂේත්‍රය පණගැන්වීම සඳහා අපට අත්‍යාවශ්‍ය වන, මනා අධ්‍යාපන පසුබිමකින් යුත් බුද්ධිමත් මිනිස් සම්පතක් වීම අපගේම භාග්‍යයක් නොවේද? එය එසේ ධනාත්මක ලෙස යොදා ගැනීම, මීළඟ රජයේ වගකීමක් සේ සලකමු. මෙතෙක් අප විසින් උසස් අධ්‍යාපනය හරහා ආයෝජනය කර නිපද වූ මෙම මිනිස් සම්පත, විරැකියා පෝලිම්වල නොරඳවා, නිෂ්පාදන ක්ෂේත්‍රයට නොපමාව යොමු කරමු.   


මෙය ප්‍රායෝගිකව සිදු කරන්නේ කෙසේද?   


දැනටමත් අපනයනය කෙරෙන නිෂ්පාදනවල ගුණාත්මක බව වැඩි දියුණු කිරීම හා එම කර්මාන්ත ප්‍රසාරණය කිරීම සඳහා දේශීය නිෂ්පාදකයනට (පෞද්ගලික) රජය පූර්ණ අනුග්‍රහය දැක්විය යුතුය. ඒ කර්මාන්තවල නිෂ්පාදන ධාරිතාව අනුව, උපාධිධාරීන් යම් සංඛ්‍යාවක් (5, 10, 20) ඒ සෑම ආයතනයකටම අනුයුක්ත කළ යුතු අතර, මොවුන්ගේ මාසික දීමනාවෙන් 50%ක්වත් රජය විසින් දැරිය යුතුය. නොඑසේ නම් වසර 5කින් ආපසු ගෙවීමේ කොන්දේසිය මත, පෞද්ගලික ආයතනයට සහන ණයක් සේ වත් ලබා දිය යුතුය. නිෂ්පාදන ක්‍රියාවලිය නවීකරණයකොට ප්‍රසාරණය කිරීම සඳහා අත්‍යවශ්‍ය යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි ආදිය සඳහා අඩු පොලී බදු සමා ආදියෙන් අනුග්‍රහ දැක්විය යුතුය. විදෙස් ගත වී සිටින ශ්‍රී ලාංකික විද්වතුන්ගේත්, දේශීය පර්යේෂකයන්ගේත් දායකත්වය මෙම කාර්ය සඳහා නොමඳව යොදා ගත යුතුය. දකුණු කොරියාව 1970-1980 දශකය තුළ මෙවැනි ක්‍රියාදාමයක් ඉතා මැනවින් සාක්ෂාත් කරගත් රටකි. මේ සඳහා අපගේ දේශීයත්වය හා ජාතික මමත්වය අවදි කරවා ගැනීම ද (දකුණු කොරියාව හා ඉන්දියාව මෙන්) අත්‍යවශ්‍ය වේ.   


මෙම සමස්ත ක්‍රියාදාමය තුළින් අපි මූලික අරමුණු දෙකක් එක්වර ඉටුකර ගනිමු. එක් අතකින් දේශීය නිෂ්පාදනය හා සේවා අනාගත ගෝලීය වෙළෙඳපොළෙහි තරග කිරීමට අත්‍යවශ්‍ය වන ගුණාත්මක වර්ධනය අපගේ උපාධිධාරීන්, විද්වතුන් හා විද්‍යාත්මක පර්යේෂණ හරහා ලබා ගනිමු. අනෙක් අතට අපගේ සමාජයෙහි දැවෙන ප්‍රශ්නයක් බවට පත්කොට ඇති එහෙත් එය එසේ නොවිය යුතු අපගේ දෙමාපියන් හා රජයන් අධික ලෙස ආයෝජනය කොට, ‘නිපදවා’ විරැකියා පෝලිම්වලට ඇද දමා ඇති රටේ උගත් බුද්ධිමත් තරුණ කොටස්, අපගේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා මෙලෙස සක්‍රීයව සහභාගී කරවා ගනිමු. එනම් මොවුන් රටෙහි ආර්ථික වර්ධනයට දායක වන ඵලදායි රැකියාවල හිමිකරුවන් කරමු. රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දිය යුත්තේ මෙම ක්‍රියාදාමය සාක්ෂාත් කරගැනීම සඳහාය.   


විද්‍යාත්මක පර්යේෂණ සඳහා මෙරට රජයෙන් වැය කෙරෙන මුදල ඉතා අල්පය. පසුගිය රජය සමයේ එය තවත් පහළට වැටුණි. දූරදර්ශී රජයක පිළිවෙත විය යුත්තේ, රටේ අනාගත අභිවෘද්ධිය සඳහා, විද්‍යාත්මක පර්යේෂණ සඳහා වැඩි වැඩියෙන් ප්‍රතිපාදන ලබා දීමයි. ඉන්දියාවේ ශ්‍රී නේරු කාලයේ 1960 දශකයේ සිට කරන ලද ආයෝජනයෙන් ද දකුණු කොරියාවේ 1970 දශකයේ සිට කරන ලද ආයෝජනයෙන් ද එම රටවල දැනට ලබමින් තිබෙන දියුණු මේ සඳහා උදාහරණ වේ.   


නුදුරු අනාගතයේදීම මුහුණ දීමට සිදුවන ගෝලීය වෙළෙඳපොළ අභියෝගවලින් ආරක්ෂා වී අප රට දේශීය අපනයන කර්මාන්ත දියුණු කිරීම සඳහාත්, නව අපනයන කර්මාන්ත හා සේවා ඇති කිරීම සඳහාත්, විරැකියාවට ක්ෂණික හා මධ්‍ය කාලීන විසඳුම් වශයෙන් උපාධිධාරීන්ගේ සේවය දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය හා බද්ධ කිරීම සඳහාත්, විද්‍යාත්මක හා තාක්ෂණ දැනුම මත පදනම් වූද රජයේ ඉහළම අනුග්‍රහය ලැබෙන්නා වූද වැඩපිළිවෙළකට ශ්‍රී ලංකාව කඩිනමින් ප්‍රවිශ්ට විය යුතු බවයි.   


මේ සඳහා විවිධ ක්ෂේත්‍රවල පර්යේෂණ ප්‍රගුණ කළ විද්වතුන්ගෙන් හෙබි බුද්ධි මණ්ඩලයක් හා දේශීය නිෂ්පාදකයින්ගෙන් හා රජයේ වගකිව යුතු තීරණ ගන්නා ජ්‍යෙෂ්‍ඨ අමාත්‍යවරුන් අතර නිරන්තර සංවාදයක් හා ඉන් බිහිවන ප්‍රායෝගික වැඩපිළිවෙළක් හය මසක් තුළ එළිදැකිය හැකි නම් එය අප සැමගේ ජයග්‍රහණයක් වනු ඇත.   


“විද්‍යා තාක්ෂණ, පර්යේෂණ හා කර්මාන්ත ප්‍රවර්ධන” නමින් නව අමාත්‍යාංශයක් ඇති කර, මෙම වැඩපිළිවෙළට කඩිනමින් අවතීර්ණ විය හැකිය.   

 

මහාචාර්ය
ලක්ෂ්මන් දිසානායක   
සම්මානිත මහාචාර්ය (භෞතික විද්‍යාව) පේරාදෙණිය විශ්වවිද්‍යාලය