පන්සල් බුදු මැදුරේ චිත්‍ර ඇන්ඳ ගුරුතුමිය


බුදු මැදුරේ චිත්‍ර අඳින ගුරුතුමිය

 

වර්තමාන සමාජයේ පිරිමින් හා සම තැන්ව යමින් තමන්ට ද කළ නොහැක්කක් නොමැති බව කාන්තාවන් ද ඔප්පු කර අවසානය. ඇතැම් අවස්ථාවල දී ⁣පිරිමින් අභිබවා යමින් කාන්තාවන් පෙරමුණ ගත් සිදුවීම් ලොව නන් දෙසින් වාර්තා වේ.   


මේ ලියන්නේ අප උපන් ශ්‍රී ලංකාවෙන් ද වාර්තා වන එවැනිම දෙයක් ගැනය.   


 පිරිමින් හා සම තැන්ව හිඳිමින් සිදු කළ මේ කාර්යයේ හිමිකාරිය සුලෝචනා වජිරකාන්තය. වෘත්තීයෙන් චිත්‍ර ගුරුවරියක වන සුලෝචනා මේ වනවිට ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ චිත්‍ර ශිල්පය භාර ගුරුවරිය ලෙස සේවය කරයි. ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය ඇය අධ්‍යාපනය ලැබූ එක් පාසලක් වන අතර අධ්‍යාපනය ලැබූ අනෙක් පාසල දොඩම්ගස්ලන්ද මධ්‍ය මහා විද්‍යාලයයි.   


තරුණ ගුරුවරියක වන සුලෝචනා දක්ෂ චිත්‍ර ශිල්පිනියක වන අතර ඇය මේ දක්ෂතාව නිසාම මෙරට විහාරස්ථානයක සම්පූර්ණයෙන්ම සිතුවම් ඇඳ නිම කළ චිත්‍ර ශිල්පිනියක ලෙස පසුගිය දා වාර්තාවක් ද තැබුවාය.   


 මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි නාඋල අඹන මොරගොල්ල විහාරස්ථානයේ මෑතක දී ඉදි කරන බුදු මැදුරේ සිතුවම් නිර්මාණය කිරීමේ භාරදූර කාර්ය භාරය ඇය ඉටු කළාය. ඇයට මේ භාරදූර කාර්යය පැවරු​ණේ ඇය රාජකාරි කටයුතු කළ ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේම ගුරුවරයෙකු ලෙස සේවය කරමින් සිටින මාරක ධම්මරතන හිමියන්ගේ ඇරැයුමකට අනුවය. ධම්මරතන හිමියෝ මොරගොල්ල විහාරස්ථානයේ අධිපති හිමියන් ලෙස කටයුතු කරති.   

 


 ධම්මරතන හිමියන්ගේ එම ඇරැයුම බාර ගත් සුලෝචනා මාස දෙක හමාරක් වැනි කෙටි කාලයකින් එම බුදු මැදුරේ සිතුවම් ඇඳ නිම කිරීමට සමත් වූවාය.   


 මේ එම කර්තව්‍යය පිළිබඳව සුලෝචනා අප සමඟ දැක්වූ අදහස්ය.   


‘‘මම ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ චිත්‍ර ගුරුවරිය ලෙස විදුහලේ විවිධ උත්සව අවස්ථාවන් සඳහා අවශ්‍ය චිත්‍ර, කැටයම් සහ විවිධ සැරසිලි කර දෙනවා. මේ අවස්ථාවන් සඳහා මම කරපු නිර්මාණ දැකලා ධම්මරතන හිමියන් උන් වහන්සේ වැඩ වාසය කරන මොරගොල්ල විහාරස්ථානයේ ඉදි කරන ලද නව බුදු මැදුරේ සිතුවම් නිර්මාණය කර දෙන මෙන් මගෙන් ඉල්ලීමක් කළා ”‍.   


‘‘මේ වගේ ඉල්ලීමක් මම බලාපොරොත්තු වෙලාම නැහැ. සාමාන්‍යයෙන් සිතුවම්කරණය කළාට මේ වාගේ භාරදූර කාර්යයක් ඉටු කරන්න පුළුවන් වෙයිද කියන බය සැකය මට තිබුණා. නමුත් මගේ මහත්තයා මේ වැඬේ ගොඩාක් හොඳට ඔයාට කරන්න පුළුවන් වෙයි කියලා මාව දිරිමත් කළා. ඇත්තටම ඒ දිරි ගැන්වීම නිසාම මට විශාල ශක්තියක් ආවා මේ වැඬේ කරන්න පුළුවන් වෙයි කියලා.”‍   


‘‘ඒ අනුව පසුගිය පළමුවැනි කොරෝනා වාරයේ දී මොරගොල්ල විහාරස්ථානයේ සිතුවම් නිර්මාණය කිරීම මම ආරම්භ කළා. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ගෙදර යන්න එන්න අපහසු නිසාම මම සැමියයි දරුවෝ දෙන්නයි එක්ක මොරගොල්ල ගමේ ගෙදරක නැවතිලා සිතුවම් ඇඳීම කරගෙන ගියා'”‍   
‘‘මේ වැඩේ මම තනියම තමයි කළේ. මගේ උදව්වට හිටියේ මගේ මහත්තයා විතරයි. මොරගොල්ල ගමේ ජනතාවත් මේ වැඬේ සාර්ථකව කරගෙන යන්න අපිට විශාල සහයෝගයක් ලබා දුන්නා. මාස දෙක හමාරකින් විතර බුදු මැදුරේ සිතුවම් නිර්මාණය කරලා අවසන් කරන්න මට පුළුවන් වුණා. සමහර දවස්වල උදේ පටන් ගත්තාම රැ වෙනකල්ම සිතුවම් නිර්මාණය කළා.”‍   

 

සැමියා සහ දරුවන් දෙදෙනා සමඟ

 


‘‘මහනුවර යුගයේ ඉපැරැණි චිත්‍ර ශෛලියට සමාන ශෛලියක් උපයෝගි කරගෙන මගේ හිතේ ඇඳුණු චිත්‍ර ශෛලියකින් මේ සිතුවම් මම නිර්මාණය කළා.”‍   


‘‘චිත්‍ර නිර්මාණයෙන් මට මේ වාගේ සාර්ථක ගමනක් එන්න පුළුවන් වුණේ මගේ චිත්‍ර ගුරුවරයා වන සමරකෝන් බණ්ඩා සර් නිසායි..”‍ යැයි සුලෝචනා තම චිත්‍ර ගුරුවරයා පිළිබඳවද සිහිපත් කළේය.   
 චිත්‍ර කලාව පිළිබඳ සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් ලලිතකලාවේදී උපාධියත්, කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියත්, එම විශ්ව විද්‍යාලයෙන්ම අධ්‍යාපනපති උපාධියත් හිමි කරගෙන සිටින සුලෝචනා 2008 වසරේදී බිතු සිතුවම් පිටපත්කරණය සඳහා රාජ්‍ය සම්මානයෙන් ද පිදුම් ලද දක්ෂ චිත්‍ර ශිල්පිනියකි.   


 ඇයගේ මේ දක්ෂතාව නිසාම 2019 වසරේ දී රජය මඟින් පිරිනමන ලද ඉන්දීය සංචාරයකට ද සහභාගි වීමේ අවස්ථාව උදා විය.   

 

පුෂ්පකුමාර ජයරත්න