පමණ දැනගෙන පානය කරන්න කැෆේන්



කැෆේන් යනු ලෝකය පුරා ඉතාම ජනප්‍රිය පාන වර්ගවල අන්තර්ගත වන්නා වූ උත්තේජක සංඝටකයකි. මෙමගින් මොළයේ හා ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කරයි. තේ කෝප්පයක කැෆේන් මිලිග්‍රෑම් 80ක්ද, කෝපි කෝප්පයක මිලිග්‍රෑම් 108ක්ද, සිසිල් බීම 500ml ක කැෆේන් 46mg ප්‍රමාණයක් ද, ශක්තිජනක පානවල 100ml ක කැෆේන් 4.8mg ක් ද, අඩංගුවෙන අතර මෙම අගයන් විවිධ වෙළෙඳ සන්නාමවලින් නිෂ්පාදනය කරන භාණ්ඩ හා ඒවායේ ප්‍රමාණ අනුව වෙනස් විය හැකියි

 
කෙසේ නමුත් ශක්තිජනක පාන වර්ගවල කැෆේන් අනුමත ප්‍රමාණය වෙන්නේ 80mg වෙන අතර එම සීමාව නොඉක්මවිය යුතුය. දිනකට ගත යුතු ප්‍රමාණය ඉක්මවා කැෆේන් ශරීරගත වීමෙන් දිගු කාලීන සෞඛ්‍ය ගැටලු මතු විය හැකිය. කැෆේන් බහුල වශයෙන්ම අඩංගු වෙන්නේ කෝපිවලය. ලංකාවේ කෝපි පානය කිරීමට වැඩියෙන්ම කැමැත්තක් දක්වන්නේ තරුණ පරපුර වීම විශේෂත්වයකි. 
 
කෝපි මගින් ඇති කරන්නා වූ උත්තේජනය නිසා බොහෝ විට අධ්‍යාපනය හදාරන සිසු සිසුවියෝ මෙය නිතර නිතර භාවිත කිරීමට පෙලඹී සිටිති. කැෆේන් අඩංගු පාන වර්ගවලින් ශරීරයට කෙතරම් ප්‍රයෝජන ලැබුණද එය පමණ ඉක්මවා ගැනීමෙන් මානසික රෝගී තත්ත්වයන් දක්වා වර්ධනය කරනු ඇත.
 
කැෆේන් මිනිස් සිරුරේ ක්‍රියා කරන අයුරු
 
කැෆේන් යනු අපගේ සිරුරේ මහන්සිය හා වෙහෙසකර බව ඇති කරන ඇඩිනොසීන් හි ක්‍රියාකාරීත්වය අඩපණ කරන්නකි. ඇඩිනොසීන් යනු දවස අවසානයේ අපගේ සිරුරට වෙහෙසකර බව ඇති කරන, අපගේ ශරීරය මගින් ස්වභාවිකව නිපදවෙන රසායන ද්‍රව්‍යයකි. හෘද ස්පන්දන වේගය, රුධිර සංසරණය, නින්දයාම සහ අවදි වීම ඇතුළු තීරණාත්මක ක්‍රියාකාරකම් බොහොමයක් සිදුවෙන්නේ ඇඩිනොසීන් මගින් ඇතිකරන බලපෑම හේතුවෙනි. ඇඩිනොසීන් ප්‍රතිග්‍රාහකය ශරීරයේ බොහෝ සෛලවල පිටත පෘෂ්ඨයේ දක්නට ලැබෙන අතර, සෛලය තුළට විධානයක් යවා එහි ක්‍රියාකාරී මට්ටම අඩු කිරීමට ලක් කරනු ඇත.  එමගින් හදවත, වකුගඩු, ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ අනෙකුත් පටකවල ක්‍රියාකාරීත්වය අඩපණ කරනු ඇත.
 
කැෆේන් පරිභෝජනය කරන විට, එය ඉක්මනින් අපගේ රුධිර නාළවලට අවශෝෂණය වේ. එහිදී එය ඇඩිනොසීන් ප්‍රතිග්‍රාහකයට සම්බන්ධ වී එහි කාර්යය කිරීම වළක්වාගනී. මේ නිසා කැෆේන් පරිභෝජනය කිරීමෙන් අපට වඩාත් අවදියෙන් ක්‍රියාශීලීව සිටිය හැකි අතරම ශරීරයට යම්කිසි උත්තේජනයක් ද ඇති වෙන බව පර්‌යේෂණවලින් තහවුරු වී ඇත. එමෙන්ම කැෆේන්වලින් ‍මොළයට රුධිරය ගමන් කිරීම වැඩි කරන අතර මෙය හිසරදය ද ඇති කළ හැකි බැවින් කැෆේන් නිතර නිතර භාවිත කිරීමෙන් ඉරුවාරදය (Migraine) ද ඇති විය හැකියි.
 
ශක්තිජනක බීමවල කැෆේන් භාවිතය
 
තරුණ ප්‍රජාව අතර ජනප්‍රියව ඇති ශක්තිජනක බීමවල කැෆේන් ප්‍රතිශතය පවතින්නේ ඉහළ අගයකය. මෙම ශක්තිජනක පාන වර්ගවල බොහෝ විට  සීනි, ගුරානා (Guarana) වැනි අනෙකුත් උත්තේජක ද අඩංගු වෙන අතර ගුරානා යනු ඇමසන් නිම්න භූමියට ආවේණික, විශේෂයෙන් බ්‍රසීලයේ බහුලව දක්නට ලැබෙන ශාකයකි. ගුරානා (Guaraná) ශාකයේ විශාල කොළ සහ මල් පොකුරු ඇත. එම ශාකයේ ගෙඩිවලින් ලබාගන්නා බීජ සඳහා වඩාත් ප්‍රසිද්ධ අතර එම බීජ කෝපි ඇටවල විශාලත්වයට සමාන වේ. මෙම ගුරානා (Guarana) නම් ශාකයෙන් ලබා ගන්නා බීජවල කෝපි බීජවලට වඩා හතර ගුණයකින් වැඩි කැෆේන් ප්‍රමාණයක් අඩංගු වෙන අතර ගුරානා බීජවල ඇති අනෙකුත් ස්වභාවික රසායනික ද්‍රව්‍යවල සංකලනය කැෆේන්වලට වඩා උත්තේජනාත්මක බලපෑම් වැඩි කරයි. 
 
ශක්තිජනක බීමවල බොහෝ විට විටමින් B, කානිටයින් (L-Carnitine),  තියනීන් (L-Theanine) සහ ග්ලූකුරෝනොලැක්ටෝන්, (Glucuronolactone) වැනි වෙනත් උත්තේජක ද අඩංගු වේ. මේ සියල්ල එකට එකතු වූ විට, මොළය සහ හෘදය ඇතුළු  ශරීරයේ බොහෝ පද්ධතිවල ව්‍යාකූලතා ඇතිකරන අතර දිගුකාලීනව මෙය අධි රුධිර පීඩනය, අරිතිමියාව (Arrythmia) හෘද රෝග හා ස්නායු ආබාධ ඇති කරනු ඇත.
 
නිසි ලෙස කැෆේන් පරිභෝජනය කරන්නේ කෙසේද?
 
බිබීසී වෙබ් අඩවියේ සඳහන් වී ඇති පරිදි, ඕනෑම අයෙක් උදෑසන අවදි වූ විට, විනාඩි 90 සිට පැය දෙකක් දක්වා කාලයක් රැඳී සිට කෝපි කෝප්පය ගැනීම යෝග්‍ය වෙනවා. වෛද්‍ය තර්කය වෙන්නේ පුද්ගලයෙකු පිබිදීමෙන් පසු පළමු පැය කිහිපය තුළ, ඔබේ සෛලවල පිටත ඇති ප්‍රතිග්‍රාහක සමග බැඳී ඇති ඇඩිනොසීන් ක්‍රමයෙන් ඉවත් වෙන බවයි. 
 
කෙසේ වෙතත්, සමහර වෛද්‍ය පර්‌යේෂකයෝ මෙම අදහසෙහි නිරවද්‍යතාව පිළිබඳ විවාද කරන අතර එය සනාථ කිරීමට විද්‍යාත්මක සාක්ෂි නොමැති බව පවසති. කැෆේන් ඉතා ඉක්මනින් බඩවැලට ඇතුළු වෙන හෙයින්, එහි ක්‍රියාකාරීත්වය අවසන් වීමට පැය ගණනක් ගත විය හැකිය. එමනිසා නින්දට යාමට පැය අටයි මිනිත්තු 48කට පෙර ඔබේ අවසන් කැෆේන් 'මාත්‍රාව' ලබා ගැනීම සුදුසු බව විද්‍යාඥයන් නිර්දේශ කරන බව එම වෙබ් අඩවියේ තවදුරටත් සඳහන් වී තිබිණි. 

ගර්භිණී සමයේදී අධික ලෙස කැෆේන් අඩංගු පාන වර්ග භාවිත කිරීම සුදුසුද යන්න පිළිබඳව කොළඹ ජාතික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතාගෙන් කළ විමසීමක්දී ඒ මහතා දැක්වූ අදහස් මෙසේය.

 

ගර්භිණී සමයේදී කැෆේන් වැඩිපුර භාවිත කිරීම සුදුසු ද? 

 

"ගර්භිණී සමයේදී දිනකට ගත යුතු කැෆේන් 200mg දක්වා සීමා කිරීමට එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ උපදෙස් දෙනවා. ඒ  රටවල්වල සිදු කර තිබෙන පර්‌යේෂණවලින් ගර්භිණී සමයේදී කැෆේන් භාවිත කිරීම මගින් අහිතකර ප්‍රතිඵල ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස වැඩි කරන බව සොයාගෙන තිබෙනවා. කැෆේන් භාවිතය ගර්භිණී මවට දියවැඩියාව වර්ධනය වීම හෝ කලලයේ වර්ධනය සීමා වීම එම අහිතකර බලපෑම් අතර ප්‍රමුඛතාවක් ගන්නවා. මෙයට හේතුව, කැෆේන් පහසුවෙන් වැදෑමහ හරහා ගමන් කිරීමයි. මීට අමතරව, ගර්භිණී සමයේදී කැෆේන් අඩංගු පාන වර්ග පමණ ඉක්මවා ගැනීමෙන් ගබ්සාවීම සහ මළ දරු උපත් සඳහා ඇති අවදානම වැඩි කරන බව පර්‌යේෂකයන් සොයාගෙන තිබෙනවා. 
 
කැෆේන්, මව්කිරි හරහා ළදරුවන්ට ද සම්ප්‍රේෂණය විය හැකි අතර ළදරු රුධිරයේ කැෆේන් සාන්ද්‍රණය මවගේ සාන්ද්‍රණයට වඩා අඩු වුවත්, ළදරුවන්ට කැෆේන් පරිවෘත්තීය කිරීමට හැකියාවක් නොමැති නිසා ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා’’  

ලංකාවේ කැෆේන් භාවිතය හා එමගින් ශරීරයට ලැබෙන හිතකර මෙන්ම අහිතකර ප්‍රතිඵල පිළිබඳව අප උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය සචිත මෙන්ඩිස් මහතාගෙන් කළ විමසීමකට අනුව ඒ මහතා මෙසේ අදහස් දැක්වීය. 

 
“කැෆේන් යනු තිත්ත රසැති ඇල්කොලොයිඩයක්, එසේත් නොමැති නම් කාබනික සංයෝගයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ සංයෝගය කෝපි, තේ සහ සමහර ධාන්‍ය වර්ගවලත් අන්තර්ගත වී තිබෙනවා. 
 
නමුත් වැඩිම කැෆේන් ප්‍රමාණයක් අන්තර්ගත වී තිබෙන්නේ කෝපිවල. කැෆේන් ශරීරයට ගැනීම මගින් මුත්‍රා පිටවීම වැඩි කරනවා. කොහොම නමුත් බටහිර වෛද්‍යවිද්‍යාව හැරුණු කොට ඇති වෙනත් වෛද්‍යවිද්‍යාත්මක ක්‍රමවල කැෆේන් ඖෂධයක් ලෙස ද භාවිත කරනවා. 
 
බටහිර රටවල පුද්ගලයන් කැෆේන් අඩංගු බීම වර්ග පානය කරන්නේ තමන්ගේ ශරීර උෂ්ණත්වය රඳවා තබා ගැනීමටයි. විශේෂයෙන්ම සීත සෘතුවේදී සීත රටවල කෝපි භාවිත‍ය වැඩි වෙනවා. නමුත් සෘතුව වෙනස් වීමත් සමග එම අගයන් පහළ බසිනවා. නමුත් ලංකාවේ එවැනි සෘතු භේදයක් නැති වුණත් අපි සමකය ආසන්න රටක් නිසා දිගින් දිගටම පාලනයකින් තොරව කෝපි බීමට පෙලඹෙනවා.
 
දිනකට පුද්ගලයෙක් කැෆේන් මිලිග්‍රෑම් 400 කට වඩා නොගත යුතුයි
 
යම් හේතුවකින් පුද්ගලයෙකු මෙම මිලිග්‍රෑම් 400  සීමාව ඉක්මවා කැෆේන් ලබාගතහොත් එම පුද්ගලයාට නින්ද නොයෑම, පමණ ඉක්මවා සංවේදී වීම. ඒ කියන්නේ කැෆීන්වලට ඉක්මනින් ඇබ්බැහි වීමේ සම්භාවිතාව වැඩියි. යම් පුද්ගලයෙකු දිගින් දිගටම කැෆේන් සහිත ආහාර පාන පරිභෝජනය කරනවා නම් ඒ පුද්ගලයා එයට ඇබ්බැහි වෙනවා. ඒ ඇබ්බැහි වීම මගින් අපි ඒ මත යැපෙනවා වැනි තත්ත්වයකට පත් නොවිය යුතුයි.
 
මීට අමතරව වමනය, හෘදය වස්තුවේ ගැස්ම ප්‍රමාණයට වඩා වැඩි වෙන්න පුළුවන්, හිසරදය, නිතර නිතර බිය වීම (Anxiety) ඇති විය හැකියි. කැෆේන්වලට ඇබ්බැහි වීම මගින් විවිධ මානසික ගැටලු ද ඇති විය හැකියි. තවද බොහෝ දෙනෙක් දුම්පානය සමග කෝපි පානය කිරීමට පෙලඹී සිටිනවා (Nicotine Addiction With Caffeine). 
 
එහිදී නිකොටින් සහ කැෆේන් කියන සංයෝග දෙකම උත්තේජක ලෙස ශරීරගත වෙනවා. මේ නිසා ශරීරයට විශාල ප්‍රමාණයකින් සීනි ද ලැබෙනවා. එයින් කෑම අරුචිය ඇති වෙනවා වගේම එමගින් ශරීරයට අවශ්‍ය පෝෂණය නොලැබීම නිසා ශරීරය දුර්වල වෙනවා. මෙසේ ඇබ්බැහි වීම වර්ධනය වී එහි ප්‍රතිඵලයක් ලෙස ‘ඩිප්‍රෙෂන්’ තත්ත්වයක් පවා උදා විය හැකියි. කැෆේන් වැඩිපුර ශරීරගත වීමෙන් අපගේ සිරුරේ ස්වයං උත්තේජනශීලී බව, එසේත් නොමැති නම් ස්වයං සවිබල ගැන්වීමේ යාන්ත්‍රණය බිඳවැටිය හැකියි. 
 
ලංකාවේ බොහෝ දෙනෙක් කෝපි පානය කරන්නේ ඉතා විශාල සීනි ප්‍රමාණයකුත් සමග වීම නිසා දිගු කාලීනව කෝපි පානය කිරීම මගින් දියවැඩියාව වැනි බෝ නොවෙන රෝගවලට ගොදුරු වෙන්න ඉඩකඩ තියෙනවා. බටහිර රටවල භාවිත කරන තත්ත්වයෙන් උසස්, සෞඛ්‍යාරක්ෂිත කෝපි වර්ගයක ලංකාවේ මිල රුපියල් 800කටත් වඩා වැඩියි. මෙය සාමාන්‍ය පුද්ගලයෙකුට දිනපතා දැරිය නොහැකි මුදලක්. ලංකාවේ කෝපිවලට වඩා ඉතාම හොඳ දේශීය පානවර්ග තිබෙනවා. කෝපි එකක් බොනවාට වඩා තැඹිලි, කැඳ වර්ග පානය කිරීම ශරීරයට හිතකරයි.”
 

  • ලිහිණි ලියනගේ