පරිසරයට පෙම් කරන ජපානය



මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් 1959 දී රචිත මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා නව කථා පොත් දෙක කියවීමෙන් පසු ජපානය දැක බලාගැනීමට මහත් රුචියක් මා තුළ හටගත්තේය. පසුගියදා ජපානය පුරා සංචාරයක යෙදුණු මා හට දැකගැනීමට ලැබුණේ පොත්වල සඳහන් ගැමි සම්ප්‍රදායක පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වී නවීන තාක්ෂණය සමග ඉදිරි ගමනක යෙදෙන ඉතා දියුණු රාජ්‍යයකි. සරච්චන්ද්‍රයන්ගේ පොත්වල සඳහන් පරිදි කිමෝනා හැඳගත් නොරිකොසං ලා ගැමි පරිසරයකින් වුව සොයාගැනීමට නොහැකි අතර ජපන් “යෙන්” 500 දී කිමෝනා හැඳ පන්සල යන ජපන් යුවතියන් ද දුටු අතර පන්සල් අසල කිමෝනා ඇඳුම් කුලියට දෙන ස්ථාන කීපයක නාම පුවරු ද දැකගතිමි. 

  • අඳුරු යුගය

හිරෝෂිමා සහ නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරය සිදුවූයේ 1945 වර්ෂයේදීය. අවුරුද 79කට පසුව ජපානය ලද දියුණුව අදහාගත නොහැකි තරම්ය. අහස සිඹින ගොඩනැගිලිවලින් පිරී ඇති මෙහි හිරෝෂිමා බෝම්බ ප්‍රහාරයක් සිදු වූ බවට දැනගැනීමට හැකි එකම සාක්ෂිය වන්නේ හිරෝෂිමාවල පිහිටි අඳුරු කෞතුකාගාරය සහ ප්‍රහාරයෙන් පසු ඉතිරි වූ එක් තෙමහල් ගොඩනැගිල්ලක් පමණි. 

හිරෝෂිමාවේ එම ගොඩනැගිල්ල තරම් දුක්මුසු කෞතුකාගාරයක් ලොව කිසිම රටක මා දැක නැත. එකිනෙකා නොපෙනෙන ඉතාම අඳුරු විශාල ගොඩනැගිල්ලේ මිනිසුන් පිලිස්සී ඇති අයුරු දැක්වෙන සේයාරූ ද දරුවන්ගේ සෙල්ලම් බඩු පාවහන් ප්‍රදර්ශනය කර ඇති අයුරු දැක්වෙන එම ශාලාවෙන් පිටතට පැමිණෙන්නේ හැඬූ කඳුළිනි. එවැනි ශෝක ජනක දර්ශනයක් දැකීම පවා මහත් අවාසනාවන්ත යැයි මට සිතුණු වාර අපමණයි. 

මිනිසුන් 30 ලක්ෂයකට වඩා මියගිය මෙවැනි විශාල ප්‍රහාරයකින් පසුව ජපානය මෙතරම් දියුණුවට පත්වූයේ කෙසේ දැයි සොයා බැලීම වැදගත්ය. නොපසුබට උත්සාහය අවංකකම පසුතැවිලි නොවීම යන කරුණු ජපන් මිනිසුන් තුළ කාවැදී ජයග්‍රහණයේ හිනි පෙත්තට නැගීමට මං පෙත් විවර කරගන්නට ඇතැයි සිතමි. “ජපනා හපනා” යන කියමන නිවැරදි වන්නේ මේ නිසාය. 

  • පරිසරයෙන් මුදල් ඉපැයීම

තෝකියෝව හැරුණු විට ජපානය පුරාම කඳුවලින් පිරී පවතී. හිම මිදෙන කඳු මුදුන්වලින් රූරා හැළෙන ජලධාරා කඳු පාමුල සාදා ඇති තටාකවලට ජලය එකතු වන අතර එමගින් ගොවිතැන් සඳහා අවශ්‍ය ජලය ගොවියන්ට මුදා හරින අතර ගොවියෝ කුඹුරු එළවළු පලතුරු යහමින් වගාකරති. ගොවිබිම වටා ගොවියන් සඳහා නිවාස සංකීර්ණ සාදා ඇති අතර වෙළෙඳසල් ද දිවා රාත්‍රී විවෘතව තබා ඇත. පාසල් ද ආරෝග්‍යශාලා ඇතුළු සෑම පහසුකමක්ම එම නගරවල දක්නට ලැබේ. ගොවියන් සමාජයේ කැපීපෙනෙන ධනවත් පුද්ගලයන් වන අතර බොහෝ නිවෙස්වල කුඩා ලොරි රථ දක්නට ඇත. කඳු මැදින් සිදුරු කර සාදන ලද බිම් ගෙවල් තුළින් ඊළඟ නගරයට යා හැකි අතර ඇතැම් බිම් ගෙවල් පසු කිරීමට මිනිත්තු 30ක් පමණ මෝටර් රථවලින් ගමන් කළ යුතුව ඇත. මෙසේ කඳු පංති ජාල සමූහයෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඇති ජපන් ජාතිකයෝ කඳුවල ෆයිනස් ලී වගාව ද සරුවට කරගෙන යති. 

ඉතාම වේගයෙන් ගමන් කරන කඩිසර මිනිසුන් වෙසෙන ජපානය නවීන තාක්ෂණය අතින් ඉදිරියට පැමිණ ඇති අතර ඇතැම් දර්ශන සිතාගැනීමට පවා නොහැකි ලෙස නිර්මාණය කර ඇත. උදාහරණයක් ලෙස ඇතැම් ජපන් භෝජන ශාලාවල වේටර්වරුන් නොමැත. හෝටලයේ කෑම කාමරයේ වාඩි වූ පසුව කෑමවල ඡායාරූප සහ මිල ගණන් සටහන් කරන ලද ටැබ් මේසය මත තබා ඇත. 

තමන්ට අවශ්‍ය දෑ රූප සටහනේ සටහන් කළ පසුව යාබදව ඇති විවෘත ජනේලය තුළින් දිව යන පීල්ලක ආධාරයෙන් කෑම පිඟන් කාමර අංක පිළිවෙළට ස්වයංක්‍රීයව ළගා වෙන අතර ආහාර අනුභවයෙන් පසුව කාමර අංක පිළිවෙළ අනුව සකස් වූ බිල්පත් අයකැමිට ගෙවා දමා හෝටලයෙන් පිටව යා යුතුය. අවංකකම ජපානයේ දියුණුවට මුල් වී ඇති බැව් මම මුලදී සඳහන් කළෙමි. වංචාවට දැඩි දඬුවම් පැනවීම නිසා සමාජයේ සොරකම් වංචා දූෂණ නැති වී ඇතැයි සිතමි. 

  • ආචාරශීලී බව

දකින සෑම දෙනාම හිස නමා ආචාර කිරීම එකා පසුපස එකා ගමන් කිරීම විනීත බව යමක් මිලදී ගත් පසුව ඉතිරි මුදල හා බිල්පත හිස නමා ආචාර කර තැටියක තබා ගෞරවාන්විතව බාරදීම සිදුකරන්නේ මුව පිරී ගිය සිනාවකිනි. එවැනි සත්කාර පෙර පාසල් අධ්‍යාපනයේ පටන්ම සිදුවන බැව් ජපානයේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙකු ලෙස පුරා වසර 30 අධික කාලයක් සේවය කරන ශ්‍රී ලාංකිකයකු වන මා මිත්‍ර සිසිල් කුරේ මහතා පැවැසීය. 

ජපානයේ ඉතා දියුණු පිරිසිදු මංමාවත් රට පුරාම දක්නට ඇත. හිස් වතුර බෝතල්, කොළ, තැඹිලි කෝම්බ සිගරට් කොට රට පුරාම සංචාරය කළත් බේතකට වත් සොයා ගැනීමට නොහැකි වීම ගැන ලංකාව හා සසඳන කළ ඉමහත් ලැජ්ජාවක් උපදවයි. 

  • ආහාර රටා

ජපනුන් ලබාගන්නා ආහාර පිළිබඳවද යමක් සඳහන් කිරීම වටී. බත් කෝප්පයක් එළවළු හා මාළු පලතුරු ඔවුන් අනුභව කරන අතර ඉතාම ප්‍රණීත සෝස් වර්ග යෙදීමෙන් ආහාර රුචිය වර්ධනය වන අතර සෑම ආපන ශාලාවකටම මේසය මැද කුඩා ගෑස් උදුනක් තබා ඇත. තමාට අවශ්‍ය දෑ ගෑස් උදුනේ තබා තම්බාගෙන අනුභව කළ හැකි අතර, ඉතාම ප්‍රණීත නිරෝගී ආහාර වේලක් බැව් සඳහන් කිරීම වටී. දියවැඩියා රෝගීන් බෙහෙවින් අඩු වී ඇත්තේ මෙවැනි ආහාර රටාව නිසාම විය යුතුය. මාළු සහ එළවළු ජපන් ජාතිකයින්ගේ ප්‍රියතම ආහාර බව බැව් බොහෝ දෙනක් ප්‍රකාශ කළහ. බටහිර ගති ඇති හැඳි ගෑරුප්පු ජපන් ජාතිකයන් ප්‍රතික්ෂේප කර ඇති අතර දේශීයත්වයට මුල් තැන දී කටයුතු කිරීම ප්‍රශංසාජනකය. මත් පැන් භාවිතයද මඳ පමණින් සිදුවන අතර ඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලබන සකේ නම් මත්පැන් අතිශය ජනප්‍රියයි. කෑමෙන් පසුවද හිස නමා ආහාරවලට ගරුකිරීම ද ජපන් ජාතිකයන්ගේ සිරිතකි. කෑම ලබාදෙන ගොවියාට ගරු කිරීම මෙමගින් සිදුවන බව කිවමනාය. 

  • නිවාස හා ඉදිකිරීම්

ජපන් නිවාස ඉතාම කුඩා අතර බොහෝ විට නිදන කාමර 02ක් පමණක් ඇති නිවාස බොහොමයකි. ඔවුන් බොහෝ විට බිම මෙට්ට දමා නිදාගනු ලබන්නේ එම ඉඩකඩින් ප්‍රයෝජන ගැනීම අරමුණු කරගෙනය. සාලය ද මෙට්ට මත වාඩි විය හැකි පරිදි කොට්ට දමා ඇත. මිදුල ඉතාම කුඩා නමුත් ඉඩ ඇති බිම් කොටස්වල අලංකාර ලෙස මල් ද එළවළු ද වගාකර ඇත. ඉතාම සරල දිවි පෙවෙතක් ගත කරන ජපන් ජාතිකයෝ ඉතාම කුඩා මෝටර් රථ භාවිත කරති. උස් පහත් බේදයකින් තොරව සියලුම දෙනා පොදු ප්‍රවාහනය ලෙස බයිසිකල් භාවිත කරති. ඉතාම වයස්ගත මිනිසුන්  ද කඩිසරව ආචාරශීලිව එකිනෙකාට ගරුසර ඇතිව දිවිපෙවෙත ගෙවති. 

හිරෝෂිමා පරමාණු යුද්ධයෙන් පසු මිනිසුන්ගේ පරම ආයුෂ අඩු වූ බව ද අන්ධ පුද්ගලයින් වැඩි වූ බව ද සඳහන්ය. ඔවුන් ගැන ඉතාම සැලකිලිමත් වූ රජය ජපන් කාසිවල වටිනාකම හඳුනාගත හැකි පරිදි කාසියේ මැද මුදලේ වටිනාකමට සරිලන කුඩා හිල් විද ඇත පදික වේදිකා තනිකර සමතලා අයුරින් නිර්මාණය කර ඇති අතර පදික වේදිකාවල අන්ධ මිනිසුන්ට රිසි සේ ගමන් කිරීමට මෙම මාර්ග ඉවහල් වනු ඇත. 

  • මලින් මුදල්

පෙබරවාරි සිට අප්‍රේල් දක්වා මග දෙපස සකුරා මලින් බරව මුළු ජපානයම උත්සවශ්‍රීයක් හොබවයි. මෙය මුළු ලෝකයේම ආකර්ෂණය දිනාගන්නා කාලයක් වන අතර ගුවන් තොටුපළ වරායවල් සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යති. මිනිසුන් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව රටට මුදල් ගෙන එන එක් උපාය මාර්ගයක් බවට පත් වී ඇත. මෙමගින් විශාල විදේශ මුදල් සම්භාරයක් ලැබෙන අතර පහසුකම් ද අති විශාලය. කාර්ය බහුල ගුවන්තොටුපළ‍වලින් ඉක්මනින් පිටවී යාමට හැකි සුවිශේෂී පහසුකම් යොදා ඇති අතර දක්ෂතාව පුළුල් දැක්ම හිතෛෂීකම වැනි වූ ගුණාංග ජපන් ජාතිකයන්ගේ කීර්තිය ලොව පුරා පැතිරී යාමට හේතුවක් ව ඇතැයි මම සිතමි. 

සංචාරකයින්ට නවීන පන්නයේ වැසිකිළි පද්ධතියෙන් සකසා ඇති අතර වතුර බිංදුවක්වත් හැළී නොමැති ඉතාම පිරිසිදු වැසිකිළි පද්ධති සඳහා කිසිදු මුදලක් රටේ කිසිම තැනක අය නොකරයි. පිරිසිදු කිරීම් සියල්ල සිදුවනු ලබන්නේ ස්වයංක්‍රීයවයි. පරිසර හිතකාමී ලෙස නිර්මාණය කර ඇත. 

  • පන්සල් ආකර්ෂණය 

කියෝටාවේ පිහිටා ඇති කියෝමුෂු පන්සල ඉතාම ආකර්ෂණීය වන අතර සංචාරකයින් විශාල වශයෙන් එය නැරඹීමට පැමිණේ. එහි විශාල බුදුරුව නෙළා ඇත්තේ ලීවලිනි. පන්සල දෙපස අලංකාර කඩපිල් ඇත. විවිධාකාර භාණ්ඩ මේවායින් මිලදී ගත හැකි අතර සෑම වෙෙළඳසලකටම ඇත්තේ මුදල් අය කරන අයකැමි පමණි. මිනිසුන් පෝලිමේ හිඳ විනීතව භාණ්ඩවලට මුදල් ගෙවා රැගෙන යන අතර වංචා සොරකම්වලට දැඩි දඬුවම් පැමිණවීම නිසා සමාජයෙන් ඒවා තුරන් වී ඇත. උදේ 9.00 සිට සවස 6.00 දක්වා රාජකාරි කාල සීමාව වන අතර නියමිත වේලාවට කාර්යාලවලට පැමිණීම සඳහා ගමනාගමන පහසුකම් ඉතාම උසස් මට්ටමක පවත්වාගෙන යනු ලබන අතර මිනිත්තු 10 දුරක් ගමන් කර දුම්රිය හෝ බස්රථ නියමිත කාල සීමාවකට ධාවනය වන අතර එය තප්පරයකින් හෝ වේලාව අඩු වැඩි නොවීම විශේෂත්වයක් ලෙස සඳහන් කළ යුතුය. පැයට සැතපුම් 360 පමණ වේගයෙන් ගමන් කරනු ලබන බුලට් දුම්රිය නියමිත තත්පරයට අදාළ වේදිකාවට ළඟා වීම පුදුම සහගතය. 

ජපන් ජාතිකයින් වැඩි වශයෙන්ම පාවිච්චි කරනු ලබන්නේ ඉතාම කුඩා වර්ගයේ මෝටර් රථයි. සුඛෝපභෝගී ලෑන්ඩ්කෲෂර් රථ එකක් වත් මහාමාර්ගයේ ධාවනය වනු නුදුටුවෙමි. වාහන ධාවනයේදී එකිනෙකා අතර පරතරයකින් ගමන් කිරීම ද විශේෂ සිද්ධියකි. මෝටර් සයිකල් ඉතාම සුළු වශයෙන් ඇති නමුදු ත්‍රීවීලර් ධාවනයක් නොමැත. පාපැදි ධානය සඳහා පදික වේදිකාව වෙන් කර ඇත. බයිසිකලය ඉතාම ජනප්‍රිය වී ඇත. 

  • සෝලා ගම්මාන

හිරුඑළිය 50% අඩු අගයක් ලබන ජපානයේ සෝලා ගම්මාන පිහිටුවා ඇති අතර හිරු එළියෙන් විදුලිය ලබා ගැනීම ඉතාම ආකර්ෂණීයයි. මහාමාර්ග දෙපසට එවැනි සෝලා ගම්මාන ඇති අතර නිවාස පද්ධති කර්මාන්ත ශාලාවල වහලය වැසී ඇත්තේ සෝලා පද්ධතිවලින් බැව් කිවමනාය. නවීන තාක්ෂණයෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම අගය කළ යුතු අතර සමහර වාහනවල වහලයේ සෝලා පද්ධතිය දක්නට ඇත. වාහන සම්බන්ධයෙන් ගත් විට වාහනයේ අලංකාරයට උචිත ලෙස එය සවිකර තිබීම විශේෂත්වයකි. 

ස්වයංක්‍රීයව වයිපර් වැඩ කරන මෝටර් රථවල හිරු එළිය අධික වූ විට ස්වයංක්‍රීයව අඳුරු ස්ක්‍රීන් එකක් පතිත වීම සිදුවන අතර කොතරම් ධාවනය කළත් ගමන් වෙහෙස නොදැනෙයි. 


ප්‍රේමචන්ද්‍ර රූපසිංහ