ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියෙන් එළියට විසි විය. බදාදා නේපාලය සමග පැවැත්වීමට නියමිතව තිබූ තරගය වැස්සට සේදීයාමත් සමග සියලු බලාපොරොත්තු නැති විය. එහෙත් සමහරු අනෙක් තරග වැස්සට සේදේ යැයි බලා සිටියේ අවසන් මොහොත වෙනතුරු සුදුසුකම් ලැබීමේ අවස්ථාවක් උදාකර ගැනීමටය. එහෙත් අප යථාර්ථයට මුහුණ දිය යුතුය.
ශ්‍රී ලංකා කණ්ඩායම ආරම්භයේ දීම කරගත් වැරැද්ද ගැන අපි පසුගිය සතියේ කතා කළෙමු. නොදන්නා තණතිල්ලක දන්නා එවුන් සේ ක්‍රීඩා කරන්නට යෑම දකුණු අප්‍රිකාව හමුවේ ලැබූ පරාජයට හේතුවයි. එයට සමාවක් දිය හැකි වුවත් බංග්ලාදේශය හමුවේ ලැබූ පරාජයට කිසිසේත්ම සමාවක් දිය නොහැකිය. එයට එක් හේතුවක් වෙන්නේ දකුණු අප්‍රිකාව සමග පැවති තරගයෙන් පසුව ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදී ජයග්‍රහණය ලැබීමේ ප්‍රවණතාව නිසා පළමුව පන්දුවට පහරදුන් බව නායකයා කීමය. ඒ අනුව තම කණ්ඩායම හමුවේ නිතර පරාජය වෙන බංග්ලාදේශය හමුවේ තමන්ට පහසු ආකාරයට ක්‍රීඩා කර තීරණාත්මක අවස්ථාවක පරාජය වීම අනුමත කළ නොහැක. බොහෝ දෙනා බංග්ලාදේශයට එරෙහි තරගයේ පරාජය 19 වැනි ඕවරය යැවූ දසුන් ශානක වෙත පවරනු දැක ගත හැකි විය. එහෙත් මේ තරගය වෙනස් කළේ හිදෝයි, වනිඳු හමුවේ එක දිගට එල්ල කළ හයේ පහර තුනෙනි. එය කිසිසේත්ම අමතක කළ යුතු නොවේ. අනෙක් අතින්, පන්දු ඕවර 14 කදී ලකුණු 100 ක් ලබා සිටි ශ්‍රී ලංකාව අවසන් ඕවර හයේ දී ලකුණු 24 කට දැවී යාම කිසිසේත්ම අනුමත කළ නොහැකිය. ඒ තරගය පරාජය වෙන්නේ ලකුණු 124 ක් රැස් කිරීම නිසාය. ශානක හෝ වනිඳු වැරදිකරුවා වෙන්නට පෙර මෙය අප තේරුම් ගත යුතුය.
මේ තරගාවලිය ආරම්භයේ දී ශ්‍රී ලංකාව දෙවැනි වටයට නොව ඉන් ඉදිරියටත් යෑමට හැකියාවක් ඇති කණ්ඩායමක් ලෙස අපි නම් කළෙමු. ඒ සඳහා ඇමෙරිකාවේ දී වාසනාව අවශ්‍ය බවද අපි ලියුවෙමු. දකුණු අප්‍රිකාවට එරෙහිව වාසනාව ලැබුණද එය ප්‍රයෝජනයට ගැනීමට ශ්‍රී ලංකාවට හැකි නොවීය. එම තරගය ජයගත්තා නම් කවුරුවත් දුක් ගී ලියන්නේ නැත. වනිඳු එළවීමේ කතා ලියැවෙන්නේද නැත. සමාජ මාධ්‍යයන්හි හාස්‍යයට ලක්වෙන්නේද නැත. ‘කප් එක ගෙනාවෝ’ කියමින් සිංදු හදමින්, වීඩියෝ හදමින් ගොඩ යන්නට බලා සිටි සමාජ මාධ්‍යයේ ඇතැමුන්, ක්‍රීඩකයන්ට නිග්‍රහ කරමින් ගොඩ යන තැනට කටයුතු සිදුවෙන්නේ නැත. අපි නිරන්තරයෙන් ලියා ඇත්තේ ලොකුම හෙණය වී ඇත්තේ මේ ක්‍රීඩාවෙන් පිටත සිට සල්ලි හම්බකරන්නට බලා සිටින පිරිස බවය. කණ්ඩායමේ පරාජය තමන්ගේ සාක්කුවේ හිස්වීමට බලපෑම් කරන නිසා ඒ හරහා ක්‍රීඩාව පිටින් යැවීම අතිශය සාමාන්‍ය දෙයක් වී තිබේ. අනික් අතින්, කණ්ඩායමට බැණ අඬගැසීමෙන් ‘වීව්ස්’ වැඩි වී එය ද ධන උල්පතක් වීම නිසා බණින පිරිසක්ද සිටියි. ඒ නිසා සමාජ මාධ්‍ය හෝ මාධ්‍ය කියන විදිහට වැඩ කර ක්‍රිකට් හදන්නට නම් බැරි බව මතක් කළ යුතුය. මේ ආකාරයට ගියහොත් සමාජ මාධ්‍යයේ ඡන්ද විමසීමක් සිදු කර කණ්ඩායමේ 11 දෙනා තෝරන දවසක් එළැඹීම වැඩි ඈතක නොවේ. ලංකාවේ තේරීම් කමිටු ක්‍රියා කරන ආකාරයට ඇතැම් විට ඒ කණ්ඩායම වඩා හොඳ වීමටත් බැරි නැත.
බංග්ලාදේශ තරගයේ දී නායකයාගේ දුර්වලතාවක් දැක ගත හැකි විය. එහි පළමු වැන්න පළමු ඕවරය සාර්ථකව යැවූ ධනංජය, කඩුල්ලක් දවාගත් සැනින් ඉවත් කර ප්‍රධාන පන්දු යවන්නෙකු වෙත යොමුවීමයි. එය ක්‍රීඩාගාරයේ දී සකස් කළ සැලසුම වෙන්නට ඇත. එහෙත් පිටියේ තත්ත්වයේ දී නායකයාට සැලසුම් කැඩීමට අයිතියක් තිබේ. එසේම එහි වගකීමත් ගත යුතුය. නායකත්වය කියන්නේ මෙයටය. මීට පෙර තරගයේ දීත් ලකුණු 120 සෑහේ යැයි තමන්ට ක්‍රීඩාගාරයෙන් පණිවුඩයක් ආවේ නැති යැයි වනිඳු කීවේය. එය ද අනුමත කළ නොහැකිය. ඒ නායකයා තීරණ ගත යුතු හෙයිනි. කෙසේ හෝ වේවා නායකයෙකු ලෙස පත්වී තරග නවයක් අවසානයේ දී වනිඳුව ඉවත් කරන්න යැයි මහා ඝෝෂාවක් ඇති වී තිබේ. මේ වසරේ ජනවාරියේ දී නායකත්වයට පත්වූ වනිඳුට මෙතරම් ඉක්මනට මැජික් කරන්නට හැකි බව විශ්වාස කිරීම බොහෝ දෙනා කර ඇති වැරුද්දයි. එසේම ඇෆ්ගනිස්ථානයට එරෙහිව ලකුණු 67 ක් රැස් කළ දා සිටම වනිඳු තමන්ගේ පන්දුවට පහරදීමේ හැකියාව සම්බන්ධයෙන් අධි තක්සේරුවක සිටින බව පෙනේ. එය බරපතළ වරදකි.
මේ වෙනවිට ඇති වී ඇති අනෙක් කතාව ටෙස්ට් ක්‍රීඩකයන් විස්සයි20 ගැසීම ගැනය. ඔස්ට්‍රේලියානු කණ්ඩායම ගමු. වෝනර්, හෙඩ්, මාෂ්, කමින්ස්, සැම්පා, ස්ටාක්, හේසල්වූඩ් මේ සියලු දෙනා හොඳ ටෙස්ට් ක්‍රීඩකයෝය. වෝනර් සමුගෙන සිටියද අනෙක් සියලු දෙනා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරයි. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ලෙස මේ තරගාවලියේ ඉන්නේ ධනංජය, මෙන්ඩිස්, අසලංක, මැතිව්ස් සහ කමිඳු මෙන්ඩිස්ය. මේ අනුව අපට වඩා ටෙස්ට් ක්‍රීඩකයන් ඔස්ට්‍රේලියාවේ විස්සයි20 ක්‍රීඩා කරයි. ඉන්දියානු කණ්ඩායමේ ක්‍රීඩකයන් 6 දෙනෙකු සිටියි. මේ නිසා ප්‍රශ්නය ඇත්තේ ටෙස්ට් ද, විස්සයි20 ද යන්න නොවන බව පැහැදිලි වෙනු ඇත. ප්‍රශ්නය ඇත්තේ දක්ෂතාවේ. තණතිල්ලේ හෝ දේශගුණයේ තත්ත්වයන්ට හුරුවීමේ හැකියාව සම්බන්ධයෙනි. අප හදාගත යුත්තේ මේවාය. ටෙස්ට් මානසිකත්වයෙන් මිදෙන්නට නොහැකි නම් විස්සයි20 ක්‍රීඩා කරන්නට බැරිය. විස්සයි20 මානසිකත්වයෙන් මිදෙන්නට බැරි නම් ටෙස්ට් ක්‍රීඩා කළ නොහැක. එක්දින තරග මේ දෙකටම වඩා වෙනස්ය. මේ අංශ තුනෙහිම නිපුන ලෙස ක්‍රීඩා කිරීම සුවිශේෂ දක්ෂතාවකි. ට්‍රැවිස් හෙඩ්, පැට් කමින්ස්, මිචෙල් ස්ටාක් වැන්නෝ මෙයට හොඳම ආදර්ශ වෙති. මේ ආකාරයේ ක්‍රීඩකයන් සොයාගත නොහැකි නම් විස්සයි20 විශේෂඥයන් සොයාගැනීම කළ යුතුය. එය ද කළ නොහැකි විට ලැබෙන ප්‍රතිඵලය මේ වෙනවිට අපි අත්දකිමින් සිටිමු.
ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයෙන් ඉවත්ව යෑමත් සමග ක්‍රිකට් පරිපාලනයේ සිට අම්මා මුත්තා දක්වා බැණීම ආරම්භ වී ඇත. අප පසුගිය සතියේත් මතක් කළේ, ක්‍රිකට් කළමනාකරුවන් මෙයට වඩා වගකීම් ගත යුතු බවය. ප්‍රධාන විධායක නිලධාරියා මීට වඩා වගකීම් සහගත විය යුතු බවය. එසේ නොවන්නේ නම් ප්‍රශ්නයක් තිබේ. විස්සයි20 කණ්ඩායම අසාර්ථක නම් අප පළමුව තෝරාගත් කණ්ඩායම ගැන ප්‍රශ්න කළ යුතුය. එය නිවැරදිද යන්න ගැන අප පෙරදී කතා කළෙමු. ඊළඟ ප්‍රශ්නය වෙන්නේ මෙතැනින් යන්නේ කොතැනටද යන්නයි. එල්.පී.එල් තරගාවලිය ආරම්භයේ දී කියවුණේ මේ තරගාවලිය නිර්මාණය වෙන්නේ විස්සයි20 ක්‍රීඩකයන් සොයා ගැනීම මුල් කරගෙන බවය. එහෙත් මේ තරගාවලියෙන් සොයාගත් ක්‍රීඩකයෙකු නැත. අනෙක් අතින් මේ තරගාවලිය සම්පූර්ණයෙන් මුදල් ඉපැයීම සඳහාම වෙන්වී ඇති බව පෙනෙන්නේ සෑම වසරකම වෙන්දේසියක් පැවැත්වීම නිසාය. අයි.පී.එල්. සහ එල්.පී.එල් අතර වෙනස මෙයයි. කණ්ඩායම් ලෙස එක්වී ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයන්ට අවස්ථාව තිබිය යුතුය. අනෙක් අතින්, එල්.පී.එල් කණ්ඩායම් රට පුරා ගොස් ක්‍රීඩකයන් සෙවිය යුතුය. එහෙම දෙයක් වෙන්නේ නැත. ඒ වෙනුවට තමන් දන්නා අඳුනන ක්‍රීඩකයන් කණ්ඩායම්වලට දමාගෙන යාළුවන්ට ඩොලර් දහදාහක් පහළොස්දාහක් සොයා ගැනීමට උදව්වෙන තරගාවලියක් බව පෙනේ. මේවායින් ශ්‍රී ලංකාවේ විස්සයි20 දියුණු වෙන්නේ නැත.
මෙවර ලෝක කුසලානයේ දී අයි.සී.සී පූර්ණ සාමාජිකයන් නොවන කණ්ඩායම් දක්ෂතා දක්වන්නේ ඇයි? ඒ ඔවුන් නිරන්තරයෙන් විස්සයි20 ක්‍රීඩා කරන නිසාය. ඒ තරග ජාත්‍යන්තරද නැද්ද යන්න වැදගත් නැත. ශ්‍රී ලංකාව විස්සයි20 කණ්ඩායමක් නොව කණ්ඩායම් දෙකක් නිර්මාණය කර ගත යුතුය. ඒ ක්‍රීඩකයන්ට ලෝකය පුරා විස්ස20 ක්‍රීඩා කිරීමට අවසර දිය යුතුය. එහිදී ඇති නීතිමය ගැටලු, ගිවිසුම් සකස් කර ගැනීම ක්‍රිකට් ආයතනයේ වැඩකි. මේ ක්‍රීඩකයන් ලෝකය පුරා ක්‍රීඩා කරද්දී දක්වන දක්ෂතා අනුව ලෝක කුසලානයකට ක්‍රීඩකයන් ගෙන ඒම කළ යුතුය. එසේම අයි.සී.සී පූර්ණ සාමාජිකයන් නොවන කණ්ඩායම් සමග වැඩි වැඩියෙන් විස්සයි20 ක්‍රීඩා කළ යුතුය. ඒ හැරෙන්නට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගාවලි දෙකකින් ලෝක කුසලාන දිනන කණ්ඩායම් හදන්නට බැරිය. එහෙම හැදුව කාලයක් තිබේ. දැන් ඒ කාලය පසුවී හමාරය.
ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන කණ්ඩායම් අතරින් තරගාවලියෙන් විසිවුණු පළමු කණ්ඩායම වෙද්දී පළමු වටයේ අවසන් තරග පැවැත්වෙන මේ සතියේ දී පැවැත්වෙන අතිශය වැදගත් තරගයක් වෙන්නේ ඇමෙරිකාව සහ අයර්ලන්තය අතර තරගයයි. මෙය නැරඹිය යුතුම තරගයක් වෙන්නේ මේ තරගයෙන් ඇමෙරිකාව ජයගතහොත් ඔවුන් දෙවැනි වටයට ගමන් කිරීම නිසාය. එය ඇමෙරිකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෝධ පිම්මක් වෙනු ඇත. එහෙත් ඇමෙරිකාවේ ක්‍රිකට් යනු අඩු ප්‍රේක්ෂක ආකර්ශනයක් ඇති ක්‍රීඩාවක් බව අමතක කළ යුතු නැත. ක්‍රීඩා ජයග්‍රහණ යනු ඔවුන්ට අරුම දේ නොවේ. ඔවුන් දිනුවා කියා සැණකෙළි පවත්වනේවත් පැරදුනා කියා වැළලෙන්නේවත් නැත. ඒ ජයග්‍රහණ බොහෝ ගෙනෙන ක්‍රීඩා රැසක් ඇති රටක ලක්ෂණයයි. කෙසේ වුවද, අයර්ලන්තය සහ ඇමෙරිකාව අතර තරගය අතිශය තියුණු වෙනු ඇත. මේ තරගය අයර්ලන්තය ජයගතහොත් පාකිස්ථානය, අයර්ලන්තය සහ ඇමෙරිකාව යන කණ්ඩායම් තුනටම දෙවැනි වටයට යෑමට අවස්ථාවක් උදාකර ගැනීමේ මාවතක් විවරවේ. මේ අනුව ‘ඒ’ කාණ්ඩය මේ සතියේත් උණුසුම්ය.
තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය වෙන බටහිර ඉන්දීය කොදෙව් සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය අතිශය තියුණුවෙන එකක් නොවෙනු ඇත. හේතුව මේ කණ්ඩායම් දෙකම මේ වෙනවිට අවසන් 8 දෙනා අතරට ගොස් ඇති නිසාය. එහෙත් සිකුරාදා පැවති පැපුවා නිව්ගිනියාට එරෙහි තරගය ඇෆ්ගනිස්ථානය ජය ගතහොත් ‘සී’ කාණ්ඩයේ පළමුවැනියා වීමෙන් වැළකීමට මේ කණ්ඩායම් දෙකම තරගාවලියේ පළමු වටයේ අවසන් තරගයෙන් පරාජයවෙන්නට නොසිතනවා නම් පුදුමයකි. ඒ ‘සී’ කාණ්ඩයේ පළමු වැනියාට ‘ඒ’ කාණ්ඩයේ පළමු වැනියා වෙන ඉන්දියාව හමුවෙන නිසාය. ඉන්දියාව හමුවීම අනවශ්‍ය පීඩනයකි. මේ පීඩනයෙන් මිදීමට ඇෆ්ගනිස්ථානය සහ කොදෙව් යන කණ්ඩායම් දෙකම උත්සාහ කරනු ඇත.
මේ තරගාවලිය ඇරඹෙද්දී බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටි ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් මේ වෙනවිට අවසන් අට දෙනා අතරට පැමිණ තිබේ. බංග්ලාදේශයටද අවසන් අට දෙනා අතරට පැමිණීමේ අවස්ථාවක් ශ්‍රී ලංකාව උදාකර දුන්නේය. තරගාවලිය ආරම්භයේ දී අප බලාපොරොත්තු වූ ආකාරයෙන්ම ‘සී’ කාණ්ඩය අතිශය තරගකාරී එකක් බවට පත්විය. ඇෆ්ගනිස්ථානය සියලු අවි අමෝරා නවසීලන්තයට පහර දුන්නේය. මේ අනුව ඇෆ්ගනිස්ථානයට අවසන් අට දෙනා අතරට පැමිණීමේ අවස්ථාවක් උදාවී තිබේ. එය ඇෆ්ගනිස්ථානයේ ක්‍රිකට් ඉතා ඉහළට පැමිණ ඇති බවට ඉගියකි. ඔවුන් පළමු වටයෙන් පැනගැනීම නිසා අනිවාර්යයෙන්ම දෙවැනි වටයේ ප්‍රබල කණ්ඩායමක් බවට ඔවුහු පත්වෙති. එසේ කියන්නේ කොදෙව් තණතිලිවලට ඔවුන් ඉතා හොඳින් ගැළපෙන නිසාය. ‘සී’ කාණ්ඩයේ පළමු වැන්නා නොවී ඇෆ්ගනිස්ථානය දෙවැන්නා වුවහොත් ඔවුන් අනිවාර්යයෙන්ම මෙවර අවසන් පූර්ව තරගයක් කරා යනු ඇත. එහිදී අප මේ තරගාවලිය ආරම්භයේ දී කියූ එංගලන්තය තරගාවලියෙන් ඉවතට විසිවෙනු ඇතැයි විශ්වාස කළ හැකිය. ස්කොට්ලන්තය සමග පැවති තරගයට වර්ෂාව බාධා කිරීම නිසා එංගලන්තය දැඩි අර්බුදයකට මුහුණ දුන්නේය. එය නිරාකරණය කර ගැනීමට සිකුරාදා (ශ්‍රී ලංකා වේලාවෙන්) පැවැත්වෙන ඕමාන් තරගය සහ සෙනසුරාදා පැවැත්වෙන නැමීබියා තරගය යන තරග එංගලන්තයට අතිශය වැදගත්ය. මේ තරග දෙකෙන් එකකට වර්ෂාව හරස් වුවහොත් එංගලන්තයේ ඉරණම විසඳෙන්නේ ඔවුන් තරගාවලියෙන් ඉවතට විසිකරමිනි. එහෙත් වර්ෂාවෙන් ප්‍රශ්නයක් නොවුණහොත් එංගලන්තය පහසුවෙන් දෙවැනි වටයට යනු ඇතැයි අනුමාන කළ හැකිය.
පෙර කී ලෙසම විස්සයි20 ගැන පැහැදිලි අවබෝධයකින් ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ යුතුවෙයි. එසේ නොවුනහොත් මේ ප්‍රශ්න සදාකාලික වෙනු ඇත. අනාගතයේ වැඩි තරග ප්‍රමාණයක් පරාජය වුවද ඔවුන් දුර්වල යැයි කියා ගන්නා කණ්ඩායම් සමග වැඩි වශයෙන් ක්‍රීඩා කළ යුතු වෙයි. එසේ නොකර විස්සයි20 තරග ජයග්‍රහණය කිරීම අපහසුය. මේ තරගාවලිය ආරම්භයේ දීම අප කියූ දෙයක් වූයේ දකුණු අප්‍රිකාව හමුවේ ජයග්‍රහණයක් ලදහොත් ‘ඩී’ කාණ්ඩයේ පළමු වැන්නා වීමට අපට හැකි බවයි. එහෙත් එම තරගය පරාජයට පත්වුවහොත් බංග්ලාදේශය හමුවේද පරාජය වීමේ අවදානමක් ඇති බවය. එසේ පරාජය වුවහොත් ගතු කියන්නට ශ්‍රී ලංකාවට අයිතියක් නොමැති බවද අපි කීවෙමු. ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට මේ පරාජය සම්බන්ධයෙන් නිදහසට කරුණු නැත. ඔවුන් වගකීම කොන්දේසි විරහිතව බාරගත යුතුය. එසේ නොවී නිදහසට කරුණු කියන්නට ගියහොත් අනිවාර්යයෙන්ම ඔවුන් ගැන ඇති ප්‍රසාදය හීන වී යනු ඇත. එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට එතරම් යහපත් නැති බව මතක් කළ යුතුය. අතීතයේ දී අපේ ක්‍රීඩකයන් ප්‍රධාන තරගාවලියකට ගිය විට හෝ හොඳ කණ්ඩායමකට මුහුණ දුන්විට හෝ අපි පරාජය වුවත් පාඩම් ඉගෙන ගත්තා යැයි කියන්නට පුරුදු වී සිටියහ. 2015 පසුව යළිත් මේ කතාවම කියන්නට වී තිබේ. දැන් විස්සයි20 ලෝක කුසලාන 4 කටම ගොස් පාඩම් ඉගෙන ගෙන තිබේ. යළිත් ෆේල් වෙනවා නම් උගත් පාඩම් නැති බව කියන්නට සිදුවෙයි. අප මේ කියන්නේ කුසලානයක් ජයගැනීම ගැන නොවේ. අවසන් පූර්ව තරගයක් කරා යෑම ගැනය.
- කාංචන දසනායක