ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි
යතාරෝ ඉවසාකි හෙවත් යටාරෝ ඉවසාකි උපත ලැබුවේ. ජපානයේ දකුණු දිග කෝචි දිස්ත්‍රික්කයට අයත් අකී නගරයේදීය. අද නගරයක් වුවද එවකට එය ග්‍රාමීය පළාතක්ව පැවතිණි.
යතාරෝ ගොවි පවුලකට අයත් වූ අතර සමුරායි පරපුරෙන් පැවැත ආ අයෙක් වීය. 1835 දී ඔහු උපදින විට ජපානය පැවැතියේ ලෝකයට වඩාත් විවර වූ රටක් හැටියට නොවීය. පූර්ව ළමා විය යතාරෝ හට ගෙවා දැමීමට සිදුවූයේ එවැනි සමයකදීය. අකී පළාතේ සිට පාසල් අධ්‍යාපනය ලබමින් සිටි යතාරෝ ඉවසාකි හට වයස අවුරුදු 19 සපිරීමත් සමග තෝකියෝව (ටෝකියෝ) වෙත ඒමට සිදුවිණි.
එවකට තෝකියෝ නගරය හැදින් වුයේ ‘‘එදෝ’’ නමිනි. ඉවසාකිගේ පියා සහ ගමේ ප්‍රධානියා අතර එකල ගැටුම් ඇතිවිණි. එහිදී වූ සටනකින් පසු ඉවසාකිගේ පියා බරපතළ ලෙස තුවාල ලැබීය.
මෙවැනි දේ නිසා කැලඹී සිටි ඉවසාකි හට තම අධ්‍යාපන කටයුතුද හරිහැටි කරගෙන යාමට නොහැකි වුණි. මේ අතරේ ඉවසාකිගේ පියා, නඩුවක් ගොනුකර තිබුණේ ගමේ ප්‍රධානියාට එරෙහිවය. එහෙත් ප්‍රාදේශීය උසාවියේ මහේස්ත්‍රාත්වරයා නඩුව විභාග කිරීම ප්‍රතික්ෂේප කළේය. එම අසාධාරණයට එරෙහිව තුරුණු ඉවසාකි හඬ නැගීය. එහි ප්‍රතිඵලය වූයේ ඔහු හට සත් මසක කාලයකට සිරගත වීමට සිදු වීමය.
නිදහස ලැබී ටික කාලයක් යන තෙක් රැකියාවක් නොමැතිව ගත කළ අතර, පසුව ඔහු ගුරුවරයකු ලෙස රැකියාව කර තිබේ.
එදා තෝකියෝවේදී දේශපාලන ක්‍රියාකාරකම් ගැනද ප්රතිසංස්කරනවාදී ක්‍රියාවලින් ගැන ද උනන්දු වූ අතර යොෂීදා තොයෝ ගුරුතුමා යටතේ ජීවිතයට බොහෝ දේ එක්කර ගැනීමට ඔහු හට හැකිවිණි. ලෝකයට වසන් වී තිබීමට වඩා ජපානය ලෝකයට විවර වී ආර්ථික අතින් මෙන්ම නිර්මාණාත්මක නිෂ්පාදන ක්‍රියාවලියෙන් ලෝකය ජය ගත යුතුය යැයි ඔහුගේ අදහස් විණි. යොෂිදාගේ සබඳතා ඔස්සේ යමවුචි පාලනයේ ලිපිකරුවකු ලෙස සේවයට එක් වීමේ භාග්‍යය ඉවසාකි ලද්දේය. ඉන්පසුව ඔහු මෙන්ම පවුලේ උදවියට ‘‘සමුරායි’’ තත්ත්වයේ පිළිගැනීම නැවතත් හිමිවුණි.
එපමණක් නොවී ඔහුගේ තනතුරද උසස් කෙරිණි. පසුව ව්‍යාපාරික කටයුතු තව දුරටත් ව්‍යාප්ත කිරීම වෙනුවෙන් ටෝකියෝ වේ සිට ඕසාකා වෙත යාමට ඔහුට සිදුවූවේය.
එවකට එම ව්‍යාපාරයේ නාමය වූයේ ත්සුකුමෝ ට්‍රේඩිං කම්පැනිය. 1873 දී මිත්සුබිෂි හෙවත් මිට්සුබිෂි බවට පරිවර්තනය වූයේ එම සමාගමය.
අප මේ කතා කරන්නේ ලෝ ප්‍රකට මිට්සුබිෂි සමාගම ගැන සහ එය බිහි කළ මිනිසා ගැනය. මිටිසුබිෂි යනු ලෝකයේ බොහෝ දෙනා අතර ප්‍රකට නාමයකි. ලෝකයේ රටවල් 90 ක පමණ ව්‍යාප්ත වී ඇති ලෝ ප්‍රකට මිට්සුබිෂි එම රටවල සමාගම් 1200 කින් පමණ සමන්විතය. එදා 1870 දී ජපන් ජාතික යතාරෝ ඉවසාකිගේ නායකත්වයෙන් බිහිවූ මෙය අද වනවිට ලෝක ව්‍යාප්ත වී ඇත්තේ විවිධ අංශ වලින් සමන්විත සමුහ සමාගමක් ලෙසය. එය අද හැඳින්වෙන්නේ මිට්සුබිෂි ඉන්කෝපරේෂන් නමිනි. ප්‍රකට සමාගම් ලොව දිනු හැටි විශේෂාංගය වෙතින් අද අපි මෙම මිට්සුබිෂි සමාගමේ විස්තර කියවමු.
ජපානයේ විශාලතම වෙළෙඳ සමාගම.
1860 දශකයේදී යතාරෝ ඉවසාකි නාගසාකි වෙත ගොස් සිටිමින් ඉහත කී පරිදි කටයුතු කරමින් සිටියේය.
ඒ වන විටත් ජපානයේ පැවැතියේ හමුදා පාලනයකින් යුතු වැඩ වසම් පාලන ක්රමයකි. 1868 දී එම පාලනය නිමාවට පත් වූයේ මෙයිජි යුගය ඇරඹිමත් සමගමය. මෙයිජි යුගය යනු ජපානය ලෝකයට විවර වූ අසිරිමත් යුගයයි. ජපානය සුපිරි හපන්කම් පෑමට මුල පිරුවේ මෙම මෙයිජි සමග ඇරඹීමත් සමගය. යතාරෝ ඉවසාකි එවකට නව ජපන් රජය හා සමීපව කටයුතු කරමින් කර්මාන්ත ක්ෂේත්රය නගා සිටුවීමට පුරෝගාමිත්වයක් සැපයීය. මෙයිජි ප්‍රතිසංස්කරණ සමයේදී එහි ප්‍රධාන චරිතයක් වූ සකාමෝතෝ රයාමා සමග මිත්‍රත්වයක් තිබූ බැවින් තම පරපුරට අයත් ව්‍යාපාර කටයුතුවලදී ප්‍රමුඛත්වය ගෙන වැඩ කිරීමට හැකි විය.
1870 දී මිට්සුබිෂි නාමයට පෙර මිට්සුයි ෂෝකායි සහ මිට්සුබිෂි ෂෝකායි යන නම් වලින් ව්‍යාපාරය දියත්ව තිබිණි. 1870 දී ඉවසාකි මෙම ව්‍යාපාරයේ සභාපතිත්වයට පත් කෙරුණි. මිත්සුබිෂි හෙවත් මිට්සුබිෂි යන්නෙහි අරුත වන්නේ මෙසේය.
ජපාන භාෂාවේ අරුතට අනුව (Mitsu) මිත්සු (මිට්සු) යනු තිත්වය (තුන) වෙයි. බිෂි (Bishi) වෙනුවට ජපන් අරුතින් ශබ්ද වන්නේ hishi යනුවෙනි. හිෂි යනු ජලයේ පැළවෙන පැළෑටි වර්ගයකින් ලබා ගන්නා බීජයකි. වෝටර් චෙස්නට් යනු එම බීජ වර්ගයයි. මට්සුහිෂි මිට්සුබිෂි බවට භාවිතයට ගැනුණේ එලෙසිනි.
මිට්සුබිෂි පැරණි සමාගම සඳහා ඩයමන්ඩ් හෙවත් රොම්බස හැඩයෙන් යුතු සලකුණ යොදා ගෙන ඇත්තේද ඉවසාකි විසින්මය. එහි මුල්ම හැඩය ඕක් ගසක කොළ (පත්‍ර) තුනකින් යුතු ත්‍රිත්වයක හැඩයක් ගත්තේය.
පසුව ඩයමන්ඩ් හෙවත් රොම්බසයක හැඩයෙන් නිර්මාණය වී වත්මන දක්වා මිට්සුබිෂි සමුහයේ සලකුණ ලෙස භාවිතයට ගැනේ.
මුලින් වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක කරවූ නැව් සමාගමක් ලෙස වෙළෙඳ කටයුතුවල නිරත වූ මිට්සුබිෂි සමාගම පසුව විකාශය වුයේ පතල් කැණීම, නෞකා නිෂ්පාදනය, දුරකථන සේවා, මුල්‍ය සේවා, රක්ෂණ, ඉලෙක්ට්‍රොනික, තෙල් හා ගෑස්, දේපළ වෙළෙඳාම, ආහාරපාන නිෂ්පාදනය, රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය, ගුවන් යානා නිෂ්පාදනය හා සේවාවන්, ඉදිකිරීම්, යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය මෙන්ම මෝටර් රථ නිෂ්පාදන ඇතුළු බොහෝ අංශ ඔස්සේය. විටෙක ජපනයේ ව්‍යවසායකත්ව ක්ෂේත්රයේදී මෙම මිට්සුබිෂි සමුහය ක්‍රියාත්මක වී ඇත්තේ ජපානයේ හදවත මෙනි.
වයසට වඩා වැඩ ගොන්නක් කළ මහා මිනිසාගේ නික්මයාම
ජීවිත කාලයේදී කිසිවක් කර කියා ගත නොහැකිව ළතැවෙන විඳවන, බොහෝමයක් මිනිසුන් අතරේ මේ යතාරෝ ඉවසාකි යනු ජීවිතයට වඩා විශාල වූ මිනිසෙක් විය. එදා 1854 දී පමණ ‘‘එදෝ’’ හි (තෝකියෝව) අධ්‍යාපනය ලැබීමට තොසා දිස්ත්‍රික්කයේ අකී නගරයේ සිට පිටත්වීමට පෙර යතාරෝ තම ඥාති මිත්රයින් හමු වීමට ද ගියේය. ඉන්පසුව ගමේ දේවස්ථානයකට ගොස් වැද පුදාගත් අතර දේවස්ථානය ඉදිරිපිට තිබූ ගේට්ටුවේ තැනෙක ඔහු අපූරු සටහනක් තැබුවේය.
‘‘මගේ අභිලාෂයන් සඵල කර ගන්නා තෙක් අවබෝධ කර ගන්නා තෙක් මම නැවත මෙම කන්ද තරණය නොකරමි"
යතාරෝ ඉවසාකි පසුව එදෝ බලා පිටත්විය. ඒ ගිය ජීවිත ගමනෙහි ගමනාත්තය කෙටියෙන් සටහන් කළොත් මෙලෙසිනි.
• 1835 දී උපත ලැබීම සහ වයස් 19 දී එදෝ (තෝකියෝව) වෙත යාම.
• වයස 23 දී තොයෝ යොෂීද ගුරුතුමා යටතේ අධ්‍යාපනය ලැබීම.
• අවුරුදු 24 සහ 31 කාලයේදී නාගසාකි වෙත ගොස් ව්‍යාපාරික සේවයේ නිරතවීම.
• වයස අවුරුදු 27 දි විවාහය සිදුවීම.
• 32 දී නැවත නාගසාකි වෙත එ්ම.
• 34 දී ඕසාකා වෙත මාරු වීම.
• 38 දී මිට්සුබිෂි බවට සමාගම පත්කරවීම.
• 39 දී එම සමාගම ටෝකියෝවේ ස්ථාපිත කිරීම.
• 40 දී ෂැංහයි නුවර (චිනය) වෙත නෞකා ගමනා ගමන සේවා ඇරඹීම.
• 41 දී නාවික හමුදාව සඳහා පාසලක් අැරඹීම.
• 43 දී ව්‍යවසායක ක්ෂේත්රය සඳහා පාසලක් ඇරඹීම.
• 44- 45 දී මිට්සුබිෂි විවිධ අංශ ඔස්සේ ක්‍රියාත්මක කරවීම.
• 46 සහ 47 දී විවිධාංගීකරණය තවත් පුළුල් කිරීම.
• 48- 49 දී ප්‍රතිවාදී නැව් සමාගම් සමග තරග කොට වෙළඳාම ජය ගැනීම.
• 50 දී ජීවිතක්ෂයට පත්වීම.
මෙලෙසින් යතාරෝ ඉවසාකිගේ ජීවිතය පාඨක ඔබ වෙත ගෙන හැර දැක්වූවේ හිතක් ඇත්නම් අදහස් ඇත්නම් අරමුණක් ඇත්නම්, මිනිසකු හට ජීවත් වන කාලයේදී ජීවිතයේ තරමට වඩා බොහෝ දේ කළ හැකි යැයි යන නිදසුන අපුරුවට ඔහුගේ ජීවිතයෙන් මැන බලා ගත හැකි නිසාය.
ඔහු මිය යාමට පෙර ඔහුගේ සහෝදරයා වූ යනෝසුකේ ඉවසාකි වෙත සමුහයේ වගකීම් පවරා තිබුණි. පසුව ඔහුගේ පුතු නිසායා ද සිව් වැනි දියණිය වූ මසාකෝ ව්‍යාපාරයට සම්බන්ධ විය. පශ්චාත් දෙවැනි ලෝක යුද සමයෙන් පසුව 1945-46 කාලයේදී ජපානයේ අගමැතිව සිටි ෂිදේහාරා කීජිරෝ සමග විවාහ වුයේ මේ මසාකෝය. යතාරෝ ඉවසාකිගේ උරුමය ‘‘මිට්සුබිෂි’’ සමාගම් වෙතින් අදටද පැවතීම විශේෂිත වූවකි.
මිට්සුබිෂි නාමයේ මුල් රථය
වර්තමාන මිට්සුබිෂි සංස්ථාව නිර්මාණය වී ඇත්තේ සමාගම් ත්‍රිත්වයක ඒකාබද්ධ වීමෙනි. එම සංස්ථාපිත තත්ත්වයට පත්වූයේ 1954 දි පමණය. වත්මනෙහි මෙහි මුලස්ථාන ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ එදා ඉවසාකිගේ ජීවිතය වෙනස් මගකට යොමුකළ එදෝ හෙවත් ටෝකියෝ නගරයේය. කෙන් කොබයාෂි වත්මනෙහි මෙම සමුහයේ සභාපතිවරයා වෙයි.
සෑම මසකම දෙවැනි සිකුරාදා මෙහි ජ්‍යෙෂ්ඨ විධායකයින් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වේ. ඊට සමාගම් තිහකට ආසන්න සංඛ්‍යාවක නියෝජිතයින් ඇතුළත්ය. සිකුරාදා සමුළුවට අමතරව මෙම සමුහයේ විවිධ සමාගම්වල ප්‍රධානින් අතර වූ රැස්වීමක් සෑම මසකම තෙවැනි සඳුදා දින පැවැත්වේ.
මිට්සුබිෂි සමූහය මව් සමාගමක් නොමැතිව තනි සමාගම් හතළිහකින් පමණ සමන්විත වීමද අපූර්වත්වයකි. ඒ සෑම සමාගමකටම අනෙක් ඒවාහි සැලකිය යුතු කොටස් හිමිය.
ලොකුවට හිතන්න අවංකව හැසිරෙන්න.
මිට්සුබිෂි සමුහයේ තේමාව වන්නේ Think big act honestly (හිතන්න ලොකුවට- හැසිරිමේදී අවංක වන්න) යන්නය. එසේ නොවුණි නම් මිට්සුබිෂි හට ලෝකයම අල්ලා ගන්නට පුළුවන් වන්නේ නැත. ඒ හැරත් මෙම මිට්සුබිෂි යනු පාන් ගෙඩියේ සිට විවිධ අංශ ඔස්සේ බොහෝ දේ නිෂ්පාදනය කරන ලොව දුර්ලභ ගණයේ සමුහ ව්‍යාපාරයකි. මෙම නාමය යටතේ බිස්කට් පැකැට්ටුවේ සිට බීම බෝතලයේ සිට බොහෝ ආහාර පාන නිෂ්පාදනය කෙරේ.
ඇමෙරිකානු කලාපයට මෙන්ම ඕස්ට්‍රේලියාවට තිරිගු පිටි නිෂ්පාදනය කර බෙදා හරින ප්‍රමුඛතම ආයතනයක් වන්නේද මෙම සමුහය සතු ආහාර නිෂ්පාදන අංශයේ සමාගමකි.
ලෝකයේ සැමන් නිෂ්පාදන ක්‍රියාවලියේදී මිට්සුබිෂි පත්ව සිටින්නේ දෙවැනි ස්ථානයේ යැයි කිව හොත් ඔබ පුදුම වේවි. එත් කතාව ඇත්තය. මිට්සුබිෂි නාමය යටතේ ලෝකයට එලෙසින් බොහෝ නිෂ්පාදන ගලා ගියද ලංකාවේ අපට නම් මිට්සුබිෂි නම කී විගස ඕනෑම කෙනෙක් අතර කියැවෙන්නේ මෝටර් රථ ගැනය. එනම් මිට්සුබිෂි මෝටර් රථ නිෂ්පාදන ගැනය. ‘‘මිට්සුබිෂි ලාන්සර්’’ යනු ලංකාවේ මෝටර් රථ භාවිත කරන්නන් අතර දශක කීපයකට පෙරදී නිරන්තරයෙන් කියැවුණු නාමයකි. පසුව වැඩි දෙනා අතර කියැවුණ මෝටර් රථ නාමය වුයේ මිට්සුබිෂි පජෙරෝය.
මිට්සුබිෂි මෝටර්ස්
මිට්සුබිසි සමුහයට මෙන්ම මෝටර් රථ සමාගමට ඇත්තේ ද දිගු ඉතිහාසයකි. එදා 1917 දී පමණ මිට්සුබිෂි නාමයේ ප්‍රථම රථය නිපදවුයේ මිට්සුබිෂි නැව් සමාගම යටතේය. ඒ අනුව 1917 දී මොඩල්- ඒ (Model- A) රථය ලෝකයට හඳුන්වාදීමට මෙම සමාගමට හැකිවිණි. මිට්සුබිෂි මෝටර් රථ සමාගමේ මුලස්ථානය පිහිටා ඇත්තේ ටෝකියෝ නගරයේ හදවත බඳු මිනාතෝ හිදීය. මිට්සුබිෂි හෙවි ඉන්ඩස්ට්‍රීස් විශාල යන්ත්‍රෝපකරණ සහ විදුලි නිෂ්පාදන යටතේ එකල පවත්වාගෙන ගිය අංශය වෙතින් මෝටර් රථ නිෂ්පාදනය ඇරඹි අතර 1970 දී මිට්සුබිෂි මෝටර් නමින් මෙම සමුහයේ තවත් අංශයක් ලෙස විවෘත විය. අද වන විට මෙහි හිමිකාරිත්වයේදී 34.3% ක කොටස් හිමිකාරිත්වයක් දරන්නේ නිසාන් මෝටර් කම්පැනි සමාගමය. 10- 77% ක් මිට්සුබිෂි හෙවි ඉන්ඩස්ට්‍රීස් සතුය. මිට්සුබිෂි කෝපරේෂන් හෙවත් සමූහය සතුවූ කොටස් ප්‍රමාණය 9.25% කි. නිෂ්පාදන ක්‍රියා වලියේදී අද මිට්සුබිෂි නාමයේ මෝටර් රථ නිෂ්පාදන වැඩි හරියක්ම නිපදවෙන්නේ ජපානයෙන් පිටතදී වීමද විශේෂත්වයකි. ඕස්ට්‍රේලියාව, යුරෝපය, ඇමෙරිකාව, ඉන්දුනීසියාව, පිලිපීනය, තායිලන්තය වැනි රටවල මිට්සුබිෂි නිෂ්පාදන කර්මාන්තශාලා ස්ථාපිත කර තිබේ.
එදා 1917 දී ස්ථාපිතව තිබූ මිට්සුබිෂි නෞකා නිෂ්පාදන අංශය වෙතින් මුලින්ම නිපදවූ මොඩල් ඒ (Model A) සම්පුර්ණයෙන්ම මිනිස් දෑතින් නිර්මාණය කරන ලද ආසන හතකින් යුතු රථයක් විය. එවැනි රථ නිෂ්පාදනය වූයේ 22 ක් පමණි. ඒ වනවිට ස්ථාපිතව තිබු ඇමෙරිකානු සහ යුරෝපීය වෙෙළඳපොළ සමග සසඳා බලද්දී වැඩි පිරිවැයක් දරා එම රථය නිපදවීමට සිදුවීම ඊට හේතුව ය.
1934දී නැවතත් PX-33 නමැති රථය වෙෙළඳපොළට හඳුන්වාදීම සිදුවිණි. නමුත් මිට්සුබිෂි නිෂ්පාදන වඩ වඩාත් නිෂ්පාදන ක්‍රියාවලියට පිවිසියේ දෙවැනි ලෝක යුද්ධය නිමාවීමත් සමගය. ඉන්පසු විවිධ වර්ගයේ කාර් මෙන්ම මෝටර් බයිසිකල් (ස්කූටර්) ට්‍රක් රථ ඇතුළු බොහෝ රථ නිෂ්පාදනය අරඹා තිබේ.
එලෙසින් මොන තරම් රථ නිෂ්පාදනය වුවද ලාංකීය ජනතාව අතර එදා වඩා ප්‍රකට වුයේ මිට්සුබිෂි ලාන්සර්, මිට්සුබිෂි ගැලන්ට් සහ පජෙරෝ රථය. පජෙරෝ රථ මුල්ම ඛාණ්ඩය නිෂ්පාදනය කළ පසු දශක කීපයකට පෙරදි එම රථ ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු භාවිත කළ රථයක් ලෙස වඩාත් ප්‍රකට වූ කරුණකි.
1985 දී පජෙරෝ ප්‍රථම නිෂ්පාදනය හඳුන්වා දුන්නේ ප්‍රංශයේ ඩකාර් මෝටර් රථ ධාවන රැළිය අතර තුරේදිය. 1981 දී නිෂ්පාදනයට මුල පිරූ පජෙරෝ කාණ්ඩයේ රථ ඉනිත්බිතිව විවිධ වෙනස්කම් යටතේ වෙළෙඳපොළට ආ නිෂ්පාදන බොහෝය. මිට්සුබිෂි මොන්ටෙරෝ සහ ෂෝගන් ලෙස පසුව විකාශය විණි. ප්‍රංශයේ ඩකාර් රැළි මෝටර් රථ ධාවන ඉසව්වේදී කල එළි දුටුවාසේම එම ධාවන තරග ඉසව්වලදී වාර්තා පිට වාර්තා තබා ඇත්තේද මෙම පජෙරෝ කාණ්ඩයේ නිෂ්පාදනයන්ය. පරම්පරා කීපයක් ලෙස පජෙරෝ කලින් කලට විවිධ කාණ්ඩ ඔස්සේ එළි දැක්වීම සිදු කෙරේ.
මිට්සුබිෂි ලාන්සර් වර්ගයේ රථ ගැන කතා කිරීමේදී 2020 දී හඳුන්වා දී ඇති නවතම රථය ලාන්සර් ක්‍රෝස් ලෙස නම් කර ඇත. මිට්සුබිෂි නාමයේ අවුට්ලෑන්ඩර් E- evolution, සහ 2019 දී පජෙරෝ (Pajero) නමින් පමණක් සුපිරි රථයක් හඳුන්වා දුන්නේය. පජෙරෝ කෙරෙහි මිනිසුන් දක්වන ආසාව එයින් මැනගත හැකිය.
2019 දී හඳුන්වා දුන් i- miev නමැති කුඩා මිට්සුබිෂි රථයද බොහෝ දෙනාගේ ආකර්ෂණයට නතුවිණි. එමෙන්ම ස්පේස් ස්ටාර් රථයද Asx- 1.6 යන රථයට පසුව 2020 දී කළ එළි දුටු Expander සුඛෝපභෝගී රථය ඉතා අනර්ඝ නිමැවුමකි.
මෙලෙසින් මිට්සුබිෂි නාමයේ විවිධකාර මෝටර් රථ නිෂ්පාදන බොහෝය. මෙම නාමයෙහි මෝටර් රථවල විශේෂත්වය වන්නේ ධාවන තරග සඳහා යොදා ගන්නා නිෂ්පාදන සුපිරි කාණ්ඩයේ නිෂ්පාදන පවුලකට ගැළපෙන නිෂ්පාදන ආදි වශයෙන් විවිධත්වයෙන් වාහන නිෂ්පාදනය කෙරෙන නිසාය. කෙසේ වුවද, වාහන නිෂ්පාදනයේදී මෙම නාමයට ජපානයේ හිමිව ඇත්තේ සයවැනි ස්ථානය සහ ලෝකයේ දහනම වැනි ස්ථානය යැයි සඳහන් වේ. එහෙත් යතාරෝ ඉවසාකි පටන් ගත් මිට්සුබිෂි අද ලෝක සමාගම් අතර ඉහළින්ම නැගී සිටින සමුහ සමාගම් ජාලයකි. ප්‍රතිපත්ති ත්‍රිත්වයක් මත පිහිටා සේවා ලබාදීම මෙම සමුහයෙහි පරමාර්ථය වෙයි.
යාන්ත්‍රික නිෂ්පාදන මිහිතලය මතට මුදා හැරෙන ක්‍රියාවලිය සිදුවන අතරේ ලෝකය වටේ රුක් රෝපණ වැඩ සටහන් මෙන්ම තවත් සමාජ සත්කාර ළමා ලෝකය හා බැඳී ක්‍රියාත්මක කරවීමද මිට්සුබිෂි සමුහයේ සංවිධානයෙන් සිදු කෙරේ.
සටහන :
සඳුන් ගමගේ