පැළ ඉණිවැටට ගහ මරාගත් අයියා - මලෝ


පොලිස් පොතෙන්

 

සිරුර හමුවූ දිනයේදී මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අයුරු 

 

 

‘වෙරළු ගෙඩිය හරි අටකට කපාගෙන, කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන, උන්නත් එදා සත් කුළු පව් විලාසෙන,


පැළ ඉනි වැටට ඇයි අද ඇන කොටාගෙන’


 යැයි නිතර දෙවේලේ ඇසුණත් අවසානයේ ඉතිරි වන හතර රියන අමතක කර තවමත් අපි එක බිම් අඟලට ගහ මරා ගනිමු.


තංගල්ල නෙටොල්පිටිය ගම්මුන්ටත් අසන්නට ලැබු‍ණේ එවැනිම සිද්ධියකි. තංගල්ල නෙටොල්පිටියේ ගම්වැසියන්ගේ සිත්වල දින ගණනාවක් පැසවූ කුහුලක් වූයේ පාළුවට ගිය පෞද්ගලික ඉඩමක තිබී කැපුම් තුවාල සහිතව හමුවූ පුද්ගලයකුගේ සිරුර ගැන කිසිම හෝඩුවාවක් නොමැති වීමය.   


ඉඩම සුද්ධ කරන්නට ගිය වේලාවේදී පොලිතින්වලින් ඔතා තිබූ යමක් තුළින් මිනිස් කකුලක් දුටු නිසා මේ ගැන තංගල්ල පොලිසියට කියන්නට ගම්වැසියෙක් ක්‍රියා කළේය. කවරදාකවත් මෙවැනි සිද්ධියක් නෙටොල්පිටිය ගම්මානයේ අය මීට පෙර අසා දැක තිබුණේ නැත.   

 

 වළදමා තිබියදී සොයාගත් දුරකථන සහ දුරස්ථ පාලක

 


ගොම්මන් යාමයේදී සතරදෙසින් ජනගඟක් පාළු ඉඩමට ගලාගෙන ආවේ එම සිරුර දැක බලාගන්නටය. කෙතරම් පිරිසක් ආවත් මියගොස් සිටියේ කවුරුන්දැයි කිසිවෙක් හඳුනා නොගත්හ. දවස් දෙක තුනක් ගත වී තිබුණ නිසා සිරුර හඳුනාගැනීම තරමක් අසීරු වන්නට ඇත. ඇඳ ඇතිරිල්ලකින් ඔතා ඉන් පසුව පොලිතින්වලින් ද ඔතා කැපුම් තුවාල සහිතව තිබූ මෙම පුද්ගල සිරුර මෙතැනට ගෙනැවිත් දැමුවේ කවුදැයි සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ විය. අසල ගෙදරක සිටි අයෙක් දින කිහිපයක් තිස්සේ අතුරුදන් බවට ද පොලිසියට ඒ වනවිට තොරතුරු ලැබී තිබිණි.   


අකුරැස්සේ නෑදෑ ගෙදරක සිට සිය පස් හැවිරිදි කුඩා මුණුබුරාත් සමග ලීලාවතී තකහනියේම දුවගෙන ආවේ දවස් දෙක තුනක් තිස්සේ නාලක සහ තාරක යන තම පුතුන් දෙදෙනා ගැන හාංකවිසියක්වත් නැතිවූ නිසාය. ගමට එන තෙක් හිතේ ගින්දරෙන් ආපූ ලීලාවතිගේ බය දෙගුණ තෙගුණ වුණේ පුතුන් දෙදෙනා ගෙදර ද නොසිටි නිසාය. වටෙන් පිටින් ආරංචි කර බැලූ ලීලාවතීගේ කන වැකුණේ ඊට පෙර දිනයේදී අසල ඉඩමක තිබී හමුවූ මළ සිරුර ගැනය. පුතුන් ගැන බියට පත්වූ ලීලාවතී ඔවුන් ගැන තංගල්ල පොලිසියට කීවේ වෙන කරන්නට දෙයක් නොමැති නිසාය. පෙර දිනයේදී හමුවූ සිරුර කාගේදැයි ඒ වනවිට ප්‍රහේළිකාවක් වූ නිසාත් ලීලාවතී ද ඒ ආසන්නයේ පදිංචිකාරියක නිසාත් මියගිය අයගේ පින්තූර සහ ඔහු ඔතා තිබූ ඇඳ ඇතිරිලි පෙන්වා ඒවා හඳුනන්නේ දැයි ඇයගෙන් ප්‍රශ්න කරන්නට පොලිසියට සිදුවිය. කිසිවකුටත් හඳුනාගැනීමට නොහැකි වූ සිරුර තමාගේ බාල පුතු වන තාරකගේ බවට හඳුනාගන්නට ලීලාවතීට වැඩි වේලාවක් ගියේ නැත. තමා කවරදාකවත් නොසිතූ දෙයක් මේ වනවිට සිදු වී ඇතැයි ලීලාවතීගේ සිහියට නැඟු‍ණි.   
තම කුඩා මුණුබුරාට පිය සෙනෙහස ගිලිහී ගොස් තිබිණි. කාටත් හිතහොඳ බාල පුතාගේ මරණය ඇයට දරාගන්නට නොහැකි විය. ඒත් පුතුගේ මරණය ඇයට අභිරහසක් වී තිබුණි.   


වැඩිමල් පුතු වන නාලක ගැන ආරංචියක් නොවූ නිසා ලීලාවතී දැඩි කනස්සල්ලෙන් පසුවූවාය. තාරකගේ මරණය ගැන ඇය කවරදාකවත් සිය වැඩිමල් පුතා සැක කළේ නැත. දිගින් දිගටම ඔහු සෙවූ ඇයගේ ප්‍රයත්නය අසාර්ථක වූයේ ඔහුගේ දුරකථනය පවා අක්‍රීයව තිබූ නිසාවෙනි. 

 
කාලය සෙමෙන් ගතවෙද්දී පොලිසියේ ඇස යොමූ වූයේ තාරකගේ වැඩිමල් සොහොයුරා වන නාලක දෙසටය. තාරකගේ සිරුර හමුවීමට දින තුනකට පෙර සිට ඔහු අතුරුදන් වීම නිසා පොලිසියේ සැකය තවත් වැඩි වී තිබිණි. නාලක ගැන සෙවීමේදී ඔහු යුද හමුදාවේ සේවය කළ අයකු බවටත් ඔහු මතට තදින් ඇබ්බැහි වූවකු බවටත් කරුණු අනාවරණය විය. නාලක ඇසුරු කළ කාන්තාවක ගැන තොරතුරු සොයාගත් තංගල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගයංක කරවිට මහතා ප්‍රමුඛ කණ්ඩායම ඇයගේ මාර්ගයෙන් නාලකගේ දුරකථන අංක සොයාගෙන පොලිසියට කට්ටි පනිමින් තණමල්විල බලහරුවේ වගාවක කල් ගෙවූ නාලක ගෙදර එද්දී අත්අඩංගුවට ගන්නට සමත්වූහ.   


තම මල්ලීගේ මරණය පිළිබඳව නාලක පොලිසිය ඉදිරියේ අකුරක් නෑර පාපොච්චාරණය කළේය.   


තමන් හැදූ ගෙදරින් පිටව යන්නැයි කෙතරම් කීවත් තාරකත් ඔහුගේ පුතාත් නොගිය නිසා නාලක නිතරම සිටියේ මල්ලී සමඟ තරහෙනි. පොඩි පොඩි ආරෝවලටත් අයියා සහ මල්ලී දෙදෙනා ආරවුල් ඇති කරගත්තෝය. සිද්ධිය වූ දවසේත් තාරක සහ නාලක දෙදෙනා රණ්ඩු වී තිබිණි. අම්මා ගෙදර නැති වේලාව තාරක ගැන දෙකෙන් එකක් බේරාගන්නට හොඳම වෙලාව යැයි සිතූ නාලක ගෙදර තිබුණු කඩුවකින් නිදා සිටි තාරකගේ හිසට පහර දුන්නේය. බරපතළ තුවාල ලැබූ තාරක ටික වේලාවකින් මෙලොව හැර ගියේය. මල්ලී සිටි ඇඳේ ඇඳ ඇතිරිල්ලෙන්ම ඔහු ඔතා කළු පැහැති පොලිතින් කවරයකින් සහ කහ පැහැති පොලිතින් කවරයකින් ඔතා තනිව ඔහු සිය කර මතට ගෙන පාළු ඉඩමට දමා පඳුරුවලින් වැසුවේය. මල්ලීගේ ලෙයින් නැහැවුණු මෙට්ටය ගෙදර ළඟ තිබුණු සුසාන භූමියකට වීසිකළේය. මල්ලීගේ ලේ තැවරුණු දුරකථන දෙකත්, කොට්ට උරයත් අරන් ගිහින් ගේ ළඟ කජු ගහ යට වළ දැමුවේය. හැමෝගෙන්ම වහන් වී සිටින්නට සිතූ නාලක කාටවත් නොකියා හනි හනිකට හොර රහසේම පලා ගියේය.   


නාලක අතුරුදන් වූ බව දැනගත් පොලිසිය ඔහු ගැන විමසිල්ලෙන්ම සිටි නිසා තාරක මිය ගොස් හරියටම මාස පහකට පසු තාරකගේ මරණයට සැකපිට නාලක අත්අඩංගුවට ගන්නට පසුගිය 9 වැනිදා පොලිසියට හැකිව තිබිණි. නාලක සමඟම ගොස් ඔහු වළදැමූ කොට්ට උරය, දුරකථන සහ දුරස්ථ පාලක දෙකක් සොයාගන්නට ද පොලිසියට හැකිවිය.   


එකම මහපොළොව කාටත් නිදි සුවය දෙන බවත් එවිට බිම් පංගුවට ලොල් වී මළගම් නොයන බවත් නාලකට මීට පෙර කියාදෙන්නට කිසිවකු සිටියානම් ඔහුගේ මල්ලීට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුනොවනු ඇත.   
තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් එල්.ටී. වරුසවිතාන මහතා මියගිය තාරකගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූයේය.   


හම්බන්තොට සහ මාතර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර මහතාගේ අධීක්ෂණයෙන් තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය, සහකාර පොලිස් අධිකාරී සනත් අමරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වජිර ඉන්ද්‍රජිත්, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගයංක කරවිට, පොලිස් සැරයන්වරුන් වන සුමනසිරි (33792), කුසුම්සිරි (52724), සුජීව (58753), පොලිස් කොස්තාපල්වරුන් වන මෙන්ඩිස් (92723), රුක්ෂාන් (67129) යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගත්හ. 

 
(සැ.යු: මෙහි එන සිදුවීමට අදාළ පුද්ගල නාම මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න.) 

 

 

සටහන සහ ඡායාරූප: 
සිටිනාමළුව - අනීෂා මානගේ