පිටරටින් එවන වටිනා බඩු කුරියර් තැපෑලේදී උස්සන හොරු


 

 

විදේශ රටක ජීවත්වෙන, නැත්නම් රැකියාව වෙනුවෙන් එසේත් නැත්නම් උසස් අධ්‍යාපනය වෙනුවෙන් තාවකාලිකව විදේශගතවූ බොහෝ දෙනා තමන්ගේ ආදරණීය සැමියාට නැත්නම් බිරිඳට, පෙම්වතාට, පෙම්වතියට, දෙමාපියන්ට, සහෝදර සහෝදරියන්ට විශේෂ තෑග්ගක් දෙන්න ඕනෑ වුණාම වටිනා ජංගම දුරකථනයක් ලැබෙන්න සැලැස්වීම සාමාන්‍ය සිද්ධියකි. එසේම සමහර අයෙක් තමන්ට අවශ්‍ය නවීන තාක්ෂණික මෙවලම් සහිත ජංගම දුරකථන විදේශ ගතව සිටින ඥාතියකුට හෝ හිතවතකුට මුදල් ලබාදී ගෙන්වා ගනිති.   


එක පුද්ගලයෙක් ලෙස ගතහොත් මෙවැන්නක් සිදුවන්නේ ඉතාමත්ම කලාතුරකින් වුවද ගුවන්තොටුපොළ රේගුවට අනුව ගතහොත් එවැනි ජංගම දුරකථන රැසක් දිනකට මෙරටට පැමිණේ. ඇතැමෙක් ලංකාවට එන තම හිතවතෙක් මගින් එවැනි ජංගම දුරකථනයක් තමන්ට අවශ්‍ය පුද්ගලයා වෙත යොමු කරවන නමුත් බහුතරයක් මෙරටට පැමිණෙන්නේ කිසියම් කුරියර් සමාගමක් මාර්ගයෙනි.   

 

ඕනෑම රාජ්‍ය ආයතනයක මෙන්ම පෞද්ගලික ආයතනයකද තමන්ගේ වගකීම විශ්වාසය කඩකරන, ආයතනය සතු ද්‍රව්‍ය හොරකම් කරන, තමන්ගේ නිලය භාවිත කර අනිසිලෙස මුදල් උපයා ආයතනයේ නමට කැළැල් කරන සේවකයෝ සිටිති. කුරියර් සේවාවන් වලද මෙවැන්නන් නැතැයි කිව හැක්කේ කාටද?  


තමන් නොගොස් තමන්ට අවශ්‍ය භාණ්ඩය අවශ්‍ය තැනට වෙලාවට යවන්න භාවිතා කරන ක්‍රමය වන්නේ කුරියර් සේවාවය. රට තුළ භාණ්ඩ එහා මෙහා ගෙන යාමට මෙන්ම විදේශ රටක සිට මෙරටට භාණ්ඩ ගෙන ඒමටත් එම ක්‍රමය භාවිතා කෙරේ. ලංකාව තුළ භාණ්ඩ එහා මෙහා ගෙන යාම සඳහා කුරියර් සමාගම් රැසක් ක්‍රියාත්මක වන අතර විදේශ රටක සිට ලංකාවට භාණ්ඩ ගෙන්වීමට යොදාගත හැකි ජාත්‍යන්තර කුරියර් සේවා ප්‍රධාන වශයෙන් දහයක් තිබේ. ඒ අතරද ඉතාමත්ම ජනප්‍රිය ආයතන ලෙස පහක් පමණ හමුවේ.   
 කිසියම් ගනුදෙනුකරුවකු තමන් වෙත ලබාදෙන ලිපිලේඛනයක් හෝ භාණ්ඩයක් හෝ විශ්වාසනීයව අදාළ ලිපිනය වෙත, අදාළ පුද්ගලයා වෙත ලබාදීම කුරියර් සමාගමේ වගකීමකි. ආයතනය කෙරෙහි වන විශ්වාසය රඳා පවතින්නේ එසේ වගකීම නිසිලෙස ඉටුකිරීමෙනි. යමෙක් තමන් දුක් මහන්සියෙන් හරිහම්බ කළ මුදලින් ලබාගත් වටිනා භාණ්ඩයක් ඇතැම් විට ලක්ෂ දෙකතුනක් වටිනා භාණ්ඩයක් කුරියර් සමාගමකට ලබාදෙන්නේ ඒ විශ්වාසය මතය.   

 


ඕනෑම රාජ්‍ය ආයතනයක මෙන්ම පෞද්ගලික ආයතනයකද තමන්ගේ වගකීම විශ්වාසය කඩකරන, ආයතනය සතු ද්‍රව්‍ය හොරකම් කරන, තමන්ගේ නිලය භාවිතා කර අනිසිලෙස මුදල් උපයා ආයතනයේ නමට කැළැල් කරන සේවකයෝ සිටිති. කුරියර් සේවාවන් වලද මෙවැන්නන් නැතැයි කිව හැක්කේ කාටද?   
ලොව ප්‍රමුඛතම හා සුප්‍රසිද්ධම කුරියර් සේවාවක් යටතේ මෙරටට එවන ලද ජංගම දුරකථන සොරාගෙන වෙනත් අයකුට අලෙවි කර මුදල් ඉපයූ නිලධාරීන් කීප දෙනෙක් හා ඔවුන්ට උදව් කළ කම්කරුවන් කීපදෙනෙක් දැන් සිටින්නේ රිමාන්ඩ් බන්ධනාගාරයේය. ඔවුන් මෙම සොරකම සිදුකර තිබෙන්නේ එක කණ්ඩායමක් ලෙස සහයෝගයෙන් එකතු වීමෙනි. හය දෙනකුගෙන් යුත් මෙම කණ්ඩායම එක් දිනකදී ජංගම දුරකථන හතරක් පහක් පමණ සොරකම් කළ අවස්ථාද ඇතැයි මේ වන විට අනාවරණය වී තිබේ.   
මොවුන් මේ සෙල්ලම කළේ දවසක් දෙකක් නොවේ. දීර්ඝ කාලයක සිට සෙල්ලම කරගෙන ගොස් ඇති බවට පොලිසිය කරන ලද විමර්ශනවලදී මේ වන විට සාක්ෂි අනාවරණය වී තිබේ. වටිනා ජංගම දුරකථනයක් ලංකාවට එවීමට හැකියාව තිබුණද එය නැතිවූ විට පැමිණිල්ලක් කර විමර්ශණ පිළිබඳව විමසා සිටීම හැර වෙනත් බලපෑමක් කිරීමේ හැකියාවක් නැති උදවිය පාඩුව විඳ දරාගෙන පැත්තකට වෙති. ඒ නිසා ඒ පිළිබඳ විමර්ශන ඉදිරියට යන්නේ නැත. එසේම තවත් කෙනෙක් පැමිණිල්ලක් කරන්න හිතන්නේ වත් නැත. ඒ අදාල සොරකම කරන්නන්ගේ කණ්ඩායම කරනු ලබන විවිධ බලපෑම්වලට බියෙන් ඔවුන් ඇකිලෙන බැවිනි.   
කොට්ටෝරුවා හැම ගහටම කොට කොට ගියත් කෙසෙල් ගහට කොටපු දාට හොට පැටලෙනවා යැයි පැරණි ජන කියමනක් තිබේ. ඒවා නිකම්ම කට කහනවාට කියපු කිසිම තේරුමක් නැතිව බිහිවූ කියමන් නොවේ. ඒ කියමන මේ සිදුවීමේදීද ඔප්පු වී ඇතැයි සිතේ.   


ඕස්ට්‍රේලියාවේ රැකියාවක් කරන සමිත් ධනුෂ්ක තමන්ගේ සහෝදරියකට ත්‍යාගයක් ලෙස ඇපල් වර්ගයේ නවීනතම ජංගම දුරකථනයක් ඇමරිකන් ඩොලර් එක්දහස් අටසීයක් එනම් ලංකාවේ මුදලින් රුපියල් තුන්ලක්ෂ හැටදාහක් පමණ වැය කර මිලදී ගත්තේ පසුගිය පෙබරවාරි මස අගදීය. ඔහු එය ලංකාවට එවීම සඳහා අප පෙර සඳහන් කළ තමන් වඩාත් විශ්වාසදායි කුරියර් සේවාවක් ලෙස හඳුනාගෙන තිබූ සමාගමකට භාරදුන්නේ පසුගිය මාර්තු 01 වැනිදාය. ඔහු එය නිකම්ම භාරදුන්නේ නැත. එය ලංකාවට යන ආකාරය නවීන තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කළ හැකි ක්‍රමයක්ද අනුගමනය කළේය. ඒ නිසා එය හත්වැනිදා ලංකාවට පැමිණි බව ඔහු තහවුරුකර ගත්තේය. ඒ අනුව එය ලබාගැනීම සඳහා සහෝදරිය වෙනුවෙන් තමන්ගේ සහෝදරයෙක් යොමු කළේය. ඒ සහෝදරිය විස්මයට පත්කිරීම සඳහා ඔහු එය ලංකාවට එවනු ලැබුවේ සහෝදරයාගේ නමට වීම නිසාය.   


එහෙත් අදාළ කුරියර් සමාගමේ කාර්යාලය වෙත ගිය ඔහුට ලැබුණේ හිස් පෙට්ටියකි. ඔහු එය එහිදී පරීක්ෂා කර බැලූ විට දැකගත හැකිවුයේ ජංගම දුරකථනය සමග එවන ලද වෙනත් අංගෝපාංග අදාළ බහාලුම තුළ තිබුණද ජංගම දුරකථනය එහි නොමැති බවය. ඒ බවට නිලධාරියාගෙන් සටහනක්ද යොදාගත් ඔහු ගුවන්තොටුපොළේ පිහිටි පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කළේය.   
භාණ්ඩය ගෙන ඒමට මැදිහත් වූ කුරියර් සමාගමට පැමිණිලි කළ විට එහි කළමනාකාරවරයෙක් සඳහන් කළේ එවැනි දේවල් ඕනෑ තරම් සිදුවන බවය. අදාළ භාණ්ඩය එවන ලද පාර්සලය තම නිලධාරින් අතට පත්වන විටත් එය කඩා නැවත අලවා තිබූ බව තහවුරු වී ඇති බවද ඔහු පවසා ඇත.   
දින කීපයකට පසු ඒ ගැන විමසීමට ගිය සමිත්ගේ සහෝදරයාට තවත් එක්තරා නිලධාරියකුගෙන් ලැබුණේ අපූරු පිළිතුරකි. මෙහිදී නම් නූල්පොටක දෙයක් නැති වෙන්නේ නැහැ. ඕක වෙලා තියෙන්නේ ප්ලේන් එක ඇතුළෙදී. එහෙම දේවල් ඕන තරම් වෙනවා. ඕවා හොයන එක ලේසි නැහැ. අනික අපිට මගදී වෙන දේවල් හොයන්න අයිතියකුත් නැහැ යනුවෙනි.   


අදාළ කුරියර් සමාගමේ නිලධාරියෙක් සඳහන් කර තිබුණේ එය සිංගප්පුරුවේදී නැතිවී ඇති බවය.   
 මෙම පිළිතුරු අනුව තමන්ගේ පැමිණිල්ලට සාධාරණයක් ඉටුවනු ඇතැයිද යන්න සම්බන්ධයෙන් සැකයක් ඇතිකරගත් ඔහු ඒ ගැන සමිත්ට දැන්වුයේය.   
සමිත් අඩියක්වත් පස්සට ගත්තේ නැත. ඔහු අදාළ කුරියර් සමාගමේ ඕස්ට්‍රේලියානු ශාඛාවට ගොස් ඒ ගැන විමසා සිටි විට ඔවුන් තම තාක්ෂණික ක්‍රම යොදාගනිමින් කළ සොයාබැලීමෙන් අනතුරුව සමිත්ට පවසා තිබුණේ එය පැහැදිලිවම ලංකාවට ගොස් ඇති බවය. එසේම එය ලංකාවට පැමිණ තිබුණේ සාමාන්‍ය බෑගයකින් නොව සීල් කරන ලද කුඩා කන්ටේනරයක් තුළ බහා බැවින් අතරමගදී කැඩිය නොහැකි බවද ඔහුට දැන ගන්නට ලැබිණ. අනතුරුව ඔහු සිය සහෝදරයා ලවා එම පැමිණිල්ල වෙනත් පොලිස් ස්ථානයක් කරා යොමු කළේය.
 අවසානයේ එය යොමු වූයේ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙතය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගේ අධීක්ෂණය යටතේ සමිත්ගේ සහෝදරයාගේ පැමිණිල්ලේ විමර්ශන එම කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්. දිසානායක මහතා යටතේ පොලිස් පරීක්ෂක ඉන්දික ඇතුලු කණ්ඩායමක් විසින් සිදුකරනු ලැබුවේය. 

 
ඒ අනුව මුලින්ම සමිත් එවන ලද ජංගම දුරකථනයේ ඉමි අංකය භාවිතා කර එය කිසියම් අයෙකු විසින් භාවිතයට ගෙන තිබේදැයි පරීක්ෂා කර බැලුවේය. එහෙත් ඒ වන විටද සිම්පතක් ඇතුළත් කර නොතිබූ හෙයින් එය තිබෙන්නේ කොතැනකදැයි ඉමි අංකයෙන් සොයාගත නොහැකි විය. ඉන්පසු මෙම පැමිණිල්ලට පෙර ජංගම දුරකථන නැතිවී ඇතැයි ලද වෙනත් පැමිණිලිවලට අදාළ ජංගම දුරකථන වල ඉමි අංක සොයා ඒවා තිබෙන්නේ කොහේදැයි විමර්ශනය කරනු ලැබීය. ඒ සඳහා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණික සංනිවේදන ආයතනයේ සහයෝගයද ගනු ලැබිණ. ඒ අනුව එක් දුරකථනයක් නුවර ප්‍රදේශයේ ස්ථානයක ඇති බව සොයාගත හැකි විය.   
මේ අතර සමිත් එවන ලද ජංගම දුරකථනය සහිත කන්ටේනරය භාරගත් රේගු නිලධාරියා හා කුරියර් සමාගමේ නිලධාරියා සොයාගත්තේය. ඉන්පසු එයට සම්බන්ධ වූ කම්කරුවන් තිදෙනා සොයාගනු ලැබුවේය. මේ සියලුදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී රේගු නිලධාරියාගේ අදාළත්වයක් නැති බව වැටහුණ හෙයින් ඔහු සැකකරුවෙක් ලෙස අත්අඩංගුවට ගත්තේ නැත. අනෙක් අයගෙන් දිගටම ප්‍රශ්න කිරීමේදී එක් සැකකරුවෙකුගෙන් යම් යම් කරුණු එළිදරව් වන්නට විය.   

 

සොයාගත් දුරකථන

 


තවදුරටත් ප්‍රශ්න කිරීමේදී මෙය එක් හොරකමක් පමණක් බවද ඔවුන් කණ්ඩායමක් ලෙස එක්ව තවත් ජංගම දුරකථන රැසක් සොරකම් කර ඇති බවද අනාවරණය විය. සමිත්ගේ ජංගම දුරකථනය සොරකම් කළ දිනයේ පමණක් තවත් ජංගම දුරකථන තුනක් සොරකම්කර ඇති බවද මේ සොරකම් සඳහා අදාළ කුරියර් සමාගමේ අධික්ෂණ නිලධාරින් තිදෙනෙක් හා මානව සම්පත් සැපයුම් ආයතනයකින් සේවයේ යොදවා ඇති කම්කරුවන් තිදෙනෙක් සම්බන්ධ බවද අනාවරණය කරගැනීමට හැකි විය.   
ඒ අනුව ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදීත් ඉමි අංකය ඔස්සේ සොයාගත් ජංගම දුරකථනය ළඟ තබාගත් පුද්ගලයාගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදීත් තවත් තොරතුරු අනාවරණය විය.   
මෙම සැකකරුවන් සොරාගන්නා ලද ජංගම දුරකථන අලෙවි කිරිම සඳහා ලබාදෙන සාප්පු කීපයක් සොයාගත හැකි විය. ඒවා මහනුවර, දිවුලපිටිය හා මිනුවන්ගොඩ ප්‍රදේශවල පිහිටා තිබිණ. එම සාප්පුවලට මෙම සැකකරුවන් මේ වසර තුළදී පමණක් ජංගම දුරකථන තිස් නවයක් ලබාදී ඇති බව අනාවරණය වී ඇත. එයින් දහනවයක් සොයාගැනීමට විමර්ශන නිලධාරීන් සමත් වී තිබේ. එයින් දහසයක් සම්බන්ධයෙන් හිමිකරුවන් විසින් පැමිණිලි ඉදිරිපත් කර ඇති බවද අනාවරණය වී ඇත.   
සමිත් ධනුෂ්ක තමන් මුහුණ දුන් අත්දැකීම සම්බන්ධයෙන් මෙසේ පැවසුවේය.   


 මම අක්කගේ උපන්දිනේට මේ ෆෝන් එක තෑග්ගක් විදිහට යැව්වේ. ඒක නැති වෙලා කියලා දැන ගත්තම මට හොඳටම දුක හිතුණා. අපි මේවා ගන්නේ දුක්මහන්සිවෙලා හම්බකරපු සල්ලි වියදම් කරලා මිසක් හොරකම් කරලා උපයපු දේවල් වලින් නෙවෙයිනේ. මේ සම්බන්ධයෙන් පැමිණිලි කළාම පොලිසියෙනුත් අදාළ කුරියර් සමාගමෙනුත් ලැබුණ පිළිතුරු අනුව මට සැකයක් ඇති වුණා. ඒ නිසා මම ඒ සමාගමේ මව් ශාඛාවටත් පැමිණිලි කළා. ඒ වගේම මගේ මල්ලි ලවා පැමිණිල්ල වෙනත් පොලීසියකට යොමු කළා. ඒ පොලිස් නිලධාරීන් බොහොම හොඳට විමර්ශනය කළා. ඒ නිසා මට ෆෝන් එක ලැබුණා. ඒ ගැන සතුටුයි වගේම ඒ නිලධාරීන්ට ගොඩාක් ස්තුති කරනවා.   


 මේ කුරියර් සමාගමේ නිලධාරීන් මට කියනවා රක්ෂණයෙන් වන්දිය අරගන්න කියලා. අපි ෆෝන් එකක් කුරියර් කරනකොට රක්ෂණයක් කරනවා. ඒකෙන් විවිධ දේවල් වලට කැපිලා අන්තිමට ලැබෙන්නේ රුපියල් දහදාහක විතර මුදලක්. මගේ ෆෝන් එක ලක්ෂ තුනක් වටිනවා. එහෙම එකකට දහදාහක් අරන් මොනවා කරන්නද? මම කිව්වා නැහැ මට ෆෝන් එකම ඕනෑ කියලා. කරගන්න දෙයක් නැති මිනිස්සු ඒ මුදලත් අරන් පැත්තකට වෙනවා ඇති. ඒක තමයි ඔවුන්ගේ සෙල්ලම කියලත් මට සැක හිතුණා. ඒ නිසා තමයි මම මේක අත්හරින්නේ නැතිව දිගටම පන්නලා හොයන්න උත්සාහ කළේ.   
 සමිත් එහෙම කළාට, සමිත්ට ඒ හයිය, ඒ දැනුම අවබෝධය තිබුණාට හැම කෙනෙකුටම එවැනි හැකියාවක් නැත. ඒ නිසා බොහෝ දෙනා පාඩුව විඳ දරාගනිමින් සටන අත්හරිති.   
මෙවැනිම අත්දැකීමකට මුහුණ දුන් එස්. රාජපක්ෂ අප සමග මෙසේ අදහස් දැක්වීය.   
මගේ යාලුවෙක් තමයි දුරකථනය රට ඉඳලා එව්වේ. මම මුදල් යැව්වාම එයා ෆෝන් එක දැම්මා. ඒත් කුරියර් සමාගමට ගිහින් පාර්සලය ගත්තාම ඒකේ ෆෝන් එක තිබ්බේ නැහැ. පෙට්ටිය කඩලා සෙලෝ ටේප් කරලා තිබුණා. මම ගුවන්තොටුපොළ පොලිසියට ගිහින් පැමිණිල්ලක් දැම්මා. ඒත් ඔවුන් කිව්වේ මේක ඇතුළේදී නම් නූල්පොටක දෙයක්වත් නැති වෙන්නේ නැහැ. ඒවා හොරකම් කරනවා ඇත්තේ එයාලයින් එකේ වැඩ කරන අය වෙන්නැති කියලයි. ඒත් මම කොහොමද ඒවා ගැන හොයන්නේ. මට එතනින් එහාට යන්න හැකියාවක් තිබුණේ නැහැ.   


 ඔහුට සමිත්ගේ පසුපස හඹායාම නිසා කළ විමර්ශනයේ නැති වූ ජංගම දුරකථනය ලැබී තිබුණද ඒ මාස ගණනාවකට පසුවය.   
 මෙවැනිම අත්දැකීමකට ජංගම දුරකථන අලෙවි කරන සාප්පුවක තැනැත්තකුද මුහුණ දී තිබේ. ඔහුගේ ජංගම දුරකථන හතලිහක් මෙලෙස නැතිවී ඇතැයි පැවසුවේය. එහෙත් පැමිණිල්ලක් කරන්නට ගිය ඔහුට අදාළ ආයතනයෙන් පවසා තිබෙන්නේ මෙතරම් ජංගම දුරකථන ප්‍රමාණයක් ගෙන්වීම නීති විරෝධි බවය. ඒ නිසා මේ ප්‍රශ්නය ඉදිරියට ගෙන ගියහොත් ඔහුට නඩුවක් වැටෙනු ඇතැයි කුරියර් සමාගමේ නිලධාරින් ඔහු බිය ගන්වා තිබේ. ඒ නිසා ඔහු සටන එතැනින්ම නැවැත්වුයේය.   
 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතා යටතේ විමර්ශනය සිදුකළ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිසානායක මහතා සඳහන් කළේ මෙවැනි සොරකම් අදාළ සැකකරුවන් විසින් කාලයක් තිස්සේ කරගෙනගොස් ඇති බවය. මෙවැනි ආකාරයට ජංගම දුරකථන නැතිවූ අය වෙතොත් දන්වන ලෙසට මාධ්‍ය ඔස්සේ තමන්ගේ ජංගම දුරකථන අංකය ප්‍රසිද්ධකළ පසු එයට ඇමතුම් සීයක් පමණ ලැබුණු බවද ඔහු පැවසීය.   


 ඒ අයට මම කිව්වා අදාළ පොලිස් ස්ථානවලට පැමිණිලි ඉදිරිපත් කරන්න කියලා. ඒ පැමිණිලි අනුව තමයි ඉදිරි විමර්ශන කරන්න වෙන්නේ. අපි හිතනවා මේ සැකකරුවන් ලැප්ටොප් පරිගණක, ටැබ් පරිගණක හා අයිපෑඩ් වැනි දේවල් පවා සොරකම් කරන්නට ඇති කියලා. ඒ සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදුකෙරෙනවා ඒ මහතා පැවැසීය. 

 
 යමෙක් විදේශ රටක සිට භාණ්ඩයක් කුරියර් සමාගමක් හරහා මෙරටට එවන විට එම සමාගමේ මෙරට ශාඛාවට එහි ඇතුළත් දේවල් මොනවාද කියලා දැන ගන්නට ලැබේ. ඒ අනුව මෙම සැකකාර අධීක්ෂණ නිලධාරීන් තමන් යටතේ සේවය කරන කම්කරුවන්ට අදාළ කාගෝ පෙට්ටියේ ඇතුළත් කුමන බෑගය කැඩිය යුතුද? එයින් කුමක් සොරාගත යුතුද යන්න දැනුම්දෙනු ලැබේ. එවිට එම කම්කරුවන් එම උපදෙස් පරිදි ක්‍රියාකරනු ඇත. එහෙත් ඔවුන් එය සිදුකරනු ලබන්නේ ආරක්ෂක කැමරා කිසිවක් ක්‍රියාත්මක නොවන අදාළ පෙට්ටිය පටවන ලද ලොරිය තුළදීය. ගුවන් යානයෙන් ලද භාණ්ඩ රේගු නිලධාරියෙක් ඉදිරිපිටදි අදාළ කුරියර්සමාගමේ නිලධාරියාට භාරදුන් පසු එය ගුවන්තොටුපොළ රේගු පරිශ්‍රයේ පිහිටා තිබෙන කුරියර් සමාගමේ ගබඩාවට ගෙනයනු ලබන්නේ ලොරිරථයකිනි. මෙම භාණ්ඩ සොරාගනු ලබන්නේ ඒ සඳහා ගත වන ඉතාම කුඩා කාලසීමාවක් තුළදීය. ඉන්පසු ඒවා විකුණා ලැබෙන මුදල් කෝටාවකට අනුව කණ්ඩායම අතර බෙදීයනු ලැබේ.   


 පොලිසිය කළ විමර්ශනය තුළින් එක භාණ්ඩයක් වෙනුවට නැතිවූ භාණ්ඩ රැසක් හමුවී තිබේ. එසේම සොරකමේ යෙදෙන හොර ජාලයක් හඳුනාගන්නටද හැකිවී තිබේ. එහෙත් ප්‍රශ්න රැසක් තවමත් නොවිසඳී ඉතිරිව ඇති බව පෙනේ.   


 සමිත් මේ තරම් බලපෑමක් නොකළේ නම් සහ විමර්ශනය සිගේරා මහතා යටතට පත් නොවූයේ නම් මේ ජාලය හඳුනාන්නට හැකිවේද? ගුවන්තොටුපොලට ආවාට පස්සේ නූල්පොටක දෙයක් නැති වන්නේ නැහැ. ඕවා සිදුවෙන්නේ ගුවන්යානය තුළදී යැයි වගකිව යුතු නිලධාරින් පවසන්නේ ඇයි? ඔවුන්ද දැන හෝ නොදැන හෝ අනියම් අයුරකින් සැකකරුවන්ට සහාය දී තිබේද? එසේත් නැත්නම් ඔවුන්ට සොරකමේ ලාභ බෙදී යන්නේද? පැමිණිල්ලක් කරන ඕනෑම අයකුට සාධාරණයක් ඉටු කිරීමට තිබෙන පොලිස් ස්ථාන අසරණ මිනිසුන්ගේ පැමිණිලි මෙලෙස අතහැර දැමීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවන්නේද? එහි වැරදිකරුවන්ට ලැබෙන දඬුවම කුමක්ද? පැමිණිලි දාසයක් ලැබී තිබියදීත් සමිත්ගේ පැමිණිල්ල ලැබෙන තුරු අනෙක් පැමිණිලි පිළිබඳ විමර්ශනයක් සිදුකර තිබුණේද? එසේ සිදුකළේ නම් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙතරම් ප්‍රමාද වූයේ ඇයි? විමසා බැලීම වගකිවයුත්තන්ගේ කාර්යයකි.   

 

 

 මුදිතා දයානන්ද