පිරමීඩ ඉතිහාසයෙන් ඔබ්බට දිවෙන ගුනුන් රුවන්ග් පිරමීඩය



පිරමීඩ කී සැණින් සිහියට නැගෙන්නේ, ලෝකයේ පැරණි පුදුම හතටත්, නූතන පුදුම හතටත් අයත් ඊජිප්තුවේ ගීසා නිම්නයේ ඉදිකර ඇති මහා පිරමීඩය ඇතුළු පිරමීඩ ත්‍රිත්වයයි. ඉපැරණි පුදුම හතට අයත් වුවත්, ගීසා නිම්නයේ ඇති මෙම පිරමීඩ ලොව පැරණිතම පිරමීඩ නොවේ. එම පිරමීඩවලට වඩා පැරණි පිරමීඩයක් ඊජිප්තුවෙන්ම හමුවී ඇත. ඒ, ජෝජර් නමැති පඩි පිරමීඩයයි. 

ලොව පැරණිතම පිරමීඩය ලෙස ගිනස් ලෝක වාර්තා අතර ඇත්තේ ජෝජර් පඩි පිරමීඩයයි. කාල නිර්ණය අනුව මෙම පඩි පිරමීඩය ඉදිකර ඇත්තේ, ක්‍රි.පූ. 2630 දී ය. පිරමීඩ හැඩැති ගොඩනැගිලි ඊජිප්තුවේ පමණක් නොව, ලොව වෙනත් ස්ථානවලද දකින්නට ලැබේ. දකුණු ඇමෙරිකාවේ, ආසියාවේ මෙවැනි ව්‍යුහයන්ගේ නටබුන් දකින්නට ලැබේ. ජපානයට ඔබ්බෙන් මුහුදු පතුලේ ද පිරමීඩයක නටබුන් ඇත. ජෝජර් පඩි පිරමිඩයටත් වඩා පැරණි පිරමීඩයක්ද ඒ අතර වෙයි. එම පිරමීඩයේ නටබුන් හමුවී ඇත්තේ, ඉන්දුනීසියාවේ ජාවා දූපතේය. නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ඉන්දුනීසියාවේ ඇති මෙම පිරමීඩය මනුෂ්‍යයන් විසින් ඉදිකරනු ලැබූවක් නොවන බවය.

ජාවා දූපතේ කඳු ගැටයක් ලෙස දක්නට ලැබෙන මෙම පිරමීඩය හැඳින්වෙන්නේ ‘ගුනුන් රුවන්ග්’ යන නමිනි. සොයාගත් දා පටන් ගුනුන් රුවන්ග් පිරමීඩය ඉදිකළේ කවුරුන් දැයි යන්න සම්බන්ධයෙන් විවිධ අදහස් පළවිය. එම අදහස් මතභේදාත්මකය. වසර ගණනක් තිස්සේ ඉන්දුනීසියා විද්‍යා ඇකඩමියට සම්බන්ධ පුරාවිද්‍යාඥ ඩැනී හිල්මන් විජාජා සහ පර්‌යේෂණ කණ්ඩායමක් ගුනුන් රුවන්ග් නටබුන් ඇති භූමි ප්‍රදේශයේ පර්‌යේෂණ ගණනාවක් සිදු කළ අතර, එම පර්‌යේෂණ වාර්තාව පසුගිය දිනෙක එළිදැක්විණි. එම වාර්තාවේ සඳහන් වෙන අන්දමට, පුරාවිද්‍යාඥ ඩැනී හිල්මන් පැහැදිලි කර ඇත්තේ, ගුනුන් රුවන්ග් පිරමීඩය මනුෂ්‍යයන් විසින් ඉදිකරන ලද්දක් නොවන බවය. පුරාවිද්‍යාඥ ඩැනී හිල්මන් ලොව පිළිගත් මහාචාර්යවරයෙකි. එහෙයින්, ඔහු ඉදිරිපත් කරන සාක්ෂි පහසුවෙන් බැහැර කළ නොහැකි ය.

ගුනුන් රුවන්ග් පිරමීඩයේ නටබුන් ඇත්තේ ඉන්දුනීසියාවට අයත් බටහිර ජාවා දූපතේ කාර්යාමුක්ති නමැති ගම්මානයට ඔබ්බෙන් ඉහළ කඳු ගැටයක ය. මේ මුළු කඳු ගැටයම එක් යෝධ පිරමීඩයකි. වසර ගණනක් තිස්සේ මෙම ස්ථානය හුදෙක්ම කඳු ගැටයකි. ගම් වැසියන්ට මෙම ස්ථානය, පූජනීය ස්ථානයකි. කඳු ගැටයේ තැනින් තැන බිම ගොඩගැසී ඇති ගල් කණු භාවනානුයෝගීව සිටීමට සුදුසු නිසංසල තැනක් වෙයි.

1914 වසරේ දී පෘතුගීසි ගවේෂක කණ්ඩායමක්, මේ ගල් කණු පරීක්ෂා කළ අතර, ඔවුන්ට අවබෝධ වූයේ ඒවා ස්වාභාවිකව නිර්මාණය වූවක් නොවන බවය. ඒවා ඉපැරණි දැවැන්ත ඉදිකිරීමකට අයත් නෂ්ටාවශේෂ යැයි ඔවුන්ට වැටහුණි. සියවසකට පමණ පසු, 2013 වසරේදී, ඉන්දුනීසියා රජයේ අනුග්‍රහයෙන්, මෙම භූමියේ ගවේෂණ සිදුවිය. කඳු ගැටය කැණීම්වලට ලක් කෙරුණි. ඒ සඳහා බැකෝ යන්ත්‍ර සහ එක්ස්කැවේෂන් යන්ත්‍ර යොදාගැනුණි. ඒ කඳු ගැටයේ පස් සහ මඩ තට්ටු යට යමක් සැඟවී ඇති දැයි සොයමිනි. ඔවුන්ට අනාවරණය කරගැනීමට හැකි වූයේ කඳු ගැටය යෝධ පිරමීඩයක් බවත්, ගුනුන් රුවන්ග් නමැති මෙම පිරමීඩය ලොව පැරණිතම පඩි පිරමීඩය බවත්ය. පඩි පිරමීඩයක් යනු, පඩි ආකාරයකට මුහුණත් නිර්මාණය කරන ලද පිරමීඩවලටය.

භූ විද්‍යාඥයන්ට අනුව, අවුරුදු 20,000 කට පෙර අතීයේ, අද ගුනුන් රුවන්ග් පිරමීඩයේ නටබුන් ඇති ජාවා දූපත සහ ඉන්දුනීසියාවට අයත් සෙසු දූපත් ද සුන්ඩාලන්තය නමැති උපමහද්වීපය සමග සම්බන්ධ වී තිබුණේය. ගුනුන් රුවන්ග් පිරමීඩය පිහිටි භූමිය ශිෂ්ටාචාරයක කේන්ද්‍රය විය හැකි යැයි ද අදහසක් ඒ අනුව පළ විය. එම ශිෂ්ටාචාරය ලොවෙන් අතුරුදන් වුණු බවත්, එසේ වූයේ ක්‍රි.පූ. 10,000 කට පෙර බවත්ය. ක්‍රි.පූ. 10,000 කට පෙර අයිස් යුගය අවසන් වෙමින් ධ්‍රැව ප්‍රදේශවල අයිස් දිය වෙද්දී, සුන්ඩාලන්තය ජලයෙන් යටවී යන්න ඇති බවත් භූමිකම්පා සහ ගිනිකඳු පිපිරීම් සිදුවෙද්දී භූමිය වෙනස් වී අද අපට දකින්නට ලැබෙන ආකාරයේ කුඩා කුඩා දූපත් නිර්මාණය වෙන්නට ඇති බවත් භූ විද්‍යාඥයන්ගේ පැහැදිලි කිරීමය.

“දියුණු මානව ශිෂ්ටාචාර, පෙදරේරු ශිල්පය දියුණු කළේ කෘෂිකර්මාන්තයේ දියුණුවෙන් තවත් ඔබ්බට යමින්. මෙය සිදුවුණේ වසර 11,000 කට පමණ පෙරයි. සාම්ප්‍රදායික විශ්වාසය එයයි. ඊට පෙර, මනුෂ්‍යයන්ට පෙදරේරු ශිල්පය පිළිබඳ දැනුමක් තිබුණෙ නැහැ. ඒ බව පුරාවිද්‍යා සාක්ෂිවලින් අනාවරණය වී තිබෙනවා. එසේ නම්, ගුනුන් රුවන්ග් පිරමීඩය ඉදිකළේ කවුරුද? මනුෂ්‍යයන් එය ඉදිකළේ නැතිනම් එසේ කළේ කවුරුද? ගුනුන් රුවන්ග් පිරමීඩය හා සමාන තවත් පුරාණ ඉදිකිරීමක් තිබෙනවා. ඒ තුර්කියේ. එය හැඳින්වෙන්නේ ගොබෙක්ලිටාපා යනුවෙන්. ගොබෙක්ලිටාපා නටබුන්ද සාම්ප්‍රදායිකව අප දන්නා කරුණු කාරණා අභියෝගයට ලක් කර තිබෙනවා” යැයි නවතම සොයාගැනීම් අනුව, ගුනුන් රුවන්ග් පිරමීඩය සම්බන්ධයෙන්, ඩැනී හිල්මන්, මෙසේ පැහැදිලි කරයි.

ගොබෙක්ලිටාපා’ නටබුන් යනු තුර්කියට අයත්, ඇනටෝලියා කඳුකර ප්‍රදේශයේ දකින්න ලැබෙන නටබුන්ය. රවුම්, ඕවලාකාර සහ සෘජුකෝණාඝ්‍රාකාර ගල්කණු රැසක් මෙහි ඇත. මෙම ස්ථානය අද යුනෙස්කෝ ලෝක උරුමයකි. මැටි නිර්මාණ කීපයක්ද මෙම නටබුන් ආශ්‍රිතව සිදුකළ කැණීම්වලින් සොයාගෙන තිබේ. පුදුමය නම්, එම මැටි නිර්මාණද, නව ශිලා යුගයේ, කුඹල් කර්මාන්තය ආරම්භවීමටත් පෙර නිර්මාණය කළ ඒවා යැයි විද්‍යාඥයන් විසින් තහවුරු කරගනු ලැබීමය. විද්‍යාඥයන්ට තවමත් හරිහැටි හඳුනාගැනීමට නොහැකි වූ මේවා අතීතයේ මෙසපොටේමියාවේ වාසය කළ ශිෂ්ටාචාරයකට අයත් වැසියන් විසින් වසර 11,500 කට පෙර මේවා නිර්මාණය කරන්නට ඇතැයි සැක කෙරේ.

පිටසක්වළ ජීවීන් ගැන මත පළ කරන විද්වතුන්ට අනුව, ගුනුන් රුවන්ග් පිරමීඩය සහ ලෝකයේ අනෙක් කෙළවරේ ඇති තුර්කියේ ‘ගොබෙක්ලිටාපා’ නටබුන්ද පිටසක්වළ ජීවීන් විසින් තමන්ගේ තාක්ෂණය භාවිත කරමින් නිර්මාණය කළ ගොඩනැගිලිවල ශේෂයන්ය. මහාචාර්ය ඩැනී හිල්මන්ගේ අධ්‍යයන වාර්තා ප්‍රසිද්ධියට පත්වෙද්දී, කාඩිෆ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෆ්ලින්ට් ඩිබල්, ‘නේචර්’ විද්‍යා සඟරාවට ගුනුන් රුවන්ග් පිරමීඩය ගැන අදහස් දක්වමින් පැහැදිලි කර ඇත්තේ, ගුනුන් රු

වන්ග් පිරමීඩය සහිත භූමියේ ඇති ගල් කණු, නියමිත හැඩයෙන් කපා  ඒවා රැගෙන යා හැකි විදියේ තාක්ෂණයක් සුන්ඩාලන්තය උපමහද්වීපයේ සිටි පැරැන්නන්ට නොතිබුණු බවය.

“පිටසක්වළ ජීවීන්, ගුනුන් රුවන්ග් පිරමීඩය ඉදිකළා යැයි මා කියන්නේ නැහැ. මනුෂ්‍ය අතින් මෙම පිරමීඩය ඉදිකළා කියන්න කිසිදු සාක්ෂියක් අපට මෙතෙක් හමුවෙලා නැහැ. සමහර විට ධ්‍රැව ප්‍රදේශවල අයිස් දියවී, සුන්ඩාලන්තය ජලයෙන් යටවී යද්දී, භූමිකම්පා සහ ගිනිකඳු පිපිරීම් සිදුවෙද්දී ඒ සාක්ෂි විනාශ වෙන්නට ඇති. කොහොම නමුත්, ගුනුන් රුවන්ග් ඉදිකළේ පිටසක්වළ ජීවීන් යැයි කීමටත් සාක්ෂි හමුවෙලා නැහැ. සමහර විට අප නොදන්නා සත්‍යයක් මෙම පිරමීඩය සේම පස් යට සැඟවී තිබෙනවා වෙන්න පුළුවන්. මා ආරාධනා කරනවා, ලොව පුරා සිටින පර්‌යේෂකයන්ට. විද්වතුන්ට. ජාවා දූපතට එන්න. මේ පැරැණිතම පිරමීඩයේ රහස් අපට සොයාගන්න උදවු කරන්න” යැයි මහාචාර්ය ඩැනී හිල්මන් ඉල්ලීමක් කර ඇත.