මරණාසන්න මනෝ සංඥා
කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් පවුලක මව වූ පොඩි නෝනා පදිංචිව සිටියේ කහවත්තට නුදුරුවය. ඔවුන්ගේ ප්‍රධානතම වගාව වූයේ තේ ය. ගොඩ මඩ ඉඩම් හිමිව සිටි ඔවුහු වී ගොවිතැනට ද නැඹුරුව සිටියහ. පොඩි නෝනාගේ වැඩිමහල් පුත්‍රයා වූයේ හේරත්ය. ඔහු පදිංචිව සිටියේ ද සිය පවුලත් සමග මහගෙදර ආසන්නයේ නිවසකය.
දූ දරුවන් විවාහ වී සිටිය ද පොඩි නෝනා නිතර නිතර ඔවුන්ගේ නිවෙස්වලට යාම ද සිරිතක් කරගත්තේය. පවුලේ ලොකු පුතා වූ හේරත්ට වැඩි සෙනෙහසක් මව තුළින් දක්නට ලැබිණි. එම නිවසට නිතර ගොස් ඔහුගේ දුක සැප බැලීමට ද පොඩි නෝනා පුරුදුව සිටියාය. හේරත් ද නිවසින් බැහැරව කිසියම් ගමනක් යනවිටදී මව හමුවී යාම ද සිරිතය. තේ වගා කටයුතුවලට අතිරේකව මැණික් ව්‍යාපාරයේ යෙදීමට ද හේරත් පුරුදුව සිටියේය.
ඔහු විසූ ප්‍රදේශයට නුදුරුව මැණික් පතලක් ආරම්භ වූ බවක් ඔහුට දැනගන්නට ලැබිණි. ඒ 1976 ජුලි මාසයේදීය. මැණික් පතලේ වැඩට යාමට ඔහු තීරණය කළේය. පතල පිහිටා තිබුණේ නිවසේ සිට ගමන් මාර්ගය දුෂ්කර වූ කඳු හෙල් අතරය. නිවසේ සිට දිනපතා එහි යාම අසීරුය. පතලේ වැඩට යාමට ඔහු තවත් මිතුරන් තිදෙනකු යොදාගනු ලැබීය.
දින කිහිපයක් එක දිගට පතල අසල නතර වී සිටීමට ඔවුහු සූදානම් වූහ. තමා පතලේ වැඩට යන බැව් මවට පැවැසීමට හේරත්ට අවශ්‍ය විය.
ගමන පිටත්වීමට පෙර ඔහු තම මවගේ නිවසට ගියේය. එහෙත් එදින මව නිවසේ නොසිටියාය. නිවසේ සිටි සොහොයුරියකට තමා යන ගමන ගන දැනුම් දුන් හේරත් ඔහු පතලට ගිය බැව් මවට දන්වන ලෙස සොහොයුරියට කීවේය. අනතුරුව මිතුරන් සමග පතලේ වැඩට ගියේය.
තම පුත්‍රයා පතලට යෑමට පෙර හමුනොවීම පිළිබඳව මව කනස්සල්ලෙන් පසුවූවාය. දින කිහිපයක් ගතවිය. හේරත් පතල වෙත ගොස් දින තුනක් ගතවී තිබිණි. නිවසේ සිටි පොඩි නෝනා නිතර තම පුතු ගැන සිහි කරමින් සිටියාය. පතලේ වැඩ කළ හේරත් ඉල්ලම හැරීමේ කටයුතු බාරව සිටියේය. එක් මිතුරෙක් ද එයට සහාය වූ අතර තව තිදෙනෙක් ගැරීමේ කාර්යයේ නියැලී සිටියහ.
සතියක් ගත වනවිට හේරත්ට ද මව බැලීමට යාමට අවශ්‍ය විය. ‘තව දවස් දෙකකින් විතර අම්මා බලන්න යන්න ඕනෑ’ යැයි හේරත් තම මිතුරන්ට ද කීවේය.
මේ අතර නිවසේ සිටි පොඩි නෝනා, හේරත් අසනීප වී සිටින අයුරු සිහිනයක් මගින් දුටුවාය. ‘අනේ පුතාට කොහොම ද දන්නේ නෑ’ යැයි ඇය නිවසේ සිටි දියණිය සමග කීවාය. මේ පිළිබඳව නිතරම සිතමින් සිටි පොඩි නෝනාගේ සිතට මහත් බියක් දැනෙන්නට විය. හේරත් කිසියම් කරදරයක් යයි ඇගේ මනසට දැනෙන්නට විය.
හේරත්ව තවදුරටත් පතලේ තැබීම අනතුරුදායක යැයි ඇයට සිතුණි. කළ යුත්තේ කුමක්දැයි සිතූ ඇය වහා හේරත්ගේ ගෙදරට ගියාය. ඇගේ ඥාති පුත්‍රයකු ද සමග හේරත් බැලීමට පිටත් කර යැවීම ඇගේ අරමුණ විය.
‘පුතාට මොකක් හරි කරදරයක්’ ඇය සිය සැමියා සමග ද කීවාය. ‘මම සනීප නැහැ කියල හේරත්ට එන්න කීවා’ යැයි හේරත්ට පවසන ලෙසත් ඥාති පුත්‍රයින්ට පැවැසුවාය. ඒ අනුව ඔවුන් දෙදෙනා හේරත් වැඩ කළ පතල වෙත ගියහ.
හේරත්ව කැඳවාගෙන ඒමට යැවීමෙන් පසු පොඩි නෝනා තම සැමියා සමග ඔවුන්ගේ කුඹුරක වල් පැළ නෙළමින් සිටියාය. කුඹුර වටේට ගස් පඳුරු වැවී තිබිණි. වේලාව සවස 3.30 පමණ විය. ‘අම්මේ අම්මේ’ යයි තම පුත්‍රයාගේ කටහඬ පොඩි නෝනාට ඇසුණි.
‘අන්න පුතා ඇවිත්’ යැයි ඇය සැමියා සමග ද පවසා අසල පඳුරු අතරින් පුත්‍රයාගේ රුව දැක ගැනීමට සූදානමින් සිටියාය. ටික වේලාවක් බලා සිටි ඇයට හේරත් පැමිණි බවක් දක්නට නොලැබුණි.
‘කෝ පුතා ආවේ නෑනේ’ යැයි සැමියාට පැවැසූ ඇය ‘ඒ කටහඬ මට හොඳටම ඇහුණා. ගෙදර ගියා ද දන්නේ නෑ’ යැයි නැවත සැමියාට පැවැසූ පොඩි නෝනා නිවසට ගියාය.
ගත වූයේ සුළු වේලාවකි. හේරත් වැඩ කළ පතල කඩා වැටී එහි සිටි තිදෙනෙක්ම යට වූ බැව් ආරංචි විය. අඩි දහයකටත් වඩා පොළොව යට පතල හාරමින් සිටි හේරත් පතලට යට වූ අතර අනෙක් තිදෙනාගේ ජීවිත බේරුණේය. ජීවිතය අහිමි වූයේ හේරත්ට පමණි.
හේරත් පතලට යටවී මරණයට පත්වූ වේලාවත් පොඩි නෝනා කුඹුරේ වල් පැළ නෙළමින් සිටියදී ඇයට හේරත්ගේ කටහඬ ඇසුණ වේලාවත් එක සමාන විය. පොඩි නෝනාට දැනුණු මෙම මනෝ සංඥාව පිළිබඳව විමර්ශනයක් කිරීමට අපට අවස්ථාව ලැබිණි. පොඩි නෝනා එදා ඇගේ දියණියක සමග අනාවරණය කළ ආකාරය ඇගේ දියණියක් අප සමග හෙළි කළේ මෙසේය.
“අයියා පතලෙ වැඩ කරන්න ගිය දවසෙ ඉඳන් අම්මා නිතරම අයියාට මතක් කළා. ‘දුවේ මට අයියා ගැන බයක් දැනෙනවා’ යයි එයා දවස් ගාණක්ම කිව්වා. අයියට මොකක් හරි අනතුරක් කියලා එයා කිව්වා. ඒ නිසා තමයි එයාව පතලෙන් එක්ක එන්න කියල දෙන්නෙකුම පතලට යැව්වේ.
එදා හවස අම්මත් පතලට යන්න හැදුවා. ඒත් දුර යන්න තියෙන නිසා එයාට යන්න බැරි වුණා. අයියව පතලට යට වුණා කියල පණිවුඩය අපිට ලැබුණේ සවස හතරට විතර. අම්මා කුඹුරේ ඉන්නකොට අයියගෙ කටහඬ ඇහිලා තිබුණේ සවස 3.30ට විතර. අයියා නැතිවෙලා තිබුණේ අපිට පණිවුඩය ගේන්න පැය භාගයකට කලින්.”
මියගිය හේරත් සමග එකට පතලේ වැඩ කළ ඔහුගේ මිතුරෙකු ද එදා අපට හමුවිය. හේරත්ගේ වියෝ වීම පිළිබඳව ඔහු අප සමග පැවැසුවේ මෙසේය.
“මම හේරත් එක්ක එදා පතලෙ වැඩ කරමින් සිටියා. හේරත් ඉල්ලම හාරමින් පතල යට හිටියා. එයා තමයි ඇතුළෙම හිටියේ. එක පාරටම පතලේ උඩ කන්ඩිය කඩා වැටුණා. එතන හිටපු අනිත් දෙන්නත් යට වුණා. මාවත් යට වුණා. ඒත් අපිව පස් ඉවත් කරලා ගොඩට ගත්තා. හේරත්ව ගන්න බැරි වුණා.”
පතල කැඩී හේරත් මණයට පත්වී ඇත්තේ 1976 අගෝස්තු 1 වැනිදාය. එය සිදුවී ඇත්තේ එදින සවස 3.30ට පමණය. ඔහු පැවැසූ පරිදි එදින උදේ ද මව බැලීමට යාමට අවශ්‍ය බැව් ඔහු කිහිප විටක්ම මිතුරන් සමග පවසා තිබේ. හේරත් මව ගැන සිතීමත් පොඩි නෝනා හේරත් ගැන සිතීමත් නිතර නිතර සිදුවී ඇති අතර මව සහ පුත්‍රයා අතර ඇති වූ ප්‍රබල මනෝ සංඥාවක් ලෙස මෙම සිදුවීම පර්යේෂණ අතරට එක්වී තිබේ. දෙදෙනෙක් අතර ඇතිවන මනෝ සංඥා වැඩි වශයෙන්ම සිදුවන්නේ මව්වරුන් සහ පුත්‍රයින් අතර බැව් පර්යේෂණවලදී අනාවරණය වී ඇත.
තිස්ස ජයවර්ධන