බොරැල්ල සුසාන භූමිය
පසුගිය සතියේ ඉතිරි කොටස |
සැමියාට තුවාල සිදුවීම ද පුතුගේ වියෝව ද හමුවේ නෙලීකා තුළ වූ අසීමිත පීඩනය ඇයට දරාගත හැකි සීමාවක නොවීය. එහෙත්, තම දෑස් ඉදිරිපිට සියල්ල යථාර්ථයක් වී ඇති බැවින්, ඊට අනුගත වනු මිස අන් විකල්පයක් ඇයට ඉතිරිව නොතිබිණි. මේ අතර උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ නෙලීකාගේ පවුලේ සාමාජිකයන් දිගින් දිගටම කතාබස් කිරීමෙන් අනතුරුව, මියගිය දරුවාගේ දේහයට අදාළ අවසන් කටයුතු එහි දී සිදුකිරීමට තීරණය විය. ඒ අනුව ගමේ පන්සලේ ස්වාමින්වහන්සේ ද සමග නෙලීකාගේ දෙමව්පියන් හා සමීරගේ පවුලේ ළඟම ඥාතීන් පමණක් වෑන් රථයකින් කොළඹ බලා පිටත්වූයේ, බොරැල්ල කනත්තේ දී ආදාහන කටයුතු සිදුකිරීමේ අදහසිනි. මේ අතර නෙලීකාගේ නමට ලිපියක් ද ලැබිණ. එය එවා තිබුණේ යුද හමුදා මූලස්ථානයෙනි. එමගින් කියවුණේ එම මූලස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හමුවේ තුවාල ලැබ යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන මේජර් සමීරට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන බවයි. යුද හමුදා මූලස්ථානයේ මූලස්ථාන බළඇණියේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් ලුතිනන් කර්නල් අතුල ද සිල්වා ඊට අත්සන් තබා තිබුණි.
මේ අතර නෙලීකාගේ පැත්තෙන් එලෙස කටයුතු සිදුවෙද්දී මේජර් සමීර යුද හමුදා රෝහල තුළ පසුවූයේ මහත් නොඉවසිල්ලෙනි. ඔහුගේ මානසිකත්වය ද නෙලීකාට දෙවැනි නොවීය. එහිදී, තුවාල ලැබීම හරහා ඔහු විඳි වේදනාව හා අපහසුතාව පරයා තම පුතු අහිමිවීමේ ශෝකය ඔහුව බලවත් සේ පෙළන්නට විය. බිරිඳ ඇතුළු පවුලේ සමීපතමයන් පිරිස එලෙස බොරැල්ල කනත්තට පැමිණෙන බවට වූ සියලු තොරතුරු ඒ වනවිට සමීරට දන්වා තිබිණ. කෙසේ හෝ අවසන් මොහොතේ වුව තම දරුවා එක්වරක් හෝ දැකීම ඔහුගේ බලවත් අපේක්ෂාව විය. පවතින තත්ත්වය පිළිබඳ එහිදී යුද හමුදා රෝහලේ වෛද්‍යවරුන්ට ද අවබෝධ වුවද, මේජර් සමීර එම කටයුත්තට පිටත්කර හැරීම ඔවුනට ද ගැටලුවක් විය. ශල්‍යකර්මයෙන් පසු යම් තරමකට සුව ලබමින් තිබුණ ද, තවමත් ඔහුට ඇවිදීමට තබා ඇඳෙන් බැසීමටවත් හැකියාවක් නොවීය. තුවාල තත්ත්වය අනුව ඔහුව රෝහලෙන් පිටතට යැවීම පිළිබඳව වෛද්‍යවරුන් තුළ පැවතියේ නොකැමැත්තකි. නමුත්, උද්ගතව ඇති වාතාවරණය හමුවේ මෙම සංවේදී අවස්ථාවේ රෝගියාගේ මානසිකත්වය පිළිබඳව ද ඔවුනට අමුතුවෙන් හිතන්නට වී තිබිණ. අවසානයේ වෛද්‍ය නිර්දේශය වූයේ මේජර් සමීරව බොරැල්ල කනත්ත වෙත ගිලන් රථයක නංවා රැගෙන යාමට සැලැස්වීමය. ඒ සමගම සමීරගේ බිරිඳගේ මානසික තත්ත්වය කෙරෙහි ද විශේෂයෙන් අවධානය යොමු කළ වෛද්‍යවරු මේජර් සමීරව නිවසට යැවීමට ද තීරණය කළ අතර, එහිදී ඔහුගේ නිවසට ආසන්න ගම්පහ රෝහල වෙතින් අවශ්‍ය ඉදිරි ප්‍රතිකාර ලබාගැනීමේ ක්‍රමවේදයක් ද සලසන ලදී. පවත්නා වාතාවරණය තුළ තම පුතු ද අහිමිව දැඩි මානසික පීඩනයකින් පසුවන නෙලීකාට අසනීප මත ගිලන් ඇඳක සිට හෝ තම සැමියා ඒ මොහොතේ ඇය අසල සිටීම අස්වැසිල්ලක් වනු ඇති බව වෛද්‍යවරුන්ගේ අදහස විය. ඒ අනුව සියල්ල තක්සේරු කිරීමෙන් අනතුරුව එදින දහවල් වෙද්දී රෝහල් කාර්යමණ්ඩලයේ දෙදෙනෙක් ද සමග ගිලන් රථයක් මගින් මේජර් සමීර බොරැල්ල කනත්ත වෙත පිටත්කර හැරීමට කටයුතු කළහ.
ලුතිතන් කර්නල් සමන් කුමාර
|
ලුතිතන් කර්නල් ශිවන්ත බණ්ඩාර
|
මේජර් ජෙනරාල් අජිත් පල්ලාවෙල (විශ්‍රාමික)
|
මේජර් සමීර හා සම්බන්ධව යුද හමුදා රෝහලේ වාට්ටුවේ සිදුවන එම සිදුවීම් පෙළ යාබද ඇඳෙහි සිටින මේජර් සමන් කුමාරට ද හොඳින් ශ්‍රවණය වූ නමුත්, තම මිතුරා වෙනුවෙන් ශෝකවීම හැරෙන්නට අන් කළහැකි යමක් ඔහුට නොවීය. සිරුරෙන් ඉවත්කළ මූනිස්සම් 09 ක තුවාල වෙනුවෙන් සිදුකළ ශල්‍යකර්මවල අපහසුව ඒ වනවිට ද ඔහු තුළින් පහවගොස් නොතිබිණ. තම ඇඳෙහි කොනක රෙදි කැබැල්ලක ඔතා එල්ලා තිබූ තම සිරුරින් ඉවත් කළ මූනිස්සන් පොකුර එලෙසින්ම තිබෙන අයුරු සමන් කුමාර දුටුවේය. සැලකිය යුතු දින ගණනක් ගෙවී තිබුණ ද, තවදුරටත් ඉන් ලේ සුවඳ වහනය වන සෙයක් ද ඔහුට දැනිණ.
මඳ වෙලාවකින් මේජර් සමීර බොරැල්ල කනත්තට ළඟාවන විටත් දරුවාගේ ආදාහන කටයුතු වෙනුවෙන් සියල්ල එහි සූදානම් කොට තිබුණේ පවුලේම සාමාජිකයන් විසිනි. අනතුරුව කනත්තට රැගෙන ආ තම දරුවාගේ සිරුර කුඩා පෙට්ටියක බහා තෝරාගත් තැනක තැන්පත් කෙරුණේ, ගමේ පන්සලේ හාමුදුරුවන් වහන්සේ විසින් සිදුකළ ආගමික වතාවත් මධ්‍යයේ ය. නෙලීකා සමග ඇගේ දෙමාපියන් ද, මේජර් සමීරගේ මව ඇතුළු සහෝදර සහෝදරියෝ පමණක් එහි වූහ. දරුවා මිහිදන් කෙරෙන ස්ථානයටම රැගෙන ආ ගිලන් රථයේ දොර හැර එතුළ සිටම මේජර් සමීර එම අවස්ථාවට සම්බන්ධ විය. සති ගණනාවක් තිස්සේ යුද්ධ දෙකකට එකවර මුහුණ දුන් නෙලීකා හා සමීර රූරා වැටෙන කඳුළු අතරේ වුව හිස ඔසවා එදෙස බලාසිටියේ ජීවිතය යනු මේ යැයි සෙස්සන්ට ද කියාදෙන්නාක් මෙනි. සැලකිය යුතු වේලාවකින් අනතුරුව කනත්තේ කටයුතු නිමාවෙද්දී, ඉර අවරට හැරෙමින් තිබිණ. අවසානයේ සියලු දෙනා ඉන් නික්මෙද්දී මේජර් සමීර ද ගිලන් රථයේම එම පිරිස සමග නිවස බලා පිටත්වූයේ, දෙමසකට ආසන්න කාලයක් තිස්සේ සිදුකළ අඛණ්ඩ අරගලයක නිමාව සනිටුහන් කරමිනි. නමුත්, එය කිසිසේත් ජයග්‍රාහී අවසානයක් නොවූ බව - එහි පැමිණි අයගේ මුහුණු තුළින් කියවිණ. එතැන් පටන් දින සති මාස ගෙවී යන්නට විය. එම කාලසීමාවේ දී සැලකිය යුතු දවසක් ඇඳෙහි ද, අනතුරුව රෝද පුටුවක හා කිහිලිකරුවක ද ආධාරයෙන් ගතකොට - ක්‍රමිකව යම් සුවයක් ලබන්නට මේජර් සමීරට හැකි විය. නමුත්, ඒ වෙනුවෙන් ඔහු ඉවසූ තරම හා දරාගත් ප්‍රමාණය දන්නේ ඔහුගේ ළඟින්ම සිටි බිරිඳ නෙලීකාය. ඈට ද ශාරීරිකව ආබාධයක් නොවුණ ද, මානසිකව විඳි අනේකවිධ චිත්ත පීඩා මෙතෙකැයි කියා නිමකළ නොහැක. කෙසේ නමුත්, ඔවුන් දෙදෙනා එකතුව යළි නව ජීවිතයක් අරඹන ලද්දේ දියණියව ද තුරුළු කරගනිමිනි. එම කාලසීමාව තුළ ලුතිනන් සමන් කුමාර ද දීර්ඝ කාලයක් යුද හමුදා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබ සුවය ලබන්නට වූයේ - සිරුර පුරා වූ කැළැල් රැසක් ද ඉතිරි කර ගනිමිනි.
මෙලෙස තවත් කලක් ගතවෙද්දී මේජර් සමීරගේ තත්ත්වය තරමක් යහපත් අතට හැරෙන්නට වූයෙන්, ඔහු යළි සුපුරුදු රාජකාරියට වාර්තා කරන්නට ද වූයේය. මෙලෙස යුද හමුදා මූලස්ථානයේ සිය සුපුරුදු කාර්යාලයට පැමිණිය ද මේජර් සමීරට එහිදී දැනුණේ ආගන්තුක බවකි. ගතවූ මාස ගණනාව තුළ සිදුවූ හැලහැප්පීම් දුක්ඛ දෝමනස්සයන් ඔහුගේ ජීවිතය නව ආරම්භයකට තල්ලුකොට තිබූ සෙයකි. කාර්යාලයට පැමිණි විගසම ඔහු සිය මාණ්ඩලික නිලධාරී ලුතිනන් කර්නල් අජිත් පල්ලාවෙල මුණගැසිණි. එහිදී, ඔහුගෙන් සමීරට ලැබුණේ හෘදයාංගම පිළිගැනීමකි. “සේරම වුණේ හොඳටයි කියලා හිතාගන්න සමීර, මොනවා වුණත් ඔයා ජීවත්වෙනවා, ඔහොම තමයි මිනිස්සුන්ට කරදර එනකොට” ඔහු ගුරුහරුකම් දෙන්නට වූයේ වෘත්තිය ඉක්මවූ සහෝදර බැඳීමකිනි. ඒ සමගම ඔහු කාර්යාලයේ වූ සේප්පුව විවෘත කළේය. මාස ගණනාවක් තිස්සේ එහි පරිස්සමට තැබූ දෙයක් ඔහු මේජර් සමීර අත තැබුවේය. ඔහු පුදුමයෙන් එදෙස බැලීය. එහි වූයේ තමන් එදවස බෝම්බ ප්‍රහාරයට ලක්වන අවස්ථාවේ කර බැඳි රන් මාලයයි. එම කාර්යාලයේම රාජකාරී කරන කෝප්රල් මාතරආරච්චි එදින අහම්බෙන් මෙන් යුද හමුදා රෝහල් ශල්‍යාගාරයේ දොර අසල දී හමුවූ මොහොතේ - එය සුරැකිව රැගෙන එලෙස ලුතිනන් කර්නල් පල්ලාවෙල වෙත භාරදී තිබිණ.
එතැන් සිට සිය රාජකාරිය සිදුකරන අතරේ වුව තුවාල සිදුවූ දකුණු පාදයේ ඉහළ කොටසේ විටින් විට හටගත් පීඩාකාරී තත්ත්වයන් හමුවේ මේජර් සමීරට වැඩිදුර ප්‍රතිකාර ලබාගැනීමට ද සිදුවිය. මේ අතර තම ශාරීරික අපහසුතා ක්‍රමානුකූලව පහව ගිය ද, එම සිදුවීමෙන් පසු ඔහුට වෙනත් අපහසුතාවකට ලක්වීමට සිදුවිය. එනම්, යුද හමුදා මූලස්ථානයේ යුද හමුදාපති ඉලක්ක කර සිදුවූ එම මරාගෙන මැරෙන ප්‍රහාරයට අදාළව ඒ වනවිට ප්‍රධාන සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන , ඔවුනට විරුද්ධව කොළඹ අලුත්කඩේ උසාවියේ නඩුවක් ද විභාග කෙරුණු හෙයින් - සාක්ෂි ලබාදීම සඳහා තුවාල ලැබූවන් ද සහභාගී විය යුතු වූයෙන්, මේජර් සමීරට ද දිගින් දිගට ඇදුණු එම නඩු වාර කිහිපයකටම සහභාගීවීමට සිදුවීමය.
2006 වර්ෂයේ මුල් කාර්තුවේ පටන් සිදුවූ ඉහත සිද්ධිදාමයට මේ වනවිට වසර 19 කට ආසන්නය. ගතවූ කාලසීමාව තුළ එම සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයන් ද තම වෘත්තීන්වලින් විශ්‍රාම ලැබ බොහෝ කල් ය. කාලයත් සමග ඕනෑම දෙයක් මැකීයාම සාමාන්‍ය තත්ත්වයක් වුවද, එදවස ක්‍රියාන්විත පරිසරයෙන් අත්විඳි මෙවැනි අත්දැකීම් නම් ඊට මුහුණදුන් කිසිවකුට ලෙහෙසියෙන් අමතක වේ යැයි සිතිය නොහැක. වර්තමානය වනවිට එදවස ලුතිතන් කර්නල්වරයකුව සිටි අජිත් පල්ලාවල මේජර් ජෙනරාල්වරයකු ලෙස විශ්‍රාම ලැබ සිටී. එවකට මේජර්වරයකු වූ ලුතිතන් කර්නල් සමන්කුමාර ද විශ්රාමිකය. ලුතිනන් කර්නල් ශිවන්ත බණ්ඩාර නම් පනාගොඩ යුද හමුදා කඳවුරෙහි දැනට ද සේවයේ යෙදී සිටී. එසේම, මේජර් සමීර ද ලුතිනන් කර්නල්වරයකුව ශ්‍රී ජයවර්ධනපුර යුද හමුදා මූලස්ථානයේ අදට ද සේවයේ නිරතව සිටී.
ත්‍රස්තවාදය අවසන්ව වසර 15 ක් ගෙවී අවසන්ය. ඒ පිළිබඳ සිවිල් සමාජය තුළ නම් මතක ඇත්තේම නැති තරම්ය. බොරැල්ල කනත්ත වටරවුම ද ඊට යාබදව ඇති කනත්ත ද දැන් බොහෝ සේ වෙනස්ය. එහි මිහිදන්ව ඇති පිරිස ගැණිය නොහැකිය. විවිධ රාජකාරී අවශ්‍යතා සඳහා ඒ ආසන්නයෙන් නිරතුරු යනෙන වාරයක් පාසා මේජර් සමීරට මීට 19 වසකට පෙර එහි මිහිදන් කළ තම පුතු පිළිබඳ මතක මතුව එන්නේ, අළුයට ලූ ගිනිපුපුරක් ලෙසය. ඒ සමගම ඔහු තම බෝම්බ ප්‍රහාරය හේතුවෙන් සිරුරේ ඉතිරිව ඇති කැළැල් දෙස ද බලනුයේ ඉබේටමය. දැන් දැන් ඒවා ද යම් තරමකට මැකී ගොස් තිබුණ ද, හිටිවනම පෙර මතක ඇවිස්සෙන්නේ චිත්‍රපට කතාවක රූපරාමු පෙළක් පරිද්දෙනි. බිරිඳ නෙලීකා ද අද මැදිවිය ඉක්මවා ජීවිතයට මුහුණදෙමින් සිටිනුයේ එකී මතක පරිස්සමට සඟවාගෙනය.
(මෙම කථාවේ ප්‍රධාන චරිත “මේජර් සමීර හා නෙලීකා” ලෙස සඳහන් කළ ද ඔවුන්ගේ සැබෑ නම් හා ඡායාරූප ඔවුන්ගේ බලවත් ඉල්ලීමක් නිසාම මෙහි ඇතුළත් නො කළ බව කාරුණිකව දන්වමි)
-නිමි -