පුරාවස්තු කොල්ලකෑමේ විපාක ගැන අධ්‍යයනයක්


පසුගිය වසරේ අග භාගයේ දී ඉන්දියාවේ නවදිල්ලි නගරයේ දී එරට පුරාවස්තු සම්බන්ධ වැදගත් වැඩමුළුවක් පැවැත්විණි. සංස්කෘතික අමාත්‍යංශය හා එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය එනම් යුනෙස්කෝ ආයතනය එකතු වී එම අවස්ථාව සංවිධානය කර තිබුණි. ඉන්දියාවේ ජාතික කෞතුකාගාරය හා ප්‍රාන්ත මට්ටමින් පිහිටා ඇති කෞතුකාගාරවල ප්‍රධානීන් කැඳවන ලද අතර අලුත් නීතිරීති හා විද්‍යාත්මක කරුණු සාකච්ඡා කර ඉපැරණි දේ ආරක්ෂා කරගන්නේ කෙසේ ද? යන්න ගැන ගැඹුරු සාකච්ඡාවකට ලක්විය. 


යුනෙස්කෝ සංවිධානයේ පර්ෂද කාර්යාලය නවදිල්ලියේ පිහිටා ඇති අතර බංගලාදේශය, භූතානය, මාලදිවයින, නේපාලය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල කටයුතු එතැනින් සම්බන්ධීකරණය කෙරේ. කොල්ල කෑ පුරාවස්තු නැවත ලබා ගැනීම යන තේමාව එම වැඩමුළුවට නම් කර තිබූ අතර නීති විරෝධීව කොල්ලකන බව කියන මිල කළ නොහැකි තරම් සංස්කෘතික වටිනාකමක් සහිත පුරාවස්තු සම්බන්ධයෙන් කෙරෙන ජාවාරම නතර කළ හැකි ආකාරය එහි දී සාකච්ඡා කෙරිණි. අලුත් නීති, තාක්ෂණික මෙවලම් උපයෝගී කරගැනීම සහ සූක්ෂමව කරගෙන යන ජාවාරම් මැඩපවත්වන්නට ගත හැකි ක්‍රියාමාර්ග ගැන ද මෙහි දී අවධානය යොමු විය. 


‘ෆෝබ්ස් ’ ජාත්‍යන්තර සඟරාව වාර්තා කළ පරිදි මත් ද්‍රව්‍ය ජාවාරම ලෝකයේ නීති විරෝධී අපරාධ අතර අංක එකට පත්ව ඇත. ඇමරිකානු ඩොලර් බිලියන 300 ඉක්මවන ජාවාරමකි. ප්‍රසිද්ධ වෙ​ෙළඳ නාම අනුකරණය දෙවැනි තැනට ගැනේ. තුන්වැනි තැන අවි ආයුධ වෙළෙඳාමය. නමුත් යුනෙස්කෝ සංවිධානය විසින් ජාත්‍යන්තර අපරාධ අතර තෙවැනි තැනට නීති විරෝධී පුරාවස්තු වෙළෙඳාම නම් කර ඇත. මත්ද්‍රව්‍ය හා අවි ආයුධ වෙළෙඳාම හැරුණු කොට පුරාවස්තු ජාවාරම ජයටම කෙරෙන බව එහි වාර්තා අනාවරණය කරයි. 2020 වසරේ ලෝකය පුරා කලාත්මක හා පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ද්‍රව්‍ය ඒකක බිලියන 50.1 ක් අතින් අත නිල නොවන ආකාරයට හුවමාරු වී ඇත. මේවායේ අගය ගැන නිසි සේ තක්සේරු කිරීම අපහසුය. පුරාවස්තු වෙළෙඳාම ඇමරිකානු ඩොලර් බිලියන දහය ඉක්මවන එකක් යැයි සැලකේ. අලුත් නීති බලගැන්වීම සමග 2020 වසරේ පමණක් සංස්කෘතික වටිනාකමක් ඇති ද්‍රව්‍ය 854,742 ක් අත්අඩංගුවට ගන්නට නිලධාරීන් සමත්ව ඇත. 


1970 නොවැම්බර් මාසයේ දී ලෝකය පුරා බලපවත්වන පරිදි යුනෙස්කෝ ප්‍රඥප්තිය යෝජනා කරන ලද අතර එය බලගන්වන්නේ 1972 වසරේ සිට බව දැක්වේ. රටවල් 141 ක් මෙම ප්‍රඥප්තියට එකඟතාව දක්වා ඇත. තවත් රටකට අනන්‍ය, රටක සංස්කෘතියට සම්බන්ධ පුරාවස්තුවක් හෝ දේපොළක් හුවමාරු කිරීමක් හෝ කිසිම ආකාරයකට අනුබලදීම නීති විරෝධී ව්‍යාපාරයක් සේ ගැනේ. 


ජගත් ප්‍රජාව අතර දැනුම හා අවබෝධය ඇතිකරන පසුබිම සමග ලෝකයේ නොයෙක් රටවල් තමන් සන්තකයේ ඇති අනෙක් රටවලට අයත් පෞරාණික දේ ආපසු භාරදෙමින් සිටී. මේවා සම්බන්ධ තීරණ ගැනීම ද ඉතා අපහසු වී ඇත. කොටසක් ආණ්ඩු මටට්මින් පවත්වාගෙන යන කෞතුකාගාරවල සංරක්ෂණය කෙරෙන අතර තවත් කොටසක් පෞද්ගලික එකතු වශයෙන් පවතී. පුරාවස්තු එකතු කිරීම හා සංරක්ෂණයට කැපවීමක් ද, අන්සතු කරගත් පිරිස දක්වා තිබීම සලකා බැලිය යුතු පැත්තකි. කෙසේ නමුත් සමහර රටවල් ඔවුන් භාරයේ ඇති, අනෙක් රටවල පුරාවස්තු නීත්‍යානුකූලව ආපසු ඒවායේ අයිතිය තිබිය යුතු රටවල්වලට භාරදෙමින් සිටී. 


ඉන්දීය පුරාවස්තු ප්‍රමාණයක් ඉන්දියාවට භාර දීම එවැනි එක සිද්ධියකි. අගමැති නරේන්ද්‍ර මෝදි මහතා 2021 වසරේ කරන සංචාරය අතරතුර ඇමරිකානු බලධාරීහු ඉන්දියාවට අයත් පුරාවස්තු ඒකක 157ක් ආපසු නිල වශයෙන් භාර කළේය. ඉන්දියාවේ විහාරයක තිබී පැහැරගෙන යන ලද බව සලකන චෝල අධිරාජ්‍ය කාලයට අයත් සංකේතයක් මේ අතර ප්‍රධානය. එය ඇමරිකානු ඩොලර් මිලියන හතරකට මිල කර ඇත. ඔස්ට්‍රේලියාව ද එරට ජාතික කෞතුකාගාරයේ තිබුණ ඉන්දියාවට අයත් වටිනා පුරාවස්තු ඒකක 14 ක් ආපසු භාරදීමට කටයුතු කළේ එයින් අවුරුද්දකට පසුවය. ඒවා දොලොස්වැනි සියවසට අයත් පැරණි දේ බව සඳහන්ය. එක්සත් රාජධානි යේ තිබූ ලක්ෂමණ හා සීතා දේවිය සම්බන්ධ පුරාවස්තු ගණනාවක් 2000 වසරේ දී ඉන්දියාවට ආපසු පිරිනමා ඇත. ප්‍රංශය, සිංගප්පූරුව හා තවත් රටවල් ගණනාවක් ද මෙම ක්‍රමය අනුගමනය කර තිබේ. පුරාවස්තු මුල් අයිතිකරුවන් අතට ලැබෙන්නට සැලැස්වීම රටවල් අතර පවතින මිත්‍රත්වය තරකරන ක්‍රියාකාරකමකි. අනෙක් රටක අනන්‍යතාවයට හා සංස්කෘතියට දක්වන ගෞරවයකි. 


ලංකාව ද පුරාවස්තු කොල්ලයකට ගොදුරු වූ රටකි. බ්‍රිතාන්‍ය පාලන කාලයේ දී ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය පුරා වස්තු එරට ප්‍රසිද්ධ කෞතුකාගාර දහසයක ආරක්ෂා කරගෙන සිටින බව අනාවරණය වන කරුණකි. පෟතුගාලය, නෙදර්ලන්තය හා බ්‍රිතාන්‍යයෝ ශ්‍රී ලංකාවට අයත් පුරාවස්තු ඇත. මෙම වටිනා භාණ්ඩ ආපසු ලබා ගැනීම සඳහා පවත්වන සාකච්ඡාවලට යුනෙස්කෝ සංවිධානය ද මැදිහත්ව සිටී. නිදහස ලැබීම සමග අවසන් රාජධානියට අයත්ව තිබුණ ඔටුන්න, සිංහාසනය ඇතුළු ඇතැම් වටිනා සංකේත ආපසු ලබාගන්නට ශ්‍රී ලංකාව සමත්විය. කෙසේ වෙතත් වසර පනහක කාලය තුළ සිදු වූ පුරාවස්තු මංකොල්ලයක දී රටකට අහිමි වූ දේ පමණක් ආපසු ගැනීමට හැකිවන පරිදි යුනෙස්කෝ නීති සකස් වී ඇති බව ද මෙහි දී සඳහන් කළ යුතු වැදගත් කරුණකි. වසර පන්සියයක ඉතිහාසය තුළ අහිමි වූ පුරාවස්තු ගැන වෙනම සාකච්ඡා කරන්නට අපට සිදුවෙයි. 


කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමෙන් පසු සංචාරක සමය නැවත ඇරඹෙනු ඇති අතර මෙරටට පැමිණෙන සංචාරකයන් කෞතුක වස්තු හා පැරණි දේ සඳහා දක්වන ඇල්ම ගැන ප්‍රවේසම්විය යුතුය. රටපුරා කෞතුක භාණ්ඩ අලෙවි කරන ස්ථාන තිබේ. සමහර දේ අපගේ යටගියාව සම්බන්ධයෙන් ඉතිරිව ඇති ප්‍රධාන සාක්ෂි බව නොරහසකි. ඒවා අනුන් අතට පත්කරන්නට ඉඩදීම ගැන පරීක්ෂා කර බලන්නට අවශ්‍යය. ඉතාම මෑතක දී ශ්‍රී ලංකාවේ දුම්බර පැදුරු රටා ලෝක උරුමයක් වශයෙන් යුනෙස්කෝ සංවිධානය නම් කළේය. නොවටිනා දේ වශයෙන් බැහැර ගෙන යන කෘති අවසානයේ දී අපගේ ශිල්පීන්ගේ අනන්‍යතාව හා විශිෂ්ට භාවය අවතක්සේරු කිරීමක් වනු ඇත. නිලධාරීන්ට අවශ්‍ය දැනුම හා අවබෝධය ලබාදිය යුතුය. සංචාරකයන්ගේ පැමිණීම ආර්ථිකයට වැදගත් සාධකයකි. ශ්‍රී ලංකාවේ පැරණි දේ මිල දී ගැනීමේ දී හා ඒවා රටින් බැහැර කරගැනීමේ දී අවශ්‍ය වන විධිවිධාන ගැන අලුත් අදහස් ඉදිරිපත් විය යුතු කාල වකවානුවකි. 
මෙම ලිපිය ගැන ඔබගේ අදහස [email protected] ලිපිනයට එවන්නේ නම් අගය කරමි.