පොරොවට බ්ලිවෙන වනස්පති


 

පුත්තලම දිස්ත්‍රික්කය සුවිශේෂ භූ විෂමතාවකින් සමන්විත දිස්ත්‍රික්කයකි. පසෙකින් මුහුදින් හා තවත් පසකින් කළපුවත් සේම දැවැන්ත වැව් පද්ධතියකින් හා වී, පොල්, ඇතුළු භෝග රැසකින් පොහොසත්ය. එසේම මෙම දිස්ත්‍රික්කයට සුවිශේෂ වනාන්තර පද්ධතියක් ද පිහිටා ඇත.   


වනජීවී දෙපාර්තමේන්තුවට අයත් තබ්බෝව අභය භූමිය ද වන රක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ගැසට් කළ වන රක්ෂිත ද එසේ නොකළ සංරක්ෂිත වනාන්තර ද පුත්තලම දිස්ත්‍රික්කය තුළ පිහිටි වන වියනට ඇතුළත්ය.   


මේ සියලු‍ වනාන්තර පද්ධතිය පුත්තලම දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 50,000 ඉක්මවයි.   
තබ්බෝව අභය භූමිය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර දැව ජාවාරම්කරුවන් විසින් වනසන විට ඒවා වැළැක්වීමට වගකිව යුතු නිලධාරීන් වැටලීම් කර වන අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගත් වාර සංඛ්‍යාව අපමණය.   


එසේ නිලධාරීන් විසින් ආරක්ෂා කළ යුතු වනය වන වගාවකට එළි පෙහෙළි කර වනසා දැමීම සිදුවන්නේ නම් කුමන කතා දැයි විමසිය යුතුමය.   


පුත්තලම දිස්ත්‍රික්කයට දිගින් දිගටම එල්ල වන අලි මිනිස් ගැටුමට හේතු වී ඇත්තේද රජය සතුව පැවති රජයේ කැලෑ හා රක්ෂිත පද්ධතිය විවිධ හිතවත්කම් මත ලබා දීමේ ආනිසංසයයි.   

 


වනාතවිල්ලුවේ හිටපු ප්‍රාදේශීය ලේකම්වරයකු තම හිතුමතේ පොල් වගාවකට වනාතවිල්ලු‍වේ අක්කර 5000කට වැඩි ප්‍රමාණයක් කූඨ අයුරින් ලබාදීමේ සිද්ධියක් මෙයට පෙර වාර්තා විය.   
මේ පුත්තලම දිස්ත්‍රික්කයේ ඉඩම් ජාවාරමේ එක් සිදුවීමක් පමණි. එද‌ා පුත්තලමේ සිදුවූ ඉඩම් ජාවාරම අද දවසේ ද රහසේ සිදුවෙමින් පවතී.   


ඇතැම් නිලධාරීන් මෙසේ ඉඩම් ජාවාරමක නිරත වනවිට වනය සුරැකීමට බැඳී ඇති නිලධාරීන් පිරිසක් ජාවාරම්කරුවන් සමග එක්වී වනය වැනසූ අවස්ථා ද නැතුවා නොවේ.   


නැවත වන වගාවකට බව පවසමින් පුත්තලමේ වල් අලින් නිරන්තරයෙන් සැරිසරන සෙල්ලන් කන්ද රක්ෂිතයේ හා තබ්බෝව අභය භූමියට යාබද ඇති මුරුක්කුවටවන වන සංරක්ෂණ භූමියෙන් හෙක්ටයාර් 100කට ආසන්න ස්වාභාවික වනාන්තරය ඉවත් කරමින් වනසා ඇත්තේ වන නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් බව ජනතාව කියති.   


කොහොඹ, වීර, බුරුත, කළුවර ඇතුළු ශාක තිබූ වනාන්තරයක් යන්ත්‍ර සූත්‍ර යොද‌ාගෙන වනසා ගිනි තබා විනාශ කර ඇත.   


ස්වාභාවික වනාන්තරය විනාශ කරමින් මෙම පරිසරයේ ඇති වසර 40ක් 50ක් ඉක්ම වූ දැවැන්ත කොහොඹ ගස් බිම හෙළා ඇත. අපේ පරිසරයට විදේශයෙන් රැගෙන විත් බලහත්කාරයෙන් අයිතිය ලබා දෙන්නට කටයුතු කර ඇති ‘කායා’ නමැති ශාකය ද මෙම භූමි තුළ රෝපණය කිරීමට නිලධාරීන් පියවර ගෙන ඇති බව ද කියති.   


වයඹ හඬ පරිසර සංවිධානයේ සංවිධායන අජිත් ගිහාන් මහතා පවසා සිටියේ මෙවැන්නකි.   
“මේ ආකාරයට කිසිම ආයතනයකට වනය හිතුමතේ විනාශ කරන්න ඔවුන්ගේ බූදල නොවෙයි. ඒ වාගේම මේ සඳහා අනුගමනය කළ යුතු කිසිදු ක්‍රමවේදයක් භාවිත නොකර මෙසේ වනාන්තර පද්ධති වනසා දමන්න බැහැ.   


වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නැවත වන වගා කරන්න යන්නේ පිහිටි ස්වාභාවික වනාන්තර පද්ධති වනසමින්ද කියලා අපි ප්‍රශ්න කරනවා.”   


මෙම වන විනාශය පිළිබඳව අදහස් දැක්වූ කරුවලගස්වැව 17 කණුව ශ්‍රී ලු‍ම්බිණි විහාරයේ විහාරාධිපති මන්නෑවේ පඤ්ඤාරාම හිමියෝ මෙසේ පැවසූහ.   


“අපිට ගැටලුවක් නැහැ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නැවත වගා කරනවාට. නමුත් තිබෙන ස්වාභාවික රක්ෂිත වනාන්තර වනසලා සතා සිව්පාවුන්ට යන එන මං නැති කරලා කරන වන වගාව මොකක් ද කියලයි ගැටලුව.   


මේ කරුවලගස්වැව වගේම පුත්තලමේත් වගා කරන්නේ නැති ​පෞද්ගලික ඉඩම් කොච්චර තිබෙනවාද. ඉතින් ඒවා වගා කරලා වන වියන් හදන්න පුළුවන්කම තියෙද්දී මේ මොන ඔලමොට්ටල වැඩක් ද කියලා අපිට නම් හිතාගන්න බැහැ.” 

 
මේ පිළිබඳව පුත්තලම දිසා වන නිලධාරි සරත් කුමාර මහතාගෙන් කළ විමසීමේදී පවසා සිටියේ මෙවැන්නකි.   
“මෙය නැවත වන වගා කිරීමේ කටයුත්තක්. ජනතාවගේ සහභාගීත්වයෙන් තමා සිදුවන්නේ. මේ අනුව පුත්තලම හා ආණමඩුවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමිවල හෙක්ටයාර් 100ක නැවත වන වගාව ආරම්භ කරන්න වනජීවී සම්පත් හා වන සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය මගින් මෙහි සම්පූර්ණයෙන්ම මෙහෙයවීම සිදුවනවා. ඒ අනුව කොහොඹ හා කායා නැවත වන වගාව යටතේ සිදුවනවා.   

 


ඒ අනුව තෝරාගත් ගොවීන්ට මෙම භූමි තුළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන පැළ සිටුවීම භාරවෙනවා. එයට ගෙවීමක් ලබා දෙනවා. ඒ වන වගාව තුළ වසර පහක් යන තුරු යටි වගාවක් ලෙස ගොවීන්ට ඔවුන්ගේ වගා  කටයුතු කරන්න අවස්ථාව ලබාදෙනවා.” යැයි එ් මහතා පැවසීය.   
මේ සඳහා පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් ලබාගෙන ඇති දැයි කළ විමසීමේදී දිසා වන නිලධාරිවරයා පවසා සිටියේ එය අවශ්‍ය නොවන බවයි. 

 
කෙසේ නමුත් පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතාගෙන් කළ විමසීමේදී පවසා සිටියේ හෙක්ටයාරයකට වැඩි වන එළි පෙහෙළි කිරීමක් සඳහා අනිවාර්යයෙන්ම පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් ලබාගත යුතු බවය.   

 

 

සටහන/ ඡායාරූප
පුත්තලම - හිරාන් ප්‍රියංකර ජයසිංහ