බටහිර බෙංගාලය සමග ඇති ඓතිහාසික බැඳීම


 

ඉන්දියාවේ ප්‍රාන්ත අතර වැඩිම ජනගහනයක් සහිත ප්‍රාන්ත ලැයිස්තුවේ හතරවැනි තැන බටහිර බෙංගාලයට හිමිවෙයි. එහි ජනගහනය මිලියන අනූවකට මදක් වැඩි බව දැක්වෙයි. සෑහෙන දියුණු සමාජ, ආර්ථික වටපිටාවක් සහිත ප්‍රාන්තයකි. දීර්ඝ ඉතිහාසයක් තිබේ. බටහිර බෙංගාලය ශ්‍රී ලාංකිකයන්ට ඉතා වැදගත් ස්ථානයකි. විජය කුමාරයාගේ පැමිණීම ලංකාවේ අලුත් යුගයක් ඇරඹුණ අවස්ථාවකි. තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයෝ මෙම දූපත වානිජ කේන්ද්‍රස්ථානයක් බව මැනවින් පෙන්වා දෙයි. යුද්ධය අවසන් වන විට අශෝක රජු කාලිංග යුද්ධය අවසන් කරන අවස්ථාවේ දී යථාර්ථය අවබෝධ කරගෙන ධර්මය දෙසට නැඹුරු වෙයි. මෙම සිද්ධිවලට බටහිර බෙංගාලය සමග සම්බන්ධය. එහි අභ්‍යන්තරය අවබෝධ කරගැනීම හා අනාගතයේ යොමුවිය යුතු පැති සලකා බැලීම වැදගත්ය.   


බංගලාදේශය, නේපාලය හා භූතානය යන රටවල් තුනකට බටහිර බෙංගාල ප්‍රාන්තය මායිම් වී තිබේ. අතීතයේ ඉන්දියාව පාලනය කළ වංග, මෞයුරන්, ගුප්ත වැනි යුගවලට බෙංගාලය සමග සම්බන්ධයක් තිබේ. බටහිර බෙංගාලයේ ප්‍රධාන නගරය කොල්කටාව යි. 2001 වසර තෙක් එය හැඳින්වෙන්නේ කල්කටාව වශයෙනි. නැගෙනහිර ඉන්දියාවේ වානිජ, කර්මාන්ත හා සන්නිවේදන කේන්ද්‍රය වශයෙන් සැලකෙන කොල්කටාව ප්‍රධාන වරාය මෙහෙයුම් මධ්‍යස්ථානයකි. ඓතිහාසික සහ ගෘහ නිර්මාණ පසුබිම අනුව ඉන්දියාවේ සංස්කෘතික නගරය වශයෙන් ද හැඳින්වෙයි. ඉන්දියාවේ ජාතික කෞතුකාගාරය සහ ජාතික පුස්තකාලය ස්ථාපිත කර ඇත්තේ අගනුවර වන නව දිල්ලියේ නොව කොල්කටා නගරයේ ය. එය මෙම ප්‍රාන්තය සතු වැදගත්කම අනාවරණය කරයි.   


ඉන්දියන් උප මහා ද්වීපයට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ප්‍රවේශ වෙන්නේ වෙළෙඳ සමාගමක් වශයෙනි. නැගෙනහිර ඉන්දීය වෙළෙඳ සමාගම ඉන්දියාවේ ස්ථාන දෙතුන් පොළක කාර්යය කරගෙන යන නමුත් අවසානයේ දී මූලස්ථානය පිහිටුවා ගන්නේ කොල්කටාවේය. සමාගම පසුව ඉන්දියාවත්, එයින් ඉනික්බිතිව ලංකාවත් යටත් කරගන්නට සමත්විය. නිදහස් සටන සඳහා පිඹුරුපත් සැකසෙන අතර බෙංගාලි ප්‍රදේශය තුළ අධිරාජ්‍යවා දී විරෝධතා ඇවිලෙයි. එහි අනතුර දකින අතරතුර ඉන්දියාව පාලනය කරන අලුත් ආකෘතියක පහසුව තකා දිල්ලිය ප්‍රධාන පරිපාලන නගරය බවට පත් කර ගත්තේය. බෙංගලි ආශිතව විසූ බුද්ධි මණ්ඩල හා කලා සාහිත්‍ය අංශවල ප්‍රධානීන්ගේ වියත් දායකත්වය ඉන්දීය නිදහස් සටනේ දී කැපී පෙනෙන සාධකයකි. 1947 දී බෙංගාල් ලියැවිල්ලට එහි ව්‍යවස්ථාපිත මණ්ඩලය හා මහජන නියෝජිතයන් ඡන්දය ප්‍රකාශ කළ අතර එය බටහිර හා නැගෙනහිර වශයෙන් කොටස් දෙකට බෙදෙන්නට හේතුවිය. මුස්ලිම් බහුතරයක් සිටි ප්‍රදේශය වෙන්වී පකිස්තානය නිර්මාණය වූ අතර පසුව විශාල ගැටුමකට පසු පකිස්තානයෙන් වෙන් වූ කොටස අද බංගලාදේශය යනුවෙන් හැඳින්වෙයි.   


බටහිර බෙංගාලය ලංකාවේ සමාජ, සංස්කෘතික හා ආගමික සබඳතාවලට මුල් වී තිබේ. මෙම වෙසක් මාසයේ දී අලුත් මානයකින් බටහිර බෙංගාලය දෙස බැලීමට එය සාධකයක් බව සඳහන් කළ යුතුය. විජය කුමාරයා ඇතුළු පිරිවර තම්මැන්නාවෙන් ගොඩබසින ලද බව ඉතිහාසය දක්වයි. ඉන්දියාවෙන් පැමිණ ලංකාව වාසස්ථානය සඳහා තෝරාගත් පළමු පිරිස වශයෙන් සඳහන් කළ හැකිය. ඔඩිස්සාවේ සිට එම පිරිස පැමිණ ඇත. එය එවකට බෙංගාලයේ කොටසකි. බුදු රජාණන් වහන්සේගේ කේශ ධාතු රැඟත් තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් එන්නේ ඉන්දියාවේ පැරණි කාලිංග ප්‍රදේශයෙන්ය. වෙළෙඳාමට පැමිණි මෙම වෙළෙඳුන් ගෙන ආ කේශ ධාතු නිධන් කොට ගිරිහඬු සෑය ඉදිකර ඇත. දන්ත ධාතුව වැඩමවන දන්ත හා හේමමාලා කුමර කුමරියන් ගමන අරඹන්නේ කාලිංග රටින්ය. එම ස්ථානය අද ඔඩිස්සා ප්‍රදේශයයි. ඉතිහාසය ගවේශනය කරන පිරිස පෙන්වා දී ඇති පරිදි බටහිර බෙංගාල සහ ඔඩිස්සා ප්‍රදේශ සමග ලංකාවේ බැඳීම අවම වශයෙන් සහශ්‍රක තුනක් දක්වා ඈතට විහි දී යයි. 

 

 
බ්‍රිතාන්‍ය ජාතිකයන් ඉන්දියාව යටත් කරගත් පසු එහි බටහිර අධ්‍යාපන ක්‍රම ස්ථාපිත කරන පියවර ගනී. කල්කටාවේ සහ බොම්බායේ විශ්වවිද්‍යාල පිහිටුවන අතර එය විශාල බලපෑමක් ඇති කරන තීරණයක් බව පෙනේ. බෙංගාල යේ සිටි විද්වත්හු පෙරදිග දර්ශනය නොනැසෙන පරිදි අධ්‍යාපනය කරගෙන යන පියවර ගත්හ. ස්වදේශීක කෘත්‍ය අමතක නොකළහ. වැර වෑයමෙන් එයට අවස්ථාව ගත්හ. රබීන්ද්‍රනාත් තාගෝර් මැතිතුමා පවත්වාගෙන ගිය විශ්ව බාරතී ශාන්ති නිකේතනය එයින් එක තැනකි. නිදහස ලබන කාලවකවානුවේ දී පමණක් නොව එයින් පසු කාලයේ පවා ලාංකිකයන් එහි අධ්‍යාපනය ලබා ඇත. කලාව සහ සාහිත්‍ය හදාරන ලදහ. සංගීතය හා නර්තන අංග පුහුණු වී විශිෂ්ට දස්කම් පෙන්නුම් කළහ. එයින් රටට විශාල පිටිවහලක් ලැබී තිබේ. රබීන්ද්‍රනාත් තාගෝර්යන් අවස්ථා තුනක දී ලංකාවට පැමිණ තිබේ. 1922 වසරේ පළමු වතාවට පැමිණි ඇත. කොළඹ, ගාල්ල, මහනුවර හා යාපනය ප්‍රදේශවල සංචාරය කර තිබේ. ආනන්ද, මහින්ද, ටිනිටි සහ යාපනය මධ්‍ය විද්‍යාලයෙහි දේශන පවත්වා තිබේ. 2022 වසරේ දී තාගෝර් ශ්‍රී ලංකා සම්බන්ධතාවයට ද සිය වසරක් සම්පූර්ණ වීම විශේෂත්වයකි.   


අනගාරික ධර්මපාලතුමන් ගේ සේවය ද මෙහි දී සිහිපත් කළ යුතුය. පරම විඥානාර්ථ සමාගම පිහිටුවා ගත් එතුමා ඔල්කොට් තුමන් ඇතුළු එතෙර මෙතෙර ලැදියාවක් ඇති පිරිස් සමග එකතුවී බෞද්ධ ප්‍රබෝධයක් ඇති කරනු සඳහා ක්‍රියා කළේය. එතුමෝ පළමුවෙන් කල්කටාවට ගොස් ඇති අතර එහි අන්‍යාගමිකයන් සතුව තිබුණ ගෞතම බුදුන්වහන්සේගේ ජීවිතයට සම්බන්ධ ස්ථාන එකින් එක නිරාකරණය කර උරුමය තහවුරු කරගෙන තිබේ. වාරානාසි, කුෂිනගර්, ලුම්බිණි ඇතුළු තැන්වල අතීත බෞද්ධ උරුමය නැවත ප්‍රතිශ්ඨාපනයට පියවර ගෙන ඇත. 

 
ඉන්දියාව සමග සම්බන්ධතා පවත්වන සෑම අවස්ථාවක දීම පැරණි යටගියාව අමතක කරන අතර මෑත කාලයේ ස්ථානවලට අවධානය යොමු කෙරේ. නවදිල්ලිය හෝ තමිල්නාඩුව ශ්‍රී ලංකාවේ ඉතාම ප්‍රමුඛ අවධානයට ලක්විය යුතු තැන් නොවේ. ඒවා රාජ්‍යතාන්ත්‍රික විය හැකිය. දේශපාලන රාමුව අනුව නවදිල්ලියේ පරිපාලනය හෝ තමිල්නාඩුවේ දෙමළ ජනතාවගේ හඬ විශාල බලපෑමක් කරන හේතුවක් විය හැකිය. මෙම ස්ථාන දෙක ගැන පුලුල් අවධානයක් දක්වන අප සියලු දෙනාටම අවශ්‍යයෙන්ම තිබිය යුතු සම්බන්ධතා මග හැරී තිබේ. 

 
විජයාගමනය දෙරට අතර ජන පර්යටනයේ සංධිස්ථානයකි. තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන්ගේ කාර්යය අමතක කළ හැකිද? බුදු රජාණන් වහන්සේ ජීවමානව සිටිය දී පිරිනමන ලද කේශ ධාතු සහිත ස්ථානය අපගේ ගෞරවයට ලක්වෙන්නේ නැත. දියවඩන නිලමේ තනතුරක් කෘතීමව බිහි කර දළදා මාලිගාවේ පැවත්ම ඔවුන්ට රිසි පරිදි සකස් කරන්නේ අධිරාජ්‍යවාදී පාලකයන්ය. විශාල අවධානයක් දළදා මාලිගාවට ලැබී තිබේ. කේශ ධාතු නිධන් කර ඇති ස්ථානය ගැන බෞද්ධ ජනතාවගේ අවධානය අඩුවන හේතුව කුමක් ද? වෙළඳ දෙබෑයන් පැමිණි ගමන් මග ඔවුන් විසූ බෙංගාලය ගැන උනන්දුවක් ඇති වෙන්නට පුලුවන්කමක් නැත. අනෙක් අතට සාහිත්‍ය ප්‍රබෝධය ඇති කරන ලද ශාන්ති නිකේතනය අමතක කළ හැකි ද? එහි අධ්‍යාපනය හදාරා ශ්‍රී ලංකාවේ සාහිත්‍ය ප්‍රබෝධය ඇති කරන ලද විශිෂ්ටයන්ගේ ගමන් මග දෙස මෙහි දී ආපසු හැරී බැලීම අවශ්‍යය.   


මෙම වෙසක් සමයේ ආකල්ප වෙනස් කරන පිළිවෙතකට යා හැකිය. ජාතික හා ආගමික උරුමය ලැබුණ තැන් ගැන අවධානය යොමු කළ හැකිය. සමාජ සංස්කෘතික පැවැත්මට බලපෑමක් කළ සුවිශේෂ ස්ථාන ගණනාවක් ඉන්දියාවේ තිබේ. එහෙත් ඒවා නවදිල්ලියෙන් හෝ තමිල්නාඩුවෙන් බැහැරය. මෙම අනන්‍යතා සහිත ස්ථානවලට වැඩි අවධානයක් යොමු කළ හොත් අලුත් සමාජ ආර්ථික අවකාශයක් නිර්මාණය වෙයි. වසංගත තත්ත්වය සමග ඉන්දියාව ඉතාම බරපතළ පීඩාවකට පත්ව සිටී. ජන ජීවිතය අකර්මණ්‍ය වී තිබේ. මුළු ලෝකයේම තත්ත්වය යහපත්වන සේ ප්‍රාර්ථනා කරමින් සෙත් පැතිම බෞද්ධ අපගේ යුතුකමකි. රතන සූත්‍ර දේශනාව සඡ්ඡායනා කිරීම ඉතාම සුදුසු බවට මහා සංඝරත්නය අනුශාසනා කර ඇත. බුදු රජාණන් වහන්සේ ගේ ඉපැදීම, බුදුවීම හා පිරිනිවණ මෙනෙහි කර කටයුතු කරන ලාංකේය බොදුනුවන් මෙම වෙසක් මාසයේ දී අධිශ්ඨානශීලීව ක්‍රියා කිරීම වැදගත්ය.   


මෙම ලිපිය ගැන ඔබගේ අදහස [email protected] ලිපියනට යොමු කළ හැකිය.