බල්ටි නැති විසිල් ගහන එල්ලේ සම්මේලනය



ක්‍රීඩා සමාජ 12 ක පමණක් සහභාගිත්වයෙන් අවසන් වරට (2022-25) පැවැති ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ නිලවරණය ප්‍රතික්ෂේප කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයට හයියක් නොතිබුණි. එයින් පත්වූ විධායක සභාව මේ වන විට තව දුරටත් කටයුතු කරමින් සිටින අතර, රටේ එල්ලේ ක්‍රීඩාව අයාලේ ගොස් ඇතැයි නැගෙන චෝදනාව නිරවද්‍යවී නැත.

 ජනප්‍රිය චිත්‍රපට නළු විජය කුමාරතුංග තරුණ අවධියේ එල්ලේ තරගයකට සහභාගිවී සිටි අවස්ථාවක්.....

 

රටේ එල්ලේ කලාපය ලෙස සැලකෙන බස්නාහිර හා වයඹ යන පළාත්වල විශේෂයෙන්ම තව දුරටත් එල්ලේ තරග පැවැත්වෙමින් තිබේ. ඒ එල්ලේ සම්මේලනය නොව පෞද්ගලිකව තරග සංවිධායකයන් විසින් සූදානම් කරන තරග මාලාය. මෙසේ පසුගිය මහ මැතිවරණය ඉලක්ක කරමින් විශාල මුදල් තෑගි පිරිනමමින් එල්ලේ තරග මාලා සංවිධානය කිරීමට ඇතැම් අපේක්ෂකයෝ කටයුතු කළහ.

ශ්‍රී ලංකාවේම උපන් ඒ නිසාම අඩු වටිනාකමක් ලැබුණු එල්ලේ ක්‍රීඩාව සමහරුන් හැඳින්වූයේ බම්බු ක්‍රීඩාව කියායි. මේ කතා කරන්නේ එල්ලේ ක්‍රීඩාව පරිහානිය කරා රැගෙන යන බවට විශේෂයෙන්ම ප්‍රවීණයන්ගෙන් චෝදනා ලබා සිටින ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ විධායක සභාව පිළිබදවය.

වසර 2018 සිට වාර්ෂික ජාතික එල්ලේ තරගාවලිය පවත්වා ගෙන යාමට පත්වූ විධායක සභාවන් අපොහොසත්වීම එහි ලොකුම ඛේදවාචකයයි. එහිදී 2018 තරගාවලිය පවත්වා අවසන් කළේ 2021 දීය. 2022 තරගාවලිය අවසන් වටයේ සිට අත්හිටුවා තිබේ.

මෙම තරගාවලියේ ප්‍රමාදයට හා කඩාකප්පල්වීමට එල්ලේ සම්මේලනයේ දැන් සභාපතිකම් කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාමල් සුරංග මහතාද සෑහෙන වැඩ කොටසක් කර තිබේ. උද්ම්මිට ගාමිණී ක්‍රීඩා සමාජය නියෝජනය කරන නාමල් සුරංග මහතා විනිසුරු තීරණයකට එරෙහිව අධිකරණයට යාමත් සමග 2021 ජාතික තරගාවලිය එතැන් සිට අත්හිටුවීමට සිදු විය.

මෙම සිදුවීමේදී විනිසුරුට පහරදීමට තැත් කළ බව කියන නාමල් සුරංග මහතා නියෝජනය කරන උදම්මිට ගාමිණී කණ්ඩායමේ චෝදනාලාභී ක්‍රීඩකයා ඊට පෙර පැවැති ජාතික තරගාවලියකදී එහි හොදම ක්‍රීඩකයාට සම්මාන ලැබූවෙකි. නමුත් මෙම සිදුවීමෙන් කියන්නේ විනය පැත්තෙන් ගත් කළ ඔහු බාල ක්‍රීඩකයකු බවයි.

කෙසේවූවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් පැවැරූ නඩුව පසුව ඉල්ලා අස්කර ගැනීමට නාමල් සුරංග මහතා කටයුතු කරන විට 2022 ජාතික එල්ලේ තරගාවලිය අතරමග හමස් පෙට්ටියට ගොස් අවසන්ය.

මෙසේ එල්ලේ සම්මේලනය විසින් හමස් පෙට්ටියට යැවූ තරගාවලිය ජාතික තරගාවලිය පමණක් නොවේ. අන්තර් ආයතන, ජාතික කාන්තා, ජාතික ආධුනික තරගාවලිය මෙන්ම ජාතික කනිෂ්ඨ තරගාවලියද වෙති.

මේ රටේ 300 කට ආසන්න එල්ලේ ක්‍රීඩා සමාජ හා කණ්ඩායම් අතරින් 150 කට ආසන්න කණ්ඩායමේ ගණනක් වාර්ෂික (පිරිම්) ජාතික තරගාවලියට ඉදිරිපත් වෙති. කෙසේවූවත් එල්ලේ සම්මේලනයේ වත්මන් නිද්‍රාශීලි ප්‍රතිපත්තිය හමුවේ තරග මාලා පමණක් නොව වාර්ෂික වැඩසටහන් හා සංවර්ධන ව්‍යාපෘතිද වසර ගණනාවක් තිස්සේ කඩා වැටී තිබේ.

වසර 2022 අප්‍රේල් මාසයේදී ජාතික ක්‍රීඩා විද්‍යාතනයේ අධීක්ෂණයෙන් පැවැත්වූ බව කියන එල්ලේ විනිසුරු පාඨමාලාව හදරා පිටව ගිය විනිසුරුවන් 30 දෙනා සඳහා ඔවුන්ගේ හැකියාව මැන බැලෙන ප්‍රායෝගික පරීක්ෂණයක් නොපැවැත්වූ බවට ද එල්ලේ සම්මේලනයේ වත්මන් විධායක සභාවට නැගෙන තවත් චෝදනාවකි.

එල්ලේ නිසාම ක්‍රීඩා අමාත්‍යාංශයේද අඩු අවධානයක් ඊට ඇතිවී තිබෙන තත්ත්වයක් තුළ පිනුම් නැති විසිල් පමණක් ගහන විධායක සභාව ගැන සොයන්නට කිසිවෙකුත් නැත. මේ තත්වය නිසාම මෑතදී එල්ලේ ප්‍රවීණයන් රැසක් ඒකරාශි කර ගනිමින් පිහිටුවා ගත් එල්ලේ සුරැකීමේ ව්‍යාපාරයේද දෙදරීමක් මෑතදී අසන්නට ලැබුණි. එල්ලේ සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වන සිරිල් පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් යුත් එහි නිලධාරී මණ්ඩලයේ ප්‍රධාන සංවිධායක සිරිපාල රණසිංහ මහතා ඉල්ලා අස්වීමෙන් මෙම දෙදරීම වාර්තාවී තිබේ.

ඒ ගැන රණසිංහ මහතා හිතවතුන්ට පවසා ඇත්තේ, එතන වැඩ කරන්න බැරි නිසා තමන් ඉවත් වූ බවයි. රණසිංහ මහතා එල්ලේ සම්මේලනයේ හිටපු ලේකම්වරයකු වන අතර, එල්ලේ ග්‍රන්ථ ගණනාවක්ම රචනා කර තිබේ. කෙසේවූවත් වත්මන් නිද්‍රාශීලී එල්ලේ සම්මේලනයට ආදර්ශයක් ලබා දෙමින් කටයුතු කරමින් සිටින එල්ලේ සුරැකීමේ සංවිධානය සතුව මේ වන විට ස්ථීර තැන්පතුවක්ද ඇතැයිද වාර්තා වේ.

1962 දී එවකට ලංකාදීප කාර්යාලයේදී ආරම්භ කළ ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය හඳුන්වා දුන් ජාතික තරගාවලිය ඒ නිසාම එකල හඳුන්වා ඇත්තේ ලංකාදීප තරගාවලිය ලෙසය.

එල්ලේ සම්මේලනයට රටේ සෙසු ජාතික ක්‍රීඩා සංගම් හා සාපේක්ෂව සැලකීමේදී ලැබී ඇත්තේ ඉතාම අඩු වටිනාකමකි. ‘‘අපේ දේ අපට වටින්නේ නෑ’’ යන කියමන රටේ එල්ලේ ක්‍රීඩාවේ වත්මන් පැවැත්මට උචිතය.

මේ ක්‍රීඩාවට මෙසේ වී ඇත්තේ එය රට තුළට සීමාවී තිබෙන ක්‍රීඩා ඉසව්වක් බවට පත්ව තිබෙන නිසා බවට වැටහීමක් ලබා ගත හැකිය. පිටරට තරග සංචාරවලට යාමේ පොරකෑමක් මේ ක්‍රීඩාවේ නැත. ඒ නිසාම එල්ලේ සම්මේලනයේ තනතුරුවලට ඉදිරිපත් වන රටේ යමක් කමක් කළ හැකි මට්ටමේ පිරිස් ඉදිරිපත් වීමත් සීමාසහිතය.

එය එසේ වූවත් රටේ නමගිය ප්‍රබලතම දේශපාලකයන් රැසක් එදා මෙදා තුර එල්ලේ සම්මේලනයේ මුල් පුටුව හොබවා තිබීම කැපී පෙනේ. ඒ අතර පසුව රටේ ජානාධිපති ධූරයට පත් මහින්ද රාජපක්ෂ මහතාද ප්‍රමුඛය. හිටපු කථානායක ජෝශප් මයිකල් පෙරේරා, හිටපු අමාත්‍යවරුන් වන ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ, නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් ඒ අතර ඉහළින්ම කියවේ. ඒ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජ්පක්ෂ මහතා ද එල්ලේ සම්මේලනයේ සභාපතිකම දැරූ ප්‍රභූන් අතර අයෙකි.

එල්ලේ පරිපාලනය මේ යුගයේ සිහිපත් කරන විට තරග සංවිධායකයකු ලෙස කටයුතු කළ අභාවප්‍රාප්ත චාමර සේරසිංහ මහතා ඉදිරියෙන්ම සිහිපත් කළ හැකිය. ඔහු පිළිබදව සමහරුන්ගේ විවේචන පැවැතියත් එල්ලේ සම්මේලනයේ තරග සංවිධායක ධූරයේ වසර 10 කටත් අධික කාලයක් කටයුතු කර තිබේ.

මෙම ලිපිය අවසන් කිරීමට පෙර එල්ලේ සම්මේලනයේ වත්මන් විධායක සභාව ගැන වැඩිදුරටත් කතා කරන්නේ නම්, ප්‍රධාන ලේකම් ධූරයට පත්වූ කුමාර ගුණවර්ධන මහතාට අත්වූ ඉරණම ගැනත් කතා නොකර සිටිය නොහැකිය. ඔහු ධූරයෙන් ඉවත් කිරීමෙන් පසුව නැවත ඔහු තනතුරට බඳවා ගැනීමට විධායක සභාවට සිදුවූ බව වාර්තා විය.

ඒ පත්වුණු විධායක සභාවේ කටයුතු විවේචනය කරමින් ඔහු විසින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කළ ලිපියකින් පසුව ඔහු නැවැත සේවයේ පිහිටුවීමට එල්ලේ විධායක සභාවට සිදුවීමයි.

ඒ අතර හිටපු සභාපතිවරයකු වන ජයතිස්ස රුද්‍රිගු මහතාගේ එල්ලේ සම්මේලනයේ සේවය අගය කළ යුතුය. ඔහු සිය පාලන කාලයේදී සිය වියදමින් එල්ලේ තරගමාලා හා වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට උනන්දු වූයේ එල්ලේ සම්මේලනයේ ගිණුම බින්දුවට වැටී තිබියදීය. ඔහු එල්ලේ සම්මේලනයට පිවිසෙන විට වියදම් නොමැතිව අතරමග අත්හිටුවා තිබූ ජාතික තරගාවලියක් පවත්වා අවසන් කළේ එය ආරම්භ කර වසර කීපයක්ම ගෙවී ගොස් තිබියදීය.

නමුත් අද එල්ලේ විධායක සභාවට නිශ්චිතව එල්ලේ ක්‍රීඩාව පිළිබදව දැක්මක් නැති බැවින් ඔවුන්ගේ වත්මන් පාලන කාලය අවසන් වන විට එල්ලේ ක්‍රීඩාවට අබ සරණයි කියා මුලින්ම කියන්නට සිදුවන්නේ ඔවුන්ටම විය හැකිය.

 

නාමල් පතිරගේ