බුදු පිළිම පාගාගෙන අන්‍යාගමට ගිය ධනපාලගේ දෙපා පෙති ගැසී ගිය හැටි


ජීවිතය යහ මගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් ඇවැසිය, මේ විශේෂාංගය ඒ වෙනුවෙනි

බෙලිඅත්ත, දම්මුල්ල ජේ. කණ්ඩම්බි මහතා ලියා එවූ කතාවක් මෙසේය.   

සමනල දඩයමින් වැනසුණු මිනිස්සු

 

කැකුළු මල් පුබුදුවා විඳිය හැකි සුවඳක් නැත. මල් කුප්පි මිරිකලා ගත හැකි රොන් බිඳක් නැත. වියරු බඹරුන් තුඩඟ විෂ නම් සුපිපි කුසුමන් වුව ද පරවෙයි. බලෙන් ඇඟ ගැසූ කුසුමකිනුත් බලෙන් උදුරාගත් කුසුමකිනුත් ලැබෙන සුවයක් නැත.   


රුවින් පිරිපුන් දිස්නාට උපතින් උරුම වූ දායාදය දුගී බව පමණි. පියා කවුරුන්දැයි නොදත් ඇයගේ උප්පැන්නයේ පිය කොටුව හිස්විය. ඉන් ඇය හදවතේ ද හිස් කොටුවක් විවර විය. උප්පැන්නයේ සිටින මව ද වෙන කැදැල්ලක කූඩු වීම නිසා මිත්තනියගේ රැකවරණයට ඇය පත්වූවාය. මිත්තනියගේ සෙනෙහස අසීමිත වුව ද රැකවරණය සීමිත විය. එනම් ජීවන සයුරේ නොගිලී සිටීමට කුලී වැඩ පතා, දහවල අතුපැලෙන් ඉගිලී යාම නිසාය.   


දිස්නාගේ කටකාර බවට දඟකාර බව එක්වීමෙන් සුරතල් බව වර්ධනය විය. දිළිඳු බව නොහඳුනන ඇය ඉගෙනීමට අතිදක්ෂ වූවාය. සැමදා පන්තියේ පළමුවැනියා වූ ඇයට ගුරුවරුන්ගේ නොමසුරු ආදරය ද ලැබුණි. හය වසරේ දැරියක වූ ඇයගෙන් දිස් වූයේ දස වසරක දැරියකගේ පිරිපුන් දිස්නයකි. ඇයගේ පිරිපුන් රුවට කෑදර වී කුරුමානම් ඇල්ලූ රකුසු මාමෙකුගේ ග්‍රහණයට ඇය ගොදුරු විය. සිදුවූ විපත ගැන ළාමක ඇගේ සිතට නොදැනීමෙන් නිරතුරුවම කාම අපරාධකරුගේ පහසට නතු විය. මිත්තනියගේ රැකවරණය දහවලට අහිමි වීම ඊට අනුබලයක් විය.   


මී වදයක සුවඳ විහිදෙන දුර කෙටිය. මී කුණක දුගඳ හමන දුර දිගුය. දිස්නාගේ වගතුග ගම් දනව් සිසාරා පැතිර ගියේ ද දුගඳ හමන විලසිනි. කාමාතුර විෂ තුඩගින් මිලින වූ දිස්නා කරා තරුණ බඹරුන් ද ඇඳිණි. උන් එකිනෙකාට රහසින් මෙන්ම නිවෙස්වලට හොරෙන් ද ඇදී ඒමට සමත් වූහ. කාමාතුරයින්ගේ තුටු පඬුරු විලවුන් සුවඳ හමුවේ අහිංසක ඇය දපනේ වැටුණි.   


හොඳ පුරුදුවලට වඩා නරක පුරුදු කෙරෙහි ඇබ්බැහි වීම, වල්මත් වූ දිස්නාට ද පොදු විය. මුලදී කාමාතුර අයෝමය දෑත් හමුවේ මිරිකී වේදනා විඳි ඇයට, පසු පසු වනවිට කාමුක පහස නැතිවම බැරි විය. දැරියන්ගේ කැමැත්ත මත හෝ අකැමැත්ත මත සිදුවන ලිංගික ක්‍රියාවන් නීති විරෝධී බව අමනයින්ට නොවැටහෙති. සමාජ රෝගවලට ද ගොදුරුව පවුල් අවුල් වනවිට ඔවුන් ප්‍රමාද වී හමාරය.   


දිස්නාට දුගී බවින් එගොඩ වීමට තිබූ අධ්‍යාපන ඒදණ්ඩ ද ගඟට පතිත විය. උපතින් ලද පිවිතුරු එකම දායාදය ද කාමාතුරයින් පැහැර ගති. සල්ලාලයින්ට දෙන දඬුවම් දැඩි නොවීමෙන් අවජාතක දරුවන්ගේ මව්වරු බවට දැරියන් පත්වෙති. කාම මඩම්වල සිරගත වී ඉවසිය නොහැකි වේදනාවන්ගෙන් පීඩා විඳීමට දැරියන්ට සිදුවිය. අවජාතක දරුවකුගේ මව් පදවිය දිස්නාට ලැබෙන විට නවවැනි වසර සමත් වූවා පමණි. වැඩිවියට පත් වුණා ද නැතහොත් පත් කළා ද කියා අවබෝධයක් දිස්නාට නොමැති විය. පාසල් ගමන ද අතරමග නතර වී අතුපැලට ඇය කොටුවිය. පවුල් සෞඛ්‍ය සේවිකාවගේ නෙතු අග ඇය ගැටීමෙන් පොලිස් පොතේ පිටුවක් විවර විය. පොලිස් විමර්ශන මහිමයෙන් බාල, මහලු, තරුණ විසිදෙනකුගේ පමණ දෑතට විලංගු වැටුණි. ඒ අතර එකම පවුලේ පිය පුතු මුත්තණුවන් ද සිටීම විශේෂ විය.   


පොලිසිය තුළදී ගුටි බැට නින්දා අපහාස විඳීමට ද ඔවුනට සිදුවිය. එකිනෙකාගේ මුහුණු දකින විට පොළොව පලාගෙන යෑමට තරම් ලජ්ජාවකට ඔවුහු පත්වූහ. නොකළ වරදකට සමාජයෙන් එල්ල වූ නින්දා අපහාස ඉවසිය නොහැකි තැන මව ගෙල වැල දාගෙන මිහිතලයෙන් සමුගත්තාය. අනෙක් පවුල්වල අය ද ගමේ පස් සදහටම නොපාගන බවට සපත කරමින් ගමෙන් පිටවූහ.   


ආගමට පිටුපා හිරිඔතප් බිඳගත් කාමුකයින් දිට්ඨ ධම්මවේදනීය කර්මයට ද ගොදුරු විය. දිස්නාට විසිලක්ෂයක වන්දි සමග දඩ ගෙවීමට අපතයින්ට සිදුවිය. ස්ත්‍රී දූෂණය උදෙසා බරපතළ වැඩ සහිත පහළොස් වසරක සිරදඬුවම් ද කාම අපරාධකරුවන්ට නියම විය. බාල අපරාධකරුවකු පරිවාසගත කෙරිණි.   
දිස්නා පරිවාස භාරයට පත්කරමින් අධ්‍යාපනය ලබාදෙන ලෙස නියෝග කෙරිණි. දෙගුරුන් රැකවරණ අහිමි දැරියන් විනාශ කිරීමට පෙර පරිවාසගත කළ යුතුය. ඉන් සමාජ සාරධර්ම ද රැකෙනු ඇත. පවුල් අවුල් ද සිදුනොවනු ඇත. විනාශයක් සිදු වූ පසුව බුද්ධි අංශ ක්‍රියාත්මක වීමත්, කොමිෂන් සභා පත්කිරීමත් ජනතා මුදල් කා දැමීමක් පමණි.   



ගුණතිලක මැටියගනේ මහතා ලියා එවූ කතාවක් මෙසේය.   

  බුදු පිළිම පාගාගෙන ආගමට ගිය ධනපාලගේ දෙපා පෙති ගැසී ගිය සැටි  


අපි ඔහු දනපාල ලෙසින් හඳුන්වමු. ඔහු හිච්චි එකා සන්දියේ සිටම මහ පොළොවේ පය ගසා සිටින්නට අකැමැති වූවෙකි. ඔහු වැඩිපුර කාලයක් ගත කළේ ගස් දෙබල් උඩ හා අතු පතර සැඟවීගෙනය.  
ඉස්කෝලේ හතර පහ කැලෑසිවලින් ඉගෙනීමට තිත තැබූ දනපාල තම වඳුරු වත දියණු පවුණු කැරගත්තේ ගස් පෙරැළීමේ වෘත්තියට අත පොත් තබමිනි. ගස් පෑහීම හා පෙරැළීම, කුට්ටි කිරීම ඔහුගේ විෂය ක්‍රියාකාරකම් විය. අත් පොරොව, කෙටේරිය හා මහ පොරොව ඔහුගේ වෘත්තීයමය මෙවලම් කට්ටල විය. තිරිංග දමා ආඬියාමානයෙන් මහ අතු බබා වගේ තමන්ට වුවමනා තැනට බා ගන්නටත් කඳන් හිටු කිවු තැනට හේම කරගැන්මටත් තරමට ඔහුගේ නිපුණතාව පරිණත විය.  


මෙයාකාරයට ලයිට් කම්බි පේලි, වහලවල් ආදියට නැමී තිබෙන ගස් වැනි වඩාත් අනතුරුදායක ස්ථානවල පිහිටි ගස් කැපීමට ඔහුගේ නම මුලින්ම කියැවිණි.  


මහ පොරොවෙන් කඳන් වෙන් කිරීම වෙනුවට බොත්තමක් එබූ පමණින් රූක්ෂ විච්ඡේදනය කරනු සඳහා ජර්මනියෙන් අත්මැෂිමක් කොළොම්තොටින් ලංකාවට ගොඩබැස්සේ මේ කාලයේය. තමන්ට දවස් දෙකක් ගත වෙන ජොබ් එකකට මේ මැෂින් හාදයා වැය කරන්නේ පැය දෙක තුනක් බව වටහාගත් දනපාල මැෂිම දෙස බලා හීල්ලුවේය. එහෙත් වියහියදම්වල හැටියට ඒ සඳහා වැයවන බරපැන ඉතිරි කරගැනීම නම් ඔහුට හීනයක්ම විය.  


විශේෂයෙන්ම බෞද්ධයින් අන්‍ය ආගමකට හරවා ගැනීමේ N.G.O. නිකායක් විසින් ඒ අසල සාවියේ ආගමික මධ්‍යස්ථානයක් අටවා ගත්තේ මේ කියන කාල වකවානුවේදීය. ඔවුන් මිනිසුන්ගේ අඩුපාඩුකම්, අවශ්‍යතා හා දරිද්‍රතාව ඉලක්ක කොටගෙන ඇම දමන්නට වූයේ නොයෙකුත් වරදාන වරප්‍රසාද එහි අමුණමිනි. හොඳට ගෙවීම් කටයුතු කළ තැරැව්කාරයින් මගින් සුව කළ නොහැකි ලෙඩ සුව කරගැනීම, දෙවි පිහිට ලබාගැනීම ආදිය ගැන ප්‍රශස්ති දසත පතුරුවන්නට විය. එලෙස ඉතා විසිතුරු ප්‍රාතිහාර්යාත්මක උපහැරණ දනන් තුඩ තුඩ රැව්දෙන්නට විය.  


“උඹටත් ඔය පොරොවෙන් කොටනවට වඩා තුන් ගුණයක් ලාබ ලැබිය හැකි මැෂින් එකක් ගත්තොත්. කාලෙ හැටියට හැඩ ගැහියන් දනපාල. ආගමට හැරිලා එහෙන් දෙන ලක්සෙත් අරගෙන මැෂින් එකකට වැය කරලා ඉතුරුවා පොතේ දමා ගනින්. ඉක්මනට මිනිහෙක් වුණ හැකි. වැඩි කලක් නොගිහින් පොඩිවට ලී මෝලක් දමා ගන්නත් බැරි වෙන එකක් නෑ” ඒ උපදේශ දනපාලගේ දෙසවන්වල රැව් පිළිරැව් දෙන්නට තියා ගත්තේය.  
බොරුවක් නෙමේ තමා දනපාල ද ඒ අනුව හිත එකලස් කරගන්නට උත්සාහ දැරුවේය. ‘ඔය රෝහිණී සෝ මිල් එකේ උපසේන මුදලාලි දර කරත්තයක් පස්සෙ වැටිලා ආපු මිනිහා. අද මුළු කැලණි ගං මිටියාවතම අල්ලල තියෙන්නේ. අනික මං බුද්ධාගමේ වුණාට වැස්සකටවත් පන්සලකට ගොඩවැදුණු එකෙක්යැ. ඔව් මං ආගමට යනව යනවාමයි.’ ඔහු තීන්දු කළේය.  


ඒ අනුව ඔහු ආගම්කාරයකු බවට පත්වූයේ එම ආගමේ සාක්ෂි ශාලාවක දොරකඩ බිම දැමූ බුද්ධ ප්‍රතිමා පයින් පාගාගෙන ඊට උඩින් දැමූ රෙද්ද මතින් ඇවිද යමිනි.  


ගෙඩිය පිටින් දනපාලගේ අතට ලැබුණු ලක්ෂයෙන් ඔහු මුලින්ම කළේ ගස් කපන ඔරිජිනල් ජර්මන් මැෂිමක් මිලදී ගැනීමය. මහ පොරොවට හුරු වූ අතට මැෂිම හුරතල් කරගැනීම ඔහුට මහ කාරියක් නොවීය. ඔහු ගසේ මැදක් උසට නැග මැෂිම ලණුවකින් උඩට ගෙන අතු හීන් කොට කිවු තැනට කඳ පහත් කළේය. මෙතෙක් ගස මුල පොරොව තබා දෑත් එක්කොට වැඩ පටන් ගත් දනපාල දැන් පපුව දිහාවට වෙන මොකක්දෝ සංඥාවක් මුමුණා මැෂිම පණ ගන්වයි.  


එදා එහෙම දෙවියන් සිහිකොට වඩාත් අනතුරුදායක තැනක පිහිටි මී ගහකට නැගගත් දනපාල මැෂිම උඩට ගෙන පීදුණු ගොයමට උඩින් නැමී තිබුණු අත්තක් දෙරි ගහන්නට වූයේය.  


මී කඳන් කපා හෙළන්නට ලොකු බලයක් යෙදිය යුතු වූයේ එහි කිරි පාට ලාටුව අශ්ව බලයටත් අභියෝග කරන බැවිනි.  


මී අත්ත අඩක් කැපෙන විට දුනුදිය අතෑරියාක් මෙන් ගැස්සී කැරැකී ගියේ දනපාලත් මැෂිමත් දෝතට අරගෙනය. ඔහු අතු ගොඩක් උඩට වැටුණේ මව් කුසක වකුටුව සිටින බිලිඳෙකු ලෙසිනි. මාරාවේශයෙන් ක්‍රියාත්මක වෙමින් තිබුණු මැෂිම ඔහුගේ දෙපාවලට හිර විය. ගස වෙනුවෙන් ජීවිතය ඉල්ලා අඳෝනා නගන මැෂිමේ විලාපයත් දනපාලගේ මරලතෝනියත් නතර වනවිට බුද්ධ ප්‍රතිමාවහන්සේලා පාගාගෙන ඒ මතින් ආගමට ගිය දනපාලගේ පාද දෙකම පෙති ගැසී මී අතු ගොඩේම කොටසක් බවට පත්ව තිබුණේ කළකම් ඇස් පනාපිට පෙන්වා දෙමිනි. 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්