දඹදිව සදහම් චාරිකාව බොදුනුවන් කොයි කාගේත් පුණ්‍යවන්ත සිහිනයකි. බුදුන් උපන්, බුද්ධත්වය ලත් සඟ පිරිනිවූ භාරතයේ පූජා, භූමි වැඳ පුදා ගන්නට පෙරුම් පුරන සැදැහැවතුන්ට මගපෙන්වීමක් පිණිස පළකෙරෙන ලිපි මාලාවක පළමු පියවරයි මේ!
බුදුදහමේ නිජබිම ලෙසින් සැලකෙන්නේ ඉන්දියාවේ සාරානාත් පුදබිම ය.
බුදුරජාණන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය වූ ධම්මචක්කපවත්තන සූත්‍රය පස්වග මහණුන් වහන්සේලාට දේශනා කළේ ඉසිපතනාරාම (සාරානාත්) පුදබිමේ දී ය.
ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හි වාරානසී දිස්ත්‍රික්කයේ පිහිටි පුරාණ ඉසිපතනාරාමය (ඍෂිපතනය) හෙවත් මිගදාය බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන පරිදි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ උපන් ස්ථානය ලෙසින් ද සඳහන් වේ.
සාරානාත් හි විශාල ප්‍රදේශයක් පුරා පුරාණ ගොඩනැගිලිවලට අයත් වෙහෙර විහාරවල නටබුන් අදත් දක්නට ලැබේ. මේවා සියල්ලම ඉන්දියාවේ පුරාවිද්‍යා අධිකාරිය මගින් සංරක්ෂණය කර තිබේ.
සාරානාත් යන නම ද මේ ප්‍රදේශය සඳහා භාවිතාවේ. සාරානාත් යන වචනය පුරාණ පාලි හෝ සංස්කෘත සාහිත්‍යයෙහි දක්නට නැත. ‘‘සාරංගනාථ’’ යන වචනය සාවද්‍ය ලෙස ව්‍යවහාරයට පත් වී සාරානාත් යන වචනය සෑදී ඇත. සාරංගනාථ යන වචනයේ අදහස මුවන්ගේ නායකයා (Lord of the Deer) යන්නයි. සාරංගනාථ යන නාමය මුල් කාලයේ දී මේ දක්වා භාවිත වී තිබේ. අදත් මෙහි මුවන් හා ගෝනුන් දැකගත හැකිය.
පාලි ග්‍රන්ථවල මෙම පුදබිම හඳුන්වා ඇත්තේ මිගදාය හෝ ඉසිපතන යන නාමයෙනි. ඉසිපතන යන නාමය පිළිබඳව විද්වත්හු බොහෝ සාකච්ඡා කළහ. මෙම නාමය සංස්කෘත භාෂාවෙන් ඍෂිපතන යනුවෙන් ද ව්‍යවහාර වේ. ඍෂිවරුන් වාසය කළ ප්‍රදේශය ලෙසින් ද සමහරු මෙම ප්‍රදේශය හඳුන්වති. ‘‘පතන’’ යන නාමයේ අරුත වැටෙන හෝ නටබුන් හෝ වාසභවන යනුවෙන් ද අර්ථ දක්වා තිබේ. ක්‍රි.ව. පස්වන සියවසේ දී ඉන්දියාවට පැමිණි චීන භික්ෂූන් වහන්සේනමක වූ පාහියන් හිමියන් සඳහන් කරන්නේ ‘‘පතන’’ යන්නෙහි අරුත falling වැටුන යන්නය. පසේ බුදුවරුන් පිරිනිවන් පෑමෙන් පසුව අහසේ සිට මෙහි පතිත වූ නිසා මෙම ඍෂිපතන යන නාමය යෙදුණු බවද ඍෂිවරුන් පතිත වූ නිසා ඍෂිපතනය වූ බව ද සමහරු සඳහන් කරති. විශාල ප්‍රදේශයක් පුරා තාපසයන් වාසය කළ බව ද භාවනා කළ බව ද සඳහන් වී ඇත. බරණැසට ඉතා සමීපව පිහිටි ඉතා විශාල නගරයක් ලෙසින් ද භික්ෂූන් වහන්සේලාට වාසය සඳහා සුදුසුම ප්‍රදේශයක් ලෙසින් ද මේ පිළිබඳව පාලි සාහිත්‍යයෙහි සඳහන් වේ.
මිගදාය යන නම ද මේ ප්‍රදේශය සඳහා ව්‍යවහාර වී ඇත. එහි අර්ථය (Deer Park) මුවන්ගේ වනය යන අර්ථයයි. මුවන්ගේ අභයභූමිය යන අරුත ද දිය හැකිය. මේ ප්‍රදේශයේ සතුන් දඩයම් කිරීම තහනම් කර ඇත. වන සතුන්ට වාසය කිරීම පිණිස රජතුමා විසින් අභය භූමියක් වූ ප්‍රදේශයක් ලෙසින් ද සඳහන් වේ. මුවන් සිය ගණන් මෙම ප්‍රදේශයේ නිදහසේ සැරිසරන්නට ඇත. ඔවුන් දඩයම් කිරීම හෝ හිංසා කිරීම සපුරා තහනම් කර තිබිණි. බරණැස මහ රාජාවරුන් විසින් මෙම නීතිය පනවා තිබිණ.
මෙම මිගදායට යාබද ප්‍රදේශයක පුරාණ සම්ප්‍රදාය වූ මුවන්ට රිසිසේ සංචාරය කිරීමට අවස්ථාව සලසා දීමට පුරාණ කාලයට පසුව වුව ද බරණැස මහාරජවරු ක්‍රියා කළහ.
බුදුරජාණන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වූ ‘‘ධම්මචක්ක පවත්තන සූත්‍රය’’ පස්වග මහණුන් වහන්සේලාට දේශනා කළේ ඉසිපතනාරාම පුදබිමේ දී ය. බුදුරජාණන්වහන්සේ හා සම්බන්ධ වූ පුදබිම් අතරේ තුන්වන පුදබිම වන්නේ ඉතිපතනාරාමයයි. බුදුදහමේ නිජබිම ලෙසින් සැලකෙන්නේ ද මෙම පූජා භූමියයි. මේ පුදබිමෙහි බුද්ධ කාලයේ දී බොහෝ ආගමික ගොඩනැගිලි තිබිණි.
ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හි වාරානසී දිස්ත්‍රික්කයේ පිහිටි පුරාණ ඉසිපතනාරාමය (ඍෂිපතන හෙවත් මිගදාය) බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන පරිදි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ උපන් ස්ථානය ලෙසින් ද දැක්වේ.
නූතන යුගයේ දී අනගාරික ධර්මපාලතුමාගේ උත්සාහය නිසා මෙම පුදබිම බෞද්ධයන්ගේ වැඳුම් පිදුම් කිරීමට සුදුසු ස්ථානය බවට පත්වූයේ ය. ඉන්දියානු රජයේ ද අනුග්‍රහය එකල ධර්මපාලතුමාට ඒ සඳහා නොමඳව ලැබිණි. අනගාරික ධර්මපාලතුමාගේ ඒ සේවාවන් ඇගයීම වෙනුවෙන් සාරානාත් හි ප්‍රධාන මාර්ගය ‘‘අනගාරික ධර්මපාල මාවත’’ නමින් ඉන්දියානු රජය විසින් නම් කරන ලදී.
ඇසළ මස පුර පසළොස්වක දා බුදුරජාණන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූයේ මෙම ඉතිපතනයේ මිගදායෙ දී ය. මේ සමගම මහා සංඝරත්නය බිහි කිරීම ද බුදුරජාණන්වහන්සේ විසින් සිදුකරන ලදී. කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජි යන පස්වග මහණුන් වහන්සේලා බුදු සසුනේ ප්‍රථම ශ්‍රාමකයෝ පස්දෙනා වූහ. මෙම ප්‍රථම ධර්ම දේශනය පැවැත් වීමට පෙර බුදුරජාණන්වහන්සේට එම පරිබ්‍රාජකයන් පස්දෙනා (බුදුසනුනට සම්බන්ධ වීමට පෙර) හමු වූ ස්ථානය අද දැකගත හැකිය.
සාරානාත්හි පුරාණ බෞද්ධ ගොඩනැගිලිවල නටබුන් රාශියක් දක්නට ලැබේ. මෙම නටබුන් අතර ස්තූප දෙකක් හා ආරාම සංකීර්ණයද ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ දී අසෝක රජතුමා විසින් පිහිටුවන ලද අසෝක ස්තම්භය ද වේ. මේ ඇති ආරාම සංකීර්ණයෙහි අත්තිවාරම් සහ බිත්ති කොටස් ඉන්දියාවේ පුරාවිද්‍යා අධිකාරිය මගින් සංරක්ෂණය කර ඇත. බුදුරජාණන්වහන්සේ වැඩ වාසය කළ මූලගන්ධිකුටි විහාරය ද පිහිටියේ මෙම සංකීර්ණයේ ය.
පුරාණ කාලයේ භාරත දේශයේ අනෙකුත් බෞද්ධ පුදබිම්වලට මෙන්ම සාරානාත් පුදබිමට ද ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ දී අසෝක රජතුමා (ක්‍රි.පූ. 250දී) පැමිණ මෙහි බෞද්ධ ගොඩනැගිලි ඉදි කළේය. එයින් මෙහිදී දැකගත හැකි එකක් නම් ධර්මරාජික ස්තූපයයි. ධමෙක් ස්තූපය ද අසෝක ස්ථම්භයද (සිංහයින් සතරදෙනා සහිත) අසෝක රජුගේ අනුග්‍රහයෙන් නිම කරන ලදී. සාරානාත්හි අසෝක ස්තම්භයේ එම ස්ථම්භ ශීර්ෂය (Lion Capital) නූතන ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනය ලෙසින් භාවිතා වේ. එහි ඇති ධර්ම චක්‍රය ඉන්දියාවේ ජාතික කොඩියේ ලාංඡනය ලෙස ඇතුළත් කර ඇත.
අසෝක රජතුමාට පසුව භාරතයේ ද එයින් පිට දේශවල ද බුද්ධාගම දියුණු කළ තවත් රජ කෙනෙක් වූ කනිෂ්ක රජතුමා විසින් ද ක්‍රිස්තු වර්ෂ 120 දී පමණ සාරානාත් හි ආරාම – විහාර සහ මූර්ති ද නිර්මාණය කර වූ බවට සාක්ෂි හමුවී ඇත. රතු වැලිගලින් නිර්මාණය කර ඇති විශාල බෝධිසත්ව හිටි පිළිමය හා එම ඡත්‍රය කනිෂ්ක රජුගේ අනුග්‍රහයෙන් නිර්මාණය කර ඇත. කනිෂ්ක රජුගේ අභිෂේකයෙන් තුන්වැනි වර්ෂයේ දී මථුරා පුදබිමෙහි සිටි බල නමැති තෙරුන් වහන්සේ විසින් එම බෝධිසත්ව පිළිමය නිර්මාණය කර ඇති බව සඳහන් වේ.
ඉන්පසුව එළඹි භාරතයේ මූර්ති කලාවේ සහ සාහිත්‍යයේ ස්වර්ණමය යුගය වූ ගුප්ත රජවරුන්ගේ රාජ්‍ය කාලවල දී (ක්‍රි.ව. 4 සිට 6 තෙක්) සාරානාත් හි ඉතා විශිෂ්ට බුදුපිළිමයක් වූ ධර්ම චක්‍ර මුද්‍රාවෙන් යුක්ත හිඳි බුදුපිළිමය නිර්මාණය කර ඇත. එය ක්‍රි.ව. 414 සිට 455 තෙක් රජ කළ ගුප්ත රජකෙනෙකු වූ කුමාර ගුප්ත රජුගේ පරිත්‍යාගයෙන් බව එහි සඳහන් ශිලාලේඛනයකින් ඔප්පු වෙයි. ගුප්ත රජවරුන් වූ දෙවෙනි කුමාර ගුප්ත (ක්‍රි.ව. 473) සහ බුද්ධගුප්ත (ක්‍රි.ව. 476) ගේ ශිලාලේඛන දෙකක්ද සාරානාත් පුදබිමෙන් සොයාගෙන ඇත. ගුප්ත අධිකාරියේ අවසාන කාලයේ රජ වූ බුද්ධ ගුප්ත සහ නරසිංහ ගුප්ත (බාලාදිත්‍ය) යන රජවරුන්ගේ අනුග්‍රහය බුද්ධාගමට ලැබී ඇති බව සාරානාත් පුදබිමෙන් හෙළිවේ.
භාරත දේශයේ සංචාරය සඳහා පැමිණි චීන ජතික පාහියන් හිමියන් ක්‍රි.ව. 399-414 කාලයේ දී සාරානාත් හි දාගැබ් 4 ක් ද, සංඝයාවහන්සේලා සඳහා වූ සංඝාරාම දෙකක් ද දුටු බව උන්වහන්සේගේ වාර්තාවල සඳහන් කර ඇත. උන්වහන්සේගේ පැමිණීමෙන් පසුකාලයේ දී උතුරු ඉන්දියානු ආක්‍රමණිකයන් වූ (සුදු හූනාවරුන්) විසින් සාරානාත් පුදබිම් විනාශයට පත් වී ඇත.
ක්‍රි.ව. 1794 දී සාරානාත් පුද බිමෙහි ඒ වන විට ද තිබුණු ධර්ම රාජික ස්තූපය කඩාබිඳ දමා එහි ඇති ගඩොල් ආදී ද්‍රව්‍යවලින් ජගත් සිං නම් බරණැස් පාලකයා විසින් ජනපදයක ගෙවල් සෑදීම සඳහා යොදාගන්නා ලදී. මෙම ස්ථූපය ජගත් සිංගේ මිනිසුන් විසින් විනාශ කරන විට උඩ සිට මීටර් 8.25 යටින් එම ස්තූපයේ විශාල රවුම් (ගල් පෙට්ටියක්) තුළ කොළ පාට කිරිගරුඬ ධාතු කරඬුවක් හමු වූයේය. එහි ධාතුන්වහන්සේලා සමඟ මුතු රන්පත් හා රන් ආභරණ කීපයක් ද තිබුණි. අසෝක රජතුමා විසින් එහි නිධන් කරන ලද බුදුරජාණන් වහන්සේගේ සර්වඥධාතුන් වහන්සේලා ද තිබිණි. ඒවා ගංගා නම් ගඟට දැමූ බැව් වාර්තා වී ඇත. (Buddhist Shrines in India D.C. AHIR P.26 – 1986)
මෙම විනාශය පිළිබඳව දැනගන්නට ලැබුණේ මේ පිළිබඳ සිදු කළ ගවේෂණයක් බරණැස්හි කොමසාරිස්වරයා වූ ජොනතන් ඩන්කන් මහතා විසින් 1798 දී ප්‍රකාශයට පත් කළ සාරානාත් හි පුරාවස්තු පිළිබඳ වාර්තාවෙනි.
මෙතෙක් සාරානාත් පුදබිමෙන් සොයා ගෙන ඇති බෞද්ධ පුරාවස්තු හා මූර්ති මෙසේය.
01. අසෝක ස්තම්භය
02. අසෝක රජ විසින් සාදන ලද ධමෙක් ස්තූපය
03. ධර්මරාජික ස්තූපය (එහි මුල් ස්තූපය ක්‍රි.පූ. 3 වැනි සියවසේ දී අසෝක රජු විසින් සාදවන ලදී)
04. සාරානාත් ආරාම සංකීර්ණය මූලගන්ධිකුටි විහාරය (ප්‍රධාන) ගුප්ත රජ යුගයේ දී ක්‍රි.ව. 4 – 6 සියවස්වල දී
සාදවන ලදී.
05. ධම්මචක්ක ජින විහාරය – (කුමාරදේවි විසින් සාදවන ලදී. ක්‍රි.ව. 12 සියවස)
06. මීට අමතරව ක්‍රි.ව. 2 – 4 සියවස්වල කුෂාන රාජ යුගයේ දී සාදවන ලද වෙහෙර විහාර හා නටබුන් ද හමුවී ඇත.
07. අපි මේවා කිහිපයක් පිළිබඳව විස්තර විමසා බලමු.
01. අසෝක රජුගේ ශිලාස්තම්භය
ප්‍රධාන විහාරයට බටහිරින් අසෝක රජතුමා විසින් පිහිටුවන ලද ස්තම්භය පිහිටියේය. බුදුරජාණන්වහන්සේ විසින් පස්වග මහණුන්වහන්සේලා ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා හැටකින් යුක්ත මහා සංඝරත්නය එක් රැස් කළ (එනම් සංඝ ශාසනය ඇති කළ) පුදබිමෙහි මෙම අසෝක ස්තම්භය පිහිටුවන ලදී. මෙහි ශීර්ෂයෙහි පිහිටි (අසෝක කුලුනු හිස) සිංහයින් සතර දෙනෙකු සතර දිශාවට මුහුණත සිටින ආකාරය නිරූපිතය. ධර්මචක්‍රය සහිත වූ පාදමක මෙම සිංහ රූප නෙලා ඇත. අසෝක ශිලාටැඹෙහි මෙම සිරස අද සාරානාත් කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇති අන්දම දැකගත හැකිය.
02. ධර්ම රාජිත ස්තූපය
මෙම ස්තූපය පළමුවෙන්ම නිර්මාණය කරන ලද්දේ අසෝක රජතුමාගේ (ක්‍රි.පූ. 273-232) අනුග්‍රහයෙනි. මෙහි විශ්කම්භය මීටර් 13.49 කි. මෙම ස්තූපය ඊට පසු (ක්‍රි.ව. 2 සියවස) කුශාන රජ කෙනෙකු වූ කනිෂ්ක රජු විසින් ප්‍රතිසංස්කරණය කරවන ලදී.
03. මූලගන්ධකුටි විහාරය – (පැරණි)
ධර්ම රාජික ස්තූපයට උතුරු දෙසින් ඇති පුරාණ මූලගන්ධකුටි විහාරයට අයත් වූ නටබුන් දැක ගත හැකිය. ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දී අසෝක රජතුමා විසින් නැවත මෙම මූලගන්ධකුටි විහාරය ගොඩනංවන ලදී. මෙම විහාරයේ ගල් කණු හා තවත් නටබුන් මෙහි ඇත. එක් පැත්තක් මීටර් 18.29 ක් වූ සමචතුරශ්‍රාකාර ගොඩනැගිල්ලක නටබුන් මෙහි තිබේ. බුදුරජාණන්වහන්සේ පළමුවන වස විසුවේ මෙහිය.
04. දම්සභා මණ්ඩපය
බුදුරජාණන්වහන්සේගේ ධර්ම දේශනා පිළිබඳව සඳහන් කරන අවස්ථාවල දී දම්සභා මණ්ඩපය ද සඳහන් වන පුදබිමකි. මූලගන්ධකුටි විහාරය අසල පිහිටි දම්සභා මණ්ඩපය මෙකල කොන්ක්‍රීට් කණු මත ඉදිකළ වහළයකින් යුක්තව දැකගත හැකිය. එම පියස්ස යට පුරාණ ගඩොල්වලින් සාදන ලද වේදිකාවකි. එය ධර්මාසනයක් සේ සැලකේ. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන යසකුල පුත්‍රයා බුදුරජාණන්වහන්සේට මුණගැසුණේ ද මෙහි දීය. 1956 වර්ෂයට යෙදුණු බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ ශ්‍රී ජවහල්ලාල් නේරුතුමා විසින් මෙම ධර්මාසනය සංරක්ෂණය කිරීම පිණිස වහලක් ඉදිකරවන දී.
සාරානාත් පුදබිමට ගිය පසුව ඔබට ඉතා වැදගත් වූ පුරාවස්තු රැසක්ම (මෙම පුදබිමෙන් හමුවූ) මෙම කෞතුකාගාරයේ දී දැකගත හැකිය. අසෝක ස්තම්භයේ කුලුනු හිස ද මෙම කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇත. ඒ පිළිබඳ අපි මීට ඉහත විස්තර කළෙමු.
සාරානාත්හි පුරාවිද්‍යා කෞතුකාගාරයෙහි ප්‍රධාන ශාලාවේ ඉහතින් සඳහන් කළ අසෝක ස්ථම්භ කුලුනු හිස දක්නට ලැබේ. මෙම බුදු පිළිමය ලොව ඉතා ප්‍රකට බුදුපිළිමයකි. අපේ රටේ මහමෙවුනා උයනේ සමාධි පිළිමය මෙන්ම සාරානාත් හි බුදුපිළිමය ද ඉතා ප්‍රකටය. ධම්මචක්ක පවත්වන සූත්‍රය දේශනා කරන ආකාරයට නිරූපණය කරන මේ බුදුපිළිමය මෙම කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇත.
ඉන්දියාවේ මහා බෝධි සමාගමේ ආරම්භකයා වූ අනගාරික ධර්මපාලතුමා මෙසේ සාරානාත් පුදබිම සංරක්ෂණ කටයුතු සඳහා පදනම දැමුවේ 1891 වර්ෂයේ දී ය. මෙම ප්‍රදේශය ඉහත සඳහන් ලෙසින් මිලදී ගැනීමෙන් පසුව 1922 වර්ෂයේ දී නොවැම්බර් මස සාරානාත් හි නව මූලගන්ධකුටි විහාරය විවෘත කරන අවස්ථාවේ දී අසිරිමත් සිදුවීමක් සිදුවිය. ශ්‍රීමත් ජෝන් මාර්ෂල් මහතා විසින් (1913 – 1914) පංජාබ්හි තක්ෂිලා පුදබිමේ කැණීමක් කිරීමේ දී හමුවූ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා නව මූලගන්ධකුටි විහාරයේ තැන්පත් කිරීම පිණිස ඉන්දියානු රජය විසින් අනගාරික ධර්මපාලතුමාට (මහා බෝධි සමාගමට) පරිත්‍යාග කරන ලදී.
ක්‍රි.ව. 399 සිට ක්‍රි.ව. 414 තෙක් භාරතයේ සංචාරය කළ පාහියන් නම් වූ චීන භික්ෂූන් වහන්සේ සාරානාත් හි තිබුණු ස්තූප හතරක් හා වෙහෙර විහාර දෙකක් ගැන සඳහන් කරති. ඒ විහාරවල භික්ෂූන් වහන්සේලා ද වාසය කළ බව පාහියන් හිමියන්ගේ වාර්තාවල සඳහන් වේ. උන්වහන්සේගේ සංචාරයෙන් පසු කාලයේ දී සුදු හූනාවරුන්ගේ ආක්‍රමණය නිසා සාරානාත් පුදබිම විනාශයට පත් වූයේය. චීන සංචාරක භික්ෂූන් වහන්සේ වන හියුංෂාන් හිමියෝ ක්‍රි.ව. 638 වර්ෂයේ දී සාරානාතයට පැමිණි බව උන්වහන්සේගේ වාර්තාවල සඳහන් කරති. අසෝක රජ ඉදිකළ අසෝක ශිලාස්තම්භය ධමෙක් ස්‍තූපය හා ධර්මරාජික ස්තූපය ද ප්‍රධාන ආරාමය දුටු බව හියුංෂාන් චීන භික්ෂූන් වහන්සේගේ වාර්තාවල සඳහන් වේ. ඊට අමතරව තවත් ස්තූප සහ ආරාම තිබූ බව ඒ වාර්තාවලින් හෙළිවේ.
ඝෂ්නිහි මොහමඩ් සහ ඔහුගේ හමුදාව විසින් 1017 දී මෙම පුදබිම විනාශ කරන ලදී. එසේ වුව ද ඉතා ඉක්මනින්ම මෙහි වූ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කළේ පාල රාජවංශික මහීපාල රජුගේ සොහොයුරන් දෙදෙනෙකු වූ ස්තිරපාල හා වසන්තපාල රජවරුන් විසින් බව 1026 දී වාර්තා වී ඇත. ඔවුන් විසින් ධර්මරාජික ස්තූපය හා ධර්මච ස්තූපය සංරක්‍ෂණය කරන ලදී. ශිලාමය විහාරයක් ද ඒ සමගම ගොඩනගන ලදී.
- සිරිසමන් විජේතුංග