බෝධීන් වහන්සේට පොරෝ පාර තුන ගසද්දී ඉඩම් හිමියා ඇතාට බිලි


ජීවිතය යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.

 

 

සාලියපුර පානියන්කඩවල, රොබට් මුතුනායක මහතා ලියා එවූ කතාවක් මෙසේය.   

වංචනික වෙළෙඳ සේවකයා 

 
මොහු වෙළෙඳ ආයතනයක වෙළෙඳ සේවකයකු සේ කාලයක් සේවය කරමින් සිටි අතර තම දරු පවුල ජීවත් කිරීමට තරම් සෑහෙන වැටුපක් ද මාස් පතා ලැබීය.   


කල්යත්ම වෙළෙඳසල වෙත සේවයට පැමිණීමේ පහසුව පිණිස පාපැදියක් ද මිලදී ගැනිණ. 

 
කාලයක්ම මෙසේ සේවය කරමින් සිටි අතර මොහුගේ සිතට චපල හොර අදහසක් පහළ විය.

   
තම වැටුපට අමතරව යම් මුදලක් උපයා ගැනීමට හැකි නම් යන සිතිවිල්ල තරණය කරමින් සිටි මොහුට කදිම උපායක් පහළ විය. මේ කාලවකවානුවේ ලක්දිව ජනප්‍රිය සබන් සමාගමක් වෙළෙඳසල්වලට සබන් බෙදාහැරියේ හුරු බුහුටි ලෑලි පෙට්ටියක ඇසුරුමිණි.   


මෙම පෙට්ටි මිලදී ගැනීමට බොහෝ අය ප්‍රිය කළහ.   


තම නිවාසවල ඇති අඩුම කුඩුම අසුරා තැබීම හා පාපැදි පසුපස බැඳගෙන වෙළඳාම් කිරීම ආදිය සඳහා මෙය ඉතාමත්ම ප්‍රයෝජන විය.   


සතියකට දෙවරක් පමණ තරුණයකු පැමිණ මුදල් ගෙවා රිසිට් පතක් ගෙන සේවකයකුට දී මෙම පෙට්ටියක් රැගෙන යන අයුරු වෙළෙඳසල් හිමිකරු විමසිලිමත්ව බලා සිටි අතර, මෙසේ සතිපතා පෙට්ටි ගෙන යෑමට හේතුවක් තිබිය යුතු යැයි සැකයක් ඇති විය. දිනක් මෙම තරුණයා පැමිණ ලෑලි පෙට්ටියක් සඳහා මුදල් ගෙවා රිසිට් එක වෙළෙඳ සේවකයාට දී පෙට්ටිය ලබා ගෙන රැගෙන යාමට සූදානම් වෙත්ම මෙතෙක් විමසිලිමත්ව සිටි වෙළෙඳසල් හිමිකරු ඉදිරියට පැමිණ ලෑලි පෙට්ටියගෙන පරීක්ෂා කර බැලීය.   


මේ ඇසිල්ලේ තරුණයා දිව ගිය අතර පෙට්ටිය තුළ වූයේ ජනප්‍රිය සිගරැට් (ත්‍රීරෝස්) බණ්ඩලයකි.   


මෙම සිගරැට් බණ්ඩයේ සිගරැට් දෙසීයක් ඇති අතර එදා පැවති මිල රුපියල් විස්සක් පමණි.   


අවසානයේ වෙළෙඳසල් හිමිකරුගේ දැඩි දෝෂාරෝපණයට ලක් වූ සේවකයාට සියලු වැටුප් ගෙවීමෙන් පසු සේවයෙන් නෙරපා හරින ලදී.   


කල්යත්ම කළ වරදට වන්දි ගෙවමින් සිය දරු පවුල ජීවත් කිරීම සඳහා කුලී වැඩ කරමින් කාලය ගෙවූ මොහු අවසානයේ නිවෙසේ අඩු පාඩු පිරිමසා ගැනීමට තම පා පැදියද විකුණා දමන ලදී. කල්යත්ම දිනෙන් දින පවුලේ ප්‍රශ්න අඹු සැමි වාද විවාද දක්වාම දුර දිග යෑමට වැඩි දිනක් නොගියේය.   


වෙළෙඳසල තුළ මෙන් නොව දැඩි අව් රශ්මිය මැද දහඩිය මුගුරු වගුරුවමින් කරන්නා වූ දෛනික කම්කරු කුලී වැඩ පීඩාකාරී බවක් ගෙන දෙන්නට විය. ​​

  
​ෙම් අතර ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් සේ අද සමාජය සොයායන මත් පැන මොහුගේ ජීවිතයට ද ළඟා විය.   
මේ වන විට ඔහු අවසන් තීරණයකට එළැඹී සිටියේය. යහපත් ස්වාමියකු යටතේ සේවය කරමින් සිටි තම ස්වාමියාට හා සේවා ස්ථානයට කළ වංචනික ක්‍රියාවලියට වන්දි ගෙවමින් කෘමිනාශක පානය කරමින් ජීවිතය නිමා කර ගත්තේය.  

 

 


 


අලව්වේ රාගල ජී.එම්. සේනාරත්න මහතා ලියා එවූ කතාවක් මෙසේය.

බෝධීන් වහන්සේට පොරෝ පාර තුන ගසද්දී ඉඩම් හිමියා ඇතාට බිලි   

 

 

ශාන්තිනායක ති​ලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලොව පහළ වන්නේ ඉතා කලාතුරකිනි. ඒ බව වීදාගම මෛත්‍රී හිමියන් කලෙකිනි බුදු කෙනෙකුන් උපදින්නේ යනුවෙන් ලියා තැබුවේ අප උදෙසාය. මේ ගත වන ගෞතම බුද්ධ රාජ්‍ය තුළ පිං රැස් කර ගත යුතු කාලය එළඹී ඇති බව සිහි කරමිනි. කල්ප කෝටි ප්‍රකෝටි ගණන් කාලයක් පාරමී දම් පුරා උතුම් බුද්ධත්වයට පත් වූයේ උන්වහන්සේලාගේ සිත් සතන් ඒකාග්‍ර තාවයට සරිලන සිසිල් සෙවණ සෑදූ බෝධි මූලයන් හිය. බෞද්ධයාගේ මුදුන් මල්කඩක් වූ බෝධීන් වහන්සේ අති ගෞරවණීය පූජනීය වස්තුවකි. අප ගෞතම බුදුන් වහන්සේ බුද්ධත්වය ලැබුවේ ඇසතු බෝධි මූලයෙහිය.   


එක්තරා නගරයක් ආසන්නයේ ගම් වැසියෙකුගේ ඉඩමකට අයත් බෝධීන් වහන්සේ නමක් වැඩසිටියේය. අතු පතර දසත විහිදී ගිය පත්‍ර කොළ පැහැයෙන් දළු රන් වන් පැහැයෙන් බැබළුණ විශාල බෝධියකි. මෙය විහාරස්ථානයක පිහිටි බෝධියක් නොවූ හෙයින් කිසිවෙක් ගරු සත්කාර පුද පූජා නොකළහ. එහෙත් මෙයට පුද සත්කාර කිරීමට තරම් සිත් දෙන පෙනුමක් හා ආකර්ෂණීය ස්වභාවයක් පෙනෙන්නට තිබුණි.   


​ෙබා්ධීන් වහන්සේ පිහිටි ඉඩමේ අයිතිකරු මෙය කපා ඉවත් කිරීමට කලක සිට සිතමින් සිටියේය. විහාරස්ථානවල මෙන්ම මෙවැනි බෝධීන් වහන්සේලා මහා බල සම්පන්න සම්‍යයක් දෘෂ්ඨික දෙවි දේවතාවුන් වහන්සේලාගේ බැල්ම ආරක්ෂාව ලැබෙන නිසා දෝ මේ බෝධිය කපා ඉවත් කිරීමේ අදහස ක්‍රියාත්මක නොවී පැවතියේය.  


බෝධීන් වහන්සේ නමක් කපාදැමීම ආගමානුකූල පාපයක් වනු අැත. අපවත් වූ බෝධි ශාඛාවක් පවා කපා ඉවත් කරන්නේ පිරිස් සජ්ඣායනා මධ්‍යයේ ගෞරවාන්විතවය.   


ඉඩමේ අයිතිකරු හදිසියේ තීරණයක් ගත්තේ බෝධීන් වහන්සේ කපා දැමීමටය. ගස් කපන්නන් සෙවීය. ගස් කපන්නෝ සිටියත් මෙයට එකඟ නොවූහ. මෙසේ කාලය ගෙවී යද්දී එක් ගස් කපන්නෙක් කැමති වී පැමිණ බෝධිය කැපීමට සූදානම් විය.   


එකල් ගස් කැපීමේ යන්ත්‍ර නොතිබුණි. ගස් ඇදගෙන යාමට හෝ පැටවීමට යන්ත්‍ර නොතිබුණි. කපන කපන අතු ඉවතට ගෙන යාමට අලියෙකු අවශ්‍ය විය. ඒ පළාතේ සිටි ඇතෙකු ගෙන්වා ගත්තේය.

​  
​ෙබා්ධීන් වහන්සේ ළඟ ඉඩම අයිතිකරු, ගස් කපන්නා, ඇතා හා ඇත් ගොව්වාත් සිටියහ. අසල්වාසීහු බලා සිටියහ.   
ඔය බෝධීන් වහන්සේ පරම්පරා ගණනක් පැරණි එකක් යැයිද, කපා දැමීම ලෙහෙසි පහසු දෙයක් නොවේ යැයි ද වයස් ගත සීයලා කියනු ඇතැමුන්ට ඇසී ඇත.   


මුලින්ම ඉඩමේ අයිතිකරු ගස කැපීමේ වැඩය අල්ලා දීමට මුවහත් පොරොව ගෙන වීරිය යොදා පළමු වැනි පොරෝ පහර ගැසීය. දෙවැනි පොරෝ පහර ද බෝධීන් වහන්සේගේ කඳ හරහා ගැසීය. පොත්තක්වත් ගියේ නැත. තෙවැනි පොරෝ පහර ගැසුවා පමණි. වැඩේ කරන්නට ගස් කපන්නාට පොරොව දීමට පෙර ඇතා හොඬය උස්සා ඉඩම් හිමියා හොඬයට ගෙන බිම දමා එතනම පාගා දැමීය. ඉන් පසු අසල්වාසීන් බලා සිටියදී ඇතා තෙවරක් බෝධීන් වහන්සේ පැදකුණු කොට නමස්කාර ක​ෙළ් යැයි ඇසූ දුටු වැඩිහිටියෝ කියති. ගම්මු එවක් පටන් මේ බෝධීන් වහන්සේට පුද පූජා හා බෝධි පූජා පවත්වා පිහිට ලබති.   


දැනට දශක හත අටකටත් පෙර පූජනීය වස්තුවක් වූ බෝධීන් වහන්සේ නමක් හිතුමතයට කපා දැමීමට ක්‍රියා කළ පාපය මොහුට මේ ජීවිතයේදීම පළ දුන්නේ යැයි දැනටත් ඇසේ. 

 

 


 
 

නිකඳළුපොත කරුණාදාස සපුතන්ත්‍රී මහතා ලියා එවූ කතාවක් මෙසේය. 

  
පික් පොකට් ගැසීමේ විපාක   


එක්තරා පිටිසර ගමක සිටි රස්තියාදු ජීවිතයට පුරුදු වූ ආතර් පික් පොකට් ගැසීමට පුරුදු විය. මහන්සි වී වැඩ කිරීමට කම්මැලියෙකු වූ ඔහු අනිසි මාර්ගවලින් මුදල් උපයා ගති. ඒ මුදල්වලින් දුම් බීම, මත් වතුර පානය කිරීම සහ සල්ලාලකම තුළින් සතුටු විය.   


මේ නොහොබිනාකම් නිසා ඔහුට විවාහයක් කර ගැනීමට ද නොහැකි විය. ගෙදරින් පිටවී තැන් තැන්වල වාසය කිරීම නිසා ගෙදරට ද බරක් නොවීය. බස් රිය, දුම්රිය නැවතුම්පොළවලදීත් මෙන්ම මහජනතාව නිතර ගැව‌සෙන තැන්වල දී ද මොහුගේ රැකියාව සිදු කෙරිණි. මේ ගැට කැපීම ඇල්ලීමට පොලිසියට පහසු නොවූවත් මුදල් අයිතිකරුවන්ගේ අතටම අසුවූ අවස්ථා ද විය. එවිට බඩ පුරා ගුටි කෑමට සිදු වුණත් වැඩේ අතහැරියේ නැත. කීප වරක්ම සිරබත් කෑමට ඔහුට සිදු වූ අතර එයින් නිදහස්ව ආවත් පුරුදු රැකියාව දිගමට කරගෙන ගියේය.   


මුදල් පමණක් නොව කාන්තාවන්ගේ ගෙල බැඳි චේන් කැඩීමට ද ඔහු රුසියෙකි. දුම්රිය මගීන්ගේ මුදල් පැහැර ගන්නා අතර දුවන දුම්රියෙන් පනින්නේ සර්කස් කාරයෙකු මෙනි. එක් දිනක් දුම්රියේ ගමන් කරන කාන්තාවකගේ ගෙල බැඳි දිලිසෙන චේන් එකක් දුටු ඔහු එයට තණ්හාව ඇති කර ගත්තේය. තෙරපෙන සෙනඟ අතරින් එතනට රිංගා ඉතා සූක්ෂ්ම ලෙස චේන් එක් කඩා ගත් අතර ඒ කාන්තාවට එය දැනුණි.

   
අයියෝ මගේ මාලෙ කඩා ගත්​ෙත් යැයි කියමින් ඇය බෙරිහන් දෙන්නට විය. අනෙක් මගීහුද කලබල වූහ. ඔහු අල්ලා ගැනීමට තැත් කළත් කිසිවකුට අසුනොවී දුම්රියෙන් පිටතට පැන්නේ වෙනදා තාලයටය. එහෙත් ඉලක්කය වැරදුණි. ඔහු වැටුනේ සිල්පර කඳන් ගොඩක් මතටයි.  


මේ කලබලය නිසා දුම්රිය නතර කර ගන්නට ද හැකි විය. මගීන් බෙහෝ දෙනෙක් එතැනට යන විට කකුල් දෙකම කැඩී ලේ ගලමින් කෑ ගසන ආතර් දැක ගන්නට හැකි විය. බරපතළ තුවාල ලැබූ මොහු ළඟම තිබෙන දුම්රිය පොළට ගෙන ගොස් එතනින් රෝහල් ගත කොට ප්‍රතිකාර ලබා දුන්නත් එක් පාදයක් කපා දැමීමට සිදු විය.   


ඉන් පසු රෝහලෙන් පිට වී ජීවත් වූයේ අත් වාරු දෙකක් මතය. ගැට කපන අයට මෙය හොඳ පාඩමක් බව මේ පුවතින් පැහැදිලි වේ.   

 

 

 

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

 

 

 

 

 

 

සකස් කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්