ජීවිතය යහ මගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් ඇවැසිය, මේ විශේෂාංගය ඒ වෙනුවෙනි
මහනුවර ජේ.ඒ.එල්. ජයසිංහ මහතා ලියා එවූ කතාවක් මෙසේය.
භීෂණ සමයේ තරුණයන් අල්ලා දුන් “බිල්ලා”ට අත් වූ ඉරණම
1989 භීෂණය ඉතා ප්‍රබලව පැවති වකවානුවකි. එවකට පැවති විප්ලවකාරී සංවිධානයකට ආධාර අනුබල දුන් සහය දැක්වූ තරුණ කොටස් සොයමින් ඔවුන් අල්ලා ගනිමින් ඔවුන් අමානුෂික ලෙස වෙඩි තබා පුළුස්සා ස්ත්‍රික්ක (රෙදි මදින උපකරණය) වලින් සිරුර පුළුස්සා මරා දමන යුගයක් විය.
මෙම අමානුෂික මිනිස් ඝාතන සිදුවූ වකවානුව තුළ ඒවාට උදව් කරමින් අහිංසක තරුණයන් නිල හා නිල නොවන ඝාතක කණ්ඩායම්වලට හසුකර දෙමින් ඔත්තු දුන් බිල්ලෝ එදා රට පුරා සිටියහ.
එවන් බිල්ලෝ මුහුණ මුළුමනින්ම ගෝනියක් හෝ රෙදිවලින් ආවරණය කර ගනිමින් අහිංසක තරුණ පිරිස් ඝාතක කණ්ඩායම්වලට හසුකර දෙන්නට මූලික වූහ. ඔහු සිදු කළේ ආරක්ෂක අංශ වෙත ඔත්තු සැපයීමය. තරුණ පිරිස් අල්ලා දීමට ඔහු මූලික විය. ඔහුගේ එම මහා පාපතර ක්‍රියාව බොහෝ දෙනකු දැන සිටි අතර ඔහු පොලිස් ඔත්තුකරුවකු ලෙස ද ප්‍රකට විය. ඔහු නිසා ඔහුගේ බිල්ලා රඟපෑම නිසා තරුණයන් රැසකට අත්වූයේ ශෝකාකූල මෙන්ම භයානක මරණයන්ය.
කාලය කෙමෙන් ගෙවී ගියේය. භීෂණය නිමාවිය බොහෝ දෙනකුට 1989 භීෂණය අමතක විය. ඒ යටතේ අහිංසක තරුණයන් ඝාතනය කළ එම ඝාතනයන්ට සහාය දැක්වූ බොහෝ දෙනකුට දිට්ටධම්ම වේදනීය කර්මය අනුව කළ කම් පළ දුන්නේ ඔවුන් ජීවත්ව සිටියදීමය.
බිල්ලා චරිතය රඟපෑ පුද්ගලයා හැඩිදැඩි අයෙකු විය. කාලයක් ඇවෑමෙන් ඔහුගේ තරුණ දිවියේම ඔහුට සිරුර අභ්‍යන්තරයේ නිධන්ගත රෝග රැසක් වැළඳුනි. ඔහුගේ සිරුර අභ්‍යන්තරයේ අවයව නරක්වීම ඔහු ජීවත්ව සිටියදීම සිදුවිය. ඔහු කළ පාප කර්මය ඔහුට පල දෙන්නට වැඩිකල් ගත නොවීය. ලෙඩ රෝගයන් ඔහුගේ සිරුර වෙලා ගත්තේය. වරින් වර රෝහල්ගත වුවද ප්‍රතිකාර කළ ද ඒවාට සුවයක් නොලැබිණි.
තමා පාවා දී මරණයට ලක්කළ තරුණයන්ගේ මුහුණු ඔහුට රාත්‍රියේ නින්දෙන් පවා පෙනෙන්නට විය. අවසානයේ ඔහුගේ වකුගඩු දෙකම නරක් විය. සිරුරේ වෙනත් අවයව ද අකර්මණ්‍ය විය.
මරණය සෙමින් සෙමින් ඔහු කරා ළඟා විය. පින්දහම් කොතරම් කළ ද ඔහු කළ පාපය ඔහු වෙත ළඟා වූයේ බොහෝ විට ඔහු කළ කර්මයන් පලදීමක් ලෙසිනි. සිරුරේ අවයව අකර්මණ්‍ය වී අවසානයේ සිරුර අභ්‍යන්තරයේම එම අවයව කුණුවී සද්ධන්තව සිටි මේ පුද්ගලයා ඉතා කෙටි කලකින් මරු වසඟයට ගියේය.
ඔහු ගැන තතු දන්නා බොහෝ දෙනා පැවසුවේ ඔහු තරුණ තරුණියන් රැසක් අමු අමුවේ ඝාතනය කිරීමට මූලික වූ කල්ලිවලට ඔත්තු දුන් බිල්ලා චරිතය රඟපෑ අයෙකු බවයි.
බොහෝ කලක් ජීවත්ව සිටින්නට අවකාශ තිබුණ ද ඔහු ශරීරයේ නිධන්ගත රෝග රැසකින් පීඩා විඳ වයස අවුරුදු 45ක් වැනි කාලයක් තුළ දී ජීවිතයෙන් සමු ගත්තේය. අදත් ඔහු කළ පාප කර්මයන් ඔහුගේ තොරතුරු දන්නා බොහෝ දෙනෙක් සිහිපත් කරන්නේ අහවලා භීෂණ සමයේ අහිංසක තරුණ තරුණියන් ආරක්ෂක අංශවලට අල්ලා දෙන්නට ඔත්තු සැපයූ අයෙකු යනුවෙනි.
යමෙකු කෙනෙකුගේ ජීවිතය නසන්නට ආධාර අනුබල දෙන්නේ ද යමෙකුට හානියක් කරන්නේ ද ඔහුට එම පාපකර්මයන්හි විපාක නිශ්චිතව පළ දෙන බුදුවදන අනුව එය එලෙසම ඔහුට ද අත්විඳින්නට සිදුවිය.
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත මහතා ලියා එවූ කතාවකි.
දොරට ගෙල තබා කුකුළන් මැරූ මස් වැද්දා
ගෙල දොරට තබා තදකර කිකිළියන් මැරූ අයෙකුගේ ගෙලට ද ගහක අත්තක් හදිසියේම කඩා වැටී ඔහු මියගිය කළකම් පළදීමේ මේ පුවත අපට අසන්නට ලැබුණේ ද දකුණේ කොණේ ගමකිනි. ඔහු ජීවත් වූයේ බිත්තර හා කුකුළු මස් අලෙවියෙනි. ඒ සඳහා ඔහුගේ ගෙවත්තේ ලොකු කූඩු දෙකක් තිබුණේය. එකක බිත්තර දමන කිකිළියන්ය. අනෙකේ බිත්තර දමා ඉවරව සිටින නාකි කිකිළියන්ය. මේ නාකි කිකිළියන් ඔහු තබා ගත්තේ මස් සඳහා අලෙවි කිරීමටය. කරි කුකුළු මස් සඳහාය.
සිය කුකුළු ගොවිපොළේ ඉතා ඉහළ ආදායමක් තිබුණත් ඔහු මෙහි වැඩ සඳහා කම්කරුවකුවත් යොදවා නොගත්තේ වෙෙළඳාමේ ලාභය තව තවත් වැඩිකර ගැනීමටය. ඒ නිසා කුකුළු ගොවිපොළේ සියලු කාර්යයන් කිරීමට සිදුවූයේ ඔහුටය.
බිත්තර දමා ඉවර වූ කරි කුකුළන් මැරීම ද මේ නිසාම සිදුවූයේ ඔහු අතින්ය. ඔහු ඒ සඳහා අපූරු උපක්‍රමයක් භාවිතා කළේය. ඒ පාරිභෝගිකයා තමාට පෙන්වන කිකිළිය අල්ලාගෙන කුකුළු කූඩුවේ දොරට උගේ ගෙල සිරකර මැරීමය. ඔහු අතින් දොරට ගෙල සිර කෙරෙන කිකිළිය මරහඬ දෙන්නේ ඒ පළාතම දෙවනත් කරමින්ය. කිකිළියගේ මර හඬ වැඩිවෙත්ම ඔහු කුකුළු කූඩුවේ දොර තව තවත් තද කරනුයේ කිකිළියගේ ප්‍රාණය නිරුද්ධ ෙවන තෙක්ය. ගෙල හොඳින් සිරවී ප්‍රාණය නිරුද්ධ ෙවන කිකිළියගේ ගෙලින් පහළ කොටස සර සර ගා ගැහෙමින් තිබෙනා විට දී ඔහු ඇයගේ පිහාටු ගලවා ශුද්ධ පවිත්‍රකොට බර කිරා බරට අනුව මිලක් ද නියම කර සිය පාරිභෝගිකයාට දෙන්නේ පාරිභෝගිකයා දෙන රුපියල් නෝට්ටු ගණන දිහා බල බලා ඊට කෙළ හළමින්ය.
කාලය කෙමෙන් කෙමෙන් ගෙවී තිබුණි. දිනක් ඔහු කුකුළු කූඩු අවට එළිමහනේ සිටියේ ඒ අවට ශුද්ධ පවිත්‍ර කිරීමටය. ගත වූයේ ටික වේලාවකි. එක් කුකුළු කූඩුවක් ළඟ තිබූ යෝධ කොස් ගහේ අත්තක් ඉබේම බිමට කඩා පාත්වූයේ සුළඟක් නොමැතිවමය. ඉබේටමය. කුකුළු කූඩුව අවට තණ කොළ ගලවමින් සිටි ඔහුගේ ගෙලට මේ කොස් අත්ත පතබෑවුණේ මහ හෙණයක් පාත් වුනාක් මෙන්ය. ‘අනේ’ යයි මර හඬ ඔහුගේ කටින් පිටවුණේ එක් වරකි. ඒ සමගම එතනට සිය අඹුදරුවන් එන විටත් කොස් අත්ත පත බෑවී ඔහුගේ ගෙල කැඩී ඔහුගේ ගෙලෙන් පහළ කොටස ගැහෙමින් තිබුණේ ඔහු දොරට ගෙල තද කර මරණ කිකිළියන්ගේ මරණයේ අවසාන ජවනිකාව ෙවන ගෙලෙන් පහළ කොටස සර සර ගා ගැහෙමින් තිබෙන ආකාරටය. තම ආදරවන්තයා රෝහලකට ගෙන යාමට තරම්වත් අවැසි කාලයක් නිවැසියන්ට නොතබාම ඔහු මෙලොවින් සමුගෙන තිබුණේ ඔහු ගැන දන්නා අයට කළ කළකම් පලදෙන හැටි පසක් කරමින්ය.
පැල්මඩුල්ල බැට්ටේගොඩ ගුණවතී මහත්මිය ලියා එවූ කතාවකි.
අමු අමුවේ මසුන්ගේ බොටුව කඩා මසුන් මැරූ ජගත්ගේ ඉරණම
ඔහු ජගත් යැයි හැමෝම හඳුන්වයි. ඔහුගේ පියාට කියන්නේ මාළු පියසේන කියාය. මාළු පියසේනගේ පියා මාළු උඤ්ඤාය. මාළු පියසේනගේ දරුවනුත් කුඩාකල සිටම කළේ ඇළේ දොළේ සිටින මසුන් අල්ලා මරා විකිණීමයි.
මාළු පියසේනට සිටි ළමයින්ගේ දෙවනියා වු ජගත් තාත්තාගේ රස්සාවට හරි හරියට හපන්කම් පෑ තරුණ කොලු ගැටයෙකි. මොහු බිලීපිති කර ගහගෙන උජාරුවට පාරේ ගමන් කරන අතර පණපිටින් දඟලන මාලු වැල් එල්ලාගෙන තැන තැන ගොස් විකුණා ජීවිකාව සරිකර ගත්හ.
පියසේනත් ජගතුත් ඇළ වේලි හිස්කර අල්ලා ගන්නා මසුන් මෙන්ම ගඟ දිගේ බිලී බා ගන්නා ලොකු මාළුන්ගේ ද බොටුව කඩා වැල්වලට අමුණා රැගෙන යති. ගොඩට දා ගන්නා මසුන්ගේ බොටුව එක පාරටම කඩා මරා දැමීමට ජගත් හරි හපනෙකි.
තාත්තා නොමැති අවස්ථාවල පියාගේ රැකියාව කරට ගත් ජගත් ගඟේ මාළු බෑම කරගෙන ගියේය. මොහු දිනක් තම අක්කාගේ පුතා ද සමග මාලු ඇල්ලීමට ගඟට ගියේ තාත්තාටත් නොකියා හොර රහසේය. ගඟ අයිනේ මාළු බෑමට ඇවිද ගිය මොවුන්ට එකනෙහිම උෟරන්ට ඇටවූ විදුලි රැහැන් පෑගී පැටලී ඇත. ඒ අවස්ථාවේ මොවුන්ට විදුලිය සැර වැදීමෙන් ඇදවැටීම සහ ඒ මේ අත දඟලන්නට යාමෙන් මොවුන් දෙදෙනා මරණයට පත්වී ඇත.
දින දෙක තුනකට පසු මොවුන්ගේ මෘත ශරීර හමුවී ඇති අතර, කුණුවී යාම සහ මූණකට බෙල්ල ප්‍රදේශය කබරයින් විසින් කා දමා තිබුණි. එනිසා හඳුනාගත නොහැකි විකෘති තත්ත්වයට පත්වී ඇත.
පසුව මොවුන්ගේ මෘත ශරීර රෝහලට ගෙන ගොස් ඇති අතර ඥාතීන්ට භාරදී ඇත. අධික කුණු ගඳ හා මෘත ශරීර නරක්වීම නිසා පෙට්ටි පවා සීල් තබා පැය කිහිපයකින් භූමදාන කටයුතු කර ඇති බව වාර්තාවේ.
මෙම සිද්ධිය කරන ලද අකුසල් මේ ආත්ම භවයේදීම පඩිසන් දෙන බවට හොඳම නිදසුනකි.
මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.
සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්