මගේ වගේම අනුන්ගේ අත්දැකීම් ගැන ලියන්නත් මට පුළුවන්



තනූජා ලු‍ම්බිණිගේ පළමු කාව්‍ය සංග්‍රහය, ‘තෙත සුළං අහුරක්’ නමින් ප්‍රකාශයට පත්වන්නේ- 2016 වසරේ දී ය. ඇයගේ දෙවන කාව්‍ය සංග්‍රහය ඉන් වසරකට පසුව ප්‍රකාශයට පත්වන්නේ, 2017 වසරේ දී ය. ඇයගේ නවතම කාව්‍ය සංග්‍රහය මේ වසරේ සැප්තැම්බර් මාසයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය. 

ගුවන්විදුලි, ටෙලිනාට්‍ය තිර පිටපත් රචිකාවියක ලෙස ද තනූජා ලු‍ම්බිණි සිය නිර්මාණ කාර්යය සිදු කරමින් සිටියි. ඇය සමග කරන ලද කතාබහ, මෙම ලිපිය මගින් ඔබ වෙත ගෙන එන්නෙමු. 

 ‘තෙත සුළං අහුරක්’ සහ ‘දුඹුරු කොළ මොනරු ලිස්සන පපුව මැද’ කවි පොත් දෙක සංසදනාත්මකව බැලීමේ දී ඔබට ඔබේ කවිය පිළිබඳව තියෙන ස්වයං විවේචන මොනව ද?

තෙත සුළං අහුරක් කියන්නෙ මගෙ පළවෙනිම කවි පොත. කොළඹ රැකියාවට ආවට පස්සෙ මගේ රැකියාවෙ තිබුණ අධික වෙහෙස හින්ද තමා මම කවි ලියන්න පෙලඹුණේ. ඒවා එදිනෙදා ජීවිතේ මට අහුවෙච්ච තැන්මයි. ගොඩක්ම ප්‍රේමය තමා වස්තු විෂය වුණේ. අර කම්මැළිකමට ලිව්ව, ලියවුණ වගේ කවි. දුඹුරු කොළ මොනරු ලිස්සන පපුව මැද ලියවුණේ ඊළඟ අවුරුද්දේ වුණාට, තෙත සුළං අහුරක් පොතෙන් පස්සෙ මගෙ කියවීමේ ලිවීමේ සහ සිතීමේ වේගය වැඩි වුණා. එතකොට තෙත සුළං අහුරක් එකේ කවිවලට වඩා දැනෙන හොඳ කවි ටිකක් මගෙන් ලියවුණා කියලා මම හිතනවා. 

හැබැයි ඒ හැම  කවියකම මම වින්ද මගේ මොනවම හරි දේකුත් තියෙනවා. කොහොම වෙතත් ආයෙ කියවද්දි මේක මෙහෙම නෙවෙයි, මෙහෙම ලියන්න තිබුණා, කියලා මට හිතෙනව. ඒක තව අවුරුදු ගානක් ගිහින්, මම තව ටිකක් පරිණත වෙලා බලනකොට ඊටත් වඩා ලොකුවට දැනෙයි කියලා මම හිතනවා.

 ‘දුඹුරු කොළ මොනරු ලිස්සන පපුව මැද’ කවි පොත සඳහා කවි තෝරාගැනීමේ දී ඔබ අවධානය යොමු කළ අංශ මොනව ද?

මෙන්න මේ වගේ එකක් ලියන්න ඕනෙ,  මේ අංශයෙන් ලියන්න ඕනෙ, කියලා කවදාවත් මම විශේෂයෙන් හිතල  ලියල නෑ. ඒකෙ තියෙන කවිත් වසරක් ඇතුළත මට ලියවුණ කවි. මම කිව්වනෙ මොනවමහරි මට අහන්න දකින ලැබුණ දෙයක් කවියට වස්තු විෂය වෙනවා කියලා. එහෙම දැනෙන එක තමා මම ලිව්වෙ.

 ‘තෙත සුළං අහුරක්’ කවි පොතේ දී ඔබ කාන්තා චරිත අළලා ලියූ කවි ජනප්‍රියත්වයට පත් වුණා. විශේෂයෙන්ම මහත ගැහැණු ළමයෙක් ගැන ලිව්ව කවිය. ඔබේ කවිය තුළ යම් කිසි ස්ත්‍රීවාදී බවක් නිරූපණය කරන්න උත්සාහ කරනව ද?

එහෙම දෙයක් නම් ඇත්තටම නෑ. හැබැයි මට ඒක ගොඩක් දෙනා කියලා තියෙනවා. මම කාන්තාවක් විදියට ජීවිතයේ සෑහෙන පුද්ගලික  අත්දැකීම්වලට මුහුණ දීලා තියෙනවා. ඒ කියන්නෙ මම ගොඩක් මහත ගෑනු ළමයෙක් වෙලා ඉඳලත් තියෙනවා. අපෝ බතලයිනෙ ඒකි. කවුද බං ඒකි එක්ක යාළු‍ වෙන්නෙ, වගේ දේවල් මට අහන්න ලැබිලත් තියෙනවා. ඉතිං මහත කෙල්ලෙක්ට ආදරේ කරන්න බැරි ද? ආදරේ අකැපද? එහෙම වෙන්න බෑනෙ. එතකොට ඒ ඔස්සේ තමා මට ඔය කවිය ලියවෙන්නේ. අනික ස්ත්‍රිවාදය කියන්නෙ පුළුල් විෂයක්. මගෙ කවි ස්ත්‍රිවාදි වෙන්න නම් මම ස්ත්‍රිවාදය ගැන ඉගෙන ගෙන, හදාරල තියෙන්න ඕනනෙ. මම එහෙම හදාරල නෑ. මගෙ කවි ස්ත්‍රීවාදී කවි කියනවට වඩා මම කැමති, මගෙ කවි මානුෂීය කවි කියලා කියන්න

බතලියන්ටත් ආදරේ දැනෙනවා
ආදරේ කරනවා
ආදරේ කරන අය ඉන්නවා
බතල කෙල්ලගේ ප්‍රේමය
සිහින් ඉඟසුඟක් 
ඔය කියන තරම්ම හැඩද
මිටින් ගන්නට තරම් හැකි
ඉඟක් කොතරම් කැතද
මිතුරු රොද බඳින තැන
සිනා සරදම් අංශු පිපිරෙන
ඔය කියන තරමටම බතල කෙල්ලෙක්ද මම
කෙට්ටු කොල්ලෙක්ගෙ ඇස් 
අහක බලන

උකු දුඹුරු හිමකිරම ඔක්කොම 
බැදපු අලපෙති පැණිබීම ලොසින්ජර 
ආදරෙත් එක්කම කවනවා
මගෙ පංගුවත් එක්කම 

ඇඟ තරමටම හදවතත් ලොකු
ඒ තරමටම ආදරෙත් ලොකු
ඔය කියන තරමටම බතල කෙල්ලෙක් ද මම 
ආදරේ ඉතිරෙන
 කෙට්ටු කොල්ලෙක් හොයන

තුරල් නොවනා 
හීන් පොද වැස්සක
තුරුල් වී කෙසඟ ප්‍රේමයට
පුංචිම පුංචි කුඩයක
යන්න බැරි බව ඇත්තය
ඒ උනත්
ආදරෙයි ඇඟේ හැටියටම මම

ඔය කියන තරමටම බතල කෙල්ලෙක් නොවෙමි මම
ආදරේ ඉතිරෙන
කෙට්ටු කොල්ලෙක් හොයන


 ලැබෙන හැම අත්දැකීමක්ම කාව්‍යමය අත්දැකීමක් කරගන්න පුළුවන් ද?

ඔව්. මගෙ කවි හැම එකකම වගේ ඒක තියෙනවා. තමන්ගෙ අත්දැකීම වගේම අනුන්ගේ අත්දැකීම් ගැනත් මට ලියන්න පුළුවන්. 

 කවිය තුළ සමාජ කියවීමට ද ඔබේ මූලිකත්වය, නැත්නම් පුද්ගල චරිත නිරූපණයට ද?

පුද්ගලික අත්දැකීමක් පොදු අත්දැකීමක් බවට පත් කරන කවි මම ලියනවා. සමහර වෙලාවට සමාජ කියවීමකුත් වෙන තැන් තියෙනවා. පුද්ගල  චරිත නිරූපණයට වඩා සමාජ කියවීමකට තුඩු දෙන කවි ලියන්න 
මම පෞද්ගලිකව කැමතියි සහ උත්සාහ කරනවා.


  • නවෝද්‍යා ජයවික්‍රම