නිවසක බැඳීම් සියල්ල පවතින්නේ අම්මා කේන්ද්‍ර කරගෙනය. ඇය නැති වූ කල ඒ බැඳීම් ලිහිල් වෙමින් යන බැව් දිනේෂි අත්දකිමින් උන්නාය. තාත්තා එහෙම පිටින්ම වෙනස් වූයේය. දැන් ලොකු මල්ලීත් වෙනස් වෙමින් සිටින්නේය. ඉදිරියට තවත් මොන මොන දේවල් සිදු වෙන්නට තිබේදැයි ඇය දැන සිටියේ නැත. ලොකු මල්ලී විසින් ඔහුටම ගසා ගන්නා ලද කෝටු පහර තමාට වැදුණ කලෙක මෙන් ගෙදරට එන තුරුම ඇය ඉකිබිඳ හැඬුවාය. පොඩි උන් දෙන්නා සිටියේත් කරකවා අත හැරි කලෙක මෙන් අන්දමන්ද වීගෙනය. ලොකු මල්ලී ඔවුන් පසු කර ඉක්මන් ගමනින් යන්නට ගියේය.
“මොකද ලොකු දුවේ මේ කඳුළු පෙරාගෙන..? ලොකු එකත් ආව හැටියෙ පොත් බෑග් එක විසි කරලා දාලා යන්න ගියා.. යන්නෙ කොහෙද ඇහැව්වට කිව්වෙත් නෑ..”
නිවසට පැමිණ සිටි හීන් නෝනා විමසිල්ලෙන් දිනේෂි දෙස බලමින් කියාගෙන ගියාය. ඇගේ කඳුළු අලුත් වූයේය. පුටුවක් මත තිබූ ලොකු මල්ලී ගේ පොත් බෑගය මතම සිය බෑගයත් තැබූ ඇය සුසුමක් හෙළා ආච්චිට තුරුලු වූවාය. හිටිහැටියේම වැඩිහිටියෙකුගේ මනසින් ලෝකය දෙස බලන්නට සිදු වූයේ වී නමුදු ඇය තුළ සිටින සුරතල් කෙල්ල පලා යන්නට කැමති වූයේ නැත. තාත්තාට, ආච්චිට, නැන්දාට හුරතල් වෙන්නට, කෑ ගසා උඩපැන නටන්නට, තාලය වරද්දමින් උස් හඬින් ගීතයක් ගායනා කරන්නට තවමත් ඇයට වුවමනාය. එහෙත් දැන් තමා අම්මා අහිමි කෙල්ලක බවත්, අම්මාගේ භූමිකාව රඟ පෑ යුත්තේ තමා බවත් සිත ඇයට සිහිපත් කර දුන්නේය.
“අම්මෝ මේ.. දාඩියත් දාලා හොඳටම.. පොඩි උන් දෙන්නටත් මහන්සි ඇති.. ගිහින් මූණ කට හෝදාගෙන කාලා හිටපල්ලකො.. ආං මම බත් අරන් ආවා.. කිරි පැණිත් තියෙනවා..”
හීන් නෝනා ඇගේ හිස පිරිමදිමින් කීවේ යම් බරපතළ සිද්ධියක ඉව සිතට දැනෙද්දීය. සසංක හා අනුෂි වහා ගෙතුළට දිව ගියේ කිරි පැණි කෑමේ ආශාව ඇතිවය. ආච්චි විසින් ගෙදරම මුදවනු ලබන කිරි හා කිතුල් පැණි කෑමට ඔවුහු බොහෝ ප්‍රිය කළහ. හරක් බැලීමට හා කිරි වෙළෙඳාමේ යාමට එන පේමසිරි වත්තේ කිතුලක් ද මැද්දේය. ආච්චි පැණි උණු කළේ ඒ තෙලිජ්ජවලිනි. එහෙත් දැවී පිළිස්සෙන්නාක් බඳු හැඟීමකින් පීඩා විඳිමින් සිටි දිනේෂිට නම් කෑම රුචියක් දැනුණේම නැත.
“ඇයි පුතේ..? මොකද්ද සිද්ද වුණේ කියපන්කො..”
හීන් නෝනා නැවතත් විචාළේ පොඩි උන් දෙන්නා ගෙට ගියාට පසුවය.
“ලොකු මල්ලී වෙනස් වෙලා ආච්චි..”
එසේ ඇරඹූ ඇය ලොකු මල්ලී ගේ හැසිරීම ගැන අකුරක් නෑරම ආච්චිට කීවාය. ඇය නොකීවේ සකුණ සම්බන්ධ පුවත පමණකි. එය කීවේනම් ආච්චිගෙන් ද ඇයට දොස් අසන්නට සිදු වෙනවා නියතය.
හීන් නෝනාගේ පපුවත් දැවී ගියේය. සහෝදරයන් එකිනෙකාගෙන් ඈත් වෙන බැව් දිනේෂි ගේ මල්වර නැකත බැලූ තැනැත්තා කියා තිබිණි. එහෙත් ඒවා හෙළිදරව් නොකරන්නට ඇය කිත්සිරිටත් රේණුකාටත් පොරොන්දු වී සිටියාය.
“ඌ ඉන්නෙත් දුක දරා ගන්න බැරුවනෙ පුතේ.. ටික දවසක් යයි හිත හදා ගන්න.. උඹ ඔව්වා ගැන හිතන්නෙ නැතුව හිටපන්..”
යුවතිය සනසන්නට එසේ කීවේ වී නමුත් මහා විනාශයක පෙරනිමිති හීන් නෝනාගේ සිත ඉදිරියේ පෙළගැසෙන්නට විණි.
“හිතන්නෙ නැතුව ඉන්නෙ කොහොමද ආච්චි..? මේ ඔක්කොම වුණේ මං හින්දා කියලා හැම වෙලාවෙම මට හිතෙනවා... කවුරු හරි ලොකු මල්ලිටත් කියන්න ඇති අම්මා මැරුණෙ මං හින්දා කියලා.. ඒකයි එයාට එච්චර තරහ ගිහින් හිටියෙ..”
දිනේෂි හීල්ලුවාය.
අම්මා නම් කීවේ ඇගේ අතේ වරදක් නැති බවය. එහෙත් අම්මා තමා සමඟ කතා කරන බැව් ආච්චිට කියන්නට කොහෙත්ම පුළුවන්කමක් නැත. එසේ කිවහොත් සකුණ කීවාක් මෙන් ඇය නූල් බඳින්නට, තොවිල් නටන්නට සූදානම් වෙනවා නියතය. ඊටත් වඩා මේ රහස වෙනත් කිසිවෙකු දැන ගත යුතු දෙයක් නොවේ.
“සංසාර චක්කරේ හැටි ඔහොම තමයි කෙල්ලෙ.. අපි කරපු පාප කරුම ගොනා පස්සෙ යන කරත්තෙ වාගෙ අපි පිටිපස්සෙම එනවා.. එව්වා වළක්වන්න මහ බ්‍රහ්මයටවත් බෑ.. ඒ හින්දා දැන් සිද්ද වෙලා ඉවර දේවල් ගැන හිතලා හූල්ලන්නෙ නැතුව ඔය කරන්න තියෙන දෙයක් කරගෙන හිටපන්කො...”
ආච්චි කීවේ ඇගේ හිසත් පිටත් පිරිමැද, ඒ අතින්ම මුහුණ පුරා තැවරී තිබුණ කඳුළු ද පිස දමමිනි. දිනේෂි සුසුම්ලමින් ආච්චි වෙතින් මෑත් වූවාය.
“කිත්තා උදේ ඇවිත් කියලා ගියා වැඩට යනවා කියලා.. කොහොම වුණත් ඌ වැඩට යන්න හිතපු එකයි උඹලා ඉස්කෝලේ යන්න පටන් ගත්ත එකයි ලොකු දෙයක්.. ගෙදෙට්ට වෙලා ඉන්නකොට ඉතින් ජිනා ඇරෙන්න කිසිම දෙයක් මතක් වෙන්නෙ නෑනෙ..”
ආච්චි කීවේ දිනේෂි ඇඳුම් මාරු කරන්නට කාමරයට යමින් සිටියදීය. තාත්තා වැඩට ගියේත්, ඔවුන් පාසල් ගියේත් අම්මාගේ ඔවදනට අනුව බැව් ඇයට කියවෙන්නටම ගියේය. ඇය සිත දමනය කර ගත්තේ බොහෝ අසීරුවෙනි.
ලොකු මල්ලී දවල් කෑමටවත් ගෙදර ආවේ නැත. දිනේෂිට දැඩි වේදනාවක් මෙන්ම බියක් ද දැනෙන්නට විණි. දෙල් වෑංජනයක්, ගොටු කොළ සම්බෝලයක්, මාළු ඇඹුල් තියල්, පපඩම් සහ සුදු බත් දකිද්දී පවා කුසගින්න ඇවිලුණ ද ලොකු මල්ලී නැතිව කන්නට ඇයට හිත හදා ගත නොහැකි වූයේය. ඇය ඔහුගේ බත්පත බෙදා වසා තැබුවාය. ඇය කෑවේ නංගීටත් මල්ලිටත් කවා ඉතිරි වූ බත් දෙකට පමණකි.
“උඹ කාපන්.. ඌ එන වෙලාවක ඇවිත් කන්නෙ නැතෑ.. අනිත් එක දැන් මේ ලොකු ළමයින්ට කවන්න ඕන නෑ.. පස්සෙ උඹට ඒක ලොකු කරදරයක් වෙයි..”
ආච්චි කීවේ සැබෑවක් නමුත් ඔවුන් දෙදෙනාගේ මුහුණු මුකුලිත වෙනු දුටු විට දිනේෂිට දුක සිතිණි.
“පුළුවන් වෙලාවට විතරයි කවන්නෙ ආච්චි..”
ඇය කීවේ එම නිසාය.
ආච්චි නික්ම ගොස්, මල්ලීත්, නංගීත් රූපවාහිනිය නරඹන්නට පටන් ගත්තාට පසුව දිනේෂි වැට අද්දරට ගොස් පාර දෙස බලා සිටියේ ලොකු මල්ලී සොයන්නට කොහේ යා යුතුදැයි සිතා ගන්නට නොහැකිවය. ගමේ මිතුරන් බොහෝ ගණනක් සිටියත් කුමන මිතුරාගේ නිවසට ගියේදැයි අනුමාන කරන්නට ඇයට නොහැකි වූයේය. මින් පෙර කවදාවත් කාටවත් නොකියා ඔහු එසේ ගොස් තිබුණේත් නැත.
සකුණගේ බයිසිකලය වැට අද්දර නැවතුණේ ඇය අඩ පැයක් පමණ සංකාකූල සිතින් යුතුව මඟ බලාගෙන සිටියාට පසුවය. ඇයට මහා සැනසීමක් දැනෙන්නට විය. ඇය සිනාසෙන්නට තැත් දරමින් ඔහු දෙස බැලුවාය.
“සකුණ අයියෙ..”
“ඔයා ලොකු මල්ලී එනකම් ද මඟ බලාගෙන ඉන්නෙ..?”
එක් පයක් බිමට තබාගෙන බයිසිකලය ඇය ඉදිරියේ නවතා ගත් ඔහු විමසීය.
“ඔයා කොහොමද දන්නෙ..?” දිනේෂි විමසුවේ පුදුමයෙනි.
“මට හිත් කියවන්න පුළුවන්නෙ..”
ඔහු ආඩම්බර සිනාවක් පාමින් කීවේය.
“අනේ විහිළු කරන්නෙ නැතුව කියන්නකො සකුණ අයියෙ.. ඔයාට ලොකු මල්ලී හම්බ වුණා ද..? ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා කන්නෙවත් නැතුව ගිය හින්දා මම මේ බයෙන් ඉන්නෙ..”
ඇය කීවේ බැගෑපත් ස්වරයෙනි.
“අන්න එයා පන්සලේ ඉන්නවා පොඩි හාමුදුරුවොත් එක්ක සෙල්ලම් කරකර..” ඔහු කියද්දී දිනේෂිගේ දෑස උඩ හින්දුණේය.
“මොනවා..? පන්සලේ..?” ඇයට ගොත ගැසිණි.
෴ ලබන සතියට ෴