ඩබ්.ඒ. ද සිල්වාට දෑවැද්දට ලැබුණු ශ්‍රාවස්තිය
ශ්‍රාවස්ති මන්දිරය මන්ත්‍රී තොරතුරු මධ්‍යස්ථානයකට ලබාදීම සඳහා අලුත් වැඩියා කිරීමටත් ඒ සඳහා රුපියල් කෝටි 30ක පමණ මුදලක් වෙන් කිරීමටත් රජය තීරණය කර ඇත. පාර්ලිමේන්තුවට අයත් ශ්‍රාවස්ති මන්දිරය වසර සියයකට වඩා පැරණි අපූරු ඉතිහාසයක් ඇති පෞරාණික මන්දිරයකි. මේ ශ්‍රාවස්ති මන්දිරයේ කතා පුවතයි.
“ශ්‍රාවස්තිය” යනු ඉන්දියාවේ උත්තර බෙංගාලයේ අගනුවරට කියන නමකි. සංස්කෘත ශබ්දාණීවය අනුව “ශ්‍රාවස්” ශබ්දයේ අරුත කීර්තියයි.
ලංකාවේ ශ්‍රාවස්තියේ අයිතිකාරයා ඩබ්.ඒ. ද සිල්වා මහතාය. මෙම නම සඳහන් කරනවිට අපේ මතකයට එකවර එන්නේ ලක්‍ෂ්මි, පාසැල් ගුරුවරී, රදළ පිළිරුව, දෙයියන්ගේ රටේ, හිඟන කොල්ලා, ජූලිහත ආදී ජනප්‍රිය නවකතා ලියූ මහා ලේඛකයායි. ඔහු ඩබ්.ඒ. සිල්වා ය. ශ්‍රාවස්තියේ අයිතිකාරයා ඔහු නොවේ. ඒ මහා ලේඛකයාට ‘‘ද’’ කෑල්ලක් තිබුණේ නැත. ශ්‍රාවස්තියේ හිමිකරුට ද තිබේ. ඔහුගේ සම්පූර්ණ නම විල්මට් ආතර් ද සිල්වා ය. ඩබ්.ඒ. ද සිල්වා මහතාට ශ්‍රාවස්තිය ලැබුණේ බිරිඳගෙන් දෑවැද්දටයි. විල්මට් ආතර් ද සිල්වා ඉපදුනේ 1869 මාර්තු 15දා ගාල්ලේ උණවටුනේදීය. මුලින්ම අධ්‍යාපනය ලැබුවේ ගාල්ලේ උණවටුනේ බොනවිස්ටා ඉංග්‍රීසි පාසලෙනි. පසුව රිච්මන් කොලීජියටත්, එතැනින් බොම්බායේ විශ්වවිද්‍යාලයට ඇතුළු විය. එහිදී ඔහු තෝරා ගත්තේ පශු වෛද්‍ය විද්‍යාවයි. උපාධිය සමත් වී ලංකාවට පැමිණි පසු කොළඹ නගර සභාවේ පශු වෛද්‍ය තනතුර ලැබුණේය. ඔහුගේ හොඳම මිතුරෝ වූයේ ඩී.බී. ජයතිලක, ගුණපාල මලලසේකර යන මහත්වරුන්ය. ලක්දිව රාජකීය ආසියාතික සමිතියේ ප්‍රකාශනවලට ආතර් ද සිල්වා මහතා නිතර නිතර ලිපි ලීවේය. එම සමිතියේ ප්‍රථම ප්‍රකාශනය වූ “සිංහල ජන සම්මත කාව්‍ය” නමැති ග්‍රන්ථය ප්‍රකාශයට පත්කළේ ආතර් ද සිල්වා හා ගුණපාල මලලසේකර මහත්වරුන් විසිනි. එවිට ඩබ්. ආතර් ද සිල්වා මහතා රාජසභා මන්ත්‍රීවරයෙකි. ලක්දිව රාජකීය ආසියාතික සමිතියේ උපසභාපති ය.
පළමුවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු (1919 නොවැම්බර් 11) යටත් විජිත බාර ලේකම් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව රාජාඥාවකින් යළිත් සකස් කළේය. ඒ ඡන්ද විමසීමක් මඟින්ය. යුරෝපීය ආසනය, බර්ගර් ආසනය, කොළඹ නගරය, මීගමු දිස්ත්‍රික් ආසනය, කළුතර, බස්නාහිර, මධ්‍යම, උතුරු, දකුණ, වයඹ, ඌව, ඉන්දියානු මන්ත්‍රී ආසන, මුහම්මදී ආසනය ආදී ආසනවලට පැවැත්වූ ඡන්දවලින් ඩබ්.ඒ. ද සිල්වා මහතා මධ්‍යම පළාත් (නගර) ආසනයෙන් ඉදිරිපත් වී ඡන්ද 2273ක් ලබා (1925 පෙබරවාරි 14) ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවට තේරී පත්විය. ඉන්පසු 1931 ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මොරටුවේ මන්ත්‍රී විය. ඡන්ද 16,962ක් ලබා ගත්තේය. එවර ඔහු පළාත් පාලන කාරක සභාවට පත්විය. නැවත 1936 රාජ්‍ය මන්ත්‍රණ සභා ඡන්දයේදී ඡන්ද 20,600ක් ලබා මොරටුව ආසනය වැඩි ඡන්ද 11,016කින් ජයගෙන මන්ත්‍රී විය. එවර ඔහු සෞඛ්‍ය කටයුතු සභාපති විය. දේශපාලන පක්‍ෂ පිහිටුවීමෙන් පසු 1947 පැවැත්වූ රාජ්‍ය මන්ත්‍රණ සභා ඡන්දය වනවිට එතුමා මිය ගොස්ය. ඔහු දේශපාලනයෙන් සමුගත්තේ 1942 පෙබරවාරි 18 දාය. ඩබ්.ඒ. ද සිල්වා මහතා මිය ගියේ 1942 අප්‍රේල් මාසයේදීය.
ජීවත් වූ කාලය තුළ පරම විඥානාර්ථ බෞද්ධ සංගමයේ සභාපති, බෞද්ධ සංගමයේ (ඊඕ) සාමාන්‍යාධිකාරී සහ අමද්‍යප සභාව වැනි ජාතික, ආගමික, සමාජ සංවිධාන රැසක තනතුරු දැරුවේය.
විවාහය
මොරටුවේ විශාලම ධනපති පවුලක් වූ ශ්‍රී චන්ද්‍රසේකර වලව්වේ කැතරින් ශ්‍රී චන්ද්‍රසේකර මෙනවිය සමඟ විවාහ වූ ආතර් සිල්වා මහතාට දෑවැද්ද ලෙස ලැබුණේ එවකට එඩින්බරෝ චන්ද්‍ර වංකයේ පිහිටි (දැන් දොස්තර මාකස් ප්‍රනාන්දු මාවත) මෙම ශ්‍රාවස්ති නමැති නිවාසයයි.
ශ්‍රී නේරු තුමා, තාගෝර් තුමා, ඩොනමෝර් සාමිවරයා, ලංකාවට පැමිණි අවස්ථාවල නවාතැන් ගෙන ඇත්තේ ඩබ්.ඒ. ද සිල්වා මහතාගේ ශ්‍රාවස්ති නිවාසයේය. මන්ත්‍රීවරුන් සඳහා කොළඹ විශේෂ නේවාසිකාගාරයක් අවශ්‍ය යැයි තදින්ම දැනී ගියේ දෙවැනි ලෝක යුද්ධය පැවැති කාලයේදීය. ඒ කාලයේදී කොළඹ නගරය යුද භටයන්ගෙන් පිරී පැවතිණ. කොළඹ ආපනශාලා හා නැවතීමට ඉඩකඩ තිබූ අනෙක් තැන්ද යුද භටයන්ගෙන් ගහණ විය. මේ නිසා ඒ කාලයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරුන් අතර කොළඹ නිවාස නොතිබුණු අයට මන්ත්‍රණ සභා රැස්වීම්වලට පැමිණි විට නැවතීම සඳහා නොයෙක් කරදර විඳීමට සිදුවිය. නැවතීමට ඉඩකඩ පහසුකම් සපයා ගත නොහැකි වීම නිසා ඇතැම් මන්ත්‍රීවරුන්ට මන්ත්‍රණ සභා ගොඩනැගිල්ලේ බූරු ඇඳන් තබාගෙන නිදා ගැනීමට පවා සිදුවිය. එදා කොළඹ නැවතීමේ ඉඩකඩ දුලබ වීම නිසා මන්ත්‍රීවරුන්ට කරදර විඳීමට සිදුවූ හැටි සිය අත්දැකීම් අනුව ඒ. රත්නායක මහතා විස්තර කර තිබුණේ මෙසේය.
“යුද්ධ කාලයේදී කොළඹ නැවතීමට තැනක් සොයා ගැනීම ඉතා අපහසු කාර්යයක්ව තිබුණා. ඒ අපහසුවෙන් තදබල ලෙස පීඩා වින්ද කෙනෙක් තමයි මම. ඉන්න තැනක් නැතිම තැන මං බූරු ඇඳක් සොයා ගෙන රාජ්‍ය මන්ත්‍රණ සභා ගොඩනැගිල්ලේ පසෙක එය තබා නිදා ගත්තා. තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම මා සමඟ එක් වූවා. එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටි කරලියද්ද, හැරිස් රත්වත්තේ, ආර්.ඇල්. තෙන්නකෝන් යන මන්ත්‍රීවරු එසේ බූරු ඇඳන් තබා නිදාගත් අයයි. මොලමුරේ මහතාත් ටික කලක් එසේ අප සමඟ ඒ ගොඩනැගිල්ල තුළ නිදා ගැනීමට පුරුදුව සිටියා. මන්ත්‍රීවරුනට නැවතීමට තැනක් නැති බව තදින් පෙනී ගිය විට ඒ සඳහා සභා ගොඩනැගිල්ලේම උඩ තට්ටුවේ කාමරයක් වෙන් කර දීමට සිදුවූයේ මේ තත්ත්වය නිසාය. ඇඳන් 12 ක් සහිත එම කාමරය ප්‍රමාණවත් නොවීම නිසා විශේෂ නේවාසිකාගාරයක් අත්‍යවශ්‍ය බව තදින් දැනෙන්නට විය.”
මැති සබේ රැස්වීම් සඳහා කොළඹට පැමිණි විට නැවතීමට විශේෂ නිවාසයක් සපයා දීම නොයෙකුත් හේතු නිසා ඉතා වැදගත් කොට සැලකිනි. ඉන් එකක් නම් මන්ත්‍රීවරුන්ට නවාතැන් පහසුව සලසා දීමය. එසේ මන්ත්‍රීන් ගණනක් එක්ව සිටින විට අන්‍යොන්‍ය වශයෙන් කතාබහට ඉඩ සැලසෙන හෙයින් මැති සබයේ සාකච්ඡා කෙරෙන ප්‍රශ්න ගැන වඩාත් පුළුල් ලෙස කරුණු අවබෝධ කර ගැන්මටද ඉඩ ලැබේ. අත්දැකීම් ඇති මන්ත්‍රීවරුන්ගෙන් නවකයන්ට නොයෙක් උපදෙස් ගැනීමට ඉන් හැකි වේ. රටේ ප්‍රශ්න පොදුවේ තේරුම් ගැනීමට අවස්ථාව සැලසේ. මන්ත්‍රීන් සඳහා විශේෂ නේවාසිකාගාරයක් පිහිටුවීම පිළිබඳ ඒ සෑම හේතුවක්ම ඉතා වැදගත්ය. මෙවැනි නේවාසිකාගාරයක් පිහිටුවිය යුතුය යන මුල්ම යෝජනාව මැති සබය වෙත ඉදිරිපත් කරන ලද්දේ ඒ. රත්නායක මහතා විසිනි. 1943 වර්ෂයේදී මන්ත්‍රීවරුන් සඳහා නේවාසිකාගාරයක් පිහිටුවීමට තීරණය වීමෙන් පසු ඒ සඳහා ශ්‍රාවස්තිය ලබා ගන්නා ලදී.
ශ්‍රාවස්තිය එදා දොස්තර ඩබ්.ඒ. ද සිල්වාගේ පෞද්ගලික නිවාසයයි. උගතකු, දානපතියකු, සමාජ සේවකයකු හා දේශපාලනඥයකු වශයෙන් රටට ඉමහත් සේවයක් සැලසීමෙන් රටේ අමරණීය පුද්ගලයකු බවට පත්වූ ඩබ්.ඒ. ද සිල්වා මහතාත් ඔහුගේ බිරිඳත් සිය අවසාන කාලය තෙක්ම ජීවත් වූයේ ඒ නිවසේය. කොළඹ එඩින්බරෝ ෙක්‍රසන්ට් හි පිහිටි ශ්‍රාවස්තිය සුවිසල් මන්දිරයකි. ඒ නිවස තැනුනේද අද මෙන් ජනාකීර්ණ බවෙන් කොළඹ තදබද වී ගිය අවධියක නොවේ. එහෙයින් ඉඩකඩ පිරිමසා ගෙන සිය නිවස ඉදිකර ගැනීම පිළිබඳ ප්‍රශ්නයකට මුහුණ පෑමට ඩබ්.ඒ. ද සිල්වා මහතාට සිදු නොවීය. පෞද්ගලික නිවසකට උවමනාවටත් වඩා ඉඩකඩ හා පහසුකම් තිබුණු මේ නිවස සැබවින්ම විසිතුරු මන්දිරයකි. ශ්‍රාවස්තියේ අයිතිකරුව සිටි ඒ මහතා ප්‍රාචීණ පඬිවරයෙකි. බෞද්ධ දර්ශනය පිළිබඳ විශේෂ දැනුමක් ඇතිව සිටි ඔහු වටිනා පුස්තකාලයක් ද හිමිව සිටියෙකි. එදා ශ්‍රාවස්තියේ මුල් තැන ලැබුණේ අගනා පොත පත රැස් කොට තිබූ ඒ පුස්තකාලයටයි.
සිය උගත්කම ජීවිතය හා සම්බන්ධ කර ගත් පුද්ගලයකු වශයෙන් ඩබ්.ඒ. ද සිල්වා මහතා කැපී පෙනුණේය. විශාල ධනවතෙක් වූ ඔහු නිහතමානී චාම් පුද්ගලයෙක් විය. බෞද්ධ දර්ශනයේ අවංකවම ඇලී ගිය තම බිරිඳත් සිය ධනය ද ආයෝජනය වැඩි වශයෙන් කළේ පරිත්‍යාග උදෙසාය.
පසු කලෙක දී ඔහු සිය ශ්‍රාවස්ති මන්දිරය විකිණීමට තීරණය කළේය. ඒ තීරණය අනුව එය වෙන්දේසියේ විකුණන ලදී. වෙන්දේසිකරුවා වූයේ එවකට ඒ කටයුතු පිළිබඳ ප්‍රසිද්ධියක් දැරූ එච්.ඇම්. ගුණසේකර මහතායි. එච්.ඇම්. ගුණසේකර යනු ශ්‍රීමත් ලලිත රාජපක්‍ෂ මහතාගේ මස්සිනා ය. වෙන්දේසියෙන් ඒ මැදුර මිලදී ගත්තේ එච්.ඩබ්. අමරසූරිය මහතායි. එච්.ඩබ්. අමරසූරිය මහතා විසින් ශ්‍රාවස්තිය මිලදී ගැනීමෙන් පසුවද ටික කලක් ඩබ්.ඒ. ද සිල්වා යුවළ එහිම වාසය කළහ. යුද්ධ කාලයේදී ශ්‍රාවස්තිය යුද හමුදාවේ ප්‍රයෝජනය සඳහා යොදා ගත්තේය. හමුදා සේනාංකයක් එහි පදිංචිව සිටි අතර පසුව යුද හමුදාව විසින් නැවත ශ්‍රාවස්තිය එච්.ඩබ්. අමරසූරිය මහතාට බාර දුන්නේය. පසුව ඩී.එස්. සේනානායක මහතා ශ්‍රාවස්තිය රජයට මිලදී ගත්තේය.
මෙහි පාලනය මුලින්ම පැවරුණේ කතානායකවරයාටයි. අවුරුදු කිහිපයක් එතැන පාලනය ගෙන යෑමෙන් පසු ඒ වගකීම සෙනෙට් සභාපතිවරයාට පවරන ලෙස කතානායකවරයා ඉල්ලා සිටියේය. ඒ ශ්‍රාවස්තියෙන් පාඩු සිදුවීම නිසා එය වසා දැමිය යුතුද දිගටම පවත්වාගෙන යා යුතුද යන ප්‍රශ්නය පැන නැගී තිබුණු නිසාය. ශ්‍රාවස්තිය මන්ත්‍රී නිවාසයක් බවට පත් වීමෙන් පසුව මේ නඩුව නිසාම එතැන විවාහ මංගල උත්සව සඳහා කුලියට දෙන ලදී. මේ අතරතුර නේවාසික මන්ත්‍රීවරුන්ගෙන් නොයෙක් චෝදනා ආවේ ආහාර ප්‍රශ්නය පිළිබඳවයි. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීන් සංඛ්‍යාව වැඩිවීම නිසා ශ්‍රාවස්තියේ ඉඩකඩ ද ඇහිරෙන්නට විය. පසු කලෙක මන්ත්‍රීවරුන්ට බිම පැදුරු එළාගෙන නිදා ගැනීමට පවා සිදුවිය. මෙකී ඉඩකඩ ප්‍රශ්නය විසඳීම සඳහා ශ්‍රාවස්තියේ බිමෙහි සොල්දර ගොඩනැගිල්ලක්ද ඉදිකරන ලදී. ඇමැතිවරුන් සඳහා වෙනම නිවාසයක් තනවන ලදී.
ශ්‍රාවස්තිය උදෙසා රජය මහජන මුදලින් 1964 වර්ෂයේදී වෙන් කරන ලද මුදල රුපියල් 125,000කි. මේ මුදල සේවක පිරිසට ගෙවන පඩි නඩි හා ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම් පිළිබඳ වියදම්වලට අමතරවය.
මන්ත්‍රීවරයකුට ශ්‍රාවස්තියෙන් කාමරයක් වෙන් කරවා ගැනීමට අවශ්‍ය නම් ඒ කාලයේ ගෙවිය යුතු මාසික මුදල රුපියල් 75ක් විය. එහි ගත කරන හැම රැයකටම රුපියල් 3 බැගින් ගෙවිය යුතුය. ඒ මුදලට කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි, තුවා, උණුවතුර පහසුකම් ආදිය ද සැලසිණි. ශ්‍රාවස්තිය පෙරදිග මෙන්ම අපරදිග කෑම බීම ද සැපවූවේය. උදේ වේලකට ගෙවිය යුතු මුදල රුපියල් 1.50ක් විය. දවල් හෝ රෑ කෑම වේලක් සඳහා රුපියල් 2.50ක් අය කෙරුණි.
ශ්‍රාවස්තියේ නැවතී සිටි මන්ත්‍රීවරු වරක් එහි විසිත්ත කාමරයෙන් විශේෂ ප්‍රයෝජනයක් ගැනීමට සිතූහ. මත්පැන් එහි තහනම් වීමෙන් පසු ඒ ශාලාව හිස්ව පැවතියේ 1961 සිටයි. ඒ විශේෂ ප්‍රයෝජනය නම් බාල් නැටුම් නොදත් මන්ත්‍රීවරුන්ට එය ඉගෙන ගැනීමට මේ ශාලාව යොදා ගැනීමයි. අපරදිග රටකට ගිය විට බාල් නැටුම් ඉතා ප්‍රයෝජනවත් බව සැලකූ ඇතැම් මන්ත්‍රීවරු බාල් නැටුම් ඉගෙන ගැනීම වැදගත් කොට සැලකූහ. ඒ අනුව මන්ත්‍රීවරුන්ට බාල් නැටුම් ඉගැන්වීම සඳහා විශේෂ ගුරුවරයෙක් ද පත්විය.
මන්ත්‍රීවරුන් වැඩිවන්නට වන්නට ශ්‍රාවස්තියේ තත්ත්වය පිරිහෙන්නට පටන්ගත්තේය. මන්ත්‍රීවරු කන, බොන, නටන අඩි පුඩි ගසන පමණක් නොව (ඇතැම් මන්ත්‍රීවරුන්ගේ) කාමරවලට ගැහැනු පවා ප්‍රසිද්ධියේ ගෙන්වා ගන්නා තැනක් බවට ශ්‍රාවස්තිය පවත්වන්නට පටන්ගත්තේය. ගොඩනැගිල්ලේ පිටින් පෙනෙන වැදගත්කම ඇතුලේ නොවීය. රාත්‍රී කාලයේ බීමතින් පටන් ගන්නා කෑකෝගැසීම් එළිවෙන යාමය වනතුරුම රැව් දුන්නේය. අවට ගෙවල්වල සිටින අයට ද මෙය මහත් කන්දොස්කිරියාවක් විය.
මන්ත්‍රීවරුන්ගේ අවසරය නැතිව උඩුමහලට යා නොහැකි බව දැන්වීම් සවිකර තිබුණේය. රාත්‍රී අටෙන් පසු මෙහි යා හැක්කේ මන්ත්‍රීවරුන් ඇතුළත් රථවාහනවලට පමණක් බව පුවරු සවිකර තිබුණේය. කාමර වෙන් කරවා ගැනීමේ හා ඒවායේ පදිංචි වීමේදී පිළිපැදිය යුතු නීතිමාලාවක් ඇතුළත් දැන්වීම්වලට පමණක් සීමා විය.
රට කරවන ඇත්තන්ගේ නවාතැන්පළේ හැටි ගැන පත්තරවල පිටු ගණන් පළවන්නට විය. ශ්‍රාවස්තිය පිරිසිදු කළ යුතු යැයි මැතිසබේ තුළින් මෙන්ම උත්තර මන්ත්‍රී මණ්ඩපයෙන්ද හඬක් නැගුණේය. එවකට මන්ත්‍රීවරයකු වූ ආර්.ඊ. ජයතිලක මහතා ශ්‍රාවස්තියට එන නගර ශෝබනියන් ගැන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී සඳහන් කළේය. එහෙත් ප්‍රශ්නය යට ගියේය.
1964 පෙබරවාරි 24දා දිනමිණ පත්‍රයේ ශ්‍රාවස්තිය එදා සහ අද යනුවෙන් පුරා පිටුවක ලිපියක් පළවිය. මේ ස්ථානයට යන ඕනෑම කෙනකුට තැරැව්කාරයන්, පන්දම්කාරයන්, කාන්තාවන් කෙල්ලන් ඕනෑ තරම් දකින්නට ඉඩකඩ සැලසී ඇත. එදා ශ්‍රාවස්තිය ගෙරිමස් කරේ එල්ලාගෙන කන තැනක් වී තිබුණි.
එදා කතානායකව සිටි ආර්.ඇස්. පැල්පොල මහතා ඇතුළු ශ්‍රාවස්තිය පාලනය පත්කිරීමට පිරිසක් උත්සහ කළත් එයින් ද වැඩක් නොවීය. ශ්‍රාවස්ති සිදුවීම් ගැන ශ්‍රාවස්ති සේවක පිරිස කීවේ රට කරන අය කරන දේවල් අපි කොහොම නවත්වන්නටද කියාය. කෙසේ හෝ මේ සියල්ල පසුකලෙක වෙනස් වී ශ්‍රාවස්තියද නැති වී ගියේය.
මූලාශ්‍ර :
(කැලණිය විශ්වවිද්‍යාලයේ දුර්ලභ පොත් අංශයේ ලැනරෝල් පොත් එකතුව)
පී.එම්. සේනාරත්න