“මම අද රෑට ගෙදර එන්නෙ නෑ.. පන්සලේ ඉන්නවා..” දෙසැම්බර් තිස් එක් වෙනිදා උදේ ගෙදරින් යාමට සූදානම් වෙමින් ලොකු මල්ලී නිවේදනය කළේය. තේ සාදමින් සිටි දිනේෂි තිගැස්සී ඔහු දෙස බැලුවාය. ඔහු වයසටත් වඩා ඉලන්දාරි වී, ස්වාධීන වී ඇතැයි හැඟීම ඇගේ සිතට මහා දුකක් දැනවූයේය.
“එතකොට අපි තනියමනේ ලොකු මල්ලී.. තාත්තා කීයට ගෙදර එයි ද දන්නෙ නෑ.. ආවත් එන්නෙ හොඳටම බීලනෙ..”
ඇය හැඬුම් මුසු ස්වරයෙන් කීවාය.
“තනියම ඉන්නත් පුරුදු වෙන්න ඕන.. මොකද මම ඔයාලට තනි රකින්න ගෙදර ඉඳියි කියලා හිතන්න එපා..”
ඔහු දයා විරහිත ස්වරයෙන් කීවේය. තව දුරටත් ඔහු හමුවේ බැගෑපත් වී පලක් නැතැයි ඇයට සිතිණි. ඇය දෑසින් ගලන කඳුළු උරහිසින් පිස දා ගනිමින් ඔහු අතට තේ කෝප්පය දුන්නාය. ඔහු එය ගත්තේ ඉවත බලා ගත්වනමය.
පාසැල් නිවාඩුව පටන් ගත් දින සිටම ඔහු එක මොහොතක්වත් ගෙදර සිටියේ නැත.
“මම පන්සලට යනවා..”
කියාගෙන උදේ ගෙදරින් පිට වී යන ඔහු ගෙදර එන්නේ අඳුරත් තුරුළු කරගෙනමය. ඔහුගෙන් අසන යමකට කෙටියෙන් පිළිතුරු දෙන්නේත් නොරිස්සුමින් නිසා දිනේෂි අත්යවශ්යම දෙයක් දැනුම් දෙන්නට හැර ඔහු සමඟ කතා කළේ නැත. අනුෂි සහ නිසංක නම් කතා කළේම නැත. එහෙත් ලොකු මල්ලී ගෙදර සිටිද්දී ඇයට ආරක්ෂාකාරී හැඟීමක් දැනිණි. එළඹෙමින් පවතින්නේ ඒ යුගයත් අවසන් වන ලකුණුදැයි ඇය දොම්නසින් කල්පනා කළාය.
තාත්තා හොඳටම බීමත්ව පැමිණි වැසි දින රාත්රියේ ලොකු මල්ලී කරුණාවෙන් කතා කළ විට ඔහු නැවතත් හොඳ අතට වෙනස් වෙනු ඇතැයි බලාපොරොත්තුව දිනේෂි තුළ ඇති වූයේය. එහෙත් එය සුන් වී යන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත.
“තාත්තට ඉස්තෝප්පුවෙන් ඇඳක් දාලා දෙන්න ඕන..”
එදා ඔවුන් පාසැල් යන්නට එළියට බසිද්දීත් අවදි නොවී හාන්සි පුටුවේ නිදාගෙන සිටි තාත්තා දෙස බැලූ සසංක කීවේය. අනුෂි සහ නිසංක මවිතයෙන් මෙන් බැලුවත් කළ යුතු හොඳම දේ එය බැව් දිනේෂිට වැටහිණි. බීමත් වූ කල තාත්තා වෙනස්ම මිනිසෙකු බවට පරිවර්තනය වන බැවින් ඔහුට සාත්තු කරන්නට යාමට ඇයට පුළුවන්කමක් නැත. අනෙක් අතට තාත්තා ඉස්තෝප්පුවේ සිටියදී අම්මාට වුව ද ඔහු අසළට පහසුවෙන් එන්නට පුළුවන.
“අනේ පව්නෙ එතකොට.. තාත්තට සීතල හැදෙයි.. මදුරුවෝ කයි..” නිසංක කීවේ දුක්බර හඬිනි.
“ඒක තමයි..” අනුෂි ද පැවසුවාය.
පෙරදා රැයේ සිදු වූ කිසිවක් පොඩි උන් දෙන්නා දැන සිටියේ නැත.
“සීතලට පොරවන්න තමයි රෙදි තියෙන්නෙ.. මදුරුවෝ එනවට මදුරු දැල් තියෙනවා..” සසංක සැරෙන් කීවේය.
ඉනික්බිති කිසිවෙකු කතා කළේ නැත.
යම් වුවමනාවක් ඇත්නම් කිසිවෙකුට බිය නොවී පාසැලේදී තමා සමඟ කතා කරන ලෙස සකුණ දිනේෂිට කියනු ලැබ තිබිණි. එම නිසාම ඇය විවේක වේලාවේදී ඔහු සොයා ගොස් පෙරදා රැයේ සිදු වූ සියල්ලම පැවසුවාය. ඔහු අසා සිටියේ මවිතයෙන් දෙනෙත් අයාගෙනය. වරින්වර ඔහුගේ මුවින් අව්යක්ත රාවයන් ද නික්මිණි.
“එච්චර දේවල් සිද්ද වුණා ද..? වැස්ස හින්දා මට යන්තම්වත් සද්දයක් ඇහුණේ නෑනෙ..”
ඇගේ කතාව අවසන් වූ පසුව ඔහු කීවේ පසුතැවිලි සහගත ස්වරයෙනි.
“ඇහුණත් ඉතින් ඔයාට කරන්න දෙයක් නෑනෙ අයියෙ..”
“ඒකත් ඇත්ත..” කියමින් ඔහු සුසුමක් හෙලුවේය.
තාත්තාට ඉස්තෝප්පුවේ ඇඳක් තබා දීම හොඳ අදහසක් බැව් සකුණත් පිළි ගත්තේය. එවිට ඔහුගේ මත් දියර පානය අඩු කරන්නට අම්මා කුමක් හෝ පිළියමක් යොදනවා නියතය.
ඔවුන් කතාබහ කරමින් සිටියදී නිත්යා ඒ අසළින් ගියේ ගිනි පුපුරු වීසි වෙන දෑසින් ඔවුන් දෙස බලාගෙනය. දිනේෂි ගේ සිත බියෙන් සලිත වුණත් සකුණ නම් ගණනකට ගත්තේවත් නැත. එහෙත් නිත්යාගේ ඇස්වල වූ නිහඬ තර්ජනය සිහිපත් වෙන හැම අවස්ථාවේම ඇගේ පපුව දැවෙන්නට වූයේය.
අම්මා සමඟ සියල්ලම කියන්නට වුවමනා වුවත් ඒ දිනවල සවස් වරුව දිගටම වැසි පැවති බැවින් ඇයට පහන ළඟට යන්නට පුළුවන්කමක් නොවිණි. අම්මා තාත්තාට නම් කතා කරන්නට ඇතැයි ඇයට සිතුණේ ඔහු වෙනදාට වඩා ජීවී බවකින් හැසිරුණ නිසාය. එහෙත් ඔහු හැමදාම රාත්රියට මත් දියරින් සප්පායම් වී පැමිණීම නම් අඩු කළේම නැත. දිනේෂිට තාත්තා කෙරෙහි කිසිම දිනෙක නොදැනුණ මහා කළකිරීමක් දැනෙන්නට වූයේය. එම නිසාම ඔහුගේ වාසය ඉස්තෝප්පුවට සීමා කිරීම ගැන පසුතැවිල්ලක් ඇති වූයේ නැත.
“මේ කාමරේ ඇඳ ලොකුයිනෙ අක්කා.. නංගියි ඔයයි මේකෙ නිදා ගන්න..”
සෙනසුරාදා දිනයේ ගමේ මිතුරන් තිදෙනෙකුත් සමඟ එක් වී ගෙයි ගෘහ භාණ්ඩ එහාමෙහා කරමින් සිටි ලොකු මල්ලී පැවසුවේ තාත්තාගේත්, අම්මාගේත් නිදන කාමරය දක්වමිනි. ගෙදර තිබුණ ලොකුම කාමරය එය වූයේය. එහි දොරවල් දෙකකි. එක දොරක් විවර වූයේ මල්ලිලා දෙන්නා නිදා ගත් පුංචි කාමරයටය. තාත්තා ඉස්තෝප්පුවේ නිදා ගන්නට පටන් ගතහොත් ඔවුන් දෙදෙනාට තනියක් දැනෙන නිසා ලොකු මල්ලී එසේ කියන්නට ඇතැයි දිනේෂිට සිතිණි. අම්මා මිය ගිය අලුත අතුපතු ගාන්නට පවා ඇය ඒ කාමරයට ගියේ ආයාසයෙන් සිත දැඩි කරගෙනය. එහි පිවිසි හැම විටෙකම ඇය පිට වුණේ හඬාගෙනය. අම්මාගේ ආත්මය හා සම්බන්ධකම් ඇරඹුණ කල ඇයට මේ කාමරය ප්රිය වූයේය. මෙහි පිවිසි හැම විටම අම්මාගේ සුවඳ පවා දැනෙන්නට පටන් ගන්නේ ඇය මෙහි රැඳී සිටින නිසාදැයි විටෙක දිනේෂිට සිතිණි. එහෙත් තාත්තා කාමරයෙන් පිටතට දමා, අම්මාත් ඔහුත් ජීවිතය බෙදාහදා ගත් කාමරය තුළ වාසය කරන්නට ඇයට හිත හදා ගත නොහැකි වූයේය.
“නෑ ලොකු මල්ලී.. ඔයයි චූටි මල්ලියි මේ කාමරේ නිදා ගන්න.. ඔයාලගෙ කාමරේ තියෙන පුංචි ඇඳ අපි ඉස්තෝප්පුවට දාමු..”
දිනේෂි යෝජනා කළාය.
“මමත් හැමදාම ගෙදර ඉඳියි ද කියන්න බෑනෙ..”
ඔහු එදා කීවේ ගෙදරින් පිට වී යාමේ තීරණයට එළඹ සිටි නිසාදැයි දිනේෂි සුසුම්ලමින් කල්පනා කළාය.
ඉස්තෝප්පුවට පිටමං වෙන්නට සිදු වීම පිළිබඳව තාත්තා වචනයක් හෝ කීවේ නැත්තේ එය ඔහුට සහනයක් වූ නිසා විය යුතුය. දිනේෂි දින දෙකතුනක් යන තුරු මහා වරදකාරී හැඟීමකින් පීඩා වින්දාය. එහෙත් පසුව එය සාමාන්ය දෙයක් බවට පත් වූයේය. මුල් දින දෙකතුනේ ඇය තාත්තා නොකෑවත් ඔහුගේ බත්පත බෙදා ඉස්තෝප්පුවේ කනප්පුව මත වසා තැබුවාය.
“දාපියව් මේවා බල්ලට.. මේවත් කෑම ද..? මගෙ ජිනාගෙ අතින් දෙන ඇල් වතුරයි බතුයි වුණත් දිව්ය ලෝක රහයි.. ඔව්.. දිව්ය ලෝක රහයි..”
තාත්තා එසේ කියමින් පිඟාන පොළවේ ගැසූ දින දිනේෂි රැයේ බොහෝ වේලාවක් හඬා වැටුණේ අර ආදරණීය තාත්තා නැවත කවදාවත් නොඑනු ඇතැයි හැඟීම දරා ගත නොහැකිවය. ඇය එදා සිට තාත්තාට කෑම තැබීමෙන් වැළකී සිටියාය. එහෙත් හැම දෙනාම තමාට එරෙහි වන්නේ කුමන පවකටදැයි ඇය සකුණගෙන් පවා විමසුවාය.
“ගණන් ගන්න එපා නංගි.. හැමදේම වෙන්නෙ හොඳට කියලා ඔයා දොර හොඳට වහගෙන නිදා ගන්න.. බීපු මිනිස්සුන්ට සාත්තු කරන්න යන්න ඕන නෑ..” ඔහු කීවේය.
“ඒත් ඉතින් තාත්තනෙ..” ඇය කීවේ අසරණ ලෙසය.
“තාත්තා වුණාම එයා දැන ගන්න ඕන තාත්තා විදියට හැසිරෙන්න.. අම්මත් නැති දරුවෝ කොච්චර අසරණ වෙලා ද ඉන්නෙ කියලා තේරුම් ගන්න බැරි තාත්තෙක් ගැන පිටස්තරයෙක් ගැන හිතන විදියට හිතුවට පව් නෑ..”
සකුණ කවදාවත් නැති තරම් දැඩි හඬකින් කීවේ ඇය තුළ බියක් ද ජනිත කරවමිනි.
෴ ලබන සතියට ෴