මරණාසන්න තුවාලකරු බලා සිටියදීම හෙලිකොප්ටරය ආපසු හැරී යයි


දෙවන අණදෙන නිලධාරි මේජර් ලලිත් බුද්ධදාස (දකුණේ)


පසුගිය සතියේ ඉතිරි කොටස

අලිමංකඩට එළැඹි යක්ෂයාගේ හෝරාව


 

මේජර් බුද්ධදාස තුවාල වීම පිළිබඳව ගුවන්විදුලි පණිවුඩ හුවමාරු ඔස්සේ දැනගත්, ඒකක විධායක අධිකාරි, ලුතිනන් රමේෂ් ෆර්නෑන්ඩු ද අලුයම අණ දෙන නිලධාරි හමුවට පැමිණියේය. රාත්‍රිය පුරාවට දැනෙන තරමේ විවේකයක් ද නොලැබ සිටි අණ දෙන නිලධාරි, ඒ වන විට පසු වූයේ දැඩි වෙහෙසකර බවකිනි. විශේෂයෙන්ම මේජර් බුද්ධදාස හට තුවාල සිදු වීම - ඔහුට තදබල ලෙස දැනුණු සෙයකි. තම රෙජිමේන්තු සැරයන් මේජර්වරයා වූ බලලත් නිලධාරි විජේසිංහ ඇමතූ අණ දෙන නිලධාරි, ඔහු වහාම තමන්ගේම ජීප් රථයෙන් දෙවැනි අණ දෙන නිලධාරි සිටින තැනට පිටත් කර හැරීමට කටයුතු කරනු ලැබීය. එහිදී ඔහු සැරයන් මේජර්වරයා වෙත දැනුම් දුන්නේ, කිසිදු ප්‍රමාදයකින් තොරව දෙවැනි අණ දෙන නිලධාරි වෛද්‍ය මධ්‍යස්ථානය වෙත රැගෙන යන ලෙසය. අලුයම වනතෙක්ම එම ක්‍රියාන්විත මැදිරියෙහි තමන් සමගම සිටි දෙවැනි අණ දෙන නිලධාරි සටන ඇරැඹි මුල් අවස්ථාවේදීම එලෙස අවාසනාවන්ත ලෙස තුවාල ලැබීම පිළිබඳව ඔහු බෙහෙවින් කම්පා විය. එසේම, එය අලිමංකඩ සටනට දැනෙන තරමේ අවාසියක් බැව් ඔහුගේ තක්සේරුව වූයේය. 

ඉන් සුළු වේලාවකට පසු, රෙජිමේන්තු සැරයන් මේජර්වරයා යළි එහි පැමිණියේය. ඔහු තුළින් දිස්වූයේ තරමක කලබලකාරී බවකි. එහිදී ඔහු කියා සිටියේ, මෝටාර් ප්‍රහාරයක් හේතුවෙන් දෙවැනි අණ දෙන නිලධාරිගේ උදරයට බරපතළ හානි සිදුව ඇති බවය. අධික ලෙස රුධිර වහනයක් ද සිදුවන හෙයින්, ඔහුව කඩිනමින් රෝහලක් කරා යැවීමේ අවශ්‍යතාව ද හෙතෙම පෙන්වා දුන්නේය. ඒ වන විටත් අණ දෙන නිලධාරිගේ සියලු අවධානය යොමුව තිබුණේ තුවාලකරු පිළිබඳවය. ඒ සමගම ඔහු සිය විධායක අධිකාරි ද වහාම වෛද්‍ය මධ්‍යස්ථානය කරා පිටත් කර හරිමින්, ක්‍රියාන්විත මැදිරියට ඇතුළු වූයේ, තවදුරටත් තම දෙවැනි අණ දෙන නිලධාරි වෙනුවෙන් ඉටු කළ හැකි යමක් ඉතිරිව ඇත්දැයි සොයා බැලීමේ අදහසිනි. ඒ වන විට කඳවුරෙහි එතෙක් පැවැති සටන සහමුලින්ම පාහේ නිම වී තිබීමත්, ප්‍රදේශය ක්‍රමයෙන් එළිය වැටීමත් හේතුවෙන්, ඔහුට එම කටයුතු සම්බන්ධිකරණය කරගැනීම තරමක් පහසු විය.

මේ අතර, දෙවැනි අණ දෙන නිලධාරි තුවාල ලබා ඇති බව ගුවන්විදුලි පණිවුඩ හුවමාරු ඔස්සේ සවන් වැකි ආරංචිය, ආරක්ෂක වළල්ල පුරා පැතිරෙන්නට විය. එය කණ්ඩායම් භාර නිලධාරීන්ගේ ඉමහත් කනස්සල්ලට හේතු විය. ඔහු ක්‍රියාන්විත කටයුතුවලදී, එහි සෑම නිලධාරියකු සමගම බොහෝ සමීපව කටයුතු කළ, එමෙන්ම නිරන්තරව භට පිරිස්වලට ශක්තියක් ලබා දුන් අයෙක් විය. ඒ නිසාම, දෙවැනි අණ දෙන නිලධාරි පිළිබඳව සෑම අයෙක් තුළම පැවැතියේ, ඉමහත් ප්‍රසාදයක් හා ගෞරවයකි. අලිමංකඩ කඳවුර විශාලත්වයෙන් යුක්ත වූ බැවින්, එහි කණ්ඩායම් ස්ථාපිතව තිබුණේ එකිනෙකට දුරිනි. වෛද්‍ය මධ්‍යස්ථානය කඳවුර මධ්‍යයේ පැවැති හෙයින් ද, අණ දෙන නිලධාරිගේ අවසරයකින් තොරව තම බලප්‍රදේශ හැර යාම තහනම්ව තිබූ හෙයින් ද, කණ්ඩායම් භාර නිලධාරීන්ට කොතරම් වුවමනාවක් පැවැතිය ද ඒ මොහොතේම තම දෙවැනි අණ දෙන නිලධාරි බලන්නට යා නොහැකි විය. 

කර්නල් රමේෂ් ප්‍රනාන්දු 
(එවකට ලුතිතන්)



 

කපිතාන් ජයන්ත 
ප්‍රනාන්දු


 

කපිතාන් ජයන්ත ප්‍රනාන්දු, සිංහ රෙජිමේන්තු සී කණ්ඩායම් භාර නිලධාරි ලෙස කටයුතු කළ අයයි. මේජර් බුද්ධදාස අලුයම ඇරැඹි සටනේදී තුවාල ලබා ඇති බව දැනගත් මොහොතේ පටන්, ඔහුට තම දෙවැනි අණ දෙන නිලධාරි දකින තෙක් ඉස්පාසුවක් නොවීය. නමුත් උද්ගතව තිබූ අවිනිශ්චිත වාතාවරණය තුළ ඕනෑම මොහොතක කඳවුරේ ඕනෑම ස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ නිශ්චිත අවදානමක් පැවැතිණ. එනිසාම අණ දෙන නිලධාරිගේ ඍජු නියෝගය වී තිබුණේ, කුමන හේතුවක් මත හෝ කිසිදු නිලධාරියකුට තම කණ්ඩායම් බලප්‍රදේශයෙන් බැහැරව නොයන ලෙසය. කෙසේ වෙතත්, ඒ තහංචිය නොතකා, කිසිවකුට නොදැනෙන්නට, ඔහු වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පියවර මැන්නේ, තම දෙවැනි අණ දෙන නිලධාරිගේ තත්ත්වය සොයා බැලීම සඳහා වූ දැඩි වුවමනාව නිසාමය. ඒ අනුව, එළිය වැටෙන්නට මත්තෙන්, හොර රහසේ කලපුව හරහා වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පිටත් වූයේ, තම සහායක සෙබළා සහ පණිවුඩ හුවමාරු යන්ත්‍ර ක්‍රියාකරු ද සමගය. 

වෛද්‍ය මධ්‍යස්ථානයට ළඟාවත්ම කපිතාන් ජයන්ත ප්‍රනාන්දු දුටුවේ, දෙවැනි අණ දෙන නිලධාරි එහි පසෙක වැතිරී සිටින ආකාරයයි. ඒ වන විටත් ඔහු පියවි තත්ත්වයේ පසු වූ අතර, වෛද්‍ය සහායකයන් ද ඔහු වෙනුවෙන් උපරිම අවධානය යොමු කර තිබිණ. හෙතෙම දෙවැනි අණ දෙන නිලධාරි හා වචනයක් කතා කරන්නට උත්සාහ කළ ද, ඔහු ඊට අංග චලනයෙන් ප්‍රතිචාර දැක්වූවා පමණි. මේජර් බුද්ධදාසගේ තත්ත්වය ක්‍රමයෙන් බරපතළ අතට හැරෙමින් ඇති බව කපිතාන් ජයන්ත ප්‍රනාන්දුට අවබෝධ විය. එහිදී ඔහුගේ හිස ද පිරිමැද, කපිතාන් ජයන්ත ප්‍රනාන්දු ඉන් නික්ම ගියේ, තවදුරටත් එහි රැඳී සිටීමට හැකියාවක් කොහෙත්ම නොවූ නිසාය. ඒ සමගම වෛද්‍ය සහායකයන් දෙවැනි අණ දෙන නිලධාරි වෙනුවෙන් තවදුරටත් සිය උපරිම සත්කාර ලබාදෙන්නට උත්සුක වනු පෙනිණ. 

මේ අතර, අණ දෙන නිලධාරිගේ ජීප් රථයෙන්ම, විධායක අධිකාරි, ලුතිනන් රමේෂ් ද වෛද්‍ය මධ්‍යස්ථානය කරා පැමිණියේය. ප්‍රතිකාර ලබමින් සිටි මේජර් බුද්ධදාසගේ උදරයෙන් ගලා හැලෙන ලේවලින් ඔහු වැතිරී සිටි බිම තෙත්ව ගොස් ඇති අයුරු එහිදී ඔහුට දැකගත හැකි විය. අලිමංකඩ කඳවුර තුළ එතෙක් දැවැන්ත කාර්යභාරයක නිරත වෙමින්, භට පිරිස් වෙත නිරන්තර සවියක් වූ තම දෙවැනි අණ දෙන නිලධාරි, එලෙස අසරණ ලෙස බිම වැතිරී සිටීම, ලුතිනන් රමේෂ්ට ඉහිලුම් නොදුන්නේය. විශේෂයෙන්ම තමා කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ පුහුණුව ලබමින් සිටියදී, එවකට ඔහු එහි උපදේශකයකු ද වී සිටි අයුරු ලුතිනන් රමේෂ්ට මතකය. ඒ නිසාම තම දෙවැනි අණ දෙන නිලධාරි පිළිබඳව මුල සිටම ඔහු තුළ වූයේ අප්‍රමාණ ගෞරවයකි. තුවාල ලැබ සිටිය ද ඒ වන විටත් දෙවැනි අණ දෙන නිලධාරි පියවි තත්ත්වයේ පසු වීම, ලුතිනන් රමේෂ්ගේ අස්වැසිල්ලට හේතු විය. නමුත් ඔහු සිය අපහසුතා සිර කරගනිමින් සිටිය බවක් පෙනෙන්නට තිබිණ. එහිදී විධායක අධිකාරි හිස අතගාමින් ඔහුව අස්වසන්නට වූයේ, ඔහු වෙනුවෙන් සියලු කටයුතු යොදන බවට වූ නිසැක පොරොන්දුවක් ද ලබා දෙමිනි. ඒ වන විටත් සිය උදරය දෑතින්ම තද කරගෙන සිටි මේජර් බුද්ධදාස, තම විධායක අධිකාරි හමුවේ බල කරන්නට වූයේ, තුවාලයේ අධික වේදනාව සමනය කිරීම පිණිස වේදනා නාශකයක් හෝ නින්ද යාම සඳහා තමාට කුමන හෝ බෙහෙතක් ලබා දෙන ලෙසය.

ඒ වන විට අලිමංකඩ කඳවුරෙහි වෛද්‍ය මධ්‍යස්ථානය භාරව සිටියේ, සැරයන් මේජර් ගොඩමුන්න නම් වූ වෛද්‍ය බළකායට අයත් සැරයන් මේජර්වරයෙකි. බොහෝ කලක් ක්‍රියාන්විත බිමෙහිම රාජකාරි කොට තිබූ ඔහු, මෙවැනි අවස්ථා රැසකට මුහුණ දී තිබූ අත්දැකීම් සහිත වෛද්‍ය බළකා සාමාජිකයෙකි. අලිමංකඩ කඳවුරේ සටන් ඇවිළුණු මුල් අවස්ථාවේ පටන්ම ඔහු තුවාල ලබන භට පිරිස්වලට ප්‍රතිකාර ලබා දෙමින් බොහෝ කැපවීමෙන් කටයුතු කොට තිබුණි. මෙවර ද එලෙස ඒකක දෙවැනි අණ දෙන නිලධාරි තුවාල සිදුව ජීවිතය වෙනුවෙන් සටන් වදින මෙම තීරණාත්මක අවස්ථාවේදී ඔහු සියලු තත්ත්වයන් පාලනය කොට ගනිමින් දෙවැනි අණ දෙන නිලධාරිවරයාගේ ජීවිතය රැක දීම වෙනුවෙන් සිය උපරිමය සිදු කරමින් තිබුණේ කිසිදු විරාමයක් නොලබාය. 

මේ අතර, විධායක අධිකාරිගේ ද දැනුම්දීම මත සැරයන් මේජර් ගොඩමුන්න තුවාලකරු වෙත එන්නතක් ලබා දුන් අතර, ඉන් සුළු මොහොතක් ගතවෙත්ම මේජර් බුද්ධදාස නින්දට වැටුණේය. තුවාලකරුවන් රැගෙන යාම සඳහා ගුවන් යානයක් එහි පැමිණෙන බවට මේ අතර තොරතුරක් ලැබිණ. ඒ සමගම වෛද්‍ය නිලධාරිගේ ද සහායෙන් තුවාලකරු අණ දෙන නිලධාරිගේ ජීප් රථයට පටවාගත් විධායක අධිකාරි එක එල්ලේම එහි වූ ගුවන් පථය වෙත බලා යන්නට වූයේ, බලාපොරොත්තු සහගත හැඟීමෙනි. එහිදී දෙවැනි අණ දෙන නිලධාරිගේ හිස සිය උකුළ මත තබාගනිමින් එහි වූ ගුවන් යානා නැවතුම්පොළ වෙත ඔහුව රැගෙන යාමේදී ඉතා ප්‍රවේශමෙන් එම කටයුත්ත සිදු කිරීමට විධායක අධිකාරි වගබලාගත්තේ තුවාලකරුගේ තත්ත්වය හොඳින් දැන සිටි හෙයිනි. එසේ පැමිණි විගසම ගිලන් මැස්සක තබා පසෙක වූ සෙවණක දෙවැනි අණ දෙන නිලධාරි හිඳුවා තබාගත් ලුතිනන් රමේෂ්, අහස දෙස බලන්නට වූවේ, ගුවන් යානයක සේයාවක් දැකීමේ බලවත් වුවමනාවෙනි. ඒ වන විට වේලාව පෙරවරු 7.00ට ආසන්න වී තිබිණ.

හෙලිකොප්ටරයක් පැමිණෙන තුරු එහි ගුවන් පථය අසල සිටි සැමගේ දෑස් එල්ල වී තිබුණේ, පුනරීන් සීමාවට වන්නට වූ අහස දෙසටය. එහි පසෙක ගස් සෙවණකට වී ලුතිනන් රමේෂ් ද පසු වූයේ අන් අය සේම නොඉවසිල්ලෙනි. ඒ වන විටත් තම ඔඩොක්කුවේ හිස රඳවාගෙන සිටි දෙවැනි අණ දෙන නිලධාරිට ලබාදුන් එන්නත හේතුවෙන් ඔහු පසු වූයේ නින්දේය. නමුත් ඔහුගේ උදරයේ අභ්‍යන්තර ලේ වහනය වීමක් සිදු වෙමින් ඇති බව එහි කිසිවකුත් නොදත්තේය. මෙලෙස විනාඩි 15ක් පමණ ගතවෙද්දී, එක්වරම පුනරීන් දෙසින් හෙලිකොප්ටරයක් දර්ශනය වන්නට වූයේ, එහි සිටි සැමගේ අපේක්ෂා දල්වමිනි. එලෙස කෙටි කාලයක් තුළ එහි හෙලිකොප්ටරයක් ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණේ, ක්‍රියාන්විත මැදිරියේ සිට අණ දෙන නිලධාරි ඉහළ මූලස්ථාන සමග සම්බන්ධ වෙමින් ඒ වෙනුවෙන් දරා තිබූ පරිශ්‍රමය නිසාමය. ක්‍රමක්‍රමයෙන් කඳවුරු සීමාවට ආසන්න වන හෙලිකොප්ටරය දෙස සැවොම බලා සිටින්නට වූයේ, එය පහත් කළ සැණින් තුවාලකරු ක්ෂණිකව ඊට නංවාලීම පිණිසය. ඒ සඳහා අතිරේක සෙබළු පිරිසක් ද එහි සූදානම්ව සිටියහ. 

ඈතින් තිතක් වී පෙනුණු හෙලිකොප්ටරය ක්‍රමයෙන් කඳවුරු සීමාවට ආසන්නවත්ම සිදු වූයේ, කිසිවකු අපේක්ෂා නොකළ සිදුවීමකි. එනම්, කඳවුර පිටත රැඳී සිටි ත්‍රස්තවාදීහු ෆයිව් සීරෝ (5.0 මි.මි.) වර්ගයේ බර අවි කිහිපයකින් එක්වරම හෙලිකොප්ටරයට වෙඩි තබන්නට වීමය. එලෙස එල්ල වන බර අවිවල උණ්ඩ ගුවන් යානය සමීපයෙන් ඇදෙන්නටවත්ම එළැඹි අවදානම මධ්‍යයේ එය ඉහළට එසවී ආපසු හැරෙන්නට වූයේ, සුළු අත්වැරැද්දකට හෝ ඉඩක් නොතබාය. මෙලෙස යළිත් අවස්ථා කිහිපයක් හෙලිකොප්ටරය එහි ළඟා වීමට උත්සාහ ගත් නමුත්, ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් ඊට කිසිදු අවස්ථාවක් නොලැබිණ. අවසානයේ ගුවන් පථයෙහි රැඳී සිටි සියලුදෙනාගේ අපේක්ෂා සුන් කරමින් හෙලිකොප්ටරය නොපෙනී යද්දී ලුතිනන් රමේෂ් ප්‍රනාන්දු තම ඇකයෙහි හිස හොවාගෙන සිටි දෙවැනි අණ දෙන නිලධාරි දෙස බැලුවේය. එහිදී දුටුවේ ඔහුගේ උදරය සැලකිය යුතු තරමට ඉදිමී ඇති ආකාරයයි. එසේම, නින්දේ පසු වුව ද මේජර් බුද්ධදාසගේ මුහුණේ ජීවත් වීම පිළිබඳ අවසන් බලාපොරොත්තුවක් මෝදු වී ඇති බවක් ඔහුට දැනිණ. 

තව කොටසක් ලබන සතියේ