මරා ගැනිල්ලෙන් ශ්‍රී ලංකාවට අරමුදල් තහනම්



ශ්‍රී ලංකාවට ලබා දෙන අරමුදල් හා ගෙවීම් අත්හිටුවීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හා ආසියානු ඔලිම්පික් සභාව දෙසැම්බර් 10 වැනිදා තීරණය කළේය. ඒ පිළිබදව ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා ඇතුළු එම කමිටුවේ විධායක සභාව වෙත ජාත්‍යන්තර කමිටුව ලූසාන් නුවර එහි මූලස්ථානයේ සිට දැනුම්දීමට එහිදී කටයුතු කර තිබේ.
 
කෙසේ වූවත් එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රවර්ධන වැඩසටහන් සඳහා අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව විසින් ලබාදෙන මුදල් ප්‍රතිපාදන අත්හිටුවීමක් එහිදී සිදු කර නැති බවයි.
 
 ජාතික ඔලිම්පික් කමිටුවේ ජාතික ඔලිම්පික් කමිටු සබඳතා - ඔලිම්පික් සහයෝගිතා හා ඔලිම්පිස්ම් 365 අධ්‍යක්ෂ ජේම්ස් මැක්ලිඕඩ් හා ආසියානු ඔලිම්පික් සභාවේ මහ ලේකම් හුසේන් අල් මුසාලම් යන මහත්වරුන්ගේ අත්සනින් ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් තත්වය මැයෙන් එම ලිපිය මෙරටට යොමු කර ඇත.
 
එම ලිපියෙන් අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාර ධර්ම කමිටුව විසින් මතු කරන ලද ගැටලු කමිටුව විසින් නිසි ලෙස විසඳා ගැනීමට අපොහෝසත්වී ඇති බවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට අවබෝධවී තිබෙන බවයි.
 
මෙම ගැටලු ව්‍යවස්ථානුකූලව විසඳා ගැනීම තහවුරු කර ගන්නා තුරු ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරෙන අරමුදල් අත් හිටුවන බව එම ලිපිය මගින් දන්වා තිබේ.
 
 ඒ පිළිබඳව ඉරිදා ලංකාදීපය කළ විමසුමක දී ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමණියම් මහතා පැවැසුවේ මෙම ඇතිවී තිබෙන තත්වයට කමිටුවේ මහ ලේකම්වරයා ඇතුළු විධායක සභාව වගකිව යුතු බවයි. මහ ලේකම් මැක්ෂ්වෙල් ද සිල්වා මහතා සම්බන්ධයෙන් කමිටුවේ ආචාර ධර්ම කමිටුව විසින් ලබාදී තිබෙන නිර්දේශ ඔහුගේ බලපෑම් මත ක්‍රියාත්මක කිරීම විධායක සභාව පැහැර හරිමින් සිටීම මෙම තත්වයට හේතුවී ඇතැයි ද ඔහු පැවැසීය.
 
 වසරකට ආසන්න වශයෙන් ශ්‍රී ලංකාවට අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව හා ආසියානු ඔලිම්පික් සභාව විසින් මෙරට ක්‍රීඩා ප්‍රවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 100 සිට 200 දක්වා වන අරමුදල් ලබාදීම සිදු කරයි.
 
 ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම්වරයා හා සභාපතිවරයා අතර වසරකටත් වැඩි කාලයක් තිස්සේ හටගෙන තිබෙන බව කියන දැඩි විරසකය මේ වන විට උසාවියේ අපහාස නඩු දෙකක් පැවැරීම දක්වා දුරදිග ගොස් තිබේ. එම නඩු මහ ලේකම් මැක්ෂ්වෙල් ද සිල්වා මහතාට එරෙහිව පවරා ඇත්තේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා විසිනි.
 
ජාතික ඔලිම්පික් කමිටුවේ පැන නැගී තිබෙන වත්මන් පරිපාලන අර්බුදය මේ හේතුවෙන් තවදුරටත් දිග්ගැස්සෙමින් තිබේ.
 
මෙම අර්බූදයට විසඳුමක් සෙවීම සඳහා ඉකුත් දා රැස්වූ ජාතික ඔලිම්පික් කමිටුවේ විශේෂ මහ සභා රැස්වීමේ දී ඡන්ද 21- 01 කින් තීරණය වූයේ ලබන මාර්තු 31 වැනිදාට පෙර නිලවරණයක් (2025 - 28) කැඳවා අලුත් විධායක සභාවකට කමිටුව බාරදිය යුතු බවයි.
 
 කෙසේ වූවත් සිකුරාදා පැවැති විශේෂ මහ සභා රැස්වීමට ආරාධනා ලබා තමන් සහභාගි වූවත් එහිදී ගත් තීරණ තමාගේ අනුමැතියෙන් තොරව සම්මත කළ බැවින් එම තීරණ තමන් ප්‍රතික්ෂේප කරන බව සුබ්‍රමනියම් මහතා පවසයි. මෙම විශේෂ මහ සභා රැස්වීම නීත්‍යානුකූල නොවන බවත් ඔහු පවසයි. නීත්‍යානුකූල නොවන නමුත් ආරාධනා ලබා තිබූ බැවින් තමන් ඊට සහභාගි වූයේ ඒ පිළිබදව නිරීක්ෂණය කිරීමට බවත් කමිටුවේ මීළඟ ආසන්නතම නිලවරණය කැඳවීමේ අවස්ථාව ඇත්තේ එළඹෙන 2025 දෙසැම්බර් මාසයේ දී බවත් ඔහු පැවැසීය.
 

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, මහ ලේකම් මැක්ෂ්වෙල් ද සිල්වා යන මහත්වරු ඇතුළු එහි විධායක සභිකයන් ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා සමග පැවැති සාකච්ඡාවට සහභාගිවී සිටි අයුරු....


මෙම තත්වය හමුවේ ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභාව පසුගිය සඳුදා (16) ක්‍රීඩා අමාත්‍යාංශයට කැඳවීමට පුනුරුද රජයේ ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා පියවර ගත්තේය. එහිදී දෙපාර්ශවය අතර පැවැති සාකච්ඡාවේ දී ගත් තීරණ මාධ්‍ය වෙත එළිදරව් නොවූ අතර ඒ වෙනුවට පතෝල මට්ටමේ මාධ්‍ය නිවේදනයක් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් නිකුත් විය.

 
ඒ පිළිබදව මාධ්‍යයන් ඔස්සේ සාකච්ඡා නොකරන ලෙසත් ක්‍රීඩා ඇමැතිවරයා ජාතික ඔලිම්පික් කමිටුවට උපදෙස් දුන් බවත් 
වාර්තා වේ. 
 
ජාතික ඔලිම්පික් කමිටුවේ පැන නැගී තිබෙන පරිපාලන අර්බුදය විසඳීම සඳහා අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ උපදෙස් ලබා ගැනීමට ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ එහිදී තීරණය කළ බවද වැඩිදුරටත් වාර්තා විය.
 
ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා හා එහි මහ ලේකම් මැක්ෂ්වෙල් ද සිල්වා මහතා ඇතුළු එහි විධායක සභාවේ නියෝජිතයන් සමග ක්‍රීඩා ඇමැතිවරයා පැවැත් වූ සාකච්ඡාවට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, යොවුන් කටයුතු ඇමැති එරංග ගුණසේකර, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු එහි ඉහළ පෙලේ නිලධාරීන් පිරිසක් ද සභභාගි වූහ.
 
එහිදී ජාතික ඔලිම්පික් කමිටුව සම්බන්ධයෙන් පැන නැගී තිබෙන තත්වය පිළිබඳවත් එහිදී ව්‍යවස්ථානුකූලව ඒ සම්බන්ධයෙන් කරුණු අධ්‍යනය කර විසඳුමක් සෙවීම හා ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයාට උපදෙස් ලබාදීමේ කාර්යභාරයත් නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න මහතා වෙත පැවැරීමට තීරණය විය. 
 
එහි දී වෙනදා සුගත් තිලකරත්න සර් කියා කතා කළ නිලධාරීන්ට මෙදා සුගත්ට සර් කියා කතා කරන්න සිදුවීම දෛවෝපගත සිදුවීමක් බදුය. එදා විදුලිපුර විදුලි ධාවකයා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ මලල ක්‍රීඩකයා එදා උපදෙස් ගත් නිලධාරීන්ට අද ඔහු නියෝජ්‍ය ක්‍රීඩා ඇමැතිවරයා වෙමින් උපදෙස් ලබා දීමට සැරසී සිටියි.
 
ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ දැන් පැන නැගී තිබෙන පරිපාලන අර්බුදය සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරමින් පසුගිය දෙසැම්බර් 10 වැනිදා සිට ශ්‍රී ලංකාවට ලබා දෙන අරමුදල් අත්හිටුවන බව අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව හා ආසියානු ඔලිම්පික් සභාව නිවේදනය කළේය.
 
 ක්‍රීඩා ඇමැතිවරයා සමග පැවැති සාකච්ඡාවේ දී ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා මහ ලේකම් මැක්ෂ්වෙල් ද සිල්වා මහතාට දැඩි ලෙස චෝදනා කරමින් අදහස් දැක්වූ බව වාර්තා විය. ඊට පිළිතුරු දෙමින් මහ ලේකම්වරයා ඇතුළු විධායක සභිකයන් අදහස් දැක්වීමට යාමෙන් සාකච්ඡාව උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.
 
ආචාර ධර්ම කමිටුව විසින් මහ ලේකම්වරයාට එරෙහිව නිර්දේශ ඉදිරිපත් කිරීමට තරම් වන විමර්ෂණ වාර්තාවක් ගැන තමන් දැනුවත්වී නැතැයි එහිදී පැමිණ සිටි විධායක සභිකයන් පිරිසක් සාකාච්ඡාවේ දී අදහස් දක්වමින් ක්‍රීඩා ඇමැතිවරයාට අවධාරණය කර තිබේ. 

නාමල් පතිරගේ