මරුසිරා එල්ලූ දවසේ රන්මැණිකාත් ඒ දඬුවම බලන්න ඇවිත් සිටියා


මරුසිරා මරලා එල්ලුවාද එල්ලන්න පෙර දිවි නසා ගත්තාද?

බෝගම්බර සිරගෙදර මරුසිරා භාරව සිටි ජේලර් කියන කතාව

 

මරුසිරා හෙවත් සිරිපාල නැතිනම් දෙද්දූව ජයතුංගලාගේ සිරිපාල යන නාමය මෙරට වැඩිහිටි ජනතාවට කිසි දිනෙක අමතක නොවන නාමයකි. හැටේ දශකයේදී දරුණු අපරාධකරුවෙකු ලෙස මුළු රටම කලඹමින් ජනතාව අතර ප්‍රසිද්ධව සිටි සිරිපාල ගැන එදා කතා නොකළ කෙනෙකු නැති තරම්ය. මරුසිරා කොතරම් ජනප්‍රිය චරිතයක් වූවාදැයි කිවහොත් අවසානයේදී ඔහුගේ චරිතය පිළිබඳව චිත්‍රපට දෙකක් පවා නිර්මාණය විය. ඒ අතරින් ජනප්‍රියම චිත්‍රපටය වූයේ එම යුගයේ ජනප්‍රියම නළු නිළි යුගලයක් වූ රවීන්ද්‍ර රන්දෙණිය සහ මාලනී පොන්සේකා රඟපෑ සිරිපාල හා රන්මැණිකා චිත්‍රපටයයි. ඔහු පිළිබඳව ජනප්‍රිය ගීත ද ලියැවිණි.   


ඊළඟ චිත්‍රපටය වූයේ දිවංගත ටයිටස් තොටවත්තයන්ගේ මරුවා සමග වාසේය.   


දරුණු අපරාධකරුවෙකු ලෙස හංවඩු ගසා සිටි සිරිපාල නැතිනම් මරුසිරා සිදු කළ මිනිස් ඝාතන දෙකකට සහ තවත් වැරැදි කීපයකට අධිකරණයෙන් වැරැදිකරු බවට තීන්දු කොට අවසානයේදී මහනුවර බෝගම්බර සිර ගෙදරදී එල්ලා මැරීමට නියම කරනු ලැබීය.   


 එදා රටම කැලඹවූ මේ මරුසිරා එල්ලා මරා දමා මේ වනවිට හරියටම වසර හතළිස් පහක දීර්ඝ කාලයක් ගතවී ඇත. දරුණු අපරාධකරුවෙකු වුවද මිනීමරුවෙකු වුවද මරුසිරාට අතිශයින්ම ආදරය කළ ඔහු සමඟ බැඳුණු එකම චරිතය වූ රන්මැණිකා ද වයස අවුරුදු 88 ක කාලයක් දිවි ගෙවා පසුගිය මාසයේදී මරණයට පත් වූවාය. රන්මැණිකාගේ මරණයත් සමඟ නැවත වරක් මරුසිරා පිළිබඳ අතීතය මතකයට ගෙනාවේය.   


මරුසිරා නැත්නම් සිරිපාල එදා එල්ලා මැරුවාද? නැත්නම් මරා එල්ලා දැමුවාද? ඔහු මරණයට පත්ව මේ වනවිට අවුරුදු හතළිස් පහක දීර්ඝ කාලයක් ගතවී තිබුණ ද මේ මාතෘකාවට අදටත් පිළිතුරක් ලැබී නැත.   


අධිකරණයේ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මරණ දඬුවම නියම වූ සිරිපාල අනුරාධපුර සිට බෝගම්බර සිරගෙදරට මාරු කර එවනු ලැබීය. මේ කාලය වනවිට බෝගම්බර සිරගෙදර ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් රැසක්ද රඳවා සිටි ස්ථානයකි. අධිකරණයෙන් සිර දඬුවම් නියම කිරීමෙන් පසුව සිරකරු එල්ලා මරණ දිනය නියම කරන්නේ එවකට සිටි ආණ්ඩුකාරවරයා විසින්ය. සිරකරු එල්ලා මරණු ලබන නියමිත දිනය ආණ්ඩුකාරවරයා විසින් දින හතකට පෙර දන්වනු ලබයි.   


මරුසිරාට මරණ දඬුවම ලබාදීම සඳහා රඳවා සිටි බෝගම්බර සිරගෙදර ඔහු සිටින කොටස බාරව සිටියේ එවකට දෙවැනි පෙළ ජේලර්වරයෙකු ලෙස සේවය කළ විශ්‍රාමික බන්ධනාගාර අධිකාරි රංජිත් බණ්ඩාර ඒකනායක මහතාය. ඒකනායක මහතා විශ්‍රාම ගියේ මීගමුව බන්ධනාගාරයේ අධිකාරිවරයා ලෙස සේවය කරමින් සිටියදීය. මේ වනවිට 79 වියෙහි පසුවන ඒකනායක මහතා තම ආදරණීය බිරිඳ ද සමඟ කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටියි.   


මේ රංජිත් ඒකනායක මහතා මරුසිරා සම්බන්ධයෙන් තම මතකය අප සමඟ අවදි කළ ආකාරයයි.   

 

  • පණ නැති තද නින්දක වගේ සිටිය මරු සිරාව උස්සාගෙන ගිහින් එල්ලුවා
  • මරුසිරා එවකට සිරගෙදර සිටි ජවිපෙ  සැකකරුවන් සමග  සමීප සබඳතා පවත්වාගෙන  ගොස් තිබුණා


“මම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුණේ එක්දහස් නවසිය හැටහත වසරේදී. දෙවන පෙළ ජේලර්වරයෙකු ලෙස මුලින්ම රැකියාව ලැබුණේ වැලිකඩ බන්ධනාගාරයට. මම රැකියාවට බැඳුණේ එම වසරේ ඔක්තෝබර් මාසයේ 15 වැනිදා. මම රැකියාවට බැඳුණු දිනට පහුවදාම (16) රත්ගම ප්‍රදේශයේ පදිංචි මෙන්ඩිස් කියන පුද්ගලයාව වැලිකඩදී එල්ලා මරා දැමුවා. දේශපාලන ක්‍රියාකාරකමක් හේතුවෙන් ඔහු අතින් පුද්ගලයෙකු මරණයට පත්වීම හේතුවෙන් ඔහුට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබුණා. ඒ මරණ දඬුවම ක්‍රියාත්මක කළ ආකාරයත් මම සියැසින්ම දුටුවා.   


ඒ කාලයේ මුළු ලංකාවටම හිටියේ අලු‍ගෝසුවෝ දෙන්නයි. වැලිකඩයි, බෝගම්බරයි තමයි ඒ කාලයේ එල්ලු‍ම්ගස ක්‍රියාත්මක කළේ. වැලිකඩ සහ බෝගම්බර ළඟට ඒ කාලයේ රටේ ප්‍රධාන වශයෙන්ම තිබුණේ මහර සහ යාපනය බන්ධනාගාර පමණයි. සාමාන්‍ය බන්ධනාගාර ⁣විදිහට බදුල්ල, මඩකළපුව සහ මීගමුව ක්‍රියාත්මක වුණා.   
මට ඉන් පසුව හැටනවය වසරේ අගබාගයේදී බදුල්ල බන්ධනාගාරයට මාරුවීමක් ලැබුණා. මම බදුල්ල බන්ධනාගාරයට ගිහින් මාස කීපයකට පසුව ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර බදුල්ල බන්ධනාගාරයට ගෙනාවා රිමාන්ඩ් හිරකාරයෙකු විදියට. එතකොට හැත්තෑ එකේ කැරැල්ලක් ගැන කිසිම සඳහනක් තිබුණේ නැහැ. දේශපාලනමය වශයෙන් හම්බන්තොට ප්‍රදේශයේදී ඇතිවුණු ගැටුමක් සම්බන්ධයෙන් තමයි විජේවීර සැකකාරයෙකු විදියට හිටියේ. වෙඩි තැබීමේ සිද්ධියක් මේකට සම්බන්ධයි කියලා තමයි දැනගන්න ලැබුණේ.   


ඔහු සිටියේත් මගේ බාරයේ. විජේවීර මට හමුවුණු බොහෝ අවස්ථාවලදී ඔහු දේශපාලනය ඇතුළු විවිධ ක්ෂේත්‍ර ගැන මාත් එක්ක කතා කළා. ඔහු දේශපාලනය ගැන ඉතාම ගැඹුරින් කතා කළා. ඔහු කියපු සමහර දේවල් මට තේරුණේම නැහැ. ඉන් ටික කාලයකට පසුව ඔහු නිදහස ලැබුවා. හැත්තෑ එකේ තරුණ නැගිටීමක් ගැන වචනයක් හෝ ඔහු මට කියා තිබුණේ නැහැ. මාස තුනක් පමණ විජේවීර රිමාන්ඩ් සිරකරුවෙකු විදියට බදුල්ලේ හිටියා. ඔහු නිදහස් වෙලා මාස කීපයකට පසුව තමයි හැත්තෑ එකේ කැරැල්ල පටන් ගත්තේ. රෝහණ විජේවීර හමුවෙලා කතා කරන්න ලැබීමත් මගේ රාජකාරි ජීවිතයේ ලැබුණු සුවිශේෂ අවස්ථාවක් විදියට මම දකිනවා. ඒ කාලයේ විජේවීර කියන්නේ රටේ බොහෝම ප්‍රසිද්ධ චරිතයක්. ඔහු ගැන නිතරම විස්තර පුවත්පත්වල පළ වුණා. 

 
ඊළඟට මට මාරුවීම ලැබුණේ මහනුවර බෝගම්බර බන්ධනාගාරයට. ඒ හැත්තෑ හතරේ අවුරුද්දේ. එතකොට මම උසස්වීමක් ලබලා හිටියේ. මම බෝගම්බරට එනකොට මරුසිරාත් එක්ක මරණ දඬුවම් නියම වුණු තවත් හත් දෙනෙක් පමණ එහි රඳවා සිටියා.   


මේ පිරිස අතරින් ප්‍රසිද්ධම කෙනා තමයි සිරිපාල. ඒ කාලයේ මුළු රටම ඔහු ගැන කතා වෙනවා. දරුණු අපරාධකරුවෙකු වුණත් රටේ ජනතාවට සිරිපාල එක්තරා ආකාරයක වීර චරිතයක් වුණා. ඔහු රඳවා තිබූ සිරමැදිරිය බාරව තිබුණේ මටයි. මේ නිසා සිරිපාල සමඟ ඔහු එල්ලා මරණ තෙක් සමීපව ආශ්‍රය කරන්න මට අවස්ථාව ලැබුණා.

   
සිරිපාල කොයි වාගේ පුද්ගලයෙක්ද?   


සිරිපාල මරුසිරා විදියට රට පුරාම ප්‍රසිද්ධ වුණාම බොහෝ දෙනා සිතා සිටියේ ඔහු ඉතා උස මහත පාංශු දේහධාරි පුද්ගලයෙකු කියලයි. ඔහු ඇස් දෙකෙන්ම දකින කල් මාත් සිතාගෙන සිටියේ ඒ විදියටමයි. දරුණු අපරාධකරුවෙකු වුණාට බෝගම්බරදී මා නම් ඔහුව දුටුවේ කිසිම කරදරයක් නැති පුද්ගලයෙකු විදියටයි. සිරිපාල කෙට්ටුයි. ගොඩාක් උසයි. ඒ වගේම හොඳ කඩවසම් පුද්ගලයා. දැක්කොත් ඕනෑම කෙනෙකුට හිතෙයි මේ මිනිහා මිනීමරුවෙක්ද කියලා. ඒ තරමට හොඳ පෞරුෂයක් ඔහුට තිබුණා. වරක් ඔහු සියදිවි නසා ගන්න වෙඩි තබා ගැනීම නිසා ශරීරයේ අවයවයක කොටසකුත් අඩු වෙලා තිබුණේ. නමුත් ඔහු මනා නිරෝගී තත්ත්වයකින් සිටියා.   
සිරිපාල එල්ලා මරණ දිනය නියම කරන තෙක් රඳවා හිටියේ සී කොටසේ 121 කියන කාමරයේ. ඒක තට්ටු තුනකින් සමන්විත ගොඩනැගිල්ලක්. හැත්තෑ එකේ අප්‍රේල් කැරැල්ලේ වැරැදිකරුවන් වුණු ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පිරිසකුත් මේ ගොඩනැගිල්ලේම රඳවා සිටියා. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන පෙළේ නායකයෙකු වන නන්දන මාරසිංහත් මේ පිරිසේ සිටියා. ඔවුන් රඳවා සිටියේ බී මහලේ.   


කොහොම හරි අපිට නොදැනී සිරිපාලට නන්දන මාරසිංහ ඇසුරු කරන්න ලැබිලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ඉතාම සූක්ෂම විදියට සිරිපාලව ඇසුරු කරලා තිබුණා. ඔවුන්ගේ දේශපාලනික අදහස් සහ න්‍යායයන් සිරිපාලට කාවද්දලා තිබුණා. මරණ දඬුවම නියම වූ සිරකරුවෙකු දැඩි රැකවල් මධ්‍යයේ රඳවලා තිබෙද්දී මේ විදියට ඔහු සමඟ සම්බන්ධතා පැවැත්වූයේ කොහොමද කියන එක අපි හැමෝටම ප්‍රශ්නයක් වුණා. සිරිපාල රඳවලා හිටියේ පහළම මාලයේ වුණාට ඊට ඉහළින් රඳවලා හිටිය නන්දන මාරසිංහලා අවස්ථාවක් ලැබුණු විගස හයියෙන් කතා කරලා අදහස් හුවමාරු කරගෙන තිබුණා. මේ අදහස් ලැබීම නිසාම තමයි සිරිපාල මරණයට නියම වනවිට වෙනස්ම අදහස් තියෙන පුද්ගලයෙකු බවට පත්වෙලා හිටියේ.   
මට පැවරිලා තිබුණ රාජකාරිය තමයි සිරිපාල බලා ගැනීමට යොදවලා සිටිය නිලධාරීන් නිසි පරිදි රාජකාරි කරනවාද කියා සොයා බැලීම. මොකද මරණ දඬුවම නියම කෙරුණු සිරකරුවෙකු අවසාන මොහොත දක්වා රැකබලාගැනීම ඉතාම බාරදූර රාජකාරියක්. ඔහුට සේවය සපයන නිලධාරීන් හොර රහසේ මොනවා හරි දෙයක් අරන් යනවාද කියා සොයා බැලීමත් මට පැවරී තිබුණා. විශේෂයෙන්ම රාත්‍රි වැඩ මුරය පරීක්ෂා කර බැලීම සිදු කළා. එතකොට බෝගම්බර බන්ධනාගාර අධිකාරිවරයා ලෙස කටයුතු කළේ එච්.ජී. ධර්මදාස මහත්තයා. ඒ කාලයේ ලොකු තදබදයක් බන්ධනාගාරයේ තිබුණේ නැහැ.   


මේ විදියට මරණ දඬුවම් නියම වෙලා හිටිය සිරකරුවන් බලන්න ඥාතීන්ට සතියකට එක දවසක් ලබා දීලා තිබුණා. මට මතකයි සිරිපාල එල්ලා මරණකල්ම රන්මැණිකා ඔහුව බලන්න හැම සතියකම අනිවාර්යයෙන්ම බෝගම්බරට ආවා. මට මතක විදියට රන්මැණිකා කියන්නේ චිත්‍රපටයේ විදියට මාලනී පොන්සේකා වගේ ලස්සන ගැහැනියක් නොවෙයි. ඇය කළු පැහැති ගැහැනියක්. ඇය රූපයෙන් ලස්සන නොවුණාට සිරිපාල ඇයට ඉතා දැඩිව ආදරය කරන්න ඇති. මරණ දඬුවම නියම වෙලා එල්ලලා මරණ තෙක් මාස කීපයක්ම සිරිපාල බෝගම්බර බන්ධනාගාරයේ හිටියා. සිරිපාල එල්ලපු දවසෙත් රන්මැණිකා ඒ මරණ දඬුවම බලන්න ඇවිත් සිටියා.   
සිරිපාල මුලින්ම අපිත් එක්ක එච්චර හිත හොඳින් නොවෙයි හිටියේ. මුලදී අපිත් එක්ක කතා කළේම නැහැ. පසුව මාත් එක්ක තරමක් සුහද වෙලා කතා බහ කරන්න ගත්තා. මම ඔහුට කතා කළේ සිරා කියලා. ඔහු නිතරම කියපු දෙයක් තමයි “මම තොපි අතින් මැරෙන්නේ නැහැ”‍ කියන කතාව. මේ නිසා අපිට ඔහු ගැන විශේෂ අවධානයකින් සිටීමට සිද්ධ වුණා. මොකද ඔහු එල්ලා මරන්න කලින් මොකක් හරි ක්‍රමයකින් සියදිවි නසා ගනී කියන සැකය අපිට තිබුණා. මේ නිසාම නාන්න අවශ්‍යයි කීවාම අපි නාන වතුර ටැංකියේ වතුර බාගයක්ම හිස් කරලා තමයි ඔහුට නාන්න දුන්නේ. මොකද සිරිපාල මරුසිරා විදියට ඒ කාලයේ මුළු රටේම ප්‍රසිද්ධ චරිතයක් නිසාම ඔහුගේ මරණය සිදුවන ආකාරය ගැන එදා මුළු රටම බලාන හිටියා.   
සිරිපාල මාත් එක්ක හිතවත් වුණාට වරක් ඔහු මාත් එක්ක ගැටුමක් පවා ඇතිකර ගත්තා. නමුත් නැවත මාත් සමඟ හිතවත් වුණා. මම එහෙට ගිහින් මාස ගණනාවකට පසුව තමයි ඔහුගේ මරණ දඬුවම ස්ථිරවම තීන්දු වුණේ. සතියක් ඇතුළත එල්ලා මරා දමන ලෙස නියෝගය ලැබුණා.   
ඒ අනුව සිරිපාල එල්ලා මරණ දිනය කෙමෙන් කෙමෙන් ළං වන්නට විය. ඒ 1975 වසරේ අගෝස්තු මස 5 වැනිදාටය. ඔහු එල්ලා මරණ දිනට පෙර දිනයේ කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ සිට ප්‍රධාන අලු‍ගෝසුවා සහ ඔහුගේ සහායකයා බෝගම්බරට පැමිණියහ. සිරිපාල එල්ලා මැරීමේ රාජකාරිය එවකට වැලිකඩ බන්ධනාගාර මූලස්ථානයේ කාර්යාල කාර්ය සහායක ලෙස සේවය කළ ලු‍විස් සිංඤෝට පැවරී තිබුණි.   


සිරිපාල එල්ලා මැරීමට අවශ්‍ය ඔහුගේ බරට සමාන වැලි කොට්ටයක්ද සමඟ මරා දැමීමෙන් අනතුරව වළ දැමීම සඳහා අවශ්‍ය ලී පෙට්ටියක්ද බෝගම්බර සිරගෙදර වඩු මඩුවෙන්ම ඒ වනවිට සාදා නිමකර තිබුණි.   


කෙසේ වුවද සිරිපාල නැතිනම් මරුසිරා ඇත්තටම එදා එල්ලා මරණු ලැබුවාද, නැතිනම් මරා එල්ලා දැමුවාද යන ප්‍රශ්නය එදා සිට අද දක්වාම පිළිතුරු ලැබී නැති ප්‍රශ්නයකි. නමුත් මරුසිරා මරු දැක වසර හතළිස් පහකට පසුව මේ ප්‍රශ්නයට පිළිගත හැකි පිළිතුරක් සැපයීමට පුද්ගලයෙකු අප ඉදිරියේ සිටියි. ඒ අන් කවරෙකුවත් නොව මරුසිරා මියෙන තෙක්ම ඔහු බාරව සිටි එවකට දෙවන පෙළ ජේලර්වරයෙකු වූ රංජිත් ඒකනායක මහතාය. ඔහු මරුසිරා එල්ලා මැරීම සියැසින් දුටු දැනට ජීවතුන් අතර සිටින බන්ධනාගාර නිලධාරීන් කීප දෙනාගෙන් එක් අයෙකි.   


ඒකනායක මහතා සිරිපාල ජීවිතයේ ගත කළ ඒ අවසන් දිනය සම්බන්ධයෙන් තම මතකයන් මෙසේ අවදි කළේය.


එදා අගෝස්තු 4 වැනිදා සිරිපාල රඳවා සිටින මැදිරිය පැයෙන් පැයට සෝදිසි කරන ලෙස අපිට උපදෙස් ලැබී තිබුණා. තොපි අතින් මම මැරෙන්නේ නැහැ කියලා ඔහු නිතරම කියපු කතාව නිසාම අපි නිරන්තරයෙන්ම සිරිපාල ගැන දැඩි අවධානයකින් සිටියා. පස්වැනිදා අලු‍යම එක හමාරට පමණ ඔහු බුලත් විටක් ඉල්ලාගෙන කාලා නිදාගන්න ගොස් තිබුණා. පසුවදාට මරණ දඬුවම ක්‍රියාත්මක වන නිසා සිරිපාල මානසික වශයෙන් දැඩි පීඩාවකට පත්ව සිටින්නට ඇති. මේ නිසාම ඔහු බොහෝ වේලාවක් අවදියෙන් සිට තිබුණා.   
මරණ දණ්ඩනය සඳහා සූදානම් කිරීමට පාන්දරම ඔහු අවදි කරන්න ගිය නිලධාරීන් සමඟ ගියාම මම දුටුවා ඔහු හොඳටම නිදි කියලා. අවදි කරන්න උත්සාහ දැරුවත් ඔහු අවදි වුණේ නැහැ. පසුව වතුර ඉහලා බැලු‍වත් සිරිපාල අවදි වුණේ නැහැ. මේ නිසා අපි හැමෝම හිතුවේ මරණයට බියෙන් ඔහු බොරු රඟපෑමක් කරනවා ඇති කියලයි. සිරිපාල ඇහැරවන්න කොච්චර උත්සාහ ගත්තත් ඔහු හිටියේ ඉතාම තද නින්දක වගේ ස්වභාවයකයි. ඔහුට මේ මොකක්ද වුණේ කියන ප්‍රශ්නය අපිට තිබුණා.   


සිරිපාලගේ මේ හැසිරීම නිලධාරී අපිට බරපතළ ප්‍රශ්නයක් වුණා. නියම කරලා තිබුණු වේලාව බොහෝම ඉක්මනින් ළඟා වෙමින් තිබුණා. මේ නිසා බන්ධනාගාර අධිකාරිවරයා සහ බන්ධනාගාර වෛද්‍යවරයා තීරණය කළා මේ මනුස්සයා ඔසොවාගෙන හරි පෝරකයට අරන් යමු කියලා. ඒ අනුව නිලධාරීන් සිරිපාල එල්ලු‍ම් ගස ළඟට අරගෙන ගියේ ඔසොවාගෙන වගෙයි. උදේ 8.10 ට තමයි එල්ලා මරන්න නියම කරලා තිබුණේ.   

 

  • මම තොපි අතින් මැරෙන්නෙ නෑ කියා නිතරම සිරගෙදරදී කීවා
  • එල්ලා මැරුවත් කොඳු ඇට පෙළට හානියක් වී නැති බව  පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවුණා

 


තදම තද නින්දක වගේ හිටිය නිසා සිරිපාල කෙළින් කරලා තියන්න බැරි වුණා. කෙළින් කරලා තිබ්බ ගමන් පණ නැතිව වගේ ඇදගෙන වැටෙනවා. මේ තත්ත්වය අපිට විශාල ප්‍රශ්නයක් වුණා. මේ මනුස්සයා එල්ලා මරන්න එල්ලු‍ම් ගස ළඟ සිටවලා තියන්න අමාරුයි. නමුත් කුමන ආකාරයට හෝ රජයේ නියමයට අනුව නියමිත වේලාවට ඔහු එල්ලා මැරිය යුතුමයි. මේ නිසා අපි මේකට විසඳුමක් විදියට ලී කොටයක් ගෙනැල්ලා ඒක මත සිරිපාල වාඩි කරවලා තමයි මරණ දඬුවම ක්‍රියාත්මක කළේ. ලු‍විස් සිංඤෝ එල්ලු‍ම් ගහේ ලීවරය ඇද්දාම ලී කොටයයි සිරිපාලයි දෙකම එල්ලු‍ම් ගහෙන් පහළට ඇදගෙන වැටුණා. ඒ විදියට තමයි එදා මරුසිරා එල්ලලා මැරුවේ. පසුව මළසිරුර මහයියාව සුසාන භූමියේ එදාම වළ දැමුවා.... රංජිත් ඒකනායක මහතා වසර හතළිස් පහකට පමණ ඉහතදී තමන් සියැසින් දුටු ඒ ඉතිහාසගත මරණ දඬුවම් පිළිබඳව එසේ විස්තර කළේය.   


එසේනම් මොකක්ද මේ සිරිපාල තද නින්දකට වැටුණු කතාව ...?   


එල්ලු‍ම් ගහට නියම වෙලා ඉන්න සිරකාරයෝ වගේම ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වෙලා ඉන්න සිරකාරයෝ නිරන්තරයෙන්ම දැඩිව මානසික පීඩාවකට ලක් වෙලා ඉන්න පිරිසක්. ඔවුන් බලන්න බන්ධනාගාරයේ වෛද්‍යවරයා ආවාම නිතරම කියන දේ තමයි තමන්ට නින්ද යන්නේ නැහැ කියන කතාව. මේ නිසා වෛද්‍යවරයා ඔවුන්ට නියම කරනවා “ලාගටිල්”‍ කියන පෙත්තක් රාත්‍රියට බොන්න දෙන්න කියලා. ඒ බෙහෙත් පෙති දෙන්නේ එදාට සිරමැදිරය බාරව සිටින පිරිමි හෙද නිලධාරියා අතටයි. ඔහු තමයි වෛද්‍යවරයා නියම කරන සිරකරුවන්ට පමණක් එම ඖෂධය ලබා දෙන්නේ.   


හරිනම් ඒ බෙහෙත දීලා එය සිරකරු බොනකල් හෙද නිලධාරියා බලා සිටිය යුතුමයි. නමුත් එදින රාත්‍රියේ ඒ දෙය නිසියාකාරව සිදුවෙලා නැති බව අපට පසුව අනාවරණය වුණා. සිරිපාල දිගටම තමන්ට ලැබුණු ලාගටිල් කියන නිදි පෙති ටික එකතු කරලා එකවර බීලා සියදිවි හානි කරගන්න තියාගෙන ඉන්න ඇති. එහෙමත් නැතිනම් ඔහු එම ටික කාලයට සමීපව ඇසුරු කරපු නන්දන මාරසිංහලා අනික් සිරකරුවන්ට ලබා දුන්න ලාගටිල් පෙත්ත ඉතා සූක්ෂමව එකතු කරලා සිරිපාල අතට පත් කරන්න ඇති. මේ කාරණා දෙකෙන් එකක් අනිවාර්යයෙන් සිද්ධ වෙන්න ඇති කියලා මට හොඳටම විශ්වාසයි. මොකද සිරිපාලට දැඩි අවශ්‍යතාවක් තිබුණා බන්ධනාගාර නිලධාරීන් අතින් මරණයට පත් නොවන්න.   
ඒ වගේම නිලධාරීන්ගේ අවසරය මත සිරිපාල හිරගෙදර සුරතලයට පූසෙක් ඇති කළා. මේ පූසාගේ බෙල්ලේ ගැටගසා තිබුණු පටියක ඔහු මේ පෙති සඟවා තිබූ බවත් මෙහිදී කියැවුණු තවත් කතාවක්. නමුත් එක දෙයක් ස්ථීරවම කියන්න පුළුවන්. තොපි අතින් මම මැරෙන්නේ නැහැ කියන කතාව ඒ විදියටම ඉෂ්ට කර ගන්න සිරිපාල ඒ නිදි පෙති බීලා දැඩි නිද්‍රාවකට පත් වෙලා සිටින්න ඇති කියලා. මේ නිසා තමයි රට පුරාම ප්‍රසිද්ධ වුණේ මේ දරුණු අපරාධකාරයා එල්ලා මරන්න කලින් ගහලා මරලා ඉන් පසුව එල්ලා මැරුවා කියන කතාව. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍ය කතාවක්. මොකද සිරිපාල බෝගම්බර සිටි කාලයේදී කිසිම ආකාරයට දරුණු විදියට හැසිරිලා නැහැ. අනෙක ඔහුට ගහලා පළිගන්න නිලධාරීන් කාටවත් අවශ්‍යතාවයක් තිබුණෙත් නැහැ. ඇත්තෙන්ම සිරිපාල ටික කාලයක් සමීපව ඇසුරු කරන්න ලැබුණු නිසා ඔහුගේ මරණය මගේ සිතටත් විශාල දුකක් ගෙන දුන්නා. ඒ දුක අදටත් මගේ සිතට දැනෙනවා..රංජිත් ඒකනායක මහතා හැඟු‍ම්බරව පැවසීය. 

 
රංජිත් ඒකනායක මහතා එදා තමන් සියැසින් දුටු දේ අප සමඟ එසේ පැවසුවද තමන්ට ඇත්තටම සිදු වූයේ කුමක්ද කියා දන්නේ සිරිපාල පමණි. සිරිපාලගේ මරණය සම්බන්ධයෙන් ඇතිව තිබූ මේ ගැටලුකාරී තත්ත්වය නිසාම එල්ලා මැරීමෙන් පසුව වළ දමන ලද ඔහුගේ මළසිරුර නැවත ගොඩට ගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමටද එවකට පැවති රජයට සිදු විය. එම පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ එල්ලා මැරුවද සිරිපාලගේ කොඳුඇට පෙළට හානියක් සිදුව නැති බවය.   


එසේනම් ඔහු මියගියේ කෙසේද? මේ ප්‍රශ්නයට පිළිගත හැකි සත්‍ය පිළිතුරක් ඇත්තේ කා අතද? එසේ නොවන තාක් කල් හැටේ දශකයේ ලංකාවම හෙල්ලූ මරුසිරා නම් වූ මේ දරුණු අපරාධකරුවාගේ මරණ දඬුවම ඉදිරියට ද ප්‍රශ්නාර්ථයක්ම වනු ඇත.   
(තොරතුරු සපයා ගැනීමට සහාය වූ මහනුවර ගලගෙදර ඩබ්ලිව්.එන්.එස්. වීරසේකර මහතාට ස්තුතිය)

 

 

සටහන සහ සේයාරූ :
පුෂ්පකුමාර ජයරත්න