මාධ්‍යයට වීරසිංහයෙක් වූ සමන් චන්ද්‍රනාත් වීරසිංහ


  • බොහෝ විට ලංකාදීප මුල් පිටුව සැකසීම සිදුවූයේ ඔහු අතිනි. අප විසින් ලියාදෙන පුවත් සහ ලිපි සංස්කරණය කිරීම ඇතැම් විට මුළුමනින්ම ඔහු විසින් සකස් කරනු ලැබීය. එසේ සැකසීමේදී එය ලියූ ලේඛකයා තමා ළඟට කැඳවා ඒවායේ හරි වැරදි පෙන්වා දෙන්නේ ගුරුවරයෙකු ලෙසිනි.
  • සේවකයන්ට සිදුවන ඇතැම් අසාධාරණ සිදුවීම්වලට පාලක පක්ෂය සමග ගැටුම් ඇතිකර ගැනීම ද සමන්ගේ සිරිතය. මේ නිසා ඔහු පාලක පක්ෂය විසින් දෝෂ දර්ශනයට ලක්වූ අවස්ථා ඕනෑ තරම්ය.

 

දශක හයක පමණ කාලයක සිට මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයට මහඟු සේවාවක් සිදුකළ පුවත්පත් කලාවේදියෙකු සහ ගීත රචකයෙකු වූ සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් පසුගිය සඳුද‌ා අප අතරින් වියෝ විය. කලා ලොවින් ඔහු සමුගෙන ගියේ හැත්තෑහතර වන වියේදීය. ශ්‍රී ලංකාවේ පැරණිම පුවත්පත් ආයතනය වූ එවකට ටයිම්ස් ආයතනය මගින් ප්‍රකාශයට පත් කළ ලංකාදීප පුවත්පත ඔහුගේ නිජභූමිය විය. පාසල් වියේ සිට සිය පියා වූ විමල් වීරසිංහයන් සමග ලංකාදීප කාර්යාලයට පැමිණි සමන් පසු කලෙක එහි කතුමඩුල්ලට බැඳුණේ ඔහුගේ සහජ දක්ෂතාවන් ඉස්මතු කරමිනි.


පැරණි ලංකාදීප, මාධ්‍යවේදීන් වූ ඩී.බී. පෙරමුණේ තිලක, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, චන්ද්‍රරත්න මානවසිංහ, චන්ද්‍ර ශ්‍රී කුලරත්න, සමන් තිලකසිරි, පී.ආර්. වික්‍රමසිංහ, පියරත්න හේරත් වැනි කර්තෘ මාණ්ඩලිකයන් සමග උරෙන් උර ගැටී හරි හරියට ලියන්නට එවකට තරුණ ලේඛකයෙකු වූ සමන්ට හැකියාව තිබිණි.


1969 දෙසැම්බර් මාසයේදී ප්‍රථම වරට ලංකාදීප කර්තෘ මාණ්ඩලිකයෙකු වූ සමන්ට 1984 වනතුරු ලංකාදීපයට කඩින් කඩ එකතු වීමද විශේෂත්වයකි. එයට ප්‍රධාන හේතුවක් වූයේ ලංකාදීපය කීප වතාවක්ම දේශපාලන බලවේගවලට යටත් වීමය. අයුක්තිය සහ අසාධාරණය දුටු විට නයෙකු මෙන් කිපෙන සමන් චන්ද්‍රනාතයන් ප්‍රථම වරට ලංකාදීපයෙන් ඉවත්වූයේ 1975 වසරේදීය. එවකට පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය යටතේ ඔහු ඉවත් කරනු ලැබීය.


සුළු කලකට පසු යළිත් ඔහු ලංකාදීප කර්තෘ මණ්ඩලයේ සේවයට බැඳී සිටි සමන් නැවත වතාවක් 1984 වසරේදී එවකට දැරූ සහකාර කර්තෘ ධුරයෙන්ද ඉවත් වූයේ මුළු මහත් ටයිම්ස් ආයතනය වසා දැමීමට ඉතා සුළු කාලයකට පෙරදීය. ඒ වන විට ටයිම්ස් ආයතනය රජයට පවරා ගත් ආයතනයක් වූ අතර එය පාලනය කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂ රජය යටතේය.


රජයේ පාලනය යටතේ තිබුණ ද ප්‍රවෘත්ති සංස්කරණයේදී ඔහුට දේශපාලන පක්ෂ පාට ගැටලුවක් නොවීය. වාර්තාකරුවන් සහ මාණ්ඩලික ලේඛකයන් විසින් ලියන ලද පුවත් සහ ලිපි වලට ඔහු සිරස්තල යොදනු ලැබුවේ කිසිවෙක් ආරක්ෂා කිරීමට නොබැඳි පිළිවෙතක් අනුවය. මේ කෘතහස්ත පුවත්පත් කලාවේදියා මට ඇසුරු කිරීමට ලැබුණේ හැත්තෑවේ දශකයේදීය. ඒ වන විට ඔහු ලංකාදීප කර්තෘ මණ්ඩලයේ ප්‍රධාන උප කර්තෘවරයා විය.


බොහෝ විට ලංකාදීප මුල් පිටුව සැකසීම සිදුවූයේ ඔහු අතිනි. අප විසින් ලියාදෙන පුවත් සහ ලිපි සංස්කරණය කිරීම ඇතැම් විට මුළුමනින්ම ඔහු විසින් සකස් කරනු ලැබීය. එසේ සැකසීමේදී එය ලියූ ලේඛකයා තමා ළඟට කැඳවා ඒවායේ හරි වැරදි පෙන්වා දෙන්නේ ගුරුවරයෙකු ලෙසිනි. එහෙත් ඇතැම් විට ඔහුගේ අවවාද මහ හඬින් ප්‍රකාශ කිරීම නිසා ඇතැම් ලේඛකයෝ ඔවුන්ගේ ලිපියක් සංස්කරණය කරනු දුටු විගස ඔහු අසලට නොපැමිණ සිටීමට උත්සාහ ගත්හ. ඒ අන් කිසිවක් නිසා නොව මුළු කර්තෘ මණ්ඩලයටම ඇසෙන පරිදි ඒවායේ ඇති වැරදි මහ හඬින් පෙන්වා දීම නිසාය.


සිංහල භාෂාව ව්‍යාකරණ සහිතව යෙදුම් පළකිරීමට සමන් හැම විටම උත්සාහගත්තේය. ලේඛකයෙකු හෝ උපකර්තෘවරයෙකු මගින් වැරදි යෙදුමක් පත්‍රයේ පළ වී තිබුණහොත් පසුදින උදේ එය කියවා තදින්ම විවේචනය කිරීම සමන්ගේ සිරිතය. ඕනෑම අප්‍රාණික සිරස්තලයක් පණ පොවා ආන්දෝලනාත්මක සිදුවීමක් ලෙස ඉදිරිපත් කිරීමට ද සමන් රුසියෙකි.


මා ලංකාදීපයේ සේවයට පැමිණි පසු එවැනි අත්දැකීම් රැසක් ලැබිණි. එවැනි උද‌ාහරණ ඕනැ තරම් තිබේ. වරක් අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධ මා විසින් ලියූ ලිපියක් සංස්කරණය කිරීම සමන් අයියා අතින් සිදුවිය. එම පුවතින් මා ලියා තිබුණේ ගුරුවරුන් කොතෙක් සිටීදැයි අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම අසීරු වී ඇති බවය. එය සැකසූ සමන් අයියා එයට යෙදූ සිරස්තලය ආන්දෝලනයකට තුඩු දුන්නේය. ඔහු විසින් යෙදූ සිරස්තලය වූයේ ‘රටේ ගුරුවරුන් කොතෙක් සිටීදැයි අමාත්‍යාංශය නොදනී’ යනුවෙනි. මෙය පළවන විට අධ්‍යාපන ඇමැතිවරයා වූයේ ආචාර්ය නිශ්ශංක විජේරත්නය.


පුවත පළවූ දිනට පසු දින උදේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරිහු එම පුවතට විරුද්ධව අවි අමෝරා ගත්හ. එමගින් අමාත්‍යාංශයට බලවත් අප කීර්තියක් සිදුවූ බැව් ඔවුන්ගේ මතය විය. සමන් අයියා එයට කදිම පිළිතුරක් ලබා දුන්නේය. එම පුවතින් අමාත්‍යාංශයට අපකීර්තියක් සිදුවී ඇත්නම් හරියටම ගණනය කර ගුරු පිරිස කොතෙක්දැයි ගණනය කර ලබා දෙන ලෙස යළිත් පුවතක් පළකළේය. අප කීර්තියේ පුවත එතනින් නිමාවට පත්විය.


සේවකයන්ට සිදුවන ඇතැම් අසාධාරණ සිදුවීම්වලට පාලක පක්ෂය සමග ගැටුම් ඇතිකර ගැනීම ද සමන්ගේ සිරිතය. මේ නිසා ඔහු පාලක පක්ෂය විසින් දෝෂ දර්ශනයට ලක්වූ අවස්ථා ඕනැ තරම්ය. ලංකාදීපයෙන් සමුගත් සමන් චන්ද්‍රනාතයන් ඊළඟට එක්වූයේ දිනමිණ කර්තෘ මණ්ඩලයටය. ඔහු උප කර්තෘවරයෙකු ලෙස සේවය කරද්දී මම ද එහි උප කර්තෘවරයෙකු ලෙස සේවය කළෙමි. ඔහු දිනමිණ කර්තෘ මණ්ඩලයට එක්වී සිටියදී ඔහුගේ සමකාලිනයන් වූයේ තිලකරත්න කුරුවිට බණ්ඩාර, බිනෝයි සුරේන්ද්‍ර, තිස්ස එදිරිසිංහ, පුෂ්පා රොවෙල් යන මාධ්‍යවේදීන්ය. අනතුරුව ඔහු සිළුමිණ පුවත්පතේ සම කර්තෘවරයෙකු ලෙසත් ජනතා පත්‍රයේ උප කර්තෘවරයකු ලෙසත් කලක් සේවය කළේය.
මෙහි සඳහන් කරන ලද්දේ ඔහුගේ මාධ්‍ය ජීවිතයේ පුවත්පත් කලා දිවිය ගැන කෙටි හැඳින්වීමක් පමණි. මීට අමතරව ඔහු අතිදක්ෂ ගීත රචකයෙක් ද විය. ගීත රචනය කිරීම නිසා ද සමන්ට පක්ෂ පාට භේදවලට ද ඈඳුණු අවස්ථා තිබේ. මීට වසර කීපයකට උඩදී සමන් අයියා හමුවූ අවස්ථාවකදී ඔහු ලියූ ගීත දේශපාලන බලපෑම්වලට ලක්වීම පිළිබඳව විමසුවෙමි. එම ප්‍රශ්නවලට සමන් අයියා එදා දුන් පිළිතුරුත් ඔහුට ඉදිරිපත් කළ ප්‍රශ්නත් ඒ අයුරින්ම මෙහි ඇතුළත් කළ හැකිය.


ඔබේ ගීත රචනාවලදී දේශපාලනයට සම්බන්ධ ගීත නිර්මාණය වූ බවක් සඳහන් වෙනවා.


‘‘ඔව් ඇතැම් විට විවිධ දේශපාලන, පක්ෂවලට සම්බන්ධව ඇතැම් දේශපාලකයන් ගීත නිර්මාණය කර දෙන ලෙස ඉල්ලීම් කළා. ඒ අනුව මා නිර්මාණය කර දුන් ගීත කීපයක් නිසා මාව දේශපාලන පක්ෂ පාටවලට ඈඳුවා. මේ නිසා ඇතැම් විට මා විවේචනයට ලක්වුණා.’’


ඔහුගේ ගීත නිර්මාණවලට වැඩි වශයෙන් ද‌ායකත්වය ලබා දුන්නේ සරත් දසනායකයන්ය. පුවත්පත් කලාවේදියෙක් ලෙස ජීවිතය ආරම්භ කළ සමන් පසු කලෙක වඩාත් ප්‍රචලිත වූයේ ගීත රචකයෙකු ලෙසය. ඔහු විසින් ලියනු ලැබූ ගීත සිය ගණනක් පසුගිය දශක ගණනක සිට ගුවන් විදුලිය සහ විවිධ වැඩසටහන් ඔස්සේ ප්‍රචාරය කැරිණි.
තරුණ කලාකරුවන් රැසක් ‘‘සමන් අයියා’’ යනුවෙන් ඇමතූ සමන් චන්ද්‍රනාත් වීරසිංහ නම් මෙම ශ්‍රේෂ්ඨ කලාකරුවා අද අප අතර නැත. එහෙත් ඔහුගේ කලා නිර්මාණ ලොව පවතිනතාක් සදාකාලිකව පවතිනු ඇත. සමන් චන්ද්‍රනාත් කලාකරුවාණනි, සමන් අයියා යනුවෙන් යළි කිසි දිනෙක ඔබ ඇමතීමට නොලැබුණත් පුනර්භවයක් මගින් හෝ යළි අප අතර ඉපදීමට හේතු වාසනා වේවා! යි අපි පතන්නෙමු.

 

 

තිස්ස ජයවර්ධන