මැයි මාසයේ වැඩිම ජල වාෂ්ප පිටකරන ‘ඇසතු’ ගස


ගසක කතාව

 

 එංගලන්තයේ හත් වැනි එඩ්වඩ් රජතුමා විසින් සිටුවා ඇති බෝ ගස   

 

 

ග්‍රහ අපල, ලෙඩ දුක් දුරු කිරීම, විභාග ජය ගැනීම, ගැබිණි මව්වරුන්ට යහපත් දරුවෙකු ලබා ගැනීමේ අරමුණෙන් පමණක් නොව විවිධ උපද්‍රව වලින් ආරක්ෂා වීම සඳහා බෝධි පුජා පවත්වනු ලැබේ. නැතිනම් බෝ ගසක සමීපයේ, ටික වේලාවක් ගත කිරීමට බොහෝ දෙනෙක් කැමතිය. ඊට ප්‍රධාන හේතුව නම්, සිද්ධාර්ථ කුමාරයාට බුදු වීමේ දී පිහිට වූයේ බෝ ගසක් වීමය. ඒ අනුව ජය ශ්‍රී මහා බෝධියෙහි දක්ෂිණ මහා ශාඛාවේ අතු ශාඛා මෙරට බොහෝ වෙහෙර විහාරස්ථාන වල දක්නට ලැබේ. එබැවින් බෞද්ධ ජනතාව බෝධි පූජා පවත්වනු ලබන්නේ විශාල භක්තියකිනි. ගෞරවයකිනි. ඉන් පැතුම් ඉටු වී, සිතට සහනයක් ලැබෙන බව ඔවුහු විශ්වාස කරති.   


මේ ආකාරයෙන් මිනිසා ගේ ජීවිතයට ඉතා සමීප බෝ ගස, මැයි මාසය උදාවත් සමග ම, කතා බහ කරන මාතෘකාවක් බවට පත් වී තිබේ. ඒ නිසා “ගසක කතාවක් ”යටතේ මෙවර බෝ ශාකය ගැන සොයා බැලීමට අදහස් කළෙමු.   


මොරේසියේ ශාක කුලයට අයත් බෝ ගසට නැතිනම් බෝධියට කියන තවත් නමක් වනුයේ ඇසතුය. පත්‍ර ගෝලාකාර හෝ හෘදයාකාරය. පත්‍ර වල දළු රන්වන් පැහැතිය. පත්‍ර නාරටි පැහැදිළි ලෙස පිටතට නෙරා ඇත. ශාකය කිරි සහිතය. දැන් ප්‍රශ්නයක් ඇති වේවි, බෝ ගසට, ඇසතු ගස කියන්නේ ඇයි කියා. බුදු රජාණන් වහන්සේ පහළ වීමටත් පෙර සිටම අඹ, කොස්, ආදී වශයෙන් ගස් පිහිටා තිබුණි. නමුත් බෝ ගස එදා ඒ නමින් හැඳින් වූයේ නැත. බෝ ගසට එදා කීවේ ඇසතු ගස කියායි. සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් පහළ වන කාලයේදී, එවකට තිබෙන සුදුසුතම ශාකයට කිසියම් ශක්තියක් අන්තර් ගත වේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ පහළ වන කාලයේ ඒ ශක්තිය තිබුණේ ඇසතු ගසටයි. අතු විහිදී වැඩෙමින් සෙවන ලබා දෙයි. විස, කටු සහිත පත්‍ර හෝ අතු මෙහි දක්නට ලැබෙන්නේ ද නැත. සිද්ධාර්ථ කුමාරයා නැතිනම් සිදුහත් තවුසා ඇසතු ගස බුදුවීමට තෝරා ගන්නේ ඒ නිසාය. අවසානයේ ඇසතු ගස මුලදී සිදුහත් තවුසා බුද්ධත්වයට පත් විය. බුද්ධ යනු බව උදුරා දැමීමයි. “බව” උදුරා දැමීමට උපකාර කළ ශාකය බෝ ගස වුණා යැයි ව්‍යවහාරයේ පවතී.   
සිදුහත් තවුසා බුද්ධියේ ඉහළම අර්හත් ඵළ මාර්ගය ලබන්නේ මේ බෝධිය සෙවනේදී ය. ඒ නිසා මෙම ශාකය බෝ ගස නැතිනම් බුද්ධියේ ගස ලෙස ද හඳුන්වයි.   

 

  • බෝධීන් වහන්සේ මුහුදෙන් වැඩමවීමේදී නාගලෝකයට රැගෙන ගොස් සතියක් පුරා බෝධි පුජා පැවැත් වූ අතර, සංඝමිත්තා තෙරණින් වහන්සේ ගුරුළු වෙසක් මවාගෙන ගොස් බෝධීන් වහන්සේ නැවත භාරගෙන දේවානම් පියතිස්ස (දෙවන පෑතිස්) රජතුමාට භාර දීමෙන් පසු, එතුමා බෝධිය රෝපණය කළ බවත්, එකෙණෙහි ම සියල්ලන් බලා සිටියදී ම, සතර රියනක් පමණ උස බෝ පැළ අටක් මතු වූ බවත් මහා වංශයේ සඳහන් වේ. ඒ අෂ්ඨ ඵළ බෝධින් වහන්සේලාය. 


බුදු රජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ දී, අධිෂ්ඨාන පහක් සිදු කළ සේක. එනම්, ධර්මාශෝක රජතුමා රන් පාත්‍රයක් රැගෙන, ජය ශ්‍රී මහා බෝධිය ළඟට ගිය පසු, එහි දකුණු ශාඛාව ඉබේම ගැළ වී, පිහිටන ලෙසත්, ඉන් අනතුරුව අහසට පැන නැගී දෙව් බමුනණ්ට වන්දනා මාන කිරීමට අවස්ථාවක් ලැබෙන අතර, පසුව එම බෝධියෙන් බුදු රැස් මාලාවක් විහිදී, අනුරාධපුර මහා මෙවුනා උයනේ රෝපණය වෙන බවය. එපමණක් ද නොව ථූපාරාම චෛත්‍යයේ දකුණු අකුධාතු පිහිටන දවසේ යමක ප්‍රාතිහාර්ය පා, ද්‍රෝණයක් පමණ ධාතු රුවන් වැලි මහා සෑයෙහි පිහිටා සර්වඥ වේශය මවා ගෙන ආකාශයට පැන නැගී යමක ප්‍රාතිහාර්ය පාන බවත්ය. ඒ බව මහා වංශයේ ද සඳහන් වේ. 


බෝධීන් වහන්සේ මුහුදෙන් වැඩමවීමේදී නාගලෝකයට රැගෙන ගොස් සතියක් පුරා බෝධි පුජා පැවැත් වූ අතර, සංඝමිත්තා තෙරණින් වහන්සේ ගුරුළු වෙසක් මවාගෙන ගොස් බෝධීන් වහන්සේ නැවත භාරගෙන දේවානම් පියතිස්ස (දෙවන පෑතිස්) රජතුමාට භාර දීමෙන් පසු, එතුමා බෝධිය රෝපණය කළ බවත්, එකෙණෙහි ම සියල්ලන් බලා සිටියදී ම, සතර රියනක් පමණ උස බෝ පැළ අටක් මතු වූ බවත් මහා වංශයේ සඳහන් වේ. ඒ අෂ්ඨ ඵළ බෝධින් වහන්සේලාය.   


එම බෝ පැළ, දඹකොළ පටුන (ජය ශ්‍රී මහාබෝධින් වහන්සේ ලංකාවට වැඩමවන ලද්දේ යාපනයේ, මෙම ස්ථානයෙනි.) තිවක්ක නම් බ්‍රාහ්මණ ගම, ථූපාරාමය, කසුන්ගිරි වෙහෙර, ප්‍රථමක චෛත්‍ය, සෑගිරිය, රෝහණ ජනපදයේ කදරගම, සඳුන් ගම ආදී ප්‍රදේශයන්හි විහාරස්ථාන වල රෝපණය කර ඇත.   


ඉන් පසු එම බෝධින් වහන්සේලා ගෙන් තවත් බෝ පැළ තිස් දෙකක් උපන් අතර, එය දෙතිස් ඵල රුහ මහා බෝධින් වහන්සේලා වශයෙන් හැඳින්වේ. එම බෝධින් වහන්සේලා ද, මෙරට විවිධ ප්‍රදේශ වල රෝපණය කර තිබේ. එම ප්‍රදේශ නම් මල් වැස්සා වෙහෙර, ත්‍රිකුණාමලය, මහා ජල්ලික, කොට්ටියාර්මැද, පොළොන්නරුව, මාතලේ, රයිගමැද, රුහුණුරට, මාගම, විල්වලැද, මහියංගණය, සේරුවිල, ඌව බදුල්ල මුතියංගණය, බුත්තල හප්පෝරු, රුහුණු රට, සිතුල්පව්ව, පරාගොඩ, මැද්දේගම, ගණේගම, කොත්මලේ සුපුල්පිටිය, මායාරට, බෙලිගල, බෙල්ලන්විල, වඳුරව වට්ටාරම, සුලුගල්ල, රැස්වේරුව, කටියාව, යාපවු සුන්දරගිරි පවුව, කසාගලු, අඹවල ආදී රජ මහා විහාරස්ථානයන්හි රෝපණය කර, දක්ෂිණ මහා බෝධි ශාඛාවෙන් සතළිස් ඵල රුහ බෝධින් වහන්සේලා, දේවානම් පියතිස්ස රජතුමා විසින් පිහිටුවන ලදී.   


අනෙකුත් ශාක හා සැසඳීමේ දී, කාබන්ඩයොක්සයිඩ් උරාගැනීමේ වේගය වැඩි ශාක අතරින් එකකි. මින් අදහස් වන්නේ මිනිසුන් විසින් පිටකරන කාබන්ඩයොක්සයිඩ් වාතය උරාගෙන ඔක්සිජන් ලබා දීමේ දී අනෙකුත් ශාකයන්ට වඩා ඉදරියෙන් සිටින බවය. උද්‍යාන විද්‍යාත්මකව බඳුන්ගත ශාකයක් රැගෙන ආ ප්‍රථම අවස්ථාව ලෙස ද, ඉතිහාසගත වී අවසන්ය.   


සාමාන්‍යයෙන් සියලුම ශාක වර්ග පොළොව යට ඇති මුල් වලින් ලබා ගන්නා ජලය ශාක පත්‍ර මගින් වායු ගෝලයට පිට කෙරේ. මෙම ක්‍රියාවලිය සිදු කරන ශාක අතුරින් වැඩියෙන්ම ජල වාෂ්ප වායුගෝලයට පිට කරන්නේ ඇසතු ශාකයයි. ඊට හේතුව වන්නේ එහි ඇති පත්‍ර තරමක් විශාලව සහ අග සිහින්ව පිහිටා තිබීමය. එසේ වුවත් ජලය බැස යන තැනක මෙම ශාකය හොඳින් හැදෙන බැවින් ජලය රැදෙන ස්ථාන වල රෝපණය කරන්නේ නැත. එම නිසා බෝධිපුජා වලදී ජලය වැඩිපුර යෙදීම සුදුසු නොවේ. එපමණක් නොව කිරි, තෙල් වැනි ද්‍රව්‍ය ශාකය මුලට යෙදීම ද සුදුසු නැත.   


තවත් වැදගත් කරුණක් වන්නේ බෝධි ප්‍රකාර සෑදීමේදි, ශාකය වටේට එහි මුල් කැපී යන ආකාරයෙන් පොළොව යටට කාණු කපා බැමි සෑදීමය. මෙය සුදුසු තත්ත්වයක් නොවේ. ඒ නිසා බෝධිය වටේට කණු හතරක්, හයක් නැතිනම් අටක් සාදා සම්බන්ධකර ඒ මත බැමි ගොඩනංවා, බෝධි ප්‍රකාරය සාදා ගන්නේ නම්, මුල් වලට නිදහසේ දිව යාමට අවස්ථාවක් ලැබී, ශාකය හොඳින් වැඩෙනු ඇත. බෝධිය වටේට සිවුරු ඇන්දීම, අතු වල කොඩි එල්ලීම, පඬුරු ගැට ගැසීම ද සුදුසු නොවේ. විශේෂයෙන් ම බෝධිය හා සිවුර අතර කොටසේ, කුඩා සතුනට, ක්ෂුදා ජිවීන්ට රැඳී ශාකයට හානි කිරීමට එමඟින් අවස්ථාවක් ලැබෙන්නේය.   
ඇසතු ශාකයෙන් වසරේ ජල වාෂ්ප වැඩියෙන්ම පිටකරන මාසය, මැයි නැතිනම් වෙසක් මාසය බවත්, වෙසක් මාසයේ වැඩිම ජල වාෂ්ප ප්‍රමාණයක් පිටකරන දිනය, පුර පසලොස්වක දිනය බවත් සඳහන් වේ.   
ඊට අමතරව ලංකාවට වැදගත් වෙන්නේ, පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යාන සිහිවටන ශාක ගොන්නේ පළමුව සිටුවා ඇති ගස නිසාය. නැතිනම් පැරණිතම ශාකය වශයෙන් එහි පවත්වා ගෙන යන නාම ලේඛනයේ සඳහන් කර ඇත්තේ “බෝ” ගසකි. ඒ සිහිවටන ශාක සීයකට වඩා වැඩි සංඛ්‍යාවක් අතුරිනි.   


දෙවැනි ලෝක යුද්ධය පැවති කාලයේ අග්නිදිග ආසියාවේ උත්තරීතර සේනාධිනායක ලුවී මවුන්ට්බැටන් ආදිපාදවරයා පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ පවත්වා ගෙන ගිය යුද්ධ මුලස්ථානය ඉවත් කිරීමෙන් පසු විශාල පිට්ටනියක් සාදා එහි වටේට කාලයක් පවතින ශාක සිටුවීමට එවකට සිටි නිලධාරින් කටයුතු කර තිබේ.   


මේ වනවිට සිහිවටන ශාක ගොමුවේ බෝ ගස් දෙකක් දක්නට ලැබේ. ඉන් එකක් සිටුවා ඇත්තේ ක්‍රි.ව 1875 වසරේදි එංගලන්තයේ හත් වැනි එඩ්වඩ් රජතුමා විසිනි. අනෙක් ගස 1993 ජනවාරි මස 21 දින තායිලන්තයේ ඔටුන්න හිමි රාජෝත්තම මහා වජිරලන්කොත් කුමාරයා විසින් සිටුවා ඇත. මෙම ගස් දෙකම ෆිකස් කුලයට අයිති වුවත්, නියම බෝ ගස (Ficus Religiosa) ලෙස සළකන්නේ එඩ්වඩ් රජතුමා විසින් සිටුවා ඇති බෝ ගසයි. මෙහිදී තවත් වැදගත් කරුණක් සඳහන් කළ යුතුව තිබේ. එනම් එඩ්වඩ් රජතුමා මෙම ශාකය සිටුවා ඇත්තේ රජ වීමට පෙර කුමාරයෙක් වශයෙන් ලංකාවට පැමිණි අවස්ථාවේ දී ය.   


එඩ්වඩ් කුමාරයා බෝ පැළය සිටුවන කාලයේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත්තේ ආචාර්ය ත්වේට්ස් ය. සිහිවටන ශාක සිටුවීම ආරම්භ කරමින් ප්‍රථම ශාකය ලෙස බෝ ගස තෝරා ගෙන තිබෙන්නේ මෙරට බෞද්ධ රටක් වීම සහ බෞද්ධයන් විසින් උතුම් කොට සළකන ශාකයක් වීම නිසාය. මෙම ශාකයේ එක පැත්තක් මැරීගෙන යන විට අනෙක් පසින් දළු දමා අතු වැඩෙමින් දිගු කාලයක් ජීවත් වේ. මෙයින් අදහස් වන්නේ ලෙහෙසියෙන් බෝ ශාකය විනාශ කළ නොහැකි බවය. තවද ශාකය විශාල ඉඩක විහිදී පැතිරී යාමත්, ඒ නිසාම සිසිලස සහ සෙවන ලබා දීමත් විශේෂයෙන් ම සඳහන් කළ යුතු කරුණකි.   
ස්තුතිය - වැලිගොඩපොළ පිරිවෙනේ ආචාර්ය කොළුගල ඤාණරතන හිමිට සහ, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් හා හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්ය සිරිල් විජේසුන්දර, හිටපු උද්‍යාන අධිකාරි හෙන්රි රාජපක්ෂ යන මහත්වරුන්ට.   

 

 

 

සටහන සහ ජායාරූප 
සිසිර කුමාර බණ්ඩාර