මිතුරු වෙස් ගත් සතුරු උවදුර මයික්‍රෝ ප්ලාස්ටික් වසංගතය



අපට ඒවා පෙනෙන්නේ නැහැ. අපට ඒවා දැනෙන්නේ නැහැ. ඒත් ඒවා හැමතැනම. මේ කියන්නේ ත්‍රාසජනක, බිහිසුණු විද්‍යා ප්‍රබන්ධයක් ගැන නොවේ. මෙය එසේ විද්‍යා ප්‍රබන්ධයක් වූවා නම් හොඳය. මෙය අප අසන්නට අකමැති යථාර්ථයයි. අප මේ කතා කරන්න සූදානම් වෙන්නේ පියවි ඇසට නොපෙනෙන මයික්‍රෝ ප්ලාස්ටික් එසේත් නැතිනම් ක්ෂුද්‍ර ප්ලාස්ටික් ගැනය. 

අප පොළොවේ පස්වලත්, අපට ජීවය දෙන ජලයේත්, අපට හුස්ම දෙන වාතයේත්, මයික්‍රෝ ප්ලාස්ටික් අඩංගු වෙයි. වලාකුළුවලත් මයික්‍රෝ ප්ලාස්ටික් ඇත. එපමණක් නොවෙයි; අප සිරුරුවලත් මයික්‍රෝ ප්ලාස්ටික් අඩංගු වෙයි. අපගේ පෙණහලු‍වල, අපගේ හෘදයේ, අපගේ මළපහවල පමණක් නොව, අපගේ නහරවල දිවෙන ලේවලත්-මයික්‍රෝ ප්ලාස්ටික් අඩංගු වෙයි. දැන් විද්‍යාඥයන් කළ නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ, අපගේ මොළයේත් මයික්‍රෝ ප්ලාස්ටික් අංශු අඩංගු වන බවය. මෙය කිසිසේත් සුළුකොට තැකිය නොහැකිය. මේ වෙනවිට, ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් අනතුරු ඇඟවීමක්ද කර ඇත්තේ මේ නිසාය.

මරණයකට වඩා බිහිසුණු දේ කුමක්ද? මරණයකට වඩා බිහිසුණු දේ දුක් වේදනා විඳිමින් අන්ත අසරණ වී සිදුවන මරණයයි. මොළයේ මයික්‍රෝ ප්ලාස්ටික් තිබීම, ගැටලු‍ ගණනාවකට හේතු වෙයි. මොළයේ සහ ඔබගේ සිරුරේ ඇති මයික්‍රෝ ප්ලාස්ටික් අංශු ඔබට මරණය ගෙනෙන්නේ එසැණින් නොවෙයි; මෙය අප බිය විය යුතු කරුණකි. මොළයේ මයික්‍රෝ ප්ලාස්ටික් අංශු තිබීම යනු ස්නායු ආබාධ රැසකට මුල පිරීමකි. ඇල්සයිමර් සහ පාර්කින්සන් වැනි රෝගී තත්ත්වයන් උත්සන්න කිරීමකි.

මයික්‍රෝ ප්ලාස්ටික් යනු මොනවාද? මයික්‍රෝ ප්ලාස්ටික්වලට නිරාවරණය නොවීමට නම් කළ යුත්තේ කුමක් ද? ඒවායින් ඈත් වී සිටීමය. එය කළ හැක්කක්ද? එය කිසිසේත් කළ හැක්කක් නොවේ. මේ මයික්‍රෝ ප්ලාස්ටික්වලින් අපට ගැලවීමක් නැත. ලෝකයේ සෑම අස්සක් මුල්ලක් පාසා මේ මයික්‍රෝ ප්ලාස්ටික් පැතිර ගොස් අවසන්ය. ලොව ගැඹුරුතම අගාධය ලෙස සැලකෙන මරියානා අගාධ පතුලේත්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් මුදුනේත් ඒවා දැකිය හැකිය. මේ මයික්‍රෝ ප්ලාස්ටික් යනුවෙන් හැඳින්වෙන්නේ, ප්ලාස්ටික්වල ඇසට නොපෙනෙන තරමේ කුඩා සියුම් කොටස්ය. මිලිමීටර් 5 ට වඩා අඩු ප්‍රමාණයේ සියලු‍ ප්ලාස්ටික් අංශු මයික්‍රෝ ප්ලාස්ටික් ලෙස අරුත් ගැන්වෙයි. ප්ලාස්ටික් කෙමෙන් කෙමෙන් ක්ෂය වෙද්දී මයික්‍රෝ ප්ලාස්ටික් පරිසරයට මුසු වෙයි. 

ඉවත දමන ටොපි කොළයේ සිට යෝගට් කෝප්පය දක්වාත්, විසි කරන දත් බුරුසුව සහ කැඩුණු ප්ලාස්ටික් බේසම් සහ පුටු මේස දක්වාත්, ෂොපින් කවර ආදියෙනුත් පරිසරයට මයික්‍රෝ ප්ලාස්ටික් මුසු වෙයි. අප විලි වසා ගන්නා ඇඳුම්වලත් අප ගන්නා ආහාරවලත් මයික්‍රෝ ප්ලාස්ටික් අඩංගු වෙයි. තේ, ලු‍ණු, කිරි, මස් වර්ග, මුහුදු ආහාර වර්ග, මී පැණි, සීනී, එළවලු‍, පැණි බීම, මත් පැන් ආදියේත් ඒවා අඩංගු වෙයි. පානීය ජලයේත් අඩංගුවෙයි. ප්ලාස්ටික් බෝතල්වල ඇති ජලයේ ද වෙයි. මයික්‍රෝ ප්ලාස්ටික් අපගේ සිරුරුවලට රිංගන හැටි දැන් පැහැදිලිය. ඒවා කිසිඳු ආයාසයකින් තොරව, අපගේ රුධිර සංසරණ පද්ධතියේ සැරිසරයි. 

නවතම අධ්‍යයනයකින් තහවුරු වී ඇත්තේ රුධිරයට එක්වන මයික්‍රෝ ප්ලාස්ටික් මොළය දක්වා ගමන් කර, මොළයේ තැන්පත් වන බවය. මේ අධ්‍යයනය සිදු කර ඇත්තේ වියානා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසිනි. මයික්‍රෝ ප්ලාස්ටික් මොළයට බලපෑම් කරන ආකාරය සම්බන්ධයෙන් මෙම විද්‍යාඥයන්, වැඩිදුර අධ්‍යයනය සිදු කර ඇත්තේ මීයන් යොදා ගනිමින් පර්යේෂණ පවත්වමිනි. මේ මීයන්ට පානය කිරීමට සලස්වා ඇත්තේ හිතාමතා මයික්‍රෝ ප්ලාස්ටික් මුසු කළ ජලයයි. පැය දෙකක් ගතවීමටත් පෙර, මීයන්ගේ මොළයට මයික්‍රෝ ප්ලාස්ටික් අංශු රිංගා ගත් බව විද්‍යාඥ කණ්ඩායම පවසයි. අපට නොදැනී, බොහොම පහසුවෙන්, අපේ මොළයට ප්ලාස්ටික් අංශු රිංගා යන ආකාරය පැහැදිලිය. 

වෛද්‍ය පර්යේෂකයන්ට අනුව, මොළයට රිංගන මයික්‍රෝ ප්ලාස්ටික්, මොළයේ ක්‍රියාකාරිත්වය අඩපණ කරන්නේ අපට නොදැනීමය. එයින් ස්නායු පද්ධතියට පණිවුඩ රැගෙන යෑම ද කෙමෙන් අඩපණ කරයි. බහුලව ඇතිවිය හැකි රෝගී තත්ත්වය වන්නේ ස්නායු ආබාධයන්ය. කලින් සඳහන් කළ ආකාරයට මොළයේ ස්නායු මියයෑම හෙවත් ඇල්ෂයිමර් සහ පාර්කින්සන් වැනි රෝගී තත්වයන් හටගනු ඇත්තේ වයස් භේදයකින් තොරවය. මේවා දීර්ඝ කාලීන රෝගී තත්ත්වයන් යැයි පැවසෙයි. මොළයට රිංගන මයික්‍රෝ ප්ලාස්ටික් නිසා කෙටි කාලීන ආබාධ රැසක් ඇතිවෙයි. සිහි කල්පනාව අඩුවීම, සිතීමේ හැකියාව සහ නිතර අමතකවීම් සිදුවීම එම කෙටි කාලීන රෝගී තත්ත්වයන්ය. මයික්‍රෝ ප්ලාස්ටික් ස්නායු පද්ධතියට විස වෙයි. 

බොන වතුරෙන් පමණක් නොව, වාතයේ ඇති මයික්‍රෝ ප්ලාස්ටික් අංශු නාසය හරහා පෙණහලු‍වලට ඇතුළු වෙයි. කෑම හරහා අපගේ කුසට ඇතුළු වෙයි. එවිට සිරුරේ ඉන්ද්‍රියයන්ට මයික්‍රෝ ප්ලාස්ටික්වලින් බලපෑම් සිදුවෙයි. හෘදය වස්තුවට හානි සිදුවෙයි. මවු කිරිවල පවා මයික්‍රෝ ප්ලාස්ටික් අඩංගු බව මේ වෙනවිටත් තහවුරු වී ඇති කරුණකි. මයික්‍රෝ ප්ලාස්ටික් අපගේ සිරුරුවලින් සොයාගැනීම සිදුවූයේ පසුගිය වසර කීපය ඇතුළතදීය. ප්ලාස්ටික් අපට කොතරම් විෂ දැයි තවමත් හරිහැටි තේරුම් ගැනීමට විද්‍යාඥයන් සමත් වී නැත. එකක් පැහැදිලිය, අපට නොදැනීම අප රෝගී කිරීමට මයික්‍රෝ ප්ලාස්ටික්වලට හැකියාව ඇත. කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් මේ වෙනවිටත් පරීක්ෂණ දිගටම සිදුවෙමින් පවතී.

කෙසේ නමුත් ස්ථුලභාවයට, අධි රුධිර පීඩනයට, රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑමට මයික්‍රෝ ප්ලාස්ටික් හේතුවක් වී ඇතැයි යන්න වෛද්‍යවරුන්ගේ අදහසය. ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ සම්බන්ධයෙන් සිය කණස්සල්ල පළ කර ඇත. ලිංගික අප්‍රාණිකත්වයට ද සිරුරේ මයික්‍රෝ ප්ලාස්ටික් විෂ එක්රැස් වීම හේතුවක් බව දැන් තහවුරු වී තිබේ. ගැටලු‍ව නම්, අප මයික්‍රෝ ප්ලාස්ටික්වලින් ආරක්ෂා වෙන්නේ කෙසේද යන්නය. අපට එසේ කළ හැකිද යන්නය.

ප්ලාස්ටික් හැමතැනම තිබෙනවා නම්, ඒවායින් බේරීම කිසිසේත් කළ නොහැකිය. නමුත් ආරක්ෂක ක්‍රියා මාර්ග කීපයක් අනුගමනය කිරීමේ හැකියාව අපට ඇත. අප ආහාර පාන ගන්න ආකාරය ගැන යළිත් වරක් සිතා බැලිය යුතු වෙයි. ආහාර පාන අපට ලැබෙන්නේ ප්ලාස්ටික් ඇසුරුම්වලිනි. එහෙයින්, ආහාර පානවල පිරිසුදුකම සම්බන්ධයෙන් ගැටලු‍වක් නැත. ඒත් අපගේ සිරුරට මයික්‍රෝ ප්ලාස්ටික් ඇතුළුවන ප්‍රධාන සාධකය වන්නේ මෙයයි. ආහාර ඇසුරුම්වලදී අපගේ ආහාරවලට ප්ලාස්ටික් අංශු ඇතුළු වෙයි. තාපය වැඩි නම්, එසේ එකතු වෙන ප්ලාස්ටික් අංශු ප්‍රමාණය ද වැඩි වෙයි. පොලිතීන් ඇසුරුමකින් ආවරණය කළ උණුසුම් කෑමක් ඇති නම්, ඊට පොලිතීන් ඇසුරුමේ ඇති ප්ලාස්ටික් අංශ එක්වීමේ අවදානම ඉහළය. ප්ලාස්ටික් ආහාර ඇසුරුම් භාවිතය අඩු කිරීම යනු, ප්ලාස්ටික් අංශුවලින් ඈත් වීමකි. එමෙන්ම අප ප්ලාස්ටික් භාජනවලට උණු උණු කෑම දැමීම නොකළ යුතුය. පොලියෙස්ටර් ඇඳුම් වෙනුවට, කපු සහ වූල් වැනි ඇඳුම් භාවිතයට අප වඩාත් නැඹුරුවිය යුතුය. එයින් ද සිරුරට ඇතුළු වන මයික්‍රෝ ප්ලාස්ටික් අංශු ප්‍රමාණය අවම කර ගත හැකිය. කැමැති වුණත් අකමැති වුණත් අද ප්ලාස්ටික් අප ජීවිතයේ කොටස්කරුවෙකු වී සිටී. ප්ලාස්ටික්වලින් මිදීමට නොහැකිය. ඉන් ඇති වන අවදානම අඩු කිරීමද කළ නොහැකි තරම්ය. ඒත් අප බියේ ජීවත් විය යුතු නැත. අප කළ යුත්තේ ඒවායින් ඇති වන අවදානම අඩු කර ගැනීමට හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම අනුගමනය කිරීමය.


  • ලු‍සිත ජයමාන්න

      එන්.ඩී.ටී.වී. ඇසුරිනි