කොඩිසෙප්ස් දිලීරයට ගොදුරු වූ කුහුඹුවකුගේ ගෙල පෙදෙසින් දිලීර දලුවක් පිටතට ආ මොහොතක්.
‘කොවිඩ් 19’ වයිරස වසංගතය අප කාගේත් ජීවිත උඩු යටිකුරු කළ අයුරු අපට අමතක නැත. ඇසට නොපනෙන වයිරසයකට මනුෂ්‍ය වර්ගයා දණ ගැස්සිය හැකි බව ‘කොවිඩ් 19’ අපට මතක් කර දුන්නේය. ‘කොවිඩ් 19’ තවමත් තැනින් තැන හොල්මන් කරද්දී, මනුෂ්‍යයාට හදි කළ හැකි මීළඟ වයිරස වංසගතය කුමක් විය හැකිදැයි යන්න සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිරන්තරයෙන් රැස්වී සාකච්ඡා පවත්වයි. ඇත්තටම මීළඟ වසංගතය කුමක් වේවිද? මනුෂ්‍ය වර්ගයා, ඇසට නොපෙනෙන වයිරස සමඟ සටන් වදින්නේ අද ඊයේ නොවෙයි. කොතරම් ජීවිත හානි සිදුවුණත්, තවමත් කිසිම අවස්ථාවක කිසිම වයිරසයකට මනුෂ්‍ය වර්ගයා විනාශ කර දැමීමට හැකි වී නැත. කෙසේ හෝ අවසානයේ ජයග්‍රහණය කළේ මනුෂ්‍ය වර්ගයා මිස වයිරස නොවෙයි.
වයිරසවලට වඩා මනුෂ්‍ය වර්ගයාට තර්ජනයක් වෙන බිහිසුණු තවත් ක්ෂුද්‍ර ජීවිෙයක් සිටී. ඒ බැක්ටීරියා නොවෙයි. දිලීරය. දිලීර යනු පුස් වර්ග ය. දිලීරයකට කළ හැක්කේ කුමක්දැයි යන සිතුවිල්ල බොහෝ දෙනකුගේ සිනහවකට ලක්වීමට ඉඩ ඇත. දිලීර යනු අහිංසක ක්ෂුද්‍ර ජීවීන් විශේෂයකි. ඒත් ඒ සිතුවිල්ල වැරදිය. වයිරස හෝ බැක්ටීරියා හෝ මෙන් නොව දිලීර මනුෂ්‍ය ශරීරයකට ඇතුළු වීම බිහිසුණු තත්ත්වයකි. එහෙත්, මනුෂ්‍ය සිරුරේ උෂ්ණත්වය යටතේ, දිලීරයකට මනුෂ්‍ය සිරුරකට ආසාදනය වී පැවැතිය නොහැක. ඒත් දිනෙන් දින අර්බුදයක් වෙන දේශගුණික විපර්යාස නිසා, ගෝලීය උණුසුම ඉහළ යෑමේ අනිසි ඵලවිපාක හේතුවෙන් අපගේ සිරුරුවල උෂ්ණත්වය කෙමෙන් වැඩි වෙද්දී, වයිරස සහ බැක්ටීරියා පමණක් නොව, දිලීර ද අප ආක්‍රමණය කරනු ඇත. මෙය බිහිසුණු සිතුවිල්ලකි.
පසුගිය දා චීන විද්‍යාඥයන් පිරිසක් පැවැසුවේ, මනුෂ්‍යයන්ට ආසාදනය විය හැකි ආකාරයේ නව දිලීර රෝග කාරකයක් ඔවුන්ට හමුවුණු බවය. මෙම දිලීරය, මනුෂ්‍ය ශරීරයට ආසාදනය වූ බව පැවැසෙන්නේ යීස්ට් හරහාය. විද්‍යාඥයන් දිලීරය නම් කර ඇත්තේ රෝඩෝ-ස්පෝර්ඩියොබලස්-ෆ්ලූවිඇලස් (Rhodosporidiobolus fluvialis) යන නමිනි. චීනයේ පළාත් දෙකක රෝහල් දෙකකින්, මෙම දිලීරය, රුධිරයට එක් වුණු රෝගීන් දෙදෙනකු හමුවුණු බවත්, එම රෝගීන් දෙදෙනා අතරේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් වෛද්‍යවරු පැහැදිලි කළහ. රෝගීන් දෙදෙනා හමුවී ඇත්තේ ටියැංජින් සහ නැංජින් යන පළාත්වලිනි.
රෝඩෝ - ස්පෝර්ඩියොබලස්-ෆ්ලූවිඇලස් දිලීරය මීට පෙර මනුෂ්‍යයන්ට ආසාදනය වූ බවක් කිසිම වාර්තාවක සඳහන් වෙන්නේ නැතැයි ද පැවැසෙයි. දිලීරය මනුෂ්‍යයන්ට ආසාදනය වෙනවා යන්න පවා විද්‍යාඥයන් මීට පෙර දැන සිටියේ ද නැත. සාමාන්‍යයෙන් දිලීර නාශක ඖෂධවලින්, රෝඩෝ-ස්පෝර්ඩියොබලස් - ෆ්ලූවිඇලස් දිලීරය අඩපණ කළ නොහැකි බවත් රෝගීන් දෙදෙනාට ප්‍රතිකර කිරීමේ දී පෙනී ගොස් ඇත. අසාධ්‍ය තත්ත්වයට පත්වුණු රෝගීන් දෙදෙනා, දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කෙරුණු බව පසුව දැනගන්න ලැබුණි. රෝඩෝ - ස්පෝර්ඩියොබලස් - ෆ්ලූවිඇලස් දිලීරය, සමේ ගැඹුරු පටකවලට හානි කළ බවත්, ප්‍රතිශක්තිකරණ පද්ධතිය මුළුමනින්ම අඩපණ කළ බවත් පැවැසෙයි. රෝගී වූ දෙදෙනා 61 සහ 85 යන වයස්වල පසුවෙන පුද්ගලයන් බව රෝහල් ආරංචි මාර්ග පෙන්වා දී තිබේ.
‘‘දිලීරවලට මනුෂ්‍ය ශරීර උෂ්ණත්වයේ ජීවත් වෙන්න බැහැ. ඒ නිසා දිලීරවලින් මනුෂ්‍ය අපට තර්ජනයක් නොවන බවයි අප විශ්වාස කරන්නේ. ඒත් ඒක වැරදියි. ගෝලීය උණුසුම ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස දිලීර වෙනස් වීමට පටන් අරන්, ඒවා විකෘති වෙනවා. මෙය බරපතළ තර්ජනයක්’’ යැයි එක්සත් ජනපදයේ, මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග සම්බන්ධ මහාචාර්ය, ඩේවිඩ් ඩෙනින් පවසයි.
සොබා දහමේ මාරක දිලීර ගැන අපට නිතර අසන්න ලැබේ. ‘කොඩිසෙප්ස්’ (Kaordyceps) නමැති දිලීරය එවැනි එකකි. මෙය ආසාදනය වෙන්නේ වනාන්තරවල ජීවත් වෙන කෘමිසතුන්ටය. ‘කොඩිසෙප්ස්’ එසේ මෙසේ දිලීරයක් නොවෙයි. මෙය කෘමීන්ට ආසාදනය වී, කෘමීන් ‘සොම්බි’ බවට පත් කරයි. දිලීර නිසා රෝගී වී ‘සොම්බි’ බවට පත්වෙන කුහුඹුවන්ගේ කතාව ද විස්මිතය.
මිහිමත කෘමි ගහණයෙන් සියයට 80ක් දකින්න ලැබෙන්නේ වනාන්තරවලය. ඒ අතරින් වනාන්තරයේ ජීවිතයට හොඳින්ම හුරු වූවන් වෙන්නේ කුහුඹුවන්ය. හෙක්ටාරයක ප්‍රදේශයක කුහුඹුවෝ මිලියන අටක් පමණ ජීවත් වෙති. වනගත කුහුඹුවන්ට ඔවුන්ට රිසි පරිදි හැමදේම සිදුවෙන්නේ නැත. මේ කතාවට සම්බන්ධ වෙන්නේ ‘බුලට් ඈන්ට්ස්’ වර්ගයේ කුහුඹුවන්ය. කුහුඹු රංචුවක සිටින එක් කුහුඹුවකුගේ හැසිරීම හිටිහැටියේ වෙනස් වෙයි. අසාමාන්‍ය ක්‍රියාකාරීත්වයක් පෙන්වීමට පටන් ගනී. කුහුඹුවාගේ මනසට විසක් ඇතුළු වීම ඊට හේතුවය. මේ විස ‘කොඩිසෙප්ස්’ දිලීරයයි. ‘කොඩිසෙප්ස්’ දිලීරයේ බීජාණු කුහුඹුවා විසින් ආඝ්‍රාණය කරනු ලැබ තිබේ. දැන් දිලීරය කුහුඹුවාගේ සිරුර තුළ වැඩීම ඇරඹේ. කුහුඹුවාගේ මනසත් සිරුරත් දිලීරය විසින් තමන්ගේ අණසකට නතු කර ගනී. කුහුඹුවා දිලීරයේ රූකඩයක් වී හමාරය.
කුහුඹුවා මෙහෙයවීම සිදු කරන්නේ, ‘කොඩිසෙප්ස්’ දිලීරයයි. දිලීරය කුහුඹුවාගේ මොළය පාලනය කරමින් ඌ ඉහළ ස්ථානයකට රැගෙන යෑමට උත්සාහ ගනී. කුහුඹුවා දිලීරයේ පාලනයෙන් මිදීමට හැකි සෑම අයුරින්ම උත්සාහ ගනී. මෙවැනි ආසාදිත කුහුඹුවකු අසරණ වී අඩපණ වී සිටිනවා දුටුවොත්, සෙසු කුහුඹුවන් කරන්නේ එම කුහුඹුවා රැගෙන ජනපදයෙන් ඈතට ගෙන ගොස් විසි කර දැමීමය. එය මහ නපුරු දෙයක් යැයි සිතේවි. නැත. එය එසේ කළ යුතුමය. ආසාදිත කුහුඹුවන් ඈතට ගෙන යා යුතුය. ඒ, සිරුර තුළත් මොළයේත් වැඩෙන ‘කොඩිසෙප්ස්’ දිලීරය, කුහුඹුවාගේ හිස පලාගෙන පිටතට මතුවෙන බැවිනි. එය විද්‍යා ප්‍රබන්ධයක බිහිසුණු සිදුවීම් පෙළක් වැනිය.
සති තුනක් යද්දී දිලීරය හොඳින් වැඩී අවසන්ය. බීජාණු පුපුරා දසත විසිරී යයි. ළඟ පාත වෙනත් කුහුඹුවන් සිටියොත්, බීජාණු ඔවුන්ගේ සිරුරු ද ආක්‍රමණය කරනු ඇත. එසේ වුවහොත් ඔවුන්ට සිදුවෙන්නේ අපේ ‘බුලට්’ කුහුඹුවාට අත්වුණු ඉරණමය. කුහුඹු ජනපද මුළුමනින්ම විනාශ වෙනු ඇත. ‘කොඩිසෙප්ස්’ දිලීරයට ගොදුරු වෙන්නේ කුහුඹුවන් පමණක් නොවෙයි. තණකොළ පෙත්තන්, කුරුමිණියන් ආදිය ද සොම්බීන් බවට පත් වෙයි. එකිනෙකට වෙනස් විදිහේ ‘කොඩිසෙප්ස්’ දිලීර දහස් ගණනක් ඇත. ඒවා විවිධ කෘමීන් ඉලක්ක කර ගන්නා බව සත්ව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
ලයිව් සයන්ස් ඇසුරිනි.
- ලුසිත ජයමාන්න