තුවාල ලත් කොටි සාමාජිකයාගේ කමිසයට යටින් තන පටයකි. එලෙස තුවාල ලැබ සිහිසුන්ව සිටියේ කොටි සාමාජිකාවක බව ඔවුන් දැන ගත්තේ එවිටය. කොණ්ඩය කොටට කපා නිල ඇඳුම් හැඳ සිටි ඇය කාන්තාවක බව බැලූ බැල්මට කිසිසේත් හඳුනාගත නොහැකිව තිබිණ.
දිවයන කෝප්‍රල් පේමසිරිගේ MPMG ගිනි අවියෙන් නිකුත් වෙන අඛණ්ඩ ප්‍රහාරය හමුවේ ඉදිරියේ වූ බංකරයේ සිටි ත්‍රස්තවාදීනට හිස එසවීමටවත් අවකාශයක් නොලැබිණි. පතුරම් 200කින් සමන්විත එම පතුරම් වැලෙන් නිකුත් වූ සෑම උණ්ඩයක්ම නිසැකවම බංකරය විනිවිද යවන්නට ඔහු වගබලා ගත්තේ එම බර අවිය සෙල්ලම් බඩුවක් සේ හසුරුවමිනි. බංකරය සමීපයට වත්ම තම ප්‍රහාරයක වේගය වැඩි කළ පේමසිරි පෙර සැලසුම් කළ පරිද්දෙන් වෙඩි තබමින්ම එහි වැලි කොට්ට ඇතිරූ වහලයට පැන්නේය. ඒ සමග එතෙක් තම දෑතෙහි මිරිකාගෙන සිටි අත්බෝම්බ දෙක ද බංකරය තුළට දමමින් සහායක සෙබළ තිලකරත්න ද සිය වගකීම අකුරටම ඉටු කළේය.
බංකරයේ වහලය උඩට පැනගත් කෝප්‍රල් පේමසිරි දුටුවේ එතෙක් වේලා තමන් වෙත LMG ගිනි අවියකින් අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටි කොටි ත්‍රස්තවාදියෙකු එහි වැටී සිටින අයුරුය. ඒ වෙනවිට තවදුරටත් බංකරය තුළ අවදානම පහව ගොස් නොතිබූ හෙයින් එහි පැති කවුළුවෙන් තවත් අත්බෝම්බ දෙකක් ඇතුළට එල්ල කරන්නට සෙබළ තිලකරන්න ක්‍රියා කළේ කෝප්‍රල් පේමසිරිගේ නියෝගයෙනි. අවසානයේ තත්පර ගණනක් තුළ සතුරු සමූහයකට එරෙහිව සිදුකළ අතිබිහිසුණු සටන නිමවූයේ සෙබළු දෙදෙෙනකුගේ හුදෙකලා වික්‍රමයක් ලෙසය. යුදබිම තුළ මුහුණට මුහුණ සිදුවන සටනක ජයග්‍රහණය හිමිවනුයේ ඉස්සර වූ කෙනාටය. එම න්‍යායට අනුව එහි පැවති සටන ද නිමාවූයේ ජීවිතය වෙනුවෙන් අත්වැරදීම් ප්‍රමාද දෝෂවලට කිසිදු ඉඩක් නොමැති බව සනාථ කරමිනි. විශේෂයෙන්ම ඊට මොහොතකට පෙර විවෘත භූමියේ කොටුවූ ඔවුන් දෙදෙනා සතුරු අවි රැසකට මැදිව ජීවිත රැකගැනීම උදෙසා දැරූ අපමණ උත්සාහය නොවන්නට ඔවුන්ගේ ඉරණම මීට වඩා වෙනස් අයුරකින් විසඳෙනු නොඅනුමානය. එහිදී කෝප්‍රල් පේමසිරි හා සෙබළ තිලකරත්න ගත් ජීවිත අවදානම කොතෙක්ද යත්, එය වූ කලී මරණය හඹාවිත් ජීවිතය සොයාගැනීමක් විය.
බංකරය තුළ පැවති සටන අවසානයේ ත්‍රස්තවාදීන් දසදෙෙනකු මියගොස් ඇති බව එහි සිදුකළ පරීක්ෂාකිරීම්වලදී තහවුරු විය. එහිදී, කෝප්‍රල් පේමසිරිගේ හා තිලකරත්නගේ පළමු කාර්යය වූයේ ත්‍රස්තවාදීන් සතුවූ අවි ආයුධ එකතු කිරීමය. ඒ සඳහා එම මළ සිරුරු එකිනෙක පරීක්ෂා කරන අතර තවත් සුවිශේෂී යමක් සිදුවිය. එනම්, මියගොස් සිටි ත්‍රස්තවාදීන් අතර එක් සිරුරක කිසියම් වෙනස්වීමක් අහම්බෙන් මෙන් කෝප්‍රල් පේමසිරිගේ නෙත ගැටීමය. එම අනපේක්ෂිත වෙනස්වීම දුටු වහාම ඔහු එම සිරුර පරීක්ෂා කරන්නට වූයේ දෙගිඩියාවෙන් යුතුවය. ‘‘මේ එකෙකුට පණ තියෙනවා.” ඒ සමගම ඔහුට කෑගැසුණේ ඉබේටය.
මියගිය පිරිස අතර එක් ත්‍රස්තවාදියෙකු එලෙස ජීවතුන් අතර බැව් දැනගැනීමත් සමගම සෙබළ තිලකරත්නගේ ගිනි අවිය වහා ඒ වෙත එල්ල විය. තවදුරටත් බංකරය තුළ අවදානමක් ඉතිරි කරලීමට ඔහු කිසිසේත් නොකැමැති වූයෙන් ඔහුගේ සුරතෙහි දබර ඇඟිල්ල සිය අවියේ ට්‍රිගරය වෙත යොමු වූයේ නිරායාසයෙනි. නමුත්, කෝප්‍රල් පේමසිරි ඔහුට වඩා ඉක්මන් විය. හෙතෙම තිලකරත්නගේ අවියට පාපහරක් ද එල්ල කරමින් ඔහුගේ එම උත්සාහය වළකාලූයේය.
කර්නල් නිලන්ත රත්නසිංහ |
කෝප්‍රල් පේමසිරි පී.එම්. |
නමුත්, එතෙක් තමන්ව මරාදැමීමට උත්සාහ කළ ත්‍රස්තවාදියෙකුට එලෙස තවත් අවස්ථාවක් ලබාදීම පිළිබඳව තිලකරත්න තුළ වූයේ නොසතුටකි. ඒ සමගම තත්ත්වය තේරුම්ගත් කෝප්‍රල් පේමසිරි ඔහුව අස්වසාලන්නට වූයේ ඔහුගේ පිටටද තට්ටුවක් දමමිනි. “මුං අපිට කරදරයක් කළාට අපි ඉන්නෙ මුංව බේරගන්න, ඒක අපි කොයි වෙලාවකවත් අමතක කරන්න හොඳ නෑ” කෝප්‍රල් පේමසිරිගේ එම වදන් තිලකරත්න තුළ ක්ෂණිකව ඇති කළේ විශාල මානසික පරිවර්තනයකි. අනතුරුව එම ත්‍රස්තවාදියා බේරාගැනීම පිණිස තම කෝප්‍රල්වරයා ගන්නා උත්සාහයට ඔහුද සහාය වන්නට වූයේ නිරායාසයෙනි. එහිදී පේමසිරිගේ නියෝගයෙන් තිලකරන්න එම කොටි සාමාජිකයා පරීක්ෂා කිරීමේ දී දුටුවේ සිහිසුන්ව සිටියද අතක වූ සුළු තුවාලයක් හැරුණු විට ඔහුට බරපතළ යමක් සිදුව නැති බවය. බාහිරින් නොපෙනුණ ද එම කොටි සාමාජිකයාගේ සිරුර අභ්‍යන්තරයේ කිසියම් තුවාලයක් සිදුව ඇත්දැයි සැක හැර දැනගැනීමට කෝප්‍රල් පේමසිරිට වුවමනා විය.
ඒ අනුව තුවාලකරු ඇඳ සිටි LTTE කැලෑ ඇඳුමෙහි කමිසය ගලවා පරීක්ෂා කරන ලෙස හෙතෙම තිලකරත්නට දැනුම් දුන්නේය. එහිදී, ඔවුන් දුටුවේ පුදුම දනවන දසුනකි. එනම් තුවාල ලත් කොටි සාමාජිකයාගේ කමිසයට යටින් තනපටයකි. එලෙස තුවාල ලැබ සිහිසුන්ව සිටියේ කොටි සාමාජිකාවක බව ඔවුන් දැනගත්තේ එවිටය. කොණ්ඩය කොටට කපා නිල ඇඳුම් හැඳ සිටි ඇය කාන්තාවක බව බැලූ බැල්මට කිසිසේත් හඳුනාගත නොහැකිව තිබිණ.
සැරයන් තිලකරත්න ඩී.එන්.එස්. |
කෙසේ හෝ වහ වහා ඇයව බංකරයෙන් පිටතට ඔසවාගෙන ආ පේමසිරි තම සංග්‍රාමික මල්ලෙහි තිබූ වතුර බෝතලයෙන් ඇගේ මුව දොවා ඉන් ස්වල්පයක් බීමට ද සැලැස්සුවේය. ඉන් මොහොතකට පසු සිහිය ලද ඈ බියෙන් සලිත වූයේ යුද හමුදා සාමාජිකයන් තමා වටකොට සිටිනු දැකීමෙනි. ඇය තුළින් දිස්වූයේ බෙහෙවින් කලබලකාරී ස්වරූපයකි. එහිදී, ඇයව අස්වසාලූ පේමසිරි ඇය හා කතා බහ කරන්නට යුහුසුලු විය. ඒ වෙනවිට ඔහුට යම් තරමක දෙමළ කතාකිරීමේ හැකියාවක් පැවතීම එම කටයුතුවලට විශාල පහසුවක් විය.
ඒ වෙනවිට එතෙක් ඈ පැලඳ සිටි අත් ඔරලෝසුව තිබුණේ තිලකරත්න භාරයේය. ඕ වැඩිපුර විමසිලිමත් වන්නට වූයේ ඒ පිළිබඳවය. දිගින් දිගටම ඈ එම අත් ඔරලෝසුව සොයන්නට වීම නිසා එහි සයිනයිඩ් සඟවා ඇත්දැයි තිලකරත්නට සැකයක් ද මතුවිය. කෙසේ වුව ඈ තුළ සිය දිවි නසාගැනීමේ උත්සාහයක් පෙනෙන්නට නොවීය. විශේෂයෙන්ම යුද හමුදාව තමාගේ ජීවිතයට හානියක් නොකරනු ඇති බවට විශ්වාසයක් ඇය තුළ පැවති බව එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සනාථ විය. ඒ වෙනවිට එම කොටි සෙබළිය සිටි බංකරයේ තිබී යුද උපකරණවලට අමතරව ඌරු මස් හා පොල් රොටී, රුපියල් එකසිය පනහක මුදලක් හා පැනඩෝල් කාඩ් පතක් ද සොයා ගැනිණ. එසේම මෙම ත්‍රස්ත පිරිස එම බංකරයට පැමිණ තිබුණේ පෙරදින සවස මන්නාරමේ සිට බව ද ඇය පැවසුවාය.
එලෙස එම පුවරසකුලම් ගම්මානය පිළිබඳව ද ප්‍රදේශයේ සෙසු බංකර් හා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ආදිය පිළිබඳවද සියලු තොරතුරු දැනගැනීමෙන් පසු එතෙක් ඇයගේ ගැටගසා තිබූ දෙඅත් නිදහස් කරන්නට ද කටයුතු කෙරිණ. එසේම, පැනයාමට උත්සාහ කිරීම මරණය අත්කරදීමක් බවට වූ තරවටුවක් ද ඇයට ලැබුණු අතර, එහිදී ඕ හමුදාවට බෙහෙවින් අවනත වූ සෙයක් පෙන්නුම් කළාය. ඒ වෙනවිට සහායක භට පිරිසක් ද එහි පැමිණ සිටි නමුත් ඔවුන් කිසිවෙකුටත් තවදුරටත් මැදිහත්වීමට තරම් සටනක් එහි ඉතුරුව නොතිබිණ. අවසානයේ එහි තිබූ මළ සිරුරු සහ අවි ආයුධ ඇතුළු යුද උපකරණ ඉවත් කරගෙන යාමේ කටයුත්තට ඔවුහු මැදිහත් වූහ. ඒ සමගම එහි සිටි සෙබළෙකු නිවාඩු ගොස් ගෙනැවිත් තිබූ වැලිතලප පාර්සලකයකින් කිහිපයක් ද එම කොටි සාමාජිකාවට දීමට ද කටයුතු කෙරිණ. ප්‍රදේශය පුරා අවදානම් වටපිටාවක් පැවති හෙයින් තුවාල ලත් කොටි සෙබළිය කඩිනමින් ආරක්‍ෂක ස්ථානයකට රැගෙන යාමේ අවශ්‍යතාව මතුවිය. ඒ සඳහා සෙබළෙකුගේ කමිසයක් හා LTTE සාමාජිකයෙකුගේම සරමක් යොදාගෙන ලී දඬු දෙකක් ආධාරයෙන් සෑදු ගිලන් ඇඳක තබා (Stretcher) ඇයව එහි සිට මීටර් 50 ක් පමණ ඔබ්බෙහි වූ ස්ථානයකට ඔසවාගෙන යාමට කටයුතු කෙරිණ. සෙබළ තිලකරත්න එම කටයුත්තට ද මූලිකත්වය ගත්තේය. එලෙස රැගෙන ගිය ඇයව විනාඩි 30 ක් ඇතුළත ගුවන් මගින් රෝහල කරා පිටත් කර හරින්නට හැකි විය.
ඉහත සිදුවීම ගිනියම්ව තිබූ අවසන් මානුෂීය මෙහෙයුම තුළ තවත් එක් සිදුවීමක් ලෙස සටහන් වෙද්දී කෝප්‍රල් පේමසිරි, සෙබළ ගුණතිලක සෙසු භට පිරිස් සමග මන්නාරමෙන් ඔබ්බට දියත් වූ එම දැවැන්ත ක්‍රියාන්විතය සමග පෙරට ඇදුණහ. මේ අතර තම ඒකකයේ සෙබළෙකු මුල් වී සිදුකළ එම වික්‍රමය පිළිබඳ 16 විජයබාහු පාබළ රෙජිමේන්තු අණදෙන නිලධාරී වූ මේජර් නිලන්ත රත්නසිංහ පසු වූයේ ආඩම්බරයෙනි. ත්‍රස්තවාදීන් 09 දෙෙනකු මරා දමමින් ගිනි අවි 10ක් හා ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර 02ක් ද සමගින් කොටි සාමාජිකාවක ජීවග්‍රහයෙන් අල්ලා ගැනීම වූ කලී ලෙහෙසි පහසු ක්‍රියාදාමයක් නොවන බව ඔහු දනී. නමුත් තම ඒකකයේ සාමාජිකයින්ගේ රණශූරත්වය හා කැපවීම පිළිබඳ අවබෝධයෙන් සිටි ඔහු කෝප්‍රල් පේමසිරිගේ වික්‍රමය පිළිබඳ පුදුම නොවීය. විශේෂයෙන්ම තම ඒකකය ඇරඹූ තැන සිට එතෙක් දියත් වූ ක්‍රියාන්විතය තුළ විවිධ තැන්වල දී ඔහු එවැනි තීරණාත්මක කාර්යභාරයන් ඉටුකොට තිබීම ඊට හේතුවයි.
කෙසේ වුවද අර්සපුරකුලම් ඉදිරි ආරක්ෂක වළල්ලෙන් ඔබ්බෙහි එවර කෝප්‍රල් පේමසිරි පෙන්වා තිබුණේ වීරත්වයට එහා ගිය අපූරු මිනිස්කමකි. ඒ අනුව 2008 දෙසැම්බර් 01 වන දින අණදෙන නිලධාරී සිය අත්සනින් යුතුව ඔහු වෙත ප්‍රශංසාත්මක ලිපියක් පිළිගැන්වීමට කටයුතු කොට ඔහුට වීර පදක්කමක් සඳහා ද නිර්දේශ කිරීමට අමතක නොකළේය. සැබැවින්ම එය එම කෝප්‍රල්වරයාගේ අතිවිශිෂ්ට වීරත්වයට උපහාර පිදීමක් සේම ඔහු තුළ වූ උතුම් මිනිස්කමට ගෞරව කිරීමක් ලෙස අණදෙන නිලධාරියා සැලකුවේය.
මෙලෙස කාලය ගත වෙද්දී රට තුළ බොහෝ පරිවර්තන සිදුවිය. විශේෂයෙන්ම 2009 වසරේදී යුද්ධයේ නිමාවත් සමග උතුරු ප්‍රදේශයේ ජන ජීවිතය ක්‍රමිකව සාමාන්‍ය අතට හැරෙද්දී ප්‍රදේශයේ සිදු කෙරෙන සංවර්ධන කටයුතු හේතුවෙන් පරිසරයේ භෞතික වෙනස්කම් රැසක් ද සිදුවෙමින් තිබිණි.
(ඉතිරි කොටස ලබන කලාපයෙන්)