මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳ මහා වංශයේ මෙසේ සඳහන් වේ. ‘‘එකල්හි උපසපන් සොළොස් හැවිරිදි වූ මහනුවණැති ස්ථවිර තෙමේ උපාධ්‍යාය වූ මොග්ගලි පුත්ත තෙරුන් හා සංඝයා විසින් අනවනු සේක් ලක්දිව පහයනයට කල් බලමින් මුටසිව රජ බහලුය පුත්‍ර තෙමේ රජවේවායි සිතු සේක. ඒ අතර ඥාති වර්ගයා දක්නට සිතා උපාධ්‍යයන් වහන්සේ ද සංඝයා ද වැඳ පිය රජහු විචාළ සේක. යට කී තෙරුන් වහන්සේලා සතර දෙනාද කැටිව සඟමින් පිත් අෂ්ට අභිඥා මහා සෘද්ධි ඇති සුමන සාම ණේරයන් ද කැටිව නෑයන් සංග්‍රහ කරනු වස් දක්ඛිණගිරි දනව් වැඩි සේක. ඉක්බිති එහි හැසිරෙන උන්වහන්සේට සය මසක් ඉක්මුණාහ. ක්‍රමයෙන් මව්බිසවුන් වසන වේදිසා ගිරි නුවර බලා අවුත් මෑණියන් දුටු සේක. දෙවි තොමෝ ප්‍රිය පුතු දැක පිරිස් සහිත උන්වහන්සේ වළඳවා තමා විසින් කරවන ලද යහපත් වේදිස ගිරි විහාරයට නැංවූ සේක.
(මහාවංශය 13 වන පරිච්ඡේදය-පි 49 ගාථා -1-7)
මිහිඳු මහරහතන් වහන්සේ සහ එම දූත පිරිස සිය මෑණියන් බැහැදැකීමට (ලංකාවට යාමට පෙර) ගිය අන්දම ඉහත සඳහන් මහා වංශයේ එම විස්තරවලින් පැහැදිලි වේ.
මිහිඳු මහරහතන් වහන්සේ සහ එම දූත පිරිස ලංකාවට වැඩම කළේ අසෝක රජතුමාගේ මගධ අධිරාජ්‍යයේ සිට බව සඳහන් කිරීමට මහා වංසය උත්සාහ ගෙන තිබු මුත් එම දූත පිරිස ලකාවට පැමිණීමට පෙර දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයට පැමිණ එහි ධර්ම ප්‍රචාරක කටයුතු කළ බව සඳහන් කිරීමට මහා වංශය අකමැති වූ අන්දම වින්සන්ට් ස්මිත් ඉතිහාසඥයා සඳහන් කරන බව ජපන් ජාතික ආචාර්ය ෂූ හිකොසකා මහතා සඳහන් කරයි.
ජපන් ජාතික ආචාර්ය ෂු හිකොසකා මහතා විසින් වින්සන්ට් ස්මිත් මහතා එසේ සඳහන් කරන්නේ මහාවංශය ලියන සමය ෙවනවිට දකුණු ඉන්දියානු ආක්‍රමණ නිසා අනුරාධපුරය බොහෝ සෙයින් විනාශයට පත් වූ හෙයින් දකුණු- ඉන්දියාව හරහා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ බව සඳහන් කිරීමට මහාවංශය අකමැති වූ බවය. BUDDHISM IN TAMILNADU - A NEW PERSPECTIVE - DR. SHU HIKOSAKA P. 6-9 (1989)
මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීමෙන් පසුව භික්ෂූන් වහන්සේලාට වැඩ සිටීම පිණිස ලෙන් සකස් කර ඒවා පූජා කිරීමේ දී ඒ ලෙන්වල ලියන ලද බ්‍රාහ්මී අක්ෂරවලට තරමක් සමාන බ්‍රාහ්මී අක්ෂර සහිත ලෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ හමුවී ඇත.
තමිල්නාඩු ප්‍රාන්තයේ මදුරෙයි, තිරුචි තිරුණාවලි හා චිංගල් පෙට්ටි යන දිස්ත්‍රික්කවල බ්‍රාහ්මී අක්ෂර සහිත ලෙන් රැසක් හමුවී තිබෙන බව ටී. ඩබ්ලිව්. රාමලිංගම් සිය කෘතියක සඳහන් කරයි.
තවදුරටත් ඒ පිළිබඳ විස්තර කරන ඔහු එම බ්‍රාහ්මී අක්ෂර අසෝක බ්‍රාහ්මි අක්ෂරවලට වඩා තරමක් වෙනස් බවද සඳහන් කරයි.
චින ජාතික හියුංසෑං හිමියන්ගේ සඳහන් කිරීම
ක්‍රිස්තු වර්ෂ හත්වැනි සියවසේදී දකුණු ඉන්දියාවේ සංචාරය කළ චීන ජාතික හියුංෂාං හිමියන් ද්‍රවිඩ රාජ්‍යය වූ දකුණු ඉන්දියාවේ කාංචිපුරයට දකුණේ පිහිටි මලකාව නම් ස්ථානයෙහි අශෝක රජුගේ සොහොයුරා මහේන්ද්‍ර හිමියන් විසින් සංඝාරාමයන් කරවන ලද බව සඳහන් කරයි. බුදුරජාණන් වහන්සේ සිහිවීම පිණිස අඩි 100 පමණ උස දාගැබක් කරවූ බව හියුංෂාං චින භික්ෂූන් වහන්සේ සිය වාර්තාවල සඳහන් කරති. එහෙත් ඒ ෙවනවිට ඒවායේ ඇත්තේ නටබුන් පමණක් බවද එම වාර්තාවල සඳහන් කර ඇත. හියුං ෂාං හිමියන් සඳහන් කරන එම පුදබිම නාගපට්ටම් හි ඇති ධර්මාශෝක විහාරය බව මහාචාර්ය M.B. බරුවා මහතා සිය ග්‍රන්ථයෙහි සඳහන් කරයි. (ASOKA AND HIS INSCRIPTIONS PROF M.B.Barua-P 353- 1946)
දෙමළ භාෂාව පිළිබඳ ප්‍රවීණ හිමිනමක වන හිස්සැල්ලේ ධම්මරතන නාහිමියෝ ඒ පිළිබඳව මෙසේ සඳහන් කළහ.
මිහිඳු මහරහතන් වහන්සේ දකුණු ඉන්දියාවට වැඩම කර එහි බුදුදහම ප්‍රචාරය කර ලංකාවට වැඩම කළ බව අපරදිග විද්වතුන් රැසක්ම සඳහන් කරන කරුණකි. දීපවංසය, මහාවංශය යන අපගේ ප්‍රධාන වංශකතා දෙක ලක්දිව බුද්ධාගම පිහිටුවීම පිළිබඳ ඓතිහාසික
කතාව සවිස්තරව දක්වා ඇතත් දකුණු ඉන්දියාවේ බුද්ධාගම පිළිබඳ එක වචනයකුදු සඳහන් නොකළේ මන්ද?. මෙහි කිසියම් රහසක් තිබිය හැකියි ඇතැම් විචාරකයෝ කියති. මේ ප්‍රශ්නයට පිළිතුරු සපයන වින්සන්ට් ස්මිත් නමැති ප්‍රකට ඉංග්‍රීසි ඉතිහාසඥයා තමාගේ අසෝක (ASOKA) නමැති ග්‍රන්ථයෙහි සඳහන් කරයි. ඒ මහතාගේ මතය ඉන්දිය හා යුරෝපීය ඉතිහාසඥයෝ බොහෝ දෙනෙක් පිළිගනිති. දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය - පුජ්‍ය හිස්සැල්ලේ ධම්රතන හිමි - පී. 42-43-1964)
මේ තොරතුරු මෙසේ සඳහන් කිරීමෙන් මහාවංශය නමැති ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයේ අගය සමස්ත ලෝකයම පිළිගෙන තිබෙන බව පළමුව සඳහන් කළ යුතුය. ලෝක උරුමයක් ලෙසට යුනෙස්කෝ ආයතනය එක්සත් ජාතීන්ගේ) පවා පිළිගෙන ඇති එම ග්‍රන්ථය වැනි වූ ග්‍රන්ථයක් සමස්ත පුරාණ භාරතයේවත් ලියැවී නැත.
මහාවංශය අප රටේ ඉතිහාසය පමණක් නොව පුරා දඹදිව පිළිබඳ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක තොරතුරු මෙන්ම කාලවකවානු නිසි ලෙසින් ලේඛන ගත කර ඇති ඉතා අගනා ග්‍රන්ථයකි. පුරාණ භාරත දේශවාසීන්ට වත් මෙවන් වූ දේශයක (ලංකාව) අඛණ්ඩ ඉතිහාසයක් සටහන් කළ ග්‍රන්ථයක් නැත. ඒ සඳහා පූජනීය ගෞරවය හිමිවන්නේ ඒ කාලවල විවිධ දුෂ්කරතා සාගත හා සතුරු යුද්ධ කාලවලදී පවා වැඩ වාසය කරමින් වෙහෙර විහාරවල ආරක්ෂා කළ මහා සංඝයා වහන්සේලාටත් රාජ රාජ මහාමාත්‍යදීන්ටත් සමස්ත ජාතියේම ප්‍රණාමය හා ගෞරවය හිමි විය යුතු වන්නේය.
ඉහත සඳහන් කළ කරුණු ඉදිරිපත් කළේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක කරුණු කිසිසේත්ම අප රටේ දීපවංශය මහා වංශය හා තවත් වංශකතාවක් අවප්‍රමාණ කිරීමට හෝ දෝෂ දර්ශනයට ලක් කිරීමට නොවන බව මෙහිදී අවධාරණය කළ යුතුව ඇත.
අප මීට ඉහත පුවත්පත් ලිපිවල සඳහන් කළ එක් කාරණයක් පිළිබඳ මහාවංශයේ අගය දැක්වීම සඳහා මෙසේ සටහන් කරමු.
අසෝක රජු හඳුනා ගැනීමට මහාවංශයේ දායකත්වය
පුරාණ භාරතයේ මගධයේ අසෝක රජතුමා පිළිබඳ නිවැරදිව හඳුනාගැනීමේ භාග්‍යය උදා වූයේ ලංකාවේ මහාවංශය ඇතුළු වංශකතා නිසා බැව් ලොවේ විද්වතුන් පවා පිළිගෙන ඇති කරුණක් බව ආචාර්ය ආනන්ද ගුරුගේ මෙසේ සඳහන් කරයි. අසෝක අධිරාජයාගේ ජීවිතය හා ජීවිත චර්යාව පිළිබඳ තොරතුරු සපයන නොයෙක් මුලාශ්‍ර අතුරෙන් ඔහුගේ ශිලා ලේඛන හැරුණු විට ඊළඟට වැදගත් වන තොරතුරු නිධානය වන්නේ ශ්‍රී ලාංකික පාලි කෘතීන්ය. අසෝක රජු පිළිබඳ තොරතුරු විස්තර ලෙසත් නිවැරදි ලෙසත් රැක තබාගත් ශ්‍රී ලාංකික ඉතිහාස ප්‍රමාද නොවේ නම් 1915 දී ‘මස්කි’ නම් ස්ථානයෙන් (ජම්බුද්විපයේ) හමුවූ ශිලා ලේඛනයේ ‘‘අසෝක’’ යන නාමය වෙනුවට සඳහන් වූයේ ‘‘දෙවන පිය පියදසි’’ යනුවෙනි. ඉන්දියාවේ මස්කි ප්‍රදේශයෙන් 1915 ජනවාරි 27 වැනිදා ඒ ශිලා ලිපිය හමුවිය. සොයාගනු ලැබූ ඒ මස්ති ශිලා ලේඛනය සමගම ඒවායේ කතුවරයා වූ ශ්‍රේෂ්ඨ අධිරාජයාගේ සිතුම් පැතුම් හා පරමාර්ථ වැඩි වැඩියෙන් එළි දකින්නට විය. මහාවංශය ප්‍රධාන පාලි මූලාශ්‍රයන් ගෙන් එදා ඉටු වූ එම මෙහෙවර නොවේ නම් ‘‘දෙවන පිය පියදසි’’ නමින් හැඳින් වූයේ අනෙකකු නො ‘‘අසෝක’’ බව සහ අසෝක රජුට ඉන්දියානු ඉතිහාසය තුළ හිමිවි තිබුණේ කවර නම් ස්ථානයක් ද යන වග දැන ගැනීමට ලෝකයාට තවත් දසක අටක් තරම් කාලයක් බලා සිටින්නටත් ශිලා ලේඛන විද්‍යාඥයන්ට, පුරාවිද්‍යාඥයන්ට හා ඉතිහාසඥයන්ට අඳුරේ අතපත ගාමින් තවදුරටත් වෙහෙසෙන්නට සිදුවීමට තිබුණි. (ධර්මාශෝක සුවිනිශ්චිත ජීවන චරිතය ආචාර්ය ආනන්ද ඩබ්ලිව්. පී. ගුරුගේ - පි. 481 - 482 ගොඩගේ සහ සහෝදරයෝ ප්‍රකාශනයකි. - 2005)
මේ අනුව අප මේ ලිපියේ විග්‍රහ කළේ කිසිසේත්ම ලෝක උරුමයක් ලෙසට එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය විසින් පවා (WORLD HERITAGE) ලෙසට ප්‍රකශයට පත්කර ඇති මේ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයට නිගරු කිරීමට හෝ එය අවතක්සේරුවට ලක් කිරීමට නොවන බව මෙහිදී අවධාරණය කළ යුතු කරුණකි.
සිරිසමන් විජේතුංග
පුරා විද්‍යා උපදේශක සභාවේ සාමාජික හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ සහ ලේකම් මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනම