මුඛ ආවරණ හදන ලෝකයේ ලොකුම සමාගම චීනයේ ‘සැන්චි’


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි 

  • දිනකදී මුඛ ආවරණ මිලියන තුනක් හෙවත් ලක්ෂ 30ක් නිෂ්පාදනය කරයි
  • 2020 දෙසැම්බරයේදී ‘සැන්චි’ සමාගමේ සභාපතිවරයාගේ රුව ඇමෙරිකාවේ ටයිම්ස් චතුරශ්‍රයේදී ප්‍රදර්ශනය කළා
  • ‘සැන්චි’ මාස්ක් ඇමෙරිකාව, ජපානය ඇතුළු ලෝකයේ රටවල් හතළිස් පහකට පමණ බෙද‌ාහැරේ
  • 2020 කොරෝනා ව්‍යාප්ත වූ අවස්ථාවේ දිනකදී ලක්ෂ අටක සේවක පිරිසක් සේවය කර තිබේ

මුඛ  ආවරණ හෙවත් මාස්ක් ගැන ශ්‍රී ලාංකීය බොහෝ දෙනා කතා කිරීමට පටන් ගත්තේ 2020  ජනවාරියේ චීනයේ හුබෙයි නගරයෙන් ව්‍යාප්ත වී මුළු ලෝකයම වෙලාගත් මාරාන්තික  කොරෝනා වෛරසය සමගය. මුඛ ආවරණ පැළඳීම එතැන් සිට සිදුවුව ද චීනය, ජපානය  වැනි ආසියාවේ බලවත් රටවල ජනතාව අතර මුඛ ආවරණ අලුත් දෙයක් නොවුණි. විවිධ  අවස්ථා රාජකාරි ස්වභාවයක් මෙන්ම විවිධ හේතූන් මත චීනය මෙන්ම ලොව බලවත් බොහෝ  රටවල ජනතාව මාස්ක් භාවිත කිරීමට පෙළැඹ සිටියේ මීට වසර ගණනාවකට පෙර සිටය.  පසුගිය සමයේදී එනම් කොරෝනා වසංගතය පැතිරීමට පෙර චීනයේ මෙන්ම ආසියාතික රටවල්  බොහොමයක මෙන්ම බටහිර රටවල පැතිරී ගිය සාර්ස් (SARS) සහ එච්1-එන්1 (H1-N1)  උණ රෝගී තත්ත්වයන් නිසා එකී රටවල බොහෝ දෙනා මුඛ ආවරණ හෙවත් මාස්ක් පැළැඳීම  පුරුද්දක් කරගත් බව සඳහන් කළ හැකිය. ඊටත් වඩා චීන ජනතාව ‘මාස්ක්’ දැමීම  බහුලව සිදුකිරීමට පටන් ගත්තේ කර්මාන්තශාලා නිසා පරිසරයට සිදු වූ වායු දූෂණය  නිසා යැයි කිව හැකිය. කෙසේ වෙතත් මාස්ක් නිපදවීමේදී ලොව ප්‍රමුඛයා වන්නේ  මහා චීන රාජ්‍යය වේ. මාස්ක් නිෂ්පාදන ක්‍රියාවලියේදී ලෝකයෙන් භාගයකට පමණ වූ  නිෂ්පාදන සිදුකරන්නේ චීනයේ ඇති සමාගම් විසිනි. ඒ අතරින් අද අප කතා කිරීමට  සූද‌ානම් වන්නේ ‘මාස්ක්’ නිපදවන ලොව විශාලතම කර්මාන්තශාලාව සහ එය අයත්  සමාගම ගැන කරුණු විස්තර කිරීමටය. ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි වි​ශේෂාංගය  වෙතින් මෙවර අප ඒ විස්තර කියවමු. 

 


රිෂාහෝ සැන්කි 


රිෂාහෝ සැන්කි  නොහොත් රිෂාවෝ සැන්චි යනු (Rizhao Sanqi) යනු චීනයේ ගිනිකොණ දිගට වන්නට  පිහිටි ‘රිෂාවෝ’ නගරයේ ඇති සමාගමකි. ‘රිෂාවෝ’ යන්නෙහි තේරුම වන්නේ ‘හිරු  එළිය’ යන්නය. ‘නවෝදය’ ලෙස ද එහි අරුත ගෙනහැර දැක්විය හැකිය. 2009 දී එක්සත්  ජාතීන්ගේ සංවිධානය විසින් Rizhao නගරය නම් කර ඇත්තේ වාසය කිරීමට වඩාත්  සුදුසු නගරය ලෙසය. රාජවංශ කිහිපයකට අයත්ව අතීතයේදී පාලනය වූ මේ නගරය සතුව  වරායක් තිබීම නිසා වෙළෙඳ කටයුතු සඳහා විවර වූ විශේෂිත නගරයක් ලෙස ද  හැඳින්වීමට පුළුවන. 


සැන්චි හෙවත් සැන්කි ආයතනය හැඳින්වෙන්නේ මෙඩිකල්  ඇන්ඩ් හෙල්ත් ප්‍රඩක්ට්ස් කම්පැනි (Medical and Health Products) නමිනි.  සෞඛ්‍ය සේවයට අයත් වෛද්‍ය උපකරණ, සේවාවන්, සනීපාරක්ෂක නිෂ්පාදන ඇතුළු  නිෂ්පාදන ගණනාවක් නිපදවන පුළුල් සමාගමකි. වර්ග මීටර 42,000ක පමණ භූමියක  පිහිටි විශාල සමාගම සතුව ඇති කර්මාන්තශාලා ගණන හතකි. මෙහි නිෂ්පාදනය කෙරෙන  නිෂ්පාදන සඳහා එක්සත් ජනපදය, ජපානය, යුරෝපා සංගමයේ රටවල මෙන් ලොව තවත් රටවල  ඇත්තේ ඉතා හොඳ පිළිගැනීමකි. ‘ෂැංඩොං’ දිස්ත්‍රික්කයට අයත් පරිපාලනමය නගරයක  ස්ථාපිත ‘සැන්චි’ 1993 දී ආරම්භ වූ අතර එද‌ා සිට මුඛ ආවරණ හෙවත් සර්ජිකල්  මාස්ක් නිපදවීම සිදුකරයි. 


“එතෙක් සාමාන්‍ය විදියට රෝහල් සහ සෞඛ්‍ය  ක්ෂේත්‍රයට මුඛ ආවරණ නිෂ්පාදනය කරමින් සිටි අප, බහුලව සහ වඩාත් විශාල  නිෂ්පාදන ක්‍රියාවලියකට ප්‍රවේශ වූවේ සාර්ස් වසංගතය එක්ක, චීන ජනතාව මුඛ  ආවරණ පැළැඳීම බහුලව සිදුකළ නිසයි. ඒ විතරක් නෙවෙයි හොංකොංහි ජනතාව සියයට  90ක්ම වගේ සාර්ස්වලින් පසුව මාස්ක් පැළැඳීම පුරුද්දක් කරගත්තා. අපි අපේ  නිෂ්පාදන ක්‍රියාවලිය වඩාත් පුළුල් කිරීමට පටන් ගත්තේ අන්න ඒ අවස්ථාවෙන්  පසුවයි. එය චීනය ඇතුළත සහ හොංකොං කලාපය අවට විතරක් නෙවෙයි සිදු වුණේ.  ජාත්‍යන්තර වෙළෙඳපොළ පවා ග්‍රහනය කරගන්න අපට හැකි වුණා. අපගේ නිෂ්පාදන  ධාරිතාව පුපුරා ගියේ 2009 දී එච්1-එන්1 (H1-N1) වසංගතය පැතිරීමත් සමගයි.”


‘සැන්චි’  සමාගම තම නිෂ්පාදන ඉහළ ගිය අන්දම ගැන සඳහන් කරන්නේ එලෙසිනි. 2020  දෙසැම්බරයේදී එක්තරා දිනෙක සැන්චි සමාගමේ සභාපතිවරයා වන වන් චොන්ෂෙන් ගේ  රූපය ඇමෙරිකාවේ ටයිම්ස් චතුරශ්‍රයේ ගොඩනැගිල්ලක ප්‍රදර්ශනය කෙරිණි. 


“මෙම  මාරාන්තික කොරෝනා වසංගතය අප වෙලාගත් ද‌ා සිට සැන්චි (Sanqi) ආයතනයේ සභාපති  වන් චොන්ෂෙන් ලබාදුන් නායකත්වය ඉහළයි. සැන්චි සමූහයේ සේවකයින් සමග ඔහු ද  නිදි නොලබා තම අධ්‍යක්ෂ මණ්ඩලය සමග කටයුතු කරමින්, ප්‍රතිකාර වැඩ මුරවල පවා  යෙදෙමින් වෛද්‍ය ආරක්ෂණ උපකරණ සහ මුඛ ආවරණ නිෂ්පාදන මිලියන 200කට ආසන්න  ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට කැපවුණා. මේ ගෝලීය වසංගතයෙන් ජනතාව ආරක්ෂා  කරගන්න ඔවුන් ඒ කළ දේ අප පැසසිය යුතුයි.” 


Sanqi නාමය මුළු ලෝකයා හමුවේ එද‌ා සනිටුහන් වූවේ ඒ අයුරිනි. 


“2020  ජනවාරියේ කොරෝනා වෛරසය ඒමත් සමග අපි නිෂ්පාදන ධාරිතාව දෙගුණ කළා. ඒ දිනවල  ලක්ෂ 8ක පමණ දෙනාගේ සේවය ලබාගත්තෙ ලෝකයට මාස්ක් අත්‍යවශ්‍ය වූ නිසයි.  නිෂ්පාදිත ඉලක්කය කරා යන්න අපට තිබුණෙ සීමිත දින ගණනක් විතරයි. ඒ වෙනුවෙන්  අප සමාගම සතු සේවක පිරිස ප්‍රමාණවත් වුණේ නැහැ. ලක්ෂ හතරක විතර සේවක  සංඛ්‍යාවට අමතරව අපට තවත් ලක්ෂ 4ක පමණ සේවක සංඛ්‍යාවක් හයර් කරන්න  සිද්ධ වුණා. එයාලා පැය 24ම එක දිගට වැඩ කළේ මැෂින් වගෙයි. වෙලාවකට  මැෂින්වලට වඩා මිනිස් දෑත් ක්‍රියාත්මක වුණා. සේවක පිරිස සේවා මුරයකට අනුව  සේවය ලබාදුන්නත්, මෙහි යන්ත්‍ර පැය 24 පුරාම ක්‍රියාත්මක වීම විටෙක  වාර්තාවක් වෙන්න පුළුවන්.” 


2020 දී එලෙසින් මහා ක්‍රියාන්විතයක එනම්  මුඛ ආවරණ නිෂ්පාදනය කිරීමේ දැවැන්ත ක්‍රියාද‌ාමය පුළුල් කළ ‘සැන්චි’  මෙඩිකල් ආයතනයේ සේවකයින්ට උදේ 7ට සේවය පටන්ගත් පසු සවස 6 දක්වා පළමු වැඩ  මුරය නිම කිරීමට සිදුවිණි. ඔවුනට එද‌ා තිබූ ලොකුම ප්‍රශ්නය වූයේ ලැබෙන  ඇනවුම් ප්‍රමාණයට අනුව නිෂ්පාදන කිරීම සඳහා ප්‍රමාණවත් තරමට අමුද්‍රව්‍ය  නොතිබීමය. කෙසේ වෙතත්, මුලින් නිෂ්පාදනය කළ දැවැන්ත මුඛ ආවරණ තොගය ඔවුන්  බෙද‌ාහැරියේ මෙම වසංගතය ලෝකයට ආ හුබෙයි පළාත වෙතය. 


දිනකදී මාස්ක් මිලියන තුනක් 


2020  ජනවාරියෙන් පසුව ‘සැන්චි’ දිනකදී මාස්ක් හෙවත් මුඛ ආවරණ මිලියන තුනක්  නිෂ්පාදනය කිරීම, තනි සමාගමක් හැටියට කළ මහා ක්‍රියාද‌ාමයක් විය. එලෙසින්  මුඛ ආවරණ නිෂ්පාදනයේදී ක්‍රම 5ක් ඔවුන් භාවිත කළේය. අමුද්‍රව්‍ය එක්රැස්  කිරීම පළමුව සිදුකළ අතර අල්ට්‍රාසොනික් තාක්ෂණ ක්‍රමවේදය යටතේ මේ සඳහා  යොද‌ාගන්නා රෙදි නියමිත පරිදි සකස් කිරීම සිදුකරනු ලැබේ. යන්ත්‍ර මගින්  නිමා කිරීම සිදු වුව ද පුංචි පළුද්දක් හෝ වේ ද යන්න සොයා බැලීම සිදුකරනු  ලබන්නේ සේවක ශ්‍රමය යොද‌ා ගනිමිනි. නිම වූ මාස්ක් පැකින් කිරීමට නොහොත්  පෙට්ටිවල ඇසුරුම් කිරීමට පෙර අධීක්ෂණය කිරීම නැවතත් සිදුකරයි. මෙලෙසින් පැළැඳීමට වඩාත් සෞඛ්‍ය ආරක්ෂිත බව නිසා ‘සැන්චි’ මාස්ක්වලට  ලෝකයේ ප්‍රබල රටවලින් ලොකු ඉල්ලුමක් ලැබුණු බව සඳහන් කළ හැකිය. ජපානය  තමුන් විසින්ම මාස්ක් නිෂ්පාදනය කළ ද ඒ ප්‍රමාණවත් නොවූ බැවින් තත්ත්වයෙන්  උසස් නිෂ්පාදන ලෙස සැන්චි නිෂ්පාදන ලබාගත් බව සමාගමේ වාර්තා සඳහන් කරයි.  කොරෝනා වසංගතය ඒමට පෙර ලෝකයෙන් භාගයකට මාස්ක් නිෂ්පාදනය කළ චීනය වත්මනෙහි  (2021) ‘සැන්චි’ වැනි මහා පරිමාණ සමාගම් නිසා ලෝකයේ හතරෙන් තුනකට ආසන්න  ප්‍රමාණයකට මාස්ක් නිපදවන බව කිව හැකිය. 


“අනාගතයේදී නිෂ්පාදිත  ධාරිතාව මීට වඩා දෙගුණ තෙගුණ කිරීම අපගේ අරමුණයි. ඒ වෙනුවෙන් සම්පූර්ණයෙන්ම  ස්වයංක්‍රීයව කටයුතු සිදුකෙරෙන යන්ත්‍ර ප්‍රමාණය වැඩි කිරීමට මෙන්ම මහා  සේවක පිරිසක් වෙනුවට යන්ත්‍ර මගින් වැඩි මෙහෙයුමක් කිරීම අපගේ අරමුණයි.” 


සැන්චි ආයතනයේ පරිපාලනය පවසන්නේ එලෙසිනි. වර්ග මීටර් 42,000ක භූමිය සතු  සැන්චි හි කර්මාන්තශාලා (යන්ත්‍ර ඇති) සඳහා පමණක් වෙන් වූ ඉඩ ප්‍රමාණය වර්ග  මීටර 28,600කි. විශේෂිත තාක්ෂණය සහිත මැෂින් 700ක් පමණ ඇත. 100 සහ 300 යන  වර්ගීකරණයට නැතහොත් තත්ත්වයට අනුව කර්මාන්තශාලාව නිරෝධායන තත්ත්වයෙන් නිතරම  පවත්වාගෙන යනු ලබයි. ශල්‍ය හෙවත් සර්ජිකල් මාස්ක්, N95 මාස්ක් ඇතුළු  වෛද්‍ය හා සෞඛ්‍ය අංශයට අද‌ාළව වර්ග 120ක් පමණ නිෂ්පාදන මෙහිදී සිදුකෙරේ.  ලෝකයේ රටවල් 44කට ඔවුන්ගේ මෙම නිෂ්පාදන බෙද‌ාහැරීම සිදුවන බව සඳහන් කළ  හැකිය. 
චීනයේ ‘සැන්චි’ මේ විදියට මුඛ ආවරණ නිෂ්පාදනය කරද්දී ලෝකයේ  බොහෝ රටවල බොහෝ සමාගම් ඉතා දියුණු තාක්ෂණයට සහ ක්‍රමවේදයන්ට අනුව නිෂ්පාදනය  කිරීමට පටන්ගෙන තිබෙනවා. අපි ඒ ගැනත් මොහොතකට විමසුම් කර බලමු. 

 


ලෝකයේ විවිධ රටවල විවිධ සමාගම් විසින් තාක්ෂණයෙන් උසස් අයුරින් නිෂ්පාදනය කෙරෙන මාස්ක් වර්ග 
  Pureme (පියෝමී), ඔස් එයාර් (Aus Air), LMP, (එල්එම්පී), Breath  (බ්‍රීත්), 3M (ත්‍රීඑම්), Airt Smart Magic සහ Banale යන මාස්ක් නාමයන්  අනාගත සමාජයේ බොහෝ දෙනා භාවිත කරනු ඇතැයි ඒවා නිෂ්පාදනය කරන සමාගම් කියා  සිටී. ලෝකයේ ප්‍රථම වතාවට Micro Ventilator (ඉතා කුඩා විදුලි පංකාවක් වැනි  උපාංගයක් සහිත) එයාර්+මාසක් විශේෂයෙන්ම නිපදවා ඇත්තේ කුඩා ළමුන් වෙනුවෙන්ම  යැයි කිව හැකිය. එමෙන්ම මෙලෙසින් නම් සඳහන් කළ මාස්ක්වලට අමතරව බොහෝ සමාගම්  එකිනෙකා පරයා යමින් ඉතා අනර්ඝ මාස්ක් හෙවත් මුඛ ආවරණ නිෂ්පාදනය කිරීමට  පෙළැඹී සිටින වග කිව හැකිය. ඒ අතරින් හෙට දවසේ හඳුන්වා දීමට නියමිත 'Razer'  නමැති නිෂ්පාදනය ඉතාම ඉහළ තාක්ෂණය සමග නිර්මාණය කිරීමට කටයුතු යොද‌ා ඇති  මුඛ ආවරණයකි. රේසර් මාස්ක් නිෂ්පාදන ක්‍රියාවලිය නම් කර ඇත්තේ හේසල්  ව්‍යාපෘතිය නමිනි. සාමාන්‍ය සර්ජිකල් මාස්ක් (Surgical Mask) එකක් වුව ද  දවස තිස්සේම පැළැඳ සිටීම අපහසුතාව ගෙන දෙන්නක් වුව ද මෙම 'Razer' යනු  එවැනි එකක් නම් නොවේ. සිලිකන් ආවරණය හරියටම මුහුණට ගැළැපෙන විදියට මෙය  නිෂ්පාදනය කිරීම එක් විශේෂත්වයකි. N95 මාස්ක් එකක වගේ පෙරණයක් (Filter)  සමග වාතය පිරිසිදු කර ලබාදීමට සහ පිට කිරීමට හැකි පරිදි උපාංගයක් ඇතුළත්ය.  අප පිට කරන උණුසුම් වාතය එළියට දැමීමට සහ පිටතින් ගන්නා වාතය සිසිල් කර  පෙරණය මගින් පිරිසිදු වාතය ලෙස ලබාදීම ඒ මගින් සිදුකරයි. මේ නිසා මෙම  මාස්ක් එක (මුඛ ආවරණය) ඇතුළත කාබන්ඩයොක්සයිඩ් සෑදීම සිදු නොවන වග සමාගම  සඳහන් කරයි. ඉතා කුඩා මාස්ක් එකක් සහිත නිසා මුඛ ආවරණය පැළැඳියත් කටහඬ  වෙනසක් සිදු නොවේ. අභ්‍යන්තරය අඳුරු වනවිට එනම් මන්ද‌ාලෝක තත්ත්වය යටතේ මෙම  මාස්ක් එක ස්වයංක්‍රීයව ආලෝකවත් වන්නේ කුඩා ආලෝකකරණ පද්ධතිය නිසාය. Voice  Amp තාක්ෂණය හඳුන්වා දී තිබේ. මෙය පැළැඳියේ යැයි කියා ඔබට කිසිදු වෙනසක්  නොදැනී, සාමාන්‍ය විදියට මුහුණේ ඉරියව් ප්‍රකාශ කළ හැකිය. ඒ නිසා පෙර සේ  සමාජ සබඳතා බුක්ති විඳීමේ ප්‍රශ්නයක් ඇති නොවන්නේය. වායු ප්‍රවාහය නියාමනය  කෙරෙන අතර අවම වශයෙන් සියයට 95ක වා අංශු පෙරණය වීම (පෙරීම) සිදුවන බව කිව  හැකිය. ප්‍රොජෙක්ට් හේසල් ව්‍යාපෘතිය යටතේ නිපදවීමට නියමිත, පාරජම්බුල (UV)  ආරෝපණ සහ ආලෝක අභ්‍යන්තරයකින් ආවරණය කර ඇත. ඒ මගින් බැක්ටීරියා සහ වෛරස්  විනාශ කරයි. මෙහි ඇති අතිසුවිශේෂත්වය වන්නේ රීචාර්ජ් කිරීමට හැකි වීමයි  (නැවත ආරෝපණය). ජලයට ඔරොත්තු දීම නිසාත් සීරීමට ඔරොත්තු දිය හැකි පරිදි  නිර්මාණය කිරීම යනාදී බොහෝ ගුණාංගයන්ගෙන් යුතු වඩාත් ආකර්ෂණීය මුඛ ආවරණයකි.  හැබැයි මෙය සමාජයේ සියලු දෙනාට පැළැඳිය හැකි එකක් නම් නොවන්නේ මේ තාක්ෂණික  ගුණාංග සමග මිල ද ඉතා ඉහළ වන බැවිනි. හොඳ දේ කොහොමටත් ලාභ නොවන වග හැමෝම  දන්නා කරුණකි. 


මොන යම් හෝ විදියකින් මේවා, අද විටෙක නීතිමය  අවස්ථාවක් දක්වා දුරදිග ගිය මුඛ ආවරණ නිෂ්පාදන, මේ ලෝක වසංගතය නිම වූ පසුව ද  ලෝක ජනතාවට පැළැඳීම නම් අනිවාර්යය දෙයක් වන්නේ මිනිසා විසින් ඉවක් බවක්  නැතුව කරන පරිසර හානිය නිසාවෙනි. එකතකට එය පරිසරය විසින් මිනිසා හට ලබාදුන්  දඬුවමක් නොවේ ද?

 

 

පරිවර්තන සටහන : 
සඳුන් ගමගේ