මේ ගස් හැර තවත් ගස් තිබේ ද?



මිහිපිට ජීවත් වන මිනිසා ඇතුළු සියලු සත්වයින් හට ජීවය සදන්නේ ගස්වැල්ය. ගසකට තරම් අයිතියක්, උරුමයක් වෙනත් කිසිවකුට නොමැත. ගහට, කොළට, නිලට, දොළට, වැලට, ආදරය කරන ලොව දසත සැරිසරන්නන්ගේ සහ පාඨක ඔබගේ දැනගැනීම වෙනුවෙන් අද සැරිසරා මේ සටහන් කරන්නේ මහ පොළවේ මහාර්ඝ ගස් කීපයක් ගැන විස්තරයකි.


ලෝකයේ පැරණිම 
(වයස්ගත වූ) ගස


Methuselah නමැති ගස ලෝකයේ දැනට සොයාගත් පැරණිම ගස ලෙස සඳහන් වේ. වසර 4,800 ක් 5,000 ත් අතර වයස යැයි සඳහන් වේ. නැගෙනහිර කැලිෆෝනියාවේ 2022 දී ගණනය කර ඇති පරිදි මෙහි වයස වසර 4853 ක් ලෙස වාර්තා දක්වා තිබිණි. 

Great Basin Bristle Cone Pine (Pinus Longaeva) යන විද්‍යාත්මක නාමයෙන් නොහොත් Methuselah (මෙතුසෙලා) ලෙස නම් කර ඇත. ඝන කඳක් සහිත මෙන්ම ඉටි වැනි (දුම්මල) දේ දැකගත හැකි අතර මෙහි ශාක පත්‍ර දක්නට නොලැබේ. ශේෂ වූ කඳක් ලෙස දැකගත හැකිය. අනෙකුත් ශාක නොවැඩෙන පසක මෙම ගස පිහිටා තිබීමද විශේෂත්වයකි. කැලිෆෝනියාවේ සුදු කඳුකර පෙදෙසේ බ්‍රිස්ටල් කෝන්පයින් ගස් ඇති යායේ මෙය ඇති වග සඳහන්ය. ආරක්ෂා කරගනු වස් එය ආවරණය කර ඇතැයිද සඳහන් වේ.


ලොව පැරණිතම Clonal tree


ක්ලෝන ප්‍රති නිෂ්පාදනය කරන (ගසක්) වන ‘පැන්ඩෝ’ ලෙස නම් කර ඇති ගස ලොව එම වර්ගයට අයත් පැරණි ගස ලෙස හැඳින්වේ. Trembling Giant යන නාමයෙන්ද හැඳින් වෙන මෙම ගස්වල විශේෂත්වය වන්නේ සෑම ගසක්ම එක හා සමාන වීමය. තස්මේනියාවේදී දැකගත හැකි වුවද මෙම Clonal ගස දැකගත හැකි වන්නේ ඇමරිකාවේ Fish Lake  ජාතික රක්ෂිතයේදීය.

 

 


ආසියාවේ පැරණි තම (වයස්ගතම) ගස


ආසියාවේ ඇති වෘක්ෂයන් අතරින් වයස්ගතම ගස ලෙස හැඳින්වෙන්නේ Cypress of Abarqu හෙවත් Sarv – E – Abarkuh නමින් හැඳින්වෙන සයිප්‍රස් වර්ගයට අයත් ගසය. ගණනය කර ඇති පරිදි වසර 4000 ට වඩා ඉපැරණිය. ‘සයිප්‍රස් ඔෆ් අබාර්කු’ වන මෙය Zoroastrian Sarv ලෙසද හැඳින්වේ. මෙය දැක බලා ගැනීමට ඉරානයේ අබාර්කු නගරයට යා යුතුය.

 


ලෝකයේ උසම ගස The Tallest Tree in the world


රතු - දුඹුරු පැහැයකින් යුතු කඳ සහිත ‘රෙඩ්වුඩ්’ වර්ගයේ ගසක් වන මෙය නම් කර ඇත්තේ හයිපේරියන් (The hyperion) නමින්ය. පුදුමයට කාරණය නම් මෙම යෝධ ගස ද දැකගත හැකි වන්නේ ඇමෙරිකාවේ කැලිෆෝනියාවේදී වීමය. එහි සංචාරය කළහොත්, කැලිෆෝනියාවේ රෙඩ්වුඩ් ජාතික උද්‍යානයට යාමට අමතක නොකළ යුතුය. මෙම රෙඩ් වුඩ් ශාකය වසර මිලියන 200 වඩා පැරණි යැයි සඳහන් වේ. එනම් ජුරාසික් යුගයේ සිට පවතින්නකි. 

මෙම හයිපේරියන් ගසෙහි උස අඩි 379.1 ලෙස දක්වා ඇත. කඳු නගින්නන් සහ රක්ෂිතයන්හි සංචාරය කරන්නන් විනෝදය උදෙසා ඔවුන්ගේ නාමයන් කඳෙහි කෙටීම වැනි දේ සිදුකරයි. ඒ නිසා එයින් වළක්වා ගැනීම වෙනුවෙන් එලෙස  කරන්නන්ගෙන් ඩොලර් 5000 ක දඩයක් අය කරන බව සඳහන් කර ඇති නිසා කඳු තරණය කරන්නන් මෙන්ම රක්ෂිතයන්හි සැරි සරන්නන් මේවා සමීපයට නොයා ඈත සිට නැරඹීමට වග බලා ගනී.


ලොව උසම නිවර්ථන කලාපීය ගස The menara


ගැහැනු ළමයකු හට Menara (මෙනාරා) යන නාමය යොදාගෙන ඇත්නම් එහි අරුත දැන් අපට වටහා ගත හැකිය. අඩි 330 ක් පමණ උසැති මෙය දැක බලා ගැනීමට නම් වැඩි ඈතකට නොවේ මලයාසියාවට යා යුතුය. මැලේ ජාතිකයින් ඔවුනගේ භාෂාවට අනුව මෙය නම් කර ඇත්තේ ‘Tower’ හෙවත් කුලුන යන නාමයෙනි. ‘මෙනාරා’ යනු එයට දී ඇති නාමය වුවද මෙම ගස් හැඳින්වෙන්නේ Yellow Meranti නාමයෙනි.

 

 


ලොව විශාලතම ‘තනි’ ගස 
The biggest Tree in the world


ජනරාල් ෂර්මන් General Sherman යන නාමය ලබා දී ඇති මෙම මහා යෝධ වෘක්ෂය දැක බලා ගැනීමට ඇමරිකාවේ කැලිෆෝනියාවේ Sequoia ජාතික වනෝද්‍යානය වෙත යා යුතුය. පරිමාව අනුව ඝණ අඩි 56,186 කින් පමණ යුතු යැයි සඳහන් වේ. ඒ අනුව මෙම ගස කෙතරම් විශාලද යන්න ඔබට මැනගත හැකිය. මෙහි එක් අතු ශාඛාවක ප්‍රමාණය ගතහොත් මහා වනාන්තරයක ඇති ගසක් තරම් විශාල වේ. Sequoia (Sequoiadendron Giganteum) විද්‍යාත්මක නාමය වන අතර, ලැව්ගිණි හමුවේ මෙම ගස ආරක්ෂා වීම එකතකට ස්වභාවධර්මයේ ආශිර්වාදයකි.

 

 

 

 

 

 


ලොව ඇති උසම පතනශීලී (Diciduous) ගස Tualang 


මලයාසියාවේ බෝර්නියෝ දූපත වෙත ගිය හොත් ඔබට මෙම විශේෂිත ගස් වර්ගය මෙන්ම ගස දැක බලා ගැනීමට පුළුවන. අඩි 281 ක් පමණ උසැති යැයි සොයා ගෙන ඇත. Legume ශාක කුලයට අයත් මෙම ගස නම් කර ඇත්තේ Tualang ටුවාලං යනුවෙනි. Tawau Hills Park නොහොත් Sabah (සාබාහි) තවාවූ කඳුකර උද්‍යානයේදී මෙම ගස දැකග හැකිය. මැලේ බසට අනුව ‘Tua’ යනු පැරණි (old) යන අරුතය. Helang යන්නෙහි අරුත ඊගල් හෙවත් උකුස්සාය. රනිල කුලයට අයත් ගසක් වන මෙය සුමාත්‍රා සහ තායිලන්ත කලාපයේදී ද දැකගත හැකිය.


ලොව ශක්තිමත්ම කඳ සහිත ගස 
The Stoutest Trunk in the world


එල් ආබල් ඩෙල් ටූලේ (EL Arbol del Tule) නමින් නම්කර ඇති ශක්තිමත් කඳකින් යුතු මේ යෝධයා දැක බලා ගැනීමට නම් මෙක්සිකෝවේ ඔඅක්ස්කා (Oaxca) වෙත යා යුතුවේ. එහි ටූලේ (Tule) නගරයේදී මෙම ගස දැකබලා ගත හැකි වන අතර මෙහි කඳ (බඳෙහි ප්‍රමාණය) අඩි 311 අඟල් 3.5 විෂ්කම්භයකින් යුතුය. අඩි 116 ක් උස මෙය පරිමාව අනුව ලොව තෙවැනියට විශාලම ගස වේ. Montezuma (Taxodium Mucronatum) යන ජෛව විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙය සයිප්‍රස් වර්ගයේ ගසකි.


ලොව විශාලතම උඩුවියන් ශාකය The worlds largest canopy 


කඳන් කීපයක් ලාලිත්‍ය අයුරින් එකට බැඳී වෙලී ඉහළ අතු පතර විහිදී ගිය මෙම ගස් හැඳින්වෙන්නේ Canopy ගස් යන නාමයෙනි. මෙම කැනොපි ගසට නම් තබා ඇත්තේ තිම්මම්මා මාරිමානු (Thimmamma marrimanu) යනුවෙනි. අසල්වැසි ඉන්දියාවේ ආන්ද‌ා ප්‍රදේශ් වෙත ගිය විට මෙම ගස දැක බලා ගත හැකිය. හින්දු පුරාවෘත්තියන්හි දැක්වෙන පරිදි මෙම ගස වැවී ඇත්තේ නැසීගිය තම සැමියාගේ දරසෑය ආදහනයේදී බිරිඳ විසින් දර සෑයට දර වීසි කළ ස්ථානයේ යැයි විශ්වාස කෙරේ. මෙම ගසෙහි උඩුවියන (අතු) සෑදී ඇති අයුරු ඉතා අලංකාරය. විශාල භූමියකට සෙවණ සදන ගසකි. මෙය මහනුග වර්ගයට අයත් ගසකි.

ලෝකයේ විවිධ තැන්හි ඇති ඒ මහා වෘක්ෂයන් මෙන්ම අනෙකුත් වෘක්ෂයන් සැසඳීමේදී, වසර 2300 ඉපැරණි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ යනු ලෝකයේ බොහෝ දෙනාගේ වන්දමානයට පාත්‍ර වූ උතුම් වෘක්ෂය වේ. ඒ ගැනත් ගෞරවයෙන් සිහි තබාගෙන, ලෝකයේ සියලු තැන්හි ඇති වන සම්පත ආරක්ෂා කර ගැනීම මෙන්ම ඒවාට දේවත්වයෙන් සැළකීමෙන්, මිනිසාට වන්නේ යහපතක්මය.


සඳුන් ගමගේ