යකඩ කඳන්වලට පන්නරය දෙන සුන්දර යුවතිය


සොඳුරෑ 

මගේ පවුලේ නංගියි, මමයි අම්මයි, තාත්තයි ඉන්නේ. මම පවුලේ වැඩිමහල් දරුවා. පවුලේ පිරිමි ළමයෙක් නැති නිසා පුංචි කාලේ ඉඳලා පිරිමි ළමයෙකුගේ අඩුව පිරෙව්වෙ මම. පුංචි කාලේ ඉඳලා තාත්තාගේ පිටිපස්සේ වැටිලා ගරාජ් එකේ වැඩවලට උදව් වුණා. අම්මයි තාත්තයි දෙන්නම මම මජන් අතේ ගාගන්නවට කැමති වුණේ නැහැ. ඒත් මම පුංචිකාලේ ඉඳලා ආස කළේ මේ යකඩ ගොඩවල් වලට තමයි. ටික ටික වයසින් ලොකු වෙද්දි මට තිබුණේ සාමාන්‍ය කෙල්ලෙකුට වඩා වෙනස් හීන. පුංචි කාලෙදිත් බෝනික්කන්ට ලස්සන ලස්සන සෙල්ලම් බඩු වලට වඩා මම ආස කළේ තාත්තගේ ගරාජ් එකේ මේ යකඩ කෑලි වලට. වයසින් වැඩෙද්දිත් කියුටෙක්ස්, මේකප්, ලස්සන ඇඳුම්, සෙරෙප්පු, බෑග් වලට ආස ගෑනු ළමයින්ගේ හීනවලට වඩා මම සමාජය දිහා බැලුවේ වෙනස් විදිහට. මගේ පවුලේ ප්‍රධාන ආදායම් මාර්ගය වුණේ මේ වාහන ටින්කරින් පේන්ට් කරන වැඩපළ. 

 
පුංචි කාලේ ඉඳලා තාත්තාගේ ගරාජ් එකේ වැඩ වලට උදව් වුණාට ඒ වැඩ ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. තාත්තා යකඩ එක්ක ඔට්ටු වෙන හැටි, ගෙදර ආර්ථික ප්‍රශ්න එනකොට ඒවට මූණදෙන දුෂ්කරතා ඒ හැමදේම මට තදින්ම දැනුණේ හදිසියේම පසුගිය වසරේ තාත්තා අසනීප වීමත් එක්ක, තාත්තා අසනීප වීමත් එක්ක දරාගන්න බැරි ප්‍රශ්න ගොඩක් ආවා. තාත්තා අසනීප වෙනවා කියන්නේ අපි බඩගින්නේ. තාත්තාගේ අසනීප වීමත් එක්ක තමයි මම ගරාජ් එකේ වැඩ කරන්න පටන්ගත්තේ. ඒත් මම මජන් දැලි උලාගෙන යකඩ එක්ක හැප්පෙනවට තාත්තා මුලදි කැමති වුණේ නැහැ. මම මජන් උලාගෙන ඉන්නකොට යාළුවෝ මට හිනාවුණා. ඒත් අපි ජීවත්වෙන්න මොනවා හරි කරන්න ඕනැනේ. මම ගෑනු ළමයෙක්, සමාජයේ අය මට හිනාවේවි කියලා අත්දෙක බැඳගෙන හිටියොත් අපි හැමදාම එක තැන. 


මේ ලෝකේ කිසිම රැකියාවක් ලේසියි කියලා නැහැ. අමාරුයි, වගකීම් වැඩියි. අභියෝග එනවා. ඒවා විඳ දරාගන්න එක තමයි ජීවිතේ කියන්නේ. තාත්තා තමයි මගේ ලෝකේ වීරයා වුණේ. මම ආසාවෙන් තමයි මේ ගරාජ් වැඩ පුරුදු වුනේ. ඒත් වැඩ ඉගෙන ගන්න මුල් කාලේ නම් යකඩ එක්ක හැප්පිලා ගෙදර ගියාට පස්සේ මුළු ඇඟම රිදෙනවා. අතපය වේදනාවයි. ඒත් මම අතෑරියේ නැහැ. හැමදේටම හිත බෑ කිව්වොත් කොහොමත් බෑම තමයි. පිරිමි කරන රස්සා ගෑනුන්ට කරන්න බැහැ කියලා තියෙන සමාජ මතය බොරුවක්. පුහුණුවයි, දරාගැනීමයි, කැපවීමයි තියෙනවානම් ගෑනුන්ට කරන්න බැරි රස්සා මේ ලෝකේ නැහැ. මම යකඩ කඳන් පාටකරන්නේ මගේ ජීවිතේ ලස්සන කරගන්න. 


යකඩ කඳන් වලට පන්නරය දෙන ඇය සුරූපී තරුණ දියණියකි. වයස අවුරුදු 17 කි. පිරිමින් සමග උරෙන් උර ගැටෙමින් අභියෝගයන් සියල්ල දරාගනිමින් යකඩ කඳන් පාට කරමින් දෛවය වෙනස් මාවතකට රැගෙන යන ඇය දෙවුමිණි පාරින්ද්‍යා අපට හමු​ෙවන්නේ නොච්චියාගමිනි. 


අනුරාධපුර, නොච්චියාගම ග්‍රාමයේ උපන් දෙවුමිණි ගැහැනු දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දියණියයි. ඇයගේ මව කල්‍යානි දිසානායක වන අතර ඇය ගෘහණියකි. ඇයගේ පියා ශ්‍රීනාත් ඇන්තනී වසර ගණනාවක සිට වාහන ටින්කරින්, පේන්ටින් සහ වාහන අලුත්වැඩියා කරන වැඩපළක් පවත්වාගෙන යන අතර වාහන ටින්කරින්, පේන්ටින් ශිල්පියකු ලෙස ඔහු හසල දැනුමක් ඇති කාර්මික ශිල්පියෙකි. වෙනදාට වාහන ටින්කරින් පේන්ටින් වැඩ සඳහා ශ්‍රීනාත් මහතාව සොයාගෙන වැඩපළට එන බොහෝදෙනා අද එන්නේ වෙනත් කෙනෙකු සොයාගෙනය. ඒ සියුමැලි දෑතින් යකඩ කඳන් පාට කරන පාරින්ද්‍යා එනතෙක්ය. 
ෆැන්ටසි ලෝකවල හීන දකින තරුණියන් වගේම උපාධියෙන් රැකියාවක් අතට දෙනතෙක් ඔළුව උදුම්මවාගෙන සිටින තරුණ තරුණියන්ට පාරින්ද්‍යා දියණිය හොඳම ආදර්ශයකි. ෆැන්ටසි ලෝකවලට ආදරය කරන තරුණියන් අතර ඇය ආදරය කළේ ඇඟලා ගත්තේ මජන් ඇඳුමයි. පියාගේ රෝගාතුර වීමත් සමඟ ඇයගෙත්, නැගණියගෙත් අධ්‍යාපන කටයුතු සහ පවුලේ ආර්ථිකය වෙනුවෙන් මුදල් සොයා ගැනීමට වාහන ටින්කරින් කරන නොච්චියාගම යකඩ කෙල්ල පාරින්ද්‍යා වෙනුවෙනුයි මේ ඉඩකඩ. 


මගේ වයස අවුරුදු දාහතයි නොච්චියාගම අඩම්පනේ සුදර්ශන මහ විද්‍යාලයෙන් සහ තඹුත්තේගම මහා විද්‍යාලයෙන් මම අධ්‍යාපනය හැදෑරුවා. පසුගිය වසරේ මම සාමාන්‍ය පෙළට පෙනීසිටියා. පොඩි කාලේ ඉඳලා මම ආස කළේ තාක්ෂණික දේවල්වලට. මේ ගරාජ් වැඩවලට නන් ලොකු ආසාවක්, ආදරයක් තිබුණා. මේ යකඩ ගොඩවල් වලට මම හරි ආසයි. පුංචි කාලේ ඉඳලා අපිට ආර්ථික අපහසුතා ගොඩක් තිබුණා. ඒත් තාත්තා අපිට කිසිම අඩුවක් කළේ නැහැ. තාත්තාගේ අසනීප තත්ත්වයත් එක්ක තමයි මම තීරණය කළේ කොහොම හරි ගරාජ් රැකියාව කරලා පවුලේ ආර්ථිකය ගොඩදානවා කියලා. 


සිනිඳු දෑත් වලට යකඩ බර වැඩි බව දැනදැනත් පියාගේ හදිසි අසනීප තත්ත්වය මත ඇයගේ දැඩි ආත්ම ශක්තිය දෛවය විසින් වෙනස් මාවතකට හරවන්නේ අ.පො.ස සාමාන්‍ය පෙළ කඩඉමෙන් පසුවය. ඇය සාමාන්‍ය පෙළ අසමත් වූ නිසා මේ වෘත්තිය තෝරාගත්තා යැයි කෙනෙකුට සිතන්නට පුළුවන. එහෙත් කතාව ඊට වෙනස්ය. 


නංගි නම් මේ ගරාජ් වැඩ වලට පොඩ්ඩක්වත් කැමති නැහැ. නංගි තාම නොච්චියාගම අඩම්පනේ සුදර්ශන මහා විද්‍යාලයේ අට ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. ආර්ථික අපහසුතා තිබුණට මේ ගරාජ් රැකියාවෙන් තමයි තාත්තා අපිව ජීවත් කෙරෙව්වේ. හිටිහැටියේම අත් කකුල් හිරිවැටෙන රෝගී තත්ත්වයක් එක්ක තාත්තා අසනීප වෙන්නේ පසුගිය වසරේ මැද විතර. කොරෝනා එන්නත ගත්තට පස්සේ තමයි අත් කකුල් හිරිවැටෙන්න අරගෙන මහන්සි වෙලා වැඩ කරන්න අමාරු තත්ත්වයක් ආවේ. ප්‍රතිකාර කරාට ලොකු සුවයක් ලැබුණේ නැහැ. තාත්තාගේ අසනීප තත්ත්වයත් එක්ක ගෙදර ආර්ථික ප්‍රශ්න ගොඩක් ආවා. නංගිගෙයි මගෙයි අධ්‍යාපනික වියදම්, ගෙවල් කුලී, තාත්තාගේ අසනීප තත්ත්වයට යන වියදම්, ගෙදර ආර්ථිකය දරාගන්න බැරි ප්‍රශ්න ගොඩක් එක්ක හිර වෙනකොට තමයි මම තීරණය කළේ ගරාජ් එකේ වැඩ මට තනියම හරි කරලා ගෙදර ආර්ථිකයට ශක්තියක් වෙන්න ඕන කියලා. ඒ විදිහට බලා ඉඳලත් ගරාජ් එකේ වැඩ ගොඩක් මම ඉගෙන ගත්තා. සමහර දේවල් මට තාත්තා කියලා දුන්නා. මේ වෘත්තියට ආස නිසා වැඩ පුහුණු වෙන්න මට ලොකු කාලයක් ගියේ නැහැ. පස්සේ මම තනියම වාහන ටින්කරින්, පේන්ටින් කරන්න පටන්ගත්තා. දැන් ගොඩක් වැඩ මම තනියම කරනවා. ඒවයේ අඩුපාඩු තියේනම් තාත්තා හදනවා. 
ඇත්තටම තාත්තාගේ අසනීප තත්ත්වය එක්ක තමයි තාත්තාගෙන් පස්සේ මේක ඉස්සරහට ගෙනියන්න ඕන කියලා තීරණය කළේ. 

 


මම සාමාන්‍ය පෙළ විෂයන් 9 ක් සාමාර්ථ ඇතුව සමත්වුණා. දැන් මම තාක්ෂණවේදය පැත්නෙන් උසස් පෙළ කරනවා. ගෙදර ආර්ථික ප්‍රශ්න එක්ක අධ්‍යාපනය අතෑරලා දාලා ගරාජ් රැකියාව කරන්න හිතුන අවස්ථාත් තියෙනවා. ඒත් හැමදාම මජන් ගාගෙන ඉන්නවට වඩා ඉගෙන ගත්තොත් මේ ව්‍යාපාරය මට දියුණු කරන්න පුළුවන් කියන විශ්වාසය මා තුළ තියෙනවා. කාර්මික හා තාක්ෂණික පැත්තෙන් අවශ්‍ය කරන අධ්‍යාපනික සුදුසුකම් ටික හදාගෙන කොහොම හරි ගරාජ් එක දියුණු කරන්න තමයි මගේ එකම බලාපොරොත්තුව. 
මේ වනවිට දෙවුමිණි දියණියගේ පියා අත් කකුල් හිරිවැටෙන රෝගී තත්ත්වයෙන් පෙළෙන අතර, එම ප්‍රතිකාර වලට වියදම් කරමින්, ගෙවල් කුලී ගෙවමින්, ලයිට් වතුර බිල් වියදම් දරමින්, පවුලේ වියදමට අමතරව දෙවුමිණිගේ සහ නැගණියගේ අධ්‍යාපන කටයුතු සඳහාද ඇය මුදල් සොයාගන්නේ දිවා රෑ නොබලා වාහන ටින්කර් කිරීමේ රැකියාවේ නියැළෙමින්ය. 


මේ ටින්කර් ජොබ් එක කරන් යද්දි ඉස්කෝලේ, ගමේ යාළුවෝ මට විහිළු තහළු කළා. මට හිනාවුණා. මොකද්ද ඔය කරන ජොබ් එක කියලා ඇහුවා. ගරාජ් වල කෙල්ලෝ වැඩ කරනවද ඕවා ගෑනු ළමයින්ට ගැළපෙන්නේ නෑ කියලත් ගොඩක්දෙනා කිව්වා. මම වැඩ කරනවා දැකලා මුලදි මිනිස්සු වැඩ දෙන්න බයවුණා. සමහර අය තාත්තාගේ විශ්වාසයට දෙන වැඩ මම හරියට කරලා දුන්නම මා පිළිබඳ විශ්වාසයක් ඇතිවුණා. දැන් මම මේ යකඩ එක්ක ඔට්ටු වෙන එක ඒ හැටි කතන්දරයක් නෙමෙයි. 


පාසලේ යාළුවෝ ගමේ අය මම ගරාජ් එකේ වැඩ කරනවා දිහා බලන් හිටියේ පුදුමයෙන් වගේ. සමහර යාළුවෝ හිත රිදෙන තරමට විහිළු කරලා තියෙනවා. ඒත් මම ඒ කිසිම දෙයක් ගණන් ගත්තේ නැහැ. මට ඕන වුණේ අපි වැටුණ තැනින් කොහොම හරි නැගිටින්න. 


තාම නම් පාසල් පටන්ගත්තේ නැහැ. උපකාරක පන්ති පටන්ගත්තා. උදේ ඉඳන් රෑවෙනකම් ගරාජ් එකේ වැඩ කරලා රෑට පාඩම් වැඩ කරනවා. කාර්මික අධ්‍යාපන ආයතනයකට යොමුවෙලා වැඩිදුර මේ කර්මාන්තය ගැන ඉගෙන ගන්න ආසයි. ගරාජ් එකේ වැඩ කරලා ලැබෙන මුදලින් තාත්තාගේ බෙහෙත්, ගෙදර වියදම්, ගෙදර කුලිය, නංගිගෙයි මගේ අධ්‍යාපන මේ වියදම් සියල්ලම කරන්න ඕන. මුලින් උසස් පෙළ කොහොම හරි කරගෙන පස්සේ කාර්මික අධ්‍යාපන ආයතනයකට යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා. අප ජීවත් වෙන්නේ කුලී නිවසක, මගේ එකම අරමුණ මගේම තැනකට මේ ගරාජ් වැඩපළ ගෙනියන්න. මට ඕන වුණේ කාටවත් බරක් නොවී තමන්ගේ දෑතේ ශක්තියෙන් ජීවිතේ ගොඩයන්න. 


අම්මලා තාත්තලාට තියෙන්නේ දරුවෝ ගැන ලොකු හීන. මගේ අම්මටයි තාත්තටත් ඒ වගේ බලාපොරොත්තු තිබුණා. ඒත් තාත්තාගේ අසනීප තත්ත්වය නිසා නොහිතපු වෙලාවක මේ රැකියාවට මට එන්නවුණා. මේ ඇත්තටම මම ආසාවෙන් කරන රැකියාවක්. ගරාජ් එකක ගෑනු ළමයෙක් වැඩ කරනවා දැක්කම සමහරු ඒක මදිකමක් විදිහටත් දකිනවා. මට කිසිම වෙලාවක සමාජය මා දිහා බලන විදිහ අදාළ කරගන්නේ නැහැ. 

 


සම්ප්‍රදායන් එක්ක ජීවත් වෙන්න ගියොත් අපිටත් වෙන්නේ අනිත් අය හා සමාන ජීවිතයක් ගත කරන්න. එහෙම වුණොත් අපි හැමදාම එකම තැන. ඒත් තමන්ගේ හිතේ මවාගත්තු ඒ ලෝකයත් එක්ක ඉස්සරහට යන්න පුළුවන්නම් සමාජයේ අනිත් අයට වඩා හොඳ ජීවිතයක් ගත කරන්න අපිට පුළුවන්. මගේ අරමුණ තාත්තාගේ ව්‍යාපාරය අපේම තැනක දියුණු කරගන්න. ඊට අමතරව නංගිට හොඳට උගන්වන්න ඕනෑ. 
මේ වෙනකොට අපි අනුරාධපුර නොච්චියාගම 38 කණුව ප්‍රදේශයේ ගරාජය පවත්වාගෙන යනවා. ඒත් එතන නිවසට සහ ගරාජය පවත්වාගෙන තැනට කුලිය වැඩියි. ඉක්මනින්ම වෙනත් ස්ථානයකට යන්න බලාපොරොත්තු වෙනවා. ජීවිතේ වැඩි හරියක් අපි හිටියේ තැනින් තැන. ස්ථිරව ඉන්න තැනක් හදාගන්න තමයි මගේ එකම හීනය. මම නිතරම මේ යකඩ ගොඩවල් දකින්නේ මගේ ජීවිතේ ලස්සන කරන දේවල් විදිහට. යැයි සුන්දර සිනහවකින් ඇය අපට සමුදුනි. 


ටින්කරින් පේන්ට් වැඩ කරමින් මුළු පවුලෙම ජීවිත ලස්සන කරන්න යකඩ කඳන් එක්ක හැප්පෙන මේ ධෛර්යවන්ත දියණිය පාරින්ද්‍යා මුළු මහත් සමාජයටම ආදර්ශයකි. 

 

 

නදීශා අතුකෝරළ