යළි පණ ලබන තයිලසයින්



ටැස්මේනියා යනු ඕස්ට්‍රේලියාවට අයත් ඕස්ට්‍රේලියා මහාද්වීපය පහළ කෙළවරේ ඇති දූපතකි. ලොව අන් කිසිම තැනක දකින්න නොලැබෙන විදියේ ජීවීහු ඕස්ට්‍රේලියාවේත්, ටැස්මේනියාවේත් වාසය කරති. ඒ අතරින් අප ඇස් පනා පිටම වඳ වී ගිය ජීවීහු ද වෙති. ටැස්මේනියානු ව්‍යාඝ්‍රයා අපේ ඇස් පනා පිට වඳ වී ගිය සත්වයෙකි. අවසන් ටැස්මේනියානු ව්‍යාඝ්‍රයා මියගියේ 1936 දීය. මියයනවිට මේ සත්වයා හිටියේ සත්වෝද්‍යානයක කුඩා කූඩුවක් තුළය. මිහිමතින් තුරන් වී, වසර 85 කට පසු අප ටැස්මේනියානු ව්‍යාඝ්‍රයා ගැන කතා කරන්නේ ඇයි? ඒ, විද්‍යාඥයන් කණ්ඩායමක් ටැස්මේනියානු ව්‍යාඝ්‍රයාට පණ දීමට සූදානම් වන බැවිනි. 

පළමුවෙන් අපි ටැස්මේනියානු ව්‍යාඝ්‍රයා යනු මොනවාගේ සතකුදැයි පැහැදිලි කර ගනිමු. ටැස්මේනියානු ව්‍යාඝ්‍රයා යැයි කීවාට, මේ සතා ව්‍යාඝ්‍රයෙකු නොවෙයි. බිළාල පවුලේ එසේත් නැතිනම් බළල් පවුලේ සාමාජිකයකු ද නොවෙයි. මේ සතා අයිති වෘකයන් සහ නරියන් ද අයත් සුනඛ පවුලටය. ඒ නිසාම, ටැන්ස්මේනියානු වෘකයා යනුවෙන් ද මේ සතා හැඳින්වෙයි. ඒත් මේ සතාට ව්‍යාඝ්‍රයා 
කියන්නේ ඇයි? 

ඒකට හේතුව, මේ සතාගේ පිට මැද සිට වල්ගය ආරම්භය තෙක් ව්‍යාඝ්‍රයකුගේ මෙන් දිගට වයිරම් එසේත් නැතිනම් ඉරි තිබීමය. ටැස්මේනියානු ව්‍යාඝ්‍රයා, ටැස්මේනියාවට පමණක් ආවේණික සතෙකි. ටැස්මේනියාව යනු ඕස්ට්‍රේලියාව අසල ඕස්ට්‍රේලියාවට පහළින් පිහිටි ඕස්ට්‍රේලියාවට අයිති පුංචි දූපතකි. ඕස්ට්‍රේලියාවටත් ටැස්මේනියාවටත් පමණක් ආවේණික සුවිශේෂී සත්තු වර්ගයක් සිටිති. මේ සතුන්ට පැසක් ඇත. පැටවුන් ලොකු මහත් කරන්නේ මේ පැස තුළය. කැංගරු ඊට හොඳම උදාහරණයයි. පොදුවේ පැස ඇති මෙම සතුන් පැසිපොව්වන් යනුවෙන් හැඳින්වෙයි. ටැස්මේනියානු ව්‍යාඝ්‍රයා ද පැසිපොව්වෙකි. 

ටැස්මේනියානු ව්‍යාඝ්‍රයා යැයි පොදුවේ කවුරුත් මේ සතාට කීවත්, මේ සතාගේ නම තයිලසයින්ය. තයිලසයින් සඳහා දී ඇති නිර්වචනය මෙසේය ටස්මේනියාවේ පමණක් දක්නට ලැබෙන, පිට කොන්ද දිගේ ඉරි ඇති, සුනඛයන් වැනි මාංශ භක්ෂක පැසිපොව්වෙකි. අල්ලා ගෙන කූඩු කර සිටි අවසන් තයිලසයින් 1933 දී මියගිය අතර ඉන්පසු මේ වනතුරු තයිලසයින් හමුවී නැත. එහෙයින්, තයිලසයින් වඳවී ගිය සත්වයකු ලෙස සැලකෙයි.’ 

ශතවර්ෂයකට ආසන්න කාලයක් තිස්සේ ලොවට අහිමි තයිලසයින් එසේත් නැතිනම් ටැස්මේනියානු ව්‍යාඝ්‍රයාට පණ දීමට සුදානම් වන්නේ ඇමෙරිකන් සහ ඕස්ට්‍රේලියානු විද්‍යාඥයන් කණ්ඩායමකි. එම වැඩපිළිවෙළ හැඳින්වෙන්නේ ‘තයිලසයින් ඉන්ටග්‍රේටඞ් ජෙනටික් රෙස්ටොරේෂන් රීසර්ච්‘ යනුවෙනි. මෙය ඩොලර් මිලියන ගණනක මහා ව්‍යාපෘතියකි. ව්‍යාපෘතියට මුදල් යොදවන්නේ ජෙනටික් ඉන්ජිනියරිං’ සමාගමය. 

විද්‍යාඥයන් මේ කරන්න සැරසෙන්නේ, ජුරාසික් පාක්, ජුරාසික් වර්ල්ඞ් ඩයිනසෝරයන්ට පණ දුන්නා හා සමාන දෙයක් යැයි ඔබට සිතේවි. ඩයිනසෝරයන්ට පණ දීම සිදුවිය හැක්කේ චිත්‍රපටවලින් පමණි. හේතුව ඩයිනසෝරයන්ගේ ජෙනෝම (ජානමය ද්‍රව්‍ය) ගැන විද්‍යාඥයන් කිසිවක් දන්නේ නැත. ඩයිනසෝරයන්ගේ හැඩරුව සහ ස්වරූපය දැනගත්තේ පොසිල අස්ථිවලින් පමණි. ඒ වගේම ඩයිනසෝරයන් අපට පණ පිටින් සිටිනු දකින්න ලැබී නැත. 

ඒත් තයිලසයින්ගේ කතාව ඊට වෙනස්ය. අවුරුදු 80 කට පෙර තයිලසයින් ටැස්මේනියාවේ ජීවත් වූ සතෙකි. ක්ෂීරපායියෙකි. විද්‍යාඥයන් උත්සාහ ගන්නේ තයිලසයින්ට යළි පණ දී, යළි ටැස්මේනියාවට ඌ හඳුන්වා දීමය. එසේ කරනු ඇත්තේ නව තාක්ෂණය සහ ජාන තාක්ෂණයේ පිහිටෙනි. අපගේ ඇස් පනාපිටම වඳ වී ගිය සතුන්ට යළි පණ දීමේ ව්‍යාපෘති කීපයක් මේ වනවිට ක්‍රියාත්මක වී තිබේ. ඒ අතරට එක්වන අලු‍ත්ම ව්‍යාපෘතිය තයිලසයින් ට පණ දීම යැයි විදෙස් මාධ්‍ය පැහැදිලි කරයි. 

ටැස්මේනියානු ව්‍යාඝ්‍රයා සඳහටම සමුගැනීමෙන් පසු ටැන්මේනියාවේ සහ ඕස්ට්‍රේලියාවේ පරිසර පද්ධතියේ පැවැති සමතුලිතාව නැතිවී ගොස් ඇත. එම සමතුලිතතාව යළි ඇති කිරීමේ අරමුණින් ටැස්මේනියානු ව්‍යාඝ්‍රයන්ට පණ දීම සිදුවනු ඇතැයි විද්‍යාඥයෝ පහදති. ටැස්මේනියානු ව්‍යාඝ්‍ර ගහණය නැත්තටම නැතිවී ගියේ ටැස්මේනියාවට ආ සුදු ජාතිකයන් නිසාය. බටහිරින් පැමිණ ජනාවාස පිහිටුවාගත් සුදු ජාතිකයන් නිසා ඕස්ට්‍රේලියාවේත් ටැස්මේනියාවේත් පරිසර පද්ධතියට, ස්වදේශීය වැසියන්ට සිදුවුණු ව්‍යසනය අතිමහත්ය. බටහිරින් ආ පදිංචිකරුවන්, බැටලු‍වන් ඇති කරන්න වූ අතර, එම බැටලු‍වන් ටැස්මේනියානු ව්‍යාඝ්‍රයන්ගේ පහසු ගොදුරු බවට පත් විය. ප්‍රාන්ත රජය ටැස්මේනියානු ව්‍යාඝ්‍රයන් දඩයම් කිරීමට නිල වශයෙන් අවසර දුන්නේය. ඒ වෙනුවෙන් මුදල් ගෙවීමක් ද කළේය. ඒ අනුව, ඉවක් බවක් නැතිව ටැස්මේනියානු ව්‍යාඝ්‍රයා මරා දැමීම සිදුවුණු අතර ටැස්මේනියානු ව්‍යාඝ්‍රයා වේගයෙන් වඳ වී ගියේය. 

පසුගිය කාලය පුරාවට ටැස්මේනියාවේ වනාන්තරවලින් ඉදහිට ටැස්මේනියානු ව්‍යාඝ්‍රයා දකින්න ලැබුණු බව පැවැසෙයි. අපැහැදිලි ඡායාරූප සහ වීඩියෝ දසුන් ද සමාජ මාධ්‍ය හරහා ද ප්‍රසිද්ධ වෙයි. ඒ සියල්ල ලොක් නෙස් විලේ මෘගයා දුටුවා යැයි කීම වැනි යැයි මෙල්බන් විශ්ව විද්‍යාලයේ පරිණාමීය ජීව විද්‍යාඥ මහාචාර්ය ඇන්ඩෲ පැස්ක් කියයි. ටැස්මේනියානු ව්‍යාඝ්‍රයාට යළි පණ දීමේ ‘තයිලසයින් ඉන්ටග්‍රේටඞ් ජෙනටික් රෙස්ටොරේෂන් රීසර්ච්‘ ව්‍යාපෘතියට ඇන්ඩෲ පැස්ක් සම්බන්ධව සිටී. වනගතව ටැස්මේනියානු ව්‍යාඝ්‍රයා සිටින බවට කිසිදු ප්‍රබල සාක්ෂියක් ලැබී නැහැ යැයි ද මහාචාර්ය ඇන්ඩෲ පැස්ක් අවධාරණය කර තිබේ. 

ටැස්මේනියානු ව්‍යාඝ්‍රයාට විද්‍යාඥයන් පණ දෙන්නේ කෙසේද? එය සිදුවන ආකාරය ඉතාමත් සරලව පැහැදිලි කළොත්, තයිලසයින්ගේ ජෙනෝම (ජානමය ද්‍රව්‍ය) ප්‍රතිනිර්මාණය කිරීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබී තිබේ. ඒ, විද්‍යාඥයන් විසින් දශක ගණනාවක් පුරා එක් රැස් කර ගනු ලැබූ ජාන සංස්කරණයෙනි. 

ටැස්මේනියානු ව්‍යාඝ්‍රයාට සමාන ජාන ඇති ඩනාට් නමැති ඌරු මීයන්ගේ ප්‍රාථමික සෛල (කඳ සෛල) තයිලැසීන් සෛල බවට පත් කිරීමට විද්‍යාඥයන් උත්සාහ ගනීවි. ටැස්මේනියානු ව්‍යාඝ්‍රයා ක්ලෝන ක්‍රමයට බිහිවනු ඇත්තේ ඒ අනුවය. එසේ උපත ලබන තයිලසයින්, සියයට සියයක්ම වඳ වී ගිය තයිලසයින් ට සමාන නොවනු ඇත. හේතුව විද්‍යාඥයන් ඩනාට් ඌරු මීයන්ගේ ජානමය ව්‍යුහය මූලික සැකිල්ල ලෙස යොදා ගන්නා බැවිනි. 


ලු‍සිත ජයමාන්න
      ඩේලිමේල් ඇසුරිනි