- ගැටුම්වලින් මියගිය ගණන දහසකට අධිකයි
ඒ 1985 වර්ෂයයි. ක්‍රමයෙන් උත්සන්න වෙමින් පැවති නැගෙනහිර ප්‍රදේශයේ වර්ගවාදී ප්‍රචණ්ඩ ක්‍රියා 1985 මැයි මස 23 වෙනි දින රාත්‍රියේ එක්වරම පුපුරා ගියේය. එදා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නිලපොළ, දෙහිවත්ත යන සිංහල ගම්මානවලට එල්ල වූ සන්නද්ධ ප්‍රහාරය මුළු අල්ල - කන්තලේ ගොවිජනපදයම සසල කළේය. පසු දිනට පහන් වෙත්ම මහ මග දකින්නට ලැබුණේ ආයුධ සන්නද්ධව ඊ.එල්.එෆ්. රථවල නැගී ගමන් කරන තරුණ පිරිස්ය. මුළු ප්‍රදේශයම එක්තරා සන්නද්ධ කණ්ඩායමකගේ අණසකට නතුවී ඇති බව වටහා ගැනීමට ගම්වාසීන්ට එම දර්ශනයම ප්‍රමාණවත් විය.
නිලපොළ හා දෙහිවත්ත ගම්මානවලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන සැලවීමත් සමගම අල්ල ගොවිජනපදය තුළ පිහිටි සෝමපුර, අලිඔලුව, සේරුවිල, සිරිමංගලපුර වැනි සිංහල ගම්මානවල ජනතාව පමණක් නොව පච්චනූරුව, මලියදූව, මනසේන, කිලිවෙට්ටිය, තුනේ කොලනිය වැනි ගම්මානවල ජීවත් වූ දමිළ ජනතාවද බියෙන් තැති ගත්හ. තම ගම්මානවලටත් ත්‍රස්ත ප්‍රහාර එල්ල වේදැයි යන බියක් සිංහල ජනතාව තුළ ඇතිවූ අතර හමුදාවෙන් හා සිංහලයන්ගෙන් එල්ල විය හැකි ප්‍රතිප්‍රහාර පිළිබඳ බියෙන් දමිළ ජනතාව පෙළන්නට වන්හ.
රන්වන් කරලින් බරවූ ඉමක් කොණක් නොපෙනෙන නිල්වන් කුඹුරුයාය රිදී පැහැ ගන්වමින් උදාහිරු ක්‍රම ක්‍රමයෙන් මුදුන් වෙමින් තිබිණ. අල්ල ගොවිජනපද ව්‍යාපාරයේ සෞභාග්‍ය කියා පාන කැඩපතක් වන් ඒ කුඹුරුයායන් හතළිස් වසරක් පුරා ජාතියේ එකමුතු බව සංකේතවත් කරමින් සැමට එක පතේ බත සපයා දුන්නේය. නමුත් කුමක්දෝ විනාශයක පෙරනිමිති දැක බියගත් අයුරින් එදින ඒ රන්වන් ගොයම වෙනදා මෙන් මද පවනේ නැළවුණේ නැත. සියදහස් ගණනින් එක්රොක්ව ගොයමට තනි රැක්ක වී කුරුලු රංචු සිව්දෙසින් නැගෙන වෙඩි හඬින් කම්පිතව ඈතට පලා ගියහ.
තැන තැන පොළොව සිපගත් මළසිරුරු කීපයක් හැරුණු විට පාළු මාවතේ ඉඳහිට අධිවේගයෙන් එහා මෙහා හඹායන සන්නද්ධ රථ පමණක් දක්නට ලැබිණ. කරකියා ගත හැකි දෙයක් නොමැති වූ ගම්වාසීහු සිය ගේදොර හැරපියා දෑතට හසුවන දෙයක් රැගෙන පඳුරුවලට මුවාවෙමින්ද කුඹුරුයායේ ගොයම් තුළ සැඟවෙමින්ද ආරක්ෂිත ස්ථාන සොයා පලා යෑමට පටන්ගත්හ. මේ මොහොත වනවිට සිය ආරක්ෂාව පිළිබඳ බියක් නොතිබුණේ ප්‍රදේශයේ සිටි මුස්ලිම් ජනතාවට පමණි. එම නිසා පලායන දමිළ, සිංහල බොහෝදෙනෙකුට තාවකාලිකව හෝ රැකවරණය ලැබුණේ මුස්ලිම් නිවෙස්වලය.
දහවල් මධ්‍යාහ්නය වනතුරුත් රජයේ ආරක්ෂක හමුදා ගැටුම් ප්‍රදේශයට ළඟා නොවූහ. මහමග වෙඩි කා මියගිය ජනයාගේ මළ සිරුරුවලින් ගලා ගිය රුධිර දහරා ගිනියම් අව් රශ්මිය විසින් වියළා දමනු ලැබීය. සවස දෙක පමණ වන විට යුද හමුදා බස් රථයක් කන්තලේ සිට මුතූර් බලා ධාවනය වෙමින් තිබුණේය. අල්ල - කන්තලේ මාවත පසුකළ බස් රිය සෝමපුරට ළඟා විය. එහි කිසිම කලබලයක් නැත. කිලිවෙට්ටිය පසුකර තෝප්පූර් දෙසට බස්රිය එනවිට තත්ත්වය භයානක විය. බියෙන් සැඟව සිටි පිරිස් හමුදා බසය දැක පාරට දිව ආහ. තමන්ව ආරක්ෂිත ස්ථානයකට රැගෙන යන ලෙස ඔවුහු හමුදාවට කන්නලව් කළහ. එම පිරිසත් රැගෙන එන අතරමගදී අව්වට තැම්බෙමින් මහා පාරේ තිබුණු මළසිරුරු කිහිපයක්ද බස්රථයට පටවා ගනු ලැබිණ. සවස 3.30 පමණ වනවිට අනාථයන් රැගත් බස්රිය මුතූර් නගරයට පැමිණියේය.
දමිළ, සිංහල, මුස්ලිම් ජනතාව සමානුපාතීව වාසය කරන කොට්ටියාරම් පත්තුව තුළ වර්ගවාදී ගැටුම් ඇතිවීම කාගේත් විනාශයට හේතුවකි. මේ අවදානම් තත්ත්වය නිසා දමිළ හා සිංහල දෙපිරිසම අනාථ වූහ. එම නිසා දෙපිරිසටම රැකවරණය ලබාදීමට රජයට සිදුවිය. නමුත් අවස්ථාවාදී ඇතැම් බලවේග අහිංසක ජනතාව දඩමීමා කරගනිමින් සිය පටු චේතනා මුදුන්පත් කර ගැනීමට ක්‍රියා කිරීම නිසා එදත් අදත් මේ රටේ ජාතික සමගියට බාධා ඇතිවූ බව සත්‍යයකි. එවන් එක් සිද්ධියක් නිසා 1985 දී අල්ල ගොවිජනපදය තුළ හටගත් ඒ ගැටුම දිගුකාලීනව ජීවිත බිලි ගැනීමක් බවට පරිවර්තනය විය.
ජීවිත ආරක්ෂාව පතා ගම්වාසීන් අනාථ කඳවුරු වෙත ඇදී යමින් සිටි මැයි 25 වෙනි දින සවස් යාමයේ කිලිවෙට්ටි තොටුපොළ අසලට හමුදා ට්‍රක් රථයක් ළඟා විය. කඳවුරු වෙත යෑමේ බලාපොරොත්තුවෙන් ඒ වනවිට විශාල පිරිසක් තොටුපොළ අසල රැස්ව සිටියහ. ඒ අතරින් තරුණ තරුණියන් තිස්පස් දෙනෙකු පමණ රැගත් ට්‍රක් රථය අනාථ කඳවුරක් බලා පිටත් විය. අලිඔලුව හන්දියෙන් හැරී කල්ලාර් පාලම වෙත පැමිණි ට්‍රක්රිය අල්ල - කන්තලේ මාවතට ඇතුළු විය.
කන්තලේ හෝ ත්‍රිකුණාමලයේ පිහිටි අනාථ කඳවුරකට තමන් රැගෙන යනු ඇතැයි සිතූ තරුණ පිරිස ඒ දිගු ගමන නිරුපද්‍රිතව යෑමට ලැබීම ගැන සතුටට පත්වූහ. නමුත් ඔවුන් ඒ සිතූ දෙය එලෙසම ඉටුවූයේ නැත.
සැතපුම් විසි දෙකක් එක දිගට විහිදෙන අල්ල-කන්තලේ පාර
ගැටුම්වලින් රුධිරය ගලාගිය වනාන්තරය.
අල්ල - කන්තලේ මාර්ගයේ 17 වෙනි සැතපුම් කණුව අසලට පැමිණි ට්‍රක් රථය පාර අයිනේ ඇති කැලය දෙසට අයින් කර නතර කළේය. ඒ සින්නාරු ප්‍රදේශයයි. කල්ලාර් පාලමේ සිට මහවැලි ගඟ දක්වා සැතපුම් 12 ක් පමණ යනතුරු පාර දෙපස ඇත්තේ ගන වනාන්තරය පමණි. සිත්තාරුවද ඒ ගන වනාන්තරය මැද පිහිටියේය.
රථයේ සිටි සියල්ලන්ටම බිමට බසින ලෙස අණක් ලැබිණ. පාළු වනාන්තරයක් මැද තමන් රථයෙන් බිමට බස්සන්නේ කුමක් නිසාදැයි සැක සිතූ තරුණ පිරිස භීතියෙන් උනුන් මුහුණු බලාගත්හ. දෙවන වර දැඩි තර්ජනාත්මක අණක් ලැබිණ. කර කියාගත හැකි දෙයක් නොවූ ඔවුහු එකිනෙකා ට්‍රක් රථයෙන් බිමට බැස ගත්හ. එහෙත් අනාථ කඳවුර වෙත යෑමේ බලාපොරොත්තුව තවමත් ඔවුන් තුළින් පහව ගොස් නොතිබුණි.
අවුරුදු සිය දහස් ගණනක් පුරා වනසතුන්ට සදා සෙවණ සලසමින් නිසල වනාන්තරයක් මැද සැතපුණු ඒ සිත්තාරු වනබිම් පරිසරය ජීවිතයේ ප්‍රථම වතාවට එදා මිනිස් ලෙයින් නැහැවුනු ඝාතකාගාරයක් වේයැයි වනසතුන් පවා නොසිතන්නට ඇත.
පාරෙන් මදක් ඔබ්බට කැලය තුළට කැඳවාගෙන ගිය තරුණ පිරිසට දර කොටන් එකතුකර එක්තැනකට ගොඩ ගසන ලෙසට තවත් නියෝගයක් ලැබිණ. ඇතැමෙකුට එය සැක උපදන්නක් වුවද තවත් පිරිසක් සිතුවේ කඳවුරට රැගෙන යෑම සඳහා තමන් ලවා දර එකතු කරවනවා ඇත කියාය. නියෝගයට අවනත වීම විනා කිසිවක් ගැන ප්‍රශ්න කිරීමට ඔවුන් තුළ ශක්තියක් නොවීය.
තමන් විසින්ම එක්රැස් කළ ඒ දරගොඩ අසලට පැමිණෙන ලෙස සියල්ලන්ටම තවත් අණක් ලැබිණ. එවර ඔවුහු භීතියෙන් තැතිගත්හ. ඊළඟ මොහොතේ සිදුවන්නේ කුමක්දැයි සිතූ ඔවුහු මරහඬදී කෑගැසීමටත් ජීවිත දානය පතා කන්නලව් කිරීමටත් පටන්ගත්හ. නමුත් සිත් පිත් නැති ගිනිබට ඒ වනවිටත් ඔවුන් දෙසට එල්ලවී අවසානය.
නිසල වනපෙත කම්පිත කරවමින් එකදිගට නැගෙන වෙඩි හඬින් කලබලයට පත් වනසියොතුන් සිය කැදලි හා තුරුගොමු අතහැර අහසට පැනගත්හ. ඊළඟ මොහොතේ ඒ ඓතිහාසික සේරුවිල පුදබිමෙහි පහස ලත් සිත්තාරු වනභූමිය තුළ ඉතිරිවූයේ තැතිගත් සියොතුන්ගේ විලාප හඬ පමණි. ඒ අමිහිරි හඬ මැකීයත්ම වනහිසට ඉහළින් කළු දුම් වලාවක් එසවෙනු පෙනිණ.
නොනවතින වෛරයක ආරම්භය සනිටුහන් කළ ට්‍රක්රථය ජයග්‍රාහී ලීලාවෙන් අල්ල කන්තලේ මාර්ගය දිගේ ඉදිරියට ඇදී ගියේය. එතෙක් කල් මිනිසා විසින් අහිංසක වනසතුන්ගේ රුධිරයෙන් තෙත් කරනු ලැබූ ඒ වනසත්ව නිජබිම අද තම වරිගයාගේම රුධිරය වගුරුවා වධක භූමියක් කිරීමට තරම් මිනිසා පෙලඹුණු අයුරු දුටු වනස්පති වෘක්ෂයෝ කම්පාවෙන් බලාසිටියහ.
දරගොඩට ගිනි තැබීමෙන් පසු සියල්ල අවසන් වේ යැයි සිතූ නර රකුසන් එතැනින් නික්ම ගියද එය එසේ නොවීය. ගිනිගොඩ මත දැවෙන තිස්පහක් පමණ වූ තරුණ ජීවිත අතරින් සිහිමුර්ජාව වැටී සිටි තරුණයෙක් හීන් කෙඳිරියක් නැගීය. ඔහු මියගොස් නොසිටියේය. වෙඩි උණ්ඩය වැදී තිබුණේ ඔහුගේ බෙල්ලේ එක් පසෙකටය. එය මාරාන්තික නොවීය. ගිනිදලු ගත දැවටෙත්ම හේ පියවි ලොවට පිවිස දෙනෙත් හැර වටපිට බැලීය. වධකයෝ එහි නොසිටියහ. මිනීමස් දැවෙන පුළුටු දුම්රොටු මැදින් ඉවතට පැන ගත් මේ තරුණයා හැකිපමණ වේගයෙන් දුවගොස් පඳුරක සැඟවුණේය. බෙල්ලෙන් ගලා ආ රුධිර දහරාවන්ගෙන් ඔහුගේ ගත නැහැවී යයි. ගින්නට දැවුණු එක් අතක් තදින්ම වේදනා ගෙන දෙන්නට විය.
සිත්තාරු වනපෙත වසාගෙන ගොම්මං අඳුර පැතිරෙත්ම වනසිව්පාවුන්ගේ හඬ හතරවටින් ඇසෙන්නට පටන් ගත්තේය. පුළුටු මිනී ගඳ වනය සිසාරා ඇදී යයි. කෙසේ හෝ තමාට රැකවරණයක් ඇති ගම්මානයකට පැනගැනීමට දැන් හොඳම වේලාව බව සිතූ තරුණයා කැලයෙන් එළියට පැමිණ අල්ල - කන්තලේ පාරට ගොඩවිය. පාරත් වනයත් වෙන්කර හඳුනාගැනීමට නොහැකි තරමට දෙපසින් ඝන වනය පැතිරී ඇත. ඒ තුළින් ගලා ආ අඳුර පාර ගිලගෙන තිබේ. ඒ පාර මැද වාඩිවී ඔහු මදක් කල්පනා කළේය.
සෝමාවතියේ සිට මුතූර් දක්වා විහිදෙන කැලෑ පාරක් සිත්තාරුව හරහා වැටී ඇත. කරත්ත පමණක් ගමන් කළ හැකි මේ පාර භාවිතා කරනු ලබන්නේ හොර ලී ජාවාරම් සඳහාය. තනිකරම ඝන වනාන්තරය තුළින් විහිදෙන මේ කරත්ත පාරේ ගමන් කරනවිට මුතූර්වලට යනතුරු කිසිම මිනිස් ජනාවාසයක් හමු නොවේ. අල්ල - කන්තලේ මාර්ගයේ සිට මුතූර් නගරයට මේ කැලෑ පාර ඔස්සේ යන්නේ නම් සැතපුම් 8 ක් පමණ ගමන් කිරීමට සිදුවේ.
මිනීමරු වෘකයන්ට යළිත් අසුවේදැයි යන බියෙන් තරුණ හද ගැහෙන්නට පටන් ගත්තේය. වනසතුන් සරන වනාන්තරයක් තුළ රැයක් පහන් කිරීමද අනතුරුදායකය. කුරිරු දෛවයකට මුහුණ දුන් සිය හිතවතුන් පිරිස අතරින් දිවි ගලවාගත් එකම පුද්ගලයා තමාය. එම නිසා යළිත් තම ජීවිතය විනාශ කිරීමට ඉඩ නොතැබිය යුතුය. කෙසේ හෝ ඒ අඳුරු රැයේම ඔහු තම ගම්වාසීන් වෙතට පැන යෑමට අධිෂ්ඨාන කරගත්තේ ඒ නිසාය.
වනාන්තරය මැදින් විහිදෙන කරත්ත පාර දිගේ ඔහු ඉදිරියට ගමන් කළේය. අන්ධකාරයේ භීතියත් වනසතුන්ගේ කෑමොර ගැසීමත් ඔහුට ප්‍රශ්නයක් නොවීය. අඳුරේ කිසිවක් නොපෙනෙතත් වැලි තලයේ ගැටෙන දෙපා නිවැරැදි මග හඳුනා ගැනීමට ඔහුට උපකාර කළේය. මීට පෙර කීපවතාවක්ම කරත්තවල නැගී මේ කැලෑ පාර ඔස්සේ ගමන් කර ලත් අත්දැකීම් ඔහු සතුවිය. අඳුරේ එන වනසතුන්ගෙන් හිරිහැරයක් නොවනු පිණිස කොළ අත්තක් කඩාගෙන ශබ්ද නැගෙන සේ ඔහු එය බිම දිගේ ඇදගෙන ගියේය.
සැතපුම් හතරක් පමණ මෙසේ ගමන් කළ ඔහුට වනගහනයෙන් තොර බිම් පෙදෙසක සේයාවක් ඉදිරියෙන් දිස්විය. ඔහු එය පැහැදිලිව හඳුනා ගත්තේ නිරාවරණ වූ අහසේ දහසක් තරුවැල්වල ආධාරයෙනි. ඒ ඉමක් කොනක් නොපෙනෙන කුඹුරු යායකින් සමන්විත ඔට්ටුව ප්‍රදේශයයි. සරුසාර කුඹුරු ඇති නමුත් මේ ප්‍රදේශය ජනාවාසයෙන් තොරය. කුඹුරු හිමියන් වාසය කරන්නේ ඊට සැතපුම් තුන හතර එපිට ඈත ගම්මානවලය.
එළිමහන් භූමියට පැමිණි ඔහුගේ සිතට තරමක් සැහැල්ලුවක් දැනිණ. ඔට්ටුව වටා ඇත්තේ පච්චනූරුව, මලියදූව, මනසේන, පෙරියපාලම් වැනි දමිළ ගම්මාන බව ඔහු දනී. මහවැලි දියවර කුඹුරු කරා ගෙන යන ඇළ මාර්ගයක් තමා ඉදිරියෙන්ම ඇති බව ඔහු දුටුවේය. නොගැඹුරුවූ ඒ ඇළට බැස සිසිල් ජලය දෝතටගෙන එක් හුස්මට බීගෙන බීගෙන ගිය හෙතෙම ඒ ජලය ගෙන විඩාපත් ඇඟෙහිද තවරා ගත්තේය.
මිනිසුන්ගෙන් පමණක් නොව වනසතුන්ගෙන් පවා හිරිහැරයක් නොමැති ඒ හුදෙකලා වූ නිදහස් භූමිය ඔහුට සැබෑ තෝතැන්නක් විය. පරිසරය වසාගත් රාත්‍රී අඳුර සිතේ ඇති බිය පහ කළේය. එම නිසා මදක් ගිමන් නිවාගනු වස් ඔහු ඒ ඇළ ඉවුරේ ඇති ගසක් යට වාඩිවිය. අධික වෙහෙසට පත්ව තිබූ ගත වැඩි වේලාවක් යන්ට ප්‍රථම ඔහුට නිදි සුවය කැඳවීය.
බොල් පිනිදිය සට සට ගා තුරුපත් මතින් පොළොවට ඇද වැටෙන පාන්දර යාමයේ අවටින් නැගෙන හිවලුන්ගේ ඝෝර නාදයෙන් ඔහු අවදි විය. කෙටි නින්දකින් පසු ගතට දැනුණු සුවය බිය සංකා හළ සිතටද නව පණක් ගෙන දුන්නේය. තුවාලයෙන් ගලා ගිය ලේ තුවාලය මතම වියළී ඇත. ඔහුගේ ඊළඟ ඉලක්කය වූයේ වෙල් යාය මැදින් ගොස් ගම්මානයට ළඟාවීමයි.
වෙනදා මෙන් පාන්දරින් අවදිව කුඹුරට හේනට යෑමට භීෂණයේ දෝංකාරය එදා ගැමියන්ට අවසර දුන්නේ නැත. එම නිසා ඔවුහු අඳුර පහවන තුරු දොරගුළු ලාගෙන ගෙවල් තුළට වැද සිටියහ. පාන්දර හතරට පමණ තම කඩේ දොර ලෑල්ලට කවරෙකු හෝ තට්ටු කරන ශබ්දය ඇසී සිවනේසන් තැති ගත්තේය. මුතූර් - සේරුවිල බස් මාර්ගය අසල පච්චනූරුව ග්‍රාමයේ පිහිටි සිවනේසන්ගේ තේ කඩය අවට ගම්වල මිනිසුන් අතර හොඳින් ප්‍රසිද්ධය.
ප්‍රදේශය පුරා පැතිර යමින් තිබෙන අයහපත් වාතාවරණය සිත තුළ බියක් ඇති කළද කඩලෑල්ලට නොකඩවා තට්ටු කරන පුද්ගලයාගේ ආයාචනාත්මක වදන් සිවනේසන්ගේ සිතේ ඇති බිය පහකර හැරියේය. තමා හමුවට පැමිණ සිටින්නේ තමන්ගේම සහෝදර ජනතාව අතරින් කිසියම් වූ අතවරයකට භාජනය වූවකු බව සිවනේසන් සැණෙකින් වටහා ගත්තේය. ඔහු නොපමාව නැගිට දොර ලෑල්ල විවෘත කර පිටත සිටි ඒ පුද්ගලයා කඩය තුළට ගත් විගසම යළිත් දොර ලෑල්ල වසා ගත්තේය.
ඒ තරුණයාට මුහුණ පෑමට සිදුවූ අතවරය ගැන සාවධානව අසා සිටි සිවනේසන්ගේ දෙඇස් වේදනාවෙන් නළියන්නට පටන් ගත්තේය. සිත්තාරුවේ දැවෙන මිනී ගොඩ ඔහුට මැවී පෙනෙන්නට විය. කුමක් කරම්දෝයි සිතමින් ඔවුහු දෙදෙන කඩය තුළටවී අවදිව බිම් කරුවල පහව යනතුරු බලා සිටියහ. වෙනදා මෙන් පාරේ යන එන ට්‍රැක්ටරයක හෝ කරත්තයකවත් ශබ්දයක් නොඇසුණු ඒ පාන්දර යාමයේ තේ බීමට කඩයට එන කෙනෙකුද නැතැයි සිතූ සිවනේසන් බොයිලේරුවට ගිනි දැල්වූයේද නැත.
උදේ හයට පමණ කඩේ පිටුපස දොර විවෘත කළ සිවනේසන්ට මුළු ගම්මානයම පාළුවී ගොස් ඇති බව දැණිණ. ඉමක් කොනක් නොපෙනෙන හිස් වෙල් යාය දෙස බලාගෙන හේ මදක් කල්පනාවේ නිමග්න විය. එළහරක් රංචුවක් තාර පාර දිගේ ඇදී එමින් සිටිති. වෙනදා මෙන් උන් දක්කාගෙන පසුපසින් එන කොලු පැංචා අද නැත. තම රැකවරණයට පත් තුවාලකරුට සුදුසු ප්‍රතිකාරයක් ලබාදීමේ වැඩපිළිවෙළක් ගැන සිතමින් සිටි සිවනේසන්ට එක්තරා අදහසක් පහළ විය.
ඔහු තුවාලලත් තරුණයාද කැටුව බස් මාර්ගයෙන් අනෙක් පසෙට පැන ගම්මානය දෙසට පියමං කළේය. වැඩි වේලාවක් ගතවීමට පෙර ඒ බියකරු පුවත ගම හැමතැන පැතිර ගියේය. කුඹුරු මැදින් පැන පඳුරුවලට මුවාවෙමින් කටින් කට ගිය ඒ කුරිරු ආරංචිය උදේ නවය වනවිට අවට ගම්මානවලටද ප්‍රසිද්ධ රහසක් වී හමාරය. ඒ අනුව නොපමාව ක්‍රියාත්මක වූ එක්තරා තරුණ පිරිසක් පච්චනූරුවට පැමිණ ඒ තරුණයා මුණගැසුණහ. පසුව ඔවුහු අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා තුවාලකරු රැගෙන ගියහ.
ප්‍රදේශයේ අණසක පතුරුවාගෙන සිටි සන්නද්ධ කණ්ඩායම පසුදිනට පහන් වෙත්ම එක්තරා දැඩි තීරණයකට එළඹ තිබිණි. එනම් සිත්තාරුවේදී ඝාතනය කරනු ලැබූ ඒ තරුණ ජීවිත තිස්පහ වෙනුවට එකට පනහ බැගින් වන සේ ප්‍රතිපාක්ෂිකයන් සිත්තාරුවේදීම ඝාතනය කිරීමේ වැඩපිළිවෙළකි. සිත්තාරු ඛේදවාචකයේ දෙවන පියවර සනිටුහන් කරමින් අල්ල - කන්තලේ මාවත තම ග්‍රහණයට ගැනීමට එම වැඩපිළිවෙළ සමත් විය.
ඒ අනුව අවස්ථාව බලා ක්‍රියාත්මක වූ සන්නද්ධ පිරිස් විසින් අල්ල - කන්තලේ මාවතේ ගමන් ගත් මගී බස් හා ලොරි පැහැරගෙන සිත්තාරුවට රැගෙන ගොස් ඒවායේ සිටි සාමාන්‍ය ජනතාව අමු අමුවේම ඝාතනය කරනු ලැබූහ. එසේම පාරේ වැළලූ සිය ගණන් බිම් බෝම්බ පුපුරුවා හැර පොලිස් හා හමුදා රථ විනාශ කළහ. වරෙක අලිඔළුව පොලීසියේ නිලධාරීන් හත්දෙනකු සමඟම ජීප්රිය පුපුරුවා හැරියේය.
මේ අනුව සිත්තාරුවේදී ජීවිත පූජා කළ පිරිස දහසකට අධිකය. දමිල - සිංහල දෙපිරිසටම සිත්තාරුව වධක භූමියක් වීමේ ප්‍රතිඵලයක් ලෙස අල්ල - කන්තලේ මාර්ගය අනාරක්ෂිත වී ගියේය. ගමනාගමනය අඩාළවීමත් නඩත්තු කටයුතු සිදු නොකිරීමත් හේතුවෙන් දස වසරක් පුරාවට අල්ල මාවත අභාවයට ගියේ කොට්ටියාරම් පත්තුව රටේ සෙසු භූමියෙන් වෙන්වූ හුදෙකලා ප්‍රදේශයක් බවට පත් කරවමිනි.
එදා මරණයෙන් දිවි ගලවාගත් කුගරාසන් දේවරාජාට මගේ ස්තුතිය.
කැමිලස් වනිගසූරිය