යුධ බිමේදී සමුගත් නාට්‍යකරුවා



පසුගිය දිනක සවස් වරුවේ මම කිසියම් අවශ්‍යතාවකට නිවසේ වූ අල්මාරිය පරීක්ෂා කරන්නට වීමි. එහිදී, කෙළවරක වූ පැරණි ඡායාරූප එකතුවක් දුටු මා එය පෙරළන්නට වූයේ නිකමට මෙනි. 32 වසරක් ඉක්ම වූ මාගේ වෘත්තීය දිවියේ හා පාසල් සමයේ බොහෝ මතක පිරි අති දුර්ලභ ඡායාරූප රැසක් එහි විය. ඇතැම් ඒවා දුර්වර්ණ වී පුස්කා තිබුණ ද එහි වූ ඓතිහාසික වටිනාකම මිල කළ නොහැකි විය. එසේම ඒ සෑම ඡායාරූපයක් වටාම මහා දිග කතා ගොන්නක් ද ඉතිරිය.

මෙලෙස මොහොතක් එම ඡායාරූප එකින් එක පෙරළද්දී එහි වූ එක් විශේෂ ඡායාරූපයක් පිළිබඳ මාගේ මතකය බොහෝ දුර දිව ගියේ ඇසිල්ලකිනි. එහි වූයේ ගංගාවක බැස මා දිය නාන අයුරු දැක්වෙන ඡායාරූපයකි. එම ඡායාරූපය හා බැඳුණු කතාව අදට ද මසිත දවාලන්නේ පෙර ලෙසටමය. කාලයත් සමග ඕනෑම දෙයක් යටපත්වීම සාමාන්‍ය ස්වභාවය වුවද, එම සිදුවීම හරහා එදවස දැනුණු රිදුම අදට ද දැනෙනුයේ එලෙසින්මය. මඩකළපුව, තොප්පිගලට මායිම්ව පිහිටි පන්කුනාවේලි නම් වූ කඳවුරක දී ගත් එම ඡායාරූපය 1993 තරම් ඈතකදී ගත් එකකි. 

තරුණ නිලධාරියෙකු ලෙස 2/ලුතිනන් නිලයේ සිටි මා එවකට එම කඳවුරේ රාජකාරී කරන ලද අතර, එය 4 ගජබා රෙජිමේන්තුවට අයත්ව තිබූවකි. කපිතාන් ජයන්ත සුරවීර නිලධාරීගේ අණදීම යටතේ එම කණ්ඩායම එහි ස්ථාපිතව තිබූ අතර, මා සමග 2/ලුතිනන් විජේසිරිවර්ධන නිලධාරී ද, මාණ්ඩලික සැරයන් විමලවීර, සැරයන් හීන්බංඩා, සැරයන් ඒබට් ඉඩම්තොට යන කොමිෂන් නොලත් නිලධාරීහු ද එහි සිටියහ. 1990 දශකය මුල් භාගය වූ එම කාල වකවානුව ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් බහුලව පැවති සමයක් වූ අතර එනිසාම උදාවෙන සෑම දිනයක්ම එම ප්‍රදේශයන්හි කාලය ගෙවී යන්නට වූයේ අවිනිශ්චිත බව රජයමිනි. 

චෙංකල්අඩි නගරයේ සිට මහඔය - බදුලු පාරේ (A-5) ඉලුප්පඩිචේන හන්දියෙන් දකුණට හැරී කිලෝමීටර් 07 ක් පමණ ගියතැන මෙම පන්කුනාවේලි කඳවුර පිහිටා තිබුණි. කැලෑවෙන් වැසීගිය, තරමක් උස් භූමියක හුදෙකලාව පිහිටි එම කඳවුර පිටතින් බලන කිසිවෙකුට හඳුනාගත නොහැකි ලෙස ඉදිකොට තිබීම විශේෂත්වයකි. කඳවුර වටා තිබූ බංකර්, එහි අභ්‍යන්තර මාර්ග, සෙබළුන්ගේ වාසස්ථාන ඇතුළු සෙසු සියලු ඉදිකිරීම් නිමවා තිබුණේ එහි අවට පරිසරයේ එකදු ලොකු කුඩා ගසකට හානි නොවෙන ලෙසය. සෙවණ හා සුන්දරත්වය අඩු නොවූව ද මදුරුවන් ද සර්පයින් ද පිරි එම කඳවුර ප්‍රදේශයේ පැවති අනෙකුත් හමුදා කඳවුරුවලට සාපේක්ෂව වඩාත් දුෂ්කර වූවකි. 

සැරයන් ඒබට් ඉඩන්තොට

තොප්පිගලට මායිම්ව පිහිටි එම කඳවුර අද්දරින් අතු ගංගාවක් ගලාගිය අතර ඒ හරහා බැඳි සොරොව්වක්ද ඊට සමාන්තරව ඉදිකළ ශක්තිමත් කොන්ක්‍රීට් පාලමක් ද විය. එහි තිබූ සොරොව්ව නිරතුරුව වසා තිබුණු අතර, ගඟෙහි ජල මට්ටම ඉහළ නගිත්ම එය  උතුරා යනුයේ මනස්කාන්ත දසුන් මවමිනි. එවන් අවස්ථාවල කඳවුරේ ප්‍රයෝජනය සඳහා යහමින් මාළු අල්ලාගත හැකිවීම එහි සැමට මහත් විනෝදජනක අවස්ථාවක් විය. සොරොව්වේ ඉහළ කොටසේ සුලබව කිඹුලන් සිටි අතර, රාත්‍රී කාලයේ විදුලි පන්දම් දැල්වීමේ දී ඔවුන්ගේ රතු පැහැති ඇස් තැන තැන දිලිසෙන අයුරු දැකගත හැකිවිය. කඳවුරේ භට පිරිස් දිය නෑම සඳහා සොරොව්වෙන් පහළ කොටස භාවිත කළ අතර, එහි කිඹුලන් නොසිටිය ද දිය නෑමේ දී අවි සහිත සෙබළු දෙදෙෙනකු ඒ අසල රැකවලෙහි යෙදවීමට ද කටයුතු කරන ලද්දේ වැඩි පරිස්සමටය. 

එම පන්කුනාවේලි කඳවුරෙහි සිටි සියයකට ආසන්න වූ භට පිරිස අතරින් වෙනස්ම අෙයකු විය. ඒ ඒබට් ඉඩන්තොට නම් වූ සැරයන්වරයෙකි. යුද බිමෙහි වෙඩික්කරුවන් සුලබ වුවද කලාකරුවන් අති දුලබය. ඒබට් ඉඩන්තොට එවන් දුලබ චරිතයකි. උඩු රැවුලක් සහිත සිහින් සිරුරකින් හෙබි සැරයන් ඒබට්, සමස්තයක් ලෙස ගතහොත් සෞන්දර්යාත්මක සිතිවිලිවලින් පෝෂිත බොහෝ ප්‍රියමනාප ගති ඇති සුන්දර චරිතයකි. කවි, ගීත නාට්‍ය වැනි සාහිත්‍ය ඇසුරේම ගෙවූ ඔහු වැන්නෙකු ක්‍රියාන්විත බිමක දී සොයා ගැනීම උගහටය. එම විෂය පිළිබඳ මුල සිටම උනන්දුවක් දැක් වූ  අ​ෙයකු නිසාදෝ, කඳවුර තුළ ඔහු හා මා අතර ගොඩනැගි තිබුණේ සමීප සබඳතාවකි. චන්ද්‍රා අයිරාංගනී නම් වූ සිය බිරිඳ හා කුඩා දියණියක ද සමග ඒබට් ඉඩන්තොට පදිංචිව සිටියේ හික්කඩුව ප්‍රදේශයේය. සමීපතයන් අතර බොහෝ ජනප්‍රිය අයකු වූ හෙතෙම ගමෙහි විශේෂ කලා කටයුතුවල දී පෙරමුණේ සිටියේය. රඟපෑමේ කටයුතු මෙන්ම සෙසු අය ඒ සඳහා පුරුදු පුහුණු කිරීම ද ඔහු අතින් සිදු කෙරුණේ සිය වෘත්තීය ද සමබරව පවත්වාගෙන යමින්ය.

එවකට නැගෙනහිර ප්‍රදේශය අවට නිතිපතා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වාර්තා වූ අතර, ඇතැම් අවස්ථාවල දී එලෙස සිදු වූ ගැටුම් මගින් දෙපාර්ශ්වයේම පිරිස් මියගිය හෝ තුවාල ලැබූ වාර ද බොහෝය. එවන් පසුබිමක අපද පන්කුනාවේලි කඳවුරෙහි සෑම රාත්‍රියක්ම ගෙවන ලද්දේ නිදිවර්ජිතවය. සැරයන් ඒබට් හා මා එහි වූ බංකර් තුළ සේම යාබද සොරොව්ව ආසන්නයේ ද බොහෝ රසබර කතාබස් මැද රැය පහන් කළ අවස්ථා බොහෝය. විශේෂයෙන්ම සිවිල් ජීවිතයේ දී, ඔහු ගමේ පාසලේ හා පන්සලේ වේදිකා නාට්‍ය රඟපෑ අයුරු ද ඒවායේ තිබූ ඇතැම් දෙබස් ද, විහිළු කතාද මා හමුවේ පවසන්නට වූයේ එම ක්‍රියාන්විත බිමෙහි කටුක බව දුරලමිනි. මාස ගණනාවක් නිවසින් දුරස්ව අනේකවිධ දුෂ්කරතා හා ජීවිත අවදානම මැද ගෙවුණු ජීවිතයට ඔහුගේ ඇසුර නොමඳ අස්වැසිල්ලක්ම විය. විශේෂයෙන්ම එම කඳවුරෙහි ටකරන් වටකොට කැලෑ රොදක් අස්සේ ඉදිකොට තිබූ සැරයන් නිවස්නය තුළින්ද ඔහුගේ එවන් කතාබස් හා සිනා හඬවල් ඇසුණු වාර තිබිණ. ඔහුගේ සගයන් වූ මාණ්ඩලික සැරයන් විමලවීර, සැරයන් හීන් බණ්ඩා මෙන්ම සැරයන් ප්‍රියදර්ශන ද මා මෙන්ම ඔහුගේ කතා ප්‍රියකළ බව ඉන් පැහැදිලිය.  විශේෂයෙන්ම කඳවුර අසලින් ගලායන ගඟෙහි අප එකට දිය නෑ වාර බොහෝය. එවන් අවස්ථාවල එම ගඟ මධ්‍යයේ වූ ගල් පරයක වාඩි වී කවියක්, සී පදයක්, නාට්‍ය ගීයක් කියන්නට ඔහු අමතක කළේ නැත. දින ගණන් කැලෑවල ගතකරමින් ක්‍රියාන්විතයන්හි නියැලි අප හට එලෙස දිය නාද්දී ඇසෙන සැරයන් ඒබට්ගේ කවි සී පද බොහෝ වීඩා නිවන සුමදුර ගැයුමක්ම විය. 

කඳවුරු භාර නිලධාරී වූ කපිතාන් ජයන්ත සුරවීර බොහෝ විට සැරයන් ඒබට්ව කඳවුර පිටත වූ ක්‍රියාන්විත රාජකාරී සඳහා නොයැවූ අතර, එහි වූ ගබඩාව භාරව ද, අනෙකුත් පාලන කටයුතු ද ඔහු වෙත පවරා තිබිණ. එහිදී මා ඇතුළු එහි භට පිරිස් ක්‍රියාන්විත කටයුතු සඳහා කඳවුරෙන් පිටතට යන සෑම වාරයකදීම ඒ සඳහා වූ ක්‍රියාන්විත අවශ්‍යතා නොපිරිහෙළා සපුරාලන්නට ද ඔහු වග බලා ගත්තේය. අප දින ගණන් තොප්පිගල පෙදෙසේ කැලෑවල ක්‍රියාන්විත සිදුකර නිදිවරා වෙහෙස වී යළි කඳවුරට පැමිණීමේ දී ද සැරයන් ඒබට් අපගෙන් තොරතුරු විමසමින් කතාබස් කරන්නට අමතක නොකළේ අපගේ විඩාපිරි හිත්වලට යම් අස්වැසිල්ලක් ගෙන දෙමිනි.

4 ගජබා රෙජිමේන්තුවේ විශේෂ උත්සව අවස්ථාවක් නිමිත්තෙන් සංවිධානය කෙරුණු විවිධ ප්‍රසංගයක් සඳහා මා සිටි කඳවුරේ භට පිරිස් වෙත වේදිකා නාට්‍යයක් ඉදිරිපත් කිරීමට උපදෙස් ලැබී තිබුණේ ද එම කාල වකවානුවේදීමය. ඒ අනුව නාට්‍ය සඳහා පිරිසක් තෝරා ගැනුණු අතර මම ද ඊට එක්වීමි. අපගේ නාට්‍යය පුහුණුකරු වූයේ සැරයන් ඒබට් ඉඩන්තොටය. හොඳින් හඳ පායා තිබු රාත්‍රියක කඳවුර තුළ වූ එළිමහන් පෙදෙසක මා ඇතුළු තවත් සෙබළු පිරිසක් ඊට සහභාගී වූහ. රාත්‍රී කාලයේ කඳවුර තුළ නාට්‍ය පුහුණුවීම් කටයුතු සිදුකිරීම එහි සිටි කාහටත් ගෙන දුන්නේ නැවුම් අත්දැකීමකි. විශේෂයෙන්ම ත්‍රස්තවාදී තර්ජන බහුලව පැවති වටපිටාවක, විදුලි පහසුකම් ද නොමැතිව ලදු කැලැවක් අස්සේ හඳ එළියෙන් නාට්‍යය පුහුණුවීම මහත් ආශ්වාදජනක ක්‍රියාවක් විය. එම අතිශය සුන්දර අත්දැකීම ක්‍රියාන්විතයන්හි නියැළි අන් කිසි​ෙවකු හෝ ලබා ඇත්දැයි නොදනී. පුහුණුවීම් අතරතුර නාට්‍යයට ඇතුළත් සෑම චරිතයක්ම රඟපා පෙන්වමින් සැරයන් ඒබට් සෙස්සන්ට ගුරුහරුකම් ලබා දුන්නේ වෘත්තීය නාට්‍යකරුෙවකු විලසය. 

තොප්පිගල ප්‍රදේශයේ පිහිටි පන්කුණාවේලි කඳවුර අසලින් ගලා යන අතු ගංඟාව


මෙසේ දින සති ගෙවී ගියේය. එම කාල වකවානුව තුළ උතුරේ ද සටන් ඇවිළී යන්නට විය. එහිදී හදිසි ක්‍රියාන්විත අවශ්‍යතාවක් මත, එහි සිටි 4 ගජබා රෙජිමේන්තු භට පිරිස්වලට උතුර බලා යාමට සිදුවිය. හදිසියේ ලද එම දැනුම් දීමට අනුව, මා සිටි කඳවුරේ සියලුදෙනා අවිආයුධ ඇතුළු අත්‍යාවශ්‍ය උපකරණ රැගෙන පා ගමනින්ම මහ කැලෑව මැද්දෙන් ප්‍රධාන මාර්ගය බලා පිටත්වෙන්නට වූහ. එහිදී, සැරයන් ඒබට් ද සිය කණ්ඩායම සමග එක් වූ අතර, එලෙස යන අවසාන මොහොතේ ඔහු මා සමග ද කතා බස් කොට පිටත් වූයේ කවි, නාට්‍ය හා සාහිත්‍ය පිළිබඳ බොහෝ මතක ගොන්නක් මා හමුවේ ඉතිරි කරමිනි. ඒ අනුව එසේ ඔවුන් නික්මෙද්දී ඒ අඩුව පිරවීමට වෙනත් ඒකකයකින් භට පිරිස් එහි පැමිණි අතර මා හට ඔවුන් සමග නතරවීමට සිදු විය. කෙසේවුව සැරයන් ඒබට්ගේ නික්මයාම නිසා එම කඳවුරු පරිශ්‍රයේම මා හට දැනුණේ වෙනදා නොතිබූ පාළු මූසල බවකි. අවි ගැටෙන ගිනියම් යුද බිමට කලාව හා සාහිත්‍යය තුළින් වුව ද සිසිලසක් ලබා දිය හැකි නොවේදැයි එහි දී මාහට සිතිණ. 

(තව කොටසක් ලබන කලාපයෙන්)