රට හිඟමනට ඇද දමන රාජ්‍ය ප්‍රතිපත්ති


​දේශීය ආර්ථිකයක් කරා

නේචර්ස් සීක්‍රට් සභාපති 
සමන්ත කුමාරසිංහ

සේවකයන් අට දෙනකුගෙන් 1993 වසරේදී ආරම්භ කළ නේචර්ස් සීක්‍රට් අද සේවකයන් 700කට අධික පිරිසකට ජීවිකාව සපයන සමූහ ව්‍යාපාරයකි. මව් රටෙන් ඔබ්බට ගොස් සියයට සියයක ලාංකික හිමිකාරත්වයක් සහිත කර්මාන්ත ශාලා බංග්ලාදේශයේ හා වියට්නාමයේ ද පවත්වාගෙන යන නේචර්ස් සීක්‍රට් හි නිර්මාතෘවරයා සමන්ත කුමාරසිංහ මහතාය.  


මාතර දිස්ත්‍රික්කයේ මොරවක ඉපදුණු කුමාරසිංහ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධිධාරියෙකි. තම ව්‍යාපාර ගොඩනගා ගැනීම සඳහා එංගලන්තය, දකුණු කොරියාව, සිංගප්පූරුව, ජපානය සහ තායිවානය වැනි රටවලට ගොස් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව අධ්‍යනය කර ඇති ඒ මහතා ඒ රටවල් ආර්ථික වර්ධනය අත්පත් කරගත්තේ කෙසේදැයි ගැඹුරින් අධ්‍යයනය කර තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ හාවර්ඩ් ව්‍යාපාර විද්‍යාලයෙන්ද ව්‍යවසායකත්වය පිළිබඳව හදාරා ඇති ඒ මහතා ලංකාවට වැරැදුණු තැන් නිවැරැදි කරගෙන මෙරට ආර්ථික වර්ධනය සඳහා කළ යුතු නොකළ යුතු දේවල් ගැන මෙසේ කරුණු දක්වයි.  
කොරෝනා වසංගතය ස්වභාව දහම විසින් ලෝකයාටම දෙන ලද දඩුවමකි. ඒ දඬුවම ලැබී තිබෙන්නේ සමස්ත ලෝකයේම සිදු වී තිබෙන වැරැදිවලටය. 1815 සිට 1948 දක්වා අපේ රට පාලනය කළේ විදෙස් ආක්‍රමණිකයෝය. ඔවුහු අපේ මුතුන් මිත්තෝ මරා දැමූහ. මෙරට ආර්ථික සම්පත් හූරාගෙන කෑහ. 1948 දී ඔවුන් මෙරටින් පිටව ගියේ ඔවුනගේ රූකඩවලට මෙරට පාලනය භාර දෙමිනි. එදා සිට මෙරට පවතින්නේ තට්ටු මාරු දේශපාලන ක්‍රමයකි. මේ දේශපාලනයෙහි පවතින්නේ ඉහත කී ආක්‍රමණිකයන්ට අවශ්‍ය දේවල් සහ ඔවුන්ගේ වුවමනා එපාකම් අපේ කැමැත්තෙන් ලබා දෙන සහ ඉටු කරන ක්‍රමයකි. මේ ක්‍රමය ගොඩනැගුණේ 1945 දී දෙවැනි ලෝක යුද්ධය නිම වීමෙන් අනතුරුවය. ලෝක යුද්ධ දෙක නිමවනවිට බටහිර හා යුරෝපයේ රටවල් සිටියේ හොඳටම හෙම්බත් වීය. ඒ ලෝක යුද්ධ දෙකෙන් ඒ රටවල් අඩියටම පතුළටම වැටිණි.  


ඉන්පසු ඒ රටවල සිට දුර දක්නා නුවණැති ආර්ථික විද්‍යාඥයන් හා නීතිඥයන් වැනි වෘත්තිකයෝ එකතු වී ලොව පුරා පවතින ආර්ථික සම්පත්වල වාසිය හා ප්‍රතිලාභ යුද්ධ නොකර අත්පත් කරගත හැකි ක්‍රමවේදයක් සකස් කරති. ඒ ක්‍රමවේදය සැකසෙන්නේ 1947 දීය. එහි මූලිකත්වය ගත්තේ ආර්ථික විද්‍යා මහාචාර්යවරයකු වන ෆ්‍රෙඩ්රික් වොන් හයෙක් නමැති බ්‍රිතාන්‍ය පුරවැසියෙකි. ඔහු ඉපදී තිබෙන්නේ ඔස්ට්‍රියාවේය. 1899 සිට 1992 දක්වා අවුරුදු 93 ක් ජීවත්ව තිබෙන ඔහු 1931 සිට 1950 දක්වා ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික් නමැති ලෝක ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්යවරයකු ලෙස සේවය කර තිබේ. ස්විට්සර්ලන්ත​යේ මොන්පොලරින් (Mont Pelerin) නමැති ඉතා කුඩා ගමක් මූලික කරගෙන මොන්පොලරින් සමාජය (The Mont Pelerin Society-MPS) ගොඩ නගන්නේ ඒ මහාචාර්යවරයාගේ මූලිකත්වයෙනි. ඒ 1947 දීය. ඊට එකතු වූයේ මා ඉහත කී ලෙස දුරදක්නා නුවණැති ඇමෙරිකානු සහ යුරෝපීය උගතුන්ය. 

 
මොන්පොලරින් නමින් සමාජයක් හෙවත් සංවිධානයක් තිබුණට එයට ව්‍යුහයක් හෝ කාර්යාලයක් නොතිබිණි. ඒ නිසා ඒ සංවිධානය පැහැදිලිව පෙනෙන්නට දකින්නට නොලැබෙයි. එහෙත් බූවල්ලකුගේ අඬු සේ ඒ සංවිධානයේ නියෝජිතයෝ ලොව හැම තැනකම වාගේ විසිරී පැතිරී සිටිති. ඔවුන් හදාගෙන තිබෙන්නේ තමන්ට අවශ්‍ය විදිහට ලෝකය පාලනය කළ හැකි ආර්ථික ක්‍රමවේදයකි. දෙවැනි ලෝක යුද්ධය 1945 දී නිමවූ පසුව ඒ වසරේදීම ලෝක බැංකුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් බිහිවෙයි. ඒ ලෝක බැංකු හා මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති සැකසෙන්නේ මොන්පොලරින් දර්ශනය මතය. එදා සිට ලෝක ආර්ථිකය පාලනය කරන්නේ ඒ මොන්පොලරින් සංවිධානයයි. ඇමෙරිකාවේ ඉතා ධනවත් පවුල්වල සාමාජිකයන් සේම එංගලන්තයේ, ඔස්ට්‍රියාවේ හා ජර්මනිය වැනි රටවල සිටි ඇමෙරිකන් හා එංගලන්ත ක්‍රමයට සහාය දෙන පිරිස් ද ඒ සංවිධානයේ සාමාජිකයෝ වූහ. ආරම්භයේ දී එහි සාමාජිකයන් සංඛ්‍යාව පනහකට අඩුය. එහෙත් ලෝක ආර්ථිකය පාලනය කළයුතු ක්‍රමවේදය සංවර්ධනය කරන්නේ ඒ පිරිසය. ලෝක බැංකුව, ලෝක වෙළෙඳ සංවිධානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ව්‍යුහගත ආයතන විසින් ඉටු කරනු ලබන්නේ මොන්පොලරින් සංවිධානයේ අවශ්‍යතාය. ඒ ආයතනවල ප්‍රතිපත්ති හා සැලසුම් සැකසෙන්නේ මොන්පොලරින් දර්ශනය මතය. එය එතරම් ප්‍රබල සංවිධානයකි. ලංකාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙක්ද එහි සාමාජිකයෙක්ව සිටියේය.  

 

 

මොන්පොලරින් ඉත්තන් රාජ්‍ය නායකයන් ලෙස කටයුතු කළ යුගවලදී ඒ ඇතැම් රටවල ආර්ථිකය කඩා වැටී තිබේ. ඊට හේතු වී ඇත්තේ රටේ අවශ්‍යතාව පැත්තකට දමා මොන්පොලරින් දර්ශනය මත තම රටවල ප්‍රතිපත්ති තීරණය කර ඒ ප්‍රතිපත්ති මත සැකසූ සැලසුම් ක්‍රියාත්මක කිරීමය. මොන්පොලරින් දර්ශනයේ පරම අරමුණ වන්නේ රටවල් හිඟමනට ඇද දැමීමය. එය ආසියාවේ හා අප්‍රිකාවේ බොහෝ රටවල සේම නැගෙනහිර යුරෝපයේ ඇතැම් රටවලද සිදුවී තිබේ. මොන්​පොලරින් ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූ යුගවලදී ඒ රටවල ආර්ථික වර්ධන වේගය කඩා වැටී තිබේ. රජය සතු ආර්ථික මර්මස්ථාන විකිණීම වැනි කටයුතු මොන්පොලරින් දර්ශනයේ පරමාදර්ශ​ වෙයි. ලංකාවේ ක්‍රියාත්මක ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය රජයට සම්බන්ධ ආයතනයකි. එහි සභාපති පත්කරන්නේ රජයෙනි. එය ප්‍රතිපත්ති අධ්‍යයනය පිළිබඳව රටේ තිබෙන ආයතනයයි. ඇතැම් යුගවලදී එහි සිටි පුද්ගලයන් අප රටේ ක්‍රියාත්මක කළේද මොන්පොලරින් ප්‍රතිපත්තිය. එක් යුගයක එහි සභාපති වූයේ ද මොන්පොලරින් සංවිධානයේ සාමාජිකයෙකි. ඇතැම් රටවල විශාල වශයෙන් බදු ගසා පුරවැසියන් හා ව්‍යාපාරිකයන් නත්නත්තාර කරන්නේද ​මොන්පොලරින් ප්‍රතිපත්ති මතය. එසේ එකතු කරගන්නා බදු මුදල් උපදේශක සේවා ගාස්තු යනාදි විවිධ නම්වලින් විදේශිකයන්ට ගෙවීම සාමාන්‍ය ස්වභාවයයි. මොන්පොලරින් බූවල්ලන් බොහෝ රටවලට රිංගන්නේ උපදේශකයන් ලෙසය. ඔවුහු ඒ රටවලට ගොස් ඒ රටවල තරුපහේ හෝටල්වල නැවතී ඒ රටවල ආර්ථික සම්පත් තම රටවලට හරවා ගත හැකි ක්‍රමෝපක්‍රම සහිත සැලසුම් සකසා දී සේවා ගාස්තු ලෙස මහා ධනස්කන්ධයක් ද ලබාගෙන ඒ රටවලින් පිටව යති. එවැනි කටයුතු අප රටේ ද සිදු වී තිබේ.  


නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියේ පෙර ගමන් කරුවා ඇමෙරිකාවය. ඇමෙරිකානු ජනාධිපතිවරුන් කියන්නේ තමන් ලෝකයේ ශ්‍රේෂ්ඨතම ජාතිය බවය. තමන්ට ඕනෑ දෙයක් ලොව කොතනත් කළ හැකි බවය. ලෝකයේ බලවත්ම රාජ්‍ය තමන්ය කියමින් ඇමෙරිකානු රාජ්‍ය නායකයෝ කතා පවත්වති. එහෙත් කොරෝනා වසංගතය විසින් ඔප්පු කරනු ලැබ තිබෙන්නේ ඒ කතා සියල්ල කයිවාරු හා පම්පෝරි පමණක් බවය. ඇමෙරිකාවේ ඇත්ත තත්ත්වය ලොවට පෙන්වන වීඩියෝ දර්ශන දැන් අන්තර්ජාලයේ ඕනෑ තරම් තිබේ. ඒ එක් දර්ශනයක තිබෙන්නේ ලොස් ඇන්ජලිස් නුවර නොමිලේ ආහාර බෙදන තැනකින් කෑමට යමක් ලබා ගැනීමට බෙන්ස් සහ ඊටත් වඩා මිල අධික වාහනවලින් යන මිනිසුන්ගේ පෝලිමකි. ඒ මිනිසුන් එරට දුප්පත් සාමාන්‍ය ජනතාව නොව මධ්‍යම පාන්තිකයන්ය. ඔවුහු අද කෑමට යමක් සොයා හිඟමනේ යති. ලෝකයේ ධනවත්ම රටේ පොදු ජනතාව අද මුහුණ දී සිටින්නේ එවැනි ඉරණමකටය. සරලව කිවහොත් අද ඇමෙරිකාවේ පොදු ජනතාවට කෑමට යමක් හොයා ගැනීමට හිඟමනේ යාමට සිදුවී තිබේ. ඔවුනට එසේ වූයේ ඔවුනගේ පරමාදර්ශී නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියේ මහිමයෙනි. නොඑසේනම් මා ඉහත කී ​මොන්පොලරින් දර්ශනයේ ආනුභාවයෙනි. මින් අපට අනාවරණය වන්නේ මොන්පොලරින් දර්ශනයේ අරමුණ වන්නේද ඇමෙරිකාවේ හා යුරෝපයේ සමස්ත ජනතාව නොව ඊට සම්බන්ධව පවුල් කල්ලිය පමණක් බවය. කොරෝනා නිසා මරණයට පත්වූ ඇමෙරිකානුවන් සංඛ්‍යාව එක්ලක්ෂ පන්දහසකට (1,05,000) අධිකය. කොරෝනා වලින් ආසාධිත පිරිස ලක්ෂ 15කට වැඩිය. කියැවෙන්නේ මරණ ගණන නිල වශයෙන් කියන සංඛ්‍යාවට වඩා වැඩි බවය. එතරම් මහ මිනිස් සංහාරයක් වන්නේ රෝගීන්ට ප්‍රතිකාර හා සත්කාර කරන නිදහස් සෞඛ්‍ය ක්‍රමයක් නැති නිසාය.  


එහෙත් ලංකාවේ එසේ කොරෝනා මරණ සංඛ්‍යාව ඇමෙරිකාවේ හා එංගලන්තයේ සේ ඉහළ නොගියේ අපේ රටේ ක්‍රියාත්මක වන නිදහස් සෞඛ්‍ය සේවාවේ මහිමයෙනි. ලංකාවෙත් ඇමෙරිකාවේ වගේ පෞද්ගලික රෝහල්වලින් බෙහෙත් ගැනීමට සිදු වූවා නම් අපේ මිනිසුන් සියලු දෙනා ඒ පෞද්ගලික රෝහල්වලින් බෙහෙත් ගනීවිද, එසේ බෙහෙත් ගැනීමට මෙරට පුරවැසියන් සියලු දෙනාට සල්ලි තිබේද? ඇමෙරිකාවේ නිදහස ඉහළින් තිබේ. එහෙත් ඒ නිසාම මරණ ඉහළ ගියේය. ලංකාවේ නිදහස නැතිලු. මිලිටරි පාලනයක් බිහි වෙලාලු. කියමින් බටහිරට කහින හා කඩේ යන අය කියති. බටහිරට කඩේ යන්නන් එ​සේ කීවාට කොරෝනා පාලනය කරගැනීමට හැකියාව ලැබුණේ නිදහස උපරිමය කියන රටවලට නොව යම් පාලනයක් සහිත ආණ්ඩු ක්‍රම පවතින රටවලය. චීනය, වියට්නාමය උදාහරණය. කොරෝනාවලින් වියට්නාමයේ කිසිවකු මැරුණේ නැත. ඒ රටවල ප්‍රජාතන්ත්‍රවාදය නෑ කිව්වාට නීතියේ පාලනයක් ති​බේ. වියට්නාමයේ පිහිටි අපේ කර්මාන්ත ශාලාව එකම දවසක්වත් වැසුවේ නැත. නිවාසවල රැඳී සිටීමේ ක්‍රමය එරට ඉතා තදින් ක්‍රියාත්මක විය. එසේ බෑ කිව්වොත් බෑමය. ජනතාව නීති ගරුකය. ඉතින් මිනිසුන් තොග පිටින් මැරෙන නව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට වඩා මිනිසුන්ගේ ජීවිත රැකෙන යම් පාලනයක් සහිත ආණ්ඩු ක්‍රමයක වරද කුමක්ද?  
කාම්බෝජය හා මියන්මාරයද කොරෝනා පාලනය කරගත් රටවලට නිදසුන්ය. ඒ රටවල් එසේ කරගත්තේ නව ලිබරල් ආර්ථික හෝ දේශපාලන ප්‍රතිපත්තිවල මහිමයෙන් නොව යම් පාලනයක් සහිත ආණ්ඩු ක්‍රමවල පිහිටෙනි. ඕනෑවට වඩා නිදහස තිබුණු ඇමෙරිකාවේ හා යුරෝපයේ මිනිසුන් මැරුණේ දහස් ගණනිනි. ඇමෙරිකාවේ මිය ගිය පිරිස ලක්ෂයකට අධිකය. එය තවමත් නැවතී ද නැත. එහෙයින් එරට මරණ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇත. ඇමෙරිකාව ලෝකයේ විවිධ රටවල කළ යුද්ධවලින් මිය ගිය සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් කොරෝනාවලින් මාස තුනකට අඩු කාලයකදී මිය ගොස් තිබෙන බව එරට මාධ්‍යවලින්ම දැන් අනාවරණය වෙයි. ඒ තොරතුරුවලින් හෙළි වන්නේ හා අනාවරණය වන්නේ නව ලිබරල් ආර්ථික හා දේශපාලන ක්‍රමවල හෙළුවය. නිදහසින් පසු ගත වුණු අවුරුදු 73දී 1970 සිට 1977 දක්වා යුගය හැර අනෙක් කාලවලදී අපේ රටත් දක්කා තිබෙන්නේ ඒ නව ලිබරල් පාරේය. කොරෝනාවලින් රට වැනසුණේ නැත්තේ ඒ පාරේ කෙළවරට නොගිය හෙයිනි. ඒ නිසා දැන්වත් ඒ වැරැදි පාරේ තව දුරටත් ඉදිරියට යනවාද කියා අප සිහි බුද්ධියෙන් සිතා බැලිය යුතුය. කොරෝනා වසංගතය අවස්ථාවක් කරගෙන අප අපේ ආර්ථිකය ගොඩ නැගීමට ප්‍රතිපත්ති හා සැලසුම් සම්පාදනය කළයුතු බව ම​ගේ විශ්වාසයයි.  

 

 

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති කියන්නේ 2020 දී ඒ මණ්ඩලය බලාපොරොත්තු වූ අපනයන ආදායමෙන් ඇමෙරිකා ඩොලර් බිලියන අටක් පමණ අඩු විය හැකි බවය. 2020 දී බිලියන 20ක අපනයන ආදායමක් බලාපොරොත්තු වුණත් එය බිලියන 12ක් දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බව සභාපතිවරයා කියයි. සභාපතිවරයා ඒ කියන්නේ භාණ්ඩ අපනයන ආදායම ගැන පමණක් නොවේ. සේවා අපනයන ආදායම් ද ඊට ඇතුළත්ය. විදේශ රැකියාවලින් ලැබුණු ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන තුනකින් පමණ පහළ වැටෙනු ඇතැයි යන්න මගේ උපකල්පනයයි. සංචාරක ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වූ ආදායමත් ඇමෙරිකන් ඩොලර් බිලියන එකහමාරකින් පමණ අඩු වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. එලෙස සලකා බලනවිට කොරෝනා නිසා 2020 දී අපට අහිමි වෙතැයි අපේක්ෂා කළ හැකි විදේශ විනිමය ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 12ක් පමණ වෙයි.  


විදේශ විනිමය වැඩියෙන් වැය වෙන්නේ ඉන්ධන ආනයනය කිරීමටය. 2018 දී ඉන්ධන ආනයනය කිරීමට ඇමෙරිකන් ඩොලර් බිලියන 4.1 ක් (හතරයි දශම එකක්) ලංකාවට වැය වී තිබේ. 2018 දී ඇමෙරිකන් ඩොලර් බිලියන එකයි දශම පහක වාහන ගෙන්වා තිබේ. ඊට අමතරව 2018 දීම ඇමෙරිකන් ඩොලර් බිලියන එකයි දශම හයක (1.6) පමණ ආහාර ගෙන්වා තිබේ. ඒ වියදම් අප සීමා කළ යුතුය. වාහන ගෙන්වීම නතර කිරීමට මේ රජය ගත් තීරණය ඉතාමත් කාලෝචිතය. එමගින් අඩුම තරමින් ඇමෙරිකානු ඩොලර් බිලියනයක් ඉතිර කරගත හැකිය. ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල අඩු වී තිබෙන නිසා එමගින් ඉන්ධන ආනයන වියදමද ඩොලර් බිලියන දෙකකින් පමණ අඩු කරගත හැකිය. එහිදී ජනතාවට රට වෙනුවෙන් යමක් කළ හැකිය. ආයතනත් පුද්ගලයොත් තම පෞද්ගලික ඉන්ධන පරිභෝජනය සියයට 25කින් වත් කපා හැරියහොත් එමගින් රටට වන සෙත විශාලය. ආහාර ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කිරීමෙන් ලැබෙන වාසියට වඩා වැඩි වාසියක් ඉන්ධන පරිභෝජනය කපා හැරීමෙන් අත්කර ගත හැකිය.  


අවධානය යොමු කළ යුතු තවත් ප්‍රබල කාරණයක් වන්නේ දේශපාලන පත්වීම් ලබන ඇතැම් පුද්ගලයන් ආණ්ඩු මාරුවීමත් සමග ටයි මාරු කරමින් අලුත් ආණ්ඩුවලටද හේතු වීමය. උදාහරණයකට පසුගිය රජය සමයේ හම්බන්තොට වරාය විකිණීමට පෙරමුණ ගෙන සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ සිටි ඉහළම නිලධාරියකුගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවකින් රටේ සංවර්ධනයට කළයුතු දේවල් සඳහන් වාර්තාවක් වත්මන් ජනාධිපතිවරයාට භාරදුන් බවට පසුගිය දිනවල ජනමාධ්‍යවල වාර්තා පළවිය. එදා ඒ නිලධාරියා කීවේ හම්බන්තොට වරාය චීනයට නොදුන්නොත් රට දුවන්න සල්ලි නැති බවයි. වරාය චීනයට දීමෙන් ඇමෙරිකන් ඩොලර් බිලියන එකයි දශම එකක් ගත් බව එකල කියැවිණි. ඒ මුදලින් රට ගොඩ දැමීමට ඔවුනට නොහැකි විය. ඒ ආර්ථික ඔස්තාද්ල ඒ මුදල් ටිකත් වියදම් කළේ රටින් වාහන, තෙල් හා කොහු ඉඳල් ගෙන්වීමටය. එවැනි අපරාධ කළ මොන්පොලරින් දර්ශනය කර තබාගත් පුද්ගලයන් දැන් සැරසෙන්නේ වර්තමාන රජයත් අමාරුවේ දැමීමටය. වර්තමාන ජනාධිපතිවරයා ඔවුනගේ වාර්තා පිළිගෙන ඒවායේ තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කළ හොත් එමගින් ඉටුවන්නේ ඔහුට ඡන්දය දුන් ජනතාවගේ අපේක්ෂා නොව ඔහුට විරුද්ධව කටයුතු කළ දෙස් විදෙස් බලවේගවල වුවමනාය. ජනාධිපතිට ඒ වාර්තාව භාර දුන් පුද්ගලයා වෙන කෙනෙක් ජනාධිපති කරවීමට වෙහෙස මහන්සි වූවෙකි. වත්මන් ජනාධිපතිට කිට්ටුවීමට සැරසෙන්නෝ එවැන්නෝය. එවැන්නන් වාර්තා දෙන්නේ ජනපතිත් රජයත් අමාරුවේ දැමීමට විනා ගොඩ ගැනීමට යැයි විශ්වාස කළ හැක්කේ කාටද?  


රටේ අභිවෘද්ධිය හා ආර්ථික දියුණුව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී දැඩි අවධානය යොමු කළ යුතු තවත් බරපතළ කාරණයක් තිබේ. ඇතැම් රාජ්‍ය ආයතනවල විශේෂයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් හා සෞඛ්‍ය අමාත්‍යංශය සේම​ වෙළෙඳ හා වාණිජ අමාත්‍යංශය වැනි ඇතැම් අමාත්‍යංශ හා දෙපාර්තමේන්තුවල සේවයේ නියුතු ඇතැම් නිලධාරීහු විශ්‍රාම ගැනීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ලෝක වෙළෙඳ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි සංවිධානවල රැකියාවට යාමට බලාපොරොත්තුවෙන් සිටිති. ඇතැම් නිලධාරීන්ට ඒ ආයතන පෙනෙන්නේ දිව්‍ය ලෝක ලෙසය. විශ්‍රාම යාමට ආසන්න කාලයේ ඔවුන් වැඩ කරන්නේ ඒ දිව්‍ය ලෝක දෙස බලාගෙනය. එසේ වන කල ඔවුනගෙන් මේ රටට සේවයක් නොවේ. ඒ කාලයේදී ඔවුන් ක්‍රියාත්මක වන්නේ ​මොන්පොලරින් දර්ශනය මත ක්‍රියාත්මක වන ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක වෙළෙඳ සංවිධානය වැනි ආයතනවල න්‍යාය පත්‍ර මතය. මගේ මේ විවේචනය ඉහත කී අමාත්‍යංශවල සිටින සියලු නිලධාරීන්ට අදාළ නොවේ. ජාති හිතෛෂි බොහෝ නිලධාරීන් ඒ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තුවල සිටින බව අපි දනිමු.  


රටටත් රටේ ආර්ථිකයටත් වින කටින ඒ නිලධාරීන් හඳුනා ගත යුතුය. රටේ ප්‍රබල බුද්ධි සේවයක් පවතින්නේ නම් ඔවුන් හඳුනා ගැනීම ද අපහසු නොවේ. ජාත්‍යන්තර මූල්‍ය හා වෙළෙඳ ආයතනවල පදයට නටන නිලධාරීන් හඳුනාගෙන ඔවුන් ඉවත් කර ජාති හිතෛෂී නිලධාරීන් ඒ තැන්වලට පත් කිරීම්ද නව රජයේ වගකීමක් විය යුතුය. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුවත් මේ රටේ දියුණුවම ප්‍රාර්ථනා කරන ඒ වෙනුවෙන් කැපවෙතැයි අපේක්ෂා කළ හැකි නිලධාරීන් ගැන සොයා බලා ඔවුනට සුදුසු තැන් දිය යුතුය. එසේ නොමැතිව දැන හෝ නොදැන ​මොන්පොලරින් මතවාදය හා දර්ශනය මත ක්‍රියාත්මක වන නිලධාරීන් ඉහළ පුටුවල තබා ගැනීමෙන් හා ඔවුනට ඉහළ පුටු පිරිනැමීමෙන් වෙන්නේ වැටී සිටින වළේ තව තවත් එරීම මිස ගොඩයාම නොවේ. ආණ්ඩුවේ වගකිව යුතු බලධාරීන් මේ තත්ත්වය තේරුම් ගෙන ඒවා වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමද රටේ දියුණුවට අත්‍යවශ්‍ය කොන්දේසියකි.

 

 

සාකච්ඡා සටහන  
ගුණසිංහ හේරත්