දෙදහස් තුන වසරේ දෙසැම්බර් දොළොස් වන දිනය උදා වූයේ ශ්‍රී ලංකාවාසී සකල බෞද්ධ ජනතාවගේ හදවත් ශෝකයෙන් මුසපත් කරන ආරංචියක් ද සමගය.
එකල බොහෝ බෞද්ධ බැතිමතුන්ගේ අප්‍රමාණ ගෞරවාදරයට පාත්‍රව සිටි ගංගොඩවිල සෝම හිමියන් අපවත් වූ පුවත බෞද්ධ ජනතාව පමණක් නොව සකල ශ්‍රී ලංකාවාසීන් ශෝකයට පත් කළ එම දුක්බර ආරංචිය විය.
එක්දහස් නවසිය හතළිස් අටේ අප්‍රියෙල් 24 වැනි දින ගංගොඩවිලදී උපත ලැබූ සෝම හිමියන් මහරගම භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේදී මඩිහේ පඤ්ඤාසීහ, අම්පිටියේ රාහුල හිමිවරුන්ගේ උපදේශකත්වය යටතේ පුහුණුව ලබා 1976 දී උපසම්පදාව ලබා ඇත.
ගංගොඩවිල සෝම හිමියන්, රුසියාවේ පීටස්බර්ග් නගරය බලා වැඩම කරන්නේ එහිදී උන්වහන්සේට පිරිනමනු ලබන ගෞරව උපාධියක් පිළිගැනීම සඳහාය.
රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් ගුවන්තොටුපොළට ළඟා වූ උන්වහන්සේට පපුවේ වම් පැත්තේ තදබල වේදනාවක් ඇති වූ හෙයින් උන්වහන්සේ පීටර්ස්බර්ක් නාගරික රෝහලට ඇතුළත් කරන ලදී. එහිදී සිදු කෙරුණ ඊ.සී.ජී. පරීක්ෂණයේදී ගංගොඩවිල සෝම හිමිපාණන් තදබල හෘදයාබාධයකට ලක්ව ඇති බව හෙළි විය. උන්වහන්සේගේ සිරුරේ රුධිරය ධාවනය වන ප්‍රධාන රුධිරවාහිනී තුනකම මේදය තැන්පත් වී ඇති බවත්, එක් රුධිරවාහිනියක ස්ථාන තුනකම මේදය අධික ලෙස තැන්පත්ව ඇති බවත් එහිදී හෙළි විය.
දින ගණනාවක් මුළුල්ලේ විවිධ ප්‍රතිකාර සිදු වුවත් දෙදහස් තුනේ දෙසැම්බර් දොළොස් වැනි දින පෙරවරු 7.55ට ගංගොඩවිල සෝම හිමිපාණන් පීටර්ස්බර්ග් රෝහලේදී අපවත් වූහ.
ගංගොඩවිල සෝම හිමියන්ගේ දේහය රැගත් ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළට ළඟා වූයේ 2003 දෙසැම්බර් දහඅට වැනි දින උදෑසන හතටය.
කටුනායක ගුවන්තොටුපොළ අයත් වූයේ මීගමුව අධිකරණ කලාපයටය. එනිසා උන්වහන්සේගේ මරණ පරීක්ෂණ කටයුතු සිදු විය යුතුව තිබුණේ මීගමුව රෝහලේදී, මීගමුව මහේස්ත්‍රාත්වරයා විසිනි.
සෝම හිමියන්ගේ මරණය ආරංචි වූ විගසම ලංකාවේ බොහෝ දෙනා චෝදනා කරන්නට වූයේ, ක්‍රිස්තියානි මූලධර්මවාදීන් විසින් වංචනික ලෙස සෝම හිමියන් රවටා රුසියාවට ගෙන්වාගෙන වුවමනාවෙන්ම උන්වහන්සේව ඝාතනය කළ බවය. උන්වහන්සේගේ අභාවය පිළිබඳ විවිධ මත රට තුළ පැතිරෙමින් තිබුණි.
එවන් වාතාවරණයක සෝම හිමියන්ගේ මරණ පරීක්ෂණ කටයුතු සිදු කළේ මීගමුව මහේස්ත්‍රාත්වරයා විසින් නොව ගම්පහ මහේස්ත්‍රාත්වරයා විසිනි.
එවකට ගම්පහ මහේස්ත්‍රාත්වරයා වූයේ සමන් වික්‍රමආරච්චි ය.
“සෝම හාමුදුරුවන්ගේ අභාවය සිදු වුණු කාලයේ මීගමුව මහේස්ත්‍රාත්වරයා වූයේ මොහාන් බුරාන් මහත්තයා. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙහි විනිශ්චයකාර ශිරාණි තිලකවර්ධන මහත්මියගේ මල්ලි.
මොහාන් බුරාන් කිව්වා මම කතෝලිකයෙක්, අභාවප්‍රාප්ත සෝම හිමියන්ගේ මරණය පිළිබඳ ලොකු ආන්දෝලනයක් රට තුළ තිබෙනවා. ඒක නිසා මට මේ මරණ පරීක්ෂණ කටයුතු කරන්න බැහැ කියලා. ඒ නිසයි මට ඒ මරණ පරීක්ෂණ කටයුතු භාර වුණේ.”
දැනට විශ්‍රාම සුවයෙන් පසුවන සමන් වික්‍රමආරච්චි පැහැදිලි කළේ මීගමුව මහේස්ත්‍රාත් විසින් සිදු කළ යුතු මරණ පරීක්ෂණයක් ගම්පහ මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කිරීම පිළිබඳවය.
ගම්පහ මහේස්ත්‍රාත්වරයාට මරණ පරීක්ෂණයක් සිදු කළ හැක්කේ සිය අධිකරණ කලාපය ඇතුළතය. කටුනායක ගුවන්තොටුපොළට ගෙන එන මළසිරුරු පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ සිදු කළත් ගංගොඩවිල සෝම හිමියන්ගේ දේහය රාගම රෝහලේ මෘත ශරීරාගාරය වෙත ගෙන එනු ලබන්නේ එම හේතුව ලෙසය.
ඒ අනුව, උන්වහන්සේගේ දේහය රාගම රෝහලේ මෘත ශරීරාගාරය වෙත දෙසැම්බර් දහඅට වැනි දින උදෑසන නවයයි පහළොවට පමණ ගෙන එන ලදී.
“මහජන කැළඹීමට හේතු වන කරුණක් නිසා අධිකරණයේ වෙනත් කටයුතුවලට වඩා මෙම මරණ පරීක්ෂණයට පුමුඛතාව දෙන්න කියලා මම කිව්වා.” විශ්‍රාමලත් විනිසුරු සමන් වික්‍රමආරච්චි පවසයි.
“මම රාගම රෝහලට එද්දී තුන් දහසකට වැඩි පිරිසක් රැස්ව සිටියා. මගේ වාහනය ගන්න බැරි තරමටම සෙනග හිටියා. සමහරු මහත් උද්වේගකාරී අන්දමින් හැසිරුණා.” හෙතෙම විස්තර කරන්නේ එදින රාගම රෝහල අවට පැවැතුණ වාතාවරණය පිළිබඳවය.
“භික්ෂුන්වහන්සේලාත් එතැන හිටියා. රතන හාමුදුරුවොත් හිටියා. එතකොට උන්වහන්සේ මන්ත්‍රීවරයකු නොවෙයි. වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු පහළොවක් විස්සක් විතර එතැන හිටියා. මහාචාර්ය චන්ද්‍රසිරි නිරිඇල්ල, මනෝ වෛද්‍ය විශේෂඥ ඩී.වී.ජේ. හරිස්චන්ද්‍ර, එකල රාගම වෛද්‍ය පීඨයෙහි පීඨාධිපති, අධිකරණ වෛද්‍ය විශේෂඥ ආනන්ද සමරසේකර මට විශේෂයෙන් මතකයි. හුඟක් අය කිව්වේ මේක මිනීමැරුමක් කියලා.” සමන් වික්‍රමආරච්චි පවසන්නේ ගංගොඩවිල සෝම හිමියන්ගේ මරණ පරීක්ෂණය ආරම්භ කිරීමට පෙර එහි පැවැති තත්ත්වය පිළිබඳවය.
“මම එතැනදී හැම අයටම කිව්වේ මරණ පරීක්ෂණයක අරමුණ වෙන්නේ මියගිය හේතුව හොයන එකයි කියලා. ඒ කියන්නේ ස්වාභාවිකව ද අසනීපයක් ද ප්‍රහාරයක් ද හදිසි අනතුරක් ද මිනීමැරුමක් ද කියලා තීරණය කරන්නේ උසාවිය. එතැනින් එහාට අපට යන්න බැහැ.
මරණය සිදු වුණ හේතුව බලන එකයි මගේ රාජකාරිය. වෛද්‍යවරු ඉදිරිපත් කරන වාර්තා සහ මෙතැනදී ඉදිරිපත් වන සාක්ෂි අනුවයි එම තීන්දුව දෙන්නේ.”
ඒ, විශ්‍රාමික විනිසුරු, එදා ගම්පහ මහේස්ත්‍රාත්වරයා වශයෙන් රාගම රෝහලේදී ඉදිරිපත් කළ අදහස්ය.
පසුව ඔහු රාගම රෝහලේ මෘත ශරීරාගාරය වෙත ගියේය. ඒ සමගම අධිකරණ වෛද්‍ය විශේෂඥ ආනන්ද සමරසේකර අතුළු තවත් වෛද්‍යවරු වූහ. ගංගොඩවිල සෝම හිමියන්ගේ ඥාතීහු කිහිප දෙනෙක් ද වූහ.
ගංගොඩවිල සෝම හිමියන්ගේ දේහය තැන්පත් කළ මිනී පෙට්ටිය කළු පොලිතින්වලින් ඔතා, වියළි අයිස්වල ශීතල වැඩි කාලයක් රඳා ගැනීමට අවශ්‍ය කටයුතු යොදා තිබුණි. එම පොලිතින් ආවරණයට යටින් වූයේ මැහෝගනී ලීයෙන් නිර්මාණය කර තිබූ මිනී පෙට්ටිය ය. එහි දෙකෙළවර කහ පැහැති රිබන් ගැට ගසා එහි රුසියානු රජයේ මුද්‍රාව සටහන් කර තිබුණි. එම මැහෝගනී මිනී පෙට්ටිය ඇතුළත තවත් සිහින් තහඩුවෙන් නිර්මාණය කළ පෙට්ටියක් විය. එය නිර්මාණය කර තිබුණේ පෙට්ටිය කපා විවෘත කරන ලෙසය.
“ඒ තහඩු පෙට්ටිය ඇතුළේ තමයි සෝම හාමුදුරුවන්ගේ දේහය තැන්පත් කරලා තිබුණේ. වෙන ඇඳුම් මොනවත් අන්දලා තිබුණේ නැහැ. යටි කය සුදු රෙද්දකින් වසා තිබුණා.” විශ්‍රාමික විනිසුරු සමන් වික්‍රමආරච්චි පවසන්නේ සෝම හිමියන්ගේ දේහය ඔහු නිරීක්ෂණය කළ ආකාරය පිළිබඳවය.
එයට අමතරව පපුව හරහා කුඩා මැස්මක් ඔහුට දැකගන්නට ලැබුණි. වෛද්‍යවරුන් පැවැසුවේ, එය සිරුර නරක් නොවීම සඳහා පෝමලින් එන්නත් කළ ස්ථානය බවය.
ඊළඟට සිදු කළ වැදගත් කාර්යය වූයේ, ගංගොඩවිල සෝම හිමියන්ගේ දේහය එතුමන්ගේ ඥාතීන් විසින් හඳුනා ගැනීමය. ගංගොඩවිල සෝම හිමයන්ගේ ගිහි කල සොහොයුරු ඩබ්ලිව්.ඒ.ඩී. පද්මසිරි සහ ත්‍රිකුණාමලයේ ආනන්ද හිමියන් විසින් සෝම හිමියන්ගේ දේහය හඳුනා ගන්නා ලදී.
“සමහරවිට අපේ රජයෙන් කළ ඉල්ලීමක් නිසා වෙන්න ඇති සෝම හාමුදුරුවන්ගේ දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වලා තිබුණේ නැහැ.” විශ්‍රාමික විනිසුරු විශේෂයෙන් සඳහන් කළේය.
රාගම රෝහලේදී තවත් සාක්ෂි කිහිපයක් සටහන් කරගත් ගම්පහ මහේස්ත්‍රාත් සමන් වික්‍රමආරච්චි, රෝහල් පරිශ්‍රයෙන් බැහැර විය.
එදින සවස් වන විට අධිකරණ වෛද්‍ය විශේෂඥ ආනන්ද සමරසේකරගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ගම්පහ මහේස්ත්‍රාත්වරයා වෙත ලැබුණි.
“එහි සඳහන් වූයේ, ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත් වීම සිදු වී ඇත්තේ හෘදයාබාධයකින්ය කියලයි. එයට පෙරත් එතුමන් මෘදු හෘදයාබාධයන්ට මුහුණපා ඇති බව එහි සඳහන්ව තිබුණා.” විශ්‍රාමික විනිසුරුවරයා සිහිපත් කරන්නේ, 2003 දෙසැම්බර් 18 දින තමන් අත පත්වූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව පිළිබඳවය.
“එතැනින් එහාට මට යන්න විදිහක් නැහැ. අනිත් අයගෙ මත, හැඟීම් මට වැඩක් නැහැ. මට අදාළ වෙන්නේ වෛද්‍ය වාර්තාව පමණයි.”
සමන් වික්‍රමආරච්චි පවසන්නේ එදින පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව තමන් අතට පත්වූ පසුව බොහෝ අධිකරණ වෛද්‍යවරුන් පවා එය මිනීමැරුමක් නොවේ ද යන්න පිළිබඳව විමසූ බවය.
“මම දෙදහසකට වැඩි මරණ පරීක්ෂණ පවත්වලා තියෙනවා. විනිසුරුවෙක් විදිහට මෙය තවත් මරණ පරීක්ෂණයක් පමණයි. හැඟීම්බර වීම විනිසුරුවරයකුට අකැපයි. හුඟාක් දෙනා සෝම හාමුදුරුවන්ගේ අපවත් වීම කුමන්ත්‍රණයක් කියලා සැක කළා විතරයි. කුමන්ත්‍රණය කළේ කවුද, කිනම් ක්‍රමයක් අනුගමනය කරලා කුමන්ත්‍රණය ක්‍රියාත්මක කළා ද කියන්න කිසිම සාක්ෂියක් තිබුණේ නැහැ.” විශ්‍රාමික විනිසුරුවරයා වැඩිදුරටත් පැවැසීය.
2003 දෙසැම්බර් 19 දින පෙරවරුවේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී සමන් වික්‍රමආරච්චි විනිසුරුවරයා ගංගොඩවිල සෝම හිමියන්ගේ අභාවය, ස්වාභාවික මරණයක් බවට ප්‍රකාශයට පත් කළේය.
“තීන්දුව ප්‍රකාශයට පත් කළායින් පසුව කිසිම කලබලයක් සිදු වූයේ නැහැ.” සමන් වික්‍රමආරච්චි වැඩිදුරටත් පැවැසීය.
පීටර් කැනියුට් පෙරේරා