මාණ්ඩලික සැරයන් ඒබට් ඉඩන්තොට (වම), මියයාමට මොහොතකට පෙර ලබාගත් ඡායාරූපය. කෝප්‍රල් මහානාම (මැද), ලාන්ස් කෝප්‍රල් වසන්ත කුමාර(දකුණ)
(පසුගිය සතියේ ඉතිරි කොටස) යුද බිමේදී සමුගත් නාට්‍යකරුවා
මොහොතක් ගතවෙද්දී ප්‍රදේශයේ තත්ත්වය තවදුරටත් දරුණු අතට හැරෙන්නට විය. එතෙක් ආරක්ෂක වළල්ල දෙසට එල්ල වූ ත්‍රස්තවාදීන්ගේ කාලතුවක්කු හා මෝටාර් ප්‍රහාර දැන් දැන් ආරක්ෂක වළල්ල පිටුපස වෛද්‍ය මධ්‍යස්ථානය දෙසට ද එල්ලවෙන්නට වූයේ කිසිදු පෙර සූදානමකට ඉඩක් නොතබාය.
මඩකළපුව පන්කුනාවේලි කඳවුරෙන් සමුගත් පසු සැරයන් ඒබට් ඉඩන්තොට, තවත් වසර කිහිපයක් උතුරේ ස්ථාන කිහිපයක රාජකාරි කිරීමෙන් අනතුරුව සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ වැටුප් ලිපිකරුවකු ලෙස එක් වෙන්නේ මාණ්ඩලික සැරයන්වරයකු ලෙස උසස්වීමක් ද ලබමිනි. ඒ වෙනවිට උතුරේ ක්‍රියාන්විත තත්ත්වය බෙහෙවින් දරුණු වී තිබූ අතර, ඔහු අයත්ව සිටි 4 ගජබා ඒකකය ද ස්ථාපිතව තිබුණේ මුහමාලේ ඉදිරි ආරක්ෂක වළල්ලේමය. ඒ අතරතුර උතුරේ යුදමය වාතාවරණය උත්සන්න වෙත්ම ඔහුගේ නිවාඩු බොහෝ දුරට සීමා වෙන්නට විය. මෙලෙස මාස කිහිපයක් ගතව තිබුණ ද ඒබට් නිවසට නොඒම පිළිබඳව බිරිඳ චන්ද්‍රා පසුවූයේ නොඉවසිල්ලෙනි. විශේෂයෙන්ම පවුලේ ඥාති දියණියකගේ උත්සව කටයුත්තක් ඒ ආසන්නව යෙදී තිබූ හෙයින් ඔහුව ගෙන්වාගැනීම ද ඈගේ අපේක්ෂාව විය.
හික්කඩුවේ පදිංචි නිහාල්, 4 ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව එහි නිලධාරී නිවස්නයේ සිවිල් වේටර්වරයකු ලෙස සේවය කළ අයෙකි. ඒබට් ඉඩන්තොට ගේ ඥාති සහෝදරයෙකු ද වූ ඔහු ඒ වෙනවිට රාජකාරි කරන ලද්දේ ඕමන්ත ප්‍රදේශයේය. හෙතෙම සිය නිවාඩු වාරයක දී සුපුරුදු පරිදි ඒබට්ගේ නිවසට ගිය අවස්ථාවක ඔහුගේ බිරිඳ නිවසේ අවශ්‍යතා පිළිබඳ දන්වා තම සැමියාගේ නමට ලියූ ලිපියක් ඔහු වෙත භාර දුන්නාය. ඒ වෙනවිට ඒබට් ඉඩන්තොට, සාලියපුර කඳවුරේ සේවය කළ බැවින් නිහාල් ඒ ඔස්සේ ඕමන්තය බලා යන අතරතුර එම ලිපිය කඩිනමින් තම සැමියා අතට පත්කරවාගැනීම ඇයගේ අපේක්ෂාව වූවාය.
අනතුරුව තම නිවාඩුව අවසන යළි සාලියපුර වෙත පැමිණි නිහාල්ගේ ප්‍රථම කාර්යය වී තිබුණේ එලෙස රැගෙන ආ ලිපිය තම ඥාති සහෝදරයා වෙත භාරදීමය. නමුත් ඒ පිළිබඳව විපරම් කරද්දී ඔහුට දැන ගැනීමට ලැබුණේ සැරයන් ඒබට් ක්‍රියාන්විත අවශ්‍යතාව මත හදිසියේ ඕමන්තෙට මාරුකර යවා ඇති බවය. මේ අතර, එදින සවසම නිහාල් ද සාලියපුර සිට ඕමන්තේ තම සුපුරුදු රාජකාරි ස්ථානය බලා පිටත් විය. එලෙස ඔහු ඕමන්තේ බලා යද්දී රෑබෝ වූ බැවින් එදින ඔහුට සැරයන් ඒබට් පිළිබඳ සොයා බැලීමේ අවකාශය නොවීය. එසේම ඒ වෙනවිට එහි උග්‍ර සටන් ඇරඹී තිබූ අතර, සතුරු මෝටාර් හා කාලතුවක්කු ප්‍රහාර ද ඉදිරි ආරක්ෂක වළල්ලේ තැන තැන පතිතවෙන්නට විය. එනිසාම නිහාල් ඇතුළු එම නිලධාරි නිවස්න කාර්ය මණ්ඩලයට සියලු බඩුභාණ්ඩ සමඟින් ආරක්ෂක වළල්ලෙන් පසුපස තැනෙක යළි ස්ථානගතවීමට පවා සිදුවූයේ එම ත්‍රස්ත තර්ජනයේ බලවත්කම නිසාය.
මෙලෙස අඛණ්ඩව පැවති සටන් අතර, රාත්‍රිය ගෙවී පසු දිනට පහන් වෙද්දී ඒ ආසන්න තැනක දී අහම්බෙන් මෙන් නිහාල්ට මාණ්ඩලික සැරයන් ඒබට් මුණගැසිණ. ඒ ඕමන්ත පාසල අසල වූ බංකරයකදීය. ඒ වෙනවිට තේ කොප්පයක් පානය කරමින් සිටි ඔහු දැකීමත් සමඟ නිහාල් තුළ වූයේ පුදුමයකි. එතෙක් සාලියපුර කඳවුරෙහි වැටුප් ලිපිකරුවෙකු ලෙස කටයුතු කළ ඔහු හදිසියේ ක්‍රියාන්විතයට එකතු වීම පිළිබඳව ඔහු ඒබට්ගෙන් විමසූවේය. එහිදී ඔහු දැනගත්තේ එහි සිටි අයකු නිවාඩු ගොස් ඇති බැවින් ඔහුගේ රාජකාරි ආවරණය පිණිස ඒබට් එහි රපෝර්තු කර ඇති බවයි. මෙලෙස දෙදෙනා අතර කෙටි කතාබහක් සිදුවෙද්දී නිහාල් නිවසේ සිට රැගෙන ආ ලිපිය ඒබට්ගේ අත තැබීය. නමුත් ලිපිය සුරතට ගත්ත ද පැවැති ක්‍රියාන්විත වටපිටාව අනුව ඔහුට රිසිසේ එය කියවන්නට තරම් වේලාවක් එහි නොවීය. එතෙක් පානය කරමින් සිටි තේ කෝප්පයේ ඉතිරිය නිහාල් අතට දුන් ඒබට් විවර නොකළ එම ලිපිය ද සාක්කුවේ රඳවාගෙන වහා ඉන් නික්ම ගියේය.
මාණ්ඩලික සැරයන් |
ඒ වෙනවිට සැරයන් ඒබට් වෙත එහි පැවරී තිබුණේ ඉදිරි සටන් භූමියෙහි තුවාල ලබන හා මියයන අයව පසු පස පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානය කරා රැගෙන ඒමේදී ඔවුන්ගේ තොරතුරු එක්රැස් කිරීමය. ඒ සඳහා ඔහුගේ සහායට කෝප්‍රල් මහානාම, සෙබළ ප්‍රනාන්දු සහ තවත් අයෙක් කටයුතු කළහ. පෙරමුණෙහි අඛණ්ඩව පවතින සටන් හමුවේ එම වෛද්‍ය මධ්‍යස්ථානය කරා රැගෙන එන තුවාල ලැබූවන් හා මියගිය වුන්ගේ සංඛ්‍යාව දිගින් දිගටම වැඩිවෙන්නට වූ නිසාම මාණ්ඩලික සැරයන් ඒබට් ට හෝ ඔහුගේ සහයකයින්ට එහි කිසිදු විරාමයක් ලැබගන්නට අවස්ථාවක් නොවීය. එහි පසෙක, ඒ වෙනවිටත් මියගිය හා තුවාල ලැබූවන් විශාල පිරිසක් රඳවා සිටි අතර, ඔවුන්ගේ දත්ත එක්රැස් කරන අතරතුර එහි සිටි තුවාලකරුවන් කඩිනමින් වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමුකිරීමට ද ඔවුහු වග බලාගත්හ.
පසු දිනට එළිය වැටෙද්දී, පෙරදා රාත්‍රියේ පුරා පැවති සටන් හමුවේ සැරයෙන් ඒබට් සහ ඔහුගේ සහායකයින් කිහිපදෙනා පසු වූයේ බොහෝ සේ විඩාබර බවකිනි. නමුත් සැරයන් ඒබට් කුමන වාතාවරණයක් යටතේ වුව සැහැල්ලුවෙන් කටයුතු කිරීම සිරිතකි. එමගින් තමන් වෙත එම අවි ගැටුම් හමුවේ එල්ලවෙන පීඩනය සමනය කර ගැනීමට හෙතෙම උත්සාහ දැරීය. ඒ වෙන විට එහි 4 ගජබා ඒකකයේ ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කළ ලාන්ස් කෝප්‍රල් වසන්ත කුමාරද විය. එම වෛද්‍ය මධ්‍යස්ථානය කරා රැගෙන එන මිය යන හා තුවාල ලබන අයගේ ඡායාරූප ගැනීම ඔහුගේ කාර්යය විය. එලෙස එම කටයුතු සිදුවෙද්දී සැරයන් ඒබට්, කෝප්‍රල් මහානාම හා ඡායාරූප ශිල්පී ලාන්ස් කෝප්‍රල් වසන්ත කුමාර ද සමඟ එක්ව ඡායාරූපයක් ගන්නට ද අමතක නොකළේ පැවැති ක්‍රියාන්විත තත්ත්වය පවා මොහොතකට අමතක කරමිනි. එහි සිටි වෙනත් අයකු ලවා ලබාගත් එම ඡායාරූපයේ ඔවුන් තිදෙනා බොහෝ සැහැල්ලු ඉරියව්වෙන් පෙනී සිටියේ ද සැරයන් ඒබට්ගේ කීමට අනුවය. යුදබිම කොතරම් දරුණු වුවද කර්කශ වුවද ඒබට් වැන්නන් හමුවේ එම අවදානම හා දුෂ්කරතා මොහොතකට හෝ අමතකව යයි. ඇසුරු කරන්නන් අතර එතරම්ම ප්‍රියමනාප අයෙකු වූ මාණ්ඩලික සැරයන් ඒබට්, තමන් යටතේ සිටින සෙබළුන් තුළද එම සැහැල්ලුව ඇති කිරීමට නිරතුරු උත්සාහ දැරූ අයෙකි.
මෙලෙස තවත් මොහොතක් ගතවෙද්දී ප්‍රදේශයේ තත්ත්වය තවදුරටත් දරුණු අතට හැරෙන්නට විය. එතෙක් ආරක්ෂක වළල්ල දෙසට එල්ල වූ ත්‍රස්තවාදීන්ගේ කාලතුවක්කු හා මෝටාර් ප්‍රහාර දැන් දැන් ආරක්ෂක වළල්ල පිටුපස වෛද්‍ය මධ්‍යස්ථානය දෙසට ද එල්ලවෙන්නට වූයේ කිසිදු පෙර සූදානමකට ඉඩක් නොතබාය. එමෙන්ම එම වෛද්‍ය මධ්‍යස්ථානය හැරුණුවිට ගුවන් පථය, ආයුධ ගබඩාව, මුළුතැන්ගෙය ආදී එම ඒකකයේ වැදගත් ස්ථාන රැසක් ඒ අවට ස්ථාපිතව තිබූ හෙයින් එම ප්‍රදේශයට කාලතුවක්කු උණ්ඩ පතිතවීම හරහා එහි ගෙන දුන්නේ දැඩි අවදානමකි. එවන් පසුබිමක එක්වරම සුළං දෙබෑකරමින් පැමිණි කාලතුවක්කු උණ්ඩ කිහිපයක් එම වෛද්‍ය මධ්‍යස්ථානය ආසන්නයට එල්ලවෙන්නට වූයේ කිසිවකු නොසිතූ ලෙසය. එහිදී එතෙක් තුවාල ලැබ අසාධ්‍යව සිටි රෝගීන් රැසක් දෙෙවනි වතාවට ද තුවාල ලබන්නට තරම් අවාසනාවන්ත වූහ. එසේම ආයුධ ගබඩාවට ද බරපතළ හානි ගෙනදුන්නේය. එලෙස දිගින් දිගටම බෝම්බ පතිතවෙත්ම එහි කිසිවකුටත් තවදුරටත් එහි රැඳී සිටීමට නොහැකි විය. නිසැකවම මරණය තමන් සොයා පැමිණෙමින් තිබෙනු දැක සැවොම හැකි අයුරින් ආරක්ෂක ස්ථාන කරා පැනගන්නට යුහුසුලු වූහ.
මේ අතරවාරයේ මාණ්ඩලික සැරයන් ඒබට් තම සෙබළුන් දෙදෙනෙකු ද සමඟ වෛද්‍ය මධ්‍යස්ථානයට යාබදව පිහිටි ඕමන්ත මධ්‍ය මහා විද්‍යාලය අසල වූ වළක් තුළට බැස ආවරණය වෙන්නට අසාර්ථක උත්සාහයක නිරත වූහ. ඒ සමගම කෝප්‍රල් මහානාමට ඒ තුළ ඉඩකඩ මදිවූයෙන් ඔහු යාබද යුද අගලකට බැසගත්තේය. නමුත් එහිදී දෛවය හරස්ව තිබුණේ ඉතා අවාසනාවන්ත ලෙසය. එතෙක් තැන තැන පතිත වෙමින් තිබූ කාලතුවක්කු උණ්ඩ අතරින් එකක් මාණ්ඩලික සැරයන් ඒබට් ඇතුළු පිරිස ආවරණ ගෙන සිටි ස්ථානයම සොයාවිත් තිබුණේ කිසිවකුට සිතා ගැනීමට හෝ ඉස්පාසුවක් නොදෙමිනි. ප්‍රදේශය දෙදරවමින් පුපුරාගිය එම කාලතුවක්කු උණ්ඩය හමුවේ ප්‍රදේශයම දුමාරයෙන් වැසී යන්නට වූයේ ළතෝනි හා කෙඳිරිලි ද සමගිනි.
මේ අතර විනාඩි කිහිපයක විරාමයකට පසුව ප්‍රදේශය පුරා මතුවූයේ නිහඬතාවකි. එහෙත් වෙඩිබෙහෙත් දුමාරය හා ලේ සුවඳ අතරේ සිහින් කෙඳිරිලි ද තැන තැන ඇසෙන්නට විය. විශේෂයෙන්ම ඒ වෙන විටත් සටනේ තුවාල ලැබ ප්‍රතිකාර අපේක්ෂාවෙන් පසෙක රඳවා සිටි භට පිරිස්වලට එම ප්‍රහාර හමුවේ බරපතළ හානි ගෙනදී තිබිණි. මේ අතර යුද අගලේ බැස සිටි කෝප්‍රල් මහානාම විනාඩි කිහිපයක් තුළ තරමක ප්‍රකෘති තත්ත්වයට පත්වූයේය. ඔහුගේ දෙකන් අගුල් වැටී තිබූ අතර සිරුර පුරා වැලි දුහුවිලි නැහැවී තිබිණි. නමුත් තැන තැන වූ තුවාල හැරුණු විට වාසනාවකට මෙන් ඔහු තවමත් ජීවතුන් අතරය. හෙතෙම දෑස් හැර බැලුවේ යාබද වළක සැගවුණු මාණ්ඩලික සැරයන් ඒබට් ඇතුළු සෙබළ පිරිස දෙසය.
ඉතිරි කොටස ලබන සතියේ.