ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිල සුනඛ කොට්ඨාසයේ ඉතාමත්ම කලාතුරකින් සංවිධානය කරනු ලබන නිල සුනඛ වෙන්දේසියක් ඉකුත් සෙනසුරාදා (15) අස්ගිරිය නිල සුනඛ මූලස්ථාන සංදර්ශන පිටියේදී පැවැත්විණි.
පොලිස් දෙපාර්තමේන්තුවේ නිල සුනඛ කොට්ඨාසයට අනුයුක්තව මත්ද්‍රවය පුපුරන ද්‍රව්‍ය හා අපරාධ සොරකම් සොයා ගැනීම සඳහා අස්ගිරිය නිල සුනඛ මූලස්ථානයේ විශේෂ පුහුණුව ලබා මෙරට විවිධ ප්‍රදේශවල වසර දහයකට ආසන්න කාලයක් සේවය කොට විශ්‍රාම ගිය නිල සුනඛයින් විසිපස් දෙනෙකු එම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කොට තිබූ අතර එම සුනඛයින් විසිපස් දෙනාම වෙන්දේසියේ අලෙවි වීම ද විශේෂ සිදුවීමක් විය.
වෙන්දේසිය සඳහා ත්‍රිකුණාමලය, අනුරාධපුරය, පොලොන්නරුව, බදුල්ල, බණ්ඩාරවෙල ආදී දුර බැහැර ප්‍රදේශවලින් පවා විවිධ තරාතිරම්වල පුද්ගලයන් පැමිණ සිටින අයුරු දැකගත හැකි විය.
වෙන්දේසිය සඳහා ලොව පොලිස් නිල සුනඛ කටයුතු සඳහා යොදා ගන්නා ඉහළම වර්ගයේ සුනඛ වර්ග වන ලැබ්රඩෝ, බෙල්ජියම් මෙලනොයින්, ජර්මන් ෂෙෆර්ඩ්, රොට් වයලර්, ඩැල්මේෂන්, ඉංග්ලිෂ් ස්ප්‍රින්ගර්, ස්ටැනියල් හා ටෙරියර් යන වර්ගවල සුනඛයින් විසිපස් දෙනෙකු ඉදිරිපත් කොට තිබුණි.
එම විසිපස් දෙනා අතර නිල සුනඛ රාජකාරිවල නිරතව සිටි සුනඛයන් සේම පුහුණුවීම් කටයුතුවල දුර්වලතා දැක්වීම නිසා පුහුණුවෙන් ඉවත් කරන ලද සුනඛයන් ද විය.
වෙන්දේසියට ඉදිරිපත් කොට තිබූ විශ්‍රාමික සුනඛයන් අතර දකුණේ පාතාලය මෙන්ම කොළඹ පාතාලයේ මහ කෙරුමන් වැඩකාරයන්, භීතියෙන් භීතියට පත් කළ සුනඛයන් ද විය. දකුණේ මත්ද්‍රව්‍ය පාතාලය මෙන්ම කොළඹ පාතාලයේ මත්ද්‍රව්‍ය හා ගිනිඅවි සොයා ගැනීම සඳහා විශේෂ මෙහෙවරක් සිදුකළ සුනඛයන් කිහිප දෙනෙකුම ඒ අතර විය.
එම සුනඛයින් එක් කොනකින් රාජකාරි පටන් ගන්නා විට ඒ පිළිබඳව කනවැටෙන පාතාලයේ මහ කෙරුමන් පැත්ත පළාතක නොසිට පලා යන බවයි එම නිල සුනඛයින් හසුරුවන්නන් පවසා සිටියේ. එම නිල සුනඛයින්ගෙන් කිසිදු ආකාරයක බේරීමක් නොමැති නිසා ඒ ආකාරයට පලා යන බව ද ඔවුහු අප සමග පැවැසූහ.
මෙම නිල සුනඛයන් සේවාවෙන් විශ්‍රාම ලබන්නේ ද හරි අපූරු ක්‍රමයකටය. රාජකාරියේ නිරතව සිටින විට ලෙඩ රෝග, ශාරීරික දුර්වලතා හෝ රාජකාරියේ දුර්වලතා පෙන්නුම් කළ විට එම නිල සුනඛයා නිල සුනඛ කොට්ඨාසයේ ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරි සහකාර පොලිස් අධිකාරි අමල් දිසානායක මහතාට ඉදිරිපත් කරනු ලබයි. එහිදී වෛද්‍යවරයා විසින් සුනඛයා පරික්ෂා කොට බලා විශ්‍රාම ගැන්විය යුතු සුනඛයන් නිර්දේශහ කරනු ලබයි. එම නිර්දේශය පොලිස්පතිවරයාට ඉදිරිපත් කළ පසු ඔහුගේ අනුමැතිය පරිදි සුනඛයා විශ්‍රාම ගන්වයි.
පොලිස්පතිවරයාගේ අවසරය පරිදි වෙන්දේසියේ අධීක්ෂණ නිලධාරීන් වශයෙන් සිටි පොලිස් අධිකාරි යූ.ඩී. පලිහවඩන හා අස්ගිරිය නිල සුනඛ මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත කුලසේකර මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ වෙන්දේසිය ආරම්භ කරනු ලැබුයේ උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතා විසිනි. ඔහු ලන්සු තබා සුනඛයන් දෙදෙනෙකු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සුනඛයන් දෙදෙනාම අලෙවි විය.
ඉන් අනතුරුව වෙන්දේසියට ඉදිරිපත් කරනු ලැබුයේ ලැබ්රඩෝර් වර්ගයට අයත් 2018.06.16 දින උපත ලද හැඩි දැඩි සුනඛයෙකි. එම සුනඛයා පුහුණුවේදී දක්වන ලද දුර්වලතා හේතුවෙන් පුහුණුවෙන් ඉවත් කරන ලද සුනඛයෙක් බවයි පැවසුනේ.
සුනඛයා සඳහා මූලික ලන්සුව වශයෙන් ඉදිරිපත් කරනු ලැබුයේ රුපියල් විසිපන්දහසක මුදලකි. ඊට පෙර තවත් සිදුවීමක් විය. ඒ එම සුනඛයා පරිත්‍යාගශීලියෙකු විසින් නිල සුනඛ මූලස්ථානයට පරිත්‍යාග කළ සුනඛයෙකු බැවින් ගිවිසුම් ප්‍රකාරව එම සුනඛයා පරිත්‍යාග කළ පුද්ගලයාට එම සුනඛයා ලබා ගැනීමේ අවස්ථාව ලබා දුන්නත් පරිත්‍යාගශීලියා පැමිණ නොසිටි බැවින් වෙන්දේසිය ආරම්භ විය.
රුපියල් විසිපන්දහසට ලන්සු තැබූ බ්‍රීත් නැමැති එම සුනඛයාට තිස් දහසක ලන්සුවක් ඉදිරිපත් විය. ඒ ආකාරයට රුපියල් පන්දහස පන්දහස බැගින් ලන්සුව වැඩි වෙමින් යන විට වෙන්දේසි පොළ තරමක් උණුසුම් විය. කුඩා දරුවන් දෙදෙනකු සමග පැමිණ සිටි පුද්ගලයෙකු වෙන්දේසියෙන් ඉවත් වන බවක් පෙනෙන්නට නොතිබුණි.
එම සුනඛයාගේ සෙල්ලම් සංදර්ශන වැඩ කිඩ ඒ අතරතුර ඉදිරිපත් වීම නිසා වෙන්දේසි පොළ තව තවත් උණුසුම් වෙමින් ලන්සු වැටෙන්නට විය.
සුනඛයා සඳහා රුපියල් හැත්තෑ පන්දහස, අසූදහස දක්වා ලන්සු වැඩිවෙන විට රුපියල් දහස දෙදහස වැනි මුදලින් ලන්සු වැඩි වෙන්නට විය. ඒ ආකාරයට රුපියල් ලක්ෂය දක්වා ලන්සුව වැඩිවෙන්නට විය. කුඩා දරුවන් දෙදෙනා සමග සිටි මහතා රුපියල් එක්ලක්ෂ දහසක ලන්සුවක් තැබීය. වෙන්දේසි පොළ සේම කුඩා දරුවන් දෙදෙනා ද ගල් ගැසී බලා සිටියදී එම මුදලට අභියෝගයක් වෙන්දේසි පොළෙන් ඉදිරිපත් නොවුණි.
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ නිල සුනඛ වෙන්දේසියකදී ඉහළම වාර්තාගත මිලකට සුනඛයෙකු අලෙවි වූයේ ඒ ආකාරයටය.
සුනඛයා මිලදී ගත් මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන හේමන්ත වෙඩික්කාරගේ මහතා ඉරිදා ලංකාදීපයට පවසා සිටියේ තම දරුවන්ගේ ආරක්ෂාව පිණිස මේ ආකාරයේ හොඳින් පුහුණු වූ විනය ප්‍රගුණ කළ සත්වයෙකු මිලදී ගැනීමට පියවර ගත් බවයි. සතුන්ට ආදරය කිරීමට දරුවන්ට උගැන්වීමටත් මෙම සුනඛයා මිලදී ගැනීමට හේතු වූ බව ද ඒ මහතා පැවසීය.
මෙම වෙන්දේසිය සඳහා දකුණේ මත්ද්‍රව්‍ය පාතාලය හා කොළඹ මත්ද්‍රව්‍ය මෙන්ම ගිනි අවි පාතාලය හෙල්ලූ අතිදක්ෂ නිල සුනඛයන් ද ඉදිරිපත් කර තිබීම විශේෂ සිදුවීමක් විය.
දකුණේ කුඩු පාතාලය හෙල්ලූ අජා නැමැති නිල සුනඛයා ද වෙන්දේසියට ඉදිරිපත් කර තිබූ අතර ඉතා ඉහළ මුදලකට එම නිල සුනඛයා අලෙවි විය.
නෙදර්ලන්තයෙන් ගෙන්වන ලද බෙල්ජියම් මැලනොයින් වර්ගයට අයත් දස හැවිරිදි අජාගේ පොලිස් නිල අංකය වෙන්නේ 1092 යි. අජාගේ පොලිස් හසුරුවන්නා වන පොලිස් සැරයන් 44335 ගුණතිලක මහතා විසින් සුනඛයා වෙන්දේසියට ඉදිරිපත් කළේය.
අජාගේ සේවා කාලය තුළ මත්ද්‍රව්‍ය අපරාධ සිද්ධීන් දෙසීයකට ආසන්න ප්‍රමාණයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත්ව සිටී.
දකුණු පළාතේ මත්ද්‍රව්‍ය, පාතාලය මෙහෙයවූවන්ට අජා ගෙන්නම් කිසිදු ආකාරයක ගැලවීමක් නොතිබූ බවයි අජාගේ හසුරුවන්නා අපි සමග පවසා සිටියේ.
එක්තරා අවස්ථාවක මාතර නගරයේ නවතා තිබූ සැක කටයුතු වෑන් රථයක් පරීක්ෂා කිරීම සඳහා අජා යෙදවූයේ අහම්බයෙනි. එක් වටයක් වෑන් රථය වටේ කැරකුණු අජා එක්වරම එම රථයේ පැති කණ්ණාඩියක් සපාකමින් කඩා ගත්තේය. එය පරීක්ෂා කළ පොලිස් නිලධාරීන්ට දැකගත හැකි වූයේ එම පැති කණ්ණාඩිය තුළ ඉතා සූක්ෂමම අයුරින් අසුරා තිබුණේ හෙරොයින් මත්කුඩුයි.
මාතර, තංගල්ල, දෙවිනුවර ආදී ප්‍රදේශවල ඉතා දිගු කලක් අජා සේවය කොට තිබූ අතර දකුණේ මත් පාතාලයෙන් අජාට මරණ තර්ජන පවා තිබූ බව අජාගේ හසුරුවන්නා අප සමග පැවසීය.
වෙන්දේසියට තබා තිබූ ලැබ්රඩෝර් වර්ගයට අයත් දස හැවිරිදි රෝසී ද මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා පුහුණු කරවන ලද සුනඛයෙකි. රෝසිගේ පොලිස් නිල අංකය වන්නේ 1158 යි. රෝසිගේ හසුරුවන්නා වන පොලිස් කොස්තාපල් 84266 ජයවර්ධන මහතා පවසා සිටියේ මෙම නිල සුනඛයා එක් ප්‍රදේශයකට සීමා නොවී මහනුවර කටුනායක, ගුවන්තොටුපොළ, තංගල්ල, නාවලපිටිය, පෑලියගොඩ, වත්තල, වව්නියාව, ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශවල සේවය කරමින් හෙරොයින් මත්කුඩු, ගංජා, අයිස් ආදී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇති බවයි.
නෙදර්ලන්තයෙන් ගෙන්වන ලද දස හැවිරිදි බෙල්ජියම් මැලනොයින් වර්ගයට අයත් ඇල්වින්ද අපරාද පරීක්ෂණ සඳහා පුහුණු කරවන ලද නිල සුනඛයෙකි.
හොරණ, මීරිගම, දොම්පේ, වැලිපැන්න, ඉංගිරිය, බුලත්සිංහල ආදී ප්‍රදේශවල සේවය කර ඇති ඇල්වින් හොරණ ප්‍රදේශයේ තිදෙනෙකු ඝාතනය කොට සැඟව සිටි අපරාධකරුවෙකු කිලෝමීටර් දෙකක් පමණ හඹා ගොස් අපරාධකරු අත්අඩංගුවට ගැනීමට සමත් වූ සුනඛයෙකි. එසේම හොරණ ප්‍රදේශයේ පොලිසියකින් අතුරුදහන්ව තිබූ රිවෝල්වරයක් එම පොලිසිය තුළදීම සොයාගත් සුනඛයෙකි.
බෙල්ජියම් වැලනොයින් වර්ගයට අයත් නෙදර්ලන්තයෙන් ගෙන්වන ලද හීරෝස්ගේ රාජකාරි නිල අංකය වන්නේ 1142 යි. එම නිල සුනඛයාගේ හසුරුවන්නා වන පොලිස් සැරයන් 48452 චන්ද්‍රසේන මහතා පවසා සිටියේ මෙම සුනඛයා අපරාධ හා මත්ද්‍රව්‍ය විමර්ශන කටයුතු සඳහා පුහුනු කරවන ලද නිල සුනඛයෙකු බවයි.
මෙම නිල සුනඛයාගේ සේවා කාලය තුළ මත්ද්‍රවය සිද්ධීන් පන්සිය තිස්හතක්ද අපරාධ සිද්ධීන් තුන්සිය තිස්හතක් ද සාර්ථක කරගෙන තිබෙන බවයි. අනුරාධපුර ප්‍රදේශයට අනුයුක්තව සේවය කොට ඇති මෙම නිල සුනඛයා එක් අවස්ථාවක අනුරාධපුර රෝහලේ සුළු සේවකයන්ට හා නේවාසික රෝගීන්ට කසිප්පු සැපයූ බව කියන පුද්ගලයෙකු කසිප්පු බෝතල් විසි දෙකක් සමග අත්අඩංගුවට ගැනීමට සමත් වූ බවයි.
කෙසේ නමුත් සුනඛ වෙන්දේසිය මේ වන විට අවසන් වී වෙන්දේසියට ඉදිරිපත් කරන ලද සුනඛයන් ද මේ වන විට වෙනත් හාම්පුතුන් ළඟට ගොස් හමාරය. එම සුනඛ වෙන්දේසියට මේ වන විට සමාජයේ දැඩි විරෝධයක් මෙන්ම පිළිකුලක් ද එල්ල වෙමින් තිබේ.
තිරිසන් සතකු වී ඉපිද බුද්ධිමත් යැයි කියාගන්නා මිනිසුන්ගේ නොමිනිස් ක්‍රියා නීතියේ රැහැනට හසුකර දීම සඳහා තම ජීවිත කාලයෙන් වැඩිම කාලයක් කැප කළ එම සුනඛයන් මත්ද්‍රව්‍ය, පුපුරණ ද්‍රව්‍ය, මිනීමැරුම්, සොරකම් ඇතුළු විවිධ ගණයේ අපරාධ සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට විශාල මෙහෙවරක් ඉටු කළ සුනඛයන් පිරිසක් එසේ වෙන්දේසි කෙරුනි.
කෙසේ නමුත් නිල සුනඛ වෙන්දේසිය පැවැති ඉකුත් සෙනසුරාදා (15) දින නිල සුනඛ මූලස්ථානයේ නිලධාරීන්ට ඉතාමත් දුක්බර දිනයක් විය. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිල සුනඛ කොට්ඨාසයේ වසර දහයකට අධික කාලයක් දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කළ නිල සුනඛයන් තම රාජකාරි දිවියෙන් විශ්‍රාම ගොස් වසර දහයකට අධික කාලයක් තමන්ව ආදරයෙන් රැක බලාගත් නිල සුනඛ මෙහෙය වන්නන්ගෙන්ද වෙන් වී එම නිල සුනඛයන් වෙනත් හාම්පුතුන් අතට පත්වන බව දැනගත් සුනඛයන්ට ද ඇතිවන්නේ බලවත් වේදනාවක් බව සුරතල් සතුන් ඇතිදැඩි කරන ඕනෑම මනුෂ්‍යයෙකුට තේරුම් යන කාරණාවකි.
එම නිල සුනඛයන්ගේ වෙන් වී යාම ද ඒ ආකාරයේ සංවේදී අවස්ථාවක් විය.
වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබූ සුනඛයන් බහුතරයක් ඉතා කුඩා කාලයේදී නෙදර්ලන්තයෙන් ආනයනය කරන ලද ඉතා ඉස්තරම් වර්ගයේ සුනඛයන්ය. අස්ගිරිය නිල සුනඛ මූලස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.පී. කුලසේකර මහතා පවසා සිටියේ මෙවැනි නිල සුනඛයෙකු ආනයනය කිරීම සඳහා රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් වැය වන බවයි.
කෙසේ නමුත් මෙම නිල සුනඛ වෙන්දේසිය පිළිබඳව තොරතුරු සොයා බැලීම සඳහා අස්ගිරිය නිල සුනඛ මූලස්ථානය වෙත ගිය අවස්ථාවේ එහි බොහෝ දෙනෙකු පවසා සිටියේ නිල සුනඛයන් මේ ආකාරයට වෙන්දේසි නොකර එම සුනඛයන් විශ්‍රාම ගිය පසු එම සුනඛයන් බාරව සිටි නිලධාරීන්ටම ඔවුන් ලබා දිය යුතු බවයි.
එම නිලධාරීන් ද ඒ ආකාරයට තමන් රැක බලාගත් නිල සුනඛයන් බාර ගැනීමට ඉතාමත් කැමැත්තෙන් සිටින බව ද පැවසුණි. මේ ආකාරයට එම නිල සුනඛයින් වෙන්දේසි කොට වෙනත් හාම් පුතුන්ට බාර කිරීමෙන් සිදුවෙන්නේ එම සතුන් ජීවිත කාලයම රැක බලාගත් කෙනාගෙන් වෙන් වීමේ දුකටත් පරිසරය වෙනස් වීම නිසාත් ඔවුන්ට සාංකාව ඇති වී සතුන් ඉක්මනින් දුර්වල වී මිය යන බවයි.
මෙවැනි නිල සුනඛයන් ඉතාමත් ඉහළ කල්පනා ශක්තියකින් හෙබි වීමත් ඉහළ පුහුණුවක් ලබා තිබීමත් නිසා ඔවුන්ගේ ආදරණීයන්ගෙන් වෙන් වූ විටත් ජීවත් වූ පරිසරය වෙනස් වූ විටත් ඉතා ඉක්මනින් දුර්වල වන බවත් පැවසීය.
ඉතා ඉහළ පුහුණුවක් ලැබූ නිල සුනඛයෙකු ඇතිදැඩි කිරීමට බොහෝ සිවිල් වැසියන් වැඩි උනන්දුවක් දැක්වූවත් නිල සුනඛයන් රැක බලා ගැනීම බොහෝ සිවිල් වැසියන්ට අසීරු කටයුත්තක් බව ද පැවසීය.
එසේ හෙයින් තම ජීවිත කාලයේ වැඩි කොටසක් මත්ද්‍රව්‍ය පුපුරණ ද්‍රව්‍ය ඇතුළු අපරාධ සොයා තම ජීවිත අවදානම ද නොතකා රාජකාරි කළ නිල සුනඛයන් ඔවුන්ගේ අවසාන කාලය දුක්ඛිත තත්ත්වයට පත් නොකර ඔවුන්ගේ ජීවිත කාලයේ වැඩි කොටසක් ඉතාමත් ආදරයෙන් රැක බලාගත් තැනැත්තාටම ලබා දීම එම සතාට කරන විශාල ගෞරවයක් බව ද එහි නිලධාරින්ගේ අදහසයි. මෙවැනි නිල සුනඛයෙකු නඩත්තු කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට දිනකට රුපියල් එක්දහස් දෙසීයක පමණ මුදලක් වැය වෙන බවත් සුනඛයන් විශ්‍රාම ගිය පසු එම සතුන් නඩත්තු කිරීම පොලිස් දෙපාර්තමේන්තුවට විශාල ප්‍රශ්නයක් බව ද එහි නිලධාරියෙකු පැවසීය.
මෙවැනි සුනඛයෙකු වෙනුවෙන් බෙහෙත්, විටමින්, ආහාර සඳහා එතරම් මුදලක් වැය වේ නම් එම සතුන්ගේ සුබසාධනය සඳහා පොලිස් දෙපාර්තමේන්තුව ද යම් වැඩපිළිවෙළක් සැකසිය යුතුව ඇත. එම සුනඛයන්ගේ රාජකාරි කාලය තුළ එම සතුන්ට යම් මුදලක් වෙන් කොට ඔවුන්ගේ අවසන් කාලයේ සිටි පරිසරයෙන් බැහැර නොගොස් එහිම ජීවත් වීමට වටපිටාවක් සැකසිය යුතුව ඇත. එසේම එම සතුන් මිය ගිය පසු සුදුසු පොලිස් ආචාරය පිරිනමා අවසන් කටයුතු ද කළ යුතුව ඇත.
එසේ නොමැතිව රාජකාරි අවස්ථාවේදී මිය යන සුනඛයන්ට පමණක් පොලිස් ගෞරව දී අවසන් කටයුතු සිදුකිරීම නොකළ යුත්තකි.
කෙසේ නමුත් මෙම නිල සුනඛ වෙන්දේසියේදී සිදු වූ රහසිගත සිදුවීමක් ද විය.
මෙවැනි වෙන්දේසි සඳහා නිල සුනඛ මූලස්ථානයේ නිලධාරීන්ට ඉදිරිපත් නොවිය හැකි නිසා බොහෝ නිල සුනඛයන් මිලදී ගැනීම සඳහා සුනඛයන්ගේ හසුරුවන්නන් බාහිර පුද්ගලයන් යොදවා තිබෙන ආකාරය ද දැකගත හැකි විය.
ඒ ආකාරයට සුනඛයන් බොහෝ දෙනෙකු එම සුනඛයන් රැක බලාගත් නිලධාරීන්ම විශාල මුදලක් ගෙවා වෙන්දේසියෙන් මිලදී ගන්නා ආකාරය දැක ගත හැකි විය.
ඡායාරූප හා සටහන
ෂේන් සෙනෙවිරත්න