රාජද්‍රෝහියකු කර මරා දැමූ රණවිරුවා


 

දිසාවට අධිපති අර්ථයෙන් බිහිවූ දිසාපති තනතුර, සිංහල රජ සමයේ හැඳින්වූයේ දිසාවේ නමිනි. සිංහල රජ සමයේ රජවාසලට ඉතාම සමීප වූ දිසාවේ තනතුර ලැබූ බොහොමයක් දිසාවේවරු රාජ උදහසට ලක්ව අකාලයේ දිවි අහිමි කරගත් අතර, තම පිරිසක් රාජ පාක්ෂිකව කටයුතු කිරීමෙන් සිංහල රජවරුන්ගේ සිත් දිනාගෙන තාන්න මාන්න, මෙන්ම ගරු නම්බු, පදවි, තානාන්තර පට්ටම් පවා ලබාගෙන යෙහෙන් වැජඹුණා යැයි කියන ඉතිහාසයක්ද අපට තිබේ.
 
තම තමන් රාජකාරි කළ ඇතැම් ප්‍රදේශවල දිසාවේවරු මහ ජනතාවගේ සිත් දිනාගෙන යහපත් ජන මතයක් ගොඩනගාගෙන කටයුතු කළ අතර, එම තත්ත්වය නොරිස්සූ ඇතැම් රජවරුන්ගේ උදහසට ලක්ව අකාලයේ සිය ජීවිතය හැර යාමට සිදුවූ දිසාවේවරු ද සිටි වග ශ්‍රී ලංකාවේ රාජ ඉතිහාසය මොනවට සාක්ෂි දරයි.
 
සිංහල රජ සමයේ මේ රටටත් සම්බුද්ධ ශාසනයටත් නොමැකෙන අමරණීය මෙහෙවරක් ඉටුකළා පමණක් නොව ඉංග්‍රීසි ආධිපත්‍යයෙන් මේ රට ගලවාගැනීමට, ඉංග්‍රීසීන් සමග සටහන් වැදුණු ලෙව්කේ දිසාවේද සිරිලක ජීවත් වූ එබඳු රණවිරුවෙකි.
 
කන්ද උඩරට සිය අණසක පතුරුවාගෙන රජකම් කරමින් සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේ, ඉංග්‍රීසි හමුදා කන්ද උඩරට ආක්‍රමණයට පහත රට සිට සේනා මෙහෙයවමින් සිටියහ.
 
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු තම සිංහල හමුදා මෙහෙයවමින් ඉංග්‍රීසින් අල්ලාගෙන සිටි පහත රට ප්‍රදේශ මුදාගැනීමට සටන් මෙහෙයවමින්, පැමිණි අවස්ථාවක ලෙව්කේ දිසාවේ සමග හටගත් අමනාපයක් හේතුවෙන් රජු විසින්ම ලෙව්කේ මැතිඳුගේ ගෙල කපා ඝාතනය කළායයි මතයක්ද ඉතිහාසගතව තිබේ.
 
ඒ පමණක් නොව ඒ මතය පිළිබඳ විවිධ මත ප්‍රකාශයන් රැසක් ශ්‍රී ලංකා ඉතිහාසය තුළ කිඳා බැස තිබේ. එම කතාව ලියා විමසා බැලීමට පෙර මෙම ලෙව්කේ දිසාව යනු කවුරුන්දැයි හඳුනාගත යුතුය.
 
ලෙව්කේ දිසාවේ පළමුවන විජයබා රජ සමයේ ලංකාවට පැමිණි උසස් බ්‍රාහ්මණ පවුලකින් පැවත ආ අයෙකි. ලෙව්කේ විජයසුන්දර රාජකරුණා සෙනෙවිරත්න හේරත් මුදියන්සේ ලෙස හැඳින්වුණු ලෙව්කේ දිසාව ඉපදුණේ සතර කෝරලයේ ගල්අතර නම් ග්‍රාමයේය.
 
සතර කෝරලේ දිසාවේ තනතුරට ලෙව්කේ විජයසුන්දර රාජකරුණා සෙනෙවිරත්න හේරත් මුදියන්සේව පත් කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ පළමුවැනි නායක්කාර් වංශික රජු වූ ශ්‍රී විජය රාජසිංහ රජුය.
 
මේ බව පැහැදිලි ලෙස සඳහන් වන සන්නසක් ඕලන්දයේ ඇම්ස්ටර්ඩෑම් හි රාජකීය කෞතුකාගාරයේ ඉතාම ආරක්ෂිතව තැන්පත් කර තිබේ. එපමණක්ද නොව එම කෞතුකාගාරයේ තැන්පත් කර ඇති, එවකට සතර කෝරලයට අයත්ව තිබූ කාලතුවක්කුවකද මේ වග පැහැදිලිව සඳහන් වේ.
 
මෙයට වසර 279කට පෙර, එනම් 1745දී එවකට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළ ජුලියස් වැන් ගෝයන්ස් ආණ්ඩුකාරවරයා වෙත මෙම කාලතුවක්කුව ලෙව්කේ දිසාව විසින් තෑගි කරන ලද බවද එම තුවක්කු කඳ මත කොටා ඇති සන්නසෙහි පැහැදිලිව දැක්වේ.
 
ලංකාවේ වෙරළබඩ ප්‍රදේශය ඉංග්‍රීසින්ට යටත්වීමෙන් පසුව උඩරට ප්‍රදේශය ඉංග්‍රීසින්ගෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණ ඇතිව ලෙව්කේ දිසාව සතර කෝරලේ දිසාව ලෙස පත් කරන ලද බව ‘‘ඉංග්‍රීසි හටන’’ නමැති කෘතියේ පෙන්වා දී තිබේ.
 
මෙම තත්ත්වය පැහැදිලි කෙරෙන අපූරු කවියක් එහි ඇත.
 
සිව්       කෝරලේ                  රට
දෙවා     ලෙව්කේ      මැතිඳුට
රුපු        වනසන ලෙසට
හැර          වදුලේ   එම    දිසාවට
 
සතර කෝරලේ දිසාව ලෙසට ලෙව්කේ මැතිඳුන් පත්කරනු ලැබීම බොහෝ දෙ​ෙනකුට සතුට දනවන සිදුවීමක් විය. සැවොම පාහේ එම පත්වීම අවිවාදිතව පිළිගත්හ. අනුමත කළහ. මෙම පත්වීම අසා සතුටට පත් නොවූ 
කෙ​ෙනකු සතර කෝරලේ පමණක් නොව මුළු කන්ද උඩරටම නොසිටි තරම් විය.
 
රජ වාසලෙන් පිටත ජනතාව ලෙව්කේ දිසාවගේ නව තනතුර ගැන එසේ සතුටු වන විට එවකට රජවාසල සිටි කවි​ෙයකුද රජ සබය තුළදීම සිය සතුට පළකරනු ලැබූ කවියෙක් මෙසේ කීවේය.
 
‘‘ විජය බා දෙවිඳුගේ සේවයට                     පැමිණී
බොදු බැති බමුණු පරපුරේ දිනු තෙද ගිහිණී
සිව් කෝරලය කරවන අපමණ                    බැතිනි
ලෙව්කේ  මැතිඳු රජ සබයට කොතක් වැනි’’
 
යැයි ’ කී කවියද,  රජ සබයටද යම් සතුටක් ගෙනදුන්’ කාරණාවක් විය.
 
එවකට පාලි භාෂාවෙහි හසළ දැනුමක් තිබූ උගත් පඬිරුවනක්ද වූ ලෙව්කේ මැතිඳු තම රට ජාතියට ලැදි සිය දේශය පරසතුරාගෙන් ආරක්ෂා කොට රැකගැනීමට සිය ජීවිතය දෙවන කොට සලකා, අභීතව සටන් කළ සෙනවි​ෙයකු විය.
 
කන්ද උඩරට  විසූ අභීත සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක වූ වැලිවිට සරණංකර නාහිමියන්, සිය පැවිදි දිවියේ සාමණේර අවදියේ  ලෙව්කේ දිසාවගෙන් පාලි බස උගත් බවද ඉතිහාසය දෙස එබී බලන විට පෙනේ.
ලෙව්කේ දිසාව ආගම දහමට ද තදින් බැඳී සිටි වග, ඔහු කර ඇති බෞද්ධ ශාසනය මෙහෙවර මොනවට කියා පායි.
 
ඔහු සිදුකර ඇති බෞද්ධ ශාසනික සේවාවන් අතර ප්‍රමුඛතාවක් උසුලනුයේ එදා දනකිරිගල විහාරවාසීව වැඩ වාසය කළ කරතොට ධර්මාරාම මාහිමියන් ලවා පිරුවාණා පොත් වහන්සේ ලේඛනගත කරවීමය.
ඒ ලක්දිව භික්ෂු ශාසනය අතිශය පරිහානියට ලක්ව තුබූ අවධියකි. ලෙව්කේ දිසාවගේ මැදිහත්වීමෙන් සියම් රටින් භික්ෂූන් වහන්සේලා වඩම්මවාගෙන විත් මෙරට උපසම්පදාව පිහිටුවීමේ ගෞරවය ද එදා සතර කෝරලයේ දිසාව වූ ලෙව්කේ දිසාවට හිමිවේ. 
 
ලෙව්කේගේ මෙම මැදිහත්වීමට එවකට තුන්කෝරලයේ දිසාවගේද පුරෝගාමී දායකත්වය ලබාදී තිබිණි.
මෙම උපසම්පදා ක්‍රියාවලිය සිදුකර ගැනීමට සියම් රටට සංදේශ යැවීමටත් ඒවාට පිළිතුරු ගෙන්වා ගැනීමටත් මහෝපකාරි සේවා දායකත්වයත් ලෙව්කේ දිසාවට ලබාදී තිබුණේ එවකට මෙරට ආණ්ඩුකාර ධූරය ඉසිලූ ලන්දේසි ආණ්ඩුකාරවරයා ය. මෙරට උපසම්පදාව පිහිටුවා ගැනීමට ආණ්ඩුකාරවරයා ලබාදුන් අනුග්‍රාහකත්වය ගැන ලෙව්කේ දිසාව බොහෝ සෙයින් පැහැදුණේය.
 
ඊට කෘතගුණ දැක්වීම් වස් ලෙව්කේ දිසාව තමන්ගේ පරිහරණයට තිබූ කාලතුවක්කුව ලන්දේසි ආණ්ඩුකාරවරයාට පරිත්‍යාග කළේය.
 
ලෙව්කේ දිසාව පිනට දහමට ඉතාම ළැදිව කටයුතු කළ අයකු ලෙස ද හැඳින්වේ. මොහු උපත ලබා ඇත්තේ ගල්අතර ග්‍රාමයේය. ඔහු ලෙව්කේ දිසාව වූයේ ලෙව්කේ ගමට පැමිණි පසුවය. මෙම දිසාවට සතර කෝරලය භාරවීමත් සමග ලෙව්කේ ගමට පැමිණ පදිංචිවීම පිළිබඳව ද රසාලිප්ත පුරාවෘත්තයක් තිබේ.
 
දිසාවේ එක්තරා රැයක නින්දත්, නොනින්දත් අතර සිටියදී එක්තරා දේවතාවියක පැමිණ එක් ප්‍රදේශයක් ගැන තොරතුරු සැලකර එහි උස් භූමි භාගයක්ද පහත් භූමි භාගයක් ගැන ද තොරතුරු පවසා, තමන්ට පදිංචිවීම සඳහා එම පහත් භූමි ප්‍රදේශය තෝරා ගන්නා ලෙසත් උස් භූමි භාගයේ විහාරයක් ඉදිකරවන ලෙසත් පවසා තිබිණ.
 
මෙම තොරතුරු ඔස්සේ ලෙව්කේ ගමට පැමිණ දේවතාවිය සැලකළ ආකාරයටම එකී ඉදිකිරීම් සිදුකළ බව ද ලෙව්කේ ප්‍රදේශයට පැමිණ මෙම කටයුතු සිදුකිරීමේ දී ප්‍රධානත්වයෙන් කළ මෙහෙවර නිසාම හෙතෙම මියෙන තුරුම ලෙව්කේ දිසාව නමින් ප්‍රකටව සිටි බවට පැහැදිලි සඳහනක් ඉතිහාසයට එක්ව තිබේ.
 
මෙකී ප්‍රදේශය මුලින් හඳුන්වා ඇත්තේ වඩුන්නාගල නමිනි. සතරවන විජයබාහු රජ සමයේ සිය ධනයෙන් කොටසක් මෙහි නිදන් කොට රජු විසින් එය ආරක්ෂා කිරීමට බහිරවයාට භාර කළේය. ‘දන කිරිගල’ නමින් මේ පෙදෙස පසුව ප්‍රචලිත වූයේ රජු විසින් සිය ධනය නිදන් කිරීමේ සිද්ධිය පාදක කොට ගෙනය.
 
එදා මෙහි ඉදිකරනු ලැබූ විහාරය ද ‘දනකිරිගල’ විහාරය ලෙස ප්‍රකට වූ අතර ලෙව්කේ දිසාව බෞද්ධාගමට කෙතරම් ඇල්මක් දැක්වූ කෙනකුද කියතොත් කිසිදු යන්ත්‍රෝපකරණයක් පවා යොදවා නොගෙන උස් භූමියක ඉදිකරවූ විහාර භූමියට යාමට සිය දෑතින්ම ගල් පඩි පෙළක් බැඳීම ද අගය කළ යුතුමය. මෙකී ගල්පඩි පෙළ දිගින් යාර හාරසියයකි. මෙම පඩිපෙළ බැඳ නිම කිරීමට ලෙව්කේ මැතිඳුට පුරා වසරක කාලයක් ගතව තිබේ.
විජයබාහු රජු සිය ධනය නිදන් කළ භූමි ප්‍රදේශයෙහි ආරක්ෂාවව භාර වූ බහිරවයා, එම පෙදෙස එළි පෙහෙළි වීම ගැන නොසතුටින් සිට ඇත. ඊට බලපා ඇති හේතුව වන්නේ රහසිගතව රජු ධනය නිදන් කළ පෙදෙස එළිපෙහෙළි වී එය වෙනත් අය දැන ගැනීමෙන් අනාරක්ෂිත වන බව පෙනී ගිය බැවිනි.
 
මේ නිසාම නිධානය භාරව සිටි බහිරවයා ලෙව්කේ මැතිඳුට නිරතුරුවම විවිධ බාධක හිරිහැරට පමුණුවන්නට විය. තමන් උපන් භූමියටත්, ආගම දහමටත් සුවිසල් මෙහෙවරක් සිදුකරනු ලැබුවද ලෙව්කේ මැතිඳුට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් මරණීය දණ්ඩනය නියමව අකාලයේ ජීවිතයෙන් සමුගන්නට සිදුවූයේද ලෙව්කේ දිසාව සමග නොමනාපයෙන් සිටි බහිවරයා සිදු කළ රඟපෑමක් නිසා බව ද අදටත් සතර කෝරලයේ ජීවත්වන පැරන්නන් අතර මතයක් පවතී. 
 
කෘෂිකර්ම ක්ෂේත්‍රයටද දැඩි ඇල්මක් දැක්වූ ලෙව්කේ දිසාව ආහාර නිෂ්පාදන කටයුතුවලටද සුවිසල් උනන්දුවක් දක්වා තිබේ. 
 
ජනශ්‍රැතියෙන් ප්‍රකාශ වන ආකාරයට එදා මහා පරාක්‍රමබාහු රජු ලංකාද්වීපය සහලින් ස්වයංපෝෂිත කිරීමට කටයුතු කළ නරපතියෙකි. එවකට පරාක්‍රමබාහු රජු එක් පලතුරු වර්ගයකින් පැළ ලක්ෂය බැගින් වන සේ විවිධ වූ පලතුරු වර්ගයන් ඇතුළත් පලතුරු යායක් රෝපණය කළ බවද කියැවේ. 
 
මහා පරාක්‍රමබාහු රජුගේ මග යමින් ලෙව්කේ දිසාවද තමන් ජීවත් වූ එම ග්‍රාමයේ එක් පලතුරු වර්ගයකින් පැළ දහස බැගින් වන ආකාරයට පලතුරු වර්ග රැසකින් යුත් පලතුරු වත්තක් වගා කර ඇත. එදා එම පලතුරු පියස තිබූ වත්ත හඳුන්වනු ලැබුවේ ‘දහස්වත්ත’ නමිනි. මේ වනවිට ‘දාස්වත්ත’ නමින් හඳුන්වනුයේ එදා ලෙව්කේ  දිසාවේගේ පලතුරු වත්ත තිබූ පෙදෙසය. 
 
ඉතා ශක්තිමත් සිරුරකට උරුමකම් කී ලෙව්කේ දිසාව අතිදක්ෂ මල්ලව පොර ශූරයෙකි. අද මෙන් තාක්ෂණ දියුණුවක් නොතිබුණද ලෙව්කේ දිසාව මල්ලව පොර ශූර​ෙයකු බව එදා විදේශ රටවල පවා ප්‍රචාරය වී තිබිණි. මෙම ප්‍රසිද්ධිය නිසාම වරක් ලෙව්කේ සමග මල්ලව පොර සටනකට දකුණු ඉන්දියාවේ මල්ලව පෙර ශූර​ෙයකු පැමිණ ඇත. ඔහු නමින් කන්දසාමි විය. 
 
එසේ තමා සමග මල්ලවපොර සටනකට පැමිණ සිටි දකුණු ඉන්දියානු මල්ලව පොර ශූරයාට දිනක් තමන් සමග උදය ආහාරය ගැනීමට පැමිණෙන ලෙස ලෙව්කේ දිසාව ආරාධනා කළේය. එම ආරාධනාව පිළිගත් කන්දසාමි නම් මල්ලව පොර ශූරයා ලෙව්කේ සමග උදේ ආහාරය ගැනීමට ඉතාම සතුටින් පැමිණියේය.
 
ලෙව්කේ දිසාව කිරිබත් කෑමට ද ප්‍රිය කළ අයෙකි. උදේ කෑම වේලට කොපමණ දෑ සූදානම් කළත්, ලෙව්කේ දිසාව වෙනුවෙන් උදේට කිරි බතද වැරදුණේ නැත. කිරි දැමූ කිරිබතක් වුවත් කෑමට සූදානම්ව තම කිරිබත් පිඟානට අමතර පොල් කිරි ටිකක් එක්කර ගැනීම ද ලෙව්කේ දිසාවගේ සිරිත විය. 
 
හේ සේවක​ෙයකු   කැඳවා   කොට්ට පොල් ගෙඩියක් ගෙන්වාගෙන එහි ඝනකමැති කට්ට තිබියදීම කොට්ට පොලය තම කිරිබත් පිඟානට ළං කොට දකුණතින් තද කොට මිරිකා එහි කිරි ටික සිය පිඟානට එක්කර ගත්තේය. මෙම දසුන දුටු කන්දසාමිට හීන්දාඩිය දැමුවේය. ඔහු කොතෙක් බියට පත්වූයේද කිවහොත් ලෙව්කේ දිසාවගේ උදේ කෑම මේසයෙන් සුළුවට යමක් කා පිටව ගියේය. 
 
මුළු දකුණු ඉන්දියාවේම ප්‍රකට මල්ලව පොර ශූරයා වූ කන්දසාමි ලෙව්කේ දිසාවගේ කොට්ට පොල් මිරිකීම දැක බලවත් සේ බියට පත්ව මල්ලව පොර සටන පසෙක තබා ශ්‍රී වික්‍රම රජුට හෝ රජ වාසලේ කිසිම කෙනකුට නොදන්වා පසුදාම රහසිගතව දකුණු ඉන්දියාව බලා පලා ගියේය. 
 
දනකිරිගල විහාරයේ ඉදිකොට තිබෙන ලෙව්කේ දිසාවගේ පිළිරුවෙහි දකුණු අතේ කොට්ට පොල් ගෙඩියක් නිර්මාණය  කොට ඇත්තේද දිසාවේ කිරි බතුත් සමග වුව නිතර කොට්ට පොල් ගෙඩියක කිරි කෑමට දැක්වූ රුචිකත්වය සිහිපත් කිරීමක් වශයෙනි.
 
අදට හරියටම වසර දෙසිය විස්සකුත් (220) මාස 04කට පෙර, එනම් 1803 වසරේ සැප්තැම්බර් මාසය ​ෙවනවිට මෙරට පහත රට ආක්‍රමණය කොට සිටි ඉංග්‍රීසි හමුදා කන්ද උඩරට ආක්‍රමණය කොට එහි පාලනයද සියතට ගැනීමට පිඹුරුපත් සකස් කර තිබිණි. ඒ අනුව ඉංග්‍රීසි හමුදා උඩරටට ක්‍රම ක්‍රමයෙන් පැමිණෙමින් සිටියදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජුද සිය සිංහල හමුදා මෙහෙයවමින් එවකට ඉංග්‍රීසි හමුදා ප්‍රධාන කඳවුරක් පිහිටුවාගෙන සිටි හංවැල්ල දක්වාම ඉංග්‍රීසි හමුදා පසුබැස්වූහ.
 
උඩරට ආක්‍රමණයට පැමිණි ඉංග්‍රීසි හමුදාව තම සිංහල හමුදාව සමග සටන් මෙහෙයවා හංවැල්ල දක්වා පසුබැස්වීමට හැකිවීම ගැන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිටියේද සතුට පිරුණු උද්දාමයෙනි. 
 
ඉංග්‍රීසි හමුදා හංවැල්ලෙන්ද පසුබස්වා පරාජය කරවීමට රජුට ඕනෑවී තිබිණි. එහෙත් රජු හිතුවාට වඩා හංවැල්ලේදී ඇරඹි ‘‘ඉංග්‍රීසි - සිංහල හටන’’ සිතූ තරම් පහසු නොවුණි. එයට හේතුව වී තිබුණේ හංවැල්ල ඒ වන විට තිබුණේ ඉංග්‍රීසි හමුදාවේ ප්‍රධාන හමුදා කඳවුරක් බැවිනි.
 
උඩරට බලා ඇදෙමින් සිටි ඉංග්‍රීසි හමුදාවන්ට පහර පිට පහර දෙමින්, ඔවුන් පසුබැස්වුවද හංවැල්ලේ සටන හිතන තරම් ලෙහෙසි නොවන වග, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ප්‍රධාන සිංහල හමුදාවට පසක් වෙමින් තිබිණි. සටනේ ස්වභාවය ඉතාම දරුණු වන්නට විය. සටන අතිශය බිහිසුණු මුහුණුවරක් ගත්තේය.
 
හංවැල්ලේ සටන සිංහල හමුදාවට ජයගත නොහැකි බව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට වැටහෙන්නට විය. රජු සිය හමුදා සමග උපක්‍රමශීලීව පසු බසින්නට වූහ. තම පිරිස සමග පසු බසින රජුට අපූරු දසුනක් දිස්විය. එය නම් කොටිවැල්ලේ වෙල්යාය අසල ගසක් මුලට වී ලෙව්කේ දිසාව ගිමන් හරින දසුනකි ඒ. රජු යක්ෂාවේශ විය.
 
වහ වහා ගසක් මුල ගිමන් හරිමින් සිටි ලෙව්කේ දිසාව අසළට ගිය කෝපයට පත්ව සිටි රජු ‘‘...දි...සා...වේ... ගිමන්... හරින්ට ඕ..නෑ.. ආ කාරිය නිම කරගෙන නොවේදැයි...’ ප්‍රශ්න කළේය.
 
රජුගේ ප්‍රශ්නයට පිළිතුරු දුන් ලෙව්කේ දිසාව කීවේ... ‘‘තව හෝරාවකින්... දෙකකින්... සටන දිනන්නට පුළුවනි. මා එතෙක් මෙතනට වී ගිමන්...හරි...න...වා...’’ යනුවෙනි.
 
ලෙව්කේ දිසාවගේ මෙම පිළිතුරෙන් රජු අතිශය කෝපයට පත්විය.
 
‘‘...අපට දිනන්න බෑ... සටන ඉතාම දරුණුයි. මේකා... ඔල්මාදෙන්... දොඩවනවා.. යැයි...’’ තමාටම කියාගත් රජු ගහලයකු කැඳවා’’ ලෙව්කේ දිසාව රාජද්‍රෝහියකු වෙලා... මේකාගේ හිස... ගසා දමව්...’’ යැයි අණ කළේය.
 
රජ අණ අනුව ගහලයා පැමිණියේය. එවිට ලෙව්කේ දිසාව සිටියේ කොටිවැල්ලේ වෙල්යායේ නියරක් මත හිඳගෙනය. ගහලයා රජ අණ ක්‍රියාත්මක කළේය. ලෙව්කේ දිසාව අසලට පැමිණි ගමන් සිය අසිපත එසවූ ගහලයා එකවරම, ඔහුගේ හිස කඳින් වෙන්වන ලෙස වැරෙන් පහරක් එල්ල කළේය. ලෙව්කේ දිසාවගේ හිස කඳින් වෙන්වී කඳ සමගම ඒ අසල ලියද්දට පෙරළිණි.
 
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වෙල්යායේ ගස අසලට එන විට, එහි ගිමන් හරිමින් සිට ඇත්තේ, බහිරවයකු බව අදටත් සතර කෝරළේ ජනතාව අතර පැතිර ඇති මතයකි.
 
මෙම බහිරවයා ලෙව්කේ ගම්වරය එළිපෙහෙළි කරන විට, දිසාවේ සමග කෝපයට පත්ව සිටි දනකිරිගල නිදන් වස්තුවට අරක් ගත් බහිරවයා බව එකී ගම්වාසීහු අතර අදට ද මතයක් පවතී.
 
ලෙව්කේ දිසාවගෙන් පළිගැනීමේ චේතනාවෙන් රජු ලවා ඔහුගේ දිවි තොර කරවීමේ ඕනෑකමින්, බහිරවයා මෙකී රඟපෑම සිදුකර ඇති බව, එකී ඉහත කී ගම්වාසීන් අතර පවතින විශ්වාසයද බැහැර කළ නොහේ.
 
බහිරවයා මෙම රඟපෑම ඒ ආකාරයට සිදු කරන විට ලෙව්කේ දිසාව ඉංග්‍රීසි හමුදා සමග මාරාන්තික සටනක නියැළෙමින් සිට ඇති බව කියැවේ.
 
සිංහල රණ ශූර​ෙයකු වූ ලෙව්කේ දිසාවගේ අකල් මරණය අසා ශෝකයට පත් ගැමි කවි​ෙයකු මුවින්, එදා පිටවූ මෙම සිව්පද කවිය අපගේ ජනශ්‍රැති අතර අදටත් නොමැකී පවතී.
 
පුන් සඳ සේම පායලා රට මැද්දේ
රන් කෙඳි සේම පීරලා පිට මැද්දේ
මාර සෙනග වට කරගෙන යම යුද්දේ
ලෙව්කේ මැතිඳු අද තනියම වෙල     මැද්දේ
 
සැබවින්ම අපගේ රටට, දැයට, සමයට, ඉමහත් ආදරයෙන් අමිල මෙහෙවරක් කළාවූ, උපන් දේශයට මෙන්ම, තමන් උපන් දේශයේ ජනතාවට අපරිමිත ආදරයෙන්, සෙනෙහසින්, සුවිසල් මෙහෙවරක් සිදු කරමින්, ගැමි හදවත්වල අදටත් ලැගුම්ගෙන ඇති, මෙකී රණවිරුවාගේ අකල් වියොව, එලෙස අකාරුණික අන්දමට සිදු නොවූයේ නම් අපගේ දේශයේ ඉරණම වෙනත් ආරක ගමන් කිරීමට ඉඩ තිබුණි.
 

■ නන්දන ඩී. කෙහෙල්ගමුව