රාජා භවතු ’’ධම්මිකෝ ’’



බුද්ධ දේශනාවට අයත් දීඝ නිකායේ කූට දත්ත සුත්‍රයෙහි ඇතුළත් කතාවක් පදනම් කරගෙන මෙම ලිපිය සකස් කළෙමි.

 

පෙර එක් කලෙක කූට දත්ත නම් රජෙක් රජ කරන කල්හි එතුමාට මෙබඳු අදහසක් පහළ විය.‘‘මගේ රාජ්‍ය භාණ්ඩාගාරයේ කාලයක සිට එක් රැස් වූ බොහෝ ධන ධාන්‍ය, මුතු මැණික් ආදිය තිබේ. මේ වස්තුව වියදම් කොට මහා යාගයක් (දේව පුජාවක්) පැවැත්වුවහොත් හොඳයි. එම යාගයේ බලයෙන් (පිනෙන්) මරණයෙන් පසු මට මුළු ලොවටම අධිපති සක්විති රජකම හෝ දෙදෙව් ලොවට අධිපති සක් දෙවි පදවිය හෝ ලබාගත හැකිය. එම නිසා මෙම යාගය පැවැත්විය යුත්තේ කෙසේ ද? මේ සඳහා කොපමණ වියදමක් දරන්න සිදුවේ ද? යනාදී කරුණු විමසා බලා මට දන්වන්න යැයි රජුගේ පුරෝහිත බමුණාට නියම කළේය. 

ඒ අනුව පුරෝහිත බමුණාද ගෙදර ගොස් ඔහුට සිතෙන ලෙස විශාල ධනයක් වියදම් වන ලෙස (දින කිහිපයක් පවත්වන ලෙස) මෙම යාගය සැලසුම් කොට ඒ පිළිබඳ විස්තර වාර්තාවක් රජතුමාට භාර දුන්නේය. ඒ සමගම මෙම මහා යාගයට ප්‍රාණීන් එනම් ඇතුන් හත්සියයක්, අසුන් හත්සියයක්, ගවයන් හත්සියයක්, මේ ආදි වශයෙන් හත්සියය බැගින් සතුන් අවශ්‍ය බවද, රජතුමාට දැන්වීය. බමුණා කියන අන්දමට මේ යාගය සඳහා යන වියදම ඉතාම විශාලය. (මේ වියදම රුපියල්වලින් බැලුවහොත් රුපියල් (ට්‍රිලියන ගණනක්) එනම් කෝටි දස ලක්ෂ ගණනක් අවශ්‍ය වෙයි. ඊටත් වඩා මෙහි බරපතළම ප්‍රශ්නය වන්නේ සතුන් සිය දහස් ගණනක බිලි පූජාවක් කළ යුතුය. එම පූජාව ගැන රජතුමා සිත් නොගත්තේය. මේ සා විශාල සතුන් ගණනාවක් මරණයට පත් කොට මේ කරන පූජාවෙන් වැඩක් වේද? අනික් අතට එක් අයෙකුගේ සැප විහරණය සඳහා මේ සා විශාල සත්ව සංඛ්‍යාවක් මැරීම සුදුසු ද? යන කාරණය පිළිබඳව රජතුමා දිගින් දිගටම කල්පනා කළේය. එසේ කල්පනා කොට මෙම යාගය කිරීමේ අදහස ටිකකට නවත්වා රජතුමාට ඉතා හිතවත් අයෙකුගෙන් (ඔහු රාජ්‍ය නිලධාරියෙකු හෝ රජයේ පුරෝහිතයකුද නොවේ. ඔහු සාමන්‍ය පුද්ගලයෙකි.) මේ ගැන විමසීය. ඒ හිතවතා රජතුමාට මෙසේ කීය.

‘‘මහ රජතුමනි, මා කියන ක්‍රමයට ඔබ වහන්සේ එකඟ නම්, සතුන් මරන්නේ නැතුව මිනිසුන් ජීවත් කිරීමේ මහා යාගයක් කරමු’’. ඒ යාග ක්‍රමය මෙසේය.

                                          

මේ රටේ දැන් පවත්නා නියම තත්ත්වය ඔබතුමා දන්නෙ නැත. ඔබතුමාට අනුශාසනා කරන පුරෝහිතයන් හෝ රාජ්‍ය නිලධාරීන් හෝ මේවා ගැන ඔබතුමාට කියන්නේ නැත. ‘‘රට ඉතා ධාර්මිකයි, මහජනයා ස්වයං පෝෂිතයි. රටේ ආරක්ෂාව ඉතා හොඳයි’’. ආදිය කියමින් වැරදි චිත්‍රයක් ඔබතුමාට මවා පෙන්වයි. එම නිසා එම පුරෝහිතයන්ගේ නිලධාරීන්ගේ බොරු බස්වලට නොරැවටී ඔබ තුමාම වෙස් වළාගෙන රහසින් ගොස් රටේ සාමාන්‍ය මිනිසුන් ජීවත් වන සැටි විමසා බලනු මැනවි. ඔවුන් විඳින දුක් ගැහැට ඔවුන් විඳින කරදර සියැසින්ම බලා තේරුම් ගන්න. එම වෙස් වළාගෙන යන ගමන්වලදී ඔබතුමාගේ ආරක්ෂාවටත් සමග ඔබතුමාට සහය පිණිස මමත් එන්නම් යැයි ඔහු කීය. 

ඒ හිතවතාගේ යෝජනාවට එකඟ වූ රජතුමා රටේ සෑම තැනකටම වාගේ රහසිගතව ගොස් සාමාන්‍ය ජනතාවගේ තත්ත්වය විමසා බැලීය. ඔවුන් ජීවත් වීමට කරන අරගලය මෙන්ම රටේ පවත්නා හොරකම්, දූෂණය, වංචාව, අල්ලස, ස්ත්‍රී අපයෝජනය ආදිය සියැසින්ම දැක ගත්තේය. මේ තත්වයෙන් රට මුදාගැනීමට කළ යුත්තේ කුමක් දැයි රජතුමා හිතවතාගෙන් විමසීය. හිතවතා මේ පිළිබඳ දුන් උපදෙස් කෙටියෙන් මෙසේය. 

‘‘රජතුමනි රට සංවර්ධනය කිරීමට නම්, පළමුවෙන්ම මහා පරිමාණයේ කර්මාන්ත, ව්‍යාපෘති යෝජනා ක්‍රම ටිකකට නවත්වා, ගොවියා ගොවිතැනින් ස්වයං පෝෂිත කරන්න. ග්‍රාමීය සුළු කර්මාන්ත නගා සිටුවීමට දිරි දෙන්න. මේ සඳහා කොන්ත්‍රාත්කරුවන්ට ව්‍යාපෘති භාර දෙන්න එපා. විශ්වාසදායක නිලධාරී පිරිසක් තෝරාගෙන රජයෙන් දෙන ආධාර අතරමැදියන්ට නොදී කෙළින්ම ගොවියන්ට ලැබෙන්න සලස්වන්න. යල් කන්නය හෝ මාස් කන්නය අවසන් වූ පසු ගොවියාට ආධාර දීමෙන් වැඩක් නැත. ජලය සැපයීම හා පොහොර සහනාධාරය වඩාත් සැල්කිල්ලෙන් යුතුව රජය මඟින්ම කර දිය යුතුය. ගොවියා ස්වයංපෝෂිත වූ පසු පොහොර සහනාධාරය නවත්වන්න. කාබනික පොහොර ගොවියා විසින්ම නිෂ්පාදනය කිරීමට හුරු කරවන්න. ගම්බද කුඩා වැව් නඩත්තු කිරීම ගොවියාටම භාර දෙන්න. ගම්බද පාරවල් (මහා මාර්ගයේ සිට ගමට යන පාරවල්) ගම් සභාවේද (ප්‍රාදේශීය සභාව) සහය ඇතුව ගොවීන් විසින්ම කරගත යුතුයි. අවශ්‍ය තැනකදී පමණක් මේ වැඩවලට රජයෙන් උදව් කළ යුතුය. 

ගමේ කුඹුරු ඒවායේ අයිතිකරුවන් වන ගොවීන් ලවා නියම කන්නය තුළ වගා කරවීමත්. ආරක්ෂා කරවීමත් ගමෙන්ම පත් කළ නිලධාරියෙකු/ වෙල් විදාන මහතා ලවා කරවන්න. ගමේ කුඩා වැවෙන් කුඹුරුවලට ජලය සැපයීමත්, එම වැවේ ප්‍රතිසංස්කරණ කටයුතුත් විදාන මහතා විසින් ගොවීන් ලවා කරවිය යුතුය. විදාන මහතාට වැටුප් ගෙවීමක් නැත. ඒ සඳහා ගොවීන් නිපදවන අස්වැස්නෙන් (වී වලින්) කොටසක් දීම ප්‍රමාණවත්ය.

ගම රැකගැනීමට ගැමියන් විසින් පත් කළ ගම් නායකයෙකුට (ගම රාලට) බාර දිය යුතුය. ඔහු ගමේ දූෂණ ක්‍රියා හොරකම් ආදිය මැඩ පැවැත්විය යුතුය. ඔහුට බැරි බරපතළ අපරාධ ආදිය ගමේ ගම් සභාවට හෝ ඉහළ උසාවියට විනිශ්චය සඳහා භාරදිය යුතුය.

ගම්බද පාරවල් (පිං පාරවල්) නඩත්තු කරවීම ගම්වාසීන් ලවා ගමරාල (ගමේ නායකයා) විසින් කරවිය යුතුය. ඔහුටද වැටුප් ගෙවීමක් නැත. ඔහුට ගමෙන්ම කුඹුරු ඉඩමක් දිය යුතුය.

ගම් මට්ටමෙන් කර ගැනීමට බැරි වැඩ තිබේ නම් ඒවා රජය මගින් කරවා දිය යුතුය. රාජ්‍ය නිලධාරීන් හෝ පොලිසිය හෝ ගම්වල වැඩට නොදැමිය යුතුය. ගම් කිහිපයක් එකතු කළ ‘තුලානකට’ ග්‍රාම නිලධාරියෙකු (ගම් මුලාදෑනියෙකු) පත් කිරීම රජයෙන් කළ යුතුය. ගමත් රජයත් අතර සම්බන්ධතාව පවත්වන ගම් මට්ටමේ සිටින එකම රාජ්‍ය නිලධාරියා ඔහු පමණි.

රජය විසින් දෙන ආධාර ගොවියාටම ලැබෙනවා ද? රාජ්‍ය නිලධාරීන් විසින් ගසා කනවා ද? යන්න රාජ්‍ය නායකයා විසින් පෞද්ගලිකවම (රහසිගතව) විමසා බැලිය යුතුය.

වැරදි කරන කාට වුවත් තද දඬුවම් දිය යුතුය. රාජ්‍ය නායකයාට එවැනි දඬුවම් දීමට බලයක් නැතිනම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එම නීතිය ඇතුළත් කළ යුතුය.

කූට දන්ත මහා රජතුමාට එතුමාගේ හිතවතා කියා දුන් මහා යාග ක්‍රමයයි මා මෙහිදී සඳහන් කළේ. මේ යාග ක්‍රමයට රජුට අනුශාසනා කළ පුරෝහිත බමුණා නම් සතුටු නොවන්නට ඇත.

මෙසේ රට, ආහාරයෙන් ස්වයං පෝෂණය කළ පසු මහා පරිමාන ව්‍යාපෘති ආරම්භ කරන්න.


කල්පේ ආනන්ද සාගර හිමි