රැකගතයුතු දොළුකන්ද ඔසු කන්ද



 

පටුනු ගම් සොඳයි දොළුකන්ද දෑලේ                             
පලවැල රසයි එම කන්දේ   හිමාලේ                               
ගල්වැඩ සොඳයි දුටුගැමුණුගෙ රජ කාලේ                       
මුහුද පෙනෙයි දොළුකන්දට  වයිතාලේ
 
දොළුකන්දේ ගලදෝ අර          පෙනෙන්නේ                                   
ගල මුදුනේ රන් තොරණකි        බඳින්නේ                                               
රන් තොරණේ රන ගිරවෙකි ලගින්නේ                                     
දොළුකන්දේ දෙවියෝ අප රැක       දෙන්නේ
 
ඉබ්බාගමුවේ සිට මඩගල්ල දෙසට දිවෙන මාවතේ කිරිබමුණ, මානපාය, කුඹුක්වැව කෙත්යායට වම්පසින් ඓතිහාසික දෝල පබ්බත හෙවත් දොළුකන්ද ඔසු උයන දිස්වෙයි. ගොඩගාල හන්දියෙන් හැරී රංකිරිමඩ පුරාණ රාජමහා විහාරස්ථානය පසුකොට දොළුකන්ද අසබඩ දොළුව ගම්මානයට පිවිසිය හැකිය. දොළුව උතුරු මායිමේ හිපව්වද, නැගෙනහිරින් දොළුව, හකිරිල්ල, වෑවලගම, වරාවල, අරන්කැලේ යන ගම්ද, බටහිරින් මොරගොල්ල, බාරුබේ, හුණුපොළ ආදී ගම්මානද පිහිටා තිබේ. දොළුකන්දේ නැගෙනහිර පෙදෙස ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ද බටහිර පෙදෙස ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ද අයත්වෙයි.
 
 
සොබාදහමේ අපූරු නිමැවුමක් වෙන දොළුකන්ද හාත්පස කෙත්වතු, ගම්බිම් සාරවත් කරමින් ගොවීන්ගේ ආශීර්වාදය බවට පත්වෙයි.දොළුවට උතුරින් ඇති හිපව්ව ගම්මානය ඊට කදිම නිදසුනකි. අද හිපව්ව ලෙස හඳුන්වන්නේ එදා හී පහුවයි. එකල ජලය අධික නිසාම අනෙකුත් කෙත්යායවලට වඩා මේ ගමේ කෙත්වල හානා හීය පහු කරවන්නට ගොවීන්ට සිදුවෙයි. අද ද හිපව්ව හරහා හමා යන්නේ දොළුකන්දේ සිසිලසයි. අයාලේ යන වලාකුළක් වුවද තමා වෙතට ගෙන වැසි වස්සවා කෙත්වතු සරු කරවන්නට දොළුකන්ද අදද අමතක නොකරයි. අතීතයේ පටන් මෙහි වැසියන්ගේ ආඩම්බරය මුසු කෘතගුණය දොළුකන්දට හිමිවෙන්නේ එහෙයිනි. මුහුදු මට්ටමෙන් අඩි 800කට වඩා උස දොළුකන්ද මුදුනට අධික වැසි කාලයේදී තද සීතලෙන් යුත් මල් තුහින පවා ඇදහැළේ.
 
ජනප්‍රවාද රැසක් මේ කඳු රාජයා වටා ගෙතී තිබේ. රාම-රාවණා බිහිසුණු සටනේ දී රාම කුමරුට වැදුණු මාරක හී පහරවල විස මැකීම පිණිස “සංජීව’’ නම් ඔසුවක් සහිත ඔසු කන්දක් හනුමන් විසින් සිය උරමත තබාගෙන පැමිණි බවත් එයින් කැබැල්ලක් දකුණේ “රූමස්සල” කන්ද ලෙස වැටුණු බවත් අනෙක “දොළුකන්ද’”ලෙස පතිත වූ බවත් එක් ජනප්‍රවාදයකි. පණ්ඩුකාභය කුමරුන්ගේ ආරක්ෂක බළකොටුව වූ මෙහි කුමරු ගමන්කළ දෝලාව තැබූ හෙයින් “දොළුව” ගම්මානයට ඒ නම ව්‍යවහාර වෙන බවත්, ඒ කඳු මතින් ගලා එන දොළ දෙකක් (දිය පහරවල්) ඇති හෙයින් දොළුකන්ද එකල “දෝලව පබ්බත” නමින් හඳුන්වනු ලැබූ බවත් ජනප්‍රවාදයේ එයි.
ක්‍රි.පූ. පළමු සියවසට අයත් අනුරපුර යුගයේදී දොළුකන්ද අවට සක්‍රීයව තිබූ බවට සාධක තිබේ. පුරා වසර 04ක් දෝලව පබ්බතයෙහි ගතකළ පණ්ඩුකාභය කුමරු පසුව දිඹුලාගලට (දුම්රක් ගල) ගිය බව මහා වංශයේ සඳහන් ය. කන්ද මුදුනේ අක්කර 50 ක් පමණ වෙන තැනිතලා භූමියෙහි (මාලිගාතැන්න) පැරණි මාලිගාවල සුන්බුන්, ගල් පොකුණු, ගල් බැමි සහිත කුඩා ජලාශ, මුරගල්, අවි මුවහත් කළ ගල්, ඉපැරණි උළු, අම්බලම් ගල, බැලු‍ම් ගල ආදිය සැසඳීමේ දී නිසැකවම රජුන්ගේ ආරක්ෂිත ස්ථානයක් බවට හඳුනාගත හැකිය. ක්‍රි.ව. 276 සිට ක්‍රි.ව. 340 දක්වා කාල පරාසය තුළ පිළිවෙළින් රජ වූ  මහාසේන, කිත්සිරිමෙවන්, දෙවැනි දෙටුතිස්ස යන රජවරුන්ගේ ආරක්ෂක බළකොටුව බවට දොළුකන්ද පත්ව තිබූ බව ඉතිහාසයේ සඳහන් ය.
 
විජය-කුවේණි පුවතට සම්බන්ධ කුවේණිගල
 
කිත්සිරිමෙවන් සහ දෙටුපතිස්ස යනු මහසෙන් රජුගේ පුතුන් දෙදෙනා බව මෙහිදී සඳහන් කළයුතුය. එසේම විජය රජුට (කුවේණිය හා සහවාසය හේතුවෙන්) කුෂ්ඨ රෝගයක් වැළඳුණු විට එය සුවපත්වීමට වෛද්‍ය උපදෙස් අනුව විජය රජු පුරා හය මාසයක් දොළුකන්දේ ගතකළ බව පැවසේ. ඒ ඖෂධීය ගුණය ඔසු උයනේ පැවති බැවිනි. කුවේණියද දොළුකන්දට නුදුරින් පිහිටා ඇති ගල්කුලක වාසය කළ බවට ප්‍රචලිතව ඇති අතර එය “කුවේණිගල” නමින් අදත් දක්නට ලැබෙයි. අනුරාධපුර යුගයේදී රජ කළ හෙළයේ එකම ආයුර්වේද වෛද්‍යවරයා වූ “බුද්ධදාස” රජතුමන්ගේ ඖෂධ උයනක් ලෙස මෙය පවත්වාගෙන ගිය බවට ඉතිහාසයේ සඳහන් වෙන අතර මෙහි ගල්වැටිවලින් වෙන්වූ විවිධ ඖෂධ වර්ගවලින් යුත් බිම් තීරු පවා දැකිය හැකිය. තවද ගල්කණු හා ගොඩනැගිවල නටබුන් තිබීමෙන් මෙහි ඖෂධ නිෂ්පාදනාගාරයක් සහ රෝහලක් තිබූ බවට සාක්ෂි ද මෙහිදී හඳුනාගත හැකිය. අවාසනාවට මේ පිළිබඳ කිසිදු විධිමත් පුරාවිද්‍යාත්මක පරීක්ෂණයක් මෙතෙක් සිදුකර නොමැත. දොළුකන්ද මුදුනෙහි ඇති පැරණි චෛත්‍ය නටබුන් (නිදන් හොරුන් විසින් විනාශ කර දැමූ) පියගැට පෙළ ගුවන් ලෙන නම් වූ ගල්ලෙන, පැරණි සඳකඩ පහණ, ජලය බැසීමට තබා ඇතැයි සැලකෙන දිය අගල්, කටාරම් කෙටූ බ්‍රාහ්මීය අක්ෂර සහිත ගල් ගුහා, රන්කොත් ලෙන ආදිය සලකා බලන විට රජවරුන් කිහිපදෙනෙකුම මෙහි වාසය කළ බව අනුමාන කළ හැකිය. පර සතුරු ආක්‍රමණ  කාලවලදී ඉතා දැඩි ආරක්ෂක තත්ත්වයක් මත කිසිවෙකුට ළඟාවිය නොහැකි පර්වතයක් තෝරාගැනීම රජවරුන්ගේ සිරිත විය. ඒ අනුව වළගම්බා රජතුමා ද මෙහි දිගු කලක් වාසය කළ බවට සාක්ෂි ඕනෑ තරම් තිබේ.
 
බටහිර බෑවුමේ පිහිටි හුණුපොළ කන්දේගම රාජමහා විහාරය
 
මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන්ට අනුව, දොළුකන්දේ දුර්ලභ ඔසු උයන ක්‍රි.පූ. 4වැනි සියවසේ පටන් තිබූ බවට පැවසේ. නිරතුරුව සතුරන් සමග ගැටෙනවිට තුවාල ලබන්නන් සුව කිරීම මෙම ඔසු උයනේ ප්‍රමුඛ කාර්යය වූ බව ද එතුමා පවසා ඇත. මෙම ඔසු උයන අතිශය දුලබ ගණයේ එකකි. එහි ඇති ඖෂධ අතර කළුනික, සඳරාජ, මහ හැඩයා, ගුරුළුරාජ, මහ නළුවා. සුදනා, කුඩා නාම්බා, වලස් ඇඳිරිය, ඉර රාජ, කුඩා පද්මයා, මහා පද්මයා, පටීධාතු, කුඩා සුදනා, මහ නාම්බා, වනරාජ, කුඩා හැඩයා, ගරුඬරාජ, නගාමැරූඅල, කුඩා නළුවා, මහ සුදනා, දුටු සතුටු, සුළුනයි, මහනයි, ඇට්ටමුර, තනිවැල්ල, කළුකොහිල, කඳුලැස්ස, බිංකොහොඹ, විෂකුම්භ, රජකුම්භ, මයුරපාද, කළුවෙල්ලන්ගිරිය වැනි ඖෂධ සුවිශේෂි වේ. මෙහි මුළු භූමි ප්‍රමාණය අක්කර 120ක් පමණ වෙන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 
 

ඖෂධීය ශාකයක් වෙන මහ හැඩයා, කුඩා හැඩයා පවුලට අයත් ශාකයක්


 
එසේම මෙහි ඉන්දියානු සම්භවයක් සහිත පැරණි වී වර්ගයක් වන “මොනර වී’’ ගොයම් පඳුරු දැකිය හැකි ය.ජාවාරම්කරුවන් මෙන්ම ඔසු උයන නැරඹීමට පැමිණෙන ආයුර්වේද වෛද්‍යවරුන් සහ සිසුන් පමණක් නොව පැමිණෙන වෙනත් පිරිස් ද ඔසු පැළ වර්ග මෙන්ම දුර්ලභ ගණයේ මල් පැළෑටි ද ගලවාගෙන යන බව ඔසුඋයන පාමුල පදිංචිකරුවෝ පවසති. ඔවුන් මේ කරන විනාශය කනගාටුදායකය. මෙකී ඔසු පැළ වර්ග වෙනත් පළාත්වල රෝපණය කළ නොහැකි බවත් දොළුකන්ද මුදුනේ ඇති දේශගුණය වෙනත් පළාත්වල නොමැති නිසා එම පැළ විනාශ වී යන බවත් ඔවුහු පෙන්වා දෙති. මේ බව නොදන්නා පිරිස් මේ විනාශය සිදුකරන බව ද අවට පදිංචිකරුවෝ කියති. මුදලට ඇති කෑදරකමත් දුර්ලභ ඖෂධ පැළෑටි අලෙවි කිරීමෙන් වැඩි ආදායමක් ලබා ගැනීමටත් හැකියැයි සිතා මෙසේ මෙම ඔසු දිනෙන් දිනම විනාශවී යමින් පවතී.
 
මෙම විනාශය පිළිබඳව සොයා බැලීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් ද නැත. අදාළ අංශ මේ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකළහොත් දොළුකන්ද ඔසු උයන  නුදුරු අනාගතයේ දී අතුරුදන්වනු ඇතැයි ප්‍රදේශවාසීහු බිය පළකර සිටිති.
 

දොළුකන්දේ පිහිටි ගල් ගුහාවක්


 
ජෛව විවිධත්වය අතින් දොළුකන්ද ස්වභාවික දායාදයකි. එබැවින් මෙහි ඇති පාරිසරික අගය හඳුනාගෙන එය සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගතයුතුව ඇත. අරන්කැලේ කන්ද, පෙරියකඩුව කන්ද, කිරිබමුණ කන්ද, කොට කන්ද, අරගම කන්ද, වඩු කන්ද යන පරිවාර කඳු පන්ති අතර දොළුකන්ද මතුවටත් විරාජමානව පවතිනු දැකීම අපගේ එකම බලාපොරොත්තුවයි.
 

  • ගොකරැල්ල 
චරිත රත්නායක